පසුගිය ඉරිදා කළුතර පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් දී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී ඇති හැට දෙනකුගෙන් යුත් භට පිරිස ප්‍රමාණවත් නැතැයි රාජපක්ෂ මහතා කෙඳිරි ගාන්නේ නම් එම ආරක්ෂාව ද ඉවත් කරන බවට අනතුරු ඇඟවීමක් කරන බවත් ප්‍රකාශ කළේය.
එසේම හිටපු ජනාධිපතින් හා ඔවුන්ගේ බිරියන්ට නීතිය අනුව ‘‘උචිත’’ නිවසක් හෝ ඔවුන්ගේ වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් පමණක් දෙන බවත් එහෙයින් ඔවුන් දැනට ජීවත්වන රජයට අයත් සුඛෝපභෝගී මන්දිරලින් ඉවත් විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉකුත් අඟහරුවාදා පෞද්ගලික රූපවාහිනී සේවයක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙම කරුණ ගැන සඳහන් කළ ජනාධිපතිවරයා දැන් රාජපක්ෂ මහතා ජීවත්වන රජයට අයත් නිවසේම ඔහු ජීවත්වන්නට අදහස් කරන්නේ නම් තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව අනුව ඔහු එහි කුලිය වශයෙන් මසකට රුපියල් 46 ලක්ෂයක් ගෙවිය යුතුයැයි සඳහන් කළේය.
රාජපක්ෂ මහතා ජීවත්වන රජයේ නිවස වර්ග අඩි 30,000කින් යුක්ත බවත් එම නිවස පිහිටි අක්කරයක් පමණ වන ඉඩම තවමත් තක්සේරු කරනු ලැබ නැති බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ ගැන කළ විස්තරය අනුව ආණ්ඩුවේ මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස යන දෙදෙනා රජයේ නිවාසවලින් ඉවත් වී ගොස් ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසු රජයේ නිවසකට ගොස් නැත. ජනාධිපතිවරයා ඔහුට ඒ ගැන ස්තුති කළේය.
හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයේ ආණ්ඩුවේ මෙම අලුත් තීරණයට මෙතෙක් විරෝධය පළ කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ ආධාරකරුවන් පමණි. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මෛත්‍රීපාල සිරිසේන මහතාද තවමත් එම මන්දිරවල සිටින නමුත් ඔවුන් ඒ ගැන තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට නැත.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන් හා සමඟි ජනබලවේගයේ ඇතැමුන් ආණ්ඩුවේ මෙම තීරණය විවේචනය කරති. ඇතැමෙක් දැනට නිලයේ සිටින මැති ඇමැතිවරුන් රජයේ උසස් නිලධාරීන් විනිශ්චයකාරවරුන් හා හමුදා නිලධාරීන් ආදීන්ගේ නිවෙස් සම්බන්ධයෙන් ද මෙසේම කටයුතු කළ යුතු බව පවසති. ආණ්ඩුව විවේචනය කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමට බලධාරීන් මෙසේ කටයුතු කරන බව සජබ ප්‍රධානියකු පවසා තිබිණි.
මෙහිදී සලකා බැලිය යුතු වැදගත් කාරණයක් නම් මෙම තීරණය ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ගත් එකක් නොවීමය. හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නොව විශ්‍රාමික දේශපාලනඥයන්ට පොදුවේ සලසා ඇති වරප්‍රසාද ඉවත් කිරීම එම පක්ෂයේ මැතිවරණ පොරොන්දුවකි. එය නිලයේ සිටින නිලධාරීන් හා දේශපාලනඥයන්ට අදාළ නොවේ. වඩාත් වැදගත් කාරණය නම් කිසිදු පක්ෂයක් මෙම පොරොන්දුවට මැතිවරණ කාලයේදී වචනයකින් හෝ විරුද්ධ නොවීමයි. එසේ විරුද්ධ වීම මහජන මතයට එරෙහිව යාමක් ලෙස ඔවුන් සලකා ඇති සේය.
ආණ්ඩුව ලිඛිතව දැනුම් දුනහොත් මහින්ද රාජපක්ෂ මහතා දැනට ජීවත්වන මන්දිරයෙන් ඉවත් වනු ඇතැයි ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එවැනි දැනුම් දීමක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පවසයි. එහෙත් එමඟින් ඇමැතිවරයා අදහස් කරන්නේ ජනමාධ්‍ය වාර්තා අනුව හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ යැයි කියා නම් එය නිවැරැදි නොවේ.
මේ අතර නීතිය අනුව හිටපු ජනාධිපතිවරයකුට ‘‘උචිත’’ නිවසක් රජයෙන් ලබාදිය යුතු බවත් දැනට මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන නිවස ඒසඳහා ‘‘උචිත’’ බවත් ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ නීතිඥයකු ජනමාධ්‍යයට පැවසීය. එහෙත් නීතිය පවසන්නේ ‘‘උචිත’’ නිවසක් හෝ විශ්‍රාම වැටුපෙන් තුනේ එකකට සමාන නිවාස කුලියක් රජයෙන් විශ්‍රාමික ජනාධිපතිවරයකුට දිය යුතු බවය.
රාජපක්ෂ මහතාගේ විශ්‍රාම වැටුප අනුව එම නිවාස කුලිය රුපියල් 30,000ක් පමණ වන බව ජනාධිපතිවරයා පවසයි. ඒ අනුව නීතියෙන් කියවෙන ‘‘උචිත’’ නිවසේ තත්වය අනුමාන කර ගත යුතුව ඇත. රුපියල් ලක්ෂ 46ක් කුලිය වශයෙන් ගත යුතු නිවසක් හා රුපියල් 30,000 කුලියක් සමාන කළ නොහැකිය.
ගරු කටයුතු සේවයක් විය යුතු දේශපාලනයේ යෙදී සිටින්නන් මහජන මුදලින් ජීවත්වීම විශේෂයෙන්ම මහජන මුදල්ලින් සාමාන්‍ය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි තරමේ සුඛෝපභෝගී ජීවිත ගත කිරිමේ දේශපාලන සංස්කෘතිය අහෝසි කළ යුතුය යන ජාතික ජන බලවේගයේ මතය ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් වරප්‍රසාද භුක්ති විඳි පිරිසක් ඊට එරෙහි වීමද තේරුම් ගත හැකිය. එසේම එවැනි වරප්‍රසාද හා සැප සම්පත් සිහිනෙන් හෝ භුක්ති විඳීමට නොහැකි පිරිසක් දේශපාලන ඇසින් බලා ඊට විරුද්ධ වෙති. මෙයින් පෙනෙන්නේ ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ ලෙහෙසි පහසු දෙයක් නොවන බවයි.
කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ යනු අහිමි කරනු ලැබූ දේවල්වලට කෙඳිරි ගාන කෙනකු නොවේයැයි නාමල් රාජපක්ෂ මහතා පවසයි. මේ කාරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයද ඒ මහතාගේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතුය යන්න ඉන් කියවේ.
එහෙත් ‘‘ මම මහින්ද රාජපක්ෂ කියලා අනුරට අමතක වෙලා’’ යැයි හිටපු ජනාධිපතිවරයා කළ වක්‍ර තර්ජනය මේ කාරණයේදී නම් එතරම් යෝග්‍ය නොවේ. එය වත්මන් ජනාධිපතිවරයා ‘‘තව කෙඳිරි ගෑවොත් මේ හැටත් අයින් කරනවා’’ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය තරම්ම නොමනා ප්‍රකාශයකි.
දිසානායක මහතාගේ ප්‍රකාශය නොමනා එකක් වන්නේ එය ප්‍රශ්නය දිග්ගැස්සිය හැකි අනතුරු ඇඟවීමක් නිසාම නොවේ. එය ජාතික ජන බලවේගය ගොඩ නගන්නට යන නව දේශපාලන සංස්කෘතියට ද නොගැළපෙන්නකි. එසේම දැනට ආරක්ෂකයන් 60 දෙනකුගේ සේවය රාජපක්ෂ මහතාට දී ඇත්තේ බුද්ධි අංශවලින් කරන ලද අනතුරු තක්සේරු අනුව නම් එය ඉවත් කරන්නේ කුමන පදනමින්ද යන ගැටලුව මතුවේ. එම ප්‍රකාශය පමණක් නොව ඇත්ත වශනේම ජනාධිපතිවරයා එසේ කරන්නට අදහස් කළේ නම් එයද ජාතික ජන බලවේගය ගොඩ නඟන්නට යන සංස්කෘතියට නොගැළපේ.
අතීතයෙන් තීරණාත්මක ලෙස කැඩෙමින් නිර්මාණාත්මක ලෙස හා තර්කානුකූල පදනමකින් නම්‍යශීලි වෙමින් අනුර කුමාර දිසානායක මහතා අන් කිසිවකුට සමකළ නොහැකි ආකාරයට පසුගිය වසර කීපය තුළ සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගත්තේය. එවැනි අයකුගෙන් මෙවැනි ප්‍රකාශයක් ඇසෙන විට ඇතිවන්නේ තිගැස්මකි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සැබවින්ම එවැන්නක් කරන්නට සිතුවේ යැයි සිතිය නොහැකිය. මන්දයත් දැනට රටේ කොටි සංවිධානයේ හෝ වෙනත් ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක නොවුවද හමුදාව කොටි සංවිධානය විනාශ කරන විට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන් යමක් කරන්නට හැකියාව ඇති කිසිවෙක් නැතැයි සිතිය යුතු නැත.
1971 කතරගමදී ප්‍රේමවතී මනම්පේරි නම් පාසල් සිසුවියක් එම වසර ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලට සම්බන්ධ වූ බව පවසමින් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ප්‍රසිද්ධියේ මහ දවල් මහ මගදී නිරුවත් කොට වෙඩි තබා මරා දමනු ලැබුවාය. ඒ සම්බන්ධයෙන් වරදකරුවූ ඇප්ෆ්‍රඩ් විජේසූරිය නම් හමුදා ලුතිනන්වරයාට හා අමරදාස රත්නායක නම් හමුදා සැරයන්වරයාට 1978 දී අභියාචනාධිකරණය වසර 16 බැඟින් සිරදඬුවම් නියම කළේය. වසරකට පසු ලුතිනන් විජේසූරිය බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මියගිය අතර රත්නායක සිය සිර ජීවිතය අවසන් කොට වසර 16කට පසු නිදහස්ව පැමිණි පසු දෙවිනුවර දී ජවිපෙ ආධාරකරුවකු යැයි සැක කරනු ලැබූ පුද්ගලයකු විසින් ඝාතනය කරනු ලැබීය.
රටේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දිය හැකිදැයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සති කිහිපයකට පසු එවක හමුදාපති වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ජනමාධ්‍යවේදීයකු ඇසූ ප්‍රශ්නයකට සේනානායක මහතා පැවසුවේ සියයට සියයක සහතිකයක් දිය නොහැකි බවත් ‘‘ලෝන් වුල්ෆ් ඇටෑක්’’ එකක් (තනි වෘකයකුගේ ප්‍රහාරයක්) ලෝකයේ ඕනෑම තැනක ඕනෑම වේලාවක සිදුවිය හැකි බවත්ය. ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල සිදුවන ඇතැම් සිදුවීම්ලින් එය තහවුරු වේ. සේනානායක මහතාගේ ප්‍රකාශය රටේ හිටපු නායකයන් මෙන්ම වත්මන් නායකයන්ට ද වැදගත් වනු ඇත. කිසිවකුටත් ඊට හේතු කල්තබා කිව නොහැකිය.
මේ රටේ මීට පෙර මෙවැනි අනුමාන නොතකා හැරීම නිසා දරුණු සිදුවීම් සිදුවී ඇත. කලෙක ඉතා ප්‍රකට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ව, යුද හමුදාවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි මේජර් ජෙනරාල් ලකී අල්ගම මහතාට හා එවැනිම විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට අත් වූයේ එවැනි ඉරණමකි.
1999 ජනාධිපතිවරණයේ අවසාන ප්‍රචාරක දිනය වූ දෙසැම්බර් 18 වැනිදා ජාඇල පැවති එජාප රැස්වීමකට කොටි සංවිධානයෙන් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අල්ගම මහතා ඇතුළු අට දෙනෙක් මියගිය. ඊට පැයකට පසු ජනාධිපතිනිය ද කොළඹ නගර ශාලා පිටියේ දී බෝම්බ ප්‍රහාරයකට ලක්වූවාය.
2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. ජනාධිපතිවරණය අවසාන වීමත් සමග තම ආරක්ෂකයන්ගේ සංඛ්‍යාව හයසියයේ සිට හය දක්වා අඩු කළ බව ෆොන්සේකා මහතා චෝදනා කළේය. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට ෆොන්සෙකා මහතා කළ වැඩ කොටස ගැන කිසිදු විවාදයක් තිබිය නොහැකිය.
හමුදාව කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු එවක ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ හමුදාපති සරත් ෆොන්සේකා ගේ අත්දැකීම් දැනුම එඩිතර බව හා වීරත්වය නොවේ නම් මේ ජයග්‍රහණ අත් කර ගන්නට නොහැකි වන්නට ඉඩ තිබූ බවයි. හමුදාපතිවරයාගේ උපක්‍රම හමුවේ කරන්නේ කුමක්දැයි සිතා ගන්නටවත් ප්‍රභාකරන්ට නොහැකි වූ බවද සඳහන් කළ ඔහු ඉන්දීය ආරක්ෂක ලේකම් උපුටා දක්වමින් ෆොන්සේකා මහතා ලෝකයේ හොඳම හමුදාපතිවරයා යැයිද කීවේය.
එවන් හමුදාපතිවරයකුට එල්ල විය හැකි තර්ජනය නොතකා ඔහුගේ ආරක්ෂාව ඉවත් කොට ඔහු අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණ දෙකකින් නඩු විභාගකර ඔහුගේ පදක්කම් හා විශ්‍රාම වැටුපද ඔහුට අහිමි කෙරිණි. 2015 රාජපක්ෂ ආණ්ඩුවේ පරාජය මෙසේ එකතු වූ අප්‍රසාදයේ එකතුවේ ප්‍රකාශනයයි. එය වත්මන් මෙන්ම අනාගත පාලකයන්ට ද පාඩමකි.
(*** එම්.එස්.එම්.අයුබ්)
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටි
පසුගිය ඉරිදා කළුතර පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරියන්ට ප්‍රමාණව
2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආරක්ෂාවේ ප්‍රභේද අවශ්‍යද?
soma Sunday, 26 January 2025 06:06 PM
හොඳ ඇගයීමක්.