සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හාල් මිල ඉහළ යාම හේතුවෙනි. හාල්පොත මුලින්ම හඳුන්වා දී තිබුණේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුව එවකට පැවති යටත් විජිත රජයයි.
ඉන්පසුව පනස් ගණන්වල මුල් භාගයේ සිට 1977 හාල් පොත අහෝසි කරන තුරු දේශපාලන පෙරැළි රාශියකට මුල්වූයේ හෝ ආසන්නතම හේතුව වූයේ හාල්පොත ඔස්සේ දෙන ලද සහල් සහනාධාරයයි. සහල් මිල වැඩි කිරීමට විරෝධය පා එවකට පැවති එ.ජා.ප. රජයේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සේනානායක මහතා 1952 සැප්තැම්බර් 03 වැනිදා ඉල්ලා අස්වූයේය.
1952 දක්වා හාල්පොතට, සහනාධාර වශයෙන් එක් අයකුට ශත විසිපහ ගණනේ සේරු එකක් නිකුත් කොට තිබිණි. 1953 දී ජූලි මාසයේදී සහනාධාරය ඉවත්කොට, සේරුවක් ශත හැත්තෑව දක්වා වැඩි කරන ලදී. එම වැඩි කළ මුදලට එක් අයකුට සේරු 1½ බැගින් හාල් පොතට නිකුත් කිරීමට තීරණය විය. 1953 එවකට මුදල් අමාත්‍යධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළ අයවැයෙන් මේ සමඟ තැපැල් ගාස්තුද වැඩිකරන ලදී. 1953 හර්තාලයට ආසන්නතම හේතුව වූයේ හාල්පොතේ සහනාධාරය මූලික කරගත් සහනාධාර ඉවත් කිරීමයි. 1953 අගෝස්තු 12 වැනිදා මහා හර්තාලයේදී පොලිස් හා හමුදා වෙඩි පහරින් දොළොස් දෙනෙකු මිය යෑමෙන් අනතුරුව, 1953 ඔක්තෝබර් 12 වැනිදා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වී අගමැති තනතුරට සර් ජෝන් කොතලාවල මහතා පත්වූයේය. හර්තාලයේ ප්‍රතිඵලයක් ලෙස 1953 ඔක්තෝබර් මාසයේ නැවත සේරුවක මිල ශත 55 දක්වා අඩු කෙරිණි.
හාල් පොතට එක් අයකුට එම මිලට සේරු 1 ක් ගත හැකිවිය. හාල්පොතේ සහල් සලාකය පිළිබඳ මීළඟ අර්බුදය මතුවූයේ 1966 දීය. එවකට අප වැඩිහරියක් සහල් ආනයනය කළේ බුරුමයෙනි. 1966 දෙසැම්බර් වනවිට බුරුමයේ අස්වැන්න පහත වැටීම නිසා නියමකර ගෙන තිබූ පරිදි බුරුමයෙන් අපට සහල් මිලදී ගන්නට නොහැකි වූයේය. ආසියාකරයේ සහල් පරිභෝජනය කරන රටවලින් සහල් සඳහා ඇති ඉල්ලුමද ඒ සමඟ වැඩි විය. වැඩිහරියක් සහල් නිෂ්පාදනය කොට පිටරට යැවූයේ එම රටවල්මය. එම රටවල් ඇතුළත සහල් සැපයුම වැඩිකොට අපනයනය අඩු කළේ උද්ධමනයට පිළියමක් වශයෙනි. අවසාන ප්‍රතිඵලය වූයේ අපට අඩු මිලට ගන්නට ප්‍රමාණවත් සහල් තොග විදේශීය සහල් වෙළෙඳපොළේ නොමැති වීමයි. ඒ වනවිට රජය අතුරු මැතිවරණ 3ක්ම පැරදී සිටිය බව වාර්තාවල සඳහන්ය. ආණ්ඩු විරෝධය දස අතින් නැගෙන්නට විය.
සහල් ගැටලුව මෙරට ඉතිහාසය තුළ දේශපාලන පෙරැළි ඇති කිරීමට පවා සමත් වූ අර්බුධයක් විය. 2024 වර්ෂයේ අග භාගයේදීත් නැවත එම ගැටලුවම උද්ගත වී තිබේ. එනම් රට තුළ සහල් හිඟයක් පවතී. එක හාල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවට දුන් මැතිවරණ පොරොන්දුව කඩ කිරීමට රජයට සිදුව තිබේ. ඒ සහල් හිඟය හේතුවෙනි. එයට විසඳුමක් ලෙස පිටරටින් සහල් ආනයනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේ දී ය. කෙසේ වෙතත් මෙතෙක් වෙළඳපොළේ සහල් හිඟය අවසන් වී නොමැති අතර සහල් මිල ද පාලනයකින් තොරව ඉහළ යමින් තිබේ. තිබෙන සහල් තොග රජය නිකුත් කර තිබෙන පාලන මිලට විකිණිය නොහැක. නාඩු සහල් කිලෝවක් රුපියල් 230ටත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 22ටත්, සම්බා කිලෝවක් රුපියල් 240ටත් අලෙවි කළ යුතු බවට රජය මගින් ප්‍රකාශ කළ ද එම සහල් වෙළෙඳසල්වලට රුපියල් 240-245 ක් අතර මිලකට තොග වෙළෙන්දන් බෙදාහරින බවට සිල්ලර වෙළෙඳසල් හිමියෝ පවසති.
සහල් හිඟය හේතුවෙන් පාරිභෝගිකයන්ද, පාලන මිල හේතුවෙන් තොග සිල්ලර වෙළෙඳුන්ද මෙලෙස අර්බුදයට මුහුණ දෙද්දී සහල් ආනයනකරුවන්ටද විශාල ගැටලුවකට මුහුණදීමට සිදු වී තිබේ. සහල් ආනයන සඳහා දෙසැම්බර් 20 දක්වා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට රජයෙන් අවසර ලබා දීමත් සමග පෞද්ගලික ආනයනකරුවන් ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සිදු කරන ලදී. ආනයනය කරන ලද පළමු සහල් තොගය පසුගිය 11 වනදා රේගුව මගින් නිදහස් කරන ලදී. ආනයනික බහලුම් 17 සහල් මෙට්‍රික් ටොන් 440ක් පමණ ආනයනය කර ඇති අතර එයින් මෙට්‍රික් ටොන් 130 ක් කැකුළු සහල් ද, මෙට්‍රික් ටොන් 300 ක් තම්බපු සහල් ද වේ. සහල් ආනයනය කළද එම සහල් තොග වරායෙන් නිදහස් කර ගැනීමේදී ආනයනකරුවෝ මහත් වූ අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දී සිටිති. එනම් ආනයන කිරීමේදී ඉන්දියාවෙන් පුන්නි සම්බා මිලදී ගනු ලබන්නේ හාල් කිලෝවක් රුපියල් 150 ක මුදලකටය. එම මුදලට නැව් ගාස්තු රුපියල් 5 ක් ද තීරු බදු රුපියල් 65 ක මුදලක් ද එකතු වේ. එවිට පුන්නි සම්බා කිලෝ එකක් සඳහා පිරිවැය රුපියල් 220 ක් වේ. කැකුලු කිලෝවක් රුපියල් 215 ක්ද නාඩු කිලෝවක් රුපියල් 225 ක් ද සහ සම්බා කිලෝවක් රුපියල් 235ක් ද පිරිවැය දරීමට ආනයනකරුවන්ට සිදු වේ. මෙම තීරු ගාස්තු සහ වෙනත් ගාස්තු ගෙවීමෙන් පසු සහල් කිලෝවකට රුපියල් 10 කට ආසන්න මුදලක් පාඩු විඳීමට ආනයනකරුවන්ට සිදු වේ.
රජය තීරුබදු මුදල් අඩු කරන්නේද නැත. ආනයනකරුවන් ඇණවුම් කළ සහල් තොග මෙම තීරුබදු ගෙවා වරායෙන් නිදහස් කර ගත්තද ඔවුන්ට ලාභ ලබමින් සහල් විකිණීමට පාලන මිල හරස් වී ඇත. සහල් තොග ගබඩාකර තබා ගැනීමටත් නොහැක. පාලන මිල හේතුවෙන් තොග වෙළඳුන්ද සහල් මිලදී ගැනීම අවම කර ඇත. අනායනකරුවන් මහත් වූ අසාධාරණයකට පත් වී ඇතිබව කාටත් වැටහේ.
මෙම ගැටලුව පිළිබඳව පෞද්ගලික ආනයනකරුවන් දැක්වූයේ මෙවැනි අදහසකි,
ෆැන්සිස් දේව්දාස් මහතා: හාල් ආනයනය කරන්න අවසර දුන්නාම අපි හිතුවේ රජය තීරු බදුවලින් අපිට සහනයක් දෙයි කියලා. ඒ නිසා තමයි අපි හාල් ගෙන්නන්න සල්ලි යට කරේ. ඒවුණාට දැන් අපිට වෙලා තියෙන්නේ අතින් පාඩු විඳගෙන හාල් විකුණන්න. අපි ඉල්ලන්නේ එක්කෝ පාලන මිල නැති කරන්න ඕන නැත්තම් තීරු බදු අඩු කරන්න ඕන. නැත්තම් හාල් ගෙන්නන්න බෑ. අපි ගෙනාපු හාල් ඔක්කොම මේ වෙනකොට විකිණුවා පාඩු ලබාගෙන. අපිට හාල් ගබඩා කරලා තියාගන්නත් බෑ පාරිභෝගික අධිකාරියෙන් අල්ලනවා හාල් ළඟ තියාගෙන ඉන්නවා කියලා. ඒ නිසා පාඩු පිට විකුණනව ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ.
පිටකොටුව තොග වෙළෙඳපොළෙහි පෞද්ගලික ආනයනකරුවකුගේ අදහස වූයේ මෙවැන්නකි.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආනයනික හාල්වලටත් පාලන මිලක් දාලා තියනවා. එතකොට තීරු බදුයි ඔක්කොම එක්ක අපිට ලාභයක් නෑ. ඉන්දියාවේ මුදල් රේට් එකට තමයි අපි ගෙවීම් කරන්න ඕන. ඒක දවසින් දවස වෙනස් වෙනවා. අපි තාමා ලාභය ගණනය කරලා නෑ. ඒ නිසා කොච්චර පාඩුද කියලා කියන්න බෑ. සිල්ලර වෙළෙඳුන්ට නම් මේකෙන් කිසිම සහනයක් නෑ. සිල්ලර වෙළෙන්දෝ මෙහෙන් අරන් යන්නෙම පාලන මිලට. එතකොට එයාලට විකුණන්න මිලක් නෑ. ලංකාවේ හාල් ඩඩ්ලි මහත්තයා කිව්වා කීරි සම්බා පාලන මිල 255 යි කියලා. එතකොට අපි 255ට අරගෙන අපි හාල් බාන්න යන කුලිය කිලෝ එක්කට රුපියලක් වුණාම 256ක් යනවා. මගේ ලාභය රුපියල් දෙකක් තියාගෙන විකිණුවාම 258ක් වෙනවා. 258 ට සිල්ලර වෙළෙඳුන්ට දුන්නම එයාගේ ප්‍රවාහන ගාස්තුත් එක්ක තව ගණන් වැඩි වෙනවා. එතකොට කොහොමද සිල්ලර වෙළෙඳුන් පාලන මිලට විකුණන්නේ. ඒක තමයි ගැටලුව. සිල්ලර වෙළෙදාම කඩා වැටිලා තියෙන්නේ. වෙළෙන්දෝ හාල් ගන්න බයයි.
මේ හාල්වලට ගහපු ගැසට් එක ගහලා දැන් අවුරුදු ගාණක් වෙනවා. හැබැයි ඊට පස්සේ ඉන්ධන මිල, විදුලි බිල, ජල බිල කී පාරක්නම් වැඩි වුණාද. එහෙත් හාල්වල ගැසට් එකේ කිසිම වෙනසක් නෑ. දේශපාලඥයන් කියන්නේ මහජන ඡන්දයෙන් පත්වුණා කියලා මහජනතාවට සහනයක් දෙන්න ඕන කියලා තොග සිල්ලර වෙළෙන්දන් හූරන් කෑවම හරියන්නේ නෑ. අපිත් ව්‍යාපාරයක් කරන්නේ. අපිත් කඩ කුලී, විදුලි බිල්, සේවක වැටුප්, බදු ගෙවන්න ඕන. ඇත්තටම හාල් හිඟයක් නෑ රටේ. මහා පරිමාණ මෝල් හිමියන් ළඟ තමයි වී එකතු කරලා තියෙන්නේ. මහා පරිමාණ මෝල් හිමියන් පොඩි මෝල් හිමියන්ට වී ගන්න දෙන්නේ නෑ. පොඩි මෝල් හිමියන් ගොවියන්ගෙන් ඉල්ලන ගාණට වඩා වැඩි මුදලක් දීලා ඔක්කොම වී ටික ගන්නවා. එයාලා ඒකාධිකාරයක් හදාගෙන තියෙන්නේ රටේ. මේ නිසා තමයි හාල් රටින් ගෙන්නන්නත් වුණේ. මම කන්ටේනර් 4ක් ඇණවුම් කළා. සහල් සඳුදාම ලංකාවට ආවා. එහෙත් වරායෙන් නිදහස් කරගන්නේ නැතුව තිබ්බා තීරු බදුවල සංශෝධනයක් ඇතිවෙයි කියලා හිතලා. එහෙත් කිසිම සංශෝධනයක් කළේ නෑ. ඒ නිසා ඒ හාල් වරායෙන් නිදහස් කරගත්තා. පාඩු පිට හරි විකුණන්න. අපි අයේ හාල් ආනයනය කරන්නේ නෑ. මොකද අපිට පාඩු ලබන්න බෑ.
කොළඹ කොටුව තොග වෙළෙඳපොළේ තොග වෙළෙඳ මහතුන් මේ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහස්ය,
ශිව කුමාර් මහතා: හාල් අඩු නිසා තමයි හාල් මිල වැඩිවෙලා තියෙන්නේ. එහෙත් හාල් ආනයනය කරපු නිසා හාල් හිඟය අඩුවෙයි. ඉස්සරහට අපිට පාලන මිලට හාල් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි දැනට නම් අපි පාඩුපිට තමයි හාල් විකුණන්නේ. එක කිලෝවකින් අපිට රුපියල් 20 ක් විතර පාඩුයි. හාල්මිල වෙළෙඳාම හරිම අඩුයි මේ දවස්වල නම්. දවසටම අපෙන් හාල් ගන්න සිල්ලර වෙළෙන්දෝ එක්කෙනෙක් දෙන්නෙක් තමයි එන්නේ. සිල්ලර වෙළෙන්දට ප්‍රවාහන වියදම, ශොපින් කවර වියදම එහෙමත් එකතු වෙන නිසා සිල්ලර වෙළෙඳුන් කඩා වැටිලා තියෙන්නේ.
ශමිත් සෙල්වම් මහතා: රටින් හාල් ගෙන්නුවා. ආනයනකරුවෝ කියනවා ගාණ වැඩි කියලා. බදු ලොකු ගාණක් ගෙවන්න වෙනවා කියනවා. හාල් පාලන මිල 220 ක්. අපිට 210 ට හම්බුණොත් අපිට ඒ ගාණට විකුණන්න පුළුවන්. එයාල දෙන්නෙම 220 ට. අපිට ඒ ගාණට අරන් සිල්ලර වෙළෙඳුන්ට විකණන්න අමාරුයි. ඒ නිසා අපි හාල් මිලදී ගැනීම නවත්තලා තියෙන්නේ. විකුණන්නේ නැතුව හිටියාම කඩ කුලියයි සේවක වැටුපයි කුලියයි විතරයි අපිට පාඩු වෙන්නේ. හැබයි ආනයනකරුවන් කියන ගාණට හාල් ගත්තොත් ඊට වඩා පාඩුවක් අපිට වෙනවා. ඊට වඩා හොඳයි කඩේ වහලා තියනවා. ලංකාවේ හාල් හිඟය ඇති වෙන්න නම් මූලික හේතුව වුණේ මෝල් හිමියන්. හැම අවුරුද්දෙම දෙසැම්බර්වල සාමාන්‍යයෙන් හාල් මිල ඉහළ යනවා. ඒත් මේ පාර පාලන මිලත් එක්ක විකුණන්න බෑ. අපිට හාල් විකුණන්න බැරිනම් සිල්ලර වෙළෙන්දට කොහොමත් අමාරුයි.
කොළඹ කොටුව සිල්ලර වෙළෙදපොළේ සිල්ලර වෙළෙඳ මහතුන් මේ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
ගනේෂ් කුමාර් මහතා: අපි හාල් තොග වෙළෙඳුන්ගෙන් ගන්න එක නවත්තලා තියෙන්නේ. තොග වෙළෙඳපොළෙන් ඒ ගාණට අරන් ඇවිල්ල අපිට විකුණන්න බෑ. අපිට තොග වෙළෙපොළෙන් හාල් දෙන්නෙම පාලන මිලට වඩා වැඩියෙන්. අපිට පාඩුපිට විකුණන්න බෑනේ. වැඩිමිලට වික්කොත් පාරිභෝගික අධිකාරියෙන් අල්ලනවා. ඉතිං ඊට වඩා හොඳයි හාල් විකුණන්නේ නැතුව ඉන්න එක. මිනිස්සු හාල් ඉල්ලන්වා ඇවිල්ලා. ඒත් ඉතිං අපි ලඟ හාල් නෑ විකුණන්න.
සිරිල් අමරසූරිය මහතා: තොග වෙළෙඳපොළෙන් පාලන මිලට හාල් ගෙනත් අපිට කඩේ විකුණන විදිහක් නැ. වැඩි මිලට මිනිස්සුන්ට හාල් දෙන්නත් බැ. පාඩුපිට විකුණලත් බෑ. අපිට තොග වෙළෙඳපොළෙන් හාල් ගේන්න ප්‍රවාහන ගාස්තුවක් යනවා. ඒ විතරක් නෙවෙයිනේ කඩ කුලි, ඉලෙක්ට්‍රිසිටි බිල් එහෙමත් ගෙවන්න ඕන. ඒ හැමදේම එක්ක සිල්ලර වෙළෙන්ඳන් හරි අමාරුවෙන් මේ කඩකෙරුවාව කරන්නේ. එහෙම තියෙද්දිත් මේ පාලන මිලක් දැමීමෙන් වෙන්නේ සිල්ලර වෙළෙන්දන් මුළුමනින්ම කඩාවැටෙන එකයි. අපෙන් පාරිභෝගිකයන් ඇවිත් හාල් ඉල්ලන්නේ පාලන මිලට. අපිට ඒ මිලට දෙන්න බැ. මෙහෙම ගියොත් කඩේ වහලා දාලා ගෙදර ඉන්න එක තමා හොඳ.
පාරිභෝගිකයෝද මේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
පාලිත විජේසුන්දර මහතා: හාල් ගන්න ගියාම කඩවල්වල හාල් නෑ. සුපර් මාකට්වලවත් හාල් නෑ. තිබ්බත් දෙන්නෙ කිලෝ එකයි නැත්තම් දෙකයි. අපිට ඕන තරම් හාල් ගන්න බෑ. රජයෙන් හාල්වලට පාලන මිලක් දාලා තිබ්බට කඩෙන් හාල් ගන්න ගියාම පාලන මිලට හාල් ගන්න බෑ. ඇත්තටම මිනිස්සු හාල් නැති නිසා ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉන්නේ. අපි තුන්වේලම බත් කන මිනිස්සු. ඒ නිසා අපිට හාල් ප්‍රමාණවත් තරම් ඕන. අපි රජයෙන් ඉල්ලන්නේ මේ සහල් ගැටලුව ඉක්මනින් විසඳලා දෙන්න කියලා.
නිර්මලා මධුවන්ති: පාලන මිලට හාල් හොයාගන්න නෑ කඩවල. රතු හාල්, නාඩු එහෙම ෆුඩ්සිටියෙත් නැ. මිනිස්සුන් බඩු ගන්න ගිහින් හැරිලා යනවා. සතොසෙන් නාඩු හාල් එහෙම පාලන මිලට ගන්න පුලුවන් කියලා කිව්වාට මිනිස්සුන්ට ඇති තරම් හාල් සතොසේ නෑ. මේ අවුරුද්දේ අවසන් වෙන්න දවස් කීයද තියෙන්නේ? ඉස්සරහට හොඳ දවස් එන්නේ. ගෙදරට හාල් පොල් ටිකක් ගෙනත් දාගන්න ඕන. ඒත් හාල් ගන්න තැනක් නෑ. ගිනි ගණන්වලට හාල් අරගන්න හැමෝටම සල්ලි නෑනේ. දුප්පත් මිනිස්සු එදා වේල හොයාගන්නෙම බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සු කොහොමද බඩට බත් වේලක් කන්නේ හාල් මෙහෙම ගණන් ගියාම? රජයෙන් මේකට ඉක්මණින් විසඳුමක් ගන්නවා නම් හොඳයි එදාවේල හම්බකරන් කන මිනිස්සු ගැන හිතලා.
අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය වූ රටේ අද සහල් හිඟයකි. සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවී තිබේ. සහල් ආනයනය කළද විවිධ ගැටලු හමුවේ හාල් නිසි පරිදි වෙළඳපොළට යාම සිදු නොවේ. එයින් පීඩාවට පත් වන්නේ තොග සහ සිල්ලර වෙළඳුන් පමණක් නොව පාරිභෝගිකයාද වේ. මේ සඳහා ඉක්මන් විසඳුමක් අවශ්‍යය.
(*** ශෂිකා අබේරත්න)
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබ
ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්
ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතාකරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩවඩාත් කථාකරයි. මහත්හොරු ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරු
මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ දක්නට ඇති බොහෝමයක් තැන්වල වැදගත්කම කෙබඳු දැයි අවබෝධ කරගත් පිරිස අතළොස්සක් බව නම් නොරහසකි. මහනුවර දළදා මාලිගාව අභියස කෞ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ආනයනික සහලේ අලකලංචිය