IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උතුරට දකුණේ සංඥාව

 

පසුගිය ජූනි 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවක් වූයේ වසර 42ක් පැරණි ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ මානව හිමිකම් පිළිබඳ මූලධර්මවලට අනුකූල නව පනතක් සම්මත කළ යුතු බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාවට අනුකූලව මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය විසින් දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහන නවතා දැමීම ගැන සලකා බලන ලෙස ද එම යෝජනාවෙන් යුරෝපා  කොමිසම වෙතින් ඉල්ලීමක් කරනු ලැබ තිබිණි.

ඉන් සති දෙකකට පසු ජුනි 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර තත්ත්වයේ ත්‍රස්තවාදයට එරෙහිව නව පනතක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බව පැවසුවේය.

සැබවින්ම ආණ්ඩුව එසේ නව පනතක් ගෙන එන්නේ නම් ඒ මේ රටේ මානව හිමිකම් තත්ත්වය ඉහළ නංවා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ද? නැත්නම් යුරෝපා කොමිසම යුරෝපා පාර්ලිමේන්තුවේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහන නවතා දැමුවහොත් අහිමි විය හැකි විශාල විදේශ විනිමය ප්‍රමාණය ගැන සලකා ද? යන ප්‍රශ්නය ඕනෑම කෙනකු තුළ නිතැතින්ම මතු වන්නකි.

යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඉහත කී යෝජනාව  සම්මත  වීමෙන් පසු ආණ්ඩුව කළ කී දෑ දෙස බලන විට නම් පෙනෙන්නේ මෙය ප්‍රජාතන්ත්‍ර්වාදය ශක්තිමත් කිරීමට වඩා එම යෝජනාවෙන් එල්ල වූ තර්ජනය නිසා අඩියක් පසු පසට ගැනීමක් ලෙසය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අමතරව එම යෝජනාවෙන් අවධාරණය කරන ලද තවත් කරුණක් වූයේ එම පනත යටතේ ඇතැම් පුද්ගලයන් දීර්ඝ කාලයක් තිස්සේ චෝදනාවක් නැතිව රඳවා ගනු ලැබ සිටින බවය. ඊට ප්‍රතිචාරයක් වශයෙන් දෝ ඉකුත් පොසොන් පොහෝ දින  නිදහස් කරන ලද සිරකරුවන් අතර දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබ සිටි කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෝ 16 දෙනෙක් ද වූහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ වසරකට වැඩි කාලයක් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ රඳවා ගනු ලැබ සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා හා කවියකු  හා ගුරුවරයකු වන අහනාෆ් ජසිම් පිළිබඳව ද යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවේ විශේෂයෙන් සඳහන් කරනු ලැබ තිබිණි. මෙම යෝජනාවෙන් පසු පොලීසිය මෙම ගුරුවරයා ජුනි 12 වැනිදා මහේස්ත්‍රාත්වරයකු  හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයට පත් කළේය.

මේ රටේ දේශපාලන වශයෙන්ද ආන්දෝලනයක් ඇති කරමින් අත්අඩංගුවට ගනු ලැබ මාස 10ක් රඳවා ගනු ලැබ සිටි රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගැන ද යුරෝපා පාර්ලිමේන්තුව සිය යෝජනාවෙන් අවධානය යොමු කොට තිබිණි. ඔහු ද පසුගිය  16 වැනිදා ඇප පිට නිදහස් කරනු ලැබීය. මේ සඳහා නම් ආණ්ඩුව යම් කටයුත්තක් කළේ ද? නැද්ද? යන්න පැහැදිලි නැත.

අනෙක් සිද්ධි කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටි දෙමළ සිරකරුවන් නිදහස් කිරීම හා එම පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි වෙනත් පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන් පසුගිය කාලයේ දැරූ ස්ථාවරය සලකා බලන විට නම් පෙනෙන්නේ  එම කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව යොමුවීමට යුරෝපා පාර්ලිමේන්තුව විශේෂයෙන් බලපා  ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මෙරට හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විරෝධය එල්ල වන්නට පටන් ගත්තේ එහි ආරම්භයේ සිටය. ඒ කුමන බලපෑම් යටතේ වුවද සැකකරුවකු දෙන කටඋත්තරයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යෙදා ගැනීමටත්, චෝදනා  පත්‍රයක් ඉදිරිපත් නොකොට සැකකරුවකු දීර්ඝ කාලයක් රඳවා ගැනීමටත් එම පනතේ  ප්‍රතිපාදනවලින් හැකියාව ලැබෙන හෙයිනි. චෝදනා නැතිව වසර විස්සකට වඩා වැඩි කාලයක් ඇතැම් දෙමළ සැකකරුවන් රඳවා ගනු ලැබ සිටින බව මේ වනවිට වාර්තා වී තිබේ.

මෙම කාරණය 2015 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ සම අනුග්‍රාහකත්වයෙන් එම වසරේම එ.ජා. මානව හිමිකම්  කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවේ ද ඇතුළත් විය. මේ  අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර තත්ත්වයේ  ත්‍රස්තවාදයට එරෙහි නව පනතක් සම්මත කර ගැනීමට එම ආණ්ඩුව කටයුතු ආරම්භ කළේය. මෙය එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2016 ඔක්තෝබර් මාසයේ දී නවසීලන්තයට ගොස් එහි දී එරට අගමැති ජෝන් කී සමඟ  පැවැත් වූ ඒකාබද්ධ ජනමාධ්‍ය සාකච්ඡාවේ දී ද ප්‍රකාශ කළේය.

එහෙත් ඒ කාලයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ වත්මන් ආණ්ඩුවේ නායකයෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පක්ෂව හා යෝජිත නව පනතට එරෙහිව අදහස් පළ කළහ. ඔවුන්ගේ තර්කය වූයේ මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වන ජාත්‍යන්තර බලපෑම් හමුවේ  සකස් කෙරෙන එවැනි නව පනතකින් ත්‍රස්තවාදීන්හට සහන සැලසෙන බවය.

මේ විරෝධතා නිසා එම නව පනත සම්මත කර ගැනීමේ කටයුතු ඇදි ඇදී ගියේය. එහෙත් එම නව පනත එවකට පැවැති කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ තිබිණි. 2019 පාස්කු ඉරිදා දින එල්ල වූ  ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එම නව පනත පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරුණු නමුත් එක් පැත්තකින් වත්මන් ආණ්ඩුවේ නායකයන්ගේ විරෝධයක් තවත් පැත්තකින් එය ජනමාධ්‍ය නිදහසට බාධාවකැයි ජනමාධ්‍යවේදින්ගෙන් එල්ල වූ විරෝධයක් නිසා එය සම්මත නොවීය.

පසුගිය වසරේ ජනවාරි 3 වැනිදා සතිපතා පැවැත්වෙන ජනමාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශයක් කළ එවකට සම කැබිනට් ප්‍රකාශක වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් ආණ්ඩුව ඉදිරිපත් කළ ත්‍රස්තවාදයට  එරෙහිව නව පනත ඉල්ලා අස්කර ගන්නට කැබිනට් මණ්ඩලය  තීරණය කළ බවත් ඒ අනුව 1979 ත්‍රස්තවාදය  වැළක්වීමේ පනත ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසීය.

වත්මන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර  තත්ත්වයේ නව  ත්‍රස්තවාදයට එරෙහිව පනතක් ඉදිරිපත් කරන්නට යන බව පසුගිය ජුනි 23 වැනිදා ප්‍රකාශ කළේ ඒ පසුබිම තුළය. මානව හිමිකම් ද සලකා බලා පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර තත්ත්වයේ නව ත්‍රස්තවාදයට එරෙහිව පනතක් සකස් කළ විට එය ත්‍රස්තවාදයට සහන සැලසීමකැයි කියමින් ඊට එරෙහි වී පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ  තිබූ නව පනතේ කෙටුම්පත ඉල්ලා අස්කරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කරන බව කී පිරිසට දැන් එවැනි නව පනතක් තමන් ද ඉදිරිපත් කරන බව කියන විට එය ජී.එස්.පී. සහන අවලංගු කිරීමේ තර්ජනය හමුවේ ගත් තීරණය කැයි කෙනකු සිතීම සාධාරණය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ රඳවා ගනු ලැබ සිටි  හිටපු කොටි සාමාජිකයන් නිදහස් කිරීමේ ප්‍රශ්නයේ ඉතිහාසය ද ඊට නොවෙනස්ය. ආරක්ෂක හමුදා සමඟ සටන් කරද්දී අත්අඩංගුවට ගනු ලැබූ හා යටත් වූ කොටි සාමාජිකයන් 12,000කට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූහ. වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ  නායකත්වය භාර ගත් කුමරන් පද්මනාදන් හෙවත්  කේ.පී. කිසිදු අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නැතිව ඔහුට ළමා නිවාසයක් භාර දෙනු ලැබීය. පසුගිය ආණ්ඩුව වසර දහයක් පහළොවක් ආදි වශයෙන් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි කොටි සාමාජිකයන් නිදහස් කිරීමට පියවර ගත්තේ ඒ තත්ත්වය යටතේය.

එවිට  වත්මන් ආණ්ඩුවේ බොහෝ පිරිස් වෙතින් එල්ල වූයේ දැඩි විරෝධයකි. ඔවුන්ගේ තර්කය වූයේ භයානක ත්‍රස්තවාදීන් නිදහස් නොකළ යුතු බවය. එහෙත් දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී  ඇති බව පෙනේ. එහිදී පසුගිය 23 වැනිදා තරුණ කටයුතු හා ක්‍රීඩා  ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව ඉතා වැදගත්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් අත්අඩංගුවට ගනු ලැබ රඳවා ගනු ලැබ සිටින  දෙමළ සැකකරුවන් සම්බන්ධයෙන්  ඔහු කළ ප්‍රකාශය තරම් පැහැදිලි  හා සානුකම්පිත ප්‍රකාශයක් කිසිදු සිංහල දේශපාලනඥයකු කළ බවක් අපට මතක නැත.

දීර්ඝ කාලයක් රඳවා ගනු ලැබ සිටින එම දෙමළ සැකකරුවන්ගෙන් ඇතැමෙක් තමන්ට එරෙහිව නඩුවක් ඇති බවක් හෝ නොදන්නා බවත් ඔවුන්ගෙන් පුද්ගලයන් 35 දෙනකුට අධිකරණයෙන් දෙනු ලැබූ සිර දඬුවම් කාලයට වඩා වැඩි කාලයක් ඔවුන් බන්ධනාගාරවල ගත කොට ඇති බවත් 38 දෙනකුගේ නඩු විභාග වසර 20කට වඩා වැඩි කාලයක් තිස්සේ ඇදි ඇදි යද්දී ඔවුන් බන්ධනාගාරවල සිරවී සිටින බවත් තවත් ඇතැම් පිරිසක් තමන්ගේ (ඇමැතිවරයාගේ) වයසට (වසර 35කට) වඩා වැඩි කාලයක් රිමාන්ඩ් සිරකරුවන් ලෙස සිටින බවත් පැවසූ ඇමැතිවරයා මොවුන්ට සාධාරණය ඉටුකළ යුතු බව අවධාරණය  කළේය.

ඔහුගේ එම ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෙතරම් බියකරු පනතක්දැයි කියා පාන්නක් විය. එම ප්‍රකාශයේ ප්‍රතිඵලයක් හෝ දිගුවක් ලෙසින් මෙවර පොසොන් පොහොයදා හිටපු කොටි සාමාජිකයෝ 16 දෙනෙක් නිදහස් කරනු ලැබූහ. එය සිංහල ජනමාධ්‍යවලින් එතරම් වැදගත් කොට නොසැලකුණේ දකුණ් ජනතාව ද එය අනුමත කරන නිසා ද නැත්නම් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද එදිනම නිදහස් කරනු ලැබීම නිසා දෙමළ සිරකරුවන් නිදහස් කරනු ලැබීම යටපත් වී ගිය නිසා ද යන්න පැහැදිලි නැත.

මෙම දෙමළ සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ නායකයන් ඉතාමත් සංයමයකින් කටයුතු කළ බවද නිරීක්ෂණය කළ හැකි විය. දෙමළ සිරකරුවන්ට සිදු වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයෙන්  පසු නැඟී සිටි දෙමළ ජාතික සන්ධනයේ යාපනය  දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා  එම ප්‍රකාශය ගැන රාජපක්ෂ මහතාට ස්තුති කළේය. එම කාරණාව තමන් මීට පෙර බොහෝ වාර ගණනක් පාර්ලිමේන්තුවේ දී කර ඇති බව හෝ වත්මන් ආණ්ඩුවේ නායකයන් මීට පෙර මේ ගැන වෙනත් ස්ථාවරයක් දැරූ බවක් හෝ යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක පසුබිමේ ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් වී ඇති බවක් හෝ කියන්නට ඔහු උත්සාහ කළේ නැත.

ඉන්පසු යාපනයේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතා සහභාගි වූ විට එම රැස්වීමට ද සුමන්තිරන් මහතා හා ප්ලොට් සංවිධානයේ නායක ඩී. සිද්ධාර්ථන් මහතා සහභාගි වී දෙමළ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තම කෘතඥතාව පළ කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාවේ අවශ්‍යතාවෙන් හෝ විදේශීය බලපෑම නිසා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය වෙනුවෙන් හෝ ආණ්ඩුව මෙහිදී ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුතුය.  කිසිවකු නොදන්නා උතුරේ ඈත පිටිසර තරුණයකු වසර දහයක් හෝ පහළොවක් හෝ විස්සක් බන්ධනාගාර ගත කොට තැබීමෙන් ආණ්ඩුවකට ලැබෙන ලාබය කුමක්ද? ඔහු වරදක් කොට ඇත්නම් පරීක්ෂණ කරන  මුවාවෙන් වසර ගණන් ඔහු කොහි හෝ  රඳවාගෙන සිටිනවාට වඩා  කෙටි කාලයක් තුළ ඔහු අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණයෙන් ඔහුට දඬුවම් දීමට හෝ නිදහස දීමට සැලැස්සීමෙන් ආණ්ඩුවකට සිදුවන පාඩුවක් නැත.

ආණ්ඩුව අවශ්‍ය නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දෙමළ සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නයේ දී ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය වඩා පුළුල් සංහිඳියාවක් දක්වා ඉදිරියට ගෙන යා හැකිය. මන්දයත් දෙමළ ජනයාට මෙවැනි කරුණුවලදී සාධාරණය ඉටු කිරීමට හෝ සහන සැලසීමට වෙනත්  පක්ෂ කටයුතු කරනවාට වඩා වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට දකුණේ ජනතාවගෙන් වඩා සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන හෙයිනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයා කළ ප්‍රකාශයට දකුණෙන් ලැබුණ ප්‍රතිචාරය ඊට නිදසුන්ය.

එය ක්‍රීඩා ඇමැතිවරයාගේ හා සුළු ජාතීන් ඈත්  කර ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන අනාගතයට ද සමහරවිට වාසිදායක විය හැකිය.

(***)

එම්.එස්.එම්. අයුබ්



අදහස් (0)

උතුරට දකුණේ සංඥාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 810 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 391 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4288 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12704 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 694 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site