IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබඳ පැවැති තහනම පෙබරවාරි මස 01 වෙනිදා සිට රජය විසින් ඉවත් කරන ලද අතර ඒ අනුව කෝවිඩ් අර්බුදයෙන් පසු ආනයනය සම්බන්ධයෙන් පනවා තිබු සියලුම සීමා දැන් ඉවත් කර තිබේ.

යළිත් වරක් කෝවිඩ්වලට පෙර පැවැති ආකාරයෙන් ආනයන අපනයන වෙළෙඳාම නිදහසේ පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් දැන් උදාවී ඇත. එසේ වුවද මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් විදේශ ආර්ථික අංශය පිළිබඳව වඩාත් පරිස්සම්කාරී තත්වයකින් කටයුතු කළයුතු අවස්ථාවකට පැමිණ තිබේ.

පසුගිය වසරේ අ‌ගෝස්තු මස 07 වෙනි දින රටේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති රැස්වීමකදී එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කලක් තුළදී වාහන ආනයන තහනම අදියර කීපයකින් ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝබර් පළවෙනි දිනෙන් ආරම්භ කර 2025 පෙබරවාරි මස පළමුවැනි දින වන විට තුන්වැනි අදියර ද ක්‍රියාත්මක කර පෞද්ගලික මෝටර් රථ ආනයනය සඳහා අවසර ලබාදීමට තීරණය කර තිබුණි. කෙසේ වුවද ජනාධිපති ධුරය වෙනස්වීමෙන් පසු වාහන ආනයනය පිළිබඳව කවර තත්වයක් ඇතිවේද යන්න පිළිබඳව සැක සංකා මතුව තිබුණි. එසේ වුවද නොවැම්බර් 06  දින එවකට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ රජය  තීරණය කර ඇති ආකාරයට අදියර තුනක් යටතේ වාහන ආනයනය පිළිබඳව වූ යෝජනාව ඒ ආකාරයෙන්ම ක්‍රියාක්මක කරන බවයි. ඒ අනුව මේ වසරේ පෙබරවාරි පළමුවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනය සඳහා ද අවසරදීම තුළින් මේ දක්වා පැවැති වාහන ආනයන තහනම සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කර ඇති ඊට අදාළ ගැසට් නිවේදන මගින් පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ රජයේ ඊට අදාළ කැබිනට් මණ්ඩල තීරණයේ සියලුම කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. අදියර තුනක් යටතේ වාහන ගෙන්වීමට ඉඩ ලබාදීම, මෝටර් රථ ආනයනයේදී අවුරුදු තුනකට වඩා පැරණි නොවන වාහන ගෙන්වීමට පමණක් අවසර ලබාදීම, අනෙකුත් වාහන වර්ග අනුව ඒවා සඳහා වසර පහක සහ දහයක සීමා පැනවීම, වාහන ගෙන්වා මාස තුනක කාලපරිච්ඡේදයක් තුළ ඒවා ලියාපදිංචි කළ යුතු වීම, එසේ නොහැකි වූ විට දඩ ගෙවීමට සිදුවීම ආදී සියල්ලම මුල් කැබිනට් පත්‍රිකාවේ අඩංගුව පවතී.

ඒ හා සම්බන්ධයෙන් නව රජය හඳුන්වා දී ඇති එක වෙනසක් වන්නේ පුද්ගලයන්ට ද වාහන ආනයනය කළ හැකි නමුත් එය වසරකට එක වාහනයක් ලෙස තීරණය කර තිබීමයි. එසේම වාහනයේ තුන් අවුරුදු කාලසීමාව ගණනය කිරීමේදී නිෂ්පාදන දිනයේ සිට වසර තුනක් ලෙස සැළකිය යුතු බවත් නිෂ්පාදන දිනය නැති විට එහි නිෂ්පාදන දිනය ලෙස නිෂ්පාදන වර්ෂයේ ජනවාරි 15 ලෙස සැළකිය යුතු බවත් දැක්වෙන නියමය ද අලු‍තෙන් එකතු කර ඇති බව පෙනේ.

බදු වෙනස්කම් පිළිබඳව ගෙන ඇති සෑම තීරණයක්ම නව රජය ගෙන ඇති බව පෙනී යයි. එයට හේතුව මුල් කැබිනට් තීරණයේ බදු අනුපාත පිළිබඳව කිසිවක් සඳහන් නොවීමයි. රජය සාමාන්‍ය වාහන සම්බන්ධයෙන් එන්ජින් ධාරිතාව අනුවත් විද්‍යුත් වාහන සම්බන්ධයෙන් කිලෝ වොට් අගය අනුවත් අයකරන බදු ප්‍රමාණය පිළිබඳව ගැසට් නිවේදන නිකුත් කර ඇති අතර 2019 වසරේ පැවැති බදු අනුපාතවලට වඩා ඉහළ අනුපාතයක් නියම කර තිබේ.

මෙම බද්ද නිෂ්පාදන බද්ද ලෙස හඳුන්වන ලදී. ඊට අමතරව රේගු බදු ප්‍රමාණය ද වැඩිකර ඇති අතර මෝටර් රථ සඳහා එය සියයට 30ක් වනු ඇත. වාහන වෙනුවෙන් අය කරන සුඛෝපභෝගි බදු සම්බන්ධයෙන් වෙනස්කම් හඳුන්වා දී තිබේ. මුලදී CIF වටිනාකම මිලියන 3.5 ඉක්මවන විට සුඛෝපභෝගී බදු ගෙවීමට සිදු වුවද දැන් එම සීමාව රුපියල් මිලියන 5.5 දක්වා ඉහළ දමා තිබේ. එයට අමතරව එසේ එකතුවන මුළු වටිනාකමට සියයට 18ක වැට් බද්ද ද ගෙවීමට සිදුවේ.

නිදහස් වෙළෙඳපොළ ක්‍රමයට පවත්නා බාධා ඉවත් කර නිදහස් වෙළෙඳපොළ ක්‍රමය තහවුරු කිරීම, මහජනතාවගේ වාහන පිළිබඳ අපේක්ෂා ඉටු කිරීමට කටයුතු කිරීම සහ රජයේ බදු ආදායම වැඩිකර ගැනීම ආදි අරමුණු ඉටුකර ගැනීමට වාහන ආනයන සීමා ඉවත්කර ගැනීම මගින් ඉඩ සැලසේ. වසර 05ක කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවට  වාහන ආනයනය කර නැත. එබැවින් තහනම ඉවත් කිරීම තුළින් වාහනයක් හිමිකර ගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී තිබේ. බදු වැඩි කිරීම සහ මෝටර් රථ ආනයනයේදී අවුරුදු තුනකට වඩා පැරණි නොවන වාහනවලට පමණක් සීමා කිරීම පිළිබඳව බොහෝ විවේචන ඉදිරිපත් වන නමුදු පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සහ රටේ මෝටර් රථ පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒම පිළිබදව සලකා බලන විට එම තීරණ යෝග්‍ය බව ප්‍රකාශ කළ හැකිය.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති ඉහතින් සඳහන් කළ විදේශ අංශයට අදාළ වාර්තාව මගින් රටේ විදේශ අංශය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලසේ. 2024 වසරේ මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 12,772කි. ආනයන වියදම ඩොලර් මිලියන 18,841කි. අපනයන සහ ආනයන පරතරය ඩොලර් මිලියන 6,069කි.

ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන් පවත්නා මෙම හිඟය පියවා ගැනීමට අනෙකුත් අංශවලින් ලැබෙන ආදායම මත රැඳී සිටීමට සිදුවේ. සංචාරක ආදායම ඇතුළත් සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 6,883කි. එසේ වුවද සේවා ආනයන සඳහා ඩොලර් මිලියන 3,228ක් වැය වී ඇත. ඒ අනුව සේවා අංශයෙන් ලැබූ ශුද්ධ අපනයන ආදායම ඩොලර් මිලියන 3,168කි. ආනයන අපනයන පරතරය ද පුළුල් වී යළිත් වරක් විදේශ විනිමය සම්බන්ධ ගැටලු‍වට මුහුණදීමට සිදුවේද යන අවිනිශ්චිතභාවයක් නිර්මාණය වෙමින් පවතී.

2024 වසරේ දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,101ක් විය. එම මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,924කි. ඉන් පැහැදිලි වන්නේ පූර්ව කෝවිඩ් යුගයේ ආනයන වියදමටත් වඩා වැඩි වියදමක් දරන තත්වයකට පසුගිය දෙසැම්බර් මාසය වනවිට රට පත්ව ඇති බවයි. එම මාසයේ අපනයන ආනයන පරතරය ඩොලර් මිලියන 822ක් විය. එවැනි තත්වයක් පවතිද්දී මෝටර් රථ ආනයනය සඳහා දොර විවෘත කිරීම කිසියම් අවදානමක් සහිත කටයුත්තකි.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමෙන් සාර්ව ආර්ථික කළමනාකරණයට යෝග්‍ය පරිදි ගැළපීම් කිරීමේ අවශ්‍යතාව එමගින් අවධාරණය වේ. මෙම අවදානම කවර ස්වරූපයක් ගනීද යන්න පිළිබඳව පසුගිය කාලය තුළ රටේ විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස්කම් අනුව හඳුනා ගැනීමට හැකිවේ.

2024 දෙසැම්බර් මස අවසානයේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.1ක් විය. 2023 වසර අවසානයේ පැවැති ඩොලර් බිලියන 4.4 හා සැසඳීමේදී මෙය සැළකිය යුතු වර්ධනයකි. එසේ වුවද ආර්ථික අර්බුදයෙන් පසු ඉහළම සංචිත ප්‍රමාණය වාර්තා කළේ 2024 වසරේ නොවැම්බර් මාසයේදීය. එය ඩොලර් බිලියන 6.5ක් විය. දෙසැම්බර් මස වනවි‌ට ඩොලර් මිලියන 400කින් සංචිත ප්‍රමාණය අඩුවී තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී රජයට දැරීමට සිදුවු වියදම් ආදිය සංචිත ප්‍රමාණය අඩුවීමට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි. කෙසේ වුවද ඉන් පැහැදිලි වන්නේ සංචිත ගොඩ නැගීමේදී රටට මුහුණදීමට සිදුවන අභියෝගයන් ය.

නව රජය බලයට පත්වීමෙන් පසු අයිඑම්එෆ් සමග අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ රටට පැමිණියහ. ඔවුන්ගේ සමාලෝචනය අවසානයේදී ඊළඟ ණය වාරිකය ගෙවීමට නිර්දේශ කිරීමට තීරණය කර ඇති බව ඔවුන් විසින් ප්‍රකාශ කරන ලදී. කෙසේ වුවද ඊළඟ ණය වාරිකය මේ දක්වාම ලැබී නැත. අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳව ද සමාලෝචනයක යෙදී ඊළඟ වාරිකය නිදහස් කිරීමට තීරණය කරනු ඇතැයි සිතිය හැක.

එක අතකින් වාහන ආනයනයට ඉඩ ලබාදීම වැනි මහජනතාවගේ, විශේෂයෙන්ම මධ්‍යම පාන්තික ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට රජයට සිදුව තිබේ. ඒ අතරම බලයට පත්වූ වහාම ඉන්ධන මිල අඩු කිරීම, භාණ්ඩ මිල අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම වැනි රජය මහජනතාවට පොරොන්දු වී ඇති දේ ඉටු කිරීමට ද සිදුවේ. ඒ අතරම සංචිත අඩුවීම වැනි තත්ව වළක්වා ගැනීමට ද කටයුතු කළ යුතුව ඇත. අනෙක් අතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන එකඟතා පිළිපදින බවටත් අයීඑම්එෆ් ලබාදී ඇති ඉලක්ක සම්පූර්ණ කරන බවටත් වගබලා ගැනීමට සිදුවේ.

ආර්ථික අර්බුදයෙන් සහ බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇති වූ බොහෝ අර්බුද විසඳාගෙන රට යථා තත්වයට පත් කිරීම සඳහා සුදුසු වාතාවරණයක් දැන් නිර්මාණය වී තිබේ. එසේ වුවද එය සාර්ථක කර ගැනීමට නම් සාර්ව ආර්ථික කළමනාකරණයට ප්‍රමුඛතාව ලබාදී, මුහුණදීමට සිදුවන අභියෝග කළමනාකරණය කරගත හැකි ක්‍රියාමාර්ගවලට රජය යොමුවීම අවශ්‍ය වනු ඇත.  වැල් පාලම තරණය කිරීමට තමන්ද සූදානම් බව ප්‍රකාශකර තිබුණද එය පහසු කාර්යයක් නොවන බව අවබෝධකර නොගෙන කටයුතු කරන්නේනම් දැරීමට සිදුවන අවදානම ඉහළ යනු ඇත.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (0)

ආර්ථිකයේ තීරණාත්මක කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 126 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 83 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 164 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 57 0

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 101 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 178 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site