IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඇවන්ගාඞ් නැවේ ඇත්තේ විදේශ රටවලට අයත් අවි ආයුධයි

6  

 

ඇවන්ගාඞ් සිද්ධිය මෙරට දේශපාලනය දැඩි ලෙස උණුසුම් කරන්නට සමත්ව තිබේ. පසුගිය මහා මැතිවරණයේ දී ඇවන්ගාඞ් අවි ගනුදෙනුව ගැන සෑම දේශපාලන වේදිකාවකම පාහේ දැඩි සේ කතා බහට ලක්විය. එම ගනුදෙනුවට සම්බන්ධ වූවන්ට දැඩි දඩුවම් දෙන බවත් බොහෝ දෙනා කීහ. 

 


මේ අතර මහ මැතිවරණය පැවැත්වීමටත් පෙර පසුගිය ජුනි මාසයේ දී නීතිපතිවරයා දන්වා සිටියේ ගිනි අවි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාවට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි. 


රටේ නීතිපතිවරයා එලෙස තම මතය ප‍්‍රකාශ කළ ද එවකට දින සියය රජයේ ඇතැම් පිරිස් හා රටේ යහපාලනය වෙනුවෙන් පෙනී සිටින පිරිස් එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. ඔවූහු දිගින් දිගටම ඇවන්ගාඞ් වංචාකාරී අවි ගනුදෙනුවක් බව කීහ. අනතුරුව නීතිපති අවන්ගාඞ් ආයතනයෙන් මුදල් අරගෙන ඇති බවත් එයට රජයේ ඇතැම් ඇමතිවරු සම්බන්ධ බවත් ඔවූහු චෝදනා කළහ. 


නව පාර්ලිමේන්තුවක් තේරීපත්වී නව අමාත්‍ය මණ්ඩලයක් ද පිහිටුවා ජාතික ආණ්ඩුවක් ගොඩනැගූ පසු ද මේ ගනුදෙනුව සම්බන්ධ හඬ නැගෙමින් තිබිණි. නීතිය හා සාමය සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමති ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයත් සමඟ යළිත් ඇවන්ගාඞ් ගනුදෙනුව පිළිබඳ ගිනි ඇවිලී ගියේය. 


ඇවන්ගාඞ් නැව අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ලකුණු දාගන්න වැඩ කළා යැයි යනුවෙන් ඇමතිවරයා කළ ප‍්‍රකාශයත් ඇවන්ගාඞ් තම සේවාදායකයා යැයි කීමත් අල්ලාගෙන රජයේම ඇතැම් පිරිස් මාරපන ඇමතිවරයා ඉවත් කළ යුතු යැයි බලපෑම් කරන්නට විය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සඳුදා විශේෂ කැබිනට් රැස්වීමක් ද පැවැත්විණි. 


ගාමණී ජයසූරිය මහතාගෙන් පසුව මෙරට දේශපාලන ඉතිහාසයේ ඉල්ලා අස් වූ දෙවැනි ඇමැතිවරයා බවට පත්වෙමින් තිලක් මාරපන මහතා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සඳුදා උදෑසන යවා තිබිණි. අනතුරුව ඇමැතිවරයා තමන් ඉල්ලා අස් වූ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේය. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැුසක් ද හෙළි වෙමින් පවතී. ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂක සේවාවන්ගේ අවි ගබඩා කිරීමේ සේවාව ඩැහැ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරිකයන් හා ඒ ව්‍යාපාරිකයන් සමඟ එක්ව සිටින දේශපාලකයන් මේ ආන්දෝලනාත්මක සිදුවීම පිටුපස සිටින බවට ද තවත් පිරිසක් චෝදනා කරති. 


ඇවන්ගාඞ් සිද්ධිය සමඟ සිය ධුරයෙන් ඉල්ලා අස් වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා සමඟ ඉරිදා ලංකාදීපය පැවැත් වූ සාකච්ඡාවකි මේ.

 

14_SLMA_P18_Back
ප‍්‍රශ්නය : ඔබ හදිසියේම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණේ ඇයි?
පිළිතුර :
ගාලූ වරායේ ඇවන්ගාඞ් සමාගම මගින් මෙහෙයනු ලැබූ නැවෙහි තිබූ අවි ගබඩාව සම්බන්ධයෙන් දිගින් දිගටම ආන්දෝලනාත්මක අදහස් මහජනතාව අතර තිබුණා. නීතිපතිතුමා මෙම නැවේ ඇති අවි ආයුධ සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි බවට උපදෙස් දී තිබුණු නමුත් සමහරු එය ද ප‍්‍රතික්‍ෂේප කළා. මේ සම්බන්ධයෙන් මහජනවතාව දැනුම්වත් කිරීමක් කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී මට අවකාශයක් ලැබුණා. මේ පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වූ ප‍්‍රථම අවස්ථාවයි. එහිදී මා මේ ගැන දන්නා සියලූ තොරතුරු කියා සිටියා. මා දන්නා තොරතුරු අනුව මෙම අවි ආයුධ පිළිබදව කිසිම නීති විරෝධී තත්ත්වයක් නැහැ. 


නීතිපතිතුමාගේ උපදෙස් සනාථ කරමින් තමයි මා මහජනතාව මේ පිළිබදව දැනුම්වත් කළේ. නමුත් ඉන් පසුව අප පක්ෂයේ මන්ත‍්‍රීවරු සහ ඇමතිවරු කිහිප දෙනකු ද මෙය අභියෝගයට ලක් කළා. ඔවුන් කියා සිටියේ මේ අවි ගබඩාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතුයි කියා. මා පොලිසිය බාරව මෙම ඇමතිධුරයේ සිටිය දී මෙම පරීක්ෂණ අපක්ෂපාතව නොකරනු ඇතැයි සැකයක් පවතින බවටත් ඇතැම් අය කීවා. මින් සිදුවීමට ගියේ අප පක්ෂය තුළම විශාල අර්බුදයක් ඇතිවීමයි. එම නිසා අපක්ෂපාතීව අවි ගබඩාව පිළිබද පරීක්ෂණයක් කිරීමට සහයක් ලෙස ඔවුන්ගේ සැකය දුරුකිරීමට මා ඇමති ධුරයෙන් ඉවත් වුණා. 

 


ප‍්‍රශ්නය : ඉල්ලා අස්වන ලෙස යම් කිසි බලපෑමක් එල්ල වූවාද?
පිළිතුර :
නැහැ කිසිසේත්ම නැහැ. මම ස්වාධීනව ගත් තීරණයක්. මම ඒ තීරණය ගැනීමෙන් පසු ඒ ගැන ඉරිදා අගමැතිතුමාට පැවසුවා. අනතුරුව සඳුදා උදේ ජනාධිතිතුමාට ලිපියකින් දැනුම් දුන්නා මා ඉල්ලා අස්වන බව

 


ප‍්‍රශ්නය : ඔබ අවි ගබඩාව ගැන විස්තර හොඳින් දන්නා බව කියනවා. අවි ගබඩාව නිත්‍යනුකූල බව පැවසීමට ඔබ එහි විස්තර මේ ආකාරයෙන් දැනගත්තේ කෙසේද ?
පිළිතුර :
මා වෘත්තීමය වශයෙන් නීතිඥවරයෙක්. ඇමති ධුරය දරන්නට පෙර මා නිරතව සිටියේ මේ වෘත්තියේ. ජනවාරි අග පමණ ඇවන්ගාඞ් සමාගමේ සභාපතිතුමා මා මුණ ගැසුණා. මෙම අවි ගබඩාව සහිත නැව ජනවාරි මැද පමණ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ගාල්ලේ සහ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණවලට කරුණු වාර්තා කර තිබුණා. සභාපතිතුමාව, සැකකරුවකු හැටියට නම්කර තිබුණේ නැතත් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය බව දන්වමින් ඔහුට නොදැනුවත්වම ඔහුගේ විදේශ ගමන් තහනම්කොට තිබුණා. තව ද මේ වනවිට ඔහු අවුරුදු දෙකක් තුළ ආරක්ෂක අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය සමඟ එක්ව නයිජීරියානු රජයත් සමඟ කර තිබුණු වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට තිබුණු බැවින් ඔහුට නයිජීරියාවට යාමට අවශ්‍ය වී තිබුණා. එම නිසා මෙම විදේශ ගමන් තහනම ඉවත්කර ගැනීමට ඔහු මගේ නීති සහය සහ උපදෙස් පතා සිටියා. ඒ වගේම ඔහුගේ බැංකු ගිණුම් තහනම් කිරීමට යන බවට ද ඔහුට සැකයක් තිබුණා. බැංකු ගිණුම් තහනම් කළහොත් ගොඩබිම සිටින 6000ක් පමණ ඔහුගේ ආරක්ෂක භටයන්ට ද 3000ක් පමණ මුහුදු යාත‍්‍රාවල ගිනි අවි ද සමඟ සිටින භටයන්ට ද පඩිනඩි ගෙවීමට හැකියාවක් නොමැති වීමෙන් විශාල කරදරකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔහු පැවසුවා. පසුව මම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ ලියකියවිලි සියල්ල අධ්‍යයනය කර මෙම අවි ගබඩාව නිත්‍යනුකූලව පවත්වාගෙන යන කර්තව්‍යයක් බවට සෑහීමකට පත්වී මේ පිළිබඳ සම්ප‍්‍රදායානුකූලව නීති වෘත්තියෙහි කෙරෙන පරිදි නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිත් කර මොහුට යම් සහනයක් ලබා දුන්නා. මේ කර්තව්‍යයේදී මා මේ ආයතනය සහ අවි ගබඩාව පිළිබදව කරුණු දැනගත්තා. 

 


ප‍්‍රශ්නය : නයිජීරියා රජය සහ ආරක්ෂක අමාත්‍යංශය අතර ඇතිවන ගනුදෙනුවකට ඇවන්ගාඞ් සභාපතිවරයාට හදිසියේම විදේශගත විය යුතු යැයි ඔබ කියනවා. මෙවන් කර්තව්‍යයකට ඔහු ඇයි මැදිහත් වන්නේ. 
පිළිතුර
: මෙම කර්තව්‍යය වනුයේ මොහු විසින් විශාල මුදලක් වියදම් කර නයිජීරියානු ආණ්ඩුව ලංකාව සමඟ ව්‍යාපෘති හතරකට සම්බන්ධ කරගැනීමට සමත්වී ඇති වැඩපිළිවළක් ගැනයි මට කීවේ. ආරක්ෂක අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය වට කිහිපයක් ලංකාවේ නයිජීරියාවේ සහ වෙනත් රටවල සාකච්ඡා පවත්වා නයිජීරියා නාවුක හමුදාවට ලංකාවේ නාවුක හමුදාවෙන් නිෂ්පාදනය කරන බෝට්ටු මිලදී ගැනීම, නයිජීරියානු නාවුක හමුදා භටයන් මෙරට නාවික හමුදාව විසින් පුහුණු කිරීම, නයිජීරියානු නාවුක හමුදාවේ යාත‍්‍රා නඩත්තු කිරීම සහ නයිජීරියානු යුද භටයන් ලංකා ආණ්ඩුව විසින් පුහුණු කිරීම යනාදී ව්‍යාපෘති කිහිපයක් මොහු විසින් දියත් කර ඇති බව මා සමඟ පැවසුවා. මෙහි මුල් පියවර හැටියට ලංකා නාවික හමුදාවෙන් මුහුදු යාත‍්‍රා 12ක් නයිජීරියානු රජය විසින් මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා මොහුට නයිජීරියාවට නොපමාව යා යුතු බව මට දැනුම් දුන්නා. මේ ව්‍යාපෘතිවලින් අපේ විශ‍්‍රාමගත් සොල්දාදුවන් 5000කට පමණ රැුකියා අවස්ථා ඇති බවත් රජයට ඩොලර් මිලියන ගණනාවක් ලබාගත හැකි බවත් ඔහු පැවසුවා. මෙම වැඩපිළිවෙළවල්වලට මැදහත්කරුවකු වශයෙන් ක‍්‍රියාකර ඇත්තේ මොහුයි. එසේ කරන ලද්දේ ද රක්නා ලංකා සමාගම සමඟ  එළඹ ඇති ගිවිසුම පරිදිය. 

 


ප‍්‍රශ්නය : මෙම අවි ගබඩාව නිත්‍යානුකූල නොවේ යැයි රජයේම ඇතැම් අය පැවසූවත් ඔබ සිටින්නේ වෙනත් මතයක. මෙම අවි ගබඩාවේ ඇති නිත්‍යනුකූලභාවය කුමක්ද?
පිළිතුර :
මෙම අවි ගබඩාවේ ඇත්තේ විදේශ රටවල සමාගම්වලට අයිති අවි ආයුධයි. මෙවැනි සමාගම් සියයක පමණ අවි ආයුධ මෙහි ගබඩාකොට තිබෙනවා. මෙම අවි තිබෙන්නේ මෙම සමාගම්වලට අයිති නැව්, මුහුදේ ගාලූ ප‍්‍රදේශයේ සිට සූවස් ඇළ ප‍්‍රදේශය දක්වා යාත‍්‍රා කරන විට එම නැව්වලට මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම පිණිස මෙම අවි සහ භටයන් සැපයීමටයි. මෙම ගිනි අවි සියල්ලක්ම විදේශ රටවලින් අවසර දී ”එන්ඞ් යූසර් සෙටිෆිකේට්” තිබෙන ඒවා. මේවා ගබඩා කර ඇත්තේ යතුරු දමන ලද කන්ටේනර්වල අගුලූ දැමූ ලෝහ පෙට්ටිවල. මෙම කන්ටේනර් ඇති නැවෙහි පැය විසි හතරම නාවුක හමුදා භටයන් පස් දෙනකු පමණ ආරක්ෂාව පිණිස සිටිනවා. රක්නා ලංකා නියෝජිතයෝ ද ඉන්නවා. සමහර ගිනි අවි සතු සමාගම්වල නියෝජිතයෝ ද මෙහි සිටිනවා. සෙසු නියෝජිතයන් ගාලූ නගරයේ පදිංචිව සිටිනවා. මෙවැනි නියෝජිතයන් සියයක් පමණ ඉන්නා බව මා දන්නවා. අවශ්‍ය වූ විට අවි ආයුධ ගැනීමට නාවික හමුදාව රක්නා ලංකා සමාගම සහ ගිනි අවි සතු සමාගමේ නියෝජිතයෝ යන තුන් පාර්ශ්වයම එක්විය යුතුය. එසේ එක්වී බෝට්ටුවක අවි පටවාගෙන එම අවි දිය යුතු නැවට ගෙන ගොස් භාර දෙනවා. එලෙස නැවකින් සූවස් ඇළ පෙදෙසට ගොස් නැවත නැගෙනහිර දෙසට එන විට මෙම ගිනි අවි සහ භටයන් ගාල්ල සමීපයේ දී මේ ආකාරයෙන්ම ගොඩ බස්වා නැවත ගිනි අවි මේ ගබඩාව වෙත ගෙනවිත් සුරක්ෂිතව තබනවා. මේ සෑම කර්තව්‍යයක් ම සිදුකරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෙගුලාසිවලට අනුව හා මුහුදු නීති රීති අනුගමනය කරමින්, ගිනි අවි අයත් රටවල් සමඟ අප රජය විසින් ඇති කරගෙන ඇති සම්මුතියන්ට එකඟවයි. මෙම ගිනි අවි කිසි විටෙක නැවෙන් පිටට ගෙන ලංකාව ඇතුළට ගෙන එන්නේ නැහැ. එසේ ගෙන ඒමට හැකියාවක් ද නැහැ. මෙම කර්තව්‍යය කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අනුමැතිය ලබාදී ඇති අතර නැව වරායට ගෙන ඒමට ද අනුමැතිය ලබා දී තිබුණා. වරායට එනවිට පිළිපැදිය යුතු නීති රීති සියල්ලම මොවුන් පිළිපැද තිබෙනවා. 

 


ප‍්‍රශ්නය : ඇවන්ගාඞ් සමාගම පුද්ගලික සමාගමක් නේද? ඇයි මෙවන් කටයුත්තකට ඔවුන් මැදහත්වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔවුන් සිදුකරන රාජකාරිය කුමක්ද? 
පිළිතුර :
ඇවන්ගාඞ් සමාගම සියයට සියක් ශ‍්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක අමාත්‍යංශයේ  රක්නා ලංකා සමාගම සමඟ හවුල් ව්‍යාපාර ගිවිසුමක් අත්සන් කර තිබුණා. මෙම කර්තව්‍යය සිදුකරනුයේ මෙම හවුල් ව්‍යාපාරික ගිවිසුම පදනම් කරගනිමින්. මෙසේ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ද ලැබී තිබෙනවා. මෙම ගිවිසුම ප‍්‍රකාර ඇවන්ගාඞ් සමාගමට ඇති කාර්යය වන්නේ මුහුදු ආරක්ෂාව සැපයිය යුතු නැව් සොයා ගැනීමත් එම නැව් සමාගම්වලට අයත් අවි ආයුධ ගබඩා කිරීමට පහසුකම් ලබාදීම හා මෙම ක‍්‍රියාදාමයේ පරිපාලන කටයුතු කිරීමයි.  

 


ප‍්‍රශ්නය : ඔබ කියන ආකාරයට ජාත්‍යන්තර බලපත‍්‍ර සහිත ගිනි අවි එම පාවෙන අවි ගබඩාවේ තිබුණා නම් එම අවි සහිත නැව ගාල්ල වරායට පැමිණීම නිත්‍යනුකූලද? 
පිළිතුර :
ගිනි අවි ගබඩා කර ඇති මෙම නැව සාමාන්‍යයෙන් නවතා තිබෙන්නේ ගාල්ල ආසන්න මුහුදේ. නමුත් මුහුදේ රළු භාවය ඇති අවස්ථාවක නැවට වරාය රෙගුලාසි සියල්ල අනුගමනය කරමින් වරායට ඒමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරදී ඇත. මේ නැව ගාලූ වරායට එන ලද්දේ 2014 ඔක්තෝබර් මස මුලදීය. එසේ පැමිණ ඇත්තේ මුහුදේ රළු ගතිය හේතුවෙන් සහ මෙම අවි සහිත කන්ටේනර් වෙනත් නැවකට මාරු කිරීමේ අපේක්ෂාවෙනි. මෙසේ සිදුකිරීම ප‍්‍රමාද වූ හෙයින් වරායේ සිටින කාලය දීර්ඝ කර ගැනීමට ද ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරයක් ගෙන තිබිණි. වරායට පැමිණීමට පෙර රේගුව, වරාය අධිකාරිය, මුහුදු ආරක්ෂක ඒකකය සහ දක්ෂිණ නාවික කඳවුරට ද දැනුම් දී ඇත.  ඒ අනුව මෙම වරායට ඇවන්ගාඞ් නැව ඇතුළු වී තිබීම නීති විරෝධී නොවේ. සියලූ අවසර ලබා තිබුණා. 

 


ප‍්‍රශ්නය : ඔබ කියා තිබෙනවා. ඇවන්ගාඞ් සමාගම ඔබේ සේවාදායකයා කියා. ඔබ නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයා. මෙය ඉතා ආන්දෝලනාත්මකයි නේද?
පිළිතුර :
මෙය වරදවා තේරුම් ගන්න එපා. ඇවන්ගාඞ් සමාගමට මා නීති උපදෙස් දුන්නේ 2015 ජනවාරි හා පෙබරවාරි මාසවලදීයි. එම අවස්ථාවේ දී මා ඇමතිවරයකු හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හෝ නොව නීති වෘත්තියේ යෙදී සිටි ජනාධිපති නීතිඥවරයෙක් පමණයි. සේවාදායකයා යනුවෙන් මා අදහස් කළේ මොහුට මේ නීති උපදෙස් දුන් නිසා. තව ද මා මේ පිළිබඳව කරුණු සියල්ල දැන ගත්තේ මේ නීති උපදෙස් දීමෙන් ඔහු මා වෙත ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන අනුසාරයෙන්. මා කියන කරුණු මෙම ලිපි ලේඛන අනුසාරයෙන් වගකීමකින් කියන බව තහවුරු කිරීමට මා මේ කරුණ අනාවරණය කළා. මා පාර්ලිමේන්තුවේ කරුණු දැක් වූයේ මහජනතාවට අවි ගබඩාව පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළි කිරීමටයි.  මගේ පාර්ලිමේන්තු ප‍්‍රකාශය සිදු කළේ නීතිපතිතුමාගේ මතය තහවුරු කිරීමටයි. නීතිපතිතුමා එතුමාගේ මතය ප‍්‍රකාශ කළේ ජුනි මාසයේදීයි. මම එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හෝ ඇමතිවරයකු නොව නීති වෘත්තියේ නිරතව සිටි ජනාධිපති නීතිඥවරයකු පමණයි. 

 


ප‍්‍රශ්නය : ඇයි ඔබ කියා සිටියේ මෙය පොලිසිය ලකුණු දාගන්න කළ වැඩක් කියා?
පිළිතුර :
මේ නැව ගාලූ වරායේ මාස තුනකට වඩා කාලයක් නැංගුරම් ලා තිබුණා. දිනපතාම අවම වශයෙන් විසි තිස් වතාවක් පමණ මේ නැවෙන් ඉහත කී පරිදි අවි ආයුධ පිටවෙනවා ඇතුළු වෙනවා. වරාය පොලිසිය ඇත්තේ නැව තිබූ තැන සිට මීටර කිහිපයකට ඈතින්. මෙම නැවේ අවි ආයුධ තිබූ බවත්, එහි සිදුවන ගනුදෙනු පිළිබඳවත් නොදැන සිටියා යැයි කීම විශ්වාස කළ නොහැකියි. තව ද මෙම අවි ගබඩාව සහිත නැව මීට පෙර ද පස් හය වතාවක් ගාලූ වරාය තුළටම පැමිණ තිබුණා. මීට වසර දෙකකට පමණ පෙර මෙම නැවෙහි ආරක්ෂක භටයන් දෙදෙනකු පිළිබද පැමිණිල්ලක් ද ගාලූ වරායට කිරීමෙන් අනතුරුව පොලිසිය ඒ පිළිබඳ විමර්ශනයක් ද කර තිබූ නිසා පොලිසිය මේ ගැන නොදන්නා බව කිව නොහැකියි. 

 


ප‍්‍රශ්නය : ඔබ පවසනවා ඇවන්ගාඞ් සිද්ධියත් මිලේනියම් සිටි සිද්ධිය වගේ වැඩක් කියලා. මිලේනියම් සිටි සිද්ධිය වෙනවිට ඔබ ආරක්ෂක අමාත්‍යවරයා. ඇයි මේ දෙක එක වගේ කියන්නේ. 
පිළිතුර :
මිලේනියම් සිටි සිද්ධියත් පොලිසිය හරිහැටි කරුණු පරීක්ෂා නොකර පොලිසිය විසින්ම කරපු දෙයක්. එම අවස්ථාවේදී ආරක්ෂක ඇමති හැටියට හිටියේ මමයි. පොලිසිය ඒ සිද්ධියේදී අත්අඩංගුවට ගත් අයට රැුඳවුම් නියෝගයක් ඉදිරිපත් කරන්න අවසර ඉල්ලූ වෙලාවේ මම එයට අවසර නොදී අත්අඩංගුවේ සිටි සියලූම යුද හමුදා භටයන් නිදහස් කරන ලෙස පොලිසියට නියෝග කළා. මම ඒ අවස්ථාවේ හමුදාවට සිදුවිය හැකිව තිබූ විශාල අගතියක් වළක්වා ගත්තා. 

 


ප‍්‍රශ්නය : ඔබ ඇවන්ගාර්ඞ් සමාගමෙන් කොමිස් මුදල් ලබාගෙන තිබෙනවා නේද?
පිළිතුර :
නැහැ. කවදාවත් අරගෙන නැහැ. 

 


ප‍්‍රශ්නය : නැවත ඇමති ධුරයක් ලැබුණොත් ඔබ එය බාර ගන්නවාද?
පිළිතුර :
මම ටික කාලක් පැත්තකට වෙලා ඉන්න කැමතියි. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වෙන්නට පෙර මා ඇමති ධුරයක් භාර ගත්තොත් ඇතැම් අය කියාවි මා එම ඇමති ධුරයේ ඉඳගෙන බලපෑම් කරනවා කියා. ඒ නිසා මා මේ වෙලාවේ ටිකක් පැත්තකට වෙලා ඉන්නවා. පසුව තීරණය කරනවා මොනවාද කරන්නේ කියා. 

 


ප‍්‍රශ්නය : ඇවන්ගාඞ් සමාගමට කොතරම් චෝදනා එල්ල කළත් ඇවන්ගාඞ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඇති ගිවිසුම නැවත වතාවක් දීර්ඝ කළා කියලා කතාවක් තිබෙනවා. මෙය ඇත්තක්ද?
පිළිතුර :
ඒ ගැන මා දන්නේ නැහැ. ඇවන්ගාඞ් සමාගමේ මෙහෙයුම් කටයුතු එම නැව අත්අඩංගුවට ගන්න පෙර සිදු වූ පරිදිම තවමත් සිදුවෙමින් පවතිනවා. සෑම දිනකම කිහිප වතාවක් අවි රැුගෙන එනවා. නැවත නැව්වලට රැුගෙන ගොස් දෙනවා. මෙම මෙහෙයුම් කටයුතු සඳහා උසාවියෙන් අවසර ලබාදී තිබුණා. ඉන් ආදායම් ලබනවා විතරක් නොවෙයි ලැබෙන ආදායමෙන් ප‍්‍රතිශතයක් රජයටත් එනවා. ගිවිසුම තවත් කාලයකට දීර්ඝ කළා ද කියන එක ඔබ ආරක්ෂක අමාත්‍යංශයෙන් හා ඇවන්ගාඞ් සමාගමෙන් විමසා දැන ගන්න.

 

m



අදහස් (0)

ඇවන්ගාඞ් නැවේ ඇත්තේ විදේශ රටවලට අයත් අවි ආයුධයි

ප්‍රසන්න Friday, 20 November 2015 04:52 AM

මට දැනගන්න ඕනේ එවකට රජය මේ සමාගමට මේ කොන්ත්‍රාත්තුව දුන්නේ 1. අනෙක් සමාගම් වලින් ටෙන්ඩර් කැඳවලාද ? 2. නැතිනම් යාලුකමටද? 3. නාවික හමුදාවට මේක කරන්න කොන්ද පන තිබ්බේ නැද්ද? කරන්න දුන්නේ නැද්ද? 4. නැතිනම් කොමිස් වලට දුන්නද? 5. ඇවන්ගාර්ඩ් එකේ තෑගී දුන්න කෝටි මුදල් දුන්නේ කාටද? 6. මේවට වගකිවයුත්තන් කව්ද? මේ සඳහා මහජනතාවට, රජය පිළිතුරු දිය යුතුයි (බ)

:       0       0

සත්‍යයා Saturday, 21 November 2015 06:06 PM

කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3391 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site