IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


උතුරේ ත්‍රස්තවාදයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ මෙහෙමයි

  23_PAGE_7_T

 

ඒ, 1975 වර්ෂයේ ජූලි 27 වැනිදා හැන්දෑවයි. යාපනයේ පොන්නාලෙයි ශ්‍රී වර්ධරාජා පෙරුමාල් කෝවිල අසල තරුණයන් සිව් දෙනෙකි. ඔවුහු යමෙක් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිති. හිරු තම චණ්ඩතාපය අඩු කරමින්  බැස යාමට සැරසෙයි. ඒ සමඟම කළු වර්ණැති මෝටර් රථයක් කෝවිල අසලට පැමිණේ. ඉන් බැස ගත් එක් අයෙක් කෝවිල දෙසට ගමන් කරති. කෝවිල අසල සිටි තරුණයන්ගෙන් අයෙක් මෝටර් රථයෙන් බැස කෝවිල දෙසට යන පුද්ගලයා වෙත දිවයති. ක්‍ෂණයකින්, ඔහු රිවෝල්වරයක් අතට ගෙන එසේ ගමන් කරමින් සිටි පුද්ගලයාගේ හිසට එල්ල කර වෙඩි උණ්ඩ කිහිපයක් නිකුත් කරයි! මොහොතින්, තරුණයෝ පැන දුවති. යාපනය නගරාධිපති  ඇල්ෆ්‍රඞ් දොරේඅප්පා වෙඩි වැදී අවසන් හුස්ම හෙළයි. පැන ගිය තරුණයින් සිව් දෙනා කන්දීපන්, සත් කුමාර්, ප්‍රභාකරන් සහ ටීඑන්ටී හෙවත් “ටැමිල් නිව් ටයිගර්ස්” කල්ලියේ සාමාජිකයෙකු බවට තොරතුරු ලැබේ. (පසු කලෙක ප්‍රභාකරන් මීට සහභාගී නොවූ බවටද වාර්තා විය.)


1දිනය: 1977 වර්ෂයේ පෙබරවාරරි 14 වැනිදාය. කන්කසන්තුරය, මාවිඩිපුරම්හිදී  සන්නද්ධ පිස්තෝලකරුවෙක් පොලිස් කොස්තාපල් කරුණානිධි ඝාතනය කරයි. දොරේඅප්පා ඝාතනයේ විමර්ශන කටයුතු ඔහු විසින් සිදු කිරීම මෙම ඝාතනයට හේතුවයි.


යාපනය නගරාධිපති ඝාතනය 1970 දශකයේ මැද භාගයේදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්ව ක්‍රියා ගණනාවක් අතුරින් තවත් එක් අවස්ථාවකි. මෙකී වකවානුව තුළ සිදුවූ පළමු දේශපාලන ඝාතනය ලෙස එය සඳහන්ය. එසේ වුවද ත්‍රස්තවාදය ආරම්භ වූ වර්ෂය ලෙස දේශපාලකයින්ද, ඇතැම් ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ නියැළුණු අයවළුන්ද, බහුතරයක් වූ ශ්‍රී ලාංකික ප්‍රජාවද සලකනු ලබන්නේ 1983 ජූලි මස බවය. මෙයට කදිම උදාහරණය නම් මෑතකදී ජනාධිපති විසින් ගත් තීරණයකට අනුව ත්‍රස්තවාදය ආරම්භයේ සිට එය අවසන් කිරීම දක්වා වසර 20ක කාලයක් සේවය කළ ආරක්‍ෂක අංශවල අයට රණවිරු විශේෂ හැඳුනුම්පත නිකුත් කිරීමේදී, ඊට අදාළ වන කාල සීමාව තීරණය කර ඇත්තේ 1983 සිට 2009 දක්වා වීමය. 


සැබැවින්ම, 1983 ජූලි මස 23 වන දින සිදුවූයේ එල්ටීටීඊය විසින් හමුදා ජංගම මුර සංචාරයක් ඉලක්ක කොට ගෙන ප්‍රහාරයක් එල්ල කිරීමය. එල්ටීටීඊයේ ප්‍රබල හා ඉතාම ක්‍රියාශීලී සාමාජිකයෙකුවූ සීලන් හෙවත් චාල්ස් ඇන්ටනි සහ අරුල්නාදන්, මේජර් සරත් මුණසිංහ ප්‍රමුඛ කමාන්ඩෝ කුඩා කණ්ඩායමක් විසින් සිදු කරන ලද රහස් ක්‍රියාන්විතයේදී මියයාම හා ඔවුන් සමග සිටි තවත් සාමාජිකයෙකු වූ කෝනේසන් තුවාල ලැබීමේ සිදුවීමට පළිගැනීමක් ලෙස එල්ටීටීඊය විසින් එකී ප්‍රහාරය සිදු කරන ලදී. ඉන් නිලධාරියෙක් ඇතුළු 13 දෙනෙකු මියගොස් වැඩිම සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක් වූ සිදුවීමක් ලෙස එය සඳහන් වුවද එය ත්‍රස්තවාදයේ ආරම්භය නොවේ! ඊට පෙර සිදුවීම් ගණනාවක් ඇති වීම ඊට හේතුවයි. එසේම, ත්‍රස්තවාදය මැඬලීමේ ක්‍රියාන්විත ආරම්භ වූයේද 1983 වර්ෂයේද නොවන අතර එසේ වැරදි කාලසීමා නිර්ණය කිරීමෙන් හා නිගමනයන්ට එළැඹීමෙන් සිදුවන්නේ ඉතිහාසය පිළිබඳව වැරදි අර්ථ කථනයක් ලැබීම හා ඉන් උගතයුතු නිවැරදී පාඩම් වර්තමානයට හා අනාගතයට නොලැබීමය.


එවකට තිබූ බුද්ධි වාර්තාවලට අනුව ප්‍රථම (ත්‍රස්තවාදී) ප්‍රචණ්ඩත්ව සිදුවීම 1972 වර්ෂය දක්වා දිවයයි. කඩාකප්පල්කාරී (සැබොටාජ්) ක්‍රියාවක් වූ එය, මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශ කිරීමට විරෝධය දැක්වීම පිණිස, අධි බල විදුලි රැහැන් මගින් රැගෙන යන විදුලියට බාධා පමුණුවා යාපන අර්ධ ද්වීපය “අඳුරේ” තැබීමයි (බැලැක් අවුට් කිරීමයි). ඒ අනුව 1972  වර්ෂයේ සිට 1983 වර්ෂයේ ජූලි 23 දක්වා උතුරේ සිදුවී ඇති සමස්ත බෙදුම්වාදී ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්ව ක්‍රියා 67 ක් සිදුවී ඇත. මින් බහුතරයක් 70 දශකයේ අග භාගයේ හා 80 දශකයේ මුල් භාගයේ සිදු වූ අතර ඉන් ආරක්‍ෂක අංශවලට තොරතුරු සැපයූ සිවිල් පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය විය. ඝාතනයට ලක්වූ පොලිස් සාමාජිකයින් සංඛ්‍යාව 31 කි. සිදුවූ දේශපාලන ඝාතනයන් ගණන 07ක් වන අතර ඝාතන තැත් කිරීම් ගණන 10 කි. හමුදා සාමාජිකයින් 07ක් මිය ගිය අතර ඔවුන් ඉලක්ක කොට ගෙන ප්‍රහාරයන් 08 ක් සිදු විය. ඉන් 02 ක් බිම් බෝම්බ භාවිතයෙන් සිදු කළ ඒවාය. සිදුවූ බැංකු මංකොල්ලකෑම් ගණන 07 කි. පොලිස් ස්ථානයන් 02 කට ප්‍රහාර එල්ල විණි. ප්‍රධාන බෝම්බ පිපිරවීම් 02 ක් සිදුවූ අතර ඉන් එක් බෝම්බයක් 1978 වර්ෂයේදී සිවිල් ප්‍රවාහන ඇව්රෝ ගුවන් යානයක් තුළ රත්මලානේදී පුපුරා ගියේය. තවත් බෝම්බ පිපිරවීමක් 1982 වර්ෂයේදී කොළඹ-යාපනය අතර ක්‍රියාත්මකවූ යාල් දේවී රාත්‍රී තැපැල් දුම්රිය තුළදී සිදුවිය. මේ හැර අනෙකුත් සිදුවීම් අතර බස් රථ 02 කට ගිනි තැබීම හා කන්කසන්තුරය සිමෙන්ති කම්හලෙන් බිම් බෝම්බ පිපිරවීම සඳහා එක්ස්ප්ලෝඩර් 05ක් පැහැර ගැනීම වැනි සිදුවීම් අයත්ය. මෙකී සියලුම සිදුවීම් 1983 වර්ෂයේ ජූලි 23 වන දින රාත්‍රී හමුදා ජංගම මුර සංචාරය ඉලක්ක කොටගෙන එල්ටීටීඊය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය සිදුවීමට ප්‍රථමව සිදුවූ ඒවාය. අදාළ ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයින් 13 දෙනා කොළඹදී මිහිදන් කිරීමට ගත් තීරණය ඇතැම් අවස්ථාවාදීන් විසින් එය “කළු ජූලිය” ලෙස හැඳින්වූ “ජාතිවාදී ප්‍රචණ්ඩත්වයක්” ඇති කිරීමට යොදා ගන්නා ලද අතර එය බෙදුම්වාදී සන්නද්ධ කල්ලි වෙත දමිළ තරුණ පිරිස් යොමු කිරීමට සමත් විය. එය, සැබැවින්ම ඒ දක්වා “අඩු තීව්‍රතාවකින්” යුතුව තිබූ “බෙදුම්වාදී ත්‍රස්තවාදය” පෙරට වඩා තිබූ “ජාතිවාදී” මුහුණුවරකින් ප්‍රබලව නැගිී සිටීමට හේතු විය. 1983 වර්ෂයේ දී සිදුවූ මෙම සිදුවීම බෙදුම්වාදී (ත්‍රස්තවාදී) සන්නද්ධ ගැටුම් උත්සන්න කිරීමට තුඩු දුන් හේතුවක් වුණා මිස එය බෙදුම්වාදී සන්නද්ධ ගැටුමේ සිදුවූ ප්‍රථම සිදුවීම/ප්‍රහාරය නොවේ! එහෙයින් 1983 බෙදුම්වාදී සටන ආරම්භ වූ වර්ෂය ලෙස සැලකීම හෝ ප්‍රකාශ කිරීම, කිසිසේත්ම තර්කානුකූල මෙන්ම සත්‍යය ද නොවේ. 


එපමණක් නොව “බෙදුම්වාදී සන්නද්ධ ගැටුම” 1983 වර්ෂයේ දී ආරම්භ වූ ලෙස නිල වශයෙන් වර්තමානයේ පිළිගැනීමට ලක් කිරීම, බෙදුම්වාදයට හේතුවූ කරුණ “කළු ජූලිය” ලෙස අර්ථ දැක්වීමටත්, ඉන් පසු හට ගත් බෙදුම්වාදී සන්නද්ධ සටන “සාධාරණීකරණය” කිරීමටත් අවශ්‍ය පසුබිම ඉන් සැකසේ. සැබෑ ඉතිහාසය නොදත්, විශේෂයෙන්ම අනාගත තරුණ පරපුර නොමග යැවීමට හා එමඟින් ජාතිවාදය ඇවිස්සීමට ද, දේශපාලන වාසි ලබා ගැනීමට ද, කදිම අවකාශයක් අවස්ථාවාදීන් හට ඉන් ලබාදේ. පසුගිය වසරේ පැවැති මැතිවරණයන්හිදී දමිළ ප්‍රජාවගේ ඡන්ද බලය ලබාගැනීම පිණිස සිදුකළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දින කිහිපය තුළ පෝස්ටර් මගින් උතුරේ ප්‍රදර්ශනය කොට ඇත්තේ “කළු ජූලිය” හේතුවෙන් දමිළ ප්‍රජාවට ඇතිවූ තත්ත්වයන් විදහා දැක්වෙන ඡායාරූපයන්ය. ඉන් සනාථ වන්නේ මෙහි ඇති සත්‍යතාවයි. මෙසේ දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ඉතිහාසය වෙනස් කිරීම් කර අර්ථ දැක්වීමෙන් බෙදුම්වාදයට තුඩුදුන් සැබෑ තත්ත්වයන් හා හේතූන් අධ්‍යයනය කිරීමට හා තිර කිරීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ඉන් නොලැබේ. එමගින් දේශපාලනිකව හා ආරක්‍ෂකව අතිශයෙන් අවාසිදායක තත්ත්වයක් අනාගතයේ උදාවිය හැක. විශේෂයෙන්ම කුමන හෝ සන්නද්ධ අරගලයක් ඇති කිරීමට අවශ්‍ය “පෙර සූදානම” (ප්‍රෙපරේටරි ෆේස්) සිදුවන්නේ ඉතා රහසිගතවය. එය එම අදියරේදීම මැඩපැවැත්වීමට අවැසි නම් ඒ සඳහා දායක වන්නා වූ රහස් වැඩපිළිවෙළවල් සියල්ල හඳුනාගත යුතුවේ. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ඇති වූ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය/ සංග්‍රාමයේ මුල් අදියරය එවැනි “අතිශයින් රහසිගත” අයුරින් සංවිධානය වූවකි. ඊට විදේශීය ඔත්තු සේවාවන්හි අනුදැනුම හා අනුග්‍රහයද ලැබුණි. එහෙත් දේශපාලකයින් ඇතුළු බහුතරයක් වූ ලාංකික ප්‍රජාව තිස් වසරකට අධික කාලයක් පුරා ඇති වූ මෙකී බෙදුම්වාදී සන්නද්ධ ත්‍රස්තවාදය හුදෙක්ම ශ්‍රී ලංකාව තුළ ඇති වූ සිදුවීම් හේතුවෙන් පමණක් ඇතිවූ සංසිද්ධියක් ලෙස දකී.


5වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපෘතිය, එවකට ලංකාව බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවායින් පසු වකවානුවේ සිට පැවැත එන්නකි. ඊට සන්නද්ධ මුහුණුවරක් ලබාදීම සඳහා අවශ්‍ය පෙළඹවීම හා පසුකාලීනව ලබා දුන් පුහුණුව හා අවි සැපයුම (දෙවන ලෝක යුධයෙන් පසුව මහ බලවතුන් අතර ඇතිවූ “සීතල යුධයේදී” ක්‍රියාත්මකවූ) ඇමරිකානු “සීඅයිඒ”, එවකට සෝවියට් “කේජීබී”, ඊශ්‍රායල් “මොසාඞ්”, ඉන්දීය “රෝ” යනාදී ඔත්තු සංවිධානයන්ගේ අනුදැනුම හා අනුග්‍රහය මත සිදු විය. එය එදා ලෝකයේ තිබූ භූ දේශපාලන වැදගත්කමට (ජියෝපොලිටිකල් ඉන්ටරස්ට්) අනුවය. වර්තමාන ලොව තාක්‍ෂණිකව හා පරිසරය අතින් එදාට වඩා වෙනස් ස්වරූපයක් ගත්තද, රාජ්‍යයන් තුළ එවක සිට ක්‍රියාත්මක වෙමින් පැවැත එන්නාවූ එකී භූ දේශපාලනික වැදගත්කම මුල් කොට ගත් උපායශීලීත්ව අරමුණු කිසිසේත්ම වෙනස් නොවී ඇත. 


“ඉතිහාසයේ සිදුවූ දෑ නැවත නැවතත් සිදුවේ”ය යන කියමන සනාථ කරමින් එකී අරමුණු අතීතයේ මෙන්ම වර්තමානයේද, අනාගතයේද නොවෙනස්ව ක්‍රියාත්මක වෙමින් පවතිනු ඇත. කෙසේවුවද, ඇමෙරිකානු දැක්මට අනුව, උතුරු හා නැගෙනහිර ඇතිවූ සන්නද්ධ ගැටුම “ත්‍රස්තවාදය” ලෙස හැඳින්වුවද භූ දේශපාලනික ආරක්‍ෂක විෂයට (ජියෝපොලිටිකල් ඩිෆෙන්ස්) අනුව “ප්‍රොක්සි වෝ” හෙවත් “එකෙකු විසින් තවෙකෙකුගේ අනුදැනුම හෝ අනුග්‍රහය මත සිදු කරනු ලබන යුධ ගැටුමකි”. ජවිපෙ විසින්  සිදුකළ “71 කැරැල්ල” ද එබදු සන්නද්ධ ගැටුමකි. එසේ හෙයින් සිදුවූ සැබෑ තත්ත්වයන් මගහැර ඉතිහාසය නිර්මාණය කිරීමට යාමෙන් සිදුවන්නේ රාජ්‍යයන් හට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ “විදේශීය රහස් වැඩසටහන්” නිසි අයුරු හදුනාගැනීමට නොහැකි වීමය.


එසේම, වෙනත් අයුරින් කිවහොත් 1983 වර්ෂය බෙදුම්වාදී ත්‍රස්තවාදයෙහි ආරම්භය ලෙස පිළිගැනීමෙන් සනාථ වන්නේ එකී වර්ෂයට පෙර ත්‍රස්තවාදය නොතිබූ බවයත හමුදා ක්‍රියාන්විත සිදුවී නොමැති බවයත 1983 වර්ෂයට පෙර කිසිදු හමුදා ආරක්‍ෂක සේවාවන්හි සාමාජිකයෙකු ක්‍රියාන්විත රාජකාරී සිදු කිරීමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්ව මිය නොගිය බවයත එසේ නැතහොත් ඔවුන් විසින් සිදු කළ එකී “ජීවිත කැප කිරීම්” අන් අයට සාපේක්‍ෂව එතරම් වැදගත් නොවන බවය. 


බෙදුම්වාදී (ත්‍රස්තවාදී) සන්නද්ධ අරගලයේ ප්‍රථම කඩාකප්පල්කාරී සිදුවීම වූයේ 1972 වර්ෂයේදී ජනරජ දිනයට විරෝධය පෑම පිණිස උතුරේ සිදු කළ විදුලි විසන්ධි කිරීමට සමගාමීවය. අරගලයේ ප්‍රථම දේශපාලන ඝාතනය ලෙස යාපනය නගරාධිපති ඝාතනය විය. ඒ 1975 වර්ෂයේය. ප්‍රථම බැංකු මංකොල්ලය 1976 දී සිදුවු අතර එය යාපනයේ පුත්තූර් මහජන බැංකුව තුළදී සිදුවිය. ප්‍රථම අත් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ 1972 වර්ෂයේය. ප්‍රථම සිවිල් පුද්ගල ඝාතනය 1972 වර්ෂයේදී සිදුවිය. 1977 වර්ෂයේදී ප්‍රථම වරට පොලිස් සාමාජිකයන් කිහිපදෙනෙකු ඉලක්ක කොට ගෙන ප්‍රහාර කිහිපයක් සිදුවිය. මෙලෙස ඇරැඹි මෙකී ප්‍රචණ්ඩත්ව ක්‍රියාකාරකම් 1978 වර්ෂය දක්වා ක්‍රමයෙන් වර්ධනය වුවද 1970 සිට 1977 දක්වා බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුව හා ඉන් පසුව බලයට පැමිණි එජාප ආණ්ඩුවද 1978 වර්ෂය වනතෙක් උතුරේ සිදු වෙමින් පවතින්නේ සාමාන්‍ය අපරාධ ගණයට අයත් ක්‍රියාකාරකම් නොව “බෙදුම්වාදය මුල් කොට ගත් ත්‍රස්තවාදයක්” යන්න වටහා ගැනීමට අපොහොසත් විය.


ඒ, 1978 වර්ෂයේ ජනවාරි මස 27 දිනයි. එජාපය සමග එක්ව සිටි දෙමළ එක්සත් පෙරමුණ මන්ත්‍රීවරයෙකු වන එම් කනගරත්නම් පිස්තෝලකරුවෙකුගේ වෙඩි පහරින් තුවාල ලබයි. ප්‍රහාරය සිදුවන්නේ කොළඹ පිහිටි ඔහු පදිංචිව සිටි නිවසේදීය. ඔහු ඝාතනය කිරීම සඳහා පසු කලෙක ප්ලොට් සංවිධානයේ නායකයා වූ උමා මහේස්වරන් හා ප්‍රභාකරන් යන දෙදෙනාම කොළඹට පැමිණි බවට තොරතුරු ලැබේ. මෙම ඝාතනයට තැත් කිරීමෙන් පසු එවකට ආණ්ඩුව තරමක් තැති ගනී. 


උතුරේ සිදුවන ප්‍රචණ්ඩත්වය කොළඹ ඇතුළු රටේ සෙසු ප්‍රදේශයන් වෙත පැතිරයාම සැබැවින්ම “ජාතික තර්ජනයක්” ලෙස හඳුනා ගැනීම හා ඒ සඳහා කතිකාවක් සිදුවන්නේ මෙම සිදුවීමෙන් අනතුරුවය. ඒ අනුව, ප්‍රථම වතාවට උතුරේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වය “ත්‍රස්තවාදී ක්‍රියා” ලෙස හඳුන්වයි. මෙහිදී ආණ්ඩුව සන්නද්ධ කල්ලි සාමාජිකයින් 38 දෙනෙකුගේ නම් “රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදීන්” ලෙස හඳුන්වාදී ඔවුන්ගේ ඡායාරූප රැගත් පෝස්ටර් රට පුරා බෙදා හරී. කුට්ටිමනී, තංගදොරේ, තේවන්, ශ්‍රී සභාරත්නම්, උමා මහේශ්වරන්, සෙල්ලප්පා නාගරාසා, ෂෝට් බාලා, ප්‍රභාකරන් හෙවත් “තම්බි” ඒ අතර වූහ. ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු සපයන අයෙකු හට රුපියල් ලක්‍ෂයක මුදලක් පිරිනමන බවද එහි සඳහන් විය.


දිනය : 1978 වර්ෂයේ අප්‍රේල් 07 දාය. පොලිස් පරීක්‍ෂක බැස්ටියන්පිල්ලේ ඇතුළු පොලිස් උප පරීක්‍ෂකවරයෙක්, සැරයන්වරයෙක් හා රියැදුරු රැගෙන ගමන් ගන්නා 404 පර්ජෝ මෝටර් රථය මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මඩු පල්ලිය හා මුරුන්කන් අතර කැලෑබද ප්‍රදේශයකට පිවිසේ. ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු මඩු පල්ලියට ආසන්නව ලැගුම්ගෙන ඇති බවට ලත් ඔත්තුවක් පරීක්‍ෂා කිරීම සඳහා ඔවුන් මෙලෙස ගමන් කරමින් සිටී. මෝටර් රථය එක්තරා කුඩා ගොවිපළක් ආසන්නයට පැමිණේ. ගොවිපලට ඇතුළු වූ පසු ආ කරුණ පිළිබඳව එහි සිටි අයගෙන් විමසීමේදී එකවරම ඔවුන් විස්මිත හා ක්‍ෂණික ප්‍රහාරයකට ලක්වේ. එහි ලැගුම්ගෙන සිටියේ අන් කවරෙකු හෝ නොව ඔවුන් සොයා ආ එකී සන්නද්ධ කණ්ඩායමේ කිහිපදෙනෙකි. උමා මහේශ්වරන්, සෙල්ලප්පා නාගරාසා, සිව කුමාර්, ගනේශ් අයියර්, සෙල්ලක්කිලි යන අයවලුන් ඇතුළු එල්ටීටීඊ පිරිසක් මෙහි සිට ඇති අතර ප්‍රභාකරන් මෙම අවස්ථාවෙදී නොසිටි බවට වාර්තා වී ඇත. ත්‍රස්තවාදීන් මියගිය පොලිස් සාමාජිකයන් විසින් රැගෙන ආ අවි ඉවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මළ සිරුරු පාළු ළිඳකට දමා අදාළ මෝටර් රථය කිලිනොච්චි ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. පසුව රථයේ සවිකර තිබූ ගුවන් විදුලි සංඥා උපකරණය ඉවත් කිරීමෙන් පසු ඔවුන් රථයට ගිනි තබා පලා ගිය බවට හෙළිවිය.


පොලිස් පරීක්‍ෂක බැස්ටියන්පිල්ලේ ඇතුළු පොලිස් සාමාජිකයින් සිවු දෙනා  ඝාතනයට ලක්වූ ප්‍රහාරය එවකට මහත් සේ ප්‍රචාරයට ලක් විණි. සිදුවූ ප්‍රහාරය පොලිසිය තුළ විස්මය දනවන්නක් විය. පොලිස් අපරාධ අංශයේ සේවය කළ දක්‍ෂ නිලධාරියෙකු වූ  බැස්ටියන්පිල්ලේ ත්‍රස්වාදීන් පිළිබඳව මනා දැනුමකින් යුතුව සිටි හා එකී කාර්යය සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළ කීර්තිමත් පොලිස් නිලධාරියකු ලෙස එවකට පොලිසිය තුළ ප්‍රසිද්ධියක් උසුලා තිබීම ඊට ප්‍රධාන හේතුවයි.


 මෙම ප්‍රහාරය ආණ්ඩුව තව දුරටත් පීඩනයකට ලක් කිරීමට සමත් විය. ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමග පැවති හදිසි සාකච්ඡාවේදී නැගී එන මෙම තර්ජනය “බෙදුම්වාදය” මුල් කොට ගත් ත්‍රස්තවාදයක් බව හා ඒ සඳහා විශේෂ “ප්‍රතිත්‍රස්තවාදී වැඩසටහනක්” අවැසි බව තීරණය වන්නේ මෙහිදීය. මේ සඳහා එවකට සිටි එජාප ආණ්ඩුවට ඇමරිකානු උපදෙස් හා සහාය ලැබිණි. ඇමරිකාව මුල් කොට ගත් බටහිර ප්‍රතිපත්තියක් අනුගමනය කළ එකී රජය විසින් ඒ සියල්ල එක හෙළා ක්‍රියාත්මක කරන ලදී. ඉන් සිදුවුයේ ඉන්දියාවට එරෙහිව කටයුතු කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පෙනී සිටීමය. ඇමරිකාවට අවශ්‍ය වුයේද එයයි. එවකට ඉන්දියාව සෝවියට් සමාජවාදී සංගමයේ හිතවතකු වීම ඊට හේතුවයි. කෙසේවුවද, ඉන් තත්ත්වය තවදුරටත් බැරෑරුම් වී බෙදුම්වාදී සන්නද්ධ කල්ලි වෙත අනුග්‍රහය දැක්වීම රාජ්‍ය මට්ටමෙන් ඉන්දීය “රෝ” සංවිධානය මුල් වීමෙන් ආරම්භ වන්නේ එවිටය. (කුමන රාජ්‍යතාන්ත්‍රික උපදෙසක් වුවද එය අනුගමනය කිරීමට ප්‍රථම ඒ පිළිබඳව විමර්ශනාත්මකව හා උපායශීලීත්ව මනසින් යුතුව විමසීම) 


ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික වෙසින් එන සියලු නියෝජිතයින්, පාහේ “සීඅයිඒ” ක්‍රියාකාරීන් හෝ එම සංවිධානයේ අනුදැනුම මත ක්‍රියාකරන්නන්ය. එසේම, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික උපදෙස් සැමවිටම පදනම් වන්නේ ඇමරිකානු සමස්ත රාජ්‍ය දේශපාලන, ආරක්‍ෂක, ආර්ථික උපායශිලීත්වය (ග්‍රෑන්ඞ් ස්ට්‍රැටර්ජි) හා වෙනස් වන භූ දේශපාලන වැදගත්කම අනුවය. එය සකස් කිරීම හා යාවත්කාලීන කරනු ලබන්නේ “සීඅයිඒ”    සංවිධානයේ විද්වත් හා ප්‍රවීණ උපදේශක හා පර්යේෂක මඩුල්ලක් විසිනි. ඇමරිකානු ජනාධිපති ඇතුළු සියලු නිළ දරන්නන් තීරණ ගනු ලබන්නේ එයට අනුව මිස ඔවුනට රිසිසේ නොවේ. “ලෝකය පාලනය කිරීම” යන සමස්ත උපායට අනුව ලෝකයේ “සාමය” හා “යුද්ධය” යන තත්ත්වයන් දෙකම “සාපේක්‍ෂව” යොදා ගැනීම අත්‍යවශ්‍යය. එවැනි තත්ත්වයන් “රහසිගතව” හෝ “විවෘතව” ඇති කිරීම මගින් ඇමරිකාවට විවිධ රාජ්‍යයන්හි කටයුතුවලට     “නිදහස”, “සාමය”, “ප්‍රජාතන්ත්‍රවාදය”, “සමානාත්මතාව”, “යහපාලනය” යන සංකල්ප උපයෝගී කර ගනිමින් මැදිහත් වීමට අවස්ථාව උදාවන අතර ඉන් අවැසි දේශපාලන, ආරක්‍ෂක හා ආර්ථික වාසි ලබා ගත හැක. යුද්ධයන් ඇති කිරීම හා ඇතිවූ ඒ යුද්ධයන් නැති කිරීම සඳහා යුද වැදීම, සාමය වෙනුවෙන් යුධ වැදීම හා ඒ සඳහා ආධාර, උපදෙස් ලබා දීම ඇමරිකානු උපායශීලීත්වයයි.  


දිනය : 1978 වර්ෂයේ සැප්තැම්බර් 07 වැනිදාය. රත්මලානේ ගුවන් තොටුපළේ දී සිවිල් ප්‍රවාහන “ඇව්රෝ” ගුවන් යානයක් තුළ බෝම්බයක් පිපිරේ. ඒ සමඟම උතුරේ පොලිස් සාමාජිකයින් හා ඔත්තු සපයන්නන් ඉලක්ක කොට ගත් ඝාතනයන් ඉහළ යයි. 


දිනය : 1978 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනිදාය. සන්නද්ධ ත්‍රස්තවාදී කල්ලියක් තිරුණවේලි මහජන බැංකුව සතුව තිබූ රුපියල් 1,180,000/- මුදලක් මංකොල්ල කයි. මෙහිදී ආරක්‍ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය වේ. එල්ටීටීඊ සාමාජික සෙල්ලක්කිලි ඇතුළු කිහිප දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ වූහ.


රජය, “හමුදාව” යොදවා නැගී එන ත්‍රස්තවාදය මැඬලිය යුතු බවට තීරණය කරයි. ඒ අනුව,  1979 වර්ෂයේ  ජූලි 15 වන දින “ත්‍රස්තවාදය වැළැක්වීම” පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. පසුව, එය ජූලි 20 වන දින දෙවැනි වර කියවා සම්මත කෙරේ. තාවකාලික පනතක් (ටෙම්පරරි ප්‍රොවිෂන්ස්) වූ මෙය, බි්‍රතාන්‍ය රජය, “අයිආර්ඒ” හෙවත් “අයිරිෂ් රිපබ්ලිකන්  ආර්ම්” ගරිල්ලන් විසින් අයර්ලන්තයේ හා එංගලන්තයේ සිදු කරන ලද ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා යොදා ගත් පනතට අනුව සකස් වී ඇත. පළමුව, පනත මගින් එල්ටීටීඊය ඇතුළු සියලු සන්නද්ධ කල්ලි තහනම් කෙරිණි. දෙවනුව, පනත  මගින් බෙදුම්වාදී ත්‍රස්තවාදය “සුදානම්” හා    “ප්‍රතිරෝධක” අදියරයේ සිට “විවෘත ප්‍රහාරාත්මක අවධිය” (ඕපන් ඔෆෙන්සිව් ස්ටේජ්/ ෆේස්) දක්වා වර්ධනය වීම  වැළැක්වීම ඉලක්ක ගත කළේය. මහජන නියෝජිතයන්, පොලිස් සාමාජිකයින් හා සිවිල් පුද්ගලයින් ඝාතනය කිරීම යනාදී ක්‍රියා          “සුදානම්” හා “ප්‍රතිරෝධක” අවධියේදී විශාල වශයෙන් සිදුවිය. ඒවා දැඩි දඬුවම් ලැබිය හැකි වරදවල් ලෙස වර්ග කර තිබීමෙන්, මෙකී පනත, “එදා තිබූ තත්ත්වය පාලනය  කිරීමට ඇති අවශ්‍යතාවට අනුව පමණක්” සැකසු එකක් බව පැහැදිලි වේ. 


විමර්ශනය කිරීම සඳහා ඇප ලබා දීමෙන් හා චෝදනා ගොනු කිරීමෙන් තොරව යමෙකු රඳවා ගැනීමට අවශ්‍ය බලය ලබා දීම මෙහි ඇති අනික් ලක්‍ෂණයයි. සංවිධානාත්මක රහස් සන්නද්ධ සංවිධානයන්හි තොරතුරු විමර්ශනය කිරීම, සාමාන්‍ය විමර්ශන කටයුත්තක් සිදු කරන අයුරින් ඉටු කළ නොහැකි හෙයින් දිගුකාලීනව, එනම් මාස 18 ක් දක්වා රඳවා විමර්ශනය කිරීමට අවකාශය මෙම පනතින් ලබා දෙන ලදී. එය මෙම පනතේ ආන්දෝලනාත්මක හා විවාදාත්මක කොටසක් ලෙස සැලකේ. ත්‍රස්තවාදියෙක් වුවද චෝදනා ගොනු කිරීමෙන් තොරව රඳවා තැබීම “මානව අයිතිවාසිකම්”වලට අනුව එය නීති විරෝධී වේ. එසේම, ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නොවු අයෙකු සැක පිට හෝ අත්වැරදීමකින් හෝ, එසේ නැතහොත් වෙනත් අයෙකුගේ උවමනාව පරිදි හෝ රඳවා තැබීමට අවස්ථාව මින් සැලසේ. 


“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” හඳුන්වාදීමෙන් අනතුරුව, උතුරේ හිස ඔසවමින් තිබූ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා එවකට ජනාධිපති යුධ හමුදාව කැඳවිය. ඒ අනුව ජනාධිපති එවකට හමුදා මාණ්ඩලික ප්‍රධානී වූ බි්‍රගේඩියර් තිස්ස වීරතුංග “නිසි බලධරයා” (කොම්පිටන්ට් ඔතෝරිටි) ලෙස පත් කොට එම කාර්යය ඔහු වෙත පැවැරීය. එකී නියෝගයට අනුව “1979 දෙසැම්බර් මස 31 දින වන විට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුය”. ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාන්විත ආරම්භ වුයේ ඉන් පසුවය. එතැන් සිට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් යම් පාලනයකට රැගෙන ඒමට හමුදාව සමත් විය. මෙහිදී, ප්‍රභාකරන් ඇතුළු සියල්ලන්ම පාහේ ඉන්දියාවට පැන ගියහ. ඉන් ඇතමෙක්, විදේශීය ඔත්තු සේවාවන්ගේ මැදිහත්වීමෙන්  පලස්තීනය, ලෙබනන් යන රටවල රහසිගත ලෙස “ගරිල්ලා පුහුණුව” ලැබූහ. 1980 වසර “සිදුවීම්වලින් තොර වසරක්” වුයේ එහෙයිනි. එසේ වුවද, නැගී එන තර්ජනයට මුහුණ දීම පිණිස යුධ හමුදාව තර කෙරිණි. “සටන් පුහුණු” පාසල, “රජරට රයිෆල්ස්” හා “විජයබාහු” බළඇණි, “කමාන්ඩෝ” බළඝණය යනාදි ඒකක බිහි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. 1983 වර්ෂයේ ජූලි 23 දින වන විට ටෙලෝ, එල්ටීටීඊය, ප්ලොට් යන සන්නද්ධ කල්ලිවල ප්‍රධාන හා ක්‍රියාශීලී සාමාජිකයින් සංඛ්‍යාවක් හමුදා ප්‍රහාර මගින් මරණයට හෝ අත්අඩංගුවට හෝ පත් විය. තංගදොරේ, ජෙගම්, කුට්ටුමනී, කර්තාන්, ශංකර්, සීලන් (චාල්ස් ඇන්ටනි), අරුල්නාදන්, ඇන්ටන්, අරගනායගම්, අරෆට්, සිවම්, මරියනායගම්, රොබට්, ෆාරුක්, ට්‍රැක්ටර් ශ්‍රී, උදය කුමාර්, ටාසන් හා ගනේෂලිංගම් මින් කිහිප දෙනෙකි. මෙකී සෑම කල්ලියක්ම සතුව 15ත් 25ත් අතර සංඛ්‍යාවක් සිටියහ. කෙසේවුවද, ඉන්දියානු “රෝ” සංවිධානයේ බලපෑම මත “ප්‍රොක්සි යුද්ධයක්” බවට හැරීම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජතාන්ත්‍රික සබදතා පළුදුවීම, විදේශීය රහස් ඔත්තු සේවාවන්හි සහාය ලැබීම, ජාතිවාදය උත්සන්න වීම යනාදී හේතූන් බෙදුම්වාදී සන්නද්ධ අරගලය තව දුරටත් පෝෂණය කිරීමට රුකුලක් විය. ඒ අනුව, වර්ෂයකට පමණක් සීමා කර සැකසු “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත”, 1982 වර්ෂයේදී ස්ථිර පනතක් ලෙස සම්මත විය..


“යාපනය නගරාධිපති ඝාතන ප්‍රහාරය” 1975 වර්ෂයේ සිදුවිය. එය ත්‍රස්තවාදය, “සන්නද්ධව” ආරම්භ වූ වර්ෂයයි. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” 1979 වර්ෂයේ සම්මත විය. එය ත්‍රස්තවාදය මැඩලීම සඳහා හමුදාමය ක්‍රියාන්විත ආරම්භ කළ වර්ෂයයි. බෙදුම්වාදී සටනේ සැබෑ ඉතිහාසය එයයි.



අදහස් (0)

උතුරේ ත්‍රස්තවාදයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 64 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 398 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1018 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1512 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site