IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉතාලි තරුණියකට පෙම් බැන්ඳ රජීව් ගාන්ධි

   

රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැති තනතුරට පත්වෙද්දී ඔහුගේ වයස අවුරුදු 40කි. මෙම තනතුරට පත්වූ ඉන්දියාවේ ලාබාලම පුද්ගලයා ඔහුය. 1984 ඔක්තෝබර් 31දා තම මව වූ අගමැතිනි ඉන්දිරා ගාන්ධි ෂික් ජාතික ආරක්‍ෂකයන් දෙදෙනෙකු විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව රජිව් අගමැති ධූරයට පත්විය. ඔහුගේ සම්පූර්ණ නම රජිව් රත්න ගාන්ධිය. ඔහු වසරක කාලයක් ඉන්දියාවේ විපක්‍ෂ නායක ධූරයද හෙබවීය.

 

2
අද ලියන්නේ මේ රජිව් ගාන්ධිගේ ජීවිතයේ ඇතුළු පැත්ත ගැනය. මහා භාරතයට නිදහස ලබා ගැනීමට කැපවූ පවුලක සාමාජිකයකු ගැනය. ඔහුගේ මව වූ ඉන්දිරා ගාන්ධිත්, මවගේ පියා නැතහොත් සීයාවූ ජවහර්ලාල් නේරුත් ඉන්දියාවේ හිටපු අගමැතිවරුන් වීම තුළින් ඔහුද එම පදවිය ලබා ගත්තේය.
ඔහුගේ මව වූ ඉන්දිරා ශ්‍රී ලංකාවේ කොටි කල්ලිය පෝෂණය කිරීමට අතදුන් බව ප්‍රචලිතය. 1991 මැයි 21දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදී කොටි කල්ලිය අතින් ඔහු ඝාතනයට ලක්විය. 1987 ජුලි 30දා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම් අත්සන් කිරීම සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේ පැවති ආචාර පෙළපාලියකදී විජිත රෝහණ විජේමුනි නැමති සෙබළා රජිව්ට රයිපලයකින් පහර දුන්නේය.

 

1
ගාන්ධි පවුලේ ඛේදවාචක


පිලිපීනයේ හිටපු ජනාධිපති එමිල්ඩා මාකෝස් ප්‍රමුඛ රටවල් 14ක පාලකයන් ස්විස් බැංකුවල හොර රහසේ අති විශාල ධනස්කන්ධයක් තැන්පත් කර ඇති බවට ලෝක ජන මාධ්‍යයන් හෙළි කළේ 1991 වසරේ අවසාන භාගයේදීය. මෙම ලැයිස්තුවට රජිව් ගාන්ධිගේ නමද ඇතුළත් වී තිබුණි. ඒ වනවිට ඔහු ජීවතුන් අතර නැත.


ඇමෙරිකාවේ කෙනඩි පවුල මුහුණදුන් ආකාරයේ ඛේදවාචක රැසකට ඉන්දියාවේ ගාන්ධි පවුලටද මුහුණ පෑමට සිදුවිය. ඉන්දිරා ගාන්ධි ඝාතනය කිරීමත්, ඇයගේ එක් පුතෙකු වූ සන්ජේ ගාන්ධි ගුවන් අනතුරකින් 1980 ජුනි 23දා මියයාමත්, රජිව් ගාන්ධි මරාගෙන මැරෙන කොටි බෝම්බ කරුවන්ට බිලිවීමත් මෙම ඛේදවාචක සමූහයයි. මේ කියන රජිව් ගාන්ධි මහත්මා ගාන්ධිගේ ඥාතියෙකු නොවේ.

 

රජිව්ට ඉන්දියාවේ සුක්කානම හැසිරවීමට සිදුවූයේ ෂික් හා හින්දු ජාතිකයන් අතර ගැටුම් ඇතිවී රටපුරා භීෂණය හා කලබලකාරී වාතාවරණයක් පැන නැගී තිබූ අවධියකය. පන්ජාබයේ පිහිටි ෂික් ජාතිකයන්ගේ රන්දොවොල ඉන්දිරා යටතේ රජයේ හමුදාව ආක්‍රමණය කිරීම තුළින් මේ ගැටුම් හට ගත්තේය. රජිව්ගෙන් පසුව ඉන්දියාවේ අගමැති තනතුරට ෂික් ජාතිකයෙකු පත්වීමද විශ්මය ජනක සිද්ධියක් වශයෙන් හැඳින්වීම නිවැරදිය.


රජිව් ගාන්ධි උපන්නේ 1944 අගෝස්තු 20දාය. වයස අවුරුදු 20 සම්පූර්ණ වන විට ඔහු බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියට ඇතුලත් කරනලද්දේ උසස් අධ්‍යාපනය ලබාදීමටය. නවදිල්ලියේ සිට එදා ලන්ඩනයට ගිය ගමන තුළින් ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කළේය. ඉන්දියාවේ ධනපතිමෙන්ම දේශපාලන බලවතුන්ගේ පවුල්වල අනිකුත් ළමයින්ට මෙන්ම ඔහුටද එදා මෙසේ ලන්ඩනයට යාමට මාර්ගය පෑදුණේය.

 


කේම්බි්‍රජ්හි දිග හැරුණු ආදර කතාව


ඉංජිනේරු ශිෂ්‍යයකු වශයෙන් කේම්බි්‍රජ් (Cambridge) සරසවියේ ඉගෙන ගත් රජිව්ගේ අනාගත අපේක්‍ෂාව වූයේ ගුවන් නියමුවකු (Pilot) බවට පත්වීමයි. රජිව්ගේ දිවියේ ප්‍රථම පෙරළිය සිදුවූයේ 1965 වසරේ එක්තරා සොඳුරු දිනයකදීය. කේම්බි්‍රජ්හි ග්‍රීක ආපනශාලාවක් තුළදී ඔහුට මුලින්ම සෝනියා හමුවීම ජනප්‍රවාදයේ සඳහන් අනංගයා සිදුකළ එක් කිරීමක්ද? රූමත් සෝනියා මුල්වරට දුටු රජිව් ඇයට වශී වූවා යයි කිවහොත් නිවැරදිය. ඇයගේ රූ සපුවෙන්, දඟකාර පෙනුමෙන්, මදහස බැල්මෙන්, රජිව් කුල්මත් විය. රජිව්-සෝනියා ප්‍රේම පුරානයේ ආරම්භය එයයි. හදකට හදක් යාවුණේ මුල් දිනයේදීමය. මේ වන විට රජිව් ඉන්දියාවේ බලවත්ම දේශපාලන පවුලේ සාමාජිකයෙකු බව සෝනියා දැන නොසිටියාය. ඔහුගේ සීයා ඉන්දියාවේ ප්‍රථම අගමැති බවද සෝනියා දැන නොසිටියාය. එම වකවානුවේ රජිව්ගේ මවවූ ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි ඉන්දියාවේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ධූරය දරමින් සිටි බවද මේ යුවතිය දැන නොසිටියාය. ඉන් කලකට පසු ඉන්දිරා ඉන්දියාවේ මුදල් ඇමැති ධූරයටද පත්වූවාය.


රජිව් ගාන්ධිට කේම්බි්‍රජ්හි ආපන ශාලාවක් තුළදී අහම්බෙන් මුණ ගැසුණ මේ ඉතාලි යුවතියගේ නම සෝනියා නොවීය. ඇය ඒ වනවිට අවුරුදු 19ක් වයසැති නව යෞවන යුවතියකි. ඉතාලියේ උපන් ඉතාලියේ පුරවැසි තරුණියක වූ ඇයගේ නම එඞ්විග් ඇන්ටෝනියා ඇල්බිනා මයිනෝ ය. (Edvige Antonia Albina Maino). ඉතාලියේ නිවාස ඉදිකිරීම් කටයුතුවල නිරතවී සිටි මේසන් බාස් වරයෙකු වූ ස්ටෙෆනෝ මයිනෝ (Stefano Maino) ඇයගේ පියාය. මේ ඇල්බිනා (Albina) ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා පියා විසින් බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) කේම්බි්‍රජ්හි පාසලකට ඇතුලත් කෙරුණේ 1964 වර්ෂයේදීය.


රජිව් ඉන්දියාවේ සිට කේම්බි්‍රජ් දක්වා ළඟා වීමත්, ඇල්බිනා (සෝනියා) ඉතාලියේ සිට කේම්බි්‍රජ් නුවරට සැපත්වීමත් එකම වකවානුවක සිදුවීම විස්මයජනකය. කේම්බි්‍රජ්හි ග්‍රීක අවන්හලකදී රජිව්ට හමුවුණේ සෝනියා නොවේ. ඉතාලියේ ඇල්බිනාය. මේ ඉතාලියේ ඇල්බිනා මයිනෝ ඊට කලකට පසු ඉන්දියාවේ සෝනියා ගාන්ධි බවට පත්වීම අපූරු සිදුවීම් මාලාවක අවසාන ප්‍රතිඵලයකි.

 

3

 

 


වේටර් වරියගේ දිවිය වෙනස් කළ ආදරය


රජිව්ට ඇල්බිනා ඊළඟට හමුවූයේ කේම්බි්‍රජ් සරසවි භූමිය තළිදීය. එයද අනපේක්‍ෂිත සිදුවීමකි. ඇල්බිනා තම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් උපයා ගත්තේ කේම්බි්‍රජ් සරසවි ආපනශාලාවේ වේටර්වරියක වශයෙන් සේවය කිරීමෙනි. නිතර සරසවියේ ආපන ශාලාවට රිංගා ගන්නා රජිව් ඇය සමඟ අල්ලාප සල්ලාපයෙහි නිරත වන්නට පටන් ගත්තාය. දෙදෙනාගේ ඇසුර පෙම්සබඳතාවක් බවට පත්වන්නේ මෙසේය. ඔහුට ඇයත් ඇයට ඔහුත් නොදැක සිටීමට නොහැකි අයුරින් මේ ආදර සම්බන්ධය දුර දිග ගියේ කාලයාගේ ඇවෑමත් සමඟය.

 


රජිව් සහ ඇල්බිනා මුහුණ දුන් අභියෝග5


කේම්බි්‍රජ් සරසවි භූමිය මේ දෙදෙනාගේ ප්‍රේම සබඳතාවට තෝතැන්නක් විය. ඇයගේ තුරුලේ ගුලි වෙමින්, නව යෞවනයේ ප්‍රථම ආස්වාදයෙන් මිහිරෙන් මිහිරට පත්වූ රජිව් ඇය තම දිවියට ළං කරගැනීමට අධිෂ්ඨාන කර ගත්තේය. අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන් පෙම්වතුන් පෙම්වතියන් මාරු කරමින් ආදරය නැමති සනාතන බැඳීමට අගෞරව කිරීමට රජිව් උත්සාහ කළේ නැත. හිරු නොබසින අධිරාජ්‍යයේදී මුණ ගැසුණ මෙම ඉතාලි යුවතියගෙන් තොර ජීවිතයක් තමාට නැති බව රජිව් තරුණයා අවබෝධ කර ගත්තේ ආදර හැඟීම් තුළිනි.


ඇය සේවය කරන සරසවි ආපන ශාලාව පුරා රවුම් ගසමින් රජිව් තරුණයාට තමා කවුද යන්න පවා අමතක වූයේ ප්‍රේමයේ නාමයෙනි. එක් වසරක සරසවියේ නිවාඩු සමයෙහි රජිව් ඉන්දියාවට නොගොස් කේම්බි්‍රජ්හි රැඳී සිටියේ නිවාඩු කාලයේදීද බාහිර පන්තිවලට සහභාගී වන බවට අම්මාට බොරු කියමිනි. කාලයාගේ ඇවෑමෙන් ඇය රජිව්ගේ පවුල් පසුබිම දැන ගත්තාය. තමාට කිසිදාක තම පෙම්වතාගේ අත ගැනීමට නොහැකිවන බව ඇය සිතුවාය. මේ සිතුවිල්ලෙන් ඇයගේ හදවත වේදනාවෙන් බර විය. ඇයද සිතුවේ ඔහුගෙන් තොර ජීවතයක් තමාට නැති බවය. ඇල්බිනා ශෝකයෙන් හඬා වැලපුනාය.

 


ඇල්බිනා මයිනෝ සෝනියා ගාන්ධි වුන හැටි


ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ අගමැති තනතුරට පත්වූයේ 1966දීය. ප්‍රථම වාරයේදී 1966 සිට 1977 දක්වාත් දෙවැනි වාරයේදී 1980 සිට 1984 දක්වාත් ඇය එම තනතුරෙහි රැඳී සිටියාය. ඉන්දියාවේ කාන්තාවක් අගමැති තනතුරට පත් ප්‍රථම අවස්ථාවද මෙයයි. තම මව අගමැති තනතුරට පත්වන විටත් රජීව් කේම්බ්‍රජ්හි ඉගෙන ගනිමින් සිටියේය. ඇය මෙහිදී සිතුවේ පෙම්වතාගේ මව ඉන්දියාවේ අගමැති පදවියට පත්වීම, තම ප්‍රේම සම්බන්ධයට බාධාවක් විය හැකි බවයි. 1967 වන විට මේ දෙපලගේ බැඳීම වෙන් කළ නොහැකි තත්ත්වයකට පත්වී තිබිණි.


1967දී රජිව් කේම්බි්‍රජ් සරසවියට ආයුබෝවන් කියා ඉන්දියාව බලා පිටත්ව ගියේ හදපිරි ශෝකයකිනි. ඇයගෙන් වෙන්වීමට සිදුවීමෙන් ඔහු හදවතින් හඬා වැලපුනේය. ඇයටද මෙම වියෝව ශෝකාලාපයක් විය. ඊට මාස කීපයකට පසු ඇයද තම උපන් රට වූ ඉතාලිය බලා ගියේ කවදා හෝ යළිත් ඔහු හමුවීමේ දැඩි අධිෂ්ඨානයෙනි.


ඉන්දියාවේ ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කළ රජිව් මුලදී තම මවගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවීය. තම මව වූ අගමැතිවරියට තම ආදර කතාව ටිකෙන් ටික හෙළි කිරීමට ඔහු සමත්විය. මුලදී මව ඔහු ඉතාලි තරුණියක් සමඟ විවාහ වනවාට බලවත් අකමැත්ත පළ කළාය. මවගේ විරෝධය හමුවෙහි රජිව් අසරණ විය. එහෙත් කල්යද්දී තම අදහසට මව කැමති කරවා ගැනීමට රජිව් සමත් විය. එය ඔහු තම ජීවිතයේ ලබාගත් ලොකුම ජයග්‍රහණය බව පසු කලෙක රජිව් මාධ්‍යයන්ට හෙළි කලේය.


ඉතාලි ජාතික එඞ්විග් ඇන්ටෝනියා ඇල්බිනා මයිනෝ, සෝනියා ගාන්ධි බවට පත්වීමද අපූරු සිද්ධියකි. 1968 දී මේ දෙදෙනාගේ විවාහය සිදු වූයේ හින්දු ආගමික සිරිත් විරිත්වලට අනුවය. ඇල්බිනා, සෝනියා ගාන්ධි වශයෙන් නම වෙනස් කරගෙන රජිව් ගාන්ධිගේ බිරිඳ වශයෙන් තම ඇදුම වශයෙන් සාරිය තෝරා ගැනීම අපූරු සිද්ධියක් නොවන්නේද? නවදිල්ලියේ අගමැති නිල නිවෙස ඇයගේ වාසස්ථානය බවට පත්වීම කොතරම් ආශ්චර්යයක්ද? ඇය අගමැති නැන්දම්මාට කීකරු ලේලි බවට පත්වූවාය. අගමැති නැන්දම්මා සෝනියාට සැලකුවේ තම දුවකට සලකන්නාක් පරිද්දෙනි.

 


සෝනියාට ඉන්දියාවේ අගමැති පදවිය අහිමි වූ හැටි


සෝනියා-රජිව් සොඳුරු කැදැල්ලට 1970දී රාහුල් පුතාත් 1972දී ප්‍රියංකා දුවත් එක්වූහ. මේ සෝනියා ගාන්ධිට ඉන්දියාවේ අගමැති පදවිය නොලැබුණේ ඇය ඉතාලියේ උපන් අයෙකු නිසාය. 1983 අප්‍රේල් 27 දා ඇය තම ඉතාලි ගමන් බලපත්‍රය (පාස්පෝර්ට්) නව දිල්ලියේ ඉතාලි තානාපති කාර්යාලයට බාර දුන්නත්, ඇයට ඉන්දියාවේ මුල් පුටුව හිමි නොවීය. ඉන්දියාවට අගමැතිවරුන් කීපදෙනෙකුම බිහිකළ කොන්ග්‍රස් පක්‍ෂයේ මුල් පුටුව දැරුවත් ඇය අගමැති තනතුරට මන් මෝහන් සිං පත් කළේ රට තුළින් නැඟෙමින් පැවති විරෝධයට මුහුණ දීමක් වශයෙනි. මන් මෝහන් සිං අගමැති පදවියට පත් කළත් තිරය පිටුපස සිට රට පාලනය කළේ සෝනියා ගාන්ධි බව කියනු ලැබේ.


ලෝකයේ බලවත්ම කාන්තාවන් 21 දෙනෙකුගේ ලැයිස්තුවට සෝනියා ගාන්ධිගේ නමද ඇතුළත් බව සඳහන් කරන්නේ ෆෝර්බ්ස් (Forbes) සඟරාවයි. 66 වැනි වියේ සිටි ඇයගේ නැන්දම්මාගේ (ඉන්දිරා) ඝාතනය සිදු වීමත් 46 වැනි වියේ පසුවූ තම පුරුෂයා වූ රජිව් කොටි ත්‍රස්තයන් ඝාතනය සෝනියාගේ සිත සසල කළ සිද්ධීන්ය. 2014 මහ මැතිවරණයේදී ඇය තමා සතු ධනය පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කළාය. එම ලේඛනයට අනුව ඇය සතු මුළු ධනය ඉන්දියන් රුපියල් මිලියන 92.8කි. එය ඊට පෙර ජන්දයේදී ඇය ඉදිරිපත් කළ වත්කමට වඩා හය ගුණයක වැඩිවීමකි.


ඉතාලියේ ව්‍යාපාරිකයෙකු වූ ඔටාවියෝ (Ottavio) සමඟ සිදු කළ නීති වීරෝධි ව්‍යාපාරික කටයුතු පිළිබඳව සෝනියාට එරෙහිව චෝදනා එල්ලවිය. බෝෆෝර්ස් (Bofors) ගනු දෙනුවට ඇය සම්බන්ධ බව මාධ්‍ය අනාවරණ කළේය. කොන්ග්‍රස් පක්‍ෂයේ සභාපති වශයෙන් දැන් ඇයගේ මූලික පරමාර්ථය වී ඇත්තේ ඇයගේ පුත්‍රයා වූ රාහුල් ගාන්ධි ඉන්දියාවේ ඊළඟ අගමැති බවට පත් කිරීමයි. දැන් 69 වැනි වියේ පසුවන සෝනියා ගාන්ධිට තම පුත් රාහුල්ව අගමැති පදවියට පත් කිරීමට හැකිවේද?

m



අදහස් (0)

ඉතාලි තරුණියකට පෙම් බැන්ඳ රජීව් ගාන්ධි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3215 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 367 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1010 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site