අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ලැබූ තීන්දු තීරණ ආදිය පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමුවී ඇති බව පෙනේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය පාලන බලය අත්පත් කරගැනීමත් සමග ගොඩනැගුණු ආණ්ඩුව කිසියම් ප්‍රායෝගික ලිබරල් මතවාදයකට නැඹුරුවෙමින් ක්‍රියාකාරී ලෙස එය ක්‍රියාවේ යෙදවීමට පෙළඹෙමින් සිටින බව පැහැදිලිය. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් පැවැති ප්‍රාරම්භක වාමවාදී නැඹුරුවෙන් තරමක් ඈත්ව කිසියම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නූතන ලිබරල් ස්වරූපයකට අනුගත වෙමින් වර්ධනය වන බවකි. එය ආණ්ඩුවේ ක්‍රියාදාමයෙන් දැකිය හැකිය. ජාතික වශයෙන් මෙන්ම කලාපීය හා ගෝලීය වශයෙන් පවත්නා ආර්ථික හා දේශපාලන සන්දර්භය සමග එක්ව ගමන් කිරීමට මේ නැඹුරුව වැදගත්වේ.
චීනය, ඉන්දියාව, රුසියාව වැනි රටවල් සහ යුරෝපීය රටවල් පුළුල් සබඳතාවලට ප්‍රවිශ්ට වීම පහසුවන්නේ මේ නූතන ලිබරල් අනුගතවීම තුළය. දැනට ලෝකයේ නිර්මාණය වී ඇති ආර්ථික දේශපාලන තත්වය හා එහි ක්‍රියාත්මක වන මූලික බලවේග අප හඳුනාගත යුතුව ඇත. පසුගිය සියවස තුළ මතුව ආ ධනේශ්වර ලිබරල්වාදී සමාජ ආර්ථික ප්‍රවණතාවත් සමාජවාදී සාමූහික සමාජ ආර්ථික ප්‍රවණතාවත් යන දෙකම මේ වන විට බිඳවැටී තිබේ. අවලංගුභාවයට පත්ව තිබේ. එබැවින් එම ක්‍රමෝපාය මාර්ග තවදුරටත් ක්‍රියාත්මක කරමින් කිසියම් රටක සමාජයක රාජ්‍ය බලය ලබාගැනීම ප්‍රායෝගික නොවන තැනකට පැමිණ ඇති බව ලෝකය පුරා උදාහරණවලින් පැහැදිලිය.
මෙම නූතන ලිබරල්වාදයට මුලින්ම අනුගත වූ ආසියානු කලාපීය රටක් ලෙස චීනය දැක්විය හැකිය. චීනය කොමියුනිස්ට් වාදී වැඩපිළිවෙළේ සිට නවසිය හැත්තෑ ගණන් පමණ වන විට නව වැඩපිළිවෙළකට ප්‍රවේශ විය. ඉන්දියාවද 90 දශකය පමණ වන විට මේ නව වැඩපිළිවෙළ අනුගමනය කළේය. ජාතිකවාදී ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉන්දීය ආර්ථිකය හා සමාජ ගොඩනැගීමට ඔවුහු උනන්දු වූහ. චීනය කළේ මුල්කාලීනව පැවැති කොමියුනිස්ට්වාදයේ මූලික ලක්ෂණත් ධනේශ්වර ලිබරල්වාදයේ මූලික ලක්ෂණත් නූතන චීන සමාජ ආර්ථික පරිසරයට යෝග්‍ය වන පරිදි ඒකාබද්ධ කිරීමය. එයින් නව සමාජ, ආර්ථිකය පිළිබඳ නව සංකල්පයක් හා ක්‍රියාවලියක් ගොඩනැගිණ.
මේ නව ක්‍රමය තුළ කොමියුනිස්ට්වාදය පැත්තෙන් රාජ්‍ය මධ්‍යගත සැලසුම්කරණය යොදාගත් චීනය, ධනේශ්වර ලිබරල්වාදය පැත්තෙන් වෙළෙඳපොළ ආර්ථිකය යොදාගැනීමට උනන්දු වූ බව පෙනේ. චීනයට ආවේණිකව එසේ සකසාගත් ප්‍රතිපත්තිය තුළ පසුගිය වසර 40ක කාලයේ පුළුල් ආර්ථික දේශපාලන ස්ථාවරත්වයක් නොඩනගා ගැනීමට ඔවුහු සමත්වූහ. එය වාර්ෂිකව සියයට 10ක පමණ ආර්ථික වර්ධනයකි. වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ රටවල්වල ආර්ථික වර්ධනයත් අභිබවා යෑමට මේ වන විට චීනයට හැකියාව ලැබී තිබේ.
එයින් පැහැදිලිවන්නේ ඇමෙරිකාව දිගින් දිගටම අනුගමනය කළ නව ලිබරල්වාදයේ වර්තමාන අසමත්කමත්, චීන ආර්ථික ක්‍රමය නව ආර්ථික මොඩලයක් ලෙස 21 වැනි ශතවර්ෂයේ ලෝකයෙහි අවධානයට ලක්ව ඇති බවත්ය. ලංකාවේ ආර්ථිකය රටට අවශ්‍ය පරිදි ගොඩනගා ගැනීමේ සැලසුම්වලදී චීනයේ ආදර්ශය ඉතාම වැදගත්ය.
එපමණක් නොව ඉන්දියාව අනුගමනය කළ ‘‘ඉන්දියානු ආර්ථික මොඩලය’’ ද එවැනිම එකකි. අද වන විට ඉන්දියාව චීනය සමග ප්‍රබලව තරග කළ හැකි මට්ටමට ළඟා වී ඇත්තේ ඉන්දියානුවන් හඳුනාගත් එම ‘‘ඉන්දියානු ආර්ථික මොඩලය’’ නිසාය. වියට්නාමය, ඉතියෝපියාව, ආර්ජන්ටිනාව, වැනි රටවල් ද මේ වන විට ‘‘ඉන්දියානු ආර්ථික මොඩලය’’ අනුගමනය කිරීමට උනන්දු වන බව පෙනේ.
නව ආණ්ඩුව මේ වනවිට චීනයේ හා ඉන්දියාවේ නව ආර්ථික මොඩලය කෙරෙහි යම් නැමියාවක් දක්වමින් සිටින බවක් පෙනෙන්නට ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයත් එහිදී ගන්නා තීන්දු තීරණත් එළැඹෙන ගිවිසුම් ආදියත් මේ අවස්ථාවේ වැදගත්වන්නේ එම නිසාය. ඉදිරියේදී චීනය සමගද මේ සම්බන්ධ යම් යම් තීන්දු තීරණවලට එළැඹීම සිදුවිය හැකිය. ආර්ථික වර්ධනයේ ප්‍රධාන විභවතා මේ අවස්ථාවේ ගොඩනැඟෙමින් තිබෙන්නේ යුරෝපයේවත් ඇමෙරිකා එක්සත් ජනපදයේවත් නොවේ. චීනය හා ඉන්දියාව මුල් කරගත් දේශපාලන කලාපය තුළය. ශ්‍රී ලංකාව ඒ පිළිබඳව සවිඥානිකව කටයුතු කිරීම ඉතාම වැදගත් වූවකි.
ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය තුළ ආර්ථිකය, බලශක්තිය, ආහාර, පෝෂණ, ආදි පුළුල් ක්ෂේත්‍ර කෙරෙහි යම් අවධානයකට ලක්ව ඇති බව පෙනේ. මෙම අවධානය ලංකාවට මෙන්ම ඉන්දියාවට අන්‍යොන්‍ය වශයෙන් බලපානු ඇත. 90 දශකයෙන් පසුව ඉන්දීය ජාතික නිෂ්පාදනවල පුළුල් වර්ධනයක් දැකිය හැකිය. එම නිෂ්පාදනය ජාතික සීමා අභිබවමින් වර්ධනය වන තත්වයක් මේ වන විට දැකගත හැකිය. ආර්ථිකය ප්‍රසාරණය වන විට ඔවුන්ට නව වෙළෙඳපොළක අවශ්‍යතාවද මතු වේ. ඊට අලුත් අවකාශයක් වුවමනා වේ. නව අමුද්‍රව්‍ය අවශ්‍ය වේ. එතැනදී ඉන්දියාවට ශ්‍රී ලංකාව යම් වැදගත් ස්ථානයක් වනු ඇත.
එහෙත් ඒ තරමට මෙරට වෙළෙඳපොළ ජාතික වශයෙන් ප්‍රසාරණය වූ බවක් නිදහසින් පසුව සිටම දැකිය නොහැකිය. එය අප පිළිගත යුතු සත්‍යයකි. එහෙත් ජාතිකවාදී ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තියත් සමග රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක් නිදහසින් පසු සිටම ක්‍රමිකව ගොඩනැගීමට ඉන්දියාව සමත් වූවේය. ප්‍රමාද වී හෝ මෙම ජාතික ආර්ථික ප්‍රතිපත්තිය දැන්වත් තේරුම්ගෙන ඒ අනුව කටයුතු කරන්නට අපට සිදුවනු ඇත. ඒ සඳහා විශේෂයෙන්ම ඉන්දියාවත් චීනයත් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවලින් ආදර්ශ ලබා ගැනීම සෑම අතකින්ම අපට වැදගත් වනු ඇත.
ඉන්දියාව යනු කෝටි 140 කටත් වැඩි ගණනක් ජනයා ජීවත්වන භූමි ප්‍රමාණයෙන් ඉතා විශාල රටකි. එවැනි විශාල ජනගහනයක් සහිත රටක් සමග කෝටි දෙකක් පමණ ජනගහනයක් සිටින අපේ රටේ ආර්ථික දේශපාලනය ගලපා ගත හැක්කේ කෙසේදැයි එය ප්‍රායෝගික දැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ‘ඉන්දියානු මොඩලයේ’ ආර්ථික ප්‍රතිපත්ති අනුව යෑමෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු ජනපදයක් බවට පත්වේද යන පැනය කෙනකු මතු කරන්නට පුළුවන. එහෙත් අද පවත්නේ එවන් පටු සීමා හා මතවාද ඉක්මවා යන පුළුල් ලෝක ආර්ථික ප්‍රවාහයකි. ඒ ඒ රාජ්‍ය නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් හා ඔවුන්ගේ අභිප්‍රායයන් අතික්‍රමණය කරමින් වර්ධනය වන ආර්ථික තාක්ෂණික ප්‍රවාහයක් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. එය අප කැමැති වුවත් නැතත් ලෝකය පුරා එය සිදුවෙමින් ඇත. අද සැලසුම් සකස් කළ යුත්තේ එම ලෝක ආර්ථික ප්‍රවාහය කළමනාකරණය කරගන්නේ කෙසේද යන කාරණය ඔස්සේය. එම ප්‍රවාහය කළමනාකරණය කරගැනීම ලංකාවට පමණක් නොව ඉන්දියාවට ද එක ලෙස අදාළ වේ. අපේ ජාතික ආර්ථිකයට වාසිවන ආකාරයේත් ජාතික සුරක්ෂිතතාව ආරක්ෂා වන ආකාරයේත් වැඩපිළිවෙළකට යෑම මෙම කළමනාකරණයේදී වැදගත් කාරණයකි. විදෙස් සංචාර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආදියෙහිදී මේ කාරණා වඩාත් තහවුරු කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මීට පෙර පැවැති ආණ්ඩු ද මෑත කාලීනව චීනය සමඟ සමීපව කටයුතු කරන්නට දැරූ උත්සාහායන් අපි දුටුවෙමු. එම නිසාම කලාපීය සුරක්ෂිතතාව සලකා ඉන්දියාවේ යම් යම් බලපෑම් මෙරටට ඇතිවූ බවද දක්නට ලැබුණි. අනෙක් අතට එම බලපෑම ඉන්දියාව විසින් කරනු ලැබුවේ ඇමෙරිකාවට සමීපතාවක් පෙන්වමිනි. තවමත් එම බලපෑම සියයට සියයක්ම පහවී ගොස් ඇතැයි කිව නොහැකිය. එම තත්වය කළමනාකරණය කර ගනිමින් මේ අවස්ථාවෙහි ඇතිවී තිබෙන භූ ආර්ථික භූ දේශපාලනික උපාය මාර්ග යථාර්ථයන්ට අනුකූලව මෙරට විදේශ ප්‍රතිපත්තිය සහ අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනගා ගැනීම පිළිබඳ පැහැදිලි කතිකාවක් දැන් අවශ්‍යව ඇත.
මෙරට රාජ්‍ය නායකයන් ඉන්දියාව හා චීනය සමඟ කෙරෙන ගනුදෙනුව භාවිත කළ යුත්තේ ඊට අවශ්‍ය පරිසරය සැකසීම කෙරෙහි අවධානය යොමු කරමිනි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයද සංවිධානය වූයේ එම අරමුණ පෙරදැරිව විය යුතුය. එය සැලකිල්ලට ගතයුතු කරුණකි. මේ වෙලාවේ දෙරට අතර ඇති වන සබඳතා ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරටේම ජනතාවගේ යහපත සඳහා යොදාගත හැක්කේ කෙසේද යන්න අවධානයට ගැනීම වැදගත් වේ.
මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර පැවැති ආණ්ඩුවලට ඇමෙරිකා එක්සත් ජනපදය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදියෙන් ලැබෙන දිශානතිය හා උපදෙස් අනුව ක්‍රියාකරන්නට සිදුවිය. එහෙත් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලෝකය පුරාම මෙම ඒකද්‍රැවික ලෝක රටාව වෙනුවට බහු ද්‍රැවික ලෝක රටාවක් ඉතාම වේගයෙන් වර්ධනය වෙමින් පවතී. එය අලුත් යථාර්ථයකි. අපේ අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තියේ මූලික ප්‍රවණතා සහ විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිහැඩගස්වා ගැනීම සිදු විය හැක්කේ මේ තුළය. මේ යථාර්ථය තුළ ඇමරිකානු කේන්ද්‍රීය හෝ, යුරෝපීය කේන්ද්‍රීය හෝ වශයෙන් ඒකද්‍රැවික තත්ත්වයකට සීමා නොවනු ඇත. මෙම සංවිධිත ලෝක දේශපාලනයේ අලුත් තත්ව තේරුම් ගැනීමේ අවශ්‍යතාව වැදගත් වේ.
අප අද ගත කරමින් සිටින බහුද්‍රැවික ලෝක ප්‍රවාහය තුළ අතිදැවැන්ත විභවතාවක් හඳුනාගත හැකිය. මේ යුගයේ ජාතික දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික අභිලාසය විය යුත්තේ මේ බහුද්‍රැවික ලෝක යථාර්ථයෙන් අපේ ජාතික රාජ්‍යයට ඇති කරගත හැකි වාසි කවරේදැයි සොයා බැලීමය. මේ අතිදැවැන්ත විභවතාව තුළ බොහෝ අවස්ථා අපට ලැබෙනු ඇත. ඒවා හඳුනාගැනීම වැදගත් කාරණයකි. මේ බහුද්‍රැවික තත්වය තුළ ඉන්දියාව සමග චීනය සමග පමණක් නොව ඇමරිකාව, යුරෝපා සංගමය වැනි ඕනෑම රටක් සමග පැකිළීමකින් තොරව කටයුතු කිරීමේ හැකියාව ඇත. එහෙත් ගැටලුව නම් මෙතෙක් කල් අපට සිටි නායකයන් එයින් නිසි අයුරින් ප්‍රයෝජන නොගැනීම හා කළමනාකරණය කර නොගැනීමයි. එබැවින් අලුතින් පත්ව සිටින ආණ්ඩුවට මේ උදාවී තිබෙන්නේ ස්වර්ණමය අවස්ථාවකි. එනම්, මේ ඇති වී තිබෙන බහු විභවතා අපේ රටේ සමාජ ආර්ථීක සැලසුම් වෙනුවෙන් නව තාක්‍ෂණිකව යොදා ගැනීමය. එහෙත් එය සිදු කළ යුතුව තිබෙන්නේ ඉතාමත් සංකීර්ණ කලාපීය හා පශ්චාත් ගෝලීය අවකාශයක් තුළය. වෙනත් අන්දමකින් කිවහොත් දාම් ලෑල්ලේ ඉත්තන් ඇදීම වඩාත් කල්පනාකාරීව කළයුත්තක් බවයි. ගන්නා සෑම තීරණයකදීම වඩාත් කල්පනාකාරී විය යුතුව ඇත.
මීට පෙර ආණ්ඩු දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධ ඇතැම් තීරණ ගැනීමේ දී පුද්ගල කේන්‍ද්‍රීයව කටයුතු කරන්නට උත්සාහ ගත්තත් දැන් කටයුතු කළ යුත්තේ රාජ්‍ය කේන්‍ද්‍රීයවය. සමස්ත ජනතාවගේම වුවමනාවන් මුල් කර ගනිමින්ය. ඉන්දියාව ක්‍රියාත්මක වූයේ එවැනි අරමුණක සිටය. මෙම භූ දේශපාලනික ක්‍රියාවලිය තුළ වැදගත් වන්නේ රටක භූමි ප්‍රමාණය හෝ සිටින ජනගහනය පමණක් නොවේ. වැදගත් වන්නේ භූ උපාය මාර්ගික හෝ දේශපාලනික වටිනාකම්ය. ලංකාව ඒ අතින් පිහිටා තිබෙන්නේ ඉතාම වැදගත් භූ උපාය මාර්ගික කලාපයකය. එය ලෝක දේශපාලනයේ දීත් ලෝක ආර්ථිකයේදීත් වඩාත් වටිනාකමක් එක් කරනු ඇත. එයින් ප්‍රයෝජන ගත හැකි පරිසරය නිර්මාණය කරගැනීම මේ අවස්ථාවේදී අප ඉදිරියේ ඇති ඉතාම වැදගත් කාරණයකි.
(***)
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඉන්දීය - චීන ආර්ථිකයේ ආදර්ශය