IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආණ්ඩුවට භාරදූර වගකීමක්

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බලවේගය මන්ත්‍රී ආසන 40කට සීමා කිරීමටත් සෙසු ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ලම සුළු පක්ෂ බවට පත් කිරීමටත් මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතු විය.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 105ක් ලැබෙතැයි අනුමාන කළ ද වාර්තාගත ලෙස එය 159 දක්වා ඉහළ යාමත් සමඟි ජන බලවේගයේ ප්‍රතිඵල මත ආසන 78ක් ලැබේයැයි අපේක්ෂා කළ ද එය 40 දක්වා කඩා වැටීමත් එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් ගොඩනැගූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 37ක් ලැබෙතැයි අපේක්ෂා කළද එය ආසන 5ක් දක්වා පසු බැසීමත් කැපීපෙනෙන සිදුවීම් ලෙස පෙන්විය හැකිය.

ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 43ක් ලැබූ සමඟි ජන බලවේගය මහ මැතිවරණයේදී එයින් ඡන්ද ලක්ෂ 20ක් අහිමිකර ගනිමින් ඡන්ද ලක්ෂ 19ක් දක්වා පහත වැටී තිබේ. රනිල් වික්‍රමසිංහ විසින් ගොඩනැගූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණද ඡන්ද ලක්ෂ 22ක සිට ඡන්ද ලක්ෂ 5ක් දක්වා පල්ලම් බැස ඇත. මෙම ප්‍රධාන පක්ෂ දෙක විසින් අහිමිකරගත් ඡන්දවලින් වැඩි කොටසක් ජාතික ජන බලවේගය තමා සතු කරගැනීමට සමත් වී තිබේ. මෙහිලා දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ජයග්‍රහණය මාලිමාව තහවුරු කර ගැනීමයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ද ජයග්‍රහණය වාර්තා කරන්නේ මාලිමාව පිටුපසින් ආ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් නොව වෙනත් සුළු පක්ෂයක් විසිනි. මෙහි ඇති සුවිශේෂී ම ලක්ෂණය වන්නේ දකුණේ පක්ෂයක් උතුරේ ජනතාවගේ ප්‍රසාදය ලබාගැනීමයි. මෙයට පෙර ඡන්දයකදී උතුර-නැගෙනහිර ඡන්ද ප්‍රධාන අපේක්ෂකයා වෙත හරවා ගැනීමට ඒ අතරට විවිධ අතරමැදි පක්ෂ යොදාගැනීමට සිදුවුවද මෙවර ඍජුවම මාලිමාව විසින් උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය තමා වෙත හරවා ගනීමට සමත් වී තිබේ.

මෙවර ජනතාව ආගම, කුලය, ජනවර්ගය වැනි පටුසීමාවලින් ඔබ්බට ගොස් රටේ ආර්ථිකය ප්‍රමුඛතම සාධකය ලෙස සලකා ඡන්දය පාවිච්චි කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම උතුර, නැගෙනහිර, මධ්‍යම කඳුකරය දකුණේ පක්ෂයක් ජයග්‍රහණය කිරීමෙන් මේ වෙනස පැහැදිලි ලෙස විද්‍යමාන වේ. එමෙන්ම දූෂණය, වංචාව සහ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් මෙරටේ වලංගු නොවන බවට පැහැදිලි වන ඉතා වැදගත් සාධකයක් නම් සාම්ප්‍රදායික දේශපාලනයේ සිටි ප්‍රබල බලකණු රැසක් පාර්ලිමේන්තුවෙන් පලවාහැරීම සඳහා මහජනතාව ඉතාම සූක්ෂම ලෙස තම ජනවරම භාවිතකොට තිබීමයි.

මීට පෙර පැවති මැතිවරණවලදී රාජ්‍ය දේපළ පමණක් නොව රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය ආරක්ෂක සේවාවල බලය, රාජ්‍ය ආයතනවල සේවක සේවිකා ද මැතිවරණ කටයුතු සඳහා යොදාගනු ලැබීය. ජාතික ජන බලවේගය මෙවර වාර්තා කළ සුවිශේෂ ජයග්‍රහණය කිසිදු දේශපාලන විචාරකයකු විසින් පුරෝකථනය නොකළ ජයග්‍රහණයකි. එමෙන්ම ජනාධිපති අනුර කුමාර මහතාට මෙන්ම සමස්තයක් ලෙස මාලිමා පක්ෂය තුළ ද මෙම පුරෝකථනය කිසිසේත්ම තිබුණේ නැත. එමෙන්ම සමඟි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෝ පොදු පෙරමුණ මෙතරම් තියුණු පරාජයක් කිසි ලෙසකින්වත් පුරෝකථනය කොට තිබුණේද නැත. ජාතික ජන බලවේගය ලැබූ මෙම සුවිශාල ජනවරමත් සමඟ ඔවුන් මත පැටවෙන වගවීම්ද ඉහළ යනු ඇත. හේතුව මෙම විශාල ජයග්‍රහණය පිටුපස වැඩිපුර ප්‍රමාණයක් තිබෙන්නේ පාවෙන ඡන්ද බැවින් ඔවුන්ගේ අපේක්ෂා ඉටුකිරීමට යම් ලෙසකින් අපෝහොසත් වුවහොත් හෝ කල්මරන බව පෙනී ගිය හොත් එම ඡන්දය දුන් ජනතාවම ආණ්ඩුවට එරෙහිව නැඟී සිටීම නොවැළැක්විය හැකි බැවිනි.

ජාතික ජන බලවේගය පැත්තෙන් බැලූ විට මෙම ජයග්‍රහණය අහඹු ලෙස හෝ එක රැයකින් සිදුවූවක් නොවේ. සියලු‍ දෙනා කළ දැඩි කැපකිරීම් සහ ඉතාම සූක්ෂම සැලසුම්කරණය සහ පක්ෂය තුළ පවත්වාගෙන ගිය ගැඹුරු විනය, එකමුතුකම සහ නොපසුබස්නා වීර්යය මෙන්ම අධිෂ්ඨානය මෙම ජයග්‍රහණය පිටුපස තිබුණු ගාමක බලවේගය. ජයග්‍රහණය ලැබීමටත් වඩා එය රැක ගැනීම අතිශයින්ම දුෂ්කර කරුණක් වනු ඇත. එබැවින් ජාතික ජන බලවේගයේ නව විධායක ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් හමුවේ පවත්නා අභියෝග බැලීමට මෙය යෝග්‍යම මොහොත යැයි සිතමි. ජාතික ජන බලවේගයට මෙබඳු සුවිශාල ජනවරමක් ලැබීම හුදු දේශපාලන ඔළු‍ගෙඩි හුවමාරුවකින් තොරව ජනතා අපේක්ෂා රැසක පිළිබිඹුවකි. විශේෂයෙන්ම වංචාව, දූෂණය, රාජ්‍ය සම්පත් අවභාවිතය, අකාර්යක්ෂමතාව තුරන් කිරීම සඳහා ඇති ජනතා අභිප්‍රාය පිළිබිඹු කරන්නකි. එබැවින් ජාතික ජන බලවේගය ගිවිසගත් ලෙසම මෙරට ජාතික ධනය, ජාතික සම්පත්, රාජ්‍ය දේපළ අවභාවිත කළ පිරිස් නීතිය ඉදිරියට පැමිණවීමත්, අපරාධකරුවන්ට දඬුවම් දීමත් ඔවුන් විසින් පැහැර ගන්නා ලද ජනතා බදු මුදල් හෝ ධනය යළි ජනතාව අතට පත්කිරීමත් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රමුඛතම කාර්යයකි. විශේෂයෙන්ම සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශනවලට හෝ දේශපාලන පලිගැනීම් සිදුකරනවා යයි චෝදනා කිරීමට ඉඩක් නොතබා සත්‍ය වශයෙන්ම අයථා ලෙස උපයා ගත් දේපළ අත්පත් කර ගැනීමත් වරදකරුවන්ට දඬුවම් කිරීමත් විනිවිද පෙනෙනසුලු ක්‍රියාමාර්ගයක් ඔස්සේ සිදුවිය යුතුය. පාස්කු දා ප්‍රහාර වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම මෙන්ම පාස්කු දා ප්‍රහාරය වළකා නොගත්, පාස්කුදා ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන් හඳුනාගැනීම ආණ්ඩුව හමුවේ ඇති තවත් අභියෝගයකි. පාස්කුදා ප්‍රහාරය පමණක් නොව පසුගිය දශක කිහිපය තුළ ලංකාව තුළ සිදු වූ මෙතෙක් යටපත් වී ඇති ඝාතන, පැහැරගැනීම්, අස්ථානගත කිරීම් රැසක් සහ මහ බැංකු වංචාව ඇතුළු තවත් දූෂණ වංචා රැසක් අනාවරණය කරමින් වගඋත්තරකරුවන් නීතිය හමුවට රැගෙන ඒමේ වගකීම ආණ්ඩුව සතුව පවතී.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකිරීම මැතිවරණයේදී ජනතාවට දුන් තවත් එක් වැදගත් පොරොන්දුවකි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නම් රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම, රාජ්‍ය නිලධාරීන් අඩු කිරීම, ඔවුන්ගේ ගනුදෙනු අධීක්ෂණය කිරීම ආදි ක්‍රියාමාර්ග රැසකට ආණ්ඩුවට යාමට සිදුවේ. එහිදී ජාතික ජන බලවේගය බලයට පත් කිරීමට දැඩි කැපකිරීමක් කළ රාජ්‍ය සේවකයන් පවා යම් යම් අපහසුතාවලට ලක්වීමට ඉඩ තිබේ. සොරකම, වංචාව යන හුදු මුදල් ප්‍රමාණයක් අයථා ලෙස භාවිත කිරීම පමණක් නොව නිලධාරියකු සතු අත්සනෙහි බලය යොදාගෙන අයථා කටයුතුවලට ඉඩ ලබා දීම, කාලය සොරකම් කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය, නාස්තිය මේ සියල්ල නිවැරදි කිරීමට යාමේදී ඇතැම් රාජ්‍ය ආයතන තුළම පවතින වෘත්තීය සමිති ආණ්ඩුවට එරෙහි වීමට ඉඩ තිබේ. එමෙන්ම ආණ්ඩුව විසින් පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම් ලබාදීමේදී ද යම් යම් වැටුප් විසමතා තවදුරටත් උග්‍ර වීමට සහ ඒ තුළින් වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ඒමේ ඉඩකඩක් තිබේ. එබැවින් ඉතා සූක්ෂම ලෙස සහ මනා කළමනාකරණයකින් යුතුව එබඳු තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවට සිදුවේ. ඇතැම් රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමේ දී එතෙක් ඒවාට සිදුවූ දේශපාලන ඇඟිලිගැසීම් ඉවත් කිරීම සඳහාත් පැවති දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන්ගේ ගජ මිතුරන් රාජ්‍ය ආයතන තුළ ගෙන ගිය පාලනය අවසන් කිරීම සඳහාත් බොහෝ ආයතනවල ඉහළ පෙළේ පුටු රැසක් වෙනස් කිරීමට නව ආණ්ඩුවට සිදුවේ.

ආණ්ඩුවේ අයවැය පවත්වාගෙන යාමේදී අභියෝග කිහිපයකටම මුහුණපානු ඇත. පළමුව අතරමැදි අයවැයක් සහ දෙවනුව 2024 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරනවා යයි ආණ්ඩුව මේ වන විට සඳහන් කොට ඇත. 2024 සඳහා වන අයවැය දෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ඉතා ඕනෑකමින් බලා සිටී. විශේෂයෙන්ම ඔවුන් විසින් දෙන ලද ආදායම් බදු ඉලක්ක සඳහා ආණ්ඩුව කෙසේ ගමන් කරන්නේද යන්න ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වන අතර එය ඊළඟ ණය වාරිකය ලබාදීමට හෝ පමා කිරීමට හෝ තීරක සාධකයක් වනු ඇත. ජාතික ජන බලවේගය විසින් ලබා දෙන ලද මැතිවරණ පොරොන්දුවක් අනුව විශේෂයෙන්ම උපයන විට ගෙවීමේ බද්දේ කිසියම් අඩු කිරීමක්ද යම් යම් භාණ්ඩ මත VAT නිදහස් කිරීමක්ද කළ යුතු බැවින් එහිදී අහිමි වන බදු ආදායම සපයා ගන්නේ කවර මාර්ගවලින්ද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ අවධානයට ලක් වනු ඇත.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ විකුණා දැමීමට තීරණය කළ ඇතැම් රාජ්‍ය ව්‍යවසාය තවදුරට රජය යටතේ පවත්වාගෙන යාමට ජාතික ජන බලවේගය අදහස් කරන බැවින් ඒවායේ අලාභය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවේ. ඒවා තවදුරටත් රාජ්‍ය ආයතන වශයෙන් පවතින්නේ නම් ඒවායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අරමුදල් සපයා ගන්නේ කෙසේදැයි යන කාරණයද ආණ්ඩුවට අභියෝගයක් වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාර්ලයින් සැලකිල්ලට ගතහොත් දැනට පවතින ගුවන්යානාවල තත්වය සහ ප්‍රමාණය මත වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම් හා තරග කිරීමේ හැකියාව අප සතුව පවතින්නේද යන්න විමසා බැලීම වටී. එහිදී සමාගම ලබන පාඩුව අවම කර ලාභ ලබන තත්වයට පත් කිරීමට නම් සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ තරග කළ හැකි ගුවන්යානා සහ උපකරණ පද්ධති අප සතු කරගත යුතුය. ඒ සඳහා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය වේ. එහිදී සමාගම ලබන පාඩුව අවම කර ලාභ ලබන තත්වයට පත් කිරීමට නම් සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ කරට කර තරග කළ හැකි ගුවන්යානා සහ උපකරණ පද්ධති අප සතු කරගත යුතුය. ඒ සඳහා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය වන්නේය.

ජාතික ජන බලවේගය විසින් මෙරට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සකස් කරන ලද සැලැස්මද කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් සඳහා වන සැලසුම්ද පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, පර් යේෂණ සහ සංවර්ධන කටයුතු, බලශක්ති උත්පාදනය ආදි ක්ෂේත්‍ර සියල්ලෙහිම සංවර්ධනය සඳහා සකසන ලද සැලසුම් දිගු කාලීන ඒවා වේ. එහෙත් ජනතාව විශේෂයෙන්ම පාවෙන ඡන්ද ලබාදුන් ජනතාව බලාපොරොත්තු වන්නේ ක්ෂණිකව සිදුවන ආර්ථික පරිවර්තනයකි. එහිදී භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩුවීම, විදුලි බිල අඩුකිරීම, ඉන්ධන මිල අඩු කිරීම වැනි ජන ජීවිතයට ඉතා සංවේදී භාණ්ඩ හා සේවා කෙරෙහි ජනතාව බලාපොරොත්තු තබාගෙන ඇත. එහෙත් ඒවායින් බොහොමයක් භාණ්ඩ හා සේවා මිල ඉල්ලු‍ම් සැපයුම් බලවේග අනුව හැසිරෙන බවත් ආණ්ඩුවට කළ හැකි බලපෑම අල්ප බවත් බහුතර ජනතාව විශ්වාස කරන්නේ නැත. ඉදිරියේදී ඇතිවිය හැකි නියං තත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට ඇති අවදානම අනුව විදුලි බිල අඩු කිරීම ආණ්ඩුවට අභියෝගයක් වනු ඇත. විශේෂයෙන්ම පුනර්ජනනීය ප්‍රභව සැලකියයුතු ප්‍රමාණයක් ස්ථාපිත කරගන්නාතුරු විශේෂයෙන්ම නියං සමයක් එළඹෙන විටදී බලශක්ති සැපයුමෙන් වැඩි කොටසක් ආනයනික ඉන්ධන මත රඳාපවතින බැවිනි. විහිදී ජාතික ජන බලවේගයේ දිගු කාලීන සැලසුම් මත ජනතාව විශ්වාසය තබා සිටිනතාක් ඒවා ක්‍රියාත්මක කිරීමටද ප්‍රතිඵල ලබාදීමටද පහසු වන අතර කෙටි කාලීන අපේක්ෂා වැඩි වන තරමට ආණ්ඩුවේ ක්‍රියාකාරකම් අභියෝගයට ලක්වනු ඇත.

විදේශීය වශයෙන්ද ආණ්ඩුවට මුහුණ දීමට ඇති අභියෝග කිහිපයකි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා බලයට පත්වීම සමඟ මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් කෙරෙහි ඔහුගේ මැදහත්වීම කෙසේ වේදැයි මේ වන විටත් අවිනිශ්චිතය. එම මැදහත්වීම එම යුද ගැටුම් උග්‍ර කරන තත්වයකට ගමන් කරනු ලැබුවහොත් ආකාර කිහිපයකින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ වාසිදායක තත්වය අහිමි වී යාමට ඉඩ තිබේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ අපේක්ෂා කළ ඉදිරි පිම්මට බාධා විය හැකිය. එයින් නොනැවතී ලංකාවේ අපනයන වෙළඳපොළ දුර්වල වීමටද ඛනිජ තෙල් ආනයනයටද ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩු වීමටද මෙම යුද තත්වය අහිතකර බලපෑම් එල්ල කරනු ඇත.

එබැවින් ජාත්‍යන්තර ලෝකයේ සිදුවිය හැකි ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි දේශපාලන හැලහැප්පීම් හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ගිණුම තුලනය කිරීම ආණ්ඩුවට අභියෝගයක් විය හැකිය. කෙසේ නමුත් 2028 වර්ෂය වනතුරු ශ්‍රී ලංකාවට බහු පාර්ශවීය ණය හැරුණු විට සෙසු ණය ආපසු ගෙවීම සඳහා වන පීඩනය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ යටතේ අවම වී ඇති බැවින් මෙම අභියෝගය ජය ගැනීමට පහසු වන සුබවාදී සාධක ද ශ්‍රී ලංකාවේ නැතුවා නොවේ. ජාත්‍යන්තර සබඳතා බොහෝ දුරට ශක්තිමත් වී ඇතත් ආර්ථිකමය වශයෙන් ඒවා සවිමත් කර ගැනීමට ආණ්ඩුව ඉදිරියටත් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම මේ වන විට පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම් බොහොමයක් නාමමාත්‍රිකව පවත්නා අතර ඒවායේ ශුද්ධ ප්‍රතිවිපාකය ශ්‍රී ලංකාවට අවාසියක් ගෙන දී ඇත.

ඒවා ශ්‍රී ලංකාවට වාසිදායක ගිවිසුම් බවට පරිවර්තනය කර ගැනීම සඳහා විදේශ වෙළඳපොළෙන් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට අපගේ නිෂ්පාදන ව්‍යවසාය ජාත්‍යන්තර වෙළඳපොළේ තරග කළ හැකි මට්ටමට ඉහළ නංවා ගැනීම, මේ අභියෝගය ආණ්ඩුව සතුවේ. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ අත්සන් කළ ඇතැම් විදේශ ගිවිසුම්වල අවාසිදායක තත්වය පිළිබඳව යළි සලකා බැලීමට සිදුවන අතර එහිදී ජාත්‍යන්තර සම්බන්ධතා සමඟ ඒවා එකිනෙක ගැටීමේ අවදානමක් ද තිබේ. උදාහරණයක් ලෙස මන්නාරම් ද්‍රෝණියේ සුළං බල ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ලබාදුන් කොන්ත්‍රාත්තුව නිසි ක්‍රමවේදයෙන් තොරව ලබා දී ඇති බැවින් එය නැවත සලකා බැලීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ.

(***)

 



අදහස් (0)

ආණ්ඩුවට භාරදූර වගකීමක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 54 0

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 280 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 781 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක්
2024 නොවැම්බර් මස 16 952 3

මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 752 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


​නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය
2024 නොවැම්බර් මස 15 243 0

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site