IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


ආර්ථික අර්බුදයට විකල්ප

අප සිටින්නේ රටේ අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක මැතිවරණයක් අභියස ය. රටේ අනාගතය කෙසේ තීරණය විය යුත්තේ ද යන කාරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විවිධ අපේක්ෂකයෝ ද අනාගත සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් නොයෙකුත් අදහස් ඉදිරිපත් කරති.

මේ අදහස් කෙබඳු වුවත්, රටේ පොදු ජනතාවට මුහුණ දීමට තිබෙන ගැටලු‍ විවිධ වන්නේ නැත. එම ගැටලු‍ සියල්ලම පාහේ එකම ස්වරූපයකින් පවතින ඒවා බව පෙනේ. මේ අපේක්ෂකයන්ගෙන් කවුරු ජයග්‍රහණය කළත්, ඔවුහු මේ ප්‍රශ්න මැනැවින් තේරුම් ගෙන ක්‍රියා කළ යුත්තාහ. ජනතාව තම ගැටලු‍ සම්බන්ධයෙන් ඵලදායි පිළිතුරු අපේක්ෂා කරන බව ද මතක තබාගත යුතුය. එසේ නොවුණහොත්, අපේ රට විශාල අර්බුදකාරි තත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය.

නිදහසින් පසු අප ගත කළ වසර 76ක කාලය සලකා බැලූ විට, අපේ රට මේ තත්වයෙන් පැවැතීම සම්බන්ධව සතුටු විය නොහැකි ය. අද අප සිටින්නේ ඉතාමත් පසුගාමි තත්වයක ය. නිදහස ලැබූ කලාපීය වෙනත් රටවල් සමග සසඳා බැලූ විට එය හොඳින් ම වටහාගත හැකිය. අපේ රට දියුණුව කරා යා හැකිව තිබූ තත්වය, එනම්, විභව සංවර්ධන ඉලක්කයන් අපට මගහැරී ගොස් තිබීම අවාසනාවකි. එම විභව සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට මේ වන තෙක් අපි අසමත්ව සිටිමු. මේ තත්වය ඇති වීමට මෙතෙක් බලයට පත් වූ ආණ්ඩු සියල්ලක්ම පාහේ වගකිව යුතුය. ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක දුර්වලතා, අවබෝධකර නොගැනීම නිසි පරිදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආදිය නිසා අද වන විට ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබේ. වර්තමාන ආර්ථික අර්බුදය ඇති වීමට බලපෑවේ කොරෝනා අර්බුදය පමණක් නොවේ. එය මෙරට ආර්ථිකයේ දීර්ඝ කාලීනව වැඩෙමින් ආ අර්බුදයකි. මේ වන විට සිදු වී තිබෙන්නේ එම ආර්ථික අර්බුදය පුපුරා යාමකි. ඒ පුපුරා යාමෙන් ඊට කඩිනමින් විසඳුම් සෙවීමට සිදු වී තිබේ.

දරිද්‍රතාව අද වන විට දැකිය හැකි බැරෑරුම් ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් සතර දෙනකුගෙන් එක් අයකු මේ වන විට දරිද්‍රතාවෙන් පෙළෙන බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරේ. අසමානතාව, විරැකියාව, කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනවල පවත්නා මන්දගාමි බව, ව්‍යාපාර කඩා වැටීම, ඉදිකිරීම් කර්මාන්ත කඩා වැටීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් තවදුරටත් දුර්වල මට්ටමක පැවැතීම, අපනයන අඩුකම හා ආනයන මත රඳා පැවැතීම ආදි ප්‍රධාන ගැටලු‍වලට දැන් අපි මුහුණ දෙමින් සිටිමු. ඊට අමතරව ජනගහන සංක්‍රාන්තිය මෑත කාලයේ අප දුටු අර්බුදකාරි තත්වයකි. ඒ හේතුවෙන් ඵලදායි ශ්‍රමය රටෙන් බැහැරවෙමින් තිබේ. වයස්ගත ජනගහනය වැඩි වී ඇත. ජන වර්ග අතර පවත්නා සංහිඳියාව පිළිබඳ කාරණය ද අවධානය යොමු විය යුතු එකකි.

එහෙත්, කනගාටුවට කරුණ නම්, මෙම ගැටලු‍ සම්බන්ධයෙන් නිසි සැලසුමක් ඉදිරිපත් කරමින් දේශපාලනයට පිවිසි තත්වයක් තවමත් පෙනෙන්නට නොමැතිවීමයි. දිගුකාලීනව සමාජයේ ආර්ථික ගැටලු‍වක් වර්ධනය වෙමින් තිබියදී පසුගිය දශක දෙක තුළ විසඳුම් ලබා ගැනීමට උත්සාහ නොකිරීම අර්බුදය උග්‍රවීමට හේතුවකි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙනස් වීම්, ප්‍රතිපත්තිවල දැඩිභාවයන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එසේ නොවුණහොත්, අදටත් වඩා ඉදිරි වසර දෙක තුන තුළ දී, විශේෂයෙන්ම, විදේශ ණය ගෙවීමට පටන්ගන්නා අවස්ථාවේ දැඩි පීඩනයන්ට මුහුණ දීමට අපට සිදුවනු ඇත.

වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය පදනම් කරගෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා මේ වන විට ගිවිසුම්ගත වී තිබේ. ඒ සඳහා තීරණාත්මක සාධකය වන්නේ, රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවීමයි. නිසි තීන්දු තීරණ ලබාගත හැක්කේ ඒ අනුවයි. සාර්ව ආර්ථිකයේ ස්ථාවරත්වය , සමාජ ස්ථාවරත්වය, සංහිඳියාව, මේ අනුව ඇති කරගැනීම අවශ්‍ය වේ. සෑම දේශපාලන පක්ෂයක්ම මේ සම්බන්ධයෙන් දැඩි අවධානය අවශ්‍ය ය. මේ සදහා ජනතාවගේ අයිතිවාසිකම් ලබාගන්නා සේ ම ආර්ථිකයේ උපායශීලී ක්‍රමෝපායයන් වෙත යොමු විය යුතුව ඇත. රජය අය වැය හිඟය අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය අයවැය හිඟය අඩු කරගැනීමට නම් එක් පැත්තකින් බදු අය කර ගත යුතු ය. දැනටමත් ඒ කෙරෙහි අවධානය යොමු වී තිබේ. තව දුරටත් බදු වැඩි කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. අනිත් පැත්තෙන් රාජ්‍ය වියදම් අඩු කරගත යුතු ය. අඩු කළ යුත්තේ කුමන වියදම් ද ? එක්කෝ විශාල රාජ්‍ය සේවක කප්පාදුවක් කරන්නට සිදුවිය හැකි ය. නැතිනම් වෙනත් සුබසාධක වියදම් අඩු කරන්නට සිදුවනු ඇත. එහෙත් එවැනි තීරණවල දී විරැකියාව වැනි ගැටලු‍ නැවත උග්‍රවිය හැකියි. බදු වැඩි කිරීම ආර්ථිකයේ සංකෝචනයක් ඇතිවීමට බලපාන කාරණයකි. එය දරිද්‍රතාවට නැවත බලපාන්නකි. ඒ නිසා රාජ්‍ය වියදම් කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට සිදුවනු ඇත.

 තවදුරටත් මේ ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ ණය ගැනීමෙන් ද යන්න සිතා බැලිය යුත්තකි. දේශීය ණය ලබාගැනීමේ හැකියාව පවතී ද? ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට ක්‍රියාත්මක කරන්නේ ඉතාමත් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියකි. එය ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ගිවිසුම් ගතකොට ඇති තත්වයකි. එහි දී අපේක්ෂා කරන්නේ උද්ධමන ඉලක්කගත මූල්‍ය ප්‍රතිපත්තියකි. උද්ධමනය සියයට 5ක පමණ ප්‍රමාණයකින් පවත්වාගෙන යාම එහිදී අපේක්ෂා කෙරේ. එයින් අඟවා සිටින්නේ මුදල් සැපයුම පාලනය කිරීම, ආර්ථික වෘද්ධිය, සේවා නියුක්තිය මූල්‍ය ප්‍රතිපත්තියෙන් දායක විය හැකි හැකියාව සීමා වීම ආදියයි. මූල්‍ය ප්‍රතිපත්ති උද්ධමනය පාලනයට පමණක් යොදාගැනීම තුළ ආර්ථිකයට අදාළ වෙනත් අවශ්‍යතා අයි.එම්. එෆ්. කොන්දේසි අනුව ඉටුකරන්නේ කෙසේද යන්න අභියෝගයකි. එම අභියෝගයට ඊළඟ රජය මුහුණ දෙන්නේ කෙසේද?

අයවැය හිගය දැනට සියයට 8-9 පමණ අගයක් ගනී. එය සියයට 5 දක්වාවත් රැගෙන ආ යුතු වේ. අය වැය හිඟය පියවා ගැනීමට නම් දැනට පවත්නා තත්වය අනුව ණය ලබාගැනීමට සිදු වේ. එහෙත් දේශීය වශයෙන් ණය ලබා ගතහොත් සිදුවන්නේ රජයෙන් රැකියා සැපයීම දුර්වලවීම සහ වෙළෙඳපොළ දැඩි පීඩනයකට පත්වීම ය. පෞද්ගලික ආයෝජන මත රජය අය වැය හිඟය පියවාගැනීමට උත්සාහ ගතහොත් එයින් ඍණාත්මක හා අහිතකර බලපෑමක් ඇති වේ. එසේ වුවහොත් එය පෞද්ගලික අංශය ද කඩාවැටීමට හේතුවකි. එයින් ද විරැකියාව ආදී ගැටලු‍ තවදුරටත් ඉහළ යනු ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්ති බොහෝ විට බටහිර රටවල් අනුගමනය කරන වෙළෙඳපොළ ආර්ථිකයට නැඹුරු වූ සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ කියැවෙන ප්‍රතිපත්ති වේ. ඒවා කොතෙක් දුරට අපේ රටට ගැලපෙනවා දැයි විමසිය යුත්තකි. අපේ රටේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීමේ පවත්නා දුර්වලතා නිසා සිදු වී ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය ප්‍රතිපත්තිවලට එකඟවන්නට සිදුවීම ය. අපේ වෙළෙඳපොළ ගත්තොත් පෞද්ගලික අංශයට තරගකාරී විදියට ක්‍රියාත්මක වන්නට ඉඩකඩක් ඇති බවක් නොපෙනේ. වෙළෙඳපොළ දේශපාලනීකරණයවීම මීට හේතුවයි. එයින් තරගකාරී ව්‍යවසායකයන්ට මේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ අපහසුතාවක් ඇති වේ. ඒ නිසා දේශපාලනට වෙනම අවස්ථාව ලබාදෙන ගමන් ව්‍යාපාරිකයන්ට තරගකාරී ලෙස තමන්ගේ ආයෝජන නිෂ්පාදන පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදිය යුතුය. එයින් කාර්යක්ෂමතාව, පලදායීතාව වර්ධනය කරගත හැකි වේ. එහෙත් පසුගිය කාලයේ වෙළෙඳපොළ ව්‍යාපාර කටයුතුවල විනිවිදභාවයක් තිබූ බවක් නො පෙනේ. දේශපාලන වාසි හිතවත්කම්වලට ආයෝජන ලබාදීමෙන් සිදුවන්නේ වෙළෙඳපොළේ ඇත්ත තරගය දුර්වලවීම ය.

මේ අනුව බැලූ විට මේ වන විට වෙළෙඳපොළ ප්‍රතිපත්ති ද අසාර්ථක වී තිබේ. රාජ්‍ය අංශය ද අසාර්ථක වී තිබේ. එවැනි තත්වයක් මත දැන් අප මේ ගමන් කරමින් සිටින්නේ විකල්ප නැති, අයි.එම්.එෆ් කොන්දේසි මත යැපෙමින් යන ගමනකි. දැනට ඉදිරි පත් කොට ඇති විකල්ප සීමිතවීම තුළින් ම පැහැදිලිවන්නේ ආර්ථික අර්බුදයේ සහ මේ අභියෝගවල පවත්නා දැඩි භාවයයි. ඉදිරියට බලය ලබාගන්නා කවරෙකු වුවත් මේ කියන ප්‍රධාන කාරණා කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු ම වේ.

මෙහිදී  ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් මාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඉන් එකක් නම් රාජ්‍ය අංශය ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය සම්බන්ධ කාරණයයි. රාජ්‍ය අංශයේ ව්‍යාපෘති කටයුතු සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ දී මේ විනිවිදභාවය අත්‍යවශ්‍ය වේ. එම විනිවිදභාවය සම්බන්ධයෙන් දැනට සතුටු විය හැකි පරිසරයක් දැකිය නොහැක. විශේෂයෙන් රාජ්‍ය ණය මීට අදාළ වේ. ණය ගැනීම සිදුකළ ද ඒවා යෙදවූ ආකාරය පිළිබඳ වගවීම හා විනිවිදභාවය බොහෝ තැන්වල පැහැදිලි නැත. රාජ්‍ය අරමුදල් භාවිත කළ ආකාරය පිළිබඳව නිවැරැදිව දැනගැනීමේ අයිතිය ජනතාවට ද තිබිය යුතුය. ලබාගත් ඇතැම් ණය සම්බන්ධයෙන් ඒවායේ විගණන සම්බන්ධයෙන් කොතෙක් වාද විවාද සිදුවුවත් එහි ප්‍රතිඵල දැකිය නොහැකි තරම් ය. ඉදිරියේ දී පත්වන නායකයන්ට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

එසේම සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යෑම ඊළඟ වැදගත් කාරණයයි. මේ කියන ආර්ථික ගැටලු‍වෙන් තිරසාර ලෙස අත්මිදීමේ මාර්ගයට පිවිසිය හැක්කේ දේශපාලන සහ ආර්ථික ස්ථායිතාව තුළිනි. දූෂණ, වංචා අවම කරන තීරණාත්මක වෙනස්කම් ඇති කිරීම අවශ්‍යය. දේශපාලන නායකත්වයට පත්වීමට අපේක්ෂා කරන්නන් තුළ මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් පවතී ද යන්න සොයා බැලිය යුත්තකි. පසු ගිය කාල සීමාව තුළ මේ ගැන යම් යම් විවාද ඇතිවූ බව ඇත්ත ය. එහෙත් දූෂණ, වංචා අවම කිරීමට තවමත් නිසි වැඩපිළිවෙළක් සකස් වී නැති බව මගේ අදහස ය.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ආර්ථික අර්බුදයට විකල්ප

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සුළඟේ යන මැතිවරණ පොරොන්දු
2024 සැප්තැම්බර් මස 14 128 0

හරියටම තව සතියකින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු ඉදිරිපත් වී සිටිය ද මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ ඉන් කි


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 346 2

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


බරපතළ අභියෝග යුගයක්
2024 සැප්තැම්බර් මස 12 281 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත මෙරට නවවැනි විධායක ජනාධිපති තෝරාගැනීමේ ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය, දැඩි ආර්ථි


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 769 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


ධනය පොදු යහපතට යෙදවූ මුදලිවරු සිටි මහා කප්පින වලව්ව
2024 සැප්තැම්බර් මස 11 2071 3

මහා කප්පින වලව්වේ අවසන් මුදලිවරයා වන්නේ සැම්සන් රාජපක්ෂ මුදලිවරයාගේ එකම පුතණුවන් වූ ටියුඩර් දීදෙරෙක් නතානියෙල් රාජපක්ෂ නොහොත් ටියුඩර් රාජපක්ෂ මුදල


ආර්ථිකයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 11 532 1

රටේ ආර්ථිකය පිළිබඳව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කළ හැකිය. මේ දිනවල ජනාධිපතිවරණය හේතුවෙන් රට සහ දේශපාලන කරළිය උණුසුම් වී පවතින විට රටේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2091 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 962 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site