ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්තා කළෙමු. “තඹ පිත්තල සමාගමේ බැර ලෝහ කැලණි ගඟට?” යන මැයෙන් එම ලිපිය පළ කිරීමෙන් පසුව අදාළ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා අප වෙත තහවුරු කළේ, පරිසර හිතකාමි ලෙස මේ වන විට සිය කර්මාන්තශාලාව පවත්වාගෙන යන බවය.
කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම තඹ සහ පිත්තල නිස්සාරණ සමාගම විද්‍යුත් විච්ඡේදන ක්‍රමවේදයක් තුළින් තඹ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් අරඹා තිබුණි. එම විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය මගින් පරිසරයට සල්ෆර් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, කාබන්ඩයොක්සයිඩ් වැනි වායු කැලණි ගඟට මෙන්ම විස වායු පරිසරයට එකතු වන බව ප්‍රදේශවාසින්ගේ මතය විය.
දුම් කවුළු දමා එම වායු හිස් අවකාශයට මුදාහැරෙන බවට ප්‍රදේශවාසිහු පෙන්වා දුන්හ. හිස් අවකාශයට විෂ වායු මුදාහැරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ද ඇති බව ප්‍රදේශවාසිහු පෙන්වා දුන්හ. මෙම කර්මාන්තශාලාවේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට යොදා ගන්නා කොපර් සල්ෆේට් සහ සල්ෆියුරික් අම්ලය භූගත ජලයට, පසට මෙන්ම කැලණි ගඟට එකතු වන බවට කැලණිය පෙතියාගොඩ ජනතාව පෙන්වා දුන්හ.
එහෙත්, මේ සම්බන්ධව අදහස් දක්වන තඹ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ, 2023 වර්ෂය වන විට කර්මාන්ත ශාලාවේ අඩුපාඩු තිබූ බවය. එහෙයින්, කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් බලපත්‍රය ලබා ගැනීමට බාධා පැමිණි බවය.
එහෙයින්, බලපත්‍රය ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශ ලබා දී තිබුණි. තව ද, කොවිඩ් වසංගතය පැවැති කාලයේදී ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව කර්මාන්තය පවත්වාගෙන යාමට බලපත්‍ර ලබා දී තිබුණි.
එම කාලයේදී මෙම කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍රවල වෙනස්කම් කිහිපයක් ද සිදු කර තිබුණි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය බලපත්‍රයක් හෝ සිදු කළ වෙනස්කම් ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර තිබුණේ නැත. එසේ යන්ත්‍රවල වෙනස්කම් කළ ද එම කර්මාන්තශාලාවට ලබා දී තිබූ බලපත්‍රයේ කිසිදු වගන්තියක් උල්ලංඝනය නොකළ බව කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
එසේම, 2024 වර්ෂය සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී එය පමා වීමට බලපෑ තවත් හේතුවක් වූයේ, තඹ නිෂ්කාශනයේදී ඉතිරි වන කොපර් සල්ෆේට් ටොන් 60කට වැඩි ප්‍රමණයක් කර්මාන්තශාලාවේ ගබඩා කර තිබීමය. කර්මාන්ත පරීක්ෂාවට පැමිණි නිලධාරින් විසින් එම කොපර් සල්ෆේට් ටොන් 60කට වැඩි ප්‍රමාණය දැක ඒවා ගබඩා කරගෙන සිටීම ගැන විමසා ඇත. පසුව ඒවා ද ඉවත් කරගන්නා ලෙස දන්වා ඇත. ඉන් පසු එම කොපර් සල්ෆේට් අවස්ථා තුනකදී එනම් 2024-3-25 ටොන් 21,600ක් ද, 2024-5-2 ටොන් 20,800ක් ද, 2024-5-9 ටොන් තවත් 20,800ක් ද ඉන්දියාවේ කර්නාටක ඇග්‍රෝ කෙමිකල්ස් සමාගම වෙත යවා ඇත. ඉන් පසු තඹ නිෂ්කාශනයේදී එකතු වූ කොපර් සල්ෆේට් ටොන් 21,600ක් එම සමාගම වෙත 2024-6-13 දින යවා ඇත. එසේම, ටොන් තවත් 20,400ක් 2024-7-17 දින ඉන්දියාවට විකුණූ බව කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. මේ වන විට තම කර්මාන්තය සතුව කොපර් සල්ෆේට් කිසිම ආකාරයකින් ගබඩා කොට නැති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
කොපර් සල්ෆේට් ගබඩා කර තැබීම හේතුවෙන් සහ පරිසර නියමයන්ට අනුකූලව කර්මාන්තය පවත්වාගෙන නොයෑම හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තය පවත්වාගෙන යාමට බලපත්‍රය ලබා දෙන්නේ නැත. 2024 වර්ෂයේදී තඹ කර්මාන්තශාලාව පවත්වාගැනීම සඳහා බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ ඒ අනුවය. එහෙත්, ඊට පිළියමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සහ පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් අදාළ තඹ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන්නේ, නැවත ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසය. 2024 වර්ෂයේ මාර්තු මාසයේදී නැවත බලපත්‍රය ලබා ගැනීමට අභියාචනය සඳහා අයැදුම් කරන්නේ ඒ අනුවය. එහිදී 2024 වර්ෂයේ මැයි මාසයේදී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ඒ සඳහා කමිටුවක් පත් කොට කර්මාන්තශාලාවට නැවත බලපත්‍රය ලබා දීම සඳහා සලකා බැලීමක් කරන්නේ ඒ අනුවය. එහිදී සාමූහික ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම සාමූහික පරීක්ෂණය නතර කිරීමට සැලැසුම් සහගත ලෙස ක්‍රියාත්මක වූ පිරිසක් ද ඊට එකතු වූ ඇතැම් රාජ්‍ය නිලධාරිහු ද සිටියහ. මේ අයට අවශ්‍ය වූයේ, කර්මාන්තශාලාවේ සිදු කරන ක්ෂේත්‍ර පරීක්ෂණය නතර කර දැමීමටය. ඒ හරහා කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍රය ලබා දීම පමා කිරීමට ඇතැම් අය උත්සාහ ගත්හ. එහෙත් අපට අවශ්‍ය වූයේ, මෙම කර්මාන්තශාලාව පවත්වාගැනීමට අවශ්‍ය පරිදි නීත්‍යනුකූල පසුබිම සකසා ගැනීමටය. ඒ සඳහා අප කටයුතු කරන විට ඇතැම් අය ඊට විරෝධතාව දැක්වූයේ ඉන්දියානු ආයෝජන ලංකාවට අවශ්‍ය නැති බව කියමින් යැයි එම සමාගමේ අධ්‍යක්ෂවරයා පවසයි.
ඇතැම් රාජ්‍ය නිලධාරින් මෙන්ම ඇතැම් පිරිස් එසේ හැසිරුණේ අපට නැවත බලපත්‍රය ලබා දෙන එකට විරුද්ධවය. එහෙත් මේ දෙස විමසිලිමත්ව බැලූ රාජ්‍ය නිලධාරින් කළේ මෙම ගැටලුව විසඳීමට උපදෙස් දීමය. එම උපදෙස් මත කර්මාන්තශාලාවේ සියලු වෙනස්කම් සිදු වූ අතර, දැන් කිසිම අයුරකින් පරිසරයට හානියක් නැති බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. 2023 වර්ෂය අවසානය වන විට කර්මාන්තශාලාවේ තිබූ සහ මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දුන් උපදෙස් මත කර්මාන්තශාලාවේ සියලු වෙනස්කම් සිදුව ඇත. ඒ අනුව පරිසර හිතකාමි ලෙස මේ වන විට කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට හැකි වී තිබේ. එහෙත්, මේ වන විට සිය කර්මාන්තශාලාවට තඹ නිස්සාරණ ක්‍රියාවලිය කරගෙන යාමට දැඩි බලපෑම්ක් සිදු කරන ඇතැම් රාජ්‍ය නිලධාරිහු ද වෙති. මේ අය සෑම විටම පෙන්වා දෙන්නේ, ඉන්දියානු සමාගමකට මෙම කර්මාන්තශාලාව කරගෙන යාමට අවසර ලබා දිය නොහැකි බව කියා යැයි අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අනුව තම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට දිගින් දිගටම බාධා පැමිණියහොත්, ඉන්දියානු මහකොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට ද බලාපොරොත්තු වන බව කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
මේ වන විට කර්මාන්තශාලාවේ දුම් කවුළු අඩි 108කට වඩා උසින් සවි කර ඇත. එසේම, මාස හයෙන් හයට නර්ඩ් ආයතනය හරහා වායුගෝලයට මුදාහැරෙන වායු ගැන වෙනම පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම ද කළ යුතුය. මෙහිදී කැලණි ගඟට හෝ භූගත ජලයට මිශ්‍ර නොවන බවට සහතික ද හිමි වී ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. මෙහිදී SO2,(mg/Nm3) තිබිය හැකි උපරිමය මිලිග්‍රෑම් 800කි. එහෙත්, කර්මාන්තශාලාවෙන් පිට වන්නේ මිලිග්‍රෑම් 52කි. NOx (Mg/Nm3) තිබිය හැකි උපරිමය මිලිග්‍රෑම් 500කි. කර්මාන්තශාලවෙන් පිට වන්නේ මිලිග්‍රෑම් 61කි. තව ද, තිබිය හැකි අංශු ද්‍රව්‍ය මිලිග්‍රෑම් 150ක් වුව ද කර්මාන්තශාලාවෙන් පිට වන්නේ අංශු මිලිග්‍රෑම් 19කි. එසේම, පිට විය යුතු වායු ප්‍රමාණය සියයට 20ක් වුව ද කර්මාන්තශාලාවෙන් පිට වන්නේ සියයට තුනක ප්‍රමාණයකි. ඒ අනුව, නර්ඩ් ආයතනය මගින් 2024 වර්ෂයේ ජුනි මස 24 දින නිකුත් කර ඇති වාර්තාව අනුව කර්මාන්තශාලාවෙන් කිසිදු පරිසර හානියක් නැති බව පෙන්වා දී ඇතැයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2024-10-14 දින සිට 2024-11-1 දින දක්වා මාසික බලපත්‍රයක් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට ලබා දෙයි. ඒ, මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට හැකි බව අභියාචනයෙන් පසු පැවැත්වූ සාමූහික ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් ගත් තීන්දුවකට අනුවය. ඉන් පසු 2024-11-2 සිට 2025-11-1 දක්වා වාර්ෂික බලපත්‍රයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දෙන්නේ, තඹ කර්මාන්තශාලාව ඉදිරියට පවත්වාගෙන යාමටය. එසේම, ව්‍යාපාරයට අවශ්‍ය සියලුම අවසර සහ බලපත්‍ර තම ආයතනය සතු බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
තඹ නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් වන මෙම සමාගම ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන රැසකටම සිය නිෂ්පාදන ලබා දෙයි. මේ හේතුවෙන් විදේශයෙන් තඹ ගෙන්වීමට අවශ්‍ය නැති බව ද අධ්‍යක්ෂවරයා පවසයි. මෙරට තඹ එකතු කරගෙන විදේශයට ගෙන යාමට උත්සාහ ගන්නා අයට තම තඹ කර්මාන්තශාලාව හේතුවෙන් තඹ සොයා ගැනීමට බැරිව තිබේ. මේ හේතුවෙන් එම පිරිස් විශාල විරෝධයක් ගෙන යන බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. තව ද, ලංකාව පුරා එකතු වන තඹ එකතු කර නිස්සාරණය කොට තඹ නිපදවයි. මෙමගින් ලංකාවේ ආර්ථිකයට ද විශාල ආදායමක් එකතු වෙයි. මෙම කර්මාන්තශාලාව සඳහා මේ වන විට රුපියල් කෝටි 50-60ක පමණ ආයෝජනයක් කර ඇත. එසේ නම්, එවැනි ආයෝජනයක් විනාශ කර දැමීමට සූදානම් වන්නේ ඇයි ද යන්න ගැටලුවක් බව කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. තම කර්මාන්තශාලාව පරිසරයට හානිදායක නොවන අයුරින් කරගෙන යාමට බලපත්‍ර ලබා ගැනීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරින් සහ ඇතැම් පිරිස් එක්ව ඊට ද බලපෑම් කොට එම බලපත්‍ර නිකුතුව පමා කිරීමට ද කටයුතු කරන බව ද අධ්‍යක්ෂවරයා පවසයි. එසේම, පහසුවෙන් ලබා ගැනීමට හැකි බලපත්‍ර සහ සහතික ලබා ගැනීමේදී ඊට ද ඇතැම් පිරිස් දිගින් දිගටම බලපෑම් කරන බවට ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
දිනකට තඹ විශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙරට කර්මාන්තශාලා හිමියෝ කටයුතු කළහ. එහෙත්, තම කර්මාන්තශාලාවෙන් ඉවතලන තඹ එකතු කොට නව තඹ නිෂ්පාදනයක් කරන බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. ඒ හරහා ලංකාවේ තඹ ආශ්‍රිත නිෂ්පාදිත බොහෝ කර්මාන්තවලට තඹ ලබා දීමට තමන්ට හැකි වූ බව ඔහු පෙන්වා දෙයි.
තව ද, කර්මාන්තශාලාව හේතුවෙන් කැලණි ගඟේ පානීය ජලය සපයන කිසිදු ස්ථානයකට හානියක් නොවන බවට වාර්තා ද ලබා දී ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. කර්මාන්තය පිහිටන දුර සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ස්ථාන අතර කිලෝමීටර 15කට වඩා දුර බව ද පෙන්වා දෙයි. එසේම, කර්මාන්තශාලාවේ සිට කැලණි ගඟට ඇති දුර සැලකීමේදී කිසිදු ආකාරයකින් අපද්‍රව්‍යයක් ගඟට එකතු නොවන බවත්, එසේ අපද්‍රව්‍යයක් පිටතට නොදමන බවත් අධ්‍යක්ෂවරයාගේ මතයයි. කර්මාන්තශාලාව අවට ළිං ඇති බවත්, ඒවායේ ජලය ප්‍රදේශවාසින් පරිභෝජනය කරන බවත් ඔහු පෙන්වා දෙයි. එම ළිං ජලය සෑම විටම පරීක්ෂාවට ලක්කරන බවත්, මේ වන විට එම ජලය ද පරිභෝජනයට සුදුසු බවට සහතික ද ලබා දී ඇත.
ඉන්දියානු භීතිකාවක් මත මෙම කර්මාන්තශාලාව වසා දැමීමට මේ වන විට විශාල කුමන්ත්‍රණයක් පවතියි. මෙම බලපෑම් දිගින් දිගටම පැමිණියහොත් වසර 16ක් තිස්සේ කරගෙන යන කර්මාන්තශාලාව වසා දමා ඉන්දියාට යාමට සිදු වන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
සති දෙකකට පෙර ‘ලංකාදීප’ පුවත පළ වීමෙන් පසු රාජ්‍ය හා පාරිසරික ආයතන මගින් මෙම කර්මාන්තශාලාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නැවත පරීක්ෂාවකට ලක් කොට ඇත. එහි විමර්ශන මේ වන විට සිදු වන විට මධ්‍යම පරිසර අධිකාරිය සහ කාර්මික සංවර්ධන අධිකාරිය ලබා දුන් උපදෙස් මත නැවත කර්මාන්තශාලාවේ නඩත්‍තු කටයුතු සිදු වෙයි. එහිදී පරිසරයට හානිදායක නොවන අයුරින් නවීන තාක්ෂණය යොදාගෙන නඩත්තු කටයුතු ද සිදු වන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. එහිදී කොපර් සල්ෆේට් පරිසරයට අපද්‍රව්‍යයක් ලෙස මුදා නොහැර නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් නව තාක්ෂණික ක්‍රමවේදයක් ද මෙම කර්මාන්තශාලාවේ ස්ථාපිත කර තිබේ.
මෙම කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන පරිදි, ඉන්දියානු සමාගම්වලට මෙම ව්‍යාපාරය කරගෙන යාමේදී දැඩි විරෝධයක් පවතියි. ඇතැම් පුද්ගලයන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරින් එක්ව යම් කුමන්ත්‍රණකාරි ක්‍රියාවක් සිදු කරන බවට මේ වන විට වාර්තා වී ඇති බව ද එම කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන කරුණකි. එසේ නම්, මේ ගැන සොයා බලා කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීම මෙම ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය ආයතනවල ද වගකීමකි.
මේ ගැන තොරතුරු දැනගැනීමට අප පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.පී. උඩුවාවල මහතාට දුරකතන ඇමතුමක් ගත්ත ද, ඒ මහතා සිටියේ රැස්වීමක බව එහි නිලධාරිනියක සඳහන් කළාය. එසේම, මෙම කර්මාන්තශාලාව ගැන හෝ කැලණි ගඟට යම් හානියක් සිදු වන බවට මෙතෙක් ලේකම්වරයා නොදන්නා බව ද ඇය කීවාය. අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් හෝ පුවත්පත්වල පළ වූ තොරතුරු හෝ ගැන ලේකම්වරයා දැනුම්වත් නොකළ බව ද එම නිලධාරිනිය කීවාය.
‘ලංකාදීප’ ලිපිය පළ වීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය ගත් ක්‍රියාමාර්ග කවරේ ද යන්න ගැන එහි අධ්‍යක්ෂ ජනරාල් පත්මසිරි මූණමලේ මහතා පැවැසුවේ මෙවැන්නකි.
ඉන්දියානු සමාගමට බාහිර බලපෑමක් ඇති බවට අපට දැනගන්නට ලැබුණේ නැහැ.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක,
සුධාරිකා ගුරුසිංහ
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද
ශ්රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ආරාධනයකට අනුව සහභාගි වූ රූපවාහිනි සාකච්ඡාව එම නාලිකාව විකාශනය කිරීමෙන් පසු එය රට
උසාවිය තුළ වෙඩි තැබීම ඇතුළු නොබෝදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මහජනයා අතර භීතිය මතු වී තිබේ. බොහෝ දෙනා මේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දියානු තඹ සමාගමත් ලංකාව හැර යන ලකුණු!