IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


උපාධි ප්‍රශ්නයෙන් රට යවන හාල්-පොල් මිල

ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්තේ වර්තමාන ආණ්ඩුවටය.

එසේ වන්නේ එම ප්‍රශ්න විසඳන බවට ඔවුන් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී රටට පොරොන්දු වූ නිසාම නොවේ. ඔවුන් පොරොන්දු වුවත් නැතත් ආණ්ඩුවක වගකීම වන්නේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමය. එසේ නොකරන්නේ නම් සහ එසේ කරන්නට කටයුතු නොකරන්නේ නම් කිසිදු ආණ්ඩුවකට බලයේ සිටීමට නීතිමය හෝ සදාචාරමය අයිතියත් නැත.

දැනට රට මුහුණ දී සිටින ප්‍රශ්නවලින් ජනතාවට ඉතාම තදින් දැනෙන ප්‍රශ්නය සහල් හා පොල් සම්බන්ධයෙන් මතුව  ඇති ප්‍රශ්නයයි. සහල් ප්‍රශ්නය ඉතා පැහැදිලිවම මහා පරිමාණ මෝල් හිමියන්ගේ උප්පර වැට්ටියක් බව ඔවුන් පසුගිය සෙනසුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී පැහැදිලි විය.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණයට සහල් නිකුත් කරන්නට ඔවුහු පොරොන්දු වූහ. එහෙත් එය සිදු නොවීය. ඒ අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 260ක් දක්වා ඉහළ ගියේය. ඔවුන් මෙම පොරොන්දුව දුන්නේ එය ඉටු කරන්නට ඔවුනට හැකියාව ඇති නිසාය. එය ඉටු නොකළේ ජනතාව සූරා කෑමේ දැඩි තන්හාව නිසාය.

පසුගිය සතියේ සාකච්ඡාවේ දී ඔවුන් නාඩු සහල් කිලෝව රුපියල් 225ට දෙන්නටත්, ප්‍රමාණවත් තරම් සහල් නිකුත් කරන්නටත් පොරොන්දු වූහ. ඒ ඔවුනට එය කළ හැකි නිසාය. ඉන් පෙනෙන්නේ ඔවුන් එතෙක් සහල් විකුණා ඇත්තේ දැනට එකඟ වී ඇති ලාභයටත් වඩා  රුපියල් තිහක ලාභයක් ලබාගෙනය. ශ්‍රී ලංකාවේ දිනක සහල් පරිභෝජනය කිලෝ හැටපන් ලක්ෂයකි. එනම් පළමු සාකච්ඡාවේ සිට ගත වූ මාස එක හමාරට එම වෙළෙඳුන් සියලු දෙනා එක්ව  දැනට එකඟ වූ ලාභයට වඩා අඩු තරමින් රුපියල් කෝටි පනහකටත් වැඩි ලාභයක් ලබා ඇත.

පසුගිය ආණ්ඩු වී අලෙවි මණ්ඩලයට වැනසෙන්නට ඉඩ දී සහල්  නිෂ්පාදනයේ ඒකාධිකාරි බලය වෙළෙඳුන් කිහිප දෙනකු අතට පත් කිරීම මෙම ප්‍රශ්නයට බලපාන හේතුවයි. ඒ අනුව 2021දී ද මෙවැනිම තත්වයක් ඇතිවිය.

පොල් හිඟය ද විටින් විට මතු වන්නකි. මීට වසර හතරකට පෙර පාරිභෝගික අධිකාරිය යකඩ වළල්ලකින් මැන පොල් මිල තීරණය කරන්නට උපදෙස් දීම බොහෝ දෙනකුට මතක තිබෙනු ඇත. මෙය සතුන් පොල් ඵලදාව විනාශ කිරීම නිසාම ඇති වන්නක් නොවේ. එය එක් හේතුවක් පමණි. අනෙක් අතට එම සත්තු පසුගිය වසරේ ද මේ රටේ සිටියහ. දේශීය වෙළෙපොළ නොසලකා හැර  පොල් අපනයනය කිරීම ඇතුළු තවත් හේතු ගණනාවක් මේ ප්‍රශ්නයට හේතුවී ඇත.

මේ ප්‍රශ්නවල හේතුවට වත්මන් ආණ්ඩුව වගකිව යුතු නැති වුව ද එහි ප්‍රතිඵලය විසඳීමේ වගකීම ඊට පැවරේ. එහෙත් දැනට කතානායක අසෝක සපුමල් රංවල මහතාට අචාර්ය උපාධියක් තිබේද‌? නැද්ද? යන්න පිළිබඳව මතුවී ඇති ප්‍රශ්නයට වගකිව යුත්තේ ද ආණ්ඩුවයි. එය විසඳීමේ වගකීම ද ඇත්තේ ආණ්ඩුවටය.

මේ පිළිබඳව කතා කරන සෑම දෙනකුම පෙන්වා දෙන කරුණක් නම් මෙතැන ඇත්තේ නීතිමය ප්‍රශ්නයක් නොව සදාචාරමය ප්‍රශ්නයක්ය යන්නයි. එය සත්‍යයකි. කතානායක ධුරය සඳහා නිශ්චිත අධ්‍යාපනික සුදුසුකමක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම පමණක් ඊට සෑහේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම සඳහා සුදුසුකම වන්නේ ඡන්දදායකයකුවීම පමණි. ඡන්දදායකයකු වීම සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීමත් පසුගිය ආසන්තම වසර හතක් තුළ වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් ලබා ඉන් අඩු තරමින් මාස හයක් හෝ සිර දඬුවම් විඳි අයකු නොවීම පමණි.

එහෙයින් රංවල මහතාට ආචාර්ය උපාධියක් නැතැයි හෙට දිනයේ ඔප්පු වුවත් තවදුරටත් කතානායක ධුරය දැරීමට ඔහුට නීතිමය බාධාවක් නැත. එහෙත් එවැනි උපාධියක් නැතිව එවැන්නක් ඇතැයි රටට පෙන්වාගෙන සිටියේ නම් හෝ රටට හැඟෙන අයුරින් කටයුතු කළේ නම් හෝ සදාචාරවත් පාර්ලිමේන්තුවක් ගොඩ නඟන්නට  ශපථ කොට බලයට පැමිණි පිරිසකට නායකත්වය දීමට ඔහුට හැකියාවක් නැත.

මේ රටේ සියලු සමාජ ආර්ථික ප්‍රශ්නවලට මූලික හේතුව යහපත් දේශපාලන සංස්කෘතියක් නැතිවීම යැයි ද තමන් එම සංස්කෘතිය ගොඩනඟන බවද ජාතික ජනබලවේගයේ නායකයෝ පසුගිය වසර ගණනාවක් තිස්සේ කියති. ඔවුන් දක්වන එම හේතුව පිළිගත හැක්කකි. රංවල මහතාගේ ප්‍රශ්නය වැදගත් වන්නේ ඒ අනුවය.

ජාතික ජනබලවේගයේ  ජයග්‍රහණය වෙනුවෙන් ජනමතය සකස් කිරීමේ දී විශාල වැඩ කොටසක් කළ  මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා හා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු  සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැනි අය උපාධිය ඔප්පු කරනු, නැත්නම් ඉල්ලා අස්වනුයි, රංවල මහතාට කියා ඔහු එසේ නොකරන්නේ නම් ඔහු අස්කරන ලෙස ජාතික ජනබලවේගයට ද කියා සිටින්නේ ඒ නිසාය.

මේ ප්‍රශ්නය දුරදිග ගියා වැඩිය. රංවල මහතාට ආචාර්ය උපාධියක් ඇතත් නැතත් ඔහුට එවැන්නක් නැතැයි මතයක් ආණ්ඩුවේ හිතුවතුන් අතර ද පැතිර යන්නට මේ තත්වය හේතුවී ඇත. රංවල මහතාට ආචාර්ය උපාධියක් ඇති බව ඔහුගේ දියණිය තමන් සමග පැවසූ බව යූ ටියුබ් නාලිකාව ප්‍රකාශකයකු පවසා තිබිණි. එසේම තම පියා ‘‘ආචාර්ය’’ යන විශේෂණය පාවිච්චි නොකරන බව ද ඇය පවසා තිබිණි. ඇය පැවසූ කරුණු සත්‍ය විය හැකි වුවද එම විශේෂණය පාවිච්චි නොකරන බව පැවසීම යළි සැකයට තුඩු දේ. ඇය එසේ පවසන්නේ ආචාර්ය උපාධියක් නැතැයි ඔප්පු වුවහොත් ආරක්ෂක පළිහක් ලෙස යොදා ගන්නට දැයි සැකයක් ඇතිවීම සාධාරණය.

ජාතික ජනබලවේගයේ නායකයන්ට ද මේ ගැන සෘජුව යමක් පැවසීමට නොහැකි වීම එම සැකය ශක්තිමත් කරයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මේ ගැන විමසූ විට පවසා තිබුණේ රංවල මහතාට ආචාර්ය උපාධියක් නැති බව ඔප්පු වුවහොත් කරන දේ ද එවැනි උපාධියක් ඇති බව ඔප්පු වුවහොත් කරන දේද පසුව දැනුම් දෙන බවය. මින් පෙනෙන්නේ ජාතික ජන බලවේගයේ නායකයන් මේ සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් අපේක්ෂාවෙන් කල් ගන්නා බවය.

සමහර විට අදාළ විශ්වවිද්‍යාලයෙන් අවශ්‍ය ලේඛන ලබා ගන්නට රංවල මහතා තම පක්ෂයෙන් කාලය ඉල්ලා  ගත්තා විය හැකිය. ප්‍රශ්නය නම් වසර ගණනාවක් තිස්සේ රංවල මහතාගේ නමට ඉදිරියෙන්  ‘‘ආචාර්ය’’ යන විශේෂණය දක්නට ලැබීමය. එසේ නම් අදාළ ලේඛන මේ වන විටත් ඔහු සතුව  තිබිය යුතුය. ඔහුගේ දියණිය පවසන පරිදි ඔහු එම විශේෂණය  පාවිච්චි  නොකළේ වුවද අනෙක් පුද්ගලයන් එය පාවිච්චි කරන බව ඔහු දනී. ඔහුට ආචාර්ය උපාධියක් නැත්නම් තමන් එය පාවිච්චි නොකළ බව කීම නිදහසට කරුණක් නොවේ. අනෙක් පුද්ගලයන් එය පාවිච්චි කිරීම වැළැක්වීමට ඔහුට හැකියාව තිබිණි.

මන්ත්‍රීවරයකු වශයෙන් තම විස්තර ඇතුළත් කොට රංවල මහතා පාර්ලිමේන්තු බලධාරීන්ට දී ඇති පෝරමයේ ආචාර්ය යන විශේෂණය ඇතුළත් කොට නැති බවද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මුලින් එය සඳහන් වී ඇත්තේ වට පිටා දැනුමෙන් එවැන්නක් ඇතැයි අදාළ නිලධාරීන් සිතූ නිසා බවද පසුව මේ පිළිබඳව ආන්දෝලනයක් ඇතිවූ පසු ඔවුන් එය ඉවත් කොට ඇති බවද තවත් යූ ටියුබ් නාලිකාවක  ප්‍රකාශකයෙක් පැවසීය. එහෙත් ජාතික ජනබලවේගය තම මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවල එම විශේෂණය යොදා ඇත. එය ඔහුද දනී. ඒ අනුව එම නිලධාරීන්ට  මේ සම්බන්ධයෙන් දොස් නැඟීම එතරම් සාධාරණ නොවේ.

 ජාතික ජන බලවේගය උගතුන්, බුද්ධිමතුන් විශාල පිරිසක් අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් කිරීමද ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබීමට හේතු වූ බව සිතිය හැකිය. ජනතාව ඔවුන් උගතුන්, බුද්ධිමතුන් යැයි දැන ගත්තේ ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, නීතිඥ වැනි අපේක්ෂකයන්ගේ නමට ඉදිරියෙන් ඇති විශේෂණ මගිනි. රංවල මහතාට ඇත්ත වශයෙන්ම ආචාර්ය උපාධියක්  නැත්නම් මෙතැන සිදුවී ඇත්තේ එක්තරා දුරකට රට රැවටීමට ඔහුත් ඔහුගේ පක්ෂයත් දායක වීමය.

ඇත්ත වශයෙන්ම රංවල මහතාට ආචාර්ය උපාධියක් තිබි ඔහු ඉදිරි දිනවල දී ඒ බව ඔප්පු කළහොත් ඔහුට එවැන්නක් නැතැයි යන පදනමින් පමණක් අදහස් දැක්වූවන් හා විශේෂයෙන්ම අපහාස උපහාස කළවුන්ගේ තත්වය කුමක් වනු ඇත්ද?

මෙය සදාචාරමය ප්‍රශ්නයකි. එහෙයින් ඒ ගැන කතා කිරීමට දේශපාලනඥයන් කී දෙනකුට සදාචාරමය අයිතියක් ඇත්ද යන ප්‍රශ්නය ද මතුවේ. කිසිදු පදනමකින් තොරව දේශපාලන පක්ෂ තහනම් කොට එම පක්ෂ සන්නද්ධ මාවතට ඇද දමා ඉන් පසු එම පක්ෂ මර්දනය කිරීමේ මුවාවෙන් හැට දහසකට අධික පිරිසක් ඝාතනය කළ පක්ෂයකට මේ ගැන කතා කළ හැකිද? අනියම් මිනිස් ඝාතන දහස් ගණනකට මඟ පාදමින් සිදුවූ බව පෙනෙන බාල ඖෂධ ජාවාරමට සම්බන්ධවූවන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් දේශපාලනඥයන්ට ද මෙවැන්නක් ගැන කතා කළ නොහැකිය.

බොරු කියා මැතිවරණ කල් දමා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරුවන් වූවන්ට හා ඔවුන්ගේ කටයුතු අනුමත කළ වුන්ට ද එම නඩුවේ දී ඇතැම් නියෝග දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවිය යුතු යැයි යෝජනා කළවුන්ට ද මේ ගැන කතා කළ නොහැකිය. ජාතික ජනබලවේගයට පත්වුවහොත් භික්ෂුන් වහන්සේලාට දෙන දානය තහනම් කෙරෙනු ඇතැයි ද පෙරහර තහනම් කරනු ඇතැයි ද ඇතැම් පිරිස් තමන්ගේ මැතිවරණ වේදිකාවේ බොරු කියද්දී නෑසුණා සේ සිටි දේශපාලනඥයන්ට ද රංවල මහතා බොරුවක් කියුවේ වුවද ඒ ගැන කතා කළ  නොහැකිය. එහෙත් එවැනි අය ද ඒ ගැන කතා කරති. මෙය කිළිටි රෙද්දේ පැල්ලම් පෙනෙන්නේ නැතැයි ගම්මුන් අතර ඇති කියමන සිහිපත් කරයි.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායකයන් රංවල මහතාගේ ප්‍රශ්නය ‘‘දණහිසෙන් ඉහළට නොගත යුතු’’ ප්‍රශ්නයක් සේ නොසැලකිය යුතුය. මෙය ඔවුන් අයිතිවාසිකම් කියන තම නොකිලිටි භාවයට එල්ල වූ අභියෝගයකි. රංවල මහතාට ආචාර්ය උපාධියක් නැත්නම් මේ ප්‍රශ්නය ඔවුන්ගේ වරදක් නොව ඔහුගේ වරදකි. එහෙත් පක්ෂය ද ඉන් විශාල කොටසකට වගකිව යුතුය. ඔහු රටට බොරු කීවේ නම් හෝ බොරු මතයක් සමාජගත වන්නට ඉඩ හැරියේ නම් ඔහුට තව දුරටත් මෙම ධුරයේ සිටීමට සදාචාරමය අයිතියක් නැත. ජාතික ජනබලවේගයට ද ඔහු එම ධුරයේ තබා ගැනීමට සදාචාරමය අයිතියක් නැත. එහෙයින් තවදුටත් රට තුළත් පක්ෂය තුළත් තම සදාචාරමය ප්‍රතිරූපයට හානි නොවන්නට නම් ජාජබ ඉක්මන් පියවර ගත යුතුය.

එසේම මේ ප්‍රශ්නයෙන් සහල් හා පොල් ප්‍රශ්නය යටපත් විය යුතු ද නැත.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

උපාධි ප්‍රශ්නයෙන් රට යවන හාල්-පොල් මිල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බෞද්ධ විමුක්ති මාර්ගය සංවර ඇඳුමින් පැලඳුමින් වාරණය නොවේ
2024 දෙසැම්බර් මස 14 122 0

ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබ


උපාධි ප්‍රශ්නයෙන් රට යවන හාල්-පොල් මිල
2024 දෙසැම්බර් මස 14 315 0

ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්


එංගලන්තයේ බිලියනපතියාගෙන් මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
2024 දෙසැම්බර් මස 13 1990 0

ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතාකරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩවඩාත් කථාකරයි. මහත්හොරු ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරු


බ්‍රිතාන්‍යයන් මිහිදන් කළ ගැරිසන් සොහොන
2024 දෙසැම්බර් මස 13 799 3

මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ දක්නට ඇති බොහෝමයක් තැන්වල වැදගත්කම කෙබඳු දැයි අවබෝධ කරගත් පිරිස අතළොස්සක් බව නම් නොරහසකි. මහනුවර දළදා මාලිගාව අභියස කෞ


කතාවේ භාවිතාවේ පරතරය
2024 දෙසැම්බර් මස 13 356 1

ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්


ඒඩ්ස් සමාජ උවදුරක් වේවිද?
2024 දෙසැම්බර් මස 12 301 0

මානවයාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අවධානය යොමු කරන විට අප ව්‍යවහාරයෙහි සුලබව පවතින්නා වූ පද ද්විත්වයක් ලෙසHIV සහ ඒඩ්ස් හැඳින්විය හැකිය. 1981 ව


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 173 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 181 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 88 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site