IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


එජාප - සජබ අනාගතය

පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත්වී වෙනම ගමනක් යන්නට සැරසෙති.

ඔවුන් වෙනම කණ්ඩායමක් වශයෙන් පැරණි පොදුජන එක්සත් පෙරමුණේ නමින් එම පෙරමුණේ පුටුව ලකුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමට අදහස් කරන බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේය.

දැන් ඔවුන් යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණවලට තරග කරන්නට උත්සාහ කරන බව මේ සතිය මුලදී ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක් කරන්නට උත්සාහයක්ද ක්‍රියාත්මක වේ. එසේම පසුගිය මැතිවණවලදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කළ දෙමළ හා මුස්ලිම් පක්ෂද ඉන් ඉවත්වී වෙන් වෙන් වෙනත් පක්ෂ වශයෙන් ඉදිරි මැතිවරණවලට තරග කරන බව පවසා තිබේ.

දකුණේ මෙන්ම උතුරේද දේශපාලන පෙළගැසීම් වෙනස් වෙමින් තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වශයෙන් මෙතෙක් සිටි ඉලංකයි  තමිල් අරසු කච්චි තමන්ගේ මතයට එරෙහිව පසුගිය මැතිවරණවලදී කටයුතු  කළ තමන්ගේ ප්‍රබල සාමාජිකයන් පිරිසක් ඉවත් කොට ඇත. හක්ගෙඩිය ලකුණින් ඉකුත් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ එම පිරිස දැන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික පෙරමුණ සමග එක්වන්නට යන බව කියැවේ.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික පෙරමුණ යනු කලින් තමිල් අරසු කච්චි සමග එක්ව දෙමළ ජාතික සන්ධානය ගොඩනඟා මෑතකදී ඉන් ඉවත්වූ ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. යන පක්ෂ මුල් වී තවත් කුඩා පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගා ගෙන ඇති සන්ධානයකි.

මෙම අලුත් පෙළගැසීම්වලින් රටේ දේශපාලනයට යම් තරමින් හෝ බලපෑමක් කළ හැකි වන්නේ එජාප හා සජබ එක්වී ගොඩ නගන්නට යෝජිත සන්ධානයට හෝ පක්ෂයට පමණි. ඒ දැනට ජාතික මට්ටමේ මැතිවරණයකදී ඡන්ද දශලක්ෂයකට වැඩියෙන්  ගත හැකි එකම විරුද්ධ පක්ෂය සජබ වීම නිසාය. පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ වහාම එම පක්ෂ දෙකේම බොහෝ දෙනකු මෙවැනි සමගියක අවශ්‍යතාව ගැන කතා කළද ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව කිසිවක් සිදු නොවීය.

එම උත්සාහය අලුත් වී ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයට හරියටම  මාසයකට පෙර 2024 අගෝස්තු 21 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හා සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ මහත්මිය සැප්තැම්බර් 8 වැනිදා එක්සත් ජාතික පක්ෂය හා එක්වීමත් සමගය. පසුගිය ජනවාරි 3 වැනිදා එජාප මහලේකම් ධුරයට පත් කරනු ලැබූ අතුකෝරළ මහත්මිය පක්ෂ දෙක සමඟි කිරීම සඳහා වූ තම උත්සාහය දැඩි කොට ඇති බවක්ද පෙනේ.

පසුගිය සෙනසුරාදා පැවැති රැස්වීමක කතා කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්ව දේශපාලනය කරන්නට සජබට ආරාධනා කළේය. පක්ෂ දෙක එක්වීම නිසා සජබට නැති වන්නට දෙයක් නැතැයි ඔහු එහිදී සඳහන් කළේය. නායකත්වය ගැන කල්පනා නොකොට පක්ෂ දෙකේත් රටේත් අනාගතය ගැන කල්පනා කොට එජාප සමඟ එක්වන ලෙස ඔහු එහිදී සජබට යෝජනා කළේය.

එම රැස්වීමේදී කතා කළ තලතා අතුකෝරළ මහත්මියද පක්ෂ දෙකේ සමගිය අවධාරණය කරමින් තමන් එජාප මහ ලේකම් ධුරයට පත් වූ පසු සජබ නායකයන් සමග මේ ගැන සාකච්ඡා කළ බවද පැවසුවාය. අතුකෝරළ මහත්මිය ඉකුත් අගෝස්තු මස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී ද පක්ෂ දෙකේ සමගිය අවධාරණය කළාය.

පක්ෂ දෙකක් වශයෙන් බෙදී එජාප හා සජබ ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් පක්ෂ දෙකම පරාජය වීම අනිවාර්ය බව පැවසූ ඇය 2020දී සජිත් ප්‍රේමදාස මහතා එජාපයෙන් වෙන්වී වෙනම දේශපාලනය කිරීමට යොමුවීම විශාල වරදක් බවත් පැවසුවාය. කෙසේ වෙතත් පක්ෂ දෙක එකතු කිරීම එදා ඇගේ අරමුණ වූයේ නම් ඇයට එම උත්සාහය සජබ තුළ සිටියදීම කළ නොහැකි  වූයේ මන්ද යන ප්‍රශ්නය මතුවේ. සමහර විට ජනාධිතිවරණ ප්‍රචාරක කාලයේදී රාජ්‍ය බලය පාවිච්චි කරමින් වික්‍රමසිංහ මහතා තමන්ට විශාල මහජන සහයෝගයක් අතැයි පෙන්වීම නිසා ඔහු ජයගනු ඇතැයි සිතා ඇය එදා ඔහු සමග එක්වූවා විය හැකිය.

වෙන්වී තරග කිරීම එජාප, සජබ පක්ෂ දෙකටම අවාසිසහගතයැයි  එක්ව තරග කරන්නේ නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකිය යන අර්ථයෙන් අතුකෝරාළ මහත්මිය එදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් මනාව ඔප්පු විය. එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලබා ගත්තේ ඡන්ද 57,40,149කි. එහිදී සජබ අපේක්ෂක සජිත්  ප්‍රේමදාස මහතා ඡන්ද 45,30,902 ක් ලබා ගත් අතර ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ගෑස් සිලින්ඩරය ලකුණු යටතේ තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 22,99,767ක් ලබා ගත්තේය.

ඒ අනුව ප්‍රේමදාස මහතාත් වික්‍රමසිංහ මහතාත් එක පිලක සිට තරග කළේ නම් එම පිල ජයග්‍රහණය කරන්නට ඉඩ තිබිණැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඒ දෙදෙනා එකම පිළේ සිටියේ නම් එම පිලේ අපේක්ෂකයා වන්නේ ඒ දෙදෙනාගෙන් එක් අයෙකි. එසේ වූවා නම් එම පක්ෂ දෙකට සහාය දුන් කුඩා පක්ෂ හා කණ්ඩායම් අපේක්ෂකයා  අනුව එම පිලට සහාය නොදී සිටින්නටද ඉඩ තිබිණි. එසේ වුවද ඔවුනට කළ හැකි බලපෑම ඉතා අඩුවන හෙයින් එම පිල ජයග්‍රහණය කරන්නට තිබූ ඉඩ වැඩිය.

2020 දී එජාප දෙකට බෙදී ගියේය. ඉන් විශාල පිලේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා කලෙක මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි යන අය විසින් පිහිටුවන ලදුව පසුව ඩයනා ගමගේ හා ඇගේ සැමියා වන සේනක ද සිල්වා යන අයගේ භාරයට පත්වූ අපේ ජාතික පෙරමුණ ඉල්ලා ගෙන ඊට සමඟි ජන බලවේගය යන නම යොදා 2020 මහ මැතිවරණයට තරග කළේය.

මෙසේ එජාප දෙකඩවීමේ ඉතිහාසය 2001 වසර දක්වා ඈතට දිව යයි. දෙමළ බෙදුම්වාදය ශක්තිමත් වන ආකාරයටත්, ජනතා විමුක්ති පෙරමුණ යළි අවි අතට ගන්නා ආකාරයටත් කටයුතු කරමින් දාහත් වසරක්  රට පාලනය කළ එජාපය 1994 මහ මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් දරුණු පරාජයකට ලක්විය.  ඉන්පසු 2001 දක්වා පැවැති සියලු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී එජාපය පරාජය විය. මේ නිසා 1994 දී පක්ෂය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය  යටතේ මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි යැයි මතයක් ගොඩනැගී එය එජාප තුළටද කාන්දු වී බලවත් විය.

ඇත්ත වශයෙන්ම මෙය පිටතින් ඇති වූවකි. එකල මංගල සමරවීර මහතා විවිධ තේරුම් දෙන අයුරින් රනිල්ට බෑ යනුවෙන් සටන් පාඨයක් ඔස්සේ මේ මතය ප්‍රවර්ධනය කළේය. මේ මතය එජාපය තුළද බලවත් වීමෙන් පක්ෂ නායකත්වය වෙනස් කළ යුතුයැයි මතයක් එජාප තුළ ගොඩනැගිණි. එසේ පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ සටනේ එදා ඉදිරියෙන්ම සිටියේ එජාප නියෝජ්‍ය නායකවූ කරු ජයසූරිය මහතා හා එජාප වත්මන් මහලේකම් තලතා අතුකෝරළ මහත්මියගේ සොහොයුරා වූද එවකට එජාප මහ ලේකම් වූද ගාමිණී අතුකෝරළ මහතායි.

කෙසේ වෙතත් එම වසරේ දෙසැම්බර් 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එජාප ජයගත්තෙන් නායකත්වය පිළිබඳ සටන යටපත් වූ අතර ගාමිණී අතුකෝරළ මහතා ප්‍රවාහන මහා මාර්ග හා ගුවන් සේවා ඇමැතිවරයා විය. එම මැතිවරණයෙන් දින 27කට පසු ඔහු හදිසියේම මිය ගියේය. එම නායකත්ව අර්බුදයේදී සජිත් ප්‍රේමදාස මහතා සිටියේ වික්‍රමසිංහ මහතාගේ පැත්තේය. 2001 මැතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවිය.

2004 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙන් එම එජාප පාලනය එතැනින් අවසන් විය. එතැන් සිට 2010 දක්වා සියලු ප්‍රාදේශීය හා පළාත් මැතිවරණවලින් එජාපය පරාජයට පත් වීමත් සමඟ 2010 දී නැවතත් එජාප නායකත්ව අර්බුදය මතුවිය. එවිට පක්ෂය තුළ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ සජිත් ප්‍රේමදාස මහතායි.

එම අර්බුදය එම වසරේ තරමක් යටපත් වී 2014 දී යළිත් ප්‍රබල ලෙස මතු වූයේ තවත් ජනාධිපතිවරණයක් ළංවීමත් සමඟය. එහෙත් 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් එජාප සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගැනීමත් සමග නායකත්ව අර්බුදය යළිත් යටපත් විය. එහෙත් එය පෙර නොවූ විරූ ආකාරයෙන් ඊළඟ ජනාධිපතිවරණය ආසන්නයේදී එනම් 2019දී මතුවිය.

එහිදී ප්‍රේමදාස මහතා එක්තරා ජයග්‍රහණයක් ලබා ගත්තේ එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගනිමිනි. එහෙත් එජාපය 2010 හා 2015 යන වසරවලදී මෙන් 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙනි. ඉන්පසු 2020 දී සජබ බිහි කරමින් එජාප දෙකඩ විය. ඉන්පසු මෙවර ජනාධිපතිවර්ණයේදී ද එජාප තරග කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමිනි. එහෙත් ඔවුහු එහිදී ඡන්ද ලකුණ වශයෙන් හංසයා වෙනුවට සිලින්ඩරය යොදා ගත්හ.

මේ අවස්ථා හතරේදීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය දුන් අනෙක් පක්ෂ තමන් මේ සහාය දෙන්නේ එජාපයට බව දැන සිටියහ. එසේ නම් එජාප තම ලකුණ යටතේම එම මැතිවරණවලදී තරග නොකළේ මන්ද යන ප්‍රශ්නය මතුවේ. එපමණක් නොව මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබුණු පසුත් එජාපය මහ මැතිවරණයේදී අතැම් දිස්ත්‍රික්කවල එජාපය ලෙසත් අනෙක්  දිස්ත්‍රික්කවල සිල්න්ඩරය ලකුණ යටතේත් දෙකට බෙදී තරග කළේ කුමක් නිසාද යන්නද පැහැදිලි නැත. මේවාද නායකත්ව අර්බුදය මෙන්ම එජාපයේ වත්මන් තත්වයට හේතු සාධක වූබව පෙනේ.

කෙසේ වෙතත් දැන් එජාප හා සජබ එක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එක්වන්නේ සන්ධානයක් ලෙසද නැත්නම් එක් පක්ෂයක් ලෙස එක්වී අනෙක් පක්ෂය විසුරුවා හරින්නේද යන්න පළමු ප්‍රශ්නයයි. එසේ නම් විසුරුවා හරින පක්ෂය කුමක්ද? එජාපයට ඉතිහාසයක් ඇත. සජබට එජාපයට වඩා විශාල ඡන්ද පදනමක් ඇත. තෝරා ගන්නේ කුමක්ද?

සන්ධානයක් ලෙස එක්වුවත්, පක්ෂයක් ලෙස එක්වුවත් එහි නායකයා කවුරුන්ද? පක්ෂය බෙදී ගියේ ප්‍රතිපත්තිමය පදනමක් මත නොව නායකත්වය පිළිබඳ ප්‍රශ්නය නිසාය.

නීතිමය කටයුතුවලදී අතිශයින්ම වැදගත් වන පක්ෂය හෝ සන්ධානයේ  ප්‍රධාන ලේකම්වරයා කවුරුන්ද? එය වත්මන් එජාප ප්‍රධානියකුට දෙන්නට සජබ සූදානම්ද? නැත්නම් වත්මන් සජබ ප්‍රධානියකුට එය දෙන්නට එජාප සූදානම්ද? පක්ෂ පහක් එක්ව 2001 දී ගොඩනඟන ලද දෙමළ ජාතික සන්ධානයද දශක දෙකක් ගතවන තෙක්ම ලියාපදිංචි කරගත නොහැකි වූයේ මෙවැනි ප්‍රශ්න නිසාය. එජාප සහ සජබ එම ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙනු ඇත්ද?

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (8)

එජාප - සජබ අනාගතය

fairoos Saturday, 18 January 2025 03:36 PM

තවත් අවුරුදු 10ක් NPP ආණ්ඩුවක් තියාගත යුතුයි.

:       9       14

nimal Sunday, 19 January 2025 08:45 AM

සමගි ජනබලවේගය අයත්වන්නේ ඩයනාට නම් එම පක්ෂය ඇයට විසුරුවා හැරීමට හැකියි.. සත්‍ය වශයෙන්ම SJB යනු එක්සත්ජාතික පක්ෂයේ කොටසකි. සජිත් තනතුරුවලට තණ්හාවක් ඇත. නමුත් ගෝඨාභය අගමැතිකම බාර ගැනීමට අරාධනා කළ අවස්ථාවේ එම වගකීම බාර ගැනීමට ඔහු ඉදිරිපත් නොවීය. යම් හෙයකින් SJB පක්ෂය විසුරුවා හැරීමක් සිදුවුවහොත් සජිත් නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වේද? සජිත් සමඟ කිසිවකුට කිසිඳු ගැටළුවක් නොමැත. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිටියදී නායකත්වය බලාපොරොත්තුව කුමන්ත්‍රණ සිදුවිය. පක්ෂය දෙකඩ විය. ඔහු වෙනත් පක්ෂයක නායකයකු වශයෙන් මේ වනවිට කටයුතු කරයි. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමට නම් පක්ෂ නායකත්වය අලුත් නායකත්වයකට ලබාදී සජිත් සහ රනිල් දෙපල උපදේශන නායකයින් බවට හෝ පත්විය යුතුයි. එවැනි අවස්ථාවක UNP හෝ SJB පාක්ෂිකයින්ට ගැටළුවක් නොමැත. පාක්ෂිකයින් නව නායකත්වය වටා එක්වනු ඇත. නායකත්වයට තෝරාගන්නා පුද්ගලයා කවුරුන් වුවද රටේ පුරවැසියන්ට දැනෙන දැනට පවතින ගැටළු විසදීම සඳහා පොරොන්දු පත්‍රයක් නොව විසඳුම් ඉදිරිපත් කළයුතුවේ. නිවසක වහලය (කිසිවකුට හානි නොවන ආකාරයට) වෙනස් නොකර foundation (පර්ක්ශිකයන්) වෙනස් කිරීමට උත්සාහ කළද එසේ කළ නොහැකියි...!

:       0       2

m. saman perera Sunday, 19 January 2025 12:41 PM

එක හැලියේ බුදියන්න, එක පැදුරේ බත් කන්නේ...

:       0       3

saman Sunday, 19 January 2025 09:44 PM

දේශපාලනය හැර වෙනත් රැකියාවන් නොකළ පක්ෂ දේශපාලනය ඔවුන්ගේ ජීවිකාව කරගැනීම නිසා දේශපාලන පක්ෂ තුළ ගැටළු මතු වී තිබේ. විපක්ෂ නායක සජිත් දේශපාලනයට පැමිණීමට පෙර වෙනත් රැකියා කර තිබේද? දේශපාලනයෙන් ඉවත් වුවහොත් වෙනත් රැකියාවක් කළහැකිද? දියුණු රටවල දේශපාලනයට පැමිණෙන සියලෝම වෙනත් රැකියාවල හෝ වියාපාර වල නියුතුව අද්දැකීම් ලබා ඒ අද්දැකීම් මත දේශපාලනයට හෝ රටට සේවයක් කිරීමට පැමිණේ...

:       0       2

pj Monday, 20 January 2025 10:59 AM

අනුන්ගේ දේවල් හොයහොයා කඩේ යන්නේ නැතුව අපේ රටේ අනාගතයට වෙමින් පවතින්නේ කුමක්ද කියා කියන්න...

:       0       1

m. saman perera Monday, 20 January 2025 11:52 AM

ටොම් සහ ජෙරි ඩබල...

:       0       2

Abid Monday, 20 January 2025 12:34 PM

කොහොමහරි ආයිත් එකතු වෙලා හරි බලන්න. 76ක් කළා වගේ තව පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙනවා. ඒ ටිකටත් කරන්න... එකතු වෙන්න. නැවතත් රට පතුලටම වැටෙන්න කියලා හදවතින්ම පතනවා. එතකොට තමයි ඔයාලගේ අනාගතය ලස්සන වෙන්නේ...

:       0       0

nimal Monday, 20 January 2025 12:37 PM

හොරුත් සමග හොරු කිසි ප්‍රශ්නයක් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

වාහන ආනයනයේදී ආර්ථිකය
2025 ජනවාරි මස 22 910 3

2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා


සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
2025 ජනවාරි මස 21 174 0

නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි


සජබ දෙදරුම් කෑ මුදල් සිද්ධිය
2025 ජනවාරි මස 21 547 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.


අයුක්තියට හිස නොනැමූ මාධ්‍යවේදියා
2025 ජනවාරි මස 21 203 0

“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම


ප්‍රවාහනය යුගයට ගැලපේද?
2025 ජනවාරි මස 21 123 1

පොදු ප්‍රවාහනය යනුවෙන් හැඳින්වෙන්නේ රටක සංචලතා (mobility) අවශ්‍යතා පොදුවේ සපයනු ලබන ක්‍රමයකට ය. සරලව කිවහොත් පොදුවේ ලබා දෙන ප්‍රවාහන සේවා මෙයින් අදහස් වේ. එ


කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්
2025 ජනවාරි මස 20 2262 2

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 493 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 630 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 353 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site