IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උත්තර නොමැති ප්‍රශ්නයක්

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය කෙසේ අවසන් වේදැයි සිතා ගැනීම පවා දුෂ්කර කරුණකි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස හා අඛණ්ඩව දෙගුණ තෙගුණ වෙමින් ඉහළ යාමත් ඉන්ධන, ගෑස් වැනි අතිශයින් අත්‍යවශ්‍ය වූ භාණ්ඩවල දැඩි හිඟයක් තිබීමත්, සියල්ලටම වඩා ජන ජීවිතය අවුල් වන තරම් දීර්ඝ කාලයක් දිනපතා විදුලිය නොලැබී යාමත් නිසා ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ජනතාව පාරට බසින තත්ත්වයක් උද්ගතව ඇත.

1953 හර්තාල් සමයෙන් පසු මෙවැනි ආණ්ඩු විරෝධී ජනතා රැල්ලක් මීට පෙර ඇති වූයේ නැත. රටපුරා විවිධ නගරවල මේ දිනවල දිනපතාම පාහේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණවල දී ‘‘ගෝඨා ගෝ හෝම්’’ යනුවෙන් ජනතාව ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වන ලෙසට බල කරති.

එම සටන් පාඨය සිංහලෙන් නොව ඉංග්‍රීසියෙන් ඉදිරිපත් වීම මෙම උද්ඝෝෂණවල පන්ති ස්වභාවයද කියා පායි. බොහෝ උද්ඝෝෂණවල පෙරමුණේ සිටින්නේ උගත් මධ්‍යම පාන්තිකයෝය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්නොවන බව මේ දිනවල ආණ්ඩුවේ හොඳම ආරක්ෂකයා වී සිටින මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ පුත්‍රයා වන හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවද අලුතින් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවද ජනාධිපතිවරයාගේ ධුරයේ ඉතිරි කාලය වෙනුවෙන් පාර්ලිමේන්තුව එහි මන්ත්‍රීවරයකු පත් කළ යුතු බවද පවසයි.

සැබෑවකි, ජනාධිපති ධුරය කුමන ආකාරයකින් හිස් වුවද අලුතින් ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරයකු පත් කර ගැනීමට ගියහොත් බොහෝ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට එසේ පත්විය හැකිය. එසේ වුවහොත් යළිත් රාජපක්ෂවරයකුම ජනාධිපති විය හැකිය.

පාර්ලිමේන්තුව ආර්ථික විශේෂඥයකු වන සමගි ජනබලවේගයේ ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනාධිපති ධුරයට පත් කළ යුතු යැයි එම පක්ෂයේම මන්ත්‍රීවරයකු වන හරින් ප්‍රනාන්දු මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී පැවසීය. එවැනි දෙයක් සිදුවුවද නව ජනාධිපතිවරයා දැනට රට මුහුණදී ඇති ප්‍රධාන ප්‍රශ්නය වන විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ කෙසේද? හර්ෂද සිල්වා මහතා වුවද වත්මන් තත්ත්වය වැන්නක් ඇති වනු ඇතැයි මීට පෙර අනාවැකි කියා ඇති මුත් මේ තත්ත්වයට කිසි විටෙක විසඳුමක් ඉදිරිපත් කොට නැත. වෙනත් කිසිදු පක්ෂයක්ද එවැන්නක් ඉදිරිපත් කොට නැත.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණේ යැයි සිතුවද නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට අඩු ගණනේ සති හයක්වත් ගතවේ. ඒ කාලය තුළද දැනට පවතින බඩු මිල ඉහළ යාම, බඩු හිඟය හා විදුලි කප්පාදුව පවතිනු ඇත. ඉන්පසු අලුත් ජනාධිපතිවරයා වැඩ භාර ගත් පසු ඔහු මෙම ප්‍රශ්නය විසඳන ආකාරයද පැහැදිලි නැත.

මේ තත්ත්වය තුළ විකල්පය පිළිබඳ සංවාදයක්ද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සමාන්තරව සිදුවෙමින් පවතී. වත්මන් අර්බුදයට විසඳුමක් නැතිව, වත්මන් ආණ්ඩුවට සාර්ථක විකල්පයක් නැතිව ‘‘ගෝඨා ගෝ හෝම්’’ වැනි සටන් පාඨ සහිතව කෙරෙන උද්ඝෝෂණවල තේරුමක් නැතැයි එක් පිරිසක් පවසති. ඇත්ත වශයෙන්ම එය ප්‍රබල තර්කයකි. අනෙක් අතට දැනට කෙරෙන්නේ කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ වෘත්තිය අයිතියකින් හෝ වෙනත් ආයතනයකින් හෝ සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ නොව ආර්ථික පීඩනය මගින් ආවේගයෙන් පණගන්වනු ලැබූ ජනතාවගේ අසංවිධාන, එකිනෙකාට සම්බන්ධ නොවූ උද්ඝෝෂණ මාලාවකි. එවැන්නකින් ආර්ථික විකල්පයක් හා ප්‍රශ්නයට විසඳුමක් ලැබේදැයි ස්ථිරවම කිව නොහැකිය.

එහෙත් එම තර්කයට එරෙහිව නැඟෙන ප්‍රතිතර්කය ද එමෙන්ම ප්‍රබලය. බඩු මිල, බඩු හිඟය හා විදුලි කප්පාදුව නිසා තම එදිනෙදා ජීවිතයත් දරුවන්ගේ අධ්‍යාපනයත්, දරුවන්ගේ මානසික සුවයත් අහිමිව අන්තයටම කලකිරී සිටින ජනතාව කවදා හෝ සාර්ථක විකල්පයක් බිහිවන තෙක් වත්මන් අර්බුදය මේ ආකාරයට මේ මොහොතේ තම හිසට කඩා වැට්ටවූ පාලකයන්ට එරෙහිව හඬ නොනගා සිටිය යුතුද? ඔවුන් එසේ කොතරම් කාලයක් එසේ සිටිය යුතුද? මෙම උද්ඝෝෂණ මේ ආකාරයට නොපැවැත්වුණි නම් වත්මන් ආර්ථික අර්බුදයෙන් ජනතාව කොතරම් පීඩාවට පත්වී සිටින්නේදැයි යන්න පාලකයන්හට දැනෙනු ඇත්ද? මේ අනෙක් පාර්ශ්වයේ තර්කයයි.

ආණ්ඩුව තම අසාර්ථකත්වය මේ වන විට මනාව රටට පමණක් නොව ලෝකයටම පෙන්වා ඇත. බොහෝ රටවල දේශපාලන සංවාදවලදී ශ්‍රී ලංකාවද අසාර්ථකත්වයට නිදසුනක් වී තිබේ. ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට බලාපොරොත්තු වන එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමේ දී ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණ ගැන පමණක් නොව ඉන්ධන හිඟයද පෙන්වාදී ඇත.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන්නට ඉදිරිපත් වන්නේද ආණ්ඩුවේ අනාගතය අවදානම් තත්ත්වයේ තිබෙන නිසාත් ඉදිරියේදී උග්‍රවිය හැකි ආණ්ඩු විරෝධය තමන් වෙතද එල්ල විය හැකි නිසාත්ය. ඔවුන් අතර ආණ්ඩුවෙන් සැලකිල්ල නොලැබීම නිසා කලකිරී සිටි පිරිසක් පමණක් නොව ආණ්ඩුවෙන් සැලකුම් ලබමින් සෑම තත්ත්වයක් යටතේම ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටි අයද සිටිති.

අනෙක් අතට ජනාධිපතිවරයා පසුගිය ඉරිදා රාත්‍රියේ තම සහෝදරයා වන අගමැතිවරයා හැර අනෙක් සියලු ඇමැතිවරුන්ට ඉල්ලා අස්වන්නට සලස්වා රට මුහුණදී ඇති ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය ධුර භාරගන්නැයි පසුදින පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීම ද ඔහු තම ආණ්ඩුව අසාර්ථක වූ බව ප්‍රසිද්ධියේ පිළිගැනීමකි.

මෙතැන ඇති සරදම නම් විදේශ ණය, විදේශ විනිමය අර්බුදය, දේශීය ආර්ථිකය කඩා වැටීම ආදී කුමන මාතෘකාවක් යටතේ කතා කළත් ඒ සියලු ප්‍රශ්නවලට තමන්ගේ පක්ෂය හැර අනෙක් පක්ෂවලට දොස් පවරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් එම ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහාම තමන්ගේ ඇමැතිවරුන් ඉවත් කොට අනෙක් පක්ෂවලට ආරාධනා කිරීමයි. එයම තම අසාර්ථකත්වය පිළිගැනීමකි. එම අසාර්ථකත්වය කියා පෑමට ජනාධිපතිවරයාට ඊට වඩා හොඳ දෙයක් කළ නොහැකිය.

ඇමැති ධුර භාරගන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීම කිසිදු පක්ෂයක් පිළිගත්තේ නැත. මෙසේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වූ ඇමැති මණ්ඩලයක් පත් කරන්නට ජනාධිපතිවරයා තීරණය කළේ පසුගිය අප්‍රේල් 1 වැනිදා තමන් බලයට පත් කිරීමට සහය දුන් සුළු පක්ෂ එකොළහක නායකයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. එම නායකයන් අතර මාර්තු 3 වැනිදා ජනාධිපතිවරයා විසින් ඇමැති ධුරවලින් නෙරපනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද වූහ.

ඔවුන් එම හමුවේදී වත්මන් ආණ්ඩුව වෙනුවට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන අන්තර්කාල ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු යැයි යෝජනා කොට තිබිණි. එදිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් නායකත්වයෙන් රැස්වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි යෝජනාවක් සම්මත කොට තිබිණි.

ඉන් දින දෙකකට පසු ජනාධිපතිවරයා තම ඇමැතිවරුන් ඉල්ලා අස්වන්නට සලස්වා පසු දින ඇමැති ධුර භාර ගන්නා ලෙස අනෙක් පක්ෂවලින් ඉල්ලා සිටියේය. මෙය පක්ෂ එකොළහේ නායකයන්ගේ ඉල්ලීම පිළිගැනීමකි. මෙම යෝජනා සහ ජනාධිපතිවරයා ඒවා පිළිගැනීම තුළ ද විශේෂත්වයක් දක්නට ඇත.

පළමුවැන්න නම් අනෙක් ඇමැතිවරුන්ගේ කරුණු දැක්වීම් අනුව මසකට හෝ ඇමැති මණ්ඩලයෙන් නෙරපනු ලැබූ දෙදෙනකුගේ යෝජනාවක් පිළිගෙන මෙවර ජනාධිපතිවරයා එම ඇමැතිවරුන් සියලු දෙනා ඉවත් කොට ඇත. ඔවුන් සියලු දෙනාම එකවර ඉල්ලා අස්වූයේ ජනාධිපතිවරයාගේ උපදෙස් පිට විනා ස්වේච්ඡාවෙන් නොවේ. මෙයද එක් සරදමකි. අනෙක් අතට සියලු පක්ෂවල ඇමැති මණ්ඩලයක් පත් කරන ලෙස යෝජනා කළ සුළු පක්ෂ නායකයෝ ජනාධිපතිවරයා එවැනි ඇමැති මණ්ඩලයක් පිහිටුවන්නට එන්නැයි ආරාධනා කළ විට ඒ සඳහා ඉදිරිපත් නොවෙති. එය ද තවත් සරදමකි.

ඔවුන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඇත්තේ තමන්ට හිතකර තත්ත්වයක් ඇතිකරගෙන යළිත් ඇමැති ධුර ලබාගන්නට විය හැකිය. එහෙත් ඒ අතර රට පුරා පැතිර ගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල හා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දරන ජාතික ජන බලවේගය ඇමැති ධුර භාර ගැනීමට ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ද පසුබාන්නට ඇත.

අන්තර් කාල ආණ්ඩු හා භාරකාර ආණ්ඩු යෝජනාවලින් පසු තවත් එවැනි යෝජනා ගණනාවක් වෙනත් පිරිස් අතරින් ඉදිරිපත් විය. සියලු පක්ෂ නියෝජනය වන ආණ්ඩුවක් පිළිබඳ අදහසක් මහා නායක හිමිවරුන් ද ඉදිරිපත් කොට තිබිණි. ඊට අමතරව පාර්ලිමේන්තුවෙන්ම යෝජනාවක් සම්මත කොට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ද ව්‍යවස්ථාව සංශෝධනය කොට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු යැයි ද අදහස් පළවිය. එහෙත් ඒ කිසිවකින් දැනට අප ක්ෂණිකව පසු කළ යුතු ප්‍රධානතම කඩඉම වන බඩුමිල, බඩු හිඟය හා විදුලි කප්පාදුවට විසඳුම් ලැබෙන බවක් පෙනෙන්නේ නැත. කුමන යෝජනාවක් ඉටු කරන්නට ද දැනට ජනතාව ජීවත් විය යුතුය.

රට මුහුණ දී සිටින විදේශ විනිමය ප්‍රශ්නය නිර්මාණය කළේ තමන් නොවේ යැයි ජනාධිපතිවරයා මෑතක දී ජාතිය අමතමින් පැවසීය. එය අර්ධ සත්‍යයකි. අනෙක් අතට එය මීට පෙර සිටි පාලකයන් පමණක් නිර්මාණය කළ ප්‍රශ්නයක් නම් එය විසඳීමට ඔහු පසුගිය වසර දෙකහමාර තුළ ගත් පියවර කුමක්ද යන ප්‍රශ්නය මතු කළ යුතුව ඇත. එම ප්‍රශ්නය විසඳීමේදී මීට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුවට විශාල වැඩ කොටසක් කළ හැකිව තිබිණි.

බලයට පත්වූ සැණින්ම කිසිවකුගේ ඉල්ලීමකින් තොරව ජනාධිපතිවරයා විශාල වශයෙන් බදු සහන ප්‍රකාශයට පත් කොට බදු ආදායම අහිමි කර ගත්තේ ය. ඉන් පසු සීනි ආනයනයට අදාළ බදු අහිමි කර ගත්තේය. ඉන් ජනතාවට සිදු වූ සේවයක් ද නැත. මෙවැනි කරුණු නිසා රාජ්‍ය ආදායම විශාල වශයෙන් අඩු වූ විට ආණ්ඩුව මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නට පටන් ගත්තේ ය.  විදේශ විනිමය හිඟය මෙන්ම මෙම කාරණය ද දැන් බඩු මිලට බලපා තිබේ.

බඩු මිල ඉහළ යද්දී ජනතාව එය විඳ දරා ගත්හ. සීනි බදු වංචාව, සුදු ලූනු වංචාව ආදිය ඉතා පැහැදිලිව තිබිය දී එය ද විඳ දරා ගත්හ. ගෑස්වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනි ගැනීම් ඇති වන්නට වූ විට එයද විඳ දරා ගත්හ. එහෙත් ඒ සමඟ ආණ්ඩු පාක්ෂිකයන්ගේ ද අදහස් වෙනස් වන්නට විය. ප්‍රශ්නය පුපුරා ගියේ විදුලි කප්පාදුවත් සමගය. දේශපාලන පක්ෂවල හෝ වෘත්තීය සමිතිවල මෙහෙයවීමක් නැතිව ජනතාව ස්වේච්ඡාවෙන් ආණ්ඩුවට එරෙහිව මහ මගට බැස්සේ ඒ සමග ය.

2001 වසරේ දී දීර්ඝ විදුලි කප්පාදුවක් පැවැතිණි. එහෙත් එදා මෙන් නොව අද වන විට විද්‍යුත් හා ඩිජිටල් උපකරණ ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්වී තිබේ. පවතින නියඟය නිසා ඇතිවී තිබෙන දැඩි උණුසුම විශේෂයෙන්ම දරුවන්ට බලපා තිබේ. ජනතා කෝපය පුපුරා ගියේ ඒ නිසා ය.

දැන් රට අරාජිකත්වයේ අද්දරට පැමිණ තිබේ. මෙහෙයවීමක්, නායකත්වයක් නැති උද්ඝෝෂණ කොයි මොහොතේ ගැටුම්කාරී තත්ත්වයක් බවට පත්වේදැයි කිව නොහැකි ය. කුමන්ත්‍රණකාරී පිරිස්වලට ඒවා තුළට රිංගීම ද පහසු වී තිබේ. 1987 ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහි උද්ඝෝෂණ දේපළ කොල්ලකෑමක් බවට පත්වීමට එතරම් කාලයක් ගත වූයේ නැත.

දැන් ආණ්ඩුව ඉන්දියාව එකඟ වූ ණය මුදල ගැන මුළුමනින්ම තම බලාපොරොත්තු රඳවා ඇත. එමගින් විදුලිය සැපයීම මාස කිහිපයකට හෝ යථා තත්ත්වයකට පත් වුවහොත් බොහෝ උද්ඝෝෂකයන් ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය අත්හැර තම නිවෙස් කරා යන්නට ඉඩ තිබේ. එහෙත් එය ද තාවකාලික සන්සුන් බවක් විය හැකි ය. ඉන්දියානු ණය මුදල් අවසන් වූ පසු කරන්නේ කුමක් ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුව අපේක්ෂා කරන දේ පැහැදිලි නැත. පෙනෙන විදියට එමඟින් ද අපේක්ෂා කෙරෙන්නේ විදේශ විනිමය ප්‍රශ්නය කල් දමා ගැනීමකි. කල් දැමූ ප්‍රශ්නය කවදා හෝ නුදුරු දිනෙක යළි අප වෙත පැමිණෙනු ඇත.

 

(***එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

උත්තර නොමැති ප්‍රශ්නයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2843 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12023 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 550 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 929 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1003 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site