මා ඉදිරියේ සිටින සමාධි කඩවසම් තරුණයෙකි. ඔහුද වෙරළේදී බැඳුණු ප්‍රේමකතාවක එක් චරිතයකි.
“අපේ පවුලේ අම්මා - තාත්තා ඇරුණම මට හිටියේ අයියා විතරයි. මම ඕලෙවල් ලිව්වා, ගණන් ෆේල් නිසා ඒලෙවල් කළේ නැතිව ගෙදර නතර වුණා. ජීවත්වන්න අම්මා තාත්තා දරපු දහිරියට මාත් උදව් කළා. ඉස්කෝලේ යද්දී ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබුණා. ගෙදර අඩුපාඩු නිසා ඉස්කෝලේ නොගිහින් ගෙදර නැවතුණා. අම්මා - තාත්තා මොකුත් කීවේ නැහැ.” සමාධි කීවේය.
තාත්තා කරේ මුහුදු රස්සාව. ටවුමේ මුදලාලි කෙනෙකුගේ බෝට්ටුවේ තාත්තා මුහුදු ගියා.
“කුමාරි....” එයාගේ ගෙවල් තිබුණේ අපේ ගේ කිට්ටුවම. එයා පවුලේ එකම දරුවා. එයාගේ තාත්තට අපි කිව්වේ සයිමන් මාමා කියලා. අපේ තාත්තා වගේම එයත් මුහුදු රස්සාව කළේ.
සයිමන් මාමයි අපේ තාත්තයි හොඳ යාළුවෝ. ඒ නිසාම කුමාරිලාගේ පවුලේ අයත් එක්ක අපේ පවුලේ අය ළඟ සම්බන්ධයක් තිබුණා.
කුමාරියි මමයි ඉපදිලා තිබුණේ එකම අවුරුද්දේ එක ළඟ දවස්වල. මායි කුමාරියි ලැබෙන්න ඉන්න කොට අපේ අම්මයි.... කුමාරිලාගේ අම්මයි ක්ලිනික් ගිහින් තියෙන්නේ එකට.
මේ සමීපකම නිසාම වෙන්නැති අපිත් නොදැනුම්වත්වම ප්‍රේම සම්බන්ධයකට හැරුණේ. අපේ අම්මා නිතරම කිව්වේ කුමාරි ගිය ආත්මේ මගේම දරුවෙක් වෙන්නැති කියලා. ඇත්තටම අම්මට දුවෙක් නැති අඩුව හින්දා වෙන්නැති එහෙම කිව්වේ.
අම්මට පපුවේ හතිය තිබුණා. පොළට ගිහින් ගෙදර එන්නේ හුස්ම ගන්න අපහසුවෙන්. අම්මා හුස්ම ගන්න දරන උත්සාහය දිහා බැලුවාම මට දුක හිතෙනවා. ඒ වෙලාවට මම දුවල ගිහින් කුමාරිව එක්කගෙන අපේ ගෙදර එනවා. ඉස්පිරිතාලෙන් ගෙනාපු බේත් ටිකත් හොයලා බොන්න දීලා හංදියේ පාමසියෙන් ගෙනාපු පෝරකොට් එක උරන්න දීලා.... සිද්ධාර්තෙ තෙල් කුප්පිය අරගෙන කුමාරි අම්මගේ පපුවේ ගානවා. “අනේ කුමාරියේ.... උඹ මගේම දරුවෙක් වෙලා ඊළඟ ආත්මේ මගේ බඬේ ඉපදෙන්න ඕනෑ....” අම්මා කුමාරි ගැන එහෙම කියන්නේ පුදුම සෙනෙහසකින්. ප්‍රාර්ථනයකින්. ඒ වෙලාවට මට අම්ම ගැන වගේම කුමාරි ගැන ලොකු අනුකම්පාවක් වගේම දුකකුත් දැනෙනවා.
අම්මගේ පපුවේ මහන්සිය හතිය එන්න එන්න දවසින් දවසම වැඩිවුණා. උදේ ආවම කුමාරි ගෙදර යන්නෙ රෑටත් උයලා තියලා. අම්මාගේ ඩියුටිය කුමාරිට කරන්න වුණේ අම්මා ලෙඩ ඇඳට වැටුණු නිසා. කුමාරිගෙයි මගෙයි සම්බන්ධය ගෙවල්වලට රහසක් වුණේ නැහැ.
දවසක් මම අම්මා ඉන්න කාමරේට යන කොට කුමාරි හිටියේ අම්මගේ ඔළුව අත ගගා. අම්මා කුමාරිගේ එක අතකින් අල්ලගෙන හිටියේ ආපහු අත අරින්න බැහැ කියන ගාණට. අම්මාගේ ගිලා බැහැපු ඇස්වල කඳුළු පිරිලා තිබුණා. කුමාරිත් හිටියේ අඬන්න ඔන්න මෙන්න ගාණට.
අම්ම ළඟින්ම මම වාඩිවුණා. අම්මා කුමාරියි මායි දිහා මාරුවෙන් මාරුවට බැලුවා. මගේ අත අරගෙන ඒ උඩින් කුමාරිගේ අත තියලා අම්මගේ අත්දෙකින් අපේ අත්දෙක තදින් අල්ලා ගත්තා. ඇත්තටම ඒ වෙලාවේ අම්මා ගැන ලොකු බයක් මගේ හිතට ආවා.
“පුතේ..... මම අදද... හෙටද දන්නේ නැහැ. මේ දරුවා කවදාවත්ම තනි කරන්න එපා මගේ දෙයියෝ.... උඹලා කසාද බඳිනවා කියලා මට පොරොන්දු වෙන්න ඕනෑ..... උඹලා දෙන්න එකතු වෙලා මේ නරාවලෙන් ගොඩට වරෙල්ලා....” අම්මා කීවේ බිඳුණු කටහඬකින්. අම්මාගේ ඇස්දෙකේ වගේම කටහඬෙත් ආයාචනාත්මක බවක් තිබුණා. අම්මගේ ඒ ආසාව ඉටුකරන්න අපි දෙන්නම අම්මා ඉස්සරහ පොරොන්දු වුණා. “දෙයියනේ කියලා.... බය නැතිව මට දැන් ඇස්දෙක පියාගන්න පුළුවන්....” කියලා. අම්මා කීවේ සතුටු කඳුළු අතරින්.
කාමරෙන් එළියට එනකොට අපි දෙන්නගෙම ඇස්වල කඳුළු පිරිලා. අපි දෙන්න කුස්සිය පැත්තට ගියේ දවල්ට මොනව හරි උයන්න. මම කුමාරිගේ පස්සෙන් කුස්සියට ගියා. කුස්සියේ දොර ළඟට ගිහින් එයා ආපහු හැරුණා. එයා දැක්කා මගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා කියලා. එයා මගේ ළඟට ඇවිත් මගේ පපුවට ඔළුව තියාගෙන අඬන්න ගත්තා. එයාගේ ඇස්වලින් පිටවුන කඳුළුවලින් මගේ පපුව තෙත් වුණා. හුඟවෙලාවක් යනකම්ම අපි දෙන්න ඇඬුවේ හිතේ තිබුණ දුක නැතිකරගන්න.
ඊට පස්සේ කුමාරි කිව්වා “අයියේ මගේ හිතට ලොකු බයක් දැනෙනවා.....” කියලා.
“ඒක කොහොමද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ....” කියලා.
“බයවෙන්න එපා මොන ප්‍රශ්න ආවත් මම ඔයා තනිකරන්නේ නැහැ....” කියලා මම කුමාරිට පොරොන්දු වුණේ එයාගේ හිතේ බය නැති කරන්න.
ටික දවසක් යද්දී එක දවසක් හැන්දෑවේ අම්මාට ගොඩක් අමාරුවුණා. ටවුමේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගෙනියපු අම්මා ළඟ රෑ එළිවෙනකම් හිටියේ කුමාරි. තුන් වැනි දවසේ අම්මගේ ටිකට් කපලා නිසා ගෙදර එක්කගෙන ගියා.... ඒත් ......” කියමින් සමාධි නිහඬවූයේ හැඟුම්බර වෙමිනි.
අම්මා ගෙදර ගෙනැත් සතියක් යනකොට එයා අපිව දාලා යන්නම ගියා... කොච්චර ඇඬුවත් එයා ආපහු එන්නේ නැහැ කියලා දන්නවා. කොළඹ සිකුයුරිටි රස්සාව කරපු අයියා පහුවදා ගෙදර ඇවිත් අම්මගේ අවසන් කටයුතු කළේ තාත්තා කෙනෙක් වගේ.
අම්මාගේ හත් දවසේ දානේ දීලා ටික දවසකට පස්සේ මම ටවුමේ කඩයක වැඩට ගියේ කීයක් හරි හොයා ගන්න වගේම හිතේ තිබුණ දුක තුනී කරගන්න.
අපේ අම්ම නැති වුණ දවසේ ඉඳලා තාත්තා බොන එක ටිකින් ටික වැඩි කළා. තාත්තා කුමාරිලාගේ ගෙදර ගිහින් සයිමන් මාමා එක්ක කරටි කැඩෙන්න ගහනවා. තාත්තා ගෙදර එන්නේ කන සාක්කුවේ දාගෙන වගේ.
කුමාරිගේ අම්මා හරිම ලස්සනයි. සුදුයි. රතුයි.... හරියට පිනිජම්බු ගෙඩියක් වගේ...... අපි කිව්වේ සුදු නැන්දා කියලා... හැබැයි එයාට ගමේ අය කිව්වේ සුද්දි කියලා.
කුමාරිගේ අම්මා රට ගිහින් ආපු දවසේ ඉඳලම සයිමන් මාමා රෑට ගෝරි කියලා කුමාරි මට නිතරම කිව්වා.... තාත්තා බීලා ගෙදර පිටත් වුණාට පස්සේ සයිමන් මාමා සුද්දි නැන්ද එක්ක ගෝරිය පටලව ගන්නේ බලහත්කාරයෙන් වගේ... ඒ ගෝරිය අන්තිමට ඉවරවෙන්නේ ගුටි කෙළියකින්.
සයිමන් මාමා බීමට ඇබ්බැහි වුණා. කොච්චර ද කියනවා නම් ගෙදර වියදමට සල්ලි දුන්නේ අඩුවෙන්. ගෙදර අගහිඟකම් ගෙට රිංගුවේ කුස්සියේ පිටිපස්ස දොරෙන්. ඒ නිසාම තමයි කුමාරි ගාමන්ට් රස්සාවට යන්න තීරණය කළේ. ගාමන්ට් එකේ සමහර දවස්වල නයිට් ඩියුටි වැටුණා. කුමාරි නයිට් ඩියුටි වැටුණ ඒ වගේ කාලකන්නි මූසල දවසක තමයි මේ සිද්ධිය වුණේ....” සමාධි යළි දැහැන්ගත වූවේය.
එදා තාත්තා මුහුදු රස්සාවට ගියේ නැහැ. ඇඳයට තිබිලා ඇදලා ගත්තු බෝතලේ භාගයක් හිස්කරලා කුස්සියට ගිහින් උම්බලකඩ කෑල්ලක් හප හපා ලූණුගෙඩියකුත් හප හපා තාත්තා ගෙදරින් පිටවුණේ රෑ අටට විතර....” “මම එන්න අද ටිකක් රෑ වේවි... උඹ නිදාගනින්.....” කියලා තාත්තා ආපහු හැරිල කිව්වා.
ගෙදරින් පිටවෙලා තාත්තා එදා කෙළින්ම ගිහිල්ල තියෙන්නේ කුමාරිලාගෙ ගෙදරට. එදා සයිමන් මාමා හවස ගෙදරින් ගිහින් තියෙන්නේ රෑ මුහුදු යන්න. සුද්දි නැන්දා විතරයි එදා රෑ ගෙදර ඉඳලා තියෙන්නේ.
එදා රෑ 12ට විතරය “සුද්දි සුද්දියේ.. දොර ඇරපන්.......” සයිමන් මාමාගේ කෑගැහිල්ලට සුද්දි නැන්දා ඇහැරිලා තියෙන්නේ උඩබිම ගිහින්. සුද්දි නැන්දා බලනකොට තාත්තා ගොරව ගොරව හොඳ නින්දක.... සුද්දි නැන්දා බයේ වෙව්ල වෙව්ල දොර නෑර ඉන්නකොට සයිමන් මාමා දොරට කීපපාරක් පයින් ගහලා දොර කඩාගෙන ගෙට ඇතුල්වෙලා. දැකපු දෙයින් මාරාවේශ වෙලා. ඇඳ අයිනේ බිත්තියට හේත්තු කරලා තිබුණ පොල්ලක් අරං ඇඳේ නිදාගෙන හිටපු තාත්තට උස්සන කොට “මිනී මරන්න එපෝ...” කියල සුද්දි නැන්දා මරළතෝනි තියලා.... “මේ තිරිසනා ඉවරයක් කරලා තෝත් අද බාවනවා” කියලා සයිමන් මාමා වියරුවෙන් වගේ කෑගහලා සුදු නැන්දට ගහපු පොලුපාරෙන් බේරිලා තියෙන්නේ අනූනවයෙන්.
කුස්සිය පැත්තේ දොරෙන් එළියට පැනපු සුදු නැන්දා කළුවරේම වැල්ල දිගේ දුවගෙන ආවේ අපේ ගෙදරට. “බුදු පුතේ.... ඉක්මනට දොර ඇරපන් මයෙ පුතේ.... මෙන්න මිනී මරනවෝ....” කියලා අපේ දොරට ගගහ කෑගහනකොට තමයි මට ඇහැ ඇරුණේ. මම ඇඳෙන් පැනලා වගේ ගිහින් දොර අරිනකොට සුද්දි නැන්දා හිටියේ ඇඟේ නූල්පටක්වත් නැතිව.
“මගේ මිනිහ උඹලාගේ තාත්තා මරන්න හදනවා. ඉක්මනට ගිහින් තාත්තා බේරගනින් පුතේ.” කියමින් නැන්දා ගෙට ඇතුළු වුණේ මායම් වෙලා වගේ... මට මොකුත් හිතාගන්න බැරිව එක හුස්මට කුමාරිලාගේ ගේ පැත්තට දිව්වා.
මම කුමාරිලාගේ ගෙදර දොරෙන් ඇතුළු වෙනකොට අපේ තාත්තා කාමරේ ඇඳ ළග ලේ විලක දඟලනවා. මාළු කපන මන්නය අතේ තියාගෙන ඉඳපු සයිමන් මාමා “එකෙක් ළංවෙන්න එපා තොපි ඔක්කොම අද ඉවර කරනවා” කියාගෙන පිටිපස්සේ දොරෙන් පැනලා දිව්වා...
ලේ විලක හිටපු තාත්තාගේ ඇඟේ නූල්පටක්වත් තිබුණේ නැහැ. හරියට මාළු කපන මාළු ලෑල්ල වගේ... කාමරේ බිම ලේ දෝරේ ගලලා තිබුණේ. අල්ලපු ගමන් ගොඩට ගෙනැත් කපපු ලොකු මාළුවෙකු වගේ....
තාත්තේ..... මගේ..... මට කෑගැසුණා. මගේ ඇස් නිලංකාර වෙනවා වගේ දැනුණා. මට සිහිය එනකොට තාත්තා ඉස්පිරිතාලෙට අරගෙන ගිහින්. මම ගමේ කීපදෙනෙක් එක්ක වීල් එකේ ඉස්පිරිතාලෙට ගියේ... කිසිවක් හිතාගන්න බැරිව. මම ඕ.පී.ඩී. එක ළඟ ට්‍රොලිය ළඟට ගිහින් ලේ ගෑවිච්ච සුදු රෙද්ද අයින් කරලා බැලුවා.... -තාත්තේ....” මට මහහයියෙන් ඇඬුණා. සිකුයුරිටි රස්සාව කරපු අයියා කොළඹ ඉඳලා එළිවෙන කොට ගෙදර ඇවිත් තාත්තගේ මරණේ වැඩ කරගහලා කළා.
තාත්තාගේ හත් දවසේ හීල් දානෙ පන්සලට ගෙනහින් දුන්නා.... දානේ පිළිඅරගෙන ලොකු හාමුදුරුවෝ අයියගෙයි මගෙයි හිත හදන්න බණත් කීවා.... ඒත් අයියාගේ ඇස්දෙක කෝපයෙන් දිලිසුණා..... සංසාරේ හැටි ඔහොම තමයි... කරුමෙ වළක්වන්න කාටවත් බැහැ... පෙර කුසල් අකුසල් අනුව තමයි හැමදේම වෙන්නේ... ලොකු හාමුදුරුවන්ගේ බණ මගේ හිතේ දෝංකාර දුන්නා.
පන්සලෙන් එළියට එනකොට අයියා කියපු කථාවට මම ගැස්සිලා ගියා.....
“අරකි එක්ක සම්බන්දෙ නවත්තපන් නැත්නම් මම නරක මිනිහා කියන්න එපා තේරුණාද....?” අයියා මට කිව්වේ තර්ජනාත්මකව. මම මොකුත් නොකියා අයියා එක්ක ගෙදර ආවා. එදායින් පස්සේ අයියා වැඩට ගියේ නැහැ. ආපසු මම කඬේ රස්සාවට ගියා. මේ අතරේ කුමාරි මටවත් මම කුමාරිටත් කතා කළේවත් මුණගැහුණේවත් නැහැ. සමහරවිට බය නිසා කුමාරි මට මුහුණ දෙන්න නැතිව ඇති. කුමාරිට වගේම එයාගේ මූණ බලන්න මටත් උවමනාවක් තිබුණේ නැහැ. වෙච්ච දේ අපිට හිතාගන්නත් බැහැ.
දවසක් මම කඬේ ඉඳලා රෑට කන්න කොත්තුවකුත් ඔතාගෙන ගෙදර එද්දී සුද්දි නැන්දා මගදි මුණ ගැහුණා. නැන්දාගේ මූණ බලන්න හයියක් මට තිබුණේ නැහැ වගේම මගේ මූණ බලන්න හයියක් නැන්දට තිබුණේ නැහැ.
එකපාරටම කුමාරිගේ අම්මා මගේ කකුල් දෙක ළඟ වැටිලා මට සමාවෙන්න පුතේ කියලා අඬන්න ගත්තා... මම නැන්දාව නැගිට්ටුවා ගත්තේ අමාරුවෙන්. “මම නිසයි මේ ඔක්කොම වුණේ.... සමාවෙයන් මගෙ පුතේ..” කියලා නැන්දා මගෙන් සමාව ඉල්ලුවා. මම කුමාරි ගැන නැන්දගෙන් ඇහුවා... එදා ඉඳලා කෙල්ල රස්සාවට යනවා තියා හරියට කන්නෙ බොන්නේ නැහැ. ඒකි දැන් ඇවිදින ඇටසැකිල්ලක් වගේ. වෙලාවකට මට හිස හැරිච්ච අතේ යන්න හිතෙනවා. ඒත් මේ කෙල්ල දාලා මම යන්නේ කොහොමද කියලා හිතට එනකොට මම හරි අසරණ වෙනවා මගේ පුතේ....” කියමින් සුදු නැන්දා හඬන්නට වූයේ දැඩි පසුතැවිල්ලෙනි.
සුද්දි නැන්දා හැට්ට අස්සේ ගහගෙන තිබුණ දෙකට නවපු ලියුම් කවරයක් මට දුන්නා. මම ඒකත් අරගෙන මොකුත්ම නොකියා ගෙදර ආවේ.... පාළු ගුහාවකට ඇතුල්වෙනවා වගේ හැඟීමකින්.
මම ඇඳ විට්ටමට කොට්ට දෙකක් දාගෙන හාන්සිවෙලා ලියුම් කවරේ ඉරලා පිටු දහයක් විතර කුමාරි ලියපු ලියුම එක හුස්මට කියවගෙන ගියා.... එයා හැම පිටුවකම ලියලා තිබුණේ පුළුවන්නම් අපිට සමාව දෙන්න අයියේ කියලා.... කවදාවත් වෙන කෙනෙක් එයා කසාද බඳින්නේ නැහැ කියලා දිවුරලා ලියලා තිබුණා. මාව මැරෙනකම්ම බලාගන්න ඉඩදෙන්න කියලා එයා මගෙන් ඉල්ලලා තිබුණා.
ටික දවසකට පස්සේ ආරංචි වුණා සයිමන් මාමා පොලිසියට බාරවුණා කියලා. මාස දෙක තුනකට පස්සේ තාත්තා මරපු නඩුවට සාක්කි දෙන්න උසාවි යන්න මට සිද්ධ වුණා. මාත් එක්ක හැම නඩුවාරයකම අයියත් තනියට ගියා. ඒත් හැම දවසකම කුමාරි උසාවි ආවේ තනියම. සුදු ගවුමක් ඇඳලා හිටපු කුමාරි සුදුමැලි වෙලා හිටියා. එයාගේ මාර අසරණකමක් තිබුණ වගේම එයාගේ තාත්ත බේරාදෙන්න කියලා ඉල්ලනවා වගේ ආයාචනාත්මක පෙනුමක් තිබුණා.
කොහොම හරි අවුරුදු කීපයකට පස්සේ දවසක තාත්තා මරපු නඩුවේ තීන්දුව දුන්නා. ප්‍රමාණවත් සාක්කි නැතිකමින් සයිමන් මාමා නිදහස් වෙලා එළියට ආවා. උසාවියේදී මගේ ඉස්සරහට ආපු සයිමන් මාමා මගේ දිහා බැලුවේ සමාව ඉල්ලනවා වගේ.
එදා හවස ටවුමේදී සුදු නැන්දා මාව මුණගැහිලා කුමාරි දීපු ලියුමත් මට දීලා කිව්වේ “උඹට පිංසිද්ධ වෙනවා මගේ දරුවෝ කියලා...” වෙච්ච වැරැද්දට සුදු නැන්දා ඇති තරම් පසුතැවිලි වෙනවා කියලා මට හිතුණා....
සයිමන් මාමා නිදහස් වෙලා ගෙදරට ඇවිත් පහුවදා රෑ කොළඹ රස්සාව කරපු අයියා ගෙදර ආවේ ඉර බැහැගෙන යන වෙලාවේ.... අයියා ආවේ හොඳටම බීලා.... “තොගේ මාමණ්ඩියට හොඳ පාඩමක් ළඟදීම උගන්වනවා. පර...” අයියා කෝපයෙන් කෑ ගැසුවා. නීතියෙන් නිදහස් වුණාට ඌට දෙන්න ඕනෑ දඬුවම දෙනවා. මතක තියාගනින් මැරිච්ච ඒ තාත්තාගේ නියම පුතා... මේ මම... තොපි කොන්දක් නැති ගෑනු දැකලා නැති නිවට හිඟන්නෝ.....
යකෝ.....” අයියා ගේ ඇතුළෙ එහෙ මෙහෙ යමින් කිව්වේ කෝපය පාලනය කරගන්න බැරිව. අනික මම මොකුත් නොකීවේ අයියා බීලා හොඳටම අසිහියෙන් හිටපු නිසා.
ටික වෙලාවක් කෑගහ ගහ හිටපු අයියා කිසි ශබ්දයක් නැතිව ගෙයින් පිටවෙන කොටම බිත්තියක අයිනේ ගොදුරකට කුරුමානම් අල්ලලා හිටපු හූනෙක් “චික් චික්” ගාලා ඇඬුවා. ඔය ගමන බාධයි යන්න එපා අයියේ කියන්න මට හිතුණත් අයියා හිටි තත්ත්වය නිසා මොකුත් නොකියා ඇඳ උඩට වෙලා වහල දිහා බලාගෙන කල්පනා කර කර හිටියා.
අයියා ගිහින් ටික වෙලාවකට පස්සේ වෙඩිසද්ද තුන හතරක් ඇහුණා. මට හිතුණා හරි කුමාරිලාගේ ගෙදර පැත්තෙන් විලාප දෙනවා ඇහුණා. මම එක හුස්මට කුමාරිලාගේ ගෙදරට දිව්වා.
බත් කාල පුටුවේ වාඩිවෙලා හිටපු සයිමන් මාමාගේ ඔළුවටම අයියා පිස්තෝලයකින් වෙඩි තියලා. මම යනකොටත් අයියා ගේ ඉස්සරහ කෑ ගහනවා. බයටම කවුරුත් අයියා ළඟට ළංවුණේ නැහැ. අයියා කෑගහලා කිව්වා මැරිච්ච තාත්තා වෙනුවෙන් යුතුකම එයා කළා කියලා. පොලිසියට බාර වෙනවා කියලා එයා පිටවෙලා ගියා.
මම කුමාරිගේ තාත්තා පාරේ ආපු වාහනයක් නවත්වගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. තියටර් එකට ගන්නකොටම සයිමන් මාමා මැරුණා. සුදු නැන්දාගේ විලාපයෙන් මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වුණා. ඊට පස්සේ සුදු නැන්දාගේ නෑදෑයෝ ටික ඉස්පිරිතාලෙට දුවගෙන ආවා. ඒ අය මම දිහා බැලුවේ හරියට සයිමන් මාමා මැරුවේ මම වගේ හිතලා... “පුතා ඉක්මනට ගෙදර ගිහින් දොර වහගන්න...” කියලා සුදු නැන්දා බලෙන්ම ත්‍රීවිල් එකක නග්ගලා මාව ගෙදර එව්වා.
එදා රෑ එළිවෙනකම් මට නින්ද ගියේ නැහැ. ලොකු බයක් දැනුණා. මටත් කරදරයක් වේවිද කියලා සමාධි කීවේ ගැහෙන හදිනි.
පහුවදා උදේම පොලිසියෙන් ඇවිත් මගෙන් කටඋත්තරයක් ගත්තා. අයියා බාර වුණා කියල පොලිසියෙන් මට කිව්වා. අද හවස උසාවි දානව කියලත් කිව්වා. අයියා සයිමන් මාමට වෙඩි තියපු පිස්තෝලේ පොලිසියට බාරදීලා පාපොච්චාරණයක් කරලා තිබුණා. නඩුව දිගට ගියා. ගමේ අය අයියට විරුද්ධව සාක්කි දීලා තිබුණා. අන්තිමට තීන්දුව ලැබුණා. අයියට මරණ දඬුවම හිමිවුණා. ගේ ඇතුළේ මං තනිවුණා.
ඊට පස්සේ කඬේ රස්සාවට ගියේ නොගිහින් බැරි නිසා. දස අතේ කල්පනා කරලා මාව අසනීප වුණා. සුදු නැන්දා මාව බලන්න ගෙදර ආවා. එතකොට මට ඇඳෙන් නැගිටින්න බැරි ගාණට මුළු ඇඟම රිදෙනවා. සුදු නැන්දා මාව ටවුමට එක්කගෙන ගිහින් ෆාමසිය ළඟ දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් අරන් දුන්නා. දවස් තුනක් යද්දී සුව අතට හැරුණා. මම කුමාරි ගැන සුදු නැන්දාගෙන් ඇහුවා. කුමාරි ගාමන්ට් රස්සාවට නොයන බවත් ඇයත් ලෙඩවෙලා කියලා කිව්වම මට ලොකු දුකක් ඇතිවුණා. “මට කුමාරි දකින්න ආසයි... නැන්දෙ කියලා” මට කියවුණා.
අම්මට අපි දෙන්න වුණ පොරොන්දුව මගේ හිතේ දෝංකාර දෙන්න ගත්තා. මම හිතාගත්තා කුමාරිලාගේ ගෙදර යන්න. ඒත් මිනිස්සු මොනවා හිතයිද කියලා බයක් මට තිබුණා. කොටින්ම සුදු නැන්දත් අපේ ගෙදරට ගොඩ වුණේ අහල පහල අයට පෙනෙන්න නෙවි.
පහුවදා උදේ මම නැගිටින කොට ටිකක් දවල් වෙලා. කුමාරි එදා අම්මත් එක්ක අපේ ගෙදර ඇවිත් තිබුණෙ නොදන්න ගෙදරකට එන ගාණට.
කුමාරි දැක්කම මගේ හිත මාව අතීතයේ ඉඳල වර්තමානය දක්වා අරගෙන ආවා. අනාගතය ගැන මට සිහි වුණා. ලෙඩ ඇඳේ ඉඳපු අම්මට වෙච්ච පොරොන්දුව මට සිහි වුණා. කුමාරිගෙන් මම ඇහුවා අම්මට වුණ පොරොන්දුව මතකද කියලා. එයා ඔව් කියන්න වගේ ඔළුව වැනුවා. කුමාරි ඇවිත් මගේ කකුල් දෙක උඩ නළල තියලා මට වැන්දා.... මම කුමාරිව නැගිට්වගෙන තදින් වැලඳගත්තා. ඒක දැකපු කුමාරිගේ අම්මත් අඬන්න ගත්තා... එයා අපි දෙන්න ළඟට ඇවිත් අපි දෙන්න බදාගෙන ඇති තරම් ඇඬුවා.
දවල්ට බත් උයලා කාලා අපි ගොඩක් වෙලා කතාකර කර හිටියා.
“මිනී දෙකක් මැරුණු ඒ මූසල ගෙදරට මට යන්න හිතෙන්නේ නැහැ කියලා සුදු නැන්දා මට කිව්වා. “ඔව් අම්මේ.........” කියලා කුමාරිත් ඒ කතාව සනාථ කළා.
“මම කිව්වා දෙන්නාම අපේ ගෙදර නවතින්න කියලා....” කුමාරි ඒකට ටිකක් අදිමදි කළා. එතකොට සුදු නැන්දා කිව්වා “කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ටික ටික හරි තියනවනේ.... රට්ටු මොනව කීවත් වැඩක් නැහැ....” කියලා. එදා රෑම අපි තුන්දෙනා ගිහින් ඒ ගෙදර තිබුණ රෙදි ටිකයි බඩු ටිකයි අරගෙන ආවා.
පහුවදා ඉර උදා වුණේ අලුත් දවසකට. මගේ ජීවිතෙත් අලුත් දවසක් අද ඉඳලා උදා වුණා කියලා මට හිතුණා.... කුමාරි පිටිපස්සේ මැස්සේ තිබුණ වළං හෝද හෝද හිටියේ.... මම එතනට ගියාම කුමාරිගේ අම්මා කීවා.... “මනමාළියෙක් අලුත ගෙනාවම හෝදපු වළං ආපහු හෝදනවා කියලා....” ඒ කථාවට අපි තුන්දෙනා හොඳටම හිනහ වුණා. නීතියෙන් බැඳිලා නොහිටියත් අපි දෙන්න හදවතින් බැඳිලා හිටියේ..”
අවසර ලැබුණ මුල් දිනයේම මම අයියා බලන්න හිරගෙදරට ගියා.... අයියා එදා කතා කළේ සාන්තුවරයෙක් වගේ.... “දැන් වෙන්න ඕනෑ ඒවා ඔක්කොම වෙලා ඉවරයි. කේන්තිය පාලනය කරගන්න බැරි නිසයි මේ ඔක්කොම දේ වුණේ..... එහෙම කරන්න පුළුවන් වුණා නම් මේ ඇතුළේ ඉන්න ගොඩාක් අය අද ඉන්නේ එළියේ.... නිදහසේ....
ගිය දේවල් ආපහු ගන්න දැන් බැහැ.... උඹ කුමාරි බැඳලා සුදු නැන්දත් ගෙදර ඉන්දගෙන හොඳින් ඉඳපන්.....
මම වගේ මරණ දඬුවම නියම වෙච්ච අය මෙහේ ඉන්නවා. මෙහේ වැරදි කරපු හැමෝම ඉන්නේ කරපු වැරදි ගැන පසුතැවිල්ලෙන්.... දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. පෙරහැර ගිහින් ඉවරයි... විවිධ හේතු උඩ අපේ මිනිස්සු ගහමරා ගන්නවා. ඒත් හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතිය නිදහස තිබිය යුතුයි. දෙන දඬුවම කරපු වරදට සමාන නොවිය යුතුයි....” අයියා කීවේ නීතිය පිළිබඳ ගැඹුරින් හදාරා ඇති අයකු වගෙයි.
“එහෙම වුණොත් අපි කරන පළිගැනීමටම එම දඬුවම සමාන වෙනවා.... බළල් පැටියෙක් තියා බයිසිකල් ටයර් එකට පුංචි සතකු යටවුණොත් කොච්චර හිතන් දුක් විඳිනවද? එහෙම එකේ මිනිහෙක් මරලා ජීවත් වෙලා වැඩක් නැහැ. ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඕනෑ ඉවසන එකම විතරයි. එහෙම වුණා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස්... මිනිහෙක් මරපු මිනිහෙක් දවස ගානේ හැම තප්පරයකම මැරි මැරී උපදිනවා. ඒකෙ රඟේ තේරෙන්න මේ වගේ තැනකටම එන්න ඕනෑ.
මම වෙනුවෙන් එක දෙයක් කරපන්.... උඹලා තුන්දෙනාම පන්සලට ගිහින් මම වෙනුවෙන් අටපිරිකරක් ලොකු හාමුදුරුවන්ට පූජා කරපන්...” කී අයියා මගෙන් සමුගැනීමට සූදානම් වූ විට කෙසෙල් කොළයක ඔතාතිබූ බත්මුල දුන්නේ එය කුමාරි හා සුදුනැන්දා උදේ රැයින් නැගිට හදාදුන් එකක් බව කියමිනි....
“සුදු නැන්දා හදපු කෑම අපේ අම්ම උයනවා වගේම රසයි....” කියමින් අයියා බත්මුලද රැගෙන මගෙන් සමුගත්තේ කඳුළු පිරි දෑසින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදරයක් සහ පළිගැනීමක්
අජන්ත Thursday, 26 January 2017 05:48 PM
වෛරයෙන් වෛරය නොසන්සිඳේ! (නි)
අරෝශි Friday, 27 January 2017 10:42 AM
කියවන්න හොද කතවක් , ජිවිතයට ගතහැකි ආදර්ශ බොහොමය්න්ගෙන් ඉවසිම නමැති ප්‍රදානම කරුණ සරලවම දැනේනම සාරාංශ කොටගත් ඉතාමත් වටිනා ලිපියක් (හේ)
දිනුක Saturday, 28 January 2017 04:38 AM
නියමයි. කියවන්න හොඳ කතවක් (නි)
කිත්සිරි Thursday, 26 January 2017 06:57 AM
හොඳ කතාවක්. නියමයි (නි)
මහේෂ් Thursday, 26 January 2017 11:48 AM
පිස්සු හැදෙන කතාවක් මේක නම්