ණය නොගෙවා සිටීම, මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම, රුපියල පා කිරීමට ගත් පියවර, පොලී අනුපාත ඉහළ නැංවීම යනාදී කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- ආර්ථිකය ඉතාම නරක තැනකට පැමිණ තිබෙනවා. ණය නොගෙවන බව නිල වශයෙන් ප්‍රකාශ වී තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර:- ණය ගෙවීම පැහැර හැරීම ඉතාම සංකීර්ණ කටයුත්තක්. එසේ කරනවා නම් එය නිසි සාකච්ඡාවකට යොමුකර තීරණයක් ගැනීම රජයක වගකීමක්. ණය ගෙවීම පැහැර හරින්න කියා අපටත් විවිධ අය කිව්වා. විපක්ෂයත් ඇවිත් අපට ඒ ගැන කිව්වා. එහෙම කිව්වාට ණය ගෙවීම පැහැර හැරීම ගැන තනි තීරණයක් කෙනකුට ගන්න බැහැ. එවැනි තීරණයකට යනව නම් ආණ්ඩුව ඒ කෙරෙහි අවධානය යොමු කර මුදල් ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එයට රජයේ අනුමැතිය ගන්න ඕන. මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නිසා පාර්ලිමේන්තුවෙන් ද අනුමැතිය ලබාගෙන ණය නොගෙවා සිටිය යුතුයි කියන එකයි මගේ මතය. ස්වෛරී බැඳුම්කරවලට සහ වෙනත් ණය ගෙවන්න එපා කියා විවිධ අය අපට කිව්වත් ඒවා කිරීමට අප යොමු නොවුණේ එයට අවශ්‍ය නීතිමය පදනම සකස් වී නොතිබූ නිසයි. ණය ගෙවනවාද නොගෙවනවාද කියන තීන්දුව ගන්න ඕන ආණ්ඩුවයි, පාර්ලිමේන්තුවයි. එහෙම නැතුව මහ බැංකු අධිපතිට හෝ මුදල් මණ්ඩලයට ඒ තීරණ ගන්න බැහැ. කැබිනට් මණ්ඩලය නීතිපතිතුමාගේ උපදෙස් ගෙන ඒ අවශ්‍ය තීන්දු ගෙන එය අනිකුත් නිලධාරීන්ට සන්නිවේදනය කළ යුතුයි. මේ වෙලාවේ එවැන්නක් සිදුව තිබෙනවා නම් හොඳයි.
ප්‍රශ්නය:- රටක් ණය නොගෙවා සිටීමේ ප්‍රතිවිපාක ඔබේ විග්‍රහයට හසුවන්නේ කවරාකාරයෙන් ද?
පිළිතුර:- ප්‍රතිවිපාක බෙහෙවින් බරපතළයි. මාධ්‍යයේ දැන්වීම් පළකරමින් සහ බොහොම සැහැල්ලුවෙන් ණය ගෙවන්න එපා කියා සමහර විශේෂඥයන් යැයි කියන අය කිව්වත් එසේ නොකළේ එහි ප්‍රතිවිපාක බරපතළ බව දැනගෙන සිටි නිසයි. ණය නොගෙවා සිටින විට අලුතෙන් ණය ගැනීමට නොහැකි වෙනවා. එක ණයක් නොගෙවා සිටීමෙන් ඒ හරහා විහිදෙන ප්‍රශ්න දැවැන්ත වෙන්න පුළුවන්. එවැනි පසුබිමක දී රට කෙරෙහි ඇති විශ්වාසනීයභාවය නැතුව යනවා. ණය නොගෙවා සිටීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක බරපතළ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. බැංකු පද්ධතියට ලොකු පීඩනයක් එල්ල වෙන්නත් පුළුවන්. විදේශ ගනුදෙනු කිරීමේ දී ණයවර ලිපි විවෘත කිරීමේ දී බැංකුවලට බාධා ඇතිවෙන්න පුළුවන්. රටට ලැබීමට තිබූ ණය, ආයෝජන විශ්වාසනීයභාවය හානිවීම නිසා නතර වෙන්නත් පුළුවන්. ණය නොගෙවා සිටින්නේ නම් ඇති විය හැකි මේ තත්ත්වය සමනය කරන ආකාරය සිතා බලන්න ඕන. එවැනි සූදානමකින් තොරව ණය නොගෙවා සිටියොත් දැඩි ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැකියි. අද තිබෙන ප්‍රශ්න ගැන පමණක් සිතා දෙන සමහර උපදෙස් සාර්ථකයි කියා අපට සිතන්න බැහැ.
ප්‍රශ්නය:- මූල්‍ය අරමුදලට යා යුතු බවට මීට සෑහෙන කාලයක පටන් ආර්ථික විද්වතුන් පෙන්වා දුන්නා. ඒ කාලයේ මූල්‍ය අරමුදලට ගියා නම් ප්‍රශ්නය මෙතරම් බරපතළ නොවන බවට තර්ක ඉදිරිපත් වෙනවා. මූල්‍ය අරමුදලට නොගියේ බයටද? ඔවුන් සමග තරහකටද? හේතුව මොකක්ද?
පිළිතුර:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මූල්‍ය අරමුදලේ ලොකුම සමීපස්ථ ණය ව්‍යාපෘතිය මේ රටේ 2010-2014 කාලයේ දී වඩා සාර්ථකවම ක්‍රියාත්මක කළේ මම මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේ. එනිසා මූල්‍ය අරමුදල සමග මට තරහක් නැහැ. කවුරුහරි එහෙම කියනවා නම් ඒක මිථ්‍යාවක්. එහෙත් මේ අවස්ථාවේදී මූල්‍ය අරමුදලට නොගොස් ජන ජීවිතය රැකගැනීමේ වුවමනාව ආණ්ඩුවට තිබුණා. අපටත් තිබුණා. එනිසා මූල්‍ය අරමුදලට නොගොස් අපට එම කටයුත්ත කර ගත හැකි නම් එය වඩා යහපත් කියන එක මගේ මතයත් වුණා. මූල්‍ය අරමුදලට ගොස් ආර්ථිකමය අමාරුකම්වලට මුහුණ දුන් අවස්ථා මේ ලෝකයේ තිබෙන බවත් අප අමතක නොකළ යුතුයි. මූල්‍ය අරමුදලේ සෑම වැඩසටහනක්ම අවසන් වී තිබෙන්නේ ඉතා සුන්දර තැනකින් නෙමෙයි. බරපතළ ප්‍රශ්න මතුවූ අවස්ථා රාශියක් තිබෙනවා. මූල්‍ය අරමුදලේ වැඩසටහන් නිසා රජයකට වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථා මතුවී තිබෙනවා. ඇතැම් සම්පත් විකුණද්දී ජනතාව නොසන්සුන් වෙන්න පුළුවන්. පොලී අනුපාත අසීමිතව වැඩිවූ අවස්ථා රාශියක් තිබෙනවා. ආර්ජන්ටිනාවේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට45 දක්වා පසුගියදා වැඩි කර තිබුණා. එවැනි තත්ත්වයක දී ජන කැලඹීම් ඇතිවෙන්න පුළුවන්. ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. බැංකු කඩා වැටෙන්න පුළුවන්. රැකියා රාශියක් අහිමි වෙන්න පුළුවන්. එනිසා මේවා නොකර වෙනත් විකල්ප තිබේ නම් මුලින්ම ඒ විකල්ප සෙවිය යුතුයි. පසුගිය කාලයේ අපට චීනයෙන් ණය ගන්නට හැකි වුණා. ඩොලර් බිලියන 1.5ක SWAP එකක් අපි ගත්තා. චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ලැබුණා. ඉන්දියාවෙන් ACU ක්‍රමවේදය හරහා ඩොලර් බිලියන 1.5ක් ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම ඇ.ඩො. බිලියන 2ක ණයක් තෙල් සඳහා සහ ආනයන සඳහා අලුතෙන් ණයක් ඉන්දියාවෙන් සූදානම් කර ගැනීමට අපට හැකි වුණා. අපි කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීනයෙන් මුදල් වශයෙන් තවත් ඩොලර් බිලියනයකුත් වෙළෙඳාමට තවත් බිලියන 1.5කුත් ලබාදීමට චීනය සූදානම් බව ප්‍රකාශ වී තිබුණා. මේවා බලාපොරොත්තුවෙන් තිබූ මුදල්. කෙටිකාලීනව යම් ප්‍රශ්න තිබුණත් දැඩි කොන්දේසි යටතේ ජන ජීවිතයට දැඩි කම්පනයක් ඇති නොවන ආකාරයට කටයුතු කර ගන්නට හැකිව තිබුණා නම් එවැන්නකට අපි අකැමැතිද? විශ්‍රාම වැටුප්, රාජ්‍ය සේවය කප්පාදුවට කවුරුවත් කැමැති නැහැ නේද?
පසුගිය 2015-2019 කාලයේ දී ස්වෛරී බැඳුම්කරවලින් පමණක් ඇ.ඩො.බි. 10ක් ණය පසුගිය රජය අරගෙන තිබුණා. එහෙත් ආර්ථිකය වර්ධනය වුණේ ඩොලර් බිලියන 79 සිට බිලියන 84 දක්වා බිලියන 5කින් පමණයි. ඒ සමගම වසරකට සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණු ඇ.ඩො.බි. 4.5ක මුදලක් අපට කොවිඩ් නිසා අහිමි වුණා. විදේශ ප්‍රේෂණවලින් ලැබීමට තිබූ ඇ.ඩො.බි. 1.5ක පමණ මුදලක් අහිමි වුණා. මේ නිසා දැවැන්ත පීඩනයක් අපගේ විදේශ ගිණුමට දැනුණා. එය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය වුණා. එහිදී ඉන්දියාවෙන්, චීනයෙන්, බංගලාදේශයෙන් අපි සහාය ගත්තා. තවත් රටවල් සමගත් සාකච්ඡා කරනවා. තවමත් සමහර ඒවා සාර්ථක වී නැහැ. ඒව කළේ මේ තත්ත්වය සමනය කර ගන්නයි. ඒවා නොකර මූල්‍ය අරමුදලට යන්න තිබුණා. කෙසේ වෙතත් දැන් කර තිබෙනවා වගේ මූල්‍ය අරමුදලට යන්න ඕන කියා ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණයක් ගෙන මහ බැංකුවට කිව්වා නම් එයට අවනත වෙන්නට අපට සිදු වෙනවා. එහෙම නැතුව මහ බැංකුවට ඒ තීරණය ගන්න බැහැ. එතැනින් එහාට තව කතා නැහැ. මහ බැංකු අධිපති, ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් මේවාට වගකිවයුතු බව ඇමැති මණ්ඩලයේ සමහරු කියනවා නම් ඒක මොන කතාවක්ද? තීරණය ගන්න ඕන ඇමැති මණ්ඩලයේ සිටින ඇමැතිවරු. සමහරු සියල්ල දෙස බලාගෙන ඉඳලා නිදහසට කරුණු කියනවා.
ප්‍රශ්නය:- රටේ පවතින සහ ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික වාතාවරණය ගැන මුදල් අමාත්‍යාංශයට දැනුම්දීමක් හෝ ඔවුන් සමග ගනුදෙනු කිරීමක් හෝ පසුගිය කාලයේ සිදුවුණේ නැද්ද?
පිළිතුර:- මහ බැංකුවේ වැඩකටයුතු සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මුදල් නීති පනතට අනුව. යම් පීඩනයක් ආර්ථිකයට එල්ල වන විට හෝ යම් ප්‍රශ්න ඇති වන විට ඒ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා මුදල් ඇමැතිවරයාට ඒ කාරණා ලිඛිතව දැනුම් දිය යුතු බව මුදල් නීති පනතේ වගන්ති අංක 64 සහ 68හි සඳහන් වෙනවා. ඒ නීති ප්‍රකාරව ඉතා පැහැදිලිව සෑම අවස්ථාවකම මහ බැංකු අධිපති හැටියට මුදල් ඇමැතිට එවැනි ලිපි ලේඛන මා යවා තිබෙනවා. ඒ නීතිය බොහොම පැහැදිලිව අනුගමනය කර තිබෙනවා. එතැනින් එහාට යම් දේ කිරීමේ හැකියාවක් මහ බැංකුවට නැහැ. ඒවා කළ යුත්තේ ආණ්ඩුව සහ එහි අනෙකුත් පාර්ශ්ව. ඒවා කිරීම හෝ නොකිරීම ආණ්ඩුවට තීරණය කරන්න පුළුවන්. මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ පසුගිය මාස හයක කාලයේ දී සියලු වගකීම් නිසි ලෙස ඉටු කළ බව මට පැහැදිලිව කියන්න පුළුවන්.
ප්‍රශ්නය:- රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමග ඉතිහාසයේ දරුණුම කඩා වැටීමට රුපියල ලක්ව තිබෙනවා. මේ තීරණය ගත්තේ හරි වෙලාවේද? මේ තීන්දුව මීට පෙර ගත යුතු වූවක් නොවේද?
පිළිතුර:- ආර්ථිකයේ පීඩනයක් ඇති අවස්ථාවක රුපියලේ අගය පා කිරීමේ දී යම් අවදානමක් තිබෙනවා. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. රුපියල පා කරන්න කියා බොහෝ දෙනෙක් කියද්දිත් අවදානම අරගෙන මහ බැංකුව හැටියට වෙනත් ආකාරයකට රුපියල පාලනය කර ගැනීමට ලොකු උත්සාහයක් අපි ගත්තා. වෙනත් රටවලින් මුදල් ලබා ගත්තා. ඒ හරහා බාහිර පීඩනය අඩු කරන්නට අපට යම් තරමකට පුළුවන් වුණා. ඉක්මනින් තෙල්, විදුලි මිල වැඩි කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටියා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අඩු කරන්න කියා ඉල්ලීම් රාශියක් කළා. ඇතැම් විට එම ඉල්ලීම මා ප්‍රසිද්ධියෙත් කිව්වා. රට ලොක්ඩවුන් කරන්න එපා නැතහොත් ඒවා සීමා කරන්න කියා ඉල්ලා අපි සිටියා. එවැනි ඉල්ලීම් කළේ පසු කාලයේ දී ඇතිවන දැඩි ආර්ථික පීඩනය ගැන අපට අවබෝධයක් තිබූ නිසයි. ඩොලර්වලින් වාහන ගෙන්වන්න, තීරු බදු ගෙවන්න ඉඩ දෙන්න කියා අපි ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටියා. මෙවැනි යෝජනා සහ ඉල්ලීම් රාශියක් මහ බැංකුව කළා. ඒවා කළේ රුපියලේ අගය රැක ගැනීමට වෙනත් මෙවලම් කීපයක්ම සකසන්න. අවසානයේ දී ඒවා සිදුනොවී දැවැන්ත ලෙස පීඩනය වැඩි වන විට රුසියා - යුක්රේන යුද්ධය හරහා තෙල් බැරලයක මිල ඩොලර් 140 දක්වා වැඩි වන විට ආනයන අඩු කිරීමට කටයුතු නොවන විට යම් තැනක දී මාර්තු 8 වැනිදා රුපියල පා කරන්නට අපට සිදුවුණා. ඒත් ඒවා සිදුව තිබෙන්නේ නිවැරැදි ක්‍රමවේදය ඔස්සේ. මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ඒ සඳහා ඉල්ලීම් කළා. ප්‍රතිපත්තිය වෙනස් කළාට පසුවත් රුපියලේ අගය යම් තැනක රඳවා ගැනීම වෙනුවෙන් උත්සාහ ගත්තා. ඩොලරයේ අගය රු. 299 මට්ටමේ තබා ගැනීමට සියලු බැංකු සමග සාකච්ඡා කර මාර්තු 31 වැනිදා එකඟතාවකටත් පැමිණියා. ඒ සමගම බොහෝ දෙනකුගේ ඉල්ලීම මත ඉතා ඉක්මනින් ඊට දින 7කින් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගම සම්බන්ධ වී කටයුතු කිරීමට රජය සමග අප යොමු වුණා. මාර්තු 15 වැනිදා වන විට ජනාධිපතිතුමාත් එයට යොමු වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන බවට රටට ප්‍රකාශ කළා. යම් තීරණයක් ගත් පසු එය හරි හෝ වැරැදි හෝ කියන්න ඕනම කෙනකුට පුළුවන්. එහෙත් ඒ අවස්ථාවේ තිබූ පසුබිම හා පීඩනය අනුව අවශ්‍ය තීරණය මුදල් මණ්ඩලය ගෙන තිබෙනවා. මේ තීරණය වැරැදියි කියා දැන් කවුරුන් හෝ කියනවා නම් ඒ පිළිබඳව මුදල් මණ්ඩලයත් එහෙමම සිතනවා නම් මුදල් මණ්ඩලයට දැන් වුවත් එය වෙනස් කරන්න පුළුවන්. රුපියල පා නොකර ස්ථාවර අගයක පවත්වා ගත යුතු බව දැන් ඒ සම්බන්ධව කටයුතු කරන අය හෝ උපදේශකයන් හෝ සිතනවා නම් ගැටලුවකින් තොරව ඔවුන්ට ඒ දේ කරන්න පුළුවන්. එසේ නැතිව දිගටම මේ ආකාරයට කටයුතු කරගෙන යනව නම් එයින් කියැවෙන්නේ 2022 මාර්තු 7 වැනිදා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නිවැරැදි බව නේද?
ප්‍රශ්නය:- චීනයෙන් ඇ. ඩොලර් බිලියන 2.5ක මූල්‍ය ආධාර ලැබෙන බව ඔබ ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්දියාවත් තවත් ඇ. ඩො.බි. 2ක් දීමට එකඟත්වය පළ වී තිබෙනවා. මෙවන් පසුබිමක ණය නොගෙවා සිටීම ගැන ඔබේ පැහැදිලි කිරීම කුමක්ද?
පිළිතුර:- 2022 ජනවාරි මාසයේ අපගේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව චීන රජය බොහොම උනන්දුවකින් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා 2022 මාර්තු මස 15 වැනිදා පමණ පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. හැකි තරම් ඉක්මනින් අවශ්‍ය සහාය ලබා දෙන බවත් රාජ්‍ය තාන්ත්‍රික භාෂාව අනුව ඔහු කියා සිටියා. ඒ වගේම චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාත් ඉක්මනින්ම ඒ ණය දීමේ කටයුතු අවසන් වනු ඇති බවටත් පැහැදිලි කර තිබුණා. කොහොම වුවත් ණය ගෙවීම සම්බන්ධව අපට අමාරුම මාසයකට තිබුණේ පසුගිය 2022 මාර්තු මාසයයි. ඉන් පසු 2022 ජූලි මාසයත් ඒ වගේම කාලයක්. එළැඹෙන අප්‍රේල්, මැයි, ජූනි මාස තුන එතරම් අමාරු මාස තුනක් හැටියට අපේ මුදල් ප්‍රවාහයේ දැක්වෙන්නේ නැහැ. එනිසා මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු සියලු නිලධාරීන් බොහොම උනන්දුවකින් කටයුතු කර අවශ්‍ය මුදල් සොයාගෙන 2022 මාර්තු මාසයේ ණය ගෙවීමට අපට හැකි වුණා. අප්‍රේල්, මැයි, ජූනි සහ ඉන් ඉදිරියට ණය නොගෙවා සිටීම ගැන දැන් සිටින බලධාරීන්ගෙන් අහන්න ඕන. මම ඒ ගැන පැහැදිලි කරන එක සුදුසු නැහැ.
ප්‍රශ්නය:- පොලී අනුපාත ඉතිහාසගත අයුරින් පසුගියදා ඉහළ ගියා. උද්ධමනයත් තවත් ඉහළ යන බවට පුරෝකථනය කෙරෙනවා. මේ ගැන කියන්නේ කුමක්ද? මෙතැනට පැමිණීමට අදාළ පසුබිම සැකසුණේ ඔබේ කාලයේ නේද?
පිළිතුර:- පොලී අනුපාත වෙනස් කිරීමේ අවකාශය මහ බැංකුවට තිබෙනවා. මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ඒ තීරණය ගන්න පුළුවන්. විවිධ අවස්ථාවල විවිධ තීරණ ගැනීමට මුදල් මණ්ඩලයට නිදහස තිබෙනවා. තමන් ස්වාධීනව කටයුතු කරන බව නව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. එසේ ස්වාධීනව කටයුතු කරන අවස්ථාවක සියයට හතකින් පොලී අනුපාත වැඩි කිරීම ස්වාධීනව ගත් තීරණයක් වන්නට පුළුවන්. ඒක මුදල් මණ්ඩලය සතු තීරණයක්.
පසුගිය මාස 6ක පමණ කාලයක් තුළ කාලයේ සෑම රටකම පාහේ උද්ධමනය වැඩිවී තිබෙනවා. මේක ලංකාවේ පමණක් වූ දෙයක් නෙමෙයි. වසර 40කට පසු ඇමෙරිකාවේ ඉහළම උද්ධමනය දැන් වාර්තා වෙනවා. බ්‍රිතාන්‍යයෙත් එහෙමයි. යුරෝපයේ වසර 30කට පසු ඉහළම උද්ධමනය වාර්තා වෙනවා. එයට වගකිවයුත්තේ අරයා මෙයා කියා ඒ රටවල අය ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. යථාර්ථයට මුහුණ දිය යුතු බව ඒ රටවල අය තේරුම් ගෙන සිටිනවා. ලෝක තෙල් මිල වැඩිවී තිබේ නම් සහ ඒ මිලට ලංකාවට තෙල් ගන්නට සිදුවනවා. මෙරට පොලී අනුපාතිකය කොතරම් වැඩි කළත් තෙල්වලට ගෙවිය යුතු මුදල වෙනස් වෙන්නේ නැහැ. අනෙක් කුමන ආනයන භාණ්ඩයක් ගත්තත් තත්ත්වය එයයි. මහ බැංකුව මේ ගැන හොඳටම දන්නවා. මේවා ගැන සිතා බලා මහ බැංකුව මේ තීරණය ගන්න ඇති. උද්ධමනය පාලනය මහ බැංකුවේ වගකීමක්. ස්වාධීනව එම කටයුතු කරනවා නම් තවදුරටත් ඒ ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ. ඒ වුණත් ජනතාව මත පැටවෙන පොලී බර වැඩිවෙන බවත් සැලකිල්ලට ගත යුතු බවත් කියන්නට ඕන.
ප්‍රශ්නය:- ණය ගෙවීම නවතා දැමීමත් සමග ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව බංකොලොත් මට්ටමට ඇද දමා තිබෙනවා. මොනව වෙයිද?
පිළිතුර:- බංකොලොත් වීම හරහා ආර්ථිකයට සෑහෙන පීඩනයක් දැනේවි. මුලින් පෙන්නා දුන්න වගේම ණය නොගෙවා ඉන්න යැයි බොහෝ දෙනා කියද්දිත් එසේ නොකර, බංකොලොත් නොවී මුදල් සොයාගෙන ණය ගෙවාගෙන ඉදිරියට යා යුතු බව රජයේ සහ අපගේ අදහස වුණා. රට බංකොලොත් නොවී රැක ගත යුතුයි කියන ස්ථාවරයේ අපි දිගටම සිටියා. එහෙත් ණය නොගෙවා රට බංකොලොත් වුණාට කමක් නැහැ කියන ස්ථාවරයේ තවත් අයත් සිටියා. ඒකත් තව විකල්ප මතයක්. ඒ මතය දැන් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ මතය ක්‍රියාත්මක වන විට යම් උවදුරු මතුවෙන්න පුළුවන්. සමහර උවදුරු ඉතාම දරුණු ඒවා වෙන්නත් පුළුවන්. ඒවා ගැන කතා කරන්න මම කැමති නැහැ. මොකද ආණ්ඩුව සහ මහ බැංකුව ඒවා වළක්වා ගැනීමට යම් යම් පියවර ගනිමින් සිටිනවා නම් මගේ කතාවකින් සමහර විට යම් පීඩනයක් ඇති විය හැකි නිසයි. ඇති විය හැකි අවදානම් සමනය කර ගැනීමට ඒ අය දන්නවා ඇති. කොහොම වුවත් මේ තීරණය ගැනීමට එකඟත්වය ලබාදුන් සියලු දෙනා ඒ තීරණයේ ප්‍රතිවිපාක සමනය කර ගැනීමට උත්සාහ ගනීවි කියා මා තරයේ විශ්වාස කරනවා. එම අවදානම් ජයගන්න ඒ සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියාත් මා ප්‍රාර්ථනා කරනවා.
(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථිකය අවුල් කළේ ආණ්ඩුව
ajith Wednesday, 27 April 2022 01:56 PM
ඇයි මෙයා රටේ මිනිස්සු තෙල්, ගෑස්, භුමිතෙල්, කිරිපිටි ගන්නට පෝලිම්වල දවස් ගණන් ඉන්නේ සහ රෝහල්වල ඖෂධ හිඟය ගැනත් ඔය එක්කම කතා නොකරන්නේ...? ඒ මේ අයට ඔය කියපු භාණ්ඩවල හිඟයක් නැති නිසාද?
kamal Wednesday, 27 April 2022 02:29 PM
එක්කෝ කබ්රාල් බොරු කියනවා, නැත්නම් අලි සබ්රි බොරු කියනවා...
Senarath Wednesday, 27 April 2022 02:32 PM
අපි විශ්වාස කළේ මහ බැංකුවේ හිටපු අධිපති කිව්ව කතා ගැන... රජයන් බොරුකියලා ජනතාව රවටන බව අපි දන්නවා. ඒත් වෘත්තීකයෙක් විදිහට ඔබ සත්‍යය වසන්කොට රට අගාධයට වැටෙන විදිහට කටයුතු කිරීම ඉතාම පහත් ක්‍රියාවකි...
කෝරලගේFriday, 29 April 2022 01:28 PM
අද මුළු රටම අකර්මන්‍ය වෙලා තියෙන්නේ රටම මහා සාගතයකට ගෙන ගිය රටේ මුදල් කළමනාකාරිත්වය කිසිම දෙයක් නොදන්නා මහ බැංකුවේ හිටපු අධිපති ලෙස හිටපු මොහු නිසයි. අපි TV සංවාද වල මොනතරම් දැක්කද ආර්ථික උපදේශකවරු ස්වෛරී බැඳුම්කර නොගෙවා ප්‍රතිව්‍යුහගතකර IMF යන්න කියලා කියනවා. ඒ උපදෙස් තුට්ටුවකට නොගෙන අසීමිත ලෙස මුදල් අච්චු ගසමින් තම අභිමතය පරිදි මහ බැංකුව වැරැදි ලෙස මෙහෙයවලා මුළු රටම වලපල්ලට යවලා අන්තිමට අත්දෙක සෝදාගෙන පැත්තකට වුණා. අද අපි මුළු ලෝකෙන්ම අන්තිමටම බංකොලොත් වෙලා මිනිස්සුන්ට යනඑන මන් නැහැ.
chandima Wednesday, 27 April 2022 07:41 PM
යන්න එපා වලේ තව අසූචි තියෙනවා.
මැක්ස් Friday, 29 April 2022 08:46 AM
බොහෝදෙනෙක් නොදන්නා සහ නොසිතන පැත්තක් එතුමා පෙන්වා දී තිබෙනවා.
koswaththa Friday, 29 April 2022 07:26 PM
මෙයා බබා... රට කෑවා..