කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද කාශ්මීරයයි. කාශ්මීරය, ඉන්දියාවට, පාකිස්තානයට පමණක් නොව, චීනයට ද අයත් වෙයි. හිමාල කඳුවැටිය ඇතුළු කඳු වැටි රැසක් අයිති වන්නේ ද කාශ්මීරයටය. කාශ්මීරයේ බහුතරය මුස්ලිම්ය. 1947 දී බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූයේ ඉන්දියාව දෙකඩ කරමිනි.
එහිදී, පාකිස්තානය වෙනුවෙන් මුස්ලිම්වරුන්ට අලුත් රටක් නිර්මාණය විය. ඒ අනුව, කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් අර්බුදයක් හටගත් අතර, එය දිනෙන් දින ඔඩුදුවන්නට විය. ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී, කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාවත්, පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් පවා නිර්මාණය වී ඇත. ඒ, කාශ්මීරයේ සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින්, කාශ්මීර බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින්, සංචාරකයන් 25 දෙනකු මියගොස්, තවත් 17 දෙනකු තුවාල ලැබීමේ පුවතයි. එම 25 දෙනාගෙන් එක් අයකු නේපාල ජාතිකයෙකි. සෙසු පිරිස ඉන්දීය ජාතිකයන්ය.
දශක ගණනකට පසු කාශ්මීර බෙදුම්වාදීන් එල්ල කළ දරුණුම ප්‍රහාරය මෙයයි. එපමණක් නොව, ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණුම ප්‍රහාරය ද මෙයයි. සාමාන්‍යයෙන් ඉන්දු කාශ්මීරය අස්ථාවර කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයයි. ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයට, පාකිස්තාන රජය මෙන්ම පාකිස්තාන ‘අයි.එස්.’ බුද්ධි අංශයේ ද සහාය හිමිවන බවට චෝදනා එල්ල වී ඇත. ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව, ඇමෙරිකා බුද්ධි අංශ ද මේ බව තහවුරු කර ඇත. ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයේ අරමුණ වී ඇත්තේ, කාශ්මීරය ඉන්දියාවෙන් වෙන් කර ගැනීමය. කෙසේ නමුත්, පසුගිය 22 වැනිදා ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු එම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත්තේ, ‘ටී.ආර්.එෆ්.’ නමැති ත්‍රස්ත කල්ලියයි. මොවුන් දැඩි අන්තවාදී අදහස් ඇති ත්‍රස්ත කල්ලියකි.
ඉන්දු කාශ්මීරයේ පහල්ගම් නගරයේ බයිසරන් තණපිටිය, වනාන්තරයකට මායිම් වුණු සුන්දර ස්ථානයකි. පසුගිය 22 වැනිදා දහවල් වෙඩි ප්‍රහාරය එල්ල වූයේ, මෙම තණ පිට්ටනියේ සිටි සංචාරකයන් පිරිසකටය. ස්වයංක්‍රීය රයිෆල්වලින් සන්නද්ධ වූ ත්‍රස්තයන් වෙඩි තැබීම සිදු කළේ ඉහළ සිට ගස්වලට මුවාවෙමිනි. ඔවුන්ගේ ඉලක්කය වූයේ සංචාරකයන් අතරේ සිටි පිරිමින් පමණි. මෙහි වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් පසුව රෝහල්වලට රැගෙන යෑම සිදුවූයේ හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමිනි. වෙඩි තැබීම සිදුවෙද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිටියේ සෞදියේය. ඒ නිල සංචාරයකට සහභාගී වෙමිනි. මෙම පුවත සැළවුණු සැණින් මෝදි නිල සංචාරය අතරමඟ නවතා ආපසු ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා කඩිනමින් කාශ්මීරයේ ශ්‍රීනගර් බලා ගියේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමටය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ලෝක නායකයෝ සිද්ධිය ගැන කම්පා වෙමින් ඉන්දීය අගමැති මෝදිට සොව පළ කළහ. සෙසු ලෝක නායකයෝ ද එසේ කළහ. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙන්ම, ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද ප්‍රතිඥා දුන්නේ, ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවටය. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනකුගේ සිතුවම් ප්‍රසිද්ධියට පත් කිරීමට ද ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට පියවර ගෙන ඇත. එම සැකකරුවන් සහ සෙසු ‘ටී.ආර්.එෆ්.’ ත්‍රස්ත සාමාජිකයන් සොයා ඉන්දීය හමුදාව මේ වනවිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් පසු ඉන්දීය රජය, පාකිස්තානය සමඟ දේශසීමාව වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, ‘සාර්ක්’ වීසා වැඩසටහන යටතේ පාකිස්තාන ජාතිකයන්ට ඉන්දියාවට යෑමට යළි ඉඩ නොදෙන බවය. එමෙන්ම එවැනි වීසා ඇතිව ඉන්දියාවේ සිටින ඕනෑම පාකිස්තාන ජාතිකයකු පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවී යා යුතු යැයි ද ඉන්දීය රජය දැනුම් දී ඇත. ඉන්දීය සංචාරයකයන් ඉලක්ක කරගනිමින් එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද කනස්සල්ල පළ කළේය. ජාතික ආරක්ෂක කමිටුව වහා කැඳවා සිදුවූයේ කුමක්දැයි සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. මියගිය අය වෙනුවෙන් සොව පළ කරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද පාකිස්තාන රජය කටයුතු කළේය.
(*** ලුසිත ජයමාන්න - එන්.ඩී.ටීවී. ඇසුරිනි)
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය