ශ්රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන අතර එම වෙළෙඳපොළ හා සේවා සැපයීම හේතු කොටගෙන බස්නාහිර පළාත වාසිය පවරා ගෙන තිබේ.
කොළඹ කේන්ද්‍ර කරගත් සංවර්ධනයෙන් අත්පත් කරගත් වාසි අවාසි ගැන තක්සේරුවකට යා යුතුව තිබේ. සංවර්ධනයට දක්වන දායකත්වය දුර්වලවීම හේතු කොටගෙන සෙසු පළාත් පසෙකට තල්ලු වීම සුදුසු තත්වයක් නොවේ. සමබර සංවර්ධනයක් අරමුණු කරගෙන පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේය. බලය බෙදන අතර, තීරණ ගැනීමේදී ඉක්මන් ක්‍රමවේද අපේක්ෂා කරන ලද නමුත්, එහි ප්‍රතිඵලය සීමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් වාර්තා අනාවරණය කරයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්කරවීමෙන් මහජනතාවගේ ඉලක්ක පැහැදිලි කරගත යුතු වේ. විශේෂයෙන් උතුර හා නැගෙනහිර පළාත්, ඉතිහාසයේ පැවැති රාමුව බිඳ දකුණේ පාලනය කෙරෙහි බර තබා ඡන්දය පාවිච්චි කර ඇත. එම පළාත්වල තිබුණ ආර්ථික පීඩනය හා සමාජ විසමතා හේතු කොටගෙන උද්ගතව තිබුණ බරපතළ තත්වය අමතක කළ නොහැකිය. දශක තුනක කාලයක් දක්වා පැතිරී ගිය ත්‍රස්තවාදි ක්‍රියා හේතු කොටගෙන විශාල වන්දියක් ගෙවන්නට සිදු විය. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන සංවර්ධනය පළාත් විසමතා ඉක්ම වන තැනකට ගෙන එන යුගයක් නිර්මාණය කළ යුතු වේ.
2022 වසරේදී බස්නාහිර පළාත මෙරට සංවර්ධනයට දක්වන දායකත්වය සියයට 41.2ක ප්‍රතිශතයක පැවැතිණ. 2023 වසරේ ප්‍රතිශතය සියයට 43.7කි. එම වාර්තාව දක්වන පරිදි, උතුරු පළාත දක්වා ඇති දායකත්වය සියයට 4.5ක් වන අතර, නැගනහිර පළාත සියයට 4.7ක ප්‍රතිශතයක් බව දැක්වේ. බස්නාහිර දායකත්වයෙන් සියයට දහයක් පමණ ළඟා කරගත හැකි තරමට අසමානතාවක් පිළිබිඹු කරන හේතුව පැහැදිලි කරගැනීම අවශ්‍යය. කෙසේ වෙතත්, වයඹ හා මධ්‍යම පළාත් හැරුණුකොට අනෙක් පළාතක් සියයට දහය ඉක්ම වන සංවර්ධන දායකත්වයක් රටට පෙන්වන්නේ නැත. එය තවත් බරපතළ ඇඟවීමකි.
බස්නාහිර පළාත කෘෂිකර්මය තුළ සියයට 12.1කි. කර්මාන්ත අංශයේදී සියයට 48.7ක් හා සේවා අංශයේදී සියයට 45.9ක ප්‍රතිශතයක් අත්පත් කරගෙන තිබේ. වයඹ හා නැගෙනහිර කෘෂි අංශයෙන් ඉදිරියෙන් සිටින බව පෙනේ. වයඹ හැරෙන්නට අනෙක් පළාත්වල කර්මාන්ත අංශය ඉතාම අඩු තැනක පවතී. නැගෙනහිර හා ඌව සේවා අංශයෙන් ද දරුණු පරිහානියක පසු වේ. මෙම ඉලක්කම් ඉකුත් දස වසරක කාලය තුළ වෙනස් වී නැත.
යුද තත්වය පරාජය කර රටේ සාමකාමි වාතාවරණයක් ස්ථාපනය කර වසර පහළොවක් ගත වී තිබේ. මෙම කාලය තුළ බලයට පත් ආණ්ඩු ගණනාවකි. මෙම ආණ්ඩු ප්‍රකාශ කරන ලද සංවර්ධන අභිලාෂවලින් සුළු ප්‍රමාණයක් හෝ ගමට කාන්දු වී නැත. ප්‍රතිපත්ති ප්‍රකාශනවල කියැවුණ දේ වචනවලට පමණක් සීමා වී ඇති බව ඉතාම පැහැදිලිය.
නිදහස් අධ්‍යාපනය හේතු කොටගෙන උසස් මානව සම්පතක් රටට ඇත. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් නිතිපතා උපාධිධරයෝ බිහි කරති. මෙම පිරිස රැකියා පෝලිමට එකතු වෙන්නේ නැත. මෑත කාලය තුළ දකින්නට ලැබුණ ප්‍රවණතා අනුව දක්ෂ තරුණන්ගේ ඉලක්කය වෙනත් රටට සංක්‍රමණය වී ඇත. නීත්‍යනුකූලව හෝ නොවන උපාය අනුගමනය කර වෙනත් රටකට පැන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමට වෑයම් කරන පිරිස කොපමණ ද යන්න ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිම සාක්ෂියකි. ඉගෙනුම හමාර කරන දරුවන්ට රට තුළින් අවස්ථා සම්පාදනය කරන සැලැසුම් සකස් කළ යුතු වේ. ඉගෙනගත් ප්‍රදේශයේ කර්මාන්ත හෝ ව්‍යාපාර බහුල කිරීමෙන් රටින් බැහැරට යන දක්ෂ කොටස නතර කරගත හැකි වනු ඇත.
තරුණන් පිටරට යවා විගමනික ප්‍රේෂණ වශයෙන් රටට විනිමය ගෙන්වා ගැනීමට සැලැසුම් කරන ආණ්ඩුවේ ක්‍රමවේද පරාජයට පත් කළ යුතුය. විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශ රටට අවශ්‍ය නැත. තරුණ ශ්‍රමය අර්ථාන්විතව ප්‍රයෝජනයට ගත හැකි ක්‍රම සම්පාදනය කරන අමාත්‍යාංශ බිහි කළ යුතු වේ. ඉඩම, ප්‍රාග්ධනය අලුත් ව්‍යවසායකත්ව සඳහා පැන නැගෙන ගැටලු අතර ඉහළින්ම ඇත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා ජන සංගණනක් පවත්වන ලද අතර, එහි මූලික වාර්තාව ආණ්ඩුවට බාර දීමට නියමිතය. මෙම වාර්තාව දක්වන කරුණු ගැඹුරෙන් අධ්‍යයනය කිරීම පර්‌යේෂකයන්ගේ වගකීමකි. රට මුහුණපා ඇති අර්බුදයට හේතුව දේශපාලනය පමණක් නොවේ. තීන්දු ගැනීමට යුහුසුලු නොවන පටු නිලධාරිවාදය බව දැක්විය යුතුය. පැරැණි ක්‍රමවේද අදට වලංගු නැත.
මෑතක් වන තුරු යටිතල පහසුකම් ගැන ප්‍රශ්න තිබුණි. 1990 ගණන්වල ලෝක බැංකුව රටට ආධාර සපයන විට නිෂ්පාදන නගරයට ප්‍රවාහනය කරන ක්‍රමවේද සඳහා දිරිමත් කළේය. පසුව අධිවේගි මාර්ග, වරාය, ගුවන්තොටුපොළ හා තොරතුරු සන්නිවේදනය වැනි අංශ සඳහා දැවැන්ත ආයෝජනයක් කළේය. මෙම ආයෝජන ව්‍යාපෘති රට ණයගැති කරන ලද බවට චෝදනාවක් පැවැති බව ද මතක් කළ යුතුය. යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගෙන පළාත් මටට්මින් නිෂ්පාදනය වැඩි කරන ව්‍යාපෘති පටන්ගත යුතු වේ. අපනයනයට රට සූදානම් කරන අතර, පළාත් මටට්මින් අලුත් ව්‍යවසාය ඇති කිරීමෙන් පරිවර්තන යුගයකට ඇතුළු විය හැකිය.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති විදේශීය ආයෝජන ගණන ප්‍රමාණවත් නැත. කොළඹ නගරය හා සමාන ඉඩ ප්‍රමාණයක් ඇති සිංගප්පූරුවේ විදේශ සමාගම් 4,500ක් ව්‍යාපාර මෙහෙයවමින් සිටී. කොවිඩ්-19 වසංගත කාලයෙන් පසු ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණි අදානි සමූහ ව්‍යාපාරයේ කටයුතු ද අවිනිශ්චිත තැනකය. සිංගප්පූරුවට තෙල් නිධි නැත. එහෙත්, ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන රටවල් ලැයිස්තුවේ තුන් වැනි තැන පසු වේ. ඕනෑම සමාගමකට පැමිණ ආයෝජනය සඳහා විවෘත අවස්ථා සපයා තිබේ.
2023-24 මුල්‍ය වසරේදී ඉන්දියාවට ඍජු විදේශ ආයෝජන වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 44.5ක් ලැබී ඇත. 2023 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අඩුය. ආයෝජන මණ්ඩල වාර්තා අනුව, ව්‍යාපාර අවස්ථා 1,600ක් පමණ යෝජනා වශයෙන් තිබේ. ඒවා ක්‍රියාවට නංවන බාධා අතර පිරිවැය ඉහළ මටට්මක තිබීම ගැන කරුණු දක්වා ඇත. ඉන්දියාවේ හෝ දකුණු ආසියාවේ වෙනත් රටක ඉදිකිරීමකට වඩා දෙගුණයකට ඉහළ වියදමක් ශ්‍රී ලංකාවේ පවතී. අධික බදු හා වරින් වර වෙනස් කරන ක්‍රමවේද තවත් ගැටලුවකි. බලශක්ති වියදම ඉහළය. ශ්‍රමය සම්බන්ධ ප්‍රශ්න තිබේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හල්වලට පවා ශ්‍රමය හේතු කොටගෙන ගැටලු ඇත. වැවිලි අංශය ශ්‍රම හිඟය බරපතළ ලෙස බලපා ඇති අංශයකි.
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන පවතින අවස්ථා වෙනත් පළාත්වලට යොමු කරන අතර, එවැනි ආයෝජන සඳහා දිරිගැන්වීම් අවශ්‍යය. පිටරට පමණක් නොව මෙරට ව්‍යවසායකයන්ට පවා සංවර්ධන දායකත්වය ඇති පළාත් තෝරා යොමු කළහොත් වෙනසක් ඇති කළ හැකි වේ. කර්මාන්ත කලාප, සේවා ස්ථාන වෙන් කර ඒවාට ස්ථිර ප්‍රතිපත්ති ඇති කළහොත් පළාත් සංවර්ධනය ඇති කළ හැකි වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අලුත් බලාපොරොත්තු ඇති කර තිබේ. ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදනය අනුව විදුලිබල ග්‍රිඩ් සම්බන්ධතා ගොඩනගන බව කියැවේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කරන හා කලාපයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට එතැන පත්කරන බවට ප්‍රකාශ වී ඇත. කන්කසන්තුරේ වරාය සංවර්ධනය කරන අතර, මගී නැව් සේවාව දියුණු කරන්නට ද දෙරට අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ. මෙමගින් රටවල් දෙක අතර සංචාරක, වෙළෙඳාම වැනි අංශ දියුණු වනු ඇතැයි විශ්වාසය පළ කෙරේ. විදුලිය ග්‍රිඩ් සබඳතාව ගැන ආණ්ඩු තුනක් කතා කර තිබේ. රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මගී නැව් සේවාව පසුගිය කාලය අතරතුර තුන් වතාවක් ආරම්භ කරන ලද අතර, ප්‍රමාණවත් ධාරිතාවක් රහිතව වාණිජ මෙහෙයුම් නතර කෙරිණ. මෙකී අංශ කෙරෙහි අලුත් මානයකින් අවධානය අවශ්‍යය.
යාපනය ගුවන්තොටුපොළ, ත්‍රිකුණාමලය වරාය සහ කන්කසන්තුරේ වරාය දියුණු කළහොත්, උතුර හා නැගෙනහිර පළාත්වලට අලුත් අවස්ථා ඇති වේ. සංවර්ධන අරමුණු ඇතිව ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්කරගත් ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමක් වනු ඇත.
ඉන්දියාවේ කල්කටා නගරයේ සිට බැංකොක් දක්වා අධිවේගි මාර්ගයක් තැනේ. මෙම මග මියන්මාර් හා තායිලන්තය ඔස්සේ ගමන් කරන අතර, 2027 වසරේදී අවසන් කළ හැකි වෙතැයි විශ්වාස කෙරේ. ජී20 සමුළු වාරය තුළ ඉන්දියාව යෝජනාවක් ඉදිරිපත් කළ අතර, සෞදි අරාබිය, එමිරේට්ස්, ජෝර්දානය, ඊශ්‍රායලය හා යුරෝපා සංගමය එයට කැමැත්ත පළ කර තිබේ. එම යෝජනාවට අනුව ඉදිකරන අලුත් දුම්රිය මාර්ගයකින් ඉන්දියාවේ සිට යුරෝපයට ප්‍රවේශ විය හැකි වේ. මෙතෙක් පැවැති බාධා ඉවත් වී ඉක්මනින් ගොඩබිමින් යා කළ හැකි වන බව දැක්වේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකරන යෝජනාවක් 2000 වසරේ සිට සාකච්ඡා කෙරේ. කිලෝමීටර් පනහකට අඩු දුර පාලම තැනුණහොත් කිලෝමීටර් 2800ක් දක්වා දිවෙන බැංකොක් අධිවේගි මාර්ගයට කොළඹ සිට ඇතුළු විය හැකි වේ. යාපනය අධිවේගි මාර්ගය ඉක්මන් කිරීම මේ සඳහා අවශ්‍ය කෙරේ. දුම්රිය මග තැනුණහොත් ශ්‍රී ලාංකිකයන්ට යුරෝපයට ප්‍රවේශ වන අවස්ථාවක් ලැබේ. මෙම අවස්ථා ඔස්සේ උතුර, නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල විශාල වෙනස්කම් ඇති විය හැකිය. ජාතික සංවර්ධනයට මෙම පළාත් දක්වන දායකත්වය දෙගුණ තෙගුණ වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා සැලකිය යුතු හේතුවක් වනු ඇත.
(*** සාරා කන්දෙගොඩ)
සහල් හිඟය හා උතුරේ මහවිරු සැමරුම් උත්සවත් දකුණේ ඒ සම්බන්ධව වර්තාවූ තැන් පසුගිය සතියේ කරළිය මත දිස්වුණු කාරණාය. නව රජය මැතිවරණ පොරොන්දුවලින් පාලනයේ යථ
2025 ලැබූ නව වසර මෙරට ජනතාව ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රවල කිසියම් සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් පසුවන වසරකි. විශේෂයෙන්ම ආර්ථික ද
“අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කුඹුරු කරනවා වගේම කජු, ඉරිඟු, කුරක්කන්, මුංඇට වගේ ධාන්‍යත්, කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වර්ගත්, එළවළු වර්ගත්, බතල, මඤ
රටට සෞභාග්‍යයත්, මහජනතාවට සමෘද්ධියත් අත්වන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආර්ථික අර්බුදය රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී ඇති අවස්ථාවක උදා වන
ශ්රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් හා මුඩීස් යන ආයතන ශ්‍රී ලංකාව තරමක් ඉහළ මට්ටමකට පසුගිය 20 වැනිදා හා 23 වැනිදා ශ්‍රේණිගත කළේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආර්ථික නවෝදයකට පළාත් සභා