IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉන්දියානු-චීන අරගලයේ හිරවූ ශ්‍රී ලංකාව

ආසියානු කලාපයේ යුදමය සහ ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් වූ භූගෝලීය පිහිටීමක් ශ්‍රී ලංකාවට ඇත. ඒ නිසාම රාජ්‍ය ආරම්භයේ පටන් කෝට්ටේ රාජධානිය දක්වාම දකුණු ඉන්දියානු ද්‍රවිඩ හා චෝල ආක්‍රමණවලට මුහුණ දීමට සිදුවීම නිසා රාජධානිය ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගෙන යාමට සිදුවිය. කෝට්ටේ යුගයේ පටන් යුරෝපීය ආක්‍රමණිකයෝ ඔවුන්ගේ පාලනයට ලංකාව නතුකර ගත්හ.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් ඔවුන්ගේ පාලනය පහසු කරගැනීම සඳහා දේශීය ජනතාව භාෂාමය ලෙස සහ ආගමික ලෙස බේද බින්න කිරීමට සූක්ෂම ලෙස කටයුතු කළහ. යුරෝපීයයෝ ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාව වැනි මහා රාජ්‍ය ද තුවක්කු බලයෙන් යටකර ගත්හ. ඔවුන් පාලනයකොට අතහැර දමා ගිය සියලු‍ රාජ්‍ය අරාජික තත්ත්වයට මෙන්ම බොහෝ වියවුල් සහගත තත්ත්වයට පත් විය. ඊට බොහෝ සෙයින් හේතු පාදක වූයේ භාෂාව හෝ ආගමයි.

1920 දී ජවහර්ලාල් නේරුගේ නායකත්වයෙන් යුත් කමිටුවක් යෝජනා කළේ හින්දි භාෂාව ඉන්දියාවේ නිල භාෂාව බවට පත් කරන ලෙසය. කොංග්‍රස් ආණ්ඩුව සමයේ ආණ්ඩුකාර සී. රාජගෝපාලාචාරී යෝජනා කළේ පාසල් තුළ හින්දි භාෂාව අනිවාර්ය කළ යුතු බවයි. දකුණු ඉන්දියානු විරෝධය හා කැලඹීම නිසා පසුව එය ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඉන්දියාවේ බ්‍රාහ්මණ පැලැන්තියේ ආධිපත්‍යයට එරෙහිව බ්‍රාහ්මණ නොවන ජන කොටස් 1917 දී Justice Party ගොඩනගා ගත්තේය. 1947 අගෝස්තු 15 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දිනය ඔවුන් ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කළේය. අනතුරුව පෙරියර් නමැත්තා ‘නිදහස් ද්‍රවිඩ නාඩු හෙවත් ‘නිදහස් දෙමළ රාජ්‍ය’ ආරම්භ කළේ ය. එනම් නිදහස් දෙමළ රාජ්‍ය සංකල්පයයි. පසුව එයට නායකත්වය දුන් සී.එන්. අන්නදුරෙයි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය නිර්මාණය කළේය. ඊට පසුව එක් වූ එච්. කරුණානිධි ඊට පෙර පටන් හින්දු භාෂා විරෝධියෙක් විය. දැල්මියපුරම් දුම්රිය ස්ථානය ඇතුළු ආයතනවල නාම පුවරුවල තිබූ හින්දි වචනවල තාර ගා මකා දමන ලදී. 1960 දී ඉන්දියාවේ ජනාධිපතිවරයා තමිල්නාඩුවට පැමිණෙද්දී අන්නදුරෙයි කළු කොඩි ප්‍රදර්ශනය කර විරෝධතා පැවැත්වීය.

ඔහු 1962 දී රාජ්‍ය සභාව අමතා ද්‍රවිඩ ජනතාවට ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඉල්ලා සිටියේ ය. 1965 දී ජාතික නිදහස් සමරු දිනයේ දී එය ශෝක දිනයක් බවට පත්කර ‘හින්දි භාෂාව භංග වේවා, ඉන්දියාව බොහෝ කල් දිනේවා’ සටන් පාඨය අස්සක් මුල්ලක් නෑර ප්‍රදර්ශනය කළේ ය. 1967 දී අන්නදුරෙයි මදුරාසි ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වූ අතර එම වසරේම ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් ආණ්ඩුව හින්දි හා ඉංග්‍රීසි භාෂා රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් රාජ්‍ය භාෂා පනත සම්මත කරනු ලැබීය.

තමිල්නාඩුවේ ද්‍රවිඩ නායකයන් හින්දි භාෂාවට එරෙහි ව ගෙනගිය සටනට සමාන සටනක් ලංකාවේ ද්‍රවිඩ නායකයෝ ද සිංහල භාෂාවට එරෙහිව දියත් කිරීම ආරම්භ කළහ. බ්‍රිතාන්‍ය පාලකයන් සිංහල ජන කොටසට වඩා වැඩි ප්‍රමුඛතාවක් දෙමළ ජන කොටසට ලබාදීමට කටයුතු කළේ ඔවුන්ගේ යටි අරමුණු ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. නිදහසින් පසු ද්‍රවිඩයන්ට ලැබී තිබූ වරප්‍රසාද අඩු වේ යැයි බියට පත්ව පනහට පනහේ අයිතිවාසිකම් ඉල්ලමින් උද්ඝෝෂණ කළහ. එය අසාර්ථක වූ තැන නිදහසින් පසු 1949 වෙනම රාජ්‍යය සංකල්පය මුදුන්පත් කර ගැනීමට ඉලංකේ තමිල් අරසු කච්චි හෙවත් ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය නිර්මාණය කළේය. එය ෆෙඩරල් පක්ෂය ලෙස ද හැඳින්විණ. ද්‍රවිඩ ජන කොටසේ ඉහළ පැලැන්තිය නියෝජනය කළ ක්‍රිස්තියානි ආගම වැළඳගත් අධි නීතිඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් එහි නායකයා වූ අතර 1947 දී ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ලංකාවෙන් වෙන් වී දකුණු ඉන්දියානු නිදහස් රාජ්‍යය සමඟ එක්වීමට ඔවුන්ට අයිතිවාසිකම් ඇති බවය. එම නිසා ඩොමීනියන් නිදහස ලබාගත් සැණින් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමන්ට බ්‍රිතාන්‍ය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඇතුළු වීමට සිදු විය.

නිදහස් ඉන්දියාවේ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉන්දියාවේ රාජ්‍ය භාෂා ලෙස භාෂා 14ක් පිළිගත් අතර මේ වනවිට එය 22 දක්වා වැඩි වී ඇත. ඉන්දියාවේ දැනට භාෂා 100ක් භාවිත වන අතර ප්‍රාදේශීය භාෂා 1635ක් ඇත.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉන්දියානු පදිංචිකරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ පනත සම්මත කිරීම මගින් උඩරට වාසය කළ ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාව ලක්ෂ 6 1/2කට පමණ ඡන්ද බලය අහිමි විය. එම පනතට පක්ෂව ජී.ජී. පොන්නම්බලම් පවා ඡන්දය ලබා දුනි. ඔහු අවස්ථාවාදියකු බවට ද්‍රවිඩ ජනයා චෝදනා කළේ ය. එම සිද්ධිය රට තුළ ජාතිවාදී වෛරයක් ව්‍යාප්ත කිරීමට බලපෑවේය. 1956 මැයි 04 වන දින එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ප්‍රකාශ කළේ ‘මම අදහස් ප්‍රකාශ කළේ ආණ්ඩු මට්ටමින් සන්ධීය ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව නොව ප්‍රායෝගික විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කිරීමය...’’ යනුවෙනි. ඔහුගේ අදහස වූයේ පළාත් පාලන ආයතන වෙත පාලන බලතල වැඩිකොට බලය විමධ්‍යගත කිරීමක් බව පෙනෙන්නට තිබුණි. 1956 වසරේ රාජ්‍ය භාෂා පනත මගින් ඇති වූ ජනවාර්ගික නොසන්සුන්තාව සමනය කිරීම පිණිස උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව දෙමළ භාෂාව ලෙස පිළිගත්තේය. එය ප්‍රමාණවත් ලෙස ක්‍රියාවේ නොයෙදුණ බවට විවේචන ඇති විය.

1963 දී අන්නදුරෙයි වෙනම රාජ්‍ය සංකල්පය අතහැර දැමුවත් ඔහුව අනුගමනය කළ ලාංකික ද්‍රවිඩ පාලකයෝ එය කර තබාගෙන ගියහ. 1976 ෆෙඩරල් පක්ෂය වඩුක්කෝඩෙයි ප්‍රකාශය මඟින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බව ප්‍රකාශ කළේය.

එය උඩුදුවමින් ගොස් 1983 ජුලි මස ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය උච්චතම අවස්ථාවට පැමිණියේ ය. ඊට විසඳුම් සෙවීමට ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කළ ජේ.ආර්. ජයවර්ධන ජනපති තිම්පු ප්‍රකාශනය එළිදැක්වීය. විසඳුම් ලෙස පහත සඳහන් මූලික ප්‍රතිපත්ති 4 ක්‍රියාත්මක කළ යුතු බවට එකඟ විය.

1. ලංකාවේ ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම.
2. ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ නිජබිම මෙරට තුළ පවතින බව පිළිගැනීම.
3. ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය පිළිගැනීම.
4. ද්‍රවිඩ ජනතාවට මෙරට පුරවැසිභාවයට තිබෙන හිමිකම සහ මානව අයිතීන් සඳහා තිබෙන හිමිකම පිළිගැනීම
.

එහෙත් ඒ වනවිටත් ඉන්දු-ලංකා ගිවිසුම මගින් පුරවැසිභාවය පිළිබඳ ගැටලු‍ව නිරාකරණය කර තිබූ අතර ඉන්දියානු පුරවැසිභාවය ලැබූ අනූදහසක් ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේ සිටි අතර එම අනූදහසට සහ තවත් 86,000කට 1988 දී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීම සිදු කෙරුණි. 2003 වසරේ දී ලංකාවේ සිටි සියලු‍ම ඉන්දියානු පුරවැසියන්ට පුරවැසිභාවය ලබා දුනි.

මෙසේ ඇති වූ ජාතිවාදී විරසකය සමනය කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම නිසා ආරම්භ වූ ත්‍රස්තවාදී යුද්ධය ජීවිත 60,000කට වඩා බිලිගන්නා තෙක් දිග ඇදුනේය. ඉන්දියාව සමඟ මනා ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ආරක්ෂා කිරීමට තරම් විචක්ෂණ බුද්ධියක් නොතිබූ පාලකයන් මෙය ඉතා ව්‍යසනකාරී ව්‍යාකූලත්වයක් දක්වා ගෙන ගොස් ඇත.

1970 දශකයේ මුල් කාලයේ කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව ලංකාව හා තමිල්නාඩුව අතර ගැටුමක් නිර්මාණය වූ අවස්ථාවේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, ඉන්දිරා ගාන්ධි අගමැතිනිය සමඟ සාකච්ඡාකොට 1974 දී සහ 1976 දී දෙරට අතර ජාත්‍යන්තර මුහුදු සීමා ගිවිසුමකට අත්සන් තැබීමෙන් එම ප්‍රශ්නය නිරාකරණය කළේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික බැඳීම කඩා බිඳ දැමීමට එවකට සිටි දේශපාලන නායකයන්ගේ ක්‍රියාකලාපය හේතු විය. 1977 මැතිවරණය ආසන්නයේ ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ එවකට දේශපාලනයේ යෙදී සිටි ඇයගේ පුත් සංජය ගාන්ධි එළදෙනකුට සහ වහු පැටියකුට සමාන කර වේදිකාවේ බෙරිහන් දීමට ජේ.ආර් - ප්‍රේමදාස හවුල කටයුතු කළේ ය. ලංකාවේ දී සිරිමාවෝ මැතිනිය සහ අනුර ද එළදෙනකුට හා වහු පැටියකුට සමාන කරමින් ඉන්දියාවේ සහ ලංකාවේ නායකයන් සමච්චලයට ලක් කිරීමේ අමනෝඥ ක්‍රියාදාමය ඉන්දියාවේ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂය ලෙස ද පළ වී තිබුණි. එම හේතුව නිසා ඇති වූ වෛරය නොවන්නට ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ප්‍රභාකරන්ට තමිල්නාඩුවේ හමුදා පුහුණු කඳවුරු ඇතිකර ගැනීමට ඉඩ පහසුකම් ලබා නොදෙන බව ප්‍රකට කරුණකි. එම පහසුකම් නොලැබුණානම් ප්‍රභාකරන්ට ඒ සා විශාල විනාශයක් කිරීමට ඉඩක් නොවිණි.

1983 ජනවාර්ගික ගැටුම්වලින් පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සහ ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය අතර පැවැති සාකච්ඡාවට රජිව් ගාන්ධි සහභාගී වී ඇති අතර ඔහු අදහස් දැක්වීමේ දී ජේ.ආර්. ඔහු අවතක්සේරු කරමින් උපහාසාත්මක ලෙස කතාකොට ඇති බව ප්‍රකට විය. ‘රජිව් මහතාණෙනි, මම ආසියාවේ අඩුම වයස් මුදල් ඇමැතිවරයාව සිටි කාලයේ ඔබ බඩ ගා ඇවිදින දරුවෙක්’ යනුවෙන් ජේ.ආර්. සිය උද්ධච්චකම ප්‍රදර්ශනය කරමින් ප්‍රකාශ කර ඇත. එකී ප්‍රකාශය රජිව්ට දේශපාලන අවබෝධයක් නැති බව දැක්වීම පිණිස ඔහුට කළ අවමානයක් සේ රජිව් ගාන්ධි සැලකූ බවට සැකයක් නැත. වසර කිහිපයක් ගිය තැන ඔහු ඉන්දියාවේ අගමැති බවට පත්ව ජේ.ආර්. ඔහු ළඟ දණගස්වා ගෙන ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර ගැනීමට රජිව් ගාන්ධි පෙළඹවීමට ඉහත කී සිද්ධිය ද පදනම් වී ඇත.

ඉන්දිරා ගාන්ධි ත්‍රස්ත සංවිධානයක් පෝෂණය කිරීම හේතුවෙන් ඇයගේ පුත් රජිව් ගාන්ධිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ එසේ පෝෂණය වූ ත්‍රස්තයන්ගේ අතින්මය. අවි ගත්තෝ අවියෙන් ම නැසෙති යන බුදුන් වහන්සේගේ ඉගැන්වීම කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක් බවට මෙය එක් උදාහරණයකි. වර්තමානය වනවිට ඉන්දු-ලංකා සබඳතා ඉතා බරපතළ ලෙස කඩතොළු වෙමින් පවතී. ඊට මූලික හේතුව වූයේ හම්බන්තොට වරාය වසර 99කට චීන ආණ්ඩුවේ පාලනයට නතුකර දීමයි. එක් පසකින් 2005 සිට 2014 දක්වා පැවති ආණ්ඩුව මෙරට අසීමාන්තික ණය උගුලක සිර කිරීමත්, 2015 බලයට පැමිණි ආණ්ඩුව විදේශගැති නිවට නියාලු‍ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් මීට ප්‍රබල ලෙස බලපෑවේ ය. රකින්නට පරපුරක් නැතැයි උදම් ඇනූ නපුංසක පාලනය තුළ රටේ සම්පත් සියල්ල විදේශිකයන් අතට පත් කරමින් පැවතුණි. ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය සහ ජපානය ඉතා බරපතළ ලෙස අනතුරු ඇඟවුවත් එවකට සිටි මුග්ධ පාලකයෝ එහි ඇති බරපතළකම තේරුම් නොගත්හ. එමෙන්ම පෙර සිටි පාලකයෝ ද චීනය සමඟ තිබූ කූඨ හා ගුප්ත ගනුදෙනු හේතුවෙන් විරෝධයක් ද මතු නොකළහ. ඒ තුළ එවකට සතුරු රාජ්‍ය ලෙස සැලකුණු ඇමෙරිකාව සහ ඉන්දියාව මිතුරු රාජ්‍ය බවට පත් කළෝ ලංකාවේ අඥාන නායකයෝය. සතුරාගේ සතුරා මිතුරා කරගැනීමේ ප්‍රතිපත්තිය ගෝලීය දේශපාලනය තුළ අතීතයේ පටන් පැවතුනි. ඒ අනුව ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය හා ජපානය දැන් එක් පෙරමුණකි. ඔවුන්ට ඇත්තේ එක් න්‍යාය පත්‍රයකි. ආසියානු කලාපය පාලනය කළ හැකි ප්‍රධාන මර්මස්ථානය වන ලංකාව චීන ග්‍රහණයට නතු වෙමින් පැවතීම වැළැක්වීම පිණිස චීනය සහ ලංකාව යන දෙරටටම ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. ඔවුන් ක්‍රම කිහිපයක් හරහා එය දියත්කොට ඇත.

1. හම්බන්තොට වරාය චීනයට දුන්නේ නම් ඇමෙරිකාවට අක්කර 12,000 ක් සමඟ ත්‍රිකුණාමලය වරාය ලබා දීම පිණිස MCC ගිවිසුම අත්සන් කරවා ගැනීම.
2. ඉන් නොනැවතෙන ඇමෙරිකාව SOFA ගිවිසුම අත්සන් කරගැනීම මගින් ඇමෙරිකා හමුදා ලංකාවේ ස්ථානගත කිරීම.
3. ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගැනීම.
4. ඉන්දියාව ලබා දී ඇති ඩොලර් මිලියන 400ක ණය මුදල නියමිත දිනට පෙර ආපසු ගැනීම.
5. මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙරටට එරෙහිව යෝජනා ඉදිරිපත් කරමින් ආර්ථික ලෙස රට බංකොලොත් කිරීම හා ඒ අරමුණින් ආර්ථික සම්බාධක පැනවීම.
6. චීනයේ මැදිහත් වීමෙන් ඉදිකරන කොළඹ Port City ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම. එයට දැනටමත් සම්බාධක පනවා ඇත.
7. ඉන්දියාවේ මැදිහත් වීම මගින් ලංකාවේ ද්‍රවිඩ භාෂාව කථා කරන දෙමළ හා මුස්ලිම් පක්ෂ එකමුතුවක් සාදා එයට මුදල් පොම්ප කරමින් ඉන්දියාවේ ආධිපත්‍යය තහවුරු කරන ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීම.

මෙහි ඇති භයානකකම තේරුම් නොගත් මෙරට දේශපාලන නායකයන් වර්තමානයේ ගත කරන්නේ ‘ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුවො දිය කෙළියේ’ යන ස්ථාවරයේ සිටය.

ඉන්දියාව මිතුරකු ලෙස මිස පසමිතුරෙකු (හතුරෙකු) කරගැනීම රටේ ජනතාවගේ ජීවිත අනතුරට හෙළීමකි. වර්තමානයේ පවතින බිඳුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1987 බලෙන් පරිප්පු දැමූ තත්ත්වයට නැවත ඉන්දියාව තල්ලු‍ කිරීමට හේතු විය හැකිය. මෙහිදී යුක්තිය හා සාධාරණත්වය කුමක් ද යන්න තර්ක විතර්ක කිරීමේ ප්‍රතිඵලයක් ඇති නොවේ. වර්තමානය තුළ ‘තමන්ගේ අනාගත සතුරන් කවුරුන්ද යන්නවත් නොදැන වර්තමාන රාජ්‍යය යුද වැදීමට සැලසුම් සදමින් සිටී’ යනුවෙන් ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ ප්‍රකාශය සිහිපත් කර ගැනීම වැදගත් වේ.
1963 දී දේශ සීමා පිළිබඳ පැවති ආරවුල් හේතුවෙන් චීනය සහ ඉන්දියාව අතර යුද ගිනි ඇවිළීමට ආසන්නව පැවතිය දී එය සමනය කරනු ලැබුවේ මේ පුංචි රාජ්‍යයේ අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකය. ඒ ඇය සතු වූ දුරදක්නා නුවණත් රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවයත් නිසාය.

2005 සිට 2015 දක්වා චීනය ඔරොත්තු නොදෙන අධික පොලියට ණය දුන්නා මිස එක ඩොලරයක්වත් ආධාර දී නොතිබුණි. එහෙත් ජපානය අපට ණය දීමට එකඟ වූයේ සියයට 0.1 ක පොලියක් මත ය. චීනය සියයට 6.4 ට වැඩි පොලියකට මිස ඊට අඩුවට ණය දී නොමැත. ජාත්‍යන්තර ලෙස අපට එරෙහි බලවේග ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ. මෙය අවම කරගත හැක්කේ හම්බන්තොට වරාය නැවතත් ශ්‍රී ලංකාවේ පාලනය යටතට ගැනීමෙන් පමණක්ම බව මෙහි දී අවධාරණය කළ යුතුව ඇත.

(***)



අදහස් (5)

ඉන්දියානු-චීන අරගලයේ හිරවූ ශ්‍රී ලංකාව

asanka Wednesday, 03 March 2021 12:58 PM

මොහුගේ අදහසට අනුව අද අප රට වැටී තිබෙන තත්වයට ප්‍රධාන හේතුව නම් හම්බන්තොට වරාය චීනුන්ට බදුදීමයි. මහා මාර්ගයක් අසල ඉන්ධන පිරවුම් හලක් ඇති කළවිට, ඉන්ධන පිරවීම සඳහා වාහන එයට ඇදී එන්නාක් මෙන්, වෙරළක් අසබඩ වරායක් ඉදි කළ පමණින් එයින් සේවා ලබා ගැනීමට නැව් ඇදී එන්නේ නැහැ. එවැනි තත්වයක් අවුරුදු 150කට පමණ ඉහතදී තිබුණා විය හැකියි. වර්තමානයේ ඇති නවීන නැවකට, ලෝක ගෝලයෙන් භාගයක් දුර එකවර ගමන් කළ හැකි වන අතර, එවැනි නැවක් අවශ්‍ය බන්කරින් සේවා ලබා ගන්නේ නැවට භාණ්ඩ පටවන හෝ බහාලන වරායෙනි. වර්තමානයේ හම්බන්තොට වරායේ එවැනි භාණ්ඩ හුවමාරුවකට අවශ්‍යතාවයක් නැහැ. එම ප්‍රදේශයේ දේශීය හෝ විදේශීය ආයෝජන හරහා කර්මාන්ත ඇතිවන තෙක් එවැන්නක් සිදු නොවන ඇත. ත්‍රිකුණාමල වරායේ තත්වයද මෙයයි.

:       4       9

vinivida Thursday, 04 March 2021 01:44 AM

රජිව් මහතාණෙනි, මම ආසියාවේ අඩුම වයස් මුදල් ඇමැතිවරයාව සිටි කාලයේ ඔබ බඩ ගා ඇවිදින දරුවෙක්’ යනුවෙන් ජේ.ආර්. ප්‍රකාශ කර ඇත. එකී ප්‍රකාශය කළා නම් එසේ කොට ඇත්තේ රජීව්ට දේශපාලන අවබෝධයක් නොමැති බව ජේ.ආර් හොඳින්ම දන්නා නිසාවෙනි. රජීව් සිටියේ එංගලන්තයේය. රජීව් කසාද බැන්දේ ඉතාලි කාන්තාවකි. රජීව් ගුවන් නියමුවෙකු වශයෙන් බොහෝ උනන්දුවෙන් ක්‍රියාකළා මිස දේශපාලකයකු නොවීය. ඉන්දිරා ගාන්ධිගේ මරණයෙන් පසු ඔහුට අගමැති වීමට අවස්ථාව ලැබිණි. ඉන්දිරා උදව් නොකළද, අගමැති වූ රජීව් ගාන්ධි LTTE නායකයාද මුණගැසී ඇත. LTTE කණඩායමට අවි පුහුණුව සහ මුදල් ලබා දීමට පවා රජීව් ක්‍රියා කළේය. ජේ.අාර් කෙසේ හෝ වඩමාරච්චි සටනේදී LTTE පරාජය කිරීමට ඔන්න මෙන්න තිබියදී ඉන්දියන් ගුවන් හමුදාව පරිප්පු ගෙනැවිත් දැමිය. ඉන්දියාව සමග කලාපිය හෝ දේශපාලන අාරෝවකට නොගොස් ප්‍රශ්නය බේරාගැනීමට ගිවිසුම් ගතවිය. ජේ.ආර් ඉන්දියාවට නොගොස් අගමැති වූ රජීව් ගාන්ධි ඔහු වෙත ගෙන්වා ගත්තේය. පසුව ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණ LTTEය සමග යුද කරන්නට විය. ඉන්දියාව LTTE යට ලබාදුන් අවි වලින්ම ඉන්දියානු හමුදාවට LTTE යට පහර දුන්නේය.

:       0       6

VINIVIDA Thursday, 04 March 2021 01:50 AM

ජේ.ආර් ට අවශ්‍යව තිබුනේ ඉන්දියාව විසින්ම LTTEය පරාජය කරවීමටයි. එදා ජේ.ආර් මොලෙන් කළ දේ ප්‍රේමදාසට සහ රටේ ජනතාව අවබෝධ නොවීම නිසා ඉන්දියන් හමුදාව රටින් පිට කළේය. සීක්ත් අන්තවාදීන්ට උදව් කළ ඉන්දිරා ගාන්ධි සීක්ත් අන්තවාදීන් විසින් ඝාතනය කළා සේම LTTE ය පෝෂණය කළ රජීව් පමණක් නොව ප්‍රේමදාසද LTTE ය විසින් ඝාතනය කළේය. මේ සිදුවීම් මාලාව අතරේ ජීවතුන් අතර සිටි ජේ.ආර් මේ සියල්ල දකින්නට සහ කියවන්නට ඇත. ජාත්‍යන්තර ලෙස අපට එරෙහි බලවේග ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ නම් කළයුතු වන්නේ හම්බන්තොට වරාය නැවතත් ශ්‍රී ලංකාවේ පාලනය යටතට ගැනීම නොව එදා ජේ.ආර්. කළා මෙන් දූරදර්ශීව, බුද්ධිමත්ව රාජ්‍ය තාන්ත්‍රිකව කර අර්බුදයක් තිබේ නම් එය විසඳා ගැනීම වේ. එසේ නොමැතිව රජය විසින්ම ඇතිකර ගත්තා වු අර්බුදයේ රජයම පැටලි ඉන්දියාවට, ඇමෙරිකාවට හෝ ලෝකයට බැණ වැදීමෙන් පලක් නොමැත. විජේදාසගේ ලිපියේ අළුත් යමක් නොමැත. එහි ලියා ඇත්තේ අප සියලු දෙනා දන්නා අතීතය පමණකි. කිසිඳු විසදුමක් සඳහන් කොට නැත. සමහර සඳහන් කරුණු සත්‍ය අසත්‍යතාවය දන්නේ ඔහුම පමණි. මේ වනවිට ඔහු ඔහුගේ දේශපාලන දිශාව තෝරා බේරා ගැනීමට නොහැකිව අන්දමන්දව සිටින බව නම් පෙනේ...

:       2       4

Sanka Friday, 05 March 2021 04:37 AM

මෙයා දන්න දෙයක් නැහැ. දන්න එකම දේ නම් හොරුන් වෙනුවෙන් පෙනීසිටීම. හොරුන්ට ආණ්ඩු හදලා දීලා රට කාපු එක විතරයි.

:       2       9

sunil Friday, 05 March 2021 12:11 PM

මෙතුමා හම්බන්තොට වරාය ලංකාවට නැවත පවරා ගන්නට යෝජනා කරන්නේ නම්, ඒ කාර්ය සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේද කියාත් සඳහන් කළ යුතුයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 111 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 108 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 865 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 190 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 465 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1108 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site