සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය නම් රංගවේදියාට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. දිද්දෙණියගේ රංග කෞශල්‍යයත් හඬ පෞරුෂයත් සුගායනයත් මෙරට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් උසස් රසිකත්වයක් කරා යොමු කිරීමට හේතු වූ බව රහසක් නොවේ.
එසේම ඔහුගේ රංග ප්‍රතිභාවෙන් සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යාවලියට ලැබුණු ආලෝකයද සුළු පටු නොවේ. මනමෙ, සිංහබාහු, පෙමතො ජායති සොකො ආදී නාට්‍ය බොහොමයක දී සුවිශිෂ්ට රංගනයක යෙදෙමින් වේදිකාවේ බර අඩි තබා යන්නට සරච්චන්ද්‍රයන්ගේ මගපෙන්වීම මෙන්ම උපන් ගමේ දී පාසලේදී ලැබූ පන්නරය නොයෙක් ආකාරයෙන් හේතු වන්නට ඇත. එසේම ඔහු ලේඛකයකු විචාරකයකු ග්‍රන්ථ සමීක්ෂකයකු ලෙස ද සාහිත්‍යයට හා කලාවට තම දායකත්වය සක්‍රීයව සපයමින් සිටියි.
මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ නිශ්ශංක දිද්දෙණිය රංගවේදියාගේ නිර්මාණ ජීවිතය සහ සරච්චන්ද්‍ර ඇසුර පිළිබද යම් මතක ආවර්ජනයක සැකැවින් හෝ යෙදීමය. දිද්දෙණිය මහතාට කලාව පිළිබඳ මූලික කැමැත්ත හා ඊට අදාළ පරිසරය ගොඩනැගෙන්නේ තමන් කුඩා කාලයේ ගමේ ජීවත් වූ පරිසරය තුළය.
කහවත්ත හා පැල්මඩුල්ල අතර වූ පනාවැන්න නම් සුන්දර ගම්මානය දිද්දෙනියගේ උපන් බිමයි. දිද්දෙනිය මහතා ඒ පිළිබඳ මතකය සිහිපත් කරන්නේ මෙසේය. පනාවැන්න ධර්මාරාම විද්‍යාලය ඔහුගේ මුල්ම විදු බිමයි.
“මට ගමේ ඉස්කෝලෙ යන කාලෙ ඉදලම රගපෑම් ගැන උනන්දුවක් තිබුණා. ඒ දවස්වල ගමේ ඉස්කෝලෙ සින්දුකාරයත් මමම තමයි. තරගවලින් නිතරම දිනනවා. මම යන කාලෙ පාසලේ එක ගොඩනැගිල්ලයි තිබුණේ. අටේ පන්තිය දක්වා පන්ති පැවැත්වුණා. ඊට පස්සෙ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ආවා හයේ පන්තියේදී. ඒ ඇතුළත්වීමේ විභාගය සමත් වෙලා.”
“අපි ගොවි පවුලක්. ඒ කාලෙ හැටියට ගමේ කවුරුත් අධ්‍යාපනය ගැන ඒ තරම් උනන්දුවක් තිබුණෙ නෑ. තාත්තට අත්සන ගහන්න පුළුවන්කම වගේම බණ පොත් කියැවීමේ හැකියාව තිබුණා. අම්මා පාසල් අධ්‍යාපනය ලබලා නැති වුණත් ජීවිත තක්සලාවෙන් බොහෝ දේ උගත් කාන්තාවක්. අපේ අම්මගේ ගම කහවත්තෙ බුන්දිරිය. අම්මලාගෙ මහගෙදර තිබුණෙ සාගර පලන්සූරිය කවියාගේ ගෙවල් සමීපයේ. එහෙ ගියාම කේයස්ගේ සුදෝසුදු කවිපන්තිය මතක් වෙනවා. ගොඩමඩ දෙකම සරුසාරය පලබරය කියන කවියේ පරිසරයම තමයි ඒ ගමේ තිබුණෙ. මම තමයි පවුලෙ හත් වැනි දරුවා. සිරිසේන විමලවීරත්, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නත් දෙන්නා ඒ වනවිට ටීටර් නාට්‍ය පටන් අරගෙන තිබුණෙ. ඒ 30-40 දශකවල. ගම්වල මේ නාට්‍ය නිතරම රඟ දැක්වුණා. අපේ අයියලා දෙන්නෙක්ම මේ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඒ නාට්‍යවලට සමාජ කතා තමයි තේමා වුණේ. සිරිසේන විමලවීරගේ රොඩී කෙල්ල, පොඩි පුතා, පෙරළෙන ඉරණම ඇතුළු නාට්‍ය හයක් ඒ කාලෙ නිර්මාණය වෙලා තිබුණා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු හතක් විතර ඇති. ලොකු අයියා රඟපෑවෙම රුක්මනී දේවිගෙ චරිතෙ. අපි ගෙදර ඇවිත් අයියලාට හොරෙන් එයාල රඟපාපු දේවල් නැවත අනුකරණය කරමින් ගෙදරදී රඟපානවා. අම්මයි තාත්තායි අක්කලයි අපේ රඟපෑම් බලලා හිනා වෙනවා.”
දිද්දෙණිය මහතා සිය මෑණියන් ගැන කතා කරන්නේ මහත් බැතියෙනි. ඇයට මනා ගායන හැකියාවක් වීය. දිද්දෙණිය කලාකරුවාට තම ගායන කුසලතාවට ඇගෙන් යම් ආභාසයක් ලැබෙන්නට ඇත. ඩබ්ලිව්.බී. මකුලොලුව මහතා හෙළ ගී මග නමින් කළ සංගීත
පර්යේෂණයේදී මොනරාගල ඇතුළු හද්දා පිටිසර ගම්වල තිබූ ජනකවි එකතු කළේය. දිද්දෙණිය මහතා පාසල් කාලයේදී ප්‍රශස්ති ගීත වන්නම්, සැහැලි පැල්කවි ආදි බොහෝ දේ උගත්තේ මකුලොලුව මහතාගේ හෙළ ගී මග ඇසුරිනි. මෙබදු කවි ගායනා ගමේ අස්වනු නෙළන සමයේදී දිද්දෙනිය මහතාට නිතරම අසන්නට ලැබෙයි. ඒ බොහෝ ගායනා ඔහුගේ කලා දිවියට අනියමින් බලපාන්නට විය. තම මෑණියන් නෙළුම් කවි ගායනා කළ අන්දම දිද්දෙණිය මහතා අපට සිහිපත් කළේ මධුර ගායනයක් ද ඉදිරිපත් කරමිනි.
“අපේ අම්ම තමයි කුඹුරෙදි නෙළුම් කවි ගායනාව මුලින්ම පටන් ගන්නෙ. ඊට පස්සෙ අනිත් කාන්තාවනුත් ඊට එකතු වෙනවා. අම්ම කියපු නෙළුම් කවියක් මට හොඳට මතකයි.
කෙතක ගොයම් පැල නිල දිලිසෙනවා
තැනක ඉදන් මල් මාල ගොතනවා
වටක ඉදන් මල් වඩම් තනනවා
මලට බඹරු සේ වට නද දෙනවා
තාත්තා බණ පොත කියවනකොට වුණත් ඇදල පැදල තමයි කියවන්නෙ. ඒක අහගෙන ඉන්න හරි ආසයි. ඒත් එක්කම ගමේ තිබුණ පෙරහැර, දොරකඩ අස්න ඇතුළු ආගමික සංස්කෘතික පසුබිමත් ඒ වටා ගොඩනැගුණු සිරිත් විරිත් ආදියත් අපට හරියට බලපෑවා. මේවායේ හරියට නාට්‍යමය ලක්ෂණ තිබුණා. ඒවා අපේ සිත් ගත්තා. මගේ නාට්‍ය ජීවිතයට මේවා විශාල වශයෙන් බලපැම් කළා. ගම්වල පැවැති මේ බොහෝ සංස්කෘතික කාරණා පස්සෙ කාලෙ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඔහුගේ සිංහල ගැමි නාටකයට එකතු කළා.”
දිවිතියික අධ්‍යාපනය ලැබීමට දිද්දෙණිය මහතා පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට පැමිණි පසු ඔහුගේ කලා ජීවිතය තවදුරටත් පෝෂණයවීමට අවශ්‍ය පසුබිම සැකසෙයි. ඔහු ප්‍රසිද්ධ කලාවට ප්‍රවේශවීමට වරම් ලබන්නේ මේ පාසල් කාලයේ දී ඇති වන දැනහැදුනුම් මතය. ඒ පිළිබදව මතකය අවදි කළේ මෙලෙසිනි.
“සුගතපාල සෙනරත් යාපා සහ රාජා සුමනපාල ගන්කන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්. රාජා සුමනපාල කෝපිකඩේ නාට්‍යයේ රඟපෑවා. ඇත්තෙන්ම රාජා අයියා තමයි මගේ නාට්‍ය ජීවිතයේ පළමු ගුරුවරයා වෙන්නෙ. රාජා අයිය පෙම් පත් ලියන කාලෙ ඒවා පෙම්වතියට ගිහින් දෙන දූතයා වුණේ මම. රාජා සුමනපාල ගමේ කරපු නාට්‍යවල මමත් රඟපෑවා. මැන්ඩලීනය වාදනය කිරීමේ හොඳ හැකියාවකුත් ඔහුට තිබුණා. ඔහු අංගුලිමාල වගේ වෙසක් නාට්‍යත් කළා. මම තමයි අංගුලිමාලට හිටියෙ. වී පටවන ලොරියේ පිටිපස්ස පැත්ත තමයි වේදිකාවට ගන්නෙ. ගමේ ඉන්න කාලෙ මම නැටුම් ඉගෙන ගත්තා. කලාවටම හිත ගිය හින්දා මම දෙපාරක්ම උසස් පෙළ අසමත් වුණා. කරුණාරත්න බණ්ඩාර සාහිත්‍ය ගුරුවරයයි සීතා අරුන්තනාදන් ගුරුතුමියයි මගේ කලා හැකියාවන් දැකලා කිව්වා මේවා දියුණු කරගන්න නම් කොහොම හරි මහන්සි වෙලා ආයෙම පාඩම් කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ ගන්න කියලා. ඒ නිසා තමයි මම මහන්සි වෙලා ආයෙම පාඩම් කරන්න ගත්තෙ. ඒ කාලෙ සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය ගැන මුළු රටේම මහා ප්‍රබෝධයක් ඇති වෙලයි තිබුණෙ. වෙස් බදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි 1966දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙන්නෙ. අගහිඟකම් මැදවුණත් මම පේරාදෙණියට යනවා.”
නිශ්ශංක දිද්දෙණිය මහතාගේ නාට්‍ය ජීවිතය මේ අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි බව පෙනේ. එනම් ගැමි රඟ මඩල, පාසල් වේදිකාව සහ ප්‍රසිද්ධ වේදිකාව වශයෙනි. ඔහුගේ නාට්‍ය ජීවිතයේ ස්වර්ණමය අවස්ථා මුණ ගැසෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මුණ ගැසුණු පසුවය. මුලින්ම තමන් සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයකට තෝරා ගැනුණු ඓතිහාසික අවස්ථාව ගැන දිද්දෙණිය මහතා සිහිපත් කළේ මෙලෙසිනි.
“සරච්චන්ද්‍ර මහත්තයා පේමතො ජායතී සොකො නමින් නාට්‍යයක් නිෂ්පාදනය කරනවා කියලා විශ්වවිද්‍යාලයේ දැන්වීම් පුවරුවේ දැන්වීමක් පළ කරලා තිබුණා. සරච්චන්ද්‍ර මහත්තයාගෙ නාට්‍යයක චරිතයක් රඟපාන්න ලැබෙනවය කියන්නෙ දේව වරප්‍රසාදයක් ලැබෙනවා වගේ එකක්. මුලින් පොඩි තැති ගැන්මක් තිබුණත් මමත් ඒ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. විශ්වවිද්‍යාලෙ අය වගේම කොළඹ ලොකු ඉස්කෝලවලින් විශාල පිරිසක් මේ සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටියා. ගීතයක කොටසක් කියන්න කියල තමයි සරච්චන්ද්‍ර මහත්තයා හැමෝගෙම කටහඬ පරීක්ෂා කළේ. මට මතකයි කොළඹ ඉස්කෝලෙක ගෑනු ළමයෙක් ගායනයක් කළා. එයා කිව්වෙ මා බාල කාලෙ අම්මාගෙ උකුළේ ගීතය. ඒත් ඒක එයා කීවේ බටහිර ගායන විලාසයක් මවාගෙන වචන උච්චාරණය කරන විදියට. සරච්චන්ද්‍ර මහත්තයා අත්දෙක පිටිපස්සට බැඳගෙන එහාට එනවා. මෙහාට යනවා. සින්දුව ඉවරවෙනකල් ම ඉදලා එතුමා කිව්වා. හා හොදයි..... දැන් ඉතින් සිංහල සින්දුවකුත් කියන්න කියල.
එතන හිටපු හැමෝටම මේකට හිනා ගියා. තව පිරිමි ළමයෙක් අමරදේව මහත්තයාගේ ‘ඉරට මුවාවෙන් ඉදගෙන හිස පීරනවා’ ගීතය කිව්වා. එයා ටිකක් ශ්‍රැතියෙන් පිට වගේ තමයි ගායනා කළේ. හැමෝටම ඒක තේරුණා. සරච්චන්ද්‍ර මහත්තයා මුළු ගායනයම අහලා ටිකක් කල්පනා කර කර ඉදල කිව්වා
ඔව් ඉතින්..... ඒ සින්දුව ඒ විදියටත් කියන්න පුළුවන් කියලා.
පුදුම උපහාසයක් තිබුණා එතුමාගේ වචනවල. කිසිම දවසක කෙළින්ම වරදක් කියන්නෙත් නෑ. අන්තිමට කාගෙවත් හිත රිදවන්නෙත් නෑ. කවුරු හරි ගායනා කුසලතාව නැතුව සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා හිටියොත් එයාට දොස් කියන්නෙ නෑ.
කවුද සින්දු කියන්න පුළුවන් කියල කිව්වෙ..... කියල ඒ විතරයි අහන්නෙ. හැබැයි ඒ ප්‍රකාශවල තද උපහාසයක් තියනවා.
මේ පරීක්ෂණයට ආපු තව කෙනෙක් අමරදේවගේ ගීතයක් ගායනා කළා. ඔහු ඒක කිව්වෙ අමරදේවගේම හඬ අනුකරණය කරමින්. ඒක අහගෙන ඉදල සරච්චන්ද්‍ර මහත්තය කිව්වා.
අපට ඉතින් අමරදේවලා එක්කෙනෙක් හිටියම ඇති නේද කියලා.
බලාන ඉඳල ඉඳලා මගේ වාරය ආවා. මම කිව්වෙත් අමරදේවගෙ සින්දුවක්. සන්නාලියනේ කියන ගීතය. පස්සෙ සරච්චන්ද්‍ර මහත්තයා බලාගෙන හිටපු විදියෙන් තේරුණා වැඩේ හරි තමයි කියලා. එතනින් පස්සෙ පෙමතො ජායති සොකො නාට්‍යයට මාව තෝරගත්තා. පස්සෙ කාලේ මනමේ සිංහබාහු ආදි නාට්‍යයවල ද ප්‍රධාන චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා. සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යවලට සම්බන්ධවීම මගේ නාට්‍ය ජීවිතයේ වැදගත් අවස්ථාවක් වුණා. ඔහු විශ්වාස කළා ගායනය හොඳින් කෙරෙනවා නම් අනෙක් දුර්වලතා හදාගන්න පුළුවන් කියලා. එතුමා කිව්වෙත් නාට්‍ය කලාව කියන්නෙ නළුවාගේ කලාව කියලයි. අධ්‍යක්ෂවරයාට පුළුවන් උපදෙස් දෙන්න විතරයි කියලයි ඔහු කියන්නෙ.
පේමතො ජායති සොකො නාට්‍ය පුරුදු පුහුණු කරමින් සිටින අවස්ථාවක වූ සුන්දර මතක සටහනක් ගැන දිද්දෙණිය මහතා අප සමග කියා සිටියේ මෙසේය.
අපි ඒ දවස්වල පේමතෝ නාට්‍ය පුරුදු වුණේ මෙඩිකල් ෆැකල්ටියේ දේශන ශාලාවක. ජයලත් මනෝරත්න තමයි උද්දාල බ්‍රාහ්මණයාට රඟපෑවෙ. අපි කට්ටියම බලාගෙන ඉන්නවා. සති තුනයි තියෙන්නෙ මංගල දර්ශනය පවත්වන්න. සරච්චන්ද්‍ර මහත්තයා එක පාරට පුහුණු කිරීම් නවත්තලා මනෝරත්නට කිව්වා.
මනෝ දැං අපට තව සති තුනයිනෙ තියෙන්නෙ. ඒත් ඉතින් උද්දාල චරිතෙ ස්වර්ණතිලකාට පෙම් කරන බව හරියට පේන්නෙ නෑනෙ කියලා
මනෝරත්න කිව්වා ඉතින් සර් මම පෙම් කරනවනෙ කියලා.
එතකොට සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා
ඔව් ඉතින් මනෝ පෙම් කරනවා ඇති ඒත් ඒක අපිට පේන්නෙ නෑනෙ. ප්‍රේක්ෂකයන්ට පේන්න එපායැ උද්දාල ස්වර්ණතිලකාට පෙම් කරන බව කියලා.
ඊට පස්සෙ කොළඹ ඉඳල මිරැන්ඩා හේමලතා මහත්මිය ගෙන්නලා නව නාට්‍ය රසය මතු කරන අභ්‍යාස පුහුණු කළා. මනෝරත්නයන් එක් අවස්ථාවක කියල තිබුණා ඒ අභ්‍යාසවලින් කොයිතරම් පුහුණු වුණාද කියනවා නම් ස්වර්ණතිලකා නතර වුණේ මනෝගෙ ගෙදර කියලා. ස්වර්ණතිලකාට රඟ පෑ ජයන්ති තමයි අන්තිමට මනෝගෙ බිරිද වුණේ.”
සරච්චන්ද්‍ර මහතා ගේ නාට්‍ය කලාවත් ඔහුගේ නිර්මාණ මූලාශ්‍රත් ඒවායින් මතු කෙරුණු සමාජ සංස්කෘතික සංවාදයත් ඉතා ගැඹුරුන් සාකච්ජා කළ යුතු හා කළ හැකි චරිතයක් ලෙස නිශ්ශංක දිද්දෙණිය මහතා හඳුන්වා දිය හැකිය. ඔහුගේ නිර්මාණ ජීවිතය සමග බැදුණු මෙවන් රසවත් හා බරසාර අත්දැකීම් බොහොමයකි, මේ අප සාකච්ජා කළේ එයින් අල්පමාත්‍රයක් පමණි.
(***)
සටහන
ගාමිණී කන්දේපොළ
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්