උපන් බිමේ අනාථවීම තරම් ඛේදවාචකයක් මිහිතලය මත තවත් තිබිය නොහැකිය. ඕනෑම පුරවැසියකුගේ පරම පැතුම වන්නේ උපන් බිමේ කොටස්කාරයකුවීමය. ඒ වරම අහිමිව උපන් බිමේ අවතැන්ව සිටින දුක්ඛිත ජනතාවක් සම්බන්ධ මිනිස් වේදනා අවුළුවනසුළු කතාවක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මඩකළපුව කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කරමුනෙයි ප්‍රදේශයේ මෙම ජනතාව ජීවත් වෙති. එම ජනතාව පවසන්නේ 1982 වසරේ සිට බලපත්‍ර හිමි තම ඉඩම් කට්ටි 178ක් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගෙන පදිංචිව සිටින බවය.
මෙම ජනයාගේ දුක්ඛිත ඉරණම ඇරැඹෙන්නේ උතුරේ හා නැගෙනහිර දිග්ගැස්සුණ යුද්ධයත් සමගය. යුද්ධය තීව්‍ර වත්ම එම ජනයා දිවි ගලවා ගනු පිණිස එම ප්‍රදේශයෙන් පලා ආහ. අවතැන් කඳවුරු ද තමන්ට සම්බන්ධතා ඇති පිරිස් වෙසෙන පළාත්වල ඔවුහු ජීවත්වීම ආරම්භ කළහ. ඒ කෙදිනක හෝ යුද්ධය නිමාවූ විට යළිත් එහි පැමිණ ජීවිතය අලුතෙන් ආරම්භ කිරීමේ අරමුණ සහිතවය.
2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි වගුරු බිමකදී යුද්ධය අවසන් විය. ඒ ශූභාරංචියෙන් පණ පෙවුණු සාමයට ලැදි ජනයා මහ මග කිරිබත් උයා කමින්, බොමින් ඒ ප්‍රීතිය සැමරූහ. කරමුනෙයි ප්‍රදේශයේ සිට ජීවිතය සොයා අවතැන් කඳවුරුවලත් රටේ අනෙකුත් ප්‍රදේශවලත් ජීවත් වූ ජනයාද යුද ජයග්‍රහණයෙන් ප්‍රමුදිතව එසේ මහ මග ප්‍රීතිවන්නට ඇත. ඒ යළිත් තම ගම්බිම් කරා යාමට හැකිවෙතැයි යන උපේක්ෂා සහගත හැඟීමෙනි.
යුද්ධය අවසන්වී දහතුන් වසරක් ඉක්ම ගොස් තිබේ. එහෙත් ඒ ජනයාගේ පැතුම් තවමත් සඵල වී නැත. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ තම ඉඩම්වල අයිතිය ඉල්ලා අනවරත සටනකට පිවිසීමටය.
මඩකළපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති දේවගල දේවාලංකාර නාහිමියන් අප පුවත්පතට කර තිබෙන්නේ මෙවැනි ප්‍රකාශයකි.
‘‘යුද්ධයත් සමග අපේ සිංහල ජනතාව නැගෙනහිර පළාතෙන් ඔවුන්ගේ බලපත්‍ර සහිත ඉඩම් අත්හැරලා අවතැන් කඳවුරුවලට ගියා. උන්හිටිතැන් අහිමිවීමත් සමග ඔවුන් එම අවතැන් කඳවුරුවලින් මාතර කළුතර ගාල්ල කොළඹ ඇතුළු අනික් පළාත්වල ඥාතීන්ගේ නිවෙස්වලට ගියා. යුද්ධය අවසන් වී නැගෙනහිර පළාතේ සාමය උදාවීමත් සමග ඒ පවුල් යළි පදිංචියට එන්නට සූදානම් වන මොහොතේ ඒ පවුල්වලට විශාල අසාධාරණකම් රැසක් සිදුවෙලා තියෙනවා. ඔවුන්ගේ බලපත්‍ර සහිත ඉඩම් නැගෙනහිර පළාතේ පිරිසක් විසින් අල්ලාගෙන පදිංචි වෙලා. අපි මේ ගැන අවුරුදු නවයක් තිස්සේ සෑම රජයකම බලධාරීන්ට කිව්වා. ලිඛිතවත් දැනුම් දුන්නා.’’
ඛේදවාචකය පැහැදිලිය. එම ඉරණමට මුහුණ දුන් ජනයා පවසන්නේ එසේ බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන සිටින්නේ අන්තවාදීන් පිරිසක් බවය. තමන් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා නීත්‍යනුකූලව විවාහ වී සිටියත් තමන්ට මඩකළපුවෙන් ඉඩම් අයිතිය ලබා නොදෙන බවත්, ඉඩම් බලපත්‍ර හිමි ඉඩම් පවා මඩකළපුවේ දේශපාලන බලය යොදා අන්තවාදීන් හා ජාතිවාදී පිරිස් එම ඉඩම් අල්ලාගෙන සිටින බවය. එමෙන්ම තමනට රාජ්‍ය ආයතනවලින් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවී ඇති බවත් එම ජනයා කියති.
බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම රාජ්‍ය අනුග්‍රහයෙන් මෙන්ම දේශපාලන රැකවරණයෙන් සිදු වන්නකි. 1983 කළු ජූලියත් සමග ඇතැම් දෙමළ ජනයා තම ඉඩකඩම්, ගේ දොර ගොඩනැගිලි අත්හැර දමා ඉන්දියාවට ගියහ. දේශපාලන බලය සහිත පිරිස් එම දේපළ අල්ලා ගත්හ. කොළඹ නගරයේ පමණක් කෝටි ප්‍රකෝටි වටිනාකමකින් යුත් දේපළ කොපමණ ප්‍රමාණයක් භුක්ති විඳින්නේද යන්න සොයා බැලිය යුතුම කාරණාවකි.
යුද්ධයත් සමග නැගෙනහිර විසූ මුස්ලිම් ජනයාද එල්ටීටීඊ තර්ජනවලට බියෙන් පුත්තලම ආදී විවිධ ප්‍රදේශවලට පලා ආහ. යුද්ධය අහවරවී යළිත් යනවිට එසේ පැමිණි බොහෝ දෙනකුගේ දේපළ විවිධ බලවතුන් පරිහරණය කරමින් සිටින බව එම ජනයා කීහ. ඒ මිනිස් වේදනාව තවමත් සංසිඳී නැත.
මඩකළපුව කෝරළේපත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කරමුනෙයි ජනතාව කරන එක් චෝදනාවක් ඉතා බරපතළය. එනම් ඔවුන්ට රාජ්‍ය ආයතනවලින් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවන බවය. එක්කෝ එම රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන්ට මේ මිනිස් වේදනාව නොදැනේ. මේ අසාධාරණය නොපෙනේ. එසේත් නැත්නම් එම ජනතාව කියන අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ ග්‍රහණයට එම නිලධාරින් හසුවී තිබෙන බවය. එය කැමැත්තෙන් වීමටද පුළුවන. අකමැත්තෙන් වීමටද පුළුවන. මේ පිළිබඳව සොයා බැලීම බලධාරීන්ගේ වගකීමය.
මවුබිමේ කොතැන ජීවත් වුවද ඒ සෑම කෙනකුටම තිබෙන්නේ සමාන අයිතිවාසිකම්ය. මිනිස් ගෞරවය රැකගෙන ජීවත්වීමේ අයිතිය ඉන් ප්‍රධානය. කරමුනෙයි ජනතාවට අහිමිව තිබෙන්නේ එයමය. එය කොතරම් දුක්ඛිත අත්දැකීමක්දැයි දැනෙන්නේ වින්දිතයන්ටම පමණි. එබඳු දුක් සහගත පාගා දැමීමකට එම ජනයා ලක් කළ යුතු නැත. එහෙයින් එම ජනයාට නොපමාව යුක්තිය ඉටු කර දීමට බලධාරීන් පියවර ගත යුතුය.
(***)
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපන්බිමේ අයිතිය අහිමිවූ කෝරළේපත්තු වැසියෝ