නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මානය පිරිනැමුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් “මිත්‍ර විභූෂණ” සම්මානය ඒ ආකාරයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පිරිනමන ලදී. ඉන්දීය අගමැතිවරයාගේ එම නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විවිධ විෂයයන් යටතේ ද්විපාර්ශ්වීය ගිවිසුම් 07ක් අත්සන් තබන ලදී. ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණේ අත්සන් තබන ලද ගිවිසුම් සංඛ්‍යාව 10 ක් බවය. මේ වනවිට සති 03ක් ගතව ඇති නමුත් අත්සන් කළ එම ගිවිසුම්වල අන්තර්ගතය පිළිබඳව කිසිදු තොරතුරක් රටට හෙළිකර නැත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර 05ක් සඳහා වූ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ද මෙම ගිවිසුම් අතර පවතී. ආරක්ෂක ගිවිසුමට ඇතුළත්ව තිබෙන්නේ ආරක්ෂක හමුදාවලට සේවා සැපයීම, යුද අභ්‍යාස වැනි මේ දක්වා දෙරට අතර සිදුවෙමින් පවතින කරුණු සම්බන්ධව එකඟතාවක් ඇතිකර ගැනීම පමණක් බව රජයේ ඇතැම් ප්‍රධානින් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවද මෙම ගිවිසුම් තුළ විවිධාකාරයේ යටි අරමුණු අන්තර්ගතව පවත්නා බව ඇතැම් විදේශ මාධ්‍ය වාර්තා කළේය. එවැනි තත්වයක් යටතේ සැබවින්ම එම ගිවිසුම්වල අන්තර්ගත කරුණු පිළිබඳව තොරතුරු දැන ගැනීමට සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම අයිතියක් තිබේ.
මීට පෙර ඉන්දියාව සමග මෙන්ම ලෝකයේ විවිධ රටවල් සමග ශ්‍රී ලංකා රජය විවිධාකාරයේ ගිවිසුම් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු පුරවැසියන් පිළිබඳව අත්සන් තබන ලද සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම (1964), ඉන්දියා-ශ්‍රී ලංකා සමුද්‍ර මායිම් පිළිබඳ ගිවිසුම් (1974 සහ 1976), ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (1998) ආදිය ඒ අතර වේ. ඒවා අත්සන් කරන ලද අවස්ථාවලදීම ඒවායේ අන්තර්ගතය ආණ්ඩුව සම්පූර්ණයෙන්ම රටට හෙළි කළ අතර ව්‍යවස්ථාදායකයට ද ඒවා පිළිබඳව දැනුම් දෙනු ලැබීය. ඉන්දියාව සමග හෝ වෙනත් කිසිදු රටක් හෝ ආයතනයක් සමග අත්සන් කරන ලද ගිවිසුමක් මහජනතාවට හෝ ව්‍යවස්ථාදායකයට හෙළි නොකරන ලද අවස්ථාවක් නැති තරම්ය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුම් අතරින් ඉතා තීරණාත්මක වූත්, මතභේදාත්මකවූත්, දැඩි විරෝධයක් එල්ල වූත් ගිවිසුමක් වන්නේ ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දියා අගමැති රජිව් ගාන්ධි විසින් 1987 ජූලි 29 දින අත්සන් කරන ලද ඉන්දු-ලංකා සාම ගිවිසුම ය. ජේ.ආර්. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා එම ත්‍රස්තවාදයට ආධාර අනුබල දුන් ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට තීරණය කළේය. සාමය වෙනුවෙන් කොටි ත්‍රස්තවාදීන් නිරායුධ කිරීමට ඉන්දියාව පොරොන්දු විය. ඒ වෙනුවෙන් ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට එවීමට ද ඉන්දියාව පොරොන්දු විය. රටේ තිරසර සාමයක් ඇති කිරීමටත්, පළාත් සභා ඇති කිරීමටත්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කර එක පළාත් සභාවක් ඇති කිරීමටත් ජේ.ආර්. පොරොන්දු විය. ඒ අතරම ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමටත් එකඟ විය.
එකල ඉන්දියාව, ඇමරිකාව තම සතුරකු ලෙස සැලකුවේය. එබැවින් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ ඇමරිකානු හඬ ගුවන් විදුලිය පාලනය කිරීමටත් ජේ.ආර්. එකඟ විය. එම ගිවිසුම විශාල මහජන විරෝධයකට හේතුවන බව ජේ.ආර්. හොඳින් දැන සිටියේය. එම තත්වය ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදීම රට තුළ ප්‍රදර්ශනය විය. එක් නාවුක හමුදා සෙබළකු රජිව් ගාන්ධිට පහර දුන් අතර, එහිදී ඔහුගේ දිවි ගැලවුණේ යාන්තමිනි. ඉන් දින කීපයකට පසු පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් ජේ.ආර්. ගේ දිවි ගැලවුණේද යාන්තමිනි. ආපදාවකට ගොදුරු නොවී ගැලවීම පිළිබඳව සුබ පැතීම සඳහා පැවති රැස්වීමකදී එවක කථානායකවරයා ප්‍රකාශ කර තිබුණේ සාමය උදා කරන්නන්ට දිව්‍යලෝක සම්පත් අත්වන ලෙස ආශිර්වාද කරන බවය. එහිදී ජේ.ආර්. කථා කරමින් පවසා තිබුණේ රජිව් දිව්‍යලෝක යෑමෙන් අඟල් කීපයකින් වැළකුණු බවත්, තමා දිව්‍යලෝක යෑමෙන් තත්පර කීපයකින් වැළකුණු බවත්ය.
ඒ අකාරයේ සිදුවීම්වලින් පැහැදිලි වූයේ ගිවිසුම පිළිබඳ මහජන ප්‍රතිචාර ඉතා දරුණු මට්ටමක පවත්නා බවය. එසේ වුවද ජේ.ආර්. ගිවිසුම අත්සන් කර දින 03ක් ඇතුළත මුළු ගිවිසුම හා ඊට අදාළ අනෙකුත් සියලුම ලියකියවිලි ප්‍රසිද්ධියට පත් කළේය. ජනතා විමුක්ති පෙරමුණ “ඉන්දියානු වඳුරු හමුදාව” පලවා හරින බව ප්‍රකාශ කරමින්, බොම්බයි ලූනු අලෙවි කළ පුද්ගලයන් පවා මරණයට පත් කරමින් ඉන්දීය විරෝධය ප්‍රකාශයට පත් කළේ එම අවස්ථාවේදීය.
පළාත් සභා ඇති කිරීම, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ඉන්දීය හමුදා ගෙන්වීම වැනි කරුණුවලට දරුණු ප්‍රතිචාර ඇතිවීමට ඉඩ ඇති බව ජේ.ආර්. දැනගෙන සිටියේය. ඇමරිකානු හඬ සීමා කිරීම මගින් ඇමරිකාව වැනි රටවල් අමනාපවීමට ඉඩ ඇති බවද ඔහු දැන සිටියේය. එසේ වුවද ඔහු අකුරක් නෑර ගිවිසුම සහ ගිවිසුමට අදාළ සියලු ලියකියවිලි ප්‍රසිද්ධියට පත් කළේය. ඒවා දැන ගැනීමට මහජනතාවට සහ ව්‍යවස්ථාදායකයට ඇති අයිතිය ද ඔහු තහවුරු කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය ගිවිසුම අත්සන් කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ද සලකා බැලීම වැදගත් වේ. රට බංකොලොත්භාවයට පත්වීම ප්‍රකාශ කර තිබියදී එයින් අත්මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයක් සමග සාකච්ඡා කිරීමේදී ජනතාවගේ පැත්තෙන් දැඩි කැපකිරීම් කිරීමට සිදුවන යෝජනාවලට එකඟවීමට ද ආණ්ඩුවට සිදුවිය.
ඉන්ධන සහ විදුලි බිල ඉහළ නැංවීම ආදිය එවැනි එකඟතාවල ප්‍රතිඵලයකි. බදු වැඩි කිරීම ද එසේ එකඟ වූ තවත් ප්‍රතිපත්තියකි. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමට ද ඔහු එකඟ විය. කෙසේ වුවද මේ සියලු එකඟතා ඇතුළත් අයි එම් එෆ්-ශ්‍රී ලංකා ගිවිසුම රනිල් ප්‍රසිද්ධියට පත්කරන ලද අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ද කටයුතු කළේය. බොහෝ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එවැනි ගිවිසුම්වලට එළැඹුණු පසු හැකිතාක් දුරට ඒවා මහජනතාවගෙන් වසන් කරගෙන සිටි අවස්ථා දැකිය හැකිය. එසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සියලු කරුණු මහජනතාවට ද, ව්‍යවස්ථාදායකයට ද ඉදිරිපත් කිරීමට කිසිම පසුබෑමක් දැක්වූයේ නැත.
රජය මෙම තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය අයට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරන ලෙස ද ප්‍රකාශ කළ අවස්ථා දක්නට ලැබුණි. රට සම්බන්ධයෙන් රජය කවර හෝ පිටස්තර රටක් හෝ ආයතනයක් සමග ඇති කරගන්නා කවරාකාර ගිවිසුමක් පිළිබඳව සම්පූර්ණ තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාවට හිමිව තිබේ. එසේම ව්‍යවස්ථාදායකයට ඒවා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම ද ආණ්ඩුවේ වගකීමකි. මීට පෙර පැවැති ආණ්ඩු අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රබල චෝදනාවක් වූයේ පාරදෘෂ්‍යභාවය පවත්වාගෙන නොයෑම පිළිබඳවය.
රජය මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළි නොකිරීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵලය වන්නේ ඒවා පිළිබඳව විවිධාකාරයේ අසත්‍ය තොරතුරු පවා මහජනතාව අතර පැතිරී යාමේ අවදානමයි. එක්තරා යූ ටියුබ් නාලිකාවක සඳහන් වූයේ කච්චතිවු දූපත ආපසු ඉන්දියාවට ලබාදීමට පවා ආණ්ඩුව එකඟ වී ඇති බවය. වරායට සම්බන්ධ වූ නිෂ්පාදන ආයතනයක ඉන්දීය ආයුධ නිපදවීමේ ඉඩකඩක් පිළිබඳව ද අදහස් පළ වී තිබුණි. මෙවැනි ප්‍රචාරවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව පැහැදිලි අදහසක් මහජනතාවට ලබාදීමට නම් රජය කළ යුත්තේ එම ගිවිසුම්වල අන්තර්ගතය වහාම රටට හෙළි කිරීමය. මහජනතාවට ඇතිවන සැකය වන්නේ මෙම තොරතුරු රටට හෙළි නොකරන්නේ කවර හේතුවක් නිසා ද යන්නයි. ජේ.ආර්-රජිව් ගිවිසුමටත් වඩා දරුණු ආකාරයේ එකඟතාවක් එම ගිවිසුම්වල අඩංගුව පවතින්නේ ද යන්න පිළිබඳව සැක ඇතිවී තිබේ.
ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් මහජනතාවට පොරොන්දු ප්‍රකාශනයක් ඉදිරිපත් කළේය. රටේ ඇති ප්‍රශ්න, විදේශ සම්බන්ධතා හා ප්‍රතිපත්ති ආදිය පිළිබඳව තම පොරොන්දු එම ප්‍රකාශනය මගින් මහජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබීය. එබැවින් ජාතික ජනබලවේග රජයට එම ප්‍රතිපත්තිවලට එරෙහිව යෑමට හෝ ඒවායින් වෙනස්වීමට හෝ මහජන අනුමැතියක් ලැබී නොමැති බව ද මතකයේ තබා ගැනීම වැදගත් වනු ඇත.
අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණු නායකයන් මීට පෙර විවිධ අවස්ථාවලදී කළ ප්‍රකාශ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල නැවත ප්‍රචාරය වන බවක් පෙනේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි සම්බන්ධතා ගොඩ නැගීම, තෙල් නළ පද්ධතියක් ඇති කිරීම, සාම්පූර් බලාගාරය ඉදිකිරීම, ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය ඉන්දියාවට පැවැරීම වැනි බොහෝ කරුණු පිළිබඳව මීට පෙර ඔවුන් දැඩි ලෙස විරෝධය දැක්වූ ආකාරය ද, අද ඒ පිළිබඳව වෙනත් අදහස් ඉදිරිපත් කරන ආකාරය ද සෑම මොහොතකම පාහේ සමාජ මාධ්‍ය විසින් යළි යළිත් ඉස්මතු කරන බවක් පෙනේ.
එවැනි තත්වයක් තුළ රජයේ වගකීම තවදුරටත් මෙම ගිවිසුම් සඟවාගෙන නොසිට ප්‍රසිද්ධියට පත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමය. මෙම එකඟතා ප්‍රසිද්ධියට පත්කිරීමට ඉන්දියාව එකඟ නැතැයි ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයත්, මහජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ අයිතියත් උල්ලංඝනය කිරීමක් සහ හාස්‍යයට ලක්කිරීමක් බව පෙන්වා දිය යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු