IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


උත්තර නැති විෂම චක්‍රයක්

කොරෝනා රෝගය සම්බන්ධයෙන් බලධාරීන් විසින් පළ කරනු ලබන සංඛ්‍යා ලේඛන මත කොතෙක් දුරට විශ්වාසය තැබිය හැකි දැයි බොහෝ  විට සිතේ.

මෙම සංඛ්‍යා ලේඛන ගැන බරපතළ සැකයක් ඇති කරන සිද්ධියක් පසුගිය බදාදා ජනමාධ්‍යවලින් වාර්තා විය. ඒ ඊට පෙරදින ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යාව හා ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ සංඛ්‍යාව අතර වූ අති විශාල වෙනස නිසාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාවට වඩා ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයක් පමණ වැඩි විය. ඒ ගැන බදාදා පැවැති ජනමාධ්‍ය හමුවක දී ජනමාධ්‍යවේදීන් විමසූ විට ඊට නිසි පැහැදිලි කිරීමක් පසුව කරන බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

ගම්පහ දිස්ත්‍රික් බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛන සමාන වුව ද කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දැනට නිකුත් කෙරෙන සංඛ්‍යා ලේඛනවලින් රට තුළ කොරෝනා රෝගයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කෙරෙන්නේ ද යන ප්‍රශ්නය පසුගිය මාස ගණනාවක් තිස්සේ මතුවී ඇති ප්‍රශ්නයකි.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් ඇති තත්ත්වයක් නොවේ. මුළු ලෝකයේම කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් නිකුත්  කෙරෙන නිල සංඛ්‍යා ලේඛන අදාළ රටවල සැබෑ තත්ත්වය පෙන්නුම් කරන බව සිතිය නොහැකිය. අන්තර්ජාලයේ කරන අහඹු පරීක්ෂාවකින් මේ බව පහසුවෙන් දැනගත හැකිය.

උදාහරණයක් වශයෙන්, ජෝන්, හොප්කින්ස් ආයතනයේ  සංඛ්‍යා ලේඛන අනුව පසුගිය මැයි 7 වැනිදා ඇමෙරිකාවේ කොරෝනා රෝගයෙන් මියගිය වුන්ගේ සංඛ්‍යාව වශයෙන් දැක් වුණේ 5,80,000කි. එහෙත් ඇමෙරිකාවේම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර් යේෂකයන් කරන ලද  සංඛ්‍යා විශ්ලේෂණයක දී හෙළිදරව් වූයේ එම සංඛ්‍යාව 9,05,000ක් විය යුතු බවය.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මෙන් එම රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යාව සැඟවිය නොහැකිය. මන්දයත් ඉතා සුළු පිරිසක් හැර රෝගයෙන් මිය යන සියලු දෙනාම  පාහේ ප්‍රතිකාර ගැනීමට යොමුවීමත් එහිදී රෝග ලක්ෂණ අනුව අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරනු ලැබීමත් නිසාය. එසේ තිබියදීත් මරණ සංඛ්‍යාව මෙසේ මතභේදයට ලක්වන්නේ නම් රෝගීන්ගේ සංඛ්‍යාව ඕනෑම රටක මතභේදයට ලක්වීම සිදුවිය හැක්කකි.

ශ්‍රී ලංකාවේ මෙන්ම රුසියාවේ ද කොරෝනා  රෝගය මර්දනය කිරීමේ කටයුත්ත භාරව සිටින්නේ කාර්ය  සාධන බළකායකි (Task Force). එම කාර්ය සාධන බළකාය ඉකුත් ජුලි 30 වැනිදා නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන වාර්තාවකින් කියවුණේ ඒ වනවිට ඒ රටේ කොරෝනා රෝගය හේතුවෙන් 1,55,000ක් දෙනකු මියගොස් ඇති බවය. එහෙත් ඒ.බී.සී.පුවත් සේවය ඒ සම්බන්ධයෙන් පැවසුවේ ඊට. වඩා බැරෑරුම් කතාවකි. එම පුවත් සේවය පවසන පරිදි ඒ වනවිට රුසියාවේ පන්ලක්ෂයකට වැඩි පිරිසක් මියගොස් ඇත. ඒ කාර්ය සාධන බළකායේ සංඛ්‍යාව  මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකි.

මේ ලෝකයේ දියුණු හා ප්‍රබල රටවල් දෙකක තත්ත්වයි. මෙක්සිකෝවේ සෞඛ්‍ය බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව මේ දිනවල ඒ රටේ දිනකට කොරෝනා වයිරසය ආසාදනය වන පිරිස 20,000ක් පමණ වේ. මේ ගැන පසුගිය සතියේ එරට පළ කෙරෙන මෙක්සිකෝ නිව්ස් ඩේලි පුවත්පත සඳහන් කළේ සැබැවින්ම ඒ රටේ දිනකට කොරෝනා වයිරසය ආසාදනය වන පිරිස නිල සංඛ්‍යා ලේඛන මෙන් විසිපස්  ගුණයක් හෝ තිස් ගුණයක් තරම් විශාල වන බවය.

සාමාන්‍යයෙන් බටහිර රටවල නායකයන් හා එම රටවල ජනමාධ්‍ය පවසන්නේ චීනය, උතුරු කොරියාව, කියුබාව හා ඉරානය වැනි  බටහිරට අවනත නොවන රටවල් එම රටවල කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට වඩා සැබෑ තත්ත්වය ඉතා නරක බවය. එහෙත් සත්‍යය නම් මේ කාරණයේ දී සෑම රටක්ම පාහේ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සත්‍යයම නොවේ යන්නයි.

 එහෙයින් ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන්ගේ කොරෝනා සංඛ්‍යා ලේඛන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන නොගැළපීම විය නොහැක්කක් නොවේ. එපමණක් නොව සෞඛ්‍ය  අමාත්‍යාංශය මුළු රටේම කොරෝනා රෝග තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ද සත්‍යම යැයි කිව නොහැකිය.

ඊට හේතු වන්නේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඒ.ඒ. රටවල කරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තීරණය වීමයි. රෝගීන් සොයා ගත හැකි හොඳම ක්‍රමය පී.සී.ආර්. පරීක්ෂණ බවට සැක නැත. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට වඩා පී.සී.ආර්. පරීක්ෂණ නිරවද්‍යතාව අතින් ඉදිරියෙන් සිටින හෙයිනි. එහෙත් පී.සී.ආර්. පරීක්ෂණ කෙරෙන්නේ රෝගීන් සිටින බවට අනුමාන කෙරෙන ස්ථානවල පමණි. රෝග ලක්ෂණ  පෙන්නුම් කරන්නෝ  රෝගීන් ආශ්‍රය කළ හෝ ආශ්‍රය කළ බවට සැකයට ලක්වූවෝ හා ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන්නෝ පමණක් පී,සී. ආර් පරීක්ෂණයට ලක් කෙරෙති. ඊට අමතරව ඇතැම් පෞද්ගලික රෝහල්වලට වෙනත් රෝගවලට ප්‍රතිකාර ගැනීම සඳහා යන්නෝ ද එම පරීක්ෂණවලට ලක් කෙරෙන බව කියවේ. එතැන ඇත්තේ සෞඛ්‍යමය අවශ්‍යතාවකට වඩා ව්‍යපාරික අවශ්‍යතාවකි.

කෙසේ වෙතත් බොහෝ රටවල විශේෂයෙන්ම  ශ්‍රී ලංකාව වැනි ආර්ථික අතින් දුර්වල රටවල පරීක්ෂණ කෙරෙන්නේ ඉහතින් සඳහන් කරන ලද සමාජයේ ඉතා සුළු  පිරිසකටය.

චීනයේ වූහාන් නුවර කොරෝනා දෙවැනි රැල්ලක පෙර නිමිති පළ කරමින් එම නගරයෙන් රෝගීන් සුළු පිරිසක් සොයා ගත් විට එරට බලධාරීන් කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී චූහාන් නගරයේ කෝටියක් පමණ වූ සමස්ත ජනගහනයම මසක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමය. පසුගිය මාසයේ දී ද ඔවුහු එසේම කළහ. මෙය චීනය වැනි භෞතික සම්පත් හා මානව සම්පත් ඇති රටකට කළ හැකි මුත් ශ්‍රී ලංකාව වැනි රටකට කළ නොහැකිය.

එහෙත් කොරෝනා රෝගයේ මුල් කාලයේ දී මෙන් නොව දැන් මේ රටේ පමණක් නොව ඕනෑම රටක පරීක්ෂණවලින් සොයා ගනු ලබන රෝගීන් සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වමින් හෝ සෙම්ප්‍රතිශ්‍යාව යැයි කෙනකු සිතන තරමට සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්වමින් සමාජයේ සැරිසරන බව සිතිය හැකිය. පසුගිය වසරේ අග භාගයේ දී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ කොළඹ නගරයේ 991 දෙනකුට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයන් 249 දෙනකු සොයා ගත් බවය. එනම් පරීක්ෂණවලින් සියයට 25කින් ආසාදිතයන් හමුවී ඇත. ඒ අනුව ඒ වන විට කොළඹ නගරයේ 150,000ක් පමණ රෝගීන් සිටිය යුතු විය. එසේ නොවන්නනටද පුළුවන. එහෙත් ඒ වනවිට මුළු රටේම සොයාගනු ලැබ සිටි ආසාදිතයන් සංඛ්‍යාව 20,000 පමණ විය.

දින කිහිපයකට ඉහත දී ත්‍රිරෝද රථයක් අනතුරකට පත්වී එහි ගමන් කළ දෙදෙනකු මිය ගොස් රියදුරා බරපතළ ලෙස තුවාල ලැබූ බවත් ඒ තිදෙනාම කොරෝනා වයිරස් ආසාදිතයන් බව සොයා ගත් බවත් ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.  අනතුර සිදු නොවුයේ නම් ඔවුන් නිරෝගී පුද්ගලයන් ලෙස හෝ සුළු රෝගීන් ලෙස සමාජය තුළ රෝගය බෝ කරමින් සිටිනු ඇත.

දැන් කොළඹ නගරයේ හය ලක්ෂයක් වූ ජනගහනයෙන් සියයට 20ත් 30ත් අතර පිරිසකට ඩෙල්ටා ප්‍රබේදයේ වයිරසය ආසාදනය වී තිබෙන්නට පුළුවනැයි සෞඛ්‍ය බලධාරීහුම පවසති. එහෙත් මේ වන විට රෝගීන් වශයෙන් ප්‍රතිකාර ගනිමින්  සිටියේ 36,000ක් පමණ වූ පිරිසකි.

දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව ද සොයා නොගන්නා ලද ආසාදිතයන් පිළිබඳ ඉඟියක් දෙයි. මේ දිනවල දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 3000කට ආසන්න සංඛ්‍යාවක් වන අතර  දෛනික මරණ සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය සියයට එකකට අඩුයැයි බලධාරීහු පවසති. එසේ නම් දෛනික මරණ අනුව දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දස දහස ඉක්මවිය යුතුය. මරණයට පත්වන්නේ දින කිහිපයකට පෙර රෝගී වූ පුද්ගලයන් නිසා මෙසේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දස දහසක් විය යුත්තේ දින කිහිපයකට පෙරය.

මේ සා විශාල පිරිසකට රෝගය ව්‍යාප්ත වී තිබිය හැකි නමුත් ඔවුන් සියලු දෙනාම රෝගීන් ලෙස  රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා  එය රටට දැනෙන්නේ නැත. ප්‍රශ්නය නම් මෙතෙක් සොයා නොගත් මෙම ආසාදිතයන් ද රෝගය තවදුරටත් පැතිරවීමයි. ඒ අතරින් රෝග ලක්ෂණ පෙන්වමින් ප්‍රතිකාර ගත යුතු තත්ත්වයේ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද වැඩි වීමයි.

මේ වනවිට රටේ කොරෝනා තත්ත්වය ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබේ. බොහෝ ප්‍රධාන රෝහල් රෝගීන්ගෙන් පිරී ගොසිනි. මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියා ඇති අතර එමඟින් චක්‍රව යෝජනා කොට තිබුණේ දැනට ඇති සංචරණ සීමා දැඩි කරන ලෙසය. සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීම මේ වනවිට දැඩි මතභේදයට ලක්වී තිබේ. ඒ මේ වන විටත් ආර්ථිකය කඩා වැටී ඇති හෙයින් සංචරණ සීමා නිසා රට ආර්ථික වශයෙන් තවත් දුෂ්කරතාවකට පත්වනු ඇති හෙයිනි.

කොරෝනා ව්‍යාප්තිය ආර්ථිකයට කළ බලපෑම හේතුවෙන් ආණ්ඩුව ආනයනයට සීමා පනවා ඇත. මෙය මුලින් ඉදිකිරීම් කර්මාන්තයට පමණක් දැනුණ ද දැන් දැන්  සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට ද දැනෙන්නට පටන්ගෙන තිබේ. සාමාන්‍ය ජනයා අතරින් මුලින් එය දැනුණේ ගොවි ජනතාවටය.  ඒ ආණ්ඩුව හිටි අඩියේ රසායනික පොහොර  ආනයනය නතර කිරීම හේතුවෙනි. එම තහනම නිසා විදේශ සංචිතවලට යම් සහනයක් දැනුණා විය හැකිය. එහෙත් එමගින් ආහාර නිෂ්පාදනයට බලපෑමක් වූයේ නම් එය යළිත් ආහාර ආනයනය කරන්නට බල කරනු ඇති අතර එය විදේශ සංචිතවලට පෙරට වඩා වැඩි පීඩනයක් එල්ල කළ හැකිය.

රුපියලේ අගය කඩා වැටීම නිසාද විදේශ සංචිතවලට අමතර බලපෑමක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලට බලපෑමක් එල්ල වීමද තේරුම් ගත හැකිය. මේ නිසා මේ වනවිට එක් ගෑස් සමාගමක් ගෑස් බෙදා හැරීම නතර කොට ඇත. ලිට්රෝ සමාගමේ ද විශාල ගෑස් හිඟයක් පවතී. ඒ අතර කිරිපිටි හිඟයක් ද රටේ පවතී. සෞඛ්‍ය බලධාරීන් සංචරණ සීමා පැනවිය යුතු යැයි යෝජනා කරන්නේ මේ තත්ත්වය  යටතේය.

කොරෝනා වයිරසය පැතිරෙන්නේ ජලයෙන් හෝ ආහාර මගින් හෝ මදුරුවන් වැනි සතුන් මඟින් හෝ නොව මිනිසාගෙන් මිනිසාටය. මුළු රටේ සියයට 80ක් පමණ ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කරන තෙක් එම ව්‍යාප්තිය වැළැක්විය හැක්කේ මිනිසුන් හැකි තරම් එකිනෙකාගෙන් ඈත් වී සිටීමෙනි.

එහෙත් අවබෝධයෙන් කටයුතු කරන්නකුට එම කටයුත්ත කෙතරම් දුෂ්කර දැයි දැනෙන්නේ නිවෙසින් පිටතට ගිය විටය. සියයට 90කට වැඩි පිරිසක් හැසිරෙන්නේ කිසිදු අනතුරක් නැතිවාක් මෙනි. අවබෝධයක් ඇති අයකුට ඔවුන්ගෙන් පරිස්සම් වීමට දැඩි උත්සාහයක් දැරීමට සිදුවේ. අනෙක් අතට තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබුණ ද පොදු ප්‍රවාහන  සේවා භාවිත කිරීමේ දී අනතුර දැන දැන මිනිසුන් හා පොදි ගැසීම ටද සිදුවී තිබේ.

මෙහිදී රජය මැදිහත් විය යුත්තේ මේ නිසාය. එහෙත් ආර්ථික දුෂ්කරතාව නිසා මිනිසුන් එකිනෙකාගෙන් ඈත් කරන දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුව  මැළිවේ. ආණ්ඩුව එසේ කටයුතු කිරීම නිසා අදට අවශ්‍ය ප්‍රමාණයට වඩා දැඩි සංචරණ සීමා පැනවීමට හෙට සිදුවිය හැකිය. එසේ කළහොත් රටේත් ජනතාවගේත් ආර්ථික තත්ත්වය කෙබඳු විය  හැකිද? මෙය ආණ්ඩුවට පිළිතුරක් නැති විශම චක්‍රයකි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

උත්තර නැති විෂම චක්‍රයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 61 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 108 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 412 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1051 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1536 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site