IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඇමෙරිකාවේ රහස් සොරාගත් රුසියන් සුරූපිනිය ඇනා චැප්මන්

 

 

ඇමෙරිකා රජය, එරට සී.අයි.ඒ. බුද්ධි අංශයත්, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියත් සමඟ එක් වී, හොර රහසේ සිදු කරන ඔත්තු බැලීම් ගැන එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු ආරක්ෂක කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් කළ හෙළි දරව්වෙන් පසු, ස්නෝව්ඩන් ඇමෙරිකාවේ උදහසට ලක් වූයේය. ඇමෙරිකා රජය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින අතර මේ වනවිට  ස්නෝව්ඩන් රැඳී සිටින්නේ රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළකය.
ඇමෙරිකා රජය ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය අවංලගු කර ඇති නිසා ඔහුට කොහෙටවත් යෑමට හැකියාවක් නැත. ඔහු වෙනිසියුලාව ඇතුළු ලතින් ඇමෙරිකා රටවලින් රැුකවරණ ඉල්ලා ඇති අතර, වෙනිසියුලා රජය පවසා ඇත්තේ ඔහුට රැකවරණ දීමට තමන් කැමැති බවය.

රුසියාව පවසා ඇත්තේ ඇමෙරිකාවට හානි වන ආකාරයේ කි‍්‍රයා නවත්වන්නේ නම්, රුසියාවේ ආරක්ෂාව සපයන බවය. නමුත් ස්නෝව්ඩන් එම කොන්දේසියට කැමැති නැත. ලෝකයේ සෙසු රටවල් ද ස්නෝව්ඩන් බාර ගැනීමට කැමැත්තක් නොදක්වයි. සෙසු රටවල් ස්නෝව්ඩන් ප‍්‍රතික්ෂේප කළත්, 30 හැවිරිදි ඔහුට පසුගියදා විවාහ යෝජනාවක් ලැබුණි.

‘ස්නෝව්ඩන්, ඔබ කැමැතිද මා සමඟ විවාහ වෙන්න’ යැයි ටිව්ටර් සමාජ ජාල වෙබ් සේවාව ඔස්සේ, ස්නෝව්ඩන්ට එම විවාහ යෝජනාව කළේ 31 හැවිරිදි ඇනා චැප්මන්ය. ඇනා චැප්මන් සුරූපිනියකි. මෝස්තර නිරූපිකාවකි. පිරිමින් වසඟයට ගැනීමට හපනෙකි. ඇය රුසියානු රජයේ රහස් ඒජන්තවරියක ලෙස ඇමෙරිකාවේ ජීවත් වෙමින් ඔත්තු බැලූවාය. මේ ඇගේ කතාවයි.

 
 
 
 

ඇනා චැප්මන් උපන්නේ, 1982 වසරේ පෙබරවාරි 23 වැනිදා රුසියාවේ වෝලගෝගාද්හිදීය. ඒ, අන්යා වසීලියෙව්නා කුෂ්චෙන්කෝ යන නමිනි. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ඇමෙරිකා සමාජයේ ජනපි‍්‍රය වුවත්, ඇය ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ලැබුවේත් ලොව කාගේත් අවධානයට ලක් වූයේත් 2010 වසරේදීය. ඒ 2010 ජූනි මාසයේ දී ඇය අත්අඩංගුවට පත් වූ අවස්ථාවේය.

ඇනාගේ පියා වසීලි කුෂ්චෙන්කෝ ය. ඔහු ද සෝවියට් රජයේ චරපුරුෂයෙකි. ඒ බව හෙළිදරව් වුණේ 2010 ඇනා ගැන විස්තර හෙළිදරව් වූ අවස්ථාවේදීය. සෝවියට් දේශය පැවැති අවදියේ කේ.ජී.බී. ඒජන්තවරයකු ලෙස වසීලි කුෂ්චෙන්කෝ, කෙන්යාවේ නයිරෝබි නුවර රුසියානු තානාපති නිලධාරිවරයා ලෙස සේවය කර ඇත.

ඇනා රුසියානු රජය වෙනුවෙන් ඔත්තු බැලීමේ නිරත වූයේ කෙලින්ම ඇගේ පියාගේ අඩි පාරේ යමින් නොව. වෙනස් ආකාරයකටය. කුඩා කළ සිටම ඇනා ඉගෙනීමට දක්ෂ සිසුවියක වූවාය. ඇය වඩාත් උනන්දුවක් දැක්වූයේ ගණිතයටය. උසස් අධ්‍යාපනය සාර්ථකව නිමා කර, මොස්කව් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට හැකි වූ ඇය ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් ද හිමිකර ගත්තාය.

එවකට කෙළිලොල් යෞවනියක වූ ඇනා, විශ්ව විද්‍යාල සිසුවියක ලෙස 2001 වසරේ ඇගේ යෙහෙළියන් පිරිසක් ද සමඟ එංගලන්තයේ ලන්ඩන් නුවර විනෝද චාරිකාවකට එක් වූවාය. එම විනෝද චාරිකාවේ දී ඇයට ලන්ඩන් නුවර තරුණ තරුණියන් ගැවසෙන සාදයකට යෑමට ද අවස්ථාවක් ලැබුණි. එම අවස්ථාවේ ඇයට ඇලෙක්ස් චැප්මන් නමැති තරුණයා හමුවිය.

කෙටි කතාබහකින්, නැටුමකින් සහ බීම වීදුරුවකින් කුළුපඟ වූ ඇනා සහ ඇලෙක්ස්ගේ ආදර කතාව ආරම්භ විය. නිවාඩුව අවසන් කර ඇනා ආපසු රුසියාවට ගියාය. ඉන්පසු මාස කිහිපයක් යද්දී, ඇලෙක්ස් අවස්ථා කිහිපයකදී ඇය හමුවීමට මොස්කව් ගියේය. ඇය ද ඇයට හැකි සෑම අවස්ථාවකදීම ඔහු හමුවීමට ලන්ඩනයට පැමිණියාය. දෙදෙනාගේ ආදර සම්බන්ධය දිගින් දිගටම ලියලන්න විය.

2002 වසරේ දී රුසියාවේ මොස්කව් නුවරදී ඇනා සහ ඇලෙක්ස් විවාහ වූහ. ඇනා කුෂ්චෙන්කෝ, ඇනා චැප්මන් විය. ඇයට රුසියාවේත් බි‍්‍රතාන්‍යයේත් ද්විත්ව පුරවැසිභාවය හිමිවිය. 2003 වසරේ දී ඇය එංලගන්තයේ ලන්ඩනයේ පදිංචියට ගියාය. ලන්ඩන් නුවර ජීවත් වෙද්දී ඇය බාක්ලි බැංකුවේත් වෙනත් පෞද්ගලික ආයතනවලත් සේවය කළාය. ඒ, ගණකාධිකාරවරියක් ලෙසය.

ඇනා සහ ඇලෙක්ස්ගේ යුග දිවිය 2006 වසරේ දී අවසන් විය. දික්කසාදයෙන් පසු ඇය යළි රුසියාවට ගියාය. ඇගේ බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ද අහෝසි විය. දික්කසාද වුවත් ඇය, ඇනා චැප්මන් ලෙස ඇගේ නම භාවිතා කළාය.

ඇනා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචියට ගියේ ඉන්පසුවය. ඒ, 2009 දීය. ඇය ඇමෙරිකාවට ගියේ රුසියා රජයේ රහස් ඔත්තු නිලධාරියක ලෙසය. කෙසේ නමුත් ඇය රුසියානු රජය සමඟත් කේ.ජී.බී. ඔත්තු සේවය සමඟත් සම්බන්ධ වූයේ කෙසේ ද යන්න රහසකි.

ඇමෙරිකාවට පැමිණීමෙන් පසු ඇනා, නිව්යෝක් නුවර ව්‍යාපාරිකයන් ගැනත් කොටස් වෙළෙඳපොළ ගැනත් උන්නදුවක් දැක්වූවාය. ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඇය සතු දැනුම ඒ සඳහා ඇයට මහෝපකාරී විය. ව්‍යාපාරික තරුණයන් ඇසුරු කිරීම, රාතී‍්‍ර සමාජ ශාලාවලට යෑමට ඇගේ පුරුද්දක් විය.
චැප්මන් පදිංචියට තෝරා ගත්තේ, ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රය ලෙස සැළකෙන නිව්යෝක් නුවර මැන්හැටන්හි වෝල්ස්ටී‍්‍රට්වලට යාබද ස්ථානයක නවාතැනකි. ඇතිකරගත් දැන හැඳුනුම්කම් අනුව, ඇය දේපොළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ විය.

වැඩි කල් යෑමට පෙර ඇය ඇගේම කියා දේපොළ වෙළෙඳාම් සමාගමක් මැන්හැටන්හි පිහිටුවූවාය. එහි නම ‘ප්‍රොපර්ටි ෆයිඩර්’ ය. චැප්මන් සිය ව්‍යාපාරය ආරම්භ කළේ කිහිප දෙනකු සමඟ වුවත් 2009 වෙද්දී ව්‍යාපාරය සාර්ථක වීමෙන් පසු චැම්පන්ගේ සේවය යටතේ සිටි පිරිස 50 ක් ඉක්මවීය.
ඇය මයිකල් බිටන් සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත්තේ මේ අතරේය. බිටන්, නිව්යෝක් නුවර කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු නිව්යෝක් නුවර සුපිරි අවන්හල්හිමියෙකි.

ඇය මෝස්තර නිරූපණ ක්ෂේස්ත‍්‍රයට යොමු වූයේත් ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ සහ කැමරා ශිල්පීන්ගේ ඇසට ලක් වූයේත් මේ අවදියේදීය. ඇගේ ඡුායාරූප අන්තර් ජාලයෙන් පළ වීමත් ඇමෙරිකා සඟරාවල පළ වීමටත් පටන් ගත්තේය. ඇය මේ සියලූම කි‍්‍රයාකාරකම්වල නියැලූණේ ඇගේ සැබෑ අරමුණ වසන් කිරීමටත් ඇය ගැන සැකයක් ඇති වීම වැළැක්වීමටත්ය.

ඇනා චැප්මන් ඇමෙරිකාවට පැමිණ සිටියේ තනිවම නොවේ. ඇය සමඟ තවත් ඒජන්තවරුන් නව දෙනෙක් ද රුසියානු රජය වෙනුවෙන් ඔත්තු බලමින් ඇමෙරිකාවේ ජීවත් වෙමින් සිටියහ.

ඇනාගේත් සෙසු චර පුරුෂයන්ගේත් අරමුණ වූයේ රුසියානු රජයට වැදගත් අන්දමේ ඇමෙරිකන් ‘රහස්’ සෙවීමය. ආර්ථික සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ රහස් ඒ අතරින් කැපී පෙනෙයි. ඔවුන් ඒවා සියල්ල රුසියානු රජයට වාර්තා කළේය. මේ සියල්ල අනාවරණය වූයේ ඇනා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු 2010 දී පැවැති නඩු විභාගයේදීය. චැප්මන්ට ලබා ගැනීමට හැකි වුණු රහස් මොනවාදැයි මෙතෙක් හෙළි වී නැත. ඇය 2010 දී අත්අඩංගුවට ගැනුණේ රුසියානු ඒජන්තවරයකු ලෙස ඇය හමුවීමට ගිය ඇමෙරිකන් එෆ්.බී.අයි. පරීක්ෂකයකුගේ මාර්ගයෙනි.

චැප්මන් අත්අඩංගුවට ගැනීමේ පුවත ඇසීමෙන් නිව්යෝක් නුවර ඇගේ සමීපතමයෝ සහ යෙහෙළියෝ මහත් පුදුමයට පත්වූහ. ඇතැමුන් කීවේ එවැනි හුරුබුහුටි සුරූපිනියක කිසිදාක රුසියාවේ චරපුරුෂයකු විය නොහැකි බවය. ඇනාගේ ජීවිතයට සමීප වූ පිරිමින් කියා සිටියේ ඇය ඔවුන් වසඟයට ගත්තේ කෙසේදැයි පවා ඔවුන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකි බවය. ඔවුන් සැවොම කීවේ ඇය ඔවුන්ට අපූරු පෙම්වතියක සහ මිතුරියක වූ බවය. ඇය පිරිමින් ආකර්ෂණය කර ගැනීමේ කාන්දමක් වූයේ යැයි ද ඇතැමුන් කියා තිබුණි.

ඇනා සහ සෙසු චරපුරුෂයන් නව දෙනා ඇමෙරිකා අත්අඩංගුවේ සිටියේ කෙටි කාලයකට පමණි. ඔවුන් ආපසු රුසියාවට පිටුවහල් කිරීමට තීරණය කෙරුණි. ඒ ඔවුන් රුසියාවට බාර දී රුසියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් චරපුරුෂයන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් යටතේය. එම හුවමාරුව සිදුවුණේ 2010 ජූලි 8 වැනිදාය. 1986 වසරෙන් පසු දෙරට අතර සිදුවුණු විශාලතම චරපුරුෂ හුවමාරුව එය විය.

ඇනා සහ පිරිස රුසියාවට යවනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි. එම ගුවන් යානය අතරමඟ දී ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑවේය. රුසියා අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් චරපුරුෂයන් රුසියන් යානයකින් වියානා නුවරට ගෙනෙනු ලැබුණි. හුවමාරුව සිදුවූ අතර රුසියන් ගුවන් යානයේ නැගී ඇනා ඇතුළු පිරිස මොස්කව් නුවර ඩොමොඩෙඩෝවෝ ගුවන්තොටුපොළට රැගෙන ඒමට කටයුතු කෙරුණි. එම අවස්ථාවේ පිරිස දෙස් විදෙස් මාධ්‍යවලින් වසං කිරීමට රුසියානු බලධාරීහු පියවර ගත්හ.

රුසියානු රජයෙන් මෙන්ම රුසියාවේ සිටින ඥාති මිත‍්‍රාදීන්ගෙන් ඇනාට උණුසුම් පිළි ගැනීමක් හිමිවිය. රජය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට වීර පදක්කමක් පිරිනැමුණි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නායකත්වයෙන් යුත් එක්සත් රුසියා පක්ෂයේ යොවුන් සේනාංකයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් ද ඇනාට හිමිවිය. 2010 සහ 2011 කාලයේ, පුටින් රුසියාවේ අගමැති ධුරය හෙබවීය. රුසියාවට පැමිණීමෙන් පසු ඇනා අවස්ථා ගණනාවකදී පුටින් ඇසුරු කළ බව  ඕපාදුප සඟරා වාර්තා කළේය.

ඇනා සමඟ අත්අඩංගුවට ගෙන රුසියාවට පිටුවහල් කළ සෙසු රහස් ඒජන්තවරුන් සහ ඒජන්තවරියක් නව දෙනාට නව අනන්‍යතා සහ නව ජීවිත ලබා දීමට රුසියානු රජය කටයුතු කළ නමුත් ඇනා ඇගේ අනන්‍යතාව හෝ නම හෝ වෙනස් කිරීමට කැමැත්තක් නොදැක්වූවාය.

ජාත්‍යන්තර වශයෙන් ඇයට ලැබුණු ප‍්‍රසිද්ධිය සහ ජනපි‍්‍රයත්වය දිගටම රඳවා ගෙන යෑමට ඇය තීරණය කළාය. එම වසරේ ඔක්තෝබර් මාසයේ පළ කළ රුසියානු ‘මැක්සිම්’ සඟරාවේ ඇය අඩ නිරුවතින් පෙනී සිටියාය.ලොව කාගේත් ආදරය දිනූ සරාගී රුසියන් ඔත්තුකාරිය ලෙස ජගත් මාධ්‍ය ඇය හැඳින්වීමට පටන් ගත්තේ එම අවස්ථාවේය.

 

 

ඉන්පසු රුසියාවේ ‘ෆන්ඞ්ස්සර්විස් බැංකුවේ’ හෙවත් මොස්කව් ආර්ථික මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස ද ඇය රාජකාරි කළාය. සිනමාවලට පිවිසීමට ඇයට ආරාධනා ලැබුණ ද ඇය ඒවා ප‍්‍රතික්ෂේප කළාය.  ඇය ඇගේම කියා රූපවාහිනී රූපවාහිනී වැඩසටහන් මාලාවක් ආරම්භ කළාය. එය ‘මිස්ටී‍්‍රස් ඔෆ් ද වර්ල්ඞ් විත් ඇනා චැප්මන්’ නම් විය. අද වනවිට රුසියා රජයේ තාක්ෂණික අංශය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ කටයුතුවල නියැළී සිටින්නේ ද ඇයයි.
රුසියානු හමුදා කර්නල් ඇලෙක්සැන්ඩර් පොට්යේව් සම්බන්ධ නඩු විභාගය පැවැත් වූයේ 2011 වසරේදීය. එහිදී ඇනා චැප්මන්, කර්නල් ඇලෙක්සැන්ඩර් පොට්යේව්ට එරෙහිව සාක්ෂි දුන්නාය. ඇමෙරිකාවේ වාසය කරමින් ඔත්තු බැලූ චැප්මන් ඇතුළු පිරිස ගැන තොරතුරු ඇමෙරිකන් රජයටත් එරට ආරක්ෂක අංහවලටත් දැනුම් දුන් තැනැත්තා කර්නල් ඇලෙක්සැන්ඩර් පොට්යේව්ය.

එම දැනුම් දීමෙන් පසු, කර්නල් ඇලෙක්සැන්ඩර් පොට්යේව් හමුදාවෙන් සහ රුසියාවෙන් ද පළා ගොස් සැඟවූයේය. 2011 නඩු විභාගය පැවැත්වුණේ ඔහු නොමැතිවය. ඔහුට ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ සහාය ලැබුණු බව ප‍්‍රකට රහසකි. නඩු විභාගයේ දී පොට්යේව් දේශද්‍රෝහියකු යැයි වරදකරු විය. හමුදා අධිකරණයක් හමුවේ ද ඔහු වරදකරු විය.

2011 වසර අවසන් වෙද්දී, ඇනා තවත් අලූත් රාජකාරියකට අත ගැසුවාය. ඒ, ‘වෙන්චර් බිස්නස් නිව්ස්’ නමැති ව්‍යාපාරික සඟරාවේ කතුවරිය ලෙස රාජකාරි ආරම්භ කිරීමෙනි. ඇමෙරිකාවේ ජීවත් වූ කාලය තම ජීවිතයේ හොඳම සහ නරකම කාල පරිච්චේදය යැයි ඇය පවසා ඇත. ඇය මේ බව පැවැසුවේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ මැක්ස් ක්ලිෆර්ඞ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

 

 

ලූසිත ජයමාන්න

 



අදහස් (0)

ඇමෙරිකාවේ රහස් සොරාගත් රුසියන් සුරූපිනිය ඇනා චැප්මන්

නිහාල් සමරවික්‍රම Tuesday, 23 July 2013 04:55 PM

මේ සියලු දෙනාම සේවය කරන්නේ තම මව් බිම වෙනුවෙනි. ඒවා අඩපන වන්නේද දේශ ද්‍රෝභීන්ගේ ක්‍රියාකාරිත්වය නිසාය. ඇත්තටම මෙය සනාතන දහමකි.(නදී)

:       0       0

සංඛ Tuesday, 23 July 2013 08:17 PM

තම රට වෙනුවෙන් කරනු ලබන මෙවන් කැප කිරිම් අගය කල යුතයි.එය රටටම අඩමිබරයක් (අ)

:       0       0

දර්ශන් Monday, 22 July 2013 07:22 AM

මෙවන් අය හට ට්විටර් වැනි දියුණු සන්නිවේදන මාර්ග හරහා සම්බන්ධ වී හෝ කාටහරි ජීවිතයේ අනිත්‍ය පෙන්වන බුදුදහම ගැන වැටහීමක් ලබාදෙන්න හැකි වේ නම් කොතරම් හොදද? (නි)

:       0       0

සඳුනි Tuesday, 23 July 2013 09:07 PM

සැබවින්ම අගය කලයුතු කාන්තා චරිතයකි. (අ)

:       0       0

ට්‍රිෂාන් රාජපක්ෂ Monday, 22 July 2013 10:04 PM

දර්ශන ඔබගේ ප්‍රතිචාරය ඉතා වැදගත් එකක්. කොහොම වුණත් මින්සුන් හුවමාරුව ජීවිත පරිත්‍යාගයෙන් කරන රැකියාවල් තම රට වෙනුවෙන් වගේම මිනිසුන්ගේ හැගීම් දැනීම් ගැන, (අ)

:       0       0

තරූ Friday, 26 July 2013 04:40 PM

මට නම් මේ කාන්තාව පිළිබඳව ආඩාම්බරයක් දැනෙන්නේ. නියමයි. (ස)

:       0       0

දර්ශන් Monday, 22 July 2013 11:28 PM

ස්තුතියි සොයුර. එම රටේ ජනපති වෙලා සිටින කෙනා ගැන මාගේ කිසිම පැහැදීමක් නැහැ. (නි)

:       0       0

මුරුගන් Tuesday, 23 July 2013 12:01 AM

දෙනෙත් හැර බලන්න සඳරුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5620 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 802 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1385 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site