(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් විසිනි)
ගංවතුර, නාය යාම් යුද්ධයටත් වඩා අපේ කටට හුරු වචන බවට පත් වෙමින් තිබේ. වසර තිහක් තුළ යුද්ධයෙන් අහිමි වූ සිවිල් ජීවිත ගණනටත් වඩා ජීවිත ගණනක් ගංවතුරෙන්, නායයාම්වලින් අහිමිවීමට තව වැඩි කලක් ගත වන්නේ නැත. 2009 වන තෙක් යුද්ධය පැවති බැවින් ගංවතුර නාය යාම්වලට වැඩි අවධානයක් යොමු කිරීමට නොහැකි වූයේ යැයි සිත හදා ගත හැකිය. එහෙත් 2010 සිට මේ දක්වා ගං වතුරෙන් සහ නාය යාම්වලින් පමණක් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 475කි. 2016, 2017 වසර දෙක තුළදී පමණක් මෙලෙස මිය ගිය සංඛ්‍යාව 316වන අතර වාර්තා ගත අතුරුදහන් සංඛ්‍යාව 173 වේ.
මෙම වසර හත ඇතුළත පූර්ණ වශයෙන් හානි හා අර්ධ වශයෙන් හානි නිවාස දස දහස් ගණනකි. විනාශ වූ නිවාස ගණන 17,500කට වැඩිය. තවද ගංවතුර සහ නායයාම්වල බලපෑමට ලක් වූ සංඛ්‍යාව මෙම වසර දෙක තුළ දී පමණක් ලක්‍ෂ නවය ඉක්මවයි. 2016ට සාපේක්‍ෂව 2017 ගංවතුර සහ නාය යාම්වලින් සිදුවූ මරණවල ඉහළ යාම 100%කි. එහි බලපෑමට ලක්වූ සංඛ්‍යාව ද 2016ට සාපේක්‍ෂව 2017 දී 100%කින් ඉහළගොස් ඇත. එහෙත් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හානි වූ නිවාසවල ඉහළ යාමේ ප‍්‍රතිශතය 250%කට ආසන්නය. ගංවතුර සහ නාය යාම් නිසා විනාශ වූ මහා මාර්ග ඇතුළු මාර්ග පද්ධති, වගා බිම්, වාරි පද්ධති, රාජ්‍ය හා පෞද්ගලික දේපළවල අහිමි වූ ආදායම් මාර්ග ඇතුළු අනෙකුත් සියලූ විනාශවීම්වල නිශ්චිත දත්ත නොමැත. මෙම වසර හත තුළ අහිමි වූ ජීවිත සහ දේපළවල සැබෑ වටිනාකම් මුදල් බවට පත් කළහොත් එහි වටිනාකම සිතා ගැනීමටවත් නොහැකිය.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යනු අති ප‍්‍රබල අමාත්‍යාංශයකි. එහි විෂය පථය මෙන්ම මෙම අමාත්‍යාංශයට රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් කිරීමට ඇති කාර්යභාර්ය අති විශාලය. එහෙත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සියල්ල සිටින්නේ නිද්‍රාශීලිව යැයි පැවසුවහොත් එයද නිවැරැුදිය. බෙංගාල බොක්කේ ඇතිවන කැලඹිලි තත්ත්වයක් නිසා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවල තරම සහ එහි බලපෑම නිවැරැුදිව කියන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තවමත් නොහැකිය. අධික වර්ෂාව ලැබෙන බව හෝ එසේ ලැබෙන දිස්ත‍්‍රික්ක මොනවාද යන්න කීම පමණක් ආපදා කළමනාකරණයේදී ප‍්‍රමාණවත් නැත.
එමගින් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිද, එසේ ඇති වන්නේ නම් එහි ප‍්‍රබලතාව කොපමණ විය හැකිද, ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට ජනතාව පියවර ගත යුත්තේ කුමන අවස්ථාවේදී ද යන්න කීමට තරම්වත් හැකියාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු විය යුතුය. එයට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ නොවේනම් පළමුව කළ යුත්තේ මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට කටයුතු කිරීම නොව එවැනි උපකරණ මිලදී ගැනීමට කටයුතු කිරීමය. ඒවා සුදුසු පරිදි ස්ථානගත කිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා ගැනීමය. එහෙත් අප රටෙහි සිදු වන්නේ විශාල මුදලක් ගෙවා තාක්‍ෂණික උපකරණ මිලදී ගත්ත ද ඒවා තැන් තැන්වල දිරාපත් වීමයි. ඒවාට වගකිවයුතු නිලධාරීන් නැත. අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා ගැනීමට ක‍්‍රමවේදයක් නැත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවශ්‍ය උපකරණ සහ නිසි තාක්‍ෂණික දැනුම සහිතව ක‍්‍රියාත්මක වන්නේ නම් සිදුවන බොහෝමයක් විපත් අවම කර ගත හැකිය. එහෙත් ඇද හැලෙන වර්ෂාවේ ප‍්‍රබලතාව හෝ බලපෑම තියා සමහරවිට නිශ්චිත දිනයක්වත් කීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකිය. එනිසාම එමගින් ලබා දෙන කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාවට විශ්වාසයක් නැත. එලෙස විශ්වාසයක් නොමැතිකම නිසාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවැරදි අනාවැකියක් කීවද ජනතාව එයට අදාළව නිසි පියවර ගැනීමට පෙළඹෙන්නේ නැත. මේ නිසා කැළඹිලි සහිත කාලගුණයක් පැමිණි විට සිදුවන ජීවිත සහ දේපළ හානිය අති විශාලය.
භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයට සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මෙම ගම් පිටින් වැළලෙන ජනතාව වෙනුවෙන් මීට වඩා දෙයක් කළ හැකිය. නාය යාමේ අවදානමක් පවතින ප‍්‍රදේශ නම් කිරීම පමණක් නොව එවැනි අවදානමක් නාය යාමක් බවට පත් වීමක් සිදු විය හැක්කේ කුමන වර්ෂාපතනය මට්ටමක් යටතේද, ජනතාව තම ගම්බිම්වලින් නිශ්චිතවම ඉවත් විය යුත්තේ කොයි මොහොතේද යන්න දැක්වීමට මෙම ආයතනවලට හැකි විය යුතුය. අවදානමක් පවතී යන්න පමණක් දැක් වූ විට එය බොහෝ විට සිදු නොවිය හැකි විය යුතුය.
අවදානමක් පවතී යන්න පමණක් දැක් වූ විට එය බොහෝවිට සිදු නොවිය හැක්කක් යැයි උපකල්පනය කරමින් ජනතාව එයට ප‍්‍රතිචාර දැක්වීම පමා කරති. විශේෂයෙන්ම භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කළ යුත්තේ වර්ෂාව ලැබෙන අවස්ථාවේදී අවදානම් කලාප නම් කරමින් ජනතාවට ඉවත් වීමට දැක්වීමට වඩා වර්ෂය පුරාම එවැනි අවදානම් කලාප නිශ්චිතව හඳුනා ගනිමින් එවැනි පළාත් ජීවත්වන ජනතාව ස්ථිර වශයෙන්ම එම පළාත්වලින් ඉවත් කර වෙනත් ආරක්‍ෂිත පළාත්වල පදිංචි කිරීමට රජය හා එක්ව අවශ්‍ය පියවර ගැනීමයි.
ආපදා කළමනාකාරණයේ දී වඩාත් වැදගත් වන්නේ අමාත්‍යංශ සහ ආයතන අතර සම්බන්ධතාවයයි. අප රටේ භූමිය පාරිභෝජනය කරන අමාත්‍යාංශ අතර කිසිම සම්බන්ධතාවක් නොමැත. ඒ ඒ අමාත්‍යාංශ ක‍්‍රියාත්මක වන්නේ වෙන වෙනමය. නිවාස හා ඉදිකිරීම්, කෘෂිකර්ම, වාරි මාර්ග, මහා මාර්ග, ඉඩම් සංවර්ධන, ආර්ථික කටයුතු ඇතුළු අමාත්‍යාංශ රාශියක් භූමිය පාරිභෝජනය කරයි. මේ නිසා භූමි පරිභෝජන රටාව පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා ගත නොහැකිය. එසේම එමගින් භූමියේ සමබරතාව බිඳී යයි. භූමිය පරිභෝජනයට පෙර එහි ස්වාභාවික පැවැත්ම අධ්‍යයනය කළ යුතුය. විල්ලූ, වගුරු බිම්, ගංගා ඉවුරු, මෝය කටවල් ද අහුරමින් සිදු කරන අනවසර ඉදි කිරීම් පමණක් නොව අහිතකර තත්ත්වයන් සඟවා විවිධ පෞද්ගලික වුවමනාවන් මත සිදු කරන අනවසර ඉදි කිරීම් නිසා ද ජලය ගලා යාමේ ස්වභාවික මාර්ග ඇහිරී ඇත. විල්ලූ, වගුරු බිම් ස්වභාවිකවම පිහිටා ඇත්තේ භූමියේ සමබරතාව රැුක ගැනීම සඳහාය. එහෙත් අප විවිධ ආර්ථික කටයුතු සඳහා ඒවා යෝදා ගනී.
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවශ්‍යය. එම ආයෝජකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම ද අවශ්‍යය. එහෙත් කිසිම වග විභාගයකින් තොරව ආයෝජකයන් සතුටු කිරීමේ අරමුණෙන්ම මෙවැනි ස්වාභාවික පිහිටීම් ගොඩ කරමින් සිදු කරන ඉදිකිරීම් නිසා රටට ලැබෙන ආදායමට වඩා සිදුවන විනාශයේ තරම අති විශාලය. දීර්ඝකාලීනය. ස්වභාව ධර්මය හා ගැළපෙමින් සංවර්ධනය ළඟා කර ගත් සහ සංවර්ධනය කරා ගමන් කරන රටවල් ඕනෑ තරම් තිබේ. එනිසාම එම රටවලට සිදුවන ස්වාභාවික ආපදා ඉතා අවමය. එවැනි රටවල් විපතකට පත් වන්නේ අනපේක්ෂිත ව්‍යසනයක් නිසා පමණි.
භූමිය හොඳින් කළමනාකරණය කරන රටවල ජනාවාස සඳහා වෙන්වූ වෙනම ප‍්‍රදේශ ඇත. වගා බිම් සකස් කර ඇත්තේ එයට සුදුසු ප‍්‍රදේශවලය. ගංගා ඇළ දොළ පවා සංවර්ධන කාර්යයයේ යොදවන්නේ ඉතා සැලසුම් සහගතවය. ඔවුහු භූමියේ ස්වාභාවික පැවැත්මට නිරන්තරව අනුගත වෙති. එහෙත් අප රටේ විල්ලූ වගුරු බිම් ගොඩ කරමින් භූමියේ ස්වාභාවික පැවැත්මට එරෙහිව සිදුවන මහා ඉදි කිරීම්ය. කිසිම වග විභාගයක් නැතිව මේවාට අනුමැතිය දෙන්නේ කවුද එසේ දීමේ පරමාර්ථ මොනවාද යන්න දන්නේ අනුමැතිය දෙන සදාචාරාත්මක හේතූන් මත මෙහි සඳහන් කළ නොහැකි වුවද විවිධ වූ විශේෂණ පදනවලට හිමිකම් කියන මහත්වරුන්ය. ඒ මදිවාට කල්පයකටවත් දිරන්නේ නැති කොළඹ ටොන් ගණනක කුණු කඳු ගොඩ කරන්නට තීරණය. ගංගා ඇළ දොළ අවහිර කරමින් ගොඩ නැගෙන නිවාසය.
ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම්ය. කැලණි ගඟ දෙපස පිහිටා ඇති අනවසර ඉදි කිරීම් නිසා සෑම වර්ෂයකදීම බස්නාහිර පළාත තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වේ. මෙම ඉදිකිරීම් ඉවත් කිරීමේ හැකියාවක්ද නැත. යමෙකු එමගින් ඇතිවන හානිය තේරුම් ගෙන ඒවා ඉවත් කිරීමේ හැකියාවක්ද නැත. යමෙකු එමගින් ඇතිවන හානිය තේරුම් ගෙන ඒවා ඉවත් කිරීමට උත්සාහ කළහොත් කවුරුන් හෝ දේශපාලනඥයෙකු මැදිහත්වී එය නවතා දමයි. ඔවුනට වැදගත් වන්නේ මිනිසුන්ගේ ජීවිත නොවේ. දේපළ ද නොවේ. ඡුන්ද පමණය. එහෙත් ඡුන්ද ගත හැක්කේ ජීවත් වන්නවුන්ගෙන් මිස මිය යන්නවුන්ගෙන් නොවන බව දේශපාලනඥයන් මතක තබා ගත යුතුය.
සාමාන්‍යයෙන් රටක, ආයතනයක දත්ත ගබඩාවක් පවතින්නේ එම දත්ත විශ්ලේෂණය කර අනාගතය පුරෝකථනය කිරීමටය. අනාගත සැලසුම් සකස් කිරීමටය. එහෙත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දත්ත ගබඩාවේ දත්ත පවතින්නේ කුමකටදැයි යන්න හරියටම කිව නොහැකිය. එම දත්තවලට අනුව බොහෝ ගංවතුර සහ නාය යාම් සිදු වන්නේ මැයි, ජුනි හෝ නොවැම්බර් මාසවලය. 2016 මැයි සහ සිදු වූ ලෙසම 2017 මැයි මස ද ගංවතුර සහ නායයාම් ඇති විය. පෙර බොහෝ වසරවල ද තත්ත්වය එසේමය.
පවතින දත්ත නිසි ලෙස අධ්‍යයනය කළේ නම් මෙම කාලවලදී සිදුවන විපත් බොහොමයක් පාලනය කර ගත හැකිය. සැබැවින්ම මේ ලැබෙන්නේ නිරිතදිග සහ ඊශානදිග මෝසම් වැසිය. මේවා අහම්බෙන් කඩා වැටෙන වැසි නොවේ. එසේම පළාත් ලෙස ගත් කළ ද බස්නාහිර සහ සබරගමු පළාත් මෙම වැඩි වශයෙන් ගංවතුර අවදානමට මුහුණ දේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ පවතින අක‍්‍රමිකවත් සැලැස්මත් රත්නපුර නගරයේ පිහිටීමත් මෙයට බලපා ඇත.
විශේෂයෙන්ම විවිධ ආයෝජන කාර්යයන් සඳහා ඉවක් බවක් නැතිව මුතුරාජවෙල ගොඩ කිරීම කොළඹ දිස්ත‍්‍රික්කයේ මෑත කාලීන ගංවතුර තත්ත්වයන් උග‍්‍ර වීමට බලපෑ ප‍්‍රධාන හේතුවකි. කෙසේ වෙතත් මෙම තොරතුරු පදනම් කරගෙන ඒ සඳහා සුදුසු ක‍්‍රියා මාර්ග ගත නොහැකිද? නැතිනම් මෙම දත්ත රැස් කිරීමේ ඇති ප‍්‍රයෝජනය කුමක්ද? මේ යන ආකාරයට නම් 2018 වර්ෂයේදී ද මෙම ව්‍යසනය මේ ආකාරයෙන්ම පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත් සිදුවේ යැයි බලාපොරොත්තු විය හැකි එකමදෙය නම් තවත් වසරක් සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දත්ත ගබඩාවට මරණ, තුවාලලත්, අතුරුදහන්, පූර්ණ ලෙස සහ අර්ධ ලෙස හානියට පත් නිවාස, බලපෑමට ලක්වූ ආදී ලෙස දත්ත එකතුවීම පමණි. ඊට අමතරව අපට හඬන්නට, සුසුම්ලන්නට පමණක් නොව ආධාර එකතු කරන්නට ද කාලයක් එළඹෙනු ඇත. නිරිතදිග හෝ ඊශානදිග මෝසම් වැසි වළක්වන්නට ක‍්‍රමයක් අපට නැත. ඒ ස්වභාව ධර්මයයි. එහෙත් ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීම සඳහා බොහෝ දේ කළ හැකිය.
පළමුව කළ යුත්තේ ස්වභාවික ජල බැස්මවල්වලට හානිවන අයුරින් සහ අනාරක්ෂිත උස් ස්ථානවල ඉදි කර ඇති සියලූම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමය. මේ සඳහා විධිමත් සාධාරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. මෙහිදී කෙටිකාලීන ජනතා විරෝධතා මතුවීම නොවැළැක්විය හැකිය. මෙවැනි ක‍්‍රියා මාර්ග ගැනීමට පෙර අදාළ ජනතාව නිසිලෙස දැනුවත් කිරීම, ප‍්‍රමාණවත් වන්දි ලබා දීම හෝ රජයෙන් ඉඩම් සහ නිවාස ලබාදීම සිදු කළ යුතුය. ඉවත් වූ පසු ලබා දෙන්නේ යැයි කීම අසාර්ථක උත්සාහයකි. එයට හේතුව එවැනි පොරොන්දු දී ජනතාව රැුවටූ බොහෝ අවස්ථා පිළිබඳ ජනතාවගේ මතකයේ ඇති බැවිනි. තවද තාවකාලිකව පමණක් ඉවත් කළ යුතු ජනතාව සඳහා එකවර වැඩි පිරිසකට ප‍්‍රමාණවත් තරම් පහසුකම් නැති පාසල්, පන්සල් භාවිතා කිරීම වෙනුවට භාවිතා කළ හැකි ආරක්ෂක ස්ථාන සකස් කර තැබීම සහ ඒවා නිසියාකාරව නඩත්තු කිරීම ආදිය කළ හැකිය. එය ජනතාවගේ ආරක්ෂාවට පමණක් නොව ආපදා දිනවල ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ද පහසුවක්වනු ඇත. නොඑසේ නම් බත් පැකැට්ටුවක් ලැබෙනතුරු පවා ඔවුනට දින ගණන බලා සිටීමට සිදු වේ. එසේ කිරීම අපහසු නම් ජනතාව ඉවත් කර යොමු කළ හැකි පාසල්, පන්සල් ආදිය හඳුනාගෙන මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ඒවායේ අවම පහසුකම්වත් වැඩි දියුණු කළ යුතුය.
මෙහිදී අවදානම් කලාපවල සිටින ජනතාව මෙම ආරක්ෂිත ස්ථාන කරා පැමිණිය යුතු වේලාවන් නිවැරදිව කීමද අත්‍යවශ්‍ය වේ. මෙමගින් ජීවිත අවදානම් සහිතව බෝට්ටුවලින් එහා මෙහා යාම ද තදබදය ද ප‍්‍රවාහන පහසුකම්වල ගැටලූද අවම කර ගත හැකිය.
එසේම රජය මගින් හෝ පෞද්ගලික අංශය මගින් කරන වගුරුබිම් ගොඩ කිරීම වහාම නැවැත්විය යුතුය. මෙමගින් වන හානිය අදටත් වඩා දැනෙන්නේ අනාගතයේදීය. භූමිය නිසිලෙස කළමනාකරණය කිරීම, අදාළ අංශ අතර අන්තර් සම්බන්ධතාව, අවශ්‍ය පරිදි විශේෂඥ දැනුම සහ උපකරණ ලබා ගැනීම පමණක් නොව පවතින දත්ත විශ්ලේෂණය කර අනාගත ආපදා සඳහා පූර්ව සැලසුම් සකස් කිරීමද ආපදාවලට මුහුණ දීම සඳහා ගත හැකි තවත් ක‍්‍රියා මාර්ග කීපයකි. එසේම ගොඩවී ඇති ගංගා, ඇළ දොළවල පස් ඉවත් කිරීම, ඒවාට හානිවන අයුරින් සිදු කරන සියලූ වැලි ගොඩ දැමීම් තහනම් කිරීම පමණක් නොව රත්නපුර දිස්ත‍්‍රික්කයේදී කළු ගෙඟ් විශේෂ පිහිටීම පිළිබඳ පර්යේෂණ සිදුකර ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට සුවිශේෂී වූ ක‍්‍රම හඳුනා ගත යුතුය.
ආපදා කළමනාකරණයේ දී ජනතාව ලෙස අපට ද විශාල වගකීමක් ඇත. පටු ආකල්පවලට කොටුවී කටයුතු කිරීමෙන් සිදු වන්නේ සදාකාලිකව දුක් විඳීමටය. ගංගා, ඇළ දොළ, කාණු පද්ධති අහුරමින් අප සිදු කරන අනවසර ඉදි කිරීම් වහාම නැවැත්විය යුතුය. එවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අප රජයට සහාය දිය යුතුය. රජය විසින් ඒ වෙනුවට ලබා දෙන නිවස හෝ ඉඩම් භාර ගැනීමට අප නම්‍යශීලී විය යුතුය. එහෙත් අප පුරුදුව සිටින්නේ අප වරදක් කළ ද රජයට ඇඟිල්ල දිගු කිරීමටය. අනවසර ඉදි කිරීම් බව දැන දැනත් පෙළපාලි යාමටය. උද්ඝෝෂණය කිරීමටය. ජනතාව බිල්ලට දී හෝ තම ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමට දඟලන දේශපාලනඥයෙකු අල්ලාගෙන කුමන හෝ ආකාරයකින් රජයට බලපෑම් කර අපගේ ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන්ම ගනු ලබන ක‍්‍රියා මාර්ගවලට අපම එරෙහි වීමටය. රටක් ලෙස අප ආකල්පමය වශයෙන්ම වෙනස් විය යුතුය.
ගංවතුර සහ නාය යාම් නිසා ශෝචනීයම තත්ත්වයට මුහුණ දෙන්නේ පාසල් දරුවන්ය. අධ්‍යාපන ඇමැතිවරයා කියන ලෙස නිල ඇඳුම් නැතිනම් පාට ඇඳුම් ඇඳ පාසල් යා හැකිය. එහෙත් ගැටලූව තියෙන්නේ නිල ඇඳුමේ නොවේ. මෙම දරුවන්ගේ සටහන් පොත්වලය. මේ ගෙවෙන්නේ උසස්පෙළ දරුවන්ගේ අවසාන මාස දෙකයි. විශ්වවිද්‍යාලයට යාම හෝ නොයාම තීරණය වන්නේ මෙම විභාගයෙනි. මෙම සටහන් පොත් සියල්ල ගං වතුරට ගසාගෙන ගොස් ඇත. මෙම සටහන් නැවත සොයාගැනීම යන්න සිතාගැනීමට පවා නොහැකිය. මන්ද ගංවතුර සහ නායයෑම් ඇතිවූ පළාත්වල දරුවන් සියලූ දෙනාම මුහුණ දී ඇත්තේ එකම ඛේදවාචකයකය.
එහෙත් උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ දී මේ කිසිවක් සැලකිල්ලට ගන්නේ නැත. උසස් පෙළ හදාරණ දරුවන් පමණක් නොව වඩා හොඳ පාසලක් පිළිබඳ සිහින දකින පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින කුඩා දුදරුවන් ද මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී ඇත. එපමණක් නොව සාමාන්‍ය පෙළ දරුවන්ගේ තත්ත්වය සතුටුදායක වන්නේ නැත. සමහරවිට මෙය මෙම දරුවන්ගේ අනාගතය උඩු යටිකුරු කරනු ඇත. මෙහි වන්දිය රජයට කිසි දිනක ගෙවා නිම කළ නොහැකිය. අප සෙල්ලම් කරන්නේ දරුවන්ගේ අනාගතය සමඟ පමණක් නොව රටේම අනාගතය සමගය.
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ආපදා කළමනාකරණ ආපදාව