IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


ආර්ථීකය තවදුරටත් අනතුරේ?

ආර්ථික නිර්ණායකවල යම් ප්‍රගතියක් තාවකාලිකව දැකිය හැකිය. විනිමය අනුපාතය යහපත් වෙමින් රුපියල ශක්තිමත් වී තිබේ. එසේම උද්ධමනය පෙර පැවති තත්ත්වයට වඩා හොඳ මට්ටමකට පැමිණ ඇත. උද්ධමනය සියයට 33 ක අගයක් දක්වා අඩුව ඇති තත්ත්වයක භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු නොවන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

උද්ධමනයෙන් ගණනය කෙරෙන්නේ මිල මට්ටම වැඩි වීමේ වේගයයි. උද්ධමන අනුපාතය අඩු වීමෙන් අදහස් වන්නේ මිල මට්ටමේ වැඩි වීමේ වේගය පහළ යෑමක් මිස මිල මට්ටම අඩු වීමක් නොවේ. මෙපරිදි ආර්ථික නිර්නායක අතින් යම් ප්‍රගතියක් දක්නට ලැබුණ ද ගැටලුකාරී තැන් කිහිපයක් හඳුනා ගත හැකිය.

උද්ධමන අනුපාතිකය පහළ යෑම සඳහා බලපෑ සාධක බොහොමයක් ඇත. බදු වැඩි වීම, මිල ගණන් ඉහළ යෑම වැනි හේතු මත මේ වනවිට ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පවතින්නේ දුර්වල මට්ටමකය. එක් පැත්තකින් පොලී අනුපාත ඉහළ අගයක පවතී. එබැවින් ණය ගැනීම් අඩු වී තිබේ. එසේම ආයෝජන අධෛර්යවත් වී දේශීය නිෂ්පාදන මට්ටම ද අඩු වී ඇත. 2021 වර්ෂයේ අවසන් කාර්තුවට සාපේක්ෂව 2022 අවසන් කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 12.4 න් පහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අවධිමත් අංශයේ රැකියා කරන අයගේ ආදායම් අඩු වී ඇත. එම අංශයේ සැලකිය යුතු පිරිසකට රැකියා අහිමි වී තිබේ.

මේ සියලු දේ සමග මිනිසුන්ගේ පරිභෝජන වියදම් විශාල ලෙස අඩු වී ඇත. සෘජු හා වක්‍ර බදු දෙවර්ගයම පවතින නිසා මිනිසුන්ගේ වැය කළ හැකි ආදායම් තවත් අඩු වී තිබේ. මිලදී ගැනීමේ හැකියාව දුර්වල වන විට භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුම අඩු වන අතර එවිට උද්ධමනය පහළ යයි.

මහ බැංකුව ගත් ප්‍රතිපත්තිමය තීරණ ද උද්ධමනය පහළ යෑම කෙරෙහි යම් මට්ටමකට බලපා තිබේ. මේ වන විට මහ බැංකුව අනුගමනය කරන්නේ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකි. එනම්, මුදල් සැපයුම සංකෝචනය කිරීම හරහා උද්ධමනය පහළ දැමීමේ ප්‍රතිපත්තියකි. එහි ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාත ඉහළ ගොස් තිබේ. පොලී අනුපාත වැඩිවීම හේතුවෙන් මිනිසුන්ගේ වියදම් හා ආයෝජන අඩු වී තිබේ. කවර අරමුණකින් ක්‍රියාත්මක කළ ද බදු යනු ද ආණ්ඩුවේ ප්‍රතිපත්තියකි. බදු වැඩි කිරීම ඔස්සේ ඉල්ලුම පහළ ගොස් ආර්ථිකය යම් ප්‍රමාණයකට සංකෝචනය වී ඇත.

ආර්ථිකයක් සංකෝචනය කිරීමෙන් උද්ධමනය අඩු කළ හැකි වුවද ඊට සාපේක්ෂව ආර්ථිකය හැකිළේ. එනම්, නිෂ්පාදනය අඩු වීම, සේවා වියුක්තිය ඉහළ යෑම ආදිය ඇති වේ. මිනිසුන්ගේ ආදායම් ද අඩු වන අතර ආර්ථික වර්ධනය ද සෘණ වීමට ඉඩ ඇත. මෙපරිදි උද්ධමනය පාලනය කිරීම එකම අරමුණ බවට පත් කර ගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ආර්ථිකයෙහි විවිධ ගැටලු පැන නැගීමට පිළිවන. එනිසා සෑම අංශයක් කෙරහිම අවධානය යොමු කරමින් සමබරව පවත්වා ගෙන යෑම අවශ්‍ය වේ.

විනිමය අනුපාතිකය තීරණය වන්නේ විදේශ විනිමය සඳහා වන ඉල්ලුම හා සැපයුම අනුවය. එනම්, ඩොලර් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය තීරණය වේ. ඩොලර් සඳහා වන ඉල්ලුම ප්‍රධාන වශයෙන්ම සකස් වන්නේ ආනයන වියදම්, විදේශ ණය ගෙවීම් යන වියදම් වෙනුවෙනි. එම ඉල්ලුම මේ වන විට යම් මට්ටමකට පහළ ගොස් තිබේ. එයට හේතුව නම්, ආනයන සීමා වී තිබීමත් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබීමත්ය.

ඊට සාපේක්ෂව ඩොලර් සැපයුම ඉහළ ගොස් තිබේ. අපනයන ගතහොත් පසුගිය කාලේ සාධනීය තත්ත්වයක් දැක ගත හැකි විය. 2019 ට පෙර එනම්, කොවිඩ් 19 වසංගතයට පෙර අවධියේ පැවති තත්ත්වයට සාපේක්ෂව 2022 වන විට අපේ අපනයන ආදායම් සියයට 9.7 කින් වර්ධනය වී ඇත. විදේශ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම නිසා අපනයන තරගාකාරීත්වය ඉහළ ගොස් මෙරට අපනයන ඉහළ යෑමක් දක්නට ලැබිණි.

විදේශ ප්‍රේෂණ ක්‍රමිකව පහළ යෑමක් පසුගිය කාලයේ දැකිය හැකි වූ අතර 2019 වන විට එහි මාසික අගය ඩොලර් මිලියන 560 ක් වශයෙන් සටහන් විය. එය 2022 වන විට ඩොලර් මිලියන 316 දක්වා අඩු වී තිබිණි. එහෙත් 2023 අප්‍රේල් වන විට එම අගය ඩොලර් මිලියන 454 දක්වා වැඩි වී තිබේ. ඩොලර් සැපයුම වැඩි වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 333 ක පළමු ණය වාරිකයත් හේතු විය. මෙපරිදී ඩොලර් සැපයුම ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙමින් පවතියි.

රුපියල ශක්තිමත් වීමත් සමග ඇති වන තත්ත්ව දෙකක් තිබේ. එකක් නම්, අපනයනවලට වන බලපෑමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය ඉපැයීම් මාර්ගය වන්නේ අපනයනයි. රුපියල ශක්තිමත් වීමත් සමග අපේ අපනයන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ පවතින තරගකාරීත්වය අඩු වේ. මන්ද, අන්තර්ජාතික වෙළෙඳපොළේ විදේශීය ආනයනකරුවන්ට මෙරට අපනයන සඳහා ඉහළ මුදලක් ගෙවන්නට සිදු වේ.

මේ මොහොත වන විට ලෝක ආර්ථිකය පවතින්නේ ද යම් අර්බුදයකය. විශේෂයෙන්ම යුරෝපයේ ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම පහළ ගොස් තිබේ. ලෝකයේ සෙසු රටවල ද උද්ධමනය හා සේවා වියුක්තිය එකවර ඉහළ යන තත්ත්වයක් උද්ගතව ඇත. එම පසුබිමේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා පවතින ඉල්ලුම් පොදුවේ පහළ වැටී තිබේ. 

ගෝලීය මට්ටමින් එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති සන්දර්භයක මෙරට අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ඉල්ලුම හා තරගකාරීත්වය අඩු වීම මත අපේ ආර්ථිකය කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ඇති කිරීමට පිළිවන. එම නිසා අපනයන ආදායම් අඩු වීමට ඇති ඉඩ ඉහළය. එමගින් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යෑමට ද පිළිවන. එවැනි තත්ත්වයක් හට ගත හොත් රටේ නැවතත් විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකිය. අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය වීමේ දී අපනයනකරුවන්ට ලැබෙන්නේ අඩු ආදායමකි. එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන අධෛර්යවත් විය හැකිය.

රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව මේ වන විට ආනයන පිරිවැය අඩු අගයක පැවතියත් මීට පෙර භාණ්ඩ ආනයන කළ සහ ඒවා වෙළෙඳපොළට බෙදා හැර නැති නිෂ්පාදකයන්ට යම් බලපෑමක් සිදු වේ. ඕනෑම මුදල් ඒකකයක් අධිප්‍රමාණය වීම හෝ අවප්‍රමාණය වීම ක්‍රමිකව සිදු වන්නේ නම් එයින් සිදු වන බලපෑම අඩු එකකි. 1990 සිට 2019 දක්වා කාලයේදී විදේශ විනිමය අනුපාතය වෙනස් වී ඇති ආකාරය සලකා බැලුව හොත් එහි ශීඝ්‍ර වර්ධනයක් සිදු ව නොමැත. එනම්, වේගයෙන් සිදු වූ ඉහළ පහළ යෑම් වාර්තා වී නැත.

එහෙත් 2019 න් පසුව විදේශ විනිමය අනුපාත වේගයෙන් ඉහළ පහළ ගොස් තිබේ. 2021 ට සාපේක්ෂව 2022 දී විනිමය අනුපාතිකය සියයට 5.7 න් පහළ ගොස් තිබේ. 2022 දී පමණක් ශ්‍රී ලංකා රුපියල සියයට 79 කින් අවප්‍රමාණය වී ඇත. එය අතිවිශාල අගයකි. 2022 ට සාපේක්ෂව 2023 වසරේ මේ දක්වා කාලයේ දී සියයට 18 කින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබේ. ව්‍යාපාරවල අවිනිශ්චිතතාව වැඩි වීමට විනිමය අනුපාතිකය වේගයෙන් ඉහළ පහළ යෑම හේතු වේ.

රුපියල ශක්තිමත් වීම ජනතාවට නොදැනෙන බවට එනම්, මිල මට්ටමෙන් නොපෙන්වන බවට සාකච්ඡාවක් ඇත. එසේම රුපියල ශක්තිමත් වීමේ වාසිය නිෂ්පාදකයන් පාරිභෝගිකයන්ට නොදෙන්නේ ඇයි ද යන්නත් කතාබහට ලක් වෙමින් තිබේ. රුපියල ශක්තිමත් වීමේ වාසිය ලැබෙන්නේ ආනයන වියදම් අඩුවීම හරහාය. රුපියල ශක්තිමත්වීමට සාපේක්ෂව ආනයන සිදු නොකරන්නේ නම් එයින් දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් අඩු වීමක් සිදු නොවේ. දැනට පවතින ආනයන සීමා හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ආනයනික භාණ්ඩ පවතින්නේ අඩුවෙනි. එබැවින් රුපියලේ ශක්තිමත්වීම භාණ්ඩ හා සේවා මිල ගණන්වලින් පෙන්නුම් කරන්නේ නැත. වැඩිම මුදලක් වැයකර ආනයනය කරන්නේ ඉන්ධනය.

රුපියල ශක්තිමත් වීම සමග ඉන්ධන මිල ගණන් පහළ යා යුතු වුව ද එසේ සිදු වූයේ ද යන්න ප්‍රශ්න සහගතය. ඉන්ධන මිල පහළ දැමුව හොත් එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ගාස්තු අඩු කළ හැකිය. එසේම ප්‍රවාහන වියදම් ද අඩු කිරීමට පිළිවන. ඒ ඔස්සේ ජනතාවගේ ජීවන වියදම අඩු කළ හැකිය. එය නිෂ්පාදන යෙදවුම්වල පිරිවැය අඩු වීමට ද හේතුවක් වනු ඇත. එමගින් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ද අඩු වනු ඇත.

රටේ උද්ගත වූ ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතුව ලබාගත් විශාල විදේශ ණය කන්දරාවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වීමට පෙර ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 34.8 ක් විය. එම ආර්ථික අර්බුදයට අප විසඳුම් සොයන්නේත් නැවත ණය ගැනීම මගිනි. එය ප්‍රශ්න සහගත ප්‍රවේශයකි.

දැනට ආර්ථිකයේ පෙනෙන්ට තිබෙන තත්ත්වය තාවකාලිකය. ආනයන සීමා අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිය. විදේශ ණය ද දිගටම නොගෙවා සිටිය නොහැකිය. දැන් පවතින්නේ කෘත්‍රීම තත්ත්වයකි. එවැනි තත්ත්වයක් යටතේ පවතින දර්ශක කෙරෙහි අවධානය යොමු කර ආර්ථිකයක ප්‍රගතිය ගැන තක්සේරු කිරීම අපහසුය.

ලබා ගන්නා විදේශ ණය විදේශ විනිමය උත්පාදනය කරන ආයෝජනවල යෙදවීමේ සහ ආනයන ආදේශන කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් යෙදවීමේ පුළුල් වැඩපිළිවෙළක් රටට අවශ්‍ය වේ. එසේ නොවුණහොත් ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් ආර්ථිකය තවදුරටත් පහළ වැටීම නොවැළැක්විය හැකිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිනේෂා සිරිවර්ධන

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ



අදහස් (2)

ආර්ථීකය තවදුරටත් අනතුරේ?

pakeer Tuesday, 13 June 2023 09:45 PM

ආර්ථිකය තවමත් අනතුරේ නෙවෙයි. කවදත් අනතුරේ... මෙහෙම ණය අරගෙන, ටැක්ස් ගහලා මේක ගොඩගන්න බැහැ. නිෂ්පාදනය කරපල්ලා... ඒවට අවස්ථා හදලා දීපල්ලා. මේ මෝඩ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මොවුන්ගේ හිතේ ණයවලින්ම දියුණුවෙන්න පුළුවන් කියලා. ඔවුන් විශ්වාස කරන මෝඩ ජනතාවකුත් ඉන්නවනේ...

:       3       8

PITIPANAGE FERNANDO Saturday, 17 June 2023 02:46 AM

ඕපයක් දැම්මා නම් බලාගන්න තිබ්බා වීව්ස්, මේවා බලන්නේ නාකි හෙට අනිද්දා මැරෙන්න ඉන්න අය. ඉතින් රටක් හැදෙයිද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 138 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 473 0

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 105 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 745 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 1311 1

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 2128 2

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 330 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site