ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්තේ වර්තමාන ආණ්ඩුවටය.
එසේ වන්නේ එම ප්‍රශ්න විසඳන බවට ඔවුන් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී රටට පොරොන්දු වූ නිසාම නොවේ. ඔවුන් පොරොන්දු වුවත් නැතත් ආණ්ඩුවක වගකීම වන්නේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමය. එසේ නොකරන්නේ නම් සහ එසේ කරන්නට කටයුතු නොකරන්නේ නම් කිසිදු ආණ්ඩුවකට බලයේ සිටීමට නීතිමය හෝ සදාචාරමය අයිතියත් නැත.
දැනට රට මුහුණ දී සිටින ප්‍රශ්නවලින් ජනතාවට ඉතාම තදින් දැනෙන ප්‍රශ්නය සහල් හා පොල් සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නයයි. සහල් ප්‍රශ්නය ඉතා පැහැදිලිවම මහා පරිමාණ මෝල් හිමියන්ගේ උප්පර වැට්ටියක් බව ඔවුන් පසුගිය සෙනසුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී පැහැදිලි විය.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණයට සහල් නිකුත් කරන්නට ඔවුහු පොරොන්දු වූහ. එහෙත් එය සිදු නොවීය. ඒ අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 260ක් දක්වා ඉහළ ගියේය. ඔවුන් මෙම පොරොන්දුව දුන්නේ එය ඉටු කරන්නට ඔවුනට හැකියාව ඇති නිසාය. එය ඉටු නොකළේ ජනතාව සූරා කෑමේ දැඩි තන්හාව නිසාය.
පසුගිය සතියේ සාකච්ඡාවේ දී ඔවුන් නාඩු සහල් කිලෝව රුපියල් 225ට දෙන්නටත්, ප්‍රමාණවත් තරම් සහල් නිකුත් කරන්නටත් පොරොන්දු වූහ. ඒ ඔවුනට එය කළ හැකි නිසාය. ඉන් පෙනෙන්නේ ඔවුන් එතෙක් සහල් විකුණා ඇත්තේ දැනට එකඟ වී ඇති ලාභයටත් වඩා රුපියල් තිහක ලාභයක් ලබාගෙනය. ශ්‍රී ලංකාවේ දිනක සහල් පරිභෝජනය කිලෝ හැටපන් ලක්ෂයකි. එනම් පළමු සාකච්ඡාවේ සිට ගත වූ මාස එක හමාරට එම වෙළෙඳුන් සියලු දෙනා එක්ව දැනට එකඟ වූ ලාභයට වඩා අඩු තරමින් රුපියල් කෝටි පනහකටත් වැඩි ලාභයක් ලබා ඇත.
පසුගිය ආණ්ඩු වී අලෙවි මණ්ඩලයට වැනසෙන්නට ඉඩ දී සහල් නිෂ්පාදනයේ ඒකාධිකාරි බලය වෙළෙඳුන් කිහිප දෙනකු අතට පත් කිරීම මෙම ප්‍රශ්නයට බලපාන හේතුවයි. ඒ අනුව 2021දී ද මෙවැනිම තත්වයක් ඇතිවිය.
පොල් හිඟය ද විටින් විට මතු වන්නකි. මීට වසර හතරකට පෙර පාරිභෝගික අධිකාරිය යකඩ වළල්ලකින් මැන පොල් මිල තීරණය කරන්නට උපදෙස් දීම බොහෝ දෙනකුට මතක තිබෙනු ඇත. මෙය සතුන් පොල් ඵලදාව විනාශ කිරීම නිසාම ඇති වන්නක් නොවේ. එය එක් හේතුවක් පමණි. අනෙක් අතට එම සත්තු පසුගිය වසරේ ද මේ රටේ සිටියහ. දේශීය වෙළෙපොළ නොසලකා හැර පොල් අපනයනය කිරීම ඇතුළු තවත් හේතු ගණනාවක් මේ ප්‍රශ්නයට හේතුවී ඇත.
මේ ප්‍රශ්නවල හේතුවට වත්මන් ආණ්ඩුව වගකිව යුතු නැති වුව ද එහි ප්‍රතිඵලය විසඳීමේ වගකීම ඊට පැවරේ. එහෙත් දැනට කතානායක අසෝක සපුමල් රංවල මහතාට අචාර්ය උපාධියක් තිබේද? නැද්ද? යන්න පිළිබඳව මතුවී ඇති ප්‍රශ්නයට වගකිව යුත්තේ ද ආණ්ඩුවයි. එය විසඳීමේ වගකීම ද ඇත්තේ ආණ්ඩුවටය.
මේ පිළිබඳව කතා කරන සෑම දෙනකුම පෙන්වා දෙන කරුණක් නම් මෙතැන ඇත්තේ නීතිමය ප්‍රශ්නයක් නොව සදාචාරමය ප්‍රශ්නයක්ය යන්නයි. එය සත්‍යයකි. කතානායක ධුරය සඳහා නිශ්චිත අධ්‍යාපනික සුදුසුකමක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම පමණක් ඊට සෑහේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම සඳහා සුදුසුකම වන්නේ ඡන්දදායකයකුවීම පමණි. ඡන්දදායකයකු වීම සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීමත් පසුගිය ආසන්තම වසර හතක් තුළ වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් ලබා ඉන් අඩු තරමින් මාස හයක් හෝ සිර දඬුවම් විඳි අයකු නොවීම පමණි.
එහෙයින් රංවල මහතාට ආචාර්ය උපාධියක් නැතැයි හෙට දිනයේ ඔප්පු වුවත් තවදුරටත් කතානායක ධුරය දැරීමට ඔහුට නීතිමය බාධාවක් නැත. එහෙත් එවැනි උපාධියක් නැතිව එවැන්නක් ඇතැයි රටට පෙන්වාගෙන සිටියේ නම් හෝ රටට හැඟෙන අයුරින් කටයුතු කළේ නම් හෝ සදාචාරවත් පාර්ලිමේන්තුවක් ගොඩ නඟන්නට ශපථ කොට බලයට පැමිණි පිරිසකට නායකත්වය දීමට ඔහුට හැකියාවක් නැත.
මේ රටේ සියලු සමාජ ආර්ථික ප්‍රශ්නවලට මූලික හේතුව යහපත් දේශපාලන සංස්කෘතියක් නැතිවීම යැයි ද තමන් එම සංස්කෘතිය ගොඩනඟන බවද ජාතික ජනබලවේගයේ නායකයෝ පසුගිය වසර ගණනාවක් තිස්සේ කියති. ඔවුන් දක්වන එම හේතුව පිළිගත හැක්කකි. රංවල මහතාගේ ප්‍රශ්නය වැදගත් වන්නේ ඒ අනුවය.
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනමතය සකස් කිරීමේ දී විශාල වැඩ කොටසක් කළ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා හා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැනි අය උපාධිය ඔප්පු කරනු, නැත්නම් ඉල්ලා අස්වනුයි, රංවල මහතාට කියා ඔහු එසේ නොකරන්නේ නම් ඔහු අස්කරන ලෙස ජාතික ජනබලවේගයට ද කියා සිටින්නේ ඒ නිසාය.
මේ ප්‍රශ්නය දුරදිග ගියා වැඩිය. රංවල මහතාට ආචාර්ය උපාධියක් ඇතත් නැතත් ඔහුට එවැන්නක් නැතැයි මතයක් ආණ්ඩුවේ හිතුවතුන් අතර ද පැතිර යන්නට මේ තත්වය හේතුවී ඇත. රංවල මහතාට ආචාර්ය උපාධියක් ඇති බව ඔහුගේ දියණිය තමන් සමග පැවසූ බව යූ ටියුබ් නාලිකාව ප්‍රකාශකයකු පවසා තිබිණි. එසේම තම පියා ‘‘ආචාර්ය’’ යන විශේෂණය පාවිච්චි නොකරන බව ද ඇය පවසා තිබිණි. ඇය පැවසූ කරුණු සත්‍ය විය හැකි වුවද එම විශේෂණය පාවිච්චි නොකරන බව පැවසීම යළි සැකයට තුඩු දේ. ඇය එසේ පවසන්නේ ආචාර්ය උපාධියක් නැතැයි ඔප්පු වුවහොත් ආරක්ෂක පළිහක් ලෙස යොදා ගන්නට දැයි සැකයක් ඇතිවීම සාධාරණය.
ජාතික ජනබලවේගයේ නායකයන්ට ද මේ ගැන සෘජුව යමක් පැවසීමට නොහැකි වීම එම සැකය ශක්තිමත් කරයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මේ ගැන විමසූ විට පවසා තිබුණේ රංවල මහතාට ආචාර්ය උපාධියක් නැති බව ඔප්පු වුවහොත් කරන දේ ද එවැනි උපාධියක් ඇති බව ඔප්පු වුවහොත් කරන දේද පසුව දැනුම් දෙන බවය. මින් පෙනෙන්නේ ජාතික ජන බලවේගයේ නායකයන් මේ සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් අපේක්ෂාවෙන් කල් ගන්නා බවය.
සමහර විට අදාළ විශ්වවිද්‍යාලයෙන් අවශ්‍ය ලේඛන ලබා ගන්නට රංවල මහතා තම පක්ෂයෙන් කාලය ඉල්ලා ගත්තා විය හැකිය. ප්‍රශ්නය නම් වසර ගණනාවක් තිස්සේ රංවල මහතාගේ නමට ඉදිරියෙන් ‘‘ආචාර්ය’’ යන විශේෂණය දක්නට ලැබීමය. එසේ නම් අදාළ ලේඛන මේ වන විටත් ඔහු සතුව තිබිය යුතුය. ඔහුගේ දියණිය පවසන පරිදි ඔහු එම විශේෂණය පාවිච්චි නොකළේ වුවද අනෙක් පුද්ගලයන් එය පාවිච්චි කරන බව ඔහු දනී. ඔහුට ආචාර්ය උපාධියක් නැත්නම් තමන් එය පාවිච්චි නොකළ බව කීම නිදහසට කරුණක් නොවේ. අනෙක් පුද්ගලයන් එය පාවිච්චි කිරීම වැළැක්වීමට ඔහුට හැකියාව තිබිණි.
මන්ත්‍රීවරයකු වශයෙන් තම විස්තර ඇතුළත් කොට රංවල මහතා පාර්ලිමේන්තු බලධාරීන්ට දී ඇති පෝරමයේ ආචාර්ය යන විශේෂණය ඇතුළත් කොට නැති බවද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මුලින් එය සඳහන් වී ඇත්තේ වට පිටා දැනුමෙන් එවැන්නක් ඇතැයි අදාළ නිලධාරීන් සිතූ නිසා බවද පසුව මේ පිළිබඳව ආන්දෝලනයක් ඇතිවූ පසු ඔවුන් එය ඉවත් කොට ඇති බවද තවත් යූ ටියුබ් නාලිකාවක ප්‍රකාශකයෙක් පැවසීය. එහෙත් ජාතික ජනබලවේගය තම මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවල එම විශේෂණය යොදා ඇත. එය ඔහුද දනී. ඒ අනුව එම නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දොස් නැඟීම එතරම් සාධාරණ නොවේ.
ජාතික ජන බලවේගය උගතුන්, බුද්ධිමතුන් විශාල පිරිසක් අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් කිරීමද ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබීමට හේතු වූ බව සිතිය හැකිය. ජනතාව ඔවුන් උගතුන්, බුද්ධිමතුන් යැයි දැන ගත්තේ ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, නීතිඥ වැනි අපේක්ෂකයන්ගේ නමට ඉදිරියෙන් ඇති විශේෂණ මගිනි. රංවල මහතාට ඇත්ත වශයෙන්ම ආචාර්ය උපාධියක් නැත්නම් මෙතැන සිදුවී ඇත්තේ එක්තරා දුරකට රට රැවටීමට ඔහුත් ඔහුගේ පක්ෂයත් දායක වීමය.
ඇත්ත වශයෙන්ම රංවල මහතාට ආචාර්ය උපාධියක් තිබි ඔහු ඉදිරි දිනවල දී ඒ බව ඔප්පු කළහොත් ඔහුට එවැන්නක් නැතැයි යන පදනමින් පමණක් අදහස් දැක්වූවන් හා විශේෂයෙන්ම අපහාස උපහාස කළවුන්ගේ තත්වය කුමක් වනු ඇත්ද?
මෙය සදාචාරමය ප්‍රශ්නයකි. එහෙයින් ඒ ගැන කතා කිරීමට දේශපාලනඥයන් කී දෙනකුට සදාචාරමය අයිතියක් ඇත්ද යන ප්‍රශ්නය ද මතුවේ. කිසිදු පදනමකින් තොරව දේශපාලන පක්ෂ තහනම් කොට එම පක්ෂ සන්නද්ධ මාවතට ඇද දමා ඉන් පසු එම පක්ෂ මර්දනය කිරීමේ මුවාවෙන් හැට දහසකට අධික පිරිසක් ඝාතනය කළ පක්ෂයකට මේ ගැන කතා කළ හැකිද? අනියම් මිනිස් ඝාතන දහස් ගණනකට මඟ පාදමින් සිදුවූ බව පෙනෙන බාල ඖෂධ ජාවාරමට සම්බන්ධවූවන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් දේශපාලනඥයන්ට ද මෙවැන්නක් ගැන කතා කළ නොහැකිය.
බොරු කියා මැතිවරණ කල් දමා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරුවන් වූවන්ට හා ඔවුන්ගේ කටයුතු අනුමත කළ වුන්ට ද එම නඩුවේ දී ඇතැම් නියෝග දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවිය යුතු යැයි යෝජනා කළවුන්ට ද මේ ගැන කතා කළ නොහැකිය. ජාතික ජනබලවේගයට පත්වුවහොත් භික්ෂුන් වහන්සේලාට දෙන දානය තහනම් කෙරෙනු ඇතැයි ද පෙරහර තහනම් කරනු ඇතැයි ද ඇතැම් පිරිස් තමන්ගේ මැතිවරණ වේදිකාවේ බොරු කියද්දී නෑසුණා සේ සිටි දේශපාලනඥයන්ට ද රංවල මහතා බොරුවක් කියුවේ වුවද ඒ ගැන කතා කළ නොහැකිය. එහෙත් එවැනි අය ද ඒ ගැන කතා කරති. මෙය කිළිටි රෙද්දේ පැල්ලම් පෙනෙන්නේ නැතැයි ගම්මුන් අතර ඇති කියමන සිහිපත් කරයි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායකයන් රංවල මහතාගේ ප්‍රශ්නය ‘‘දණහිසෙන් ඉහළට නොගත යුතු’’ ප්‍රශ්නයක් සේ නොසැලකිය යුතුය. මෙය ඔවුන් අයිතිවාසිකම් කියන තම නොකිලිටි භාවයට එල්ල වූ අභියෝගයකි. රංවල මහතාට ආචාර්ය උපාධියක් නැත්නම් මේ ප්‍රශ්නය ඔවුන්ගේ වරදක් නොව ඔහුගේ වරදකි. එහෙත් පක්ෂය ද ඉන් විශාල කොටසකට වගකිව යුතුය. ඔහු රටට බොරු කීවේ නම් හෝ බොරු මතයක් සමාජගත වන්නට ඉඩ හැරියේ නම් ඔහුට තව දුරටත් මෙම ධුරයේ සිටීමට සදාචාරමය අයිතියක් නැත. ජාතික ජනබලවේගයට ද ඔහු එම ධුරයේ තබා ගැනීමට සදාචාරමය අයිතියක් නැත. එහෙයින් තවදුටත් රට තුළත් පක්ෂය තුළත් තම සදාචාරමය ප්‍රතිරූපයට හානි නොවන්නට නම් ජාජබ ඉක්මන් පියවර ගත යුතුය.
එසේම මේ ප්‍රශ්නයෙන් සහල් හා පොල් ප්‍රශ්නය යටපත් විය යුතු ද නැත.
(*** එම්.එස්.එම්.අයුබ්)
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපාධි ප්‍රශ්නයෙන් රට යවන හාල්-පොල් මිල
Kamal Koyrala Monday, 16 December 2024 05:49 PM
හාල්, පොල් යට යවන තරමටම මේ ප්‍රශ්නය උග්‍රකළේ SJB
Fairoos Saturday, 21 December 2024 04:22 PM
කමල් ගොන්රාල...
Hiran Sunday, 22 December 2024 04:36 PM
ලංකාවේ බලයට එන්නේ හොඳම විදිහට අලුත් තාලෙට මිනිස්සු මුලා කරන පිරිසයි. මේකත් අලුත් විදිහට මිනිස්සු මුලා කරපු විදිහක්... නමට මුලින් පට්ටමක් දාගෙන අහිංසක මිනිස්සු කඩේ යවනවා. හරිම පිරිසිදුයි.. ඇල්වතුරත් නිවලා බොන කට්ටිය. මාරයි...
සිසිල් සුදේශ් Monday, 30 December 2024 01:51 PM
රංවල උපාධිය ගැන කතාකරන බොහෝ දෙනා එය පසෙක තබා වල්පල් කතා කරති. අයුබ් මහතාද එසේ කිරීම කණගාටුවට කරුණකි. "සාධාරණ හේතුවක් නැතිව පක්ෂ තහනම් කර ..." ලෙස පටන් ගන්නා ඡේදය මෙතැනට කොහෙත්ම අදාල නොවේ. එලෙසම එය සත්‍යය විකෘති කිරීමකි. 88/89 භීෂණය ජවිපෙ නිෂ්පාදනයක් බව එකල ජීවත්වූ අප හොඳින් දන්නා කරුණකි. එය එසේ නොවන බව කීම එයින් බැට කෑ අහිංසකයින්ට කරන අවමානයකි. යමකු වැරැදි කරන්නේ නම් ඕනෑම අයෙකුට එය විවේචනය කළ හැකිය. තමන් පෙර වැරැදි කර ඇතිද, වැරැදි කළ අයකු බේරා ගැනීමට ඡන්දය දුන්නාද යන්න එයට අදාල නැත. මෙවන් දේ ඉදිරියට ගෙන කාරණය අවුල් කිරීම නූගතාගේ හෝ කපටියාගේ ලක්ෂණයකි.