IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උතුර දිනීමේ ඉන්දු - චීන අරගලය

මෙරට දෙමළ ජනමාධ්‍යවල ප්‍රවෘත්ති ප්‍රමුඛතාව බොහෝ විට සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යවල ප්‍රවෘත්ති ප්‍රමුඛතාවලට වඩා වෙනස් වේ. සියලුම ජනමාධ්‍ය එකම කාලයේ දී එකම ප්‍රවෘත්තිවලට ප්‍රමුඛතාව දීමක් සිදු නොවන බව මින් අදහස් නොවේ. එවැනි කාල වකවානු ද තිබේ.

එහෙත් දෙමළ ජනමාධ්‍ය බොහෝ විට යුද්ධය පැවැති කාලයේදී ආරක්ෂක හමුදා අත්පත් කරගත් දෙමළ ජනතාවගේ ඉඩම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවන්, යුද්ධය පැවැති කාලයේ දී අතුරුදන් වූවන් යන මාතෘකාවලට ප්‍රමුඛතාව දෙයි. එහෙත් සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යවල මෙම මාතෘකාවලට ඉඩක් නොලැබෙන තරම්ය.

මේ දිනවල සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිවලට පාදක වන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන අර්බුදය, ජනාධිපතිවරයා විසින් ඉකුත් සඳුදා ඉදිරිපත් කරන ලද අයවැය, ආර්ථික අර්බුදය නිසා විවිධ ජන කණ්ඩායම් කරන උද්ඝෝෂණ හා ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි.

එහෙත් දෙමළ ජනමාධ්‍යවල මේවාට අමතරව තවත් මාතෘකා දෙකක් කතාබහට ලක්වේ. එකක් නම් වයස්ගතවීම නිසා ඉතාමත් දුබලව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු යැයි එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා කළ ප්‍රකාශයයි. දෙමළ ජනතාව අතර විශාල ආන්දෝලනයක් ඇති කළ මෙම ප්‍රකාශය  පිළිබඳ කතාබහ දැන් දැන් ක්‍රමයෙන් වියැකී යමින් තිබේ.

අනෙක් කාරණය දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු පළාතේ පය ගසා ගන්නට චීනය දරන උත්සාහයයි. වසර දෙකකට පෙරද මෙම මාතෘකාව දෙමළ ජනතාව අතර ආන්දෝලනයක් ඇති  කළේය. ඒ මෙරට සිටින චීන තානාපති ක්වී  සෙන්හොං උතුරේ කළ සංචාරයක් නිසාත් උතුරු මුහුදේ දූපත් තුනක ක්‍රියාත්මක කරන්නට යෝජිත බලශක්ති යෝජනා තුනක් ආණ්ඩුව විසින් චීනයට දීමට  පියවර ගැනීම නිසාත්ය.

එම බලශක්ති ව්‍යාපෘති චීනයට දීමේ උත්සාහයට ඉන්දියාව හා මෙරට දෙමළ නායකයන් විරුද්ධවීම නිසා ආණ්ඩුව එම ව්‍යාපෘතිය චීනයට දීමේ අදහස අත්හැර දැමීය. දෙමළ නායකයන්ගේ විරෝධතාවට වඩා ඊට බලපෑවේ චීනයට මෙම ව්‍යාපෘති දීම තම ආරක්ෂාවට අහිතකර ලෙස බලපානු ඇතැයි ඉන්දීය බලධාරීන් දැක් වූ දැඩි විරෝධයයි.

දැන්  යළිත් උතුරට චීනයෙන් ඇතිවිය  හැකි බලපෑම පිළිබඳ මාතෘකාවට දෙමළ ජනමාධ්‍යවල වැඩි වැදගත්කමක් ලැබෙන්නට පටන්ගෙන තිබේ. ඒ චින තානාපතිවරයා යළිත් උතුරේ සංචාරයක් කිරීම නිසාය. ඉකුත් 5 වැනිදා මුලින් වවුනියාවට ගිය තානාපතිවරයා  ඉන්පසු යාපනයට හා මන්නාරමට ද ගියේය.

 වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී උතුරේ අඩු ආදායම්ලාභී පවුල් 500කට රුපියල් 7500ක් වටිනා වියළි ආහාර මලු පරිත්‍යාග කළ ඔහු චීන රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 15.5ක් වෙන් කොට ඇතැයි ද එමඟින් වියළි ආහාර මලු පමණක් නොව ධීවරයන්ට දැල් ලබා දීමත් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමත් සිදුවනු ඇතැයි පැවසූ බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.

චීන බෞද්ධ  විහාරස්ථාන හා චීන බෞද්ධ ජනතාවගේ පරිත්‍යාගයක් වශයෙන් මෙම වියළි ආහාර මලු බෙදා දෙනු ලබන බවත් චීන- ශ්‍රී ලංකා බෞද්ධ සහයෝගීතා වැඩසටහන යටතේ එම ආධාර පරිත්‍යාග කෙරන බවත් තානාපතිවරයා පැවසූ බව කිනක්කුරල් පුවත්පත  වාර්තා කොට තිබිණි. 2021 දී මෙන්ම මෙවරද තානාපතිවරයා යාපනයේ සුප්‍රකට නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පූජාවකටද සහභාගී විය.

එහෙත් 2021 දී මෙන්ම මෙවර ද ඔහුගේ සංචාරයට දෙමළ දේශපාලන පක්ෂවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් විසින් පිහිටුවා ගනු ලැබ ඇති ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේතුලසි මහතා චීනය උතුර සම්බන්ධයෙන් දක්වන උනන්දුව දකින්නේ අනාගතයේ දී චීනය හා ඉන්දියාව පෝක් සමුද්‍ර සන්ධියේ කරන්නට යන බල අරගලයකට මුල පිරීමක් ලෙසය. එවැනි බල අරගලයකින් දෙමළ ජනතාව වැනසෙනු ඇතැයි ද පෝක් සමුද්‍ර සන්ධියේ දෙපැත්තේ වාසය කරන දෙමළ ජනතාව බාහිර බලපෑම්වලට යටත් නොවී සිටීම මත ඉන්දියාවේ ජාතික ආරක්ෂාව රඳා පවතිනු ඇතැයි ද ඔහු දෙමළ ජනමාධ්‍යයනට පවසා තිබිණි.

චීන තානාපතිවරයා 2021 දී උතුරේ කරන ලද සංචාරයේදී උතුරු මුහුදේ ධීවර කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ තම රටේ උන්දුව ප්‍රකාශ කොට තිබිණි. චීනය ඒ කාරණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ තරගයක නිරත වී සිටින බව ඒ දිනවලම ධීවර කටයුතු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ද පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ ප්‍රකාශකයා පවසා තිබුණේ චීනය වැනි දැවැන්ත රටක් ශ්‍රී ලංකාවේ උතුරේ මාළු අල්ලන්නට නොඑන බවය.

පසුගිය වර උතුරේ කරන ලද සංචාරයේ දී චීන තානාපතිවරයා බෝට්ටුවකින් ශ්‍රී ලංකා ඉන්දියා මුහුදු සීමාව අසලටම ගොස් පැමිණ ඇත. එවැන්නකට ඉඩදීම සම්බන්ධයෙන් ඇතැමුන් ශ්‍රී ලංකා රජය විවේචනය කොට තිබුණේ වැරදීමකින් හෝ  එම බෝට්ටුව ඉන්දීය මුහුදු කලාපයට  ඇතුල්වී තිබුණේ නම් එමඟින් අප්‍රසන්න රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ඇතිවීමට ඉඩ තිබුණු බව පෙන්වා දෙමිනි.

 චීන තානාපතිවරයා උතුරේ ජනතාවට යම් යම් ආධාර උපකාර කරමින් එම ජනතාව දිනා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. එහෙත් එය කොතෙක් දුරට සාර්ථක ද යන්න ගැටලුවකි. එසේම ඔහු උතුරේ ජනතාවගේ මානසිකත්වය තේරුම් ගෙන සිටින්නේ ද යන්න ද ප්‍රශ්නයකි. මෙවර ඔහු බෙදා දුන් වියළි ආහාර මලු  චීනයේ බෞද්ධ  ජනතාව කළ පරිත්‍යාගය කැයි  ඔහු කළ ප්‍රකාශය ඊට සාක්ෂියකි. එවැනි ප්‍රකාශයක් ගැළපෙන්නේ උතුරට නොව දකුණටය.

ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීම උපායික වශයෙන් බලවත් රාජ්‍යයන්ට  අතිශයින්ම වැදගත්ය යන්න කවුරුත් දන්නා දෙයකි. එහෙයින් එම බලවත් රාජ්‍ය මෙරට ජනතාව තුළ ද ඔවුන් පිළිබඳ යහපත් හැඟීමක් ඇති කිරීම සඳහා එම ජනතාවට විවිධ ආධාර දෙන බව ද කවුරුත් දන්නා දෙයකි. චීනය පවුල් 500කට රුපියල් 7500ක් වටිනා ආහාර මලු බෙදා දීමෙන් අපේක්ෂා කරන්නේ එවැන්නක් විනා ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සංවර්ධනය නොවේ. විශේෂයෙන්ම මෙහිදී චීනයට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පය ගසා ගැනීම වැදගත්ය.

කලින් සඳහන් කළ පරිදි ඒ සඳහා 2021 දී  ඔවුහු උතුරු මුහුදේ දූපත් තුනක පුනර් ජනනීය බල ශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කරන්නට උත්සාහ කළහ. මෙවැනි ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය ද අත්‍යවශ්‍ය  බව චින බලධාරිහු දනිති. පාකිස්තානයේ ග්වදර් වරාය ආශ්‍රිත චීන ව්‍යාපෘතිවලට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව 2021 දී කළ විශාල විරෝධතා ඊට හොඳ උදාහරණයකි. උතුරේ ජනතාව හා ඉන්දියාව අතර ඇති භූගෝලීය සමීපතාව පමණක් නොව ඓතිහාසික දේශපාලනික, සංස්කෘතික හා මානසික සමීපතාව නිසාද උතුරේ චීන ව්‍යාපෘතිවලට එවැනි මහජන විරෝධතා ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

චීනයට උතුරේ දෙමළ ජනතාව දිනා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. ඒ එම ජනතාව හා ඉන්දියාව අතර ඇති සබඳතා පමණක් නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ දී චීනය ගත් ඇතැම් පියවර නිසාය. තමිල්නාඩුවට ඇති භූගෝලීය හා භාෂාමය සමීපතාව නිසා බොහෝ දෙමළ ජාතිකයෝ ඉන්දියාව සිය දෙවැනි මව්බිම සේ සලකති. යුද්ධයට පෙර යාපනයේ තරුණයෝ චිත්‍රපට බැලීම සඳහා නිතර බෝට්ටුවලින් තමිල්නාඩුවට යාම සිරිතක් කරගෙන සිටියහ. ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ ප්‍රදේශවල තවමත් මහත්මා ගාන්ධිගේ පිළිම තිබේ.

තමිල්නාඩු දෙමළ සාහිත්‍යයේ  බලපෑම ඈත අතීතයේ පටන් මෙරට දෙමළ ජනතාවගේ සිත්වලට දැනෙන්නකි. එසේම නූතන  ජනමාධ්‍ය බිහිවීමත් සමග තමිල්නාඩු ජනමාධ්‍යවල බලපෑම ද උතුරේ දැකගත හැකිවිය. විශේෂයෙන්ම තමිල්නාඩුවේ රූපවාහිනී වැඩසටහන් උතුරේ ජනතාවට නැරඹීමට හැකි වූ හෙයින් එයින්ද ඇති වූයේ විශාල බලපෑමකි. තමිල්නාඩුවේ ඇතැම් ප්‍රබල රූපවාහිනී නාලිකාවල සැබෑ අයිතිකරුවන් වූයේ එහි ප්‍රධාන ඇමැතිවරුන් වූ ජයලලිතා ජයරාම් හා මුත්තුවේල් කරුණානිධි වැනි අයයි. උතුරේ ජනතාවගේ මනස ගොඩනැඟීමේ දී මෙම ජනමාධ්‍යයන්ට ද විශාල බලපෑමක් කළ හැකිවිය.

ඉන්දියාවේ ප්‍රධාන ආගම හින්දු ආගමයි. ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවගෙන් බහුතරයකගේ ආගමද  හින්දු ආගමයි. මෙවැනි බොහෝ කරුණු නිසා උතුරේ ජනතාව සංස්කෘතික හා මානසික වශයෙන් ඉන්දියාවට සමීපව සිටිති. ඒ අනුව 1960 ගණන්වල ඇති වූ ඉන්පසු චීන යුද්ධයේ දී මෙන්ම ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිවූ යුද්ධ තුනේ දී මෙරට දෙමළ ජනතාව සිටියේ ඉන්දියාවේ පැත්තේය.

ඒ සියල්ලටම වඩා මෙරට බෙදුම්වාදී යුද්ධයේදී චීනය කටයුතු කළ ආකාරය නිසාද චිනයට උතුරේ ජනතාව දිනා ගැනීම පහසු කරුණක් නොවනු ඇත. ඒ කාරණයේදී චීනයට ඉන්දියාව සමග තරග කිරීම අතිශයින්ම දුෂ්කරය.

මෙරට බෙදුම්වාදී යුද්ධයේ ආරම්භයේදී ඉන්දියාව බෙදුම්වාදී කණ්ඩායම්වලට මුදල්, ආයුධ හා ආයුධ ද පුහුණුව දුන්නේය. යුද්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව පීඩාවට පත්වන විට ඉන්දීය නායකයෝ එම ජනතාව වෙනුවෙන්  හඬ නැඟූහ. මෙම යුද්ධයේ දී ඉන්දියාව ශ්‍රී ලංකා ආණ්ඩුවට යම් යම් ආකාරයෙන් සහාය දුන්න ද ඔවුන් නැඟූ මෙම හඬ ඒ සියල්ල යටපත්කර ගෙන කැපි පෙනිණ. යුද්ධයෙන් පසු ද මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට ඉන්දියාව දිගටම අවධාරණය කරයි.

යුද්ධය සම්බන්ධයෙන් ගත් කල චීනයේ කටයුතු තමන්ට එරෙහි වූවකැයි දෙමළ ජනතාව සිතති. චීනය මෙම යුද්ධයේදී ආණ්ඩුවට ආධාර කළේය. එසේම යුද්ධයේ දී විශාල වශයෙන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකා රජයට එරෙහිව එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා නැගුණු විට චීනය ඒ සෑම අවස්ථාවේදීම සිටියේ මෙරට ආණ්ඩුවේ පැත්තේය. එහෙයින් දෙමළ ජනතාව චීනය දෙස සතුරු ආකල්පයෙන් බැලීම පුදුම වීමට කරුණක් නොවේ.

දෙමළ ජනතාවගෙන් සුළු පිරිසක් හෝ ඉන්දියාවට වඩා චීනයට සමීපව සිටියේ නම් ඒ 1980 ගණන්වල චීන-රුසියා න්‍යෂ්ටික මතභේදයේදීය. එම මතභේදය අනුව මෙරට කොමියුනිස්ට් පක්ෂය ද දෙකඩ විය. එහිදී චීන පාක්ෂික කණ්ඩායමට නායකත්වය දුන්නේ  එන්. ෂන්මුගදාසන් මහතාය. චීන පිල යනුවෙන් හැඳින්වුණු එම කණ්ඩායමට හිතවත් දෙමළ ජාතිකයෝ පිරිසක් එකල සිටියහ. එහෙත් බෙදුම්වාදී යුද්ධයක් සමඟ ඔවුහුද වෙනස් වූහ. එහෙයින් ආහාර මලු ටිකක් බෙදීම වැනි කටයුතුවලින් චීනයට දෙමළ ජනතාව දිනා ගැනීම දුෂ්කරය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

උතුර දිනීමේ ඉන්දු - චීන අරගලය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 668 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 299 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 628 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site