2023 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින 04 කි. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කවර ආකාරයේ වෙනස්කම් ගත වූ වසර තුළ ඇති වූයේ ද යන්න සමාලෝචනය කිරීම මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් වන්නේ 2024 වසරේ දී කවර ආකාරයක තත්ත්වයකට රටට මුහුණ දීමට සිදු වන්නේ ද යන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එය උපකාර වන බැවිනි. අරගලය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වී මාස 06 කට ආසන්න කාලයක් ගතවෙද්දී 2023 වසර ආරම්භ විය. රට සහ ජන ජීවිතය දැඩි අර්බුදයකට ලක්ව තිබිය දී සහ මහජනතාව විශාල පීඩනයකට ගොදුරුව සිටිය දී 2023 නව වසර උදා විය.
එම අවස්ථාවේ දී ආර්ථික හා දේශපාලන වශයෙන් රටට ඉතා තීරණාත්මක අවදියකට මුහුණ දීමට සිදුව තිබුණි. මූලිකම කරුණ වූයේ ඒ වන විට සහ අදත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් නොතිබීමය. එසේ වුව ද වසර උදාවන විට ද IMF සමඟ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ අවසන් තීන්දුව ලැබී නොතිබුණි. ඒ තුළ ඇතිව තිබු ව්‍යාකූලත්වය හේතුවෙන් දේශපාලන අස්ථාවරත්වයක් ද ගොඩ නැගුණ අතර, ජනතාව මුහුණ දුන් ආර්ථික ගැටලු හේතුවෙන් මහජනතාවගේ සමාජ ජීවිතය හා සම්බන්ධතා කෝවිඩ්වලට පෙර තිබු තත්ත්වයට පත්ව නොතිබුණි. එබැවින් ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙන අයුරින් IMF සමග එකඟතාව තහවුරු කර ගැනීමත්, පාසල්, සේවා ස්ථාන සහ සමාජ සම්බන්ධතා ආදිය පෙර තිබුණු තත්ත්වයට ගෙන එන ජන ජීවිතයේ ගලා යෑමක් ඇති කිරීමත්, ප්‍රමුඛ ප්‍රශ්න බවට පත්ව තිබුණි.
2022 වසර අවසන් වනවිට IMF සමග සාකච්ඡා බොහෝ දුරට නිමව තිබුණ ද මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම සහ විස්තීර්ණ ණය මුදල අනුමත කරවා ගැනීම පිළිබඳව නිශ්චිත තත්ත්වයක් ඇති වී නොතිබුණි. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් ප්‍රකාශ වූයේ ශ්‍රී ලංකාව සහ IMF අතර සාකච්ඡා අසාර්ථක වී ඇති බවත්, ඒ නිසා ණය මුදල ලබා නොදීමට ඉඩ ඇතැයි ප්‍රශ්නාර්ථයත්ය. එවැනි විවේචන සහ අසත්‍ය ප්‍රචාර එසේම පවතිද්දී දෙපාර්ශවය අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන ගියේය. රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන ආකාරය පිළිබඳවත්, ඒ වන විට නවතා දමා තිබු විදේශ ණය ගෙවීම් යළි ආරම්භ කරන ආකාරය පිළිබඳවත්, තමන්ගේ වැඩ පිළිවෙළ පිළිබඳ යෝජනා සකස් කර IMF වෙත ඒවා ඉදිරිපත් කරනු ලැබීය. IMF විසින් ඒවා පිළිගැනීමෙන් පසු 2023 මාර්තු මස 20 වැනිදා දින විස්තීර්ණ ණය මුදල අනුමත කරනු ලැබීය.
ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම ආරම්භ කිරීමටත්, ඒ තුළින් රට තුළ දේශපාලනික සහ සමාජීය ස්ථාවරත්වය ගොඩ නැගීමටත් හැකි වූයේය. එදා එසේ නොවන්නට අද රට කවර තත්ත්වයකට මුහුණ දෙනු ඇත් ද යන්න සිතාගත නොහැකි වනු ඇත. අරගලය මෙන්ම සමාජ දේශපාලන අර්බුදය ඔඩු දුවන තත්ත්වයකට පත්ව අරාබි වසන්තයේ රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමට ඉඩ තිබුණි. අරාබි වසන්තයට මුහුණ දුන් රටවල ඊට පෙර පැවැති දේශපාලන සමාජ ස්ථාවරත්වයත්, ආර්ථික සමෘද්ධියත් නැවත ළඟාකර ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර, ත්‍රස්තවාදය සහ කලින් කලට පිපිරෙන බෝම්බවල ගොදුරු බවට පත්වීමට ඒවාට සිදුව තිබේ.
IMF ගිවිසුම අත්සන් කිරීමෙන් සහ ප්‍රථම වාරිකය ලැබුණු පමණින්ම ආර්ථික ස්ථාවරත්වයත් එකවරම ගොඩ නැගුණේ නැත. කොවිඩ් වලින් පසු දිගටම රටේ ආර්ථික වර්ධනය විශාල පසුබෑමකට ලක්විය. 2019 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 0.2 කින් ද, 2020 දී සියයට 4.6 කින්ද පහළ ගිය අතර 2021 දී පමණක් සියයට 3.5 කින් වර්ධනය විය. 2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මේ දක්වා වාර්තා වූ දරුණුම පහළ වැටීමට මුහුණ දුන්නේය. එම වසරේ ආර්ථිකය සියයට 7.8 කින් පහළ වැටුණි. 2023 වසරේ ද මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුන අතර කාර්තු 06 කින් පසු ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමට හැකි විය. මේ වසරේ තුන්වැනි කාර්තුවේ දී රටේ ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය විය. අඛණ්ඩව පැවති ආර්ථික පසුබෑම වළක්වාගෙන ආර්ථික වර්ධනය ධන මට්ටමකට පත්කර ගැනීමට දැන් හැකිවී තිබේ.
පසුගිය කාලයේ දී ඉන්ධන, ගෑස්, විදුලිය සහ ඖෂධ පිළිබඳ රට තුළ විශාල අර්බුදයක් සහ පෝලිම් ඇතිවීමට බොහෝ දුරට හේතු වූයේ රට තුළ විදේශ විනිමය නැත්තටම නැතිවී යාමය. වරායට පැමිණි ඉන්ධන නැව්වලට ගෙවීම සඳහා ඩොලර් සොයාගත් ආකාරය පසුගිය කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විස්තර කරනු ලැබ තිබුණි. රටේ විවිධ පුද්ගලයන් සහ ආයතන සතුව තිබු ඩොලර් ණයට ගෙන ඉන්ධන නැව්වලට සහ ගෑස් නැව්වලට ගෙවු ආකාරය ඒවායින් හෙළි විය. සංඛ්‍යා දත්ත වලින් ඩොලර් මිලියන 1.2 ක පමණ විදේශ විනිමය සංචිත පවතින බව ප්‍රකාශ වුවද ඒවා ගනු දෙනු සඳහා ගෙවිය හැකි වත්කම් නොවීය.
එසේ වුවද සංචිත බිංදුවේ පැවතියේ යැයි ප්‍රකාශ කළ හැකි තත්ත්වයක සිට රජය සහ මහ බැංකුව රටේ සංචිත ගොඩ නැගීම සඳහා කටයුතු කළේය. 2023 නොවැම්බර් මාසය අවසන් වන විට රටේ සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 3.8 ක් වූ අතර, මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 4 දක්වා රටේ සංචිත ප්‍රමාණය ඉහළ යනු ඇත. මේ වසරේ මුලදී ඩොලර් බිංදුවට බැස තිබු සංචිත ප්‍රමාණයක සිට වසර අවසන් වන විට ඩොලර් බිලියන 4 දක්වාත්, ඒවා ඉහළ නංවා ගැනීම හැඳින්විය හැක්කේ ආර්ශචර්යක් වශයෙන් නොවේ ද?
වසර එකහමාරකට පසු රටේ ආර්ථික වර්ධන වේගය ධන මට්ටමකට පත්කර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ පසු බැස්මකට ලක්ව තිබු ආර්ථික අංශ යථා තත්ත්වයට පත් කිරීමට රජය විසින් කටයුතු කර තිබීම හේතුවෙනි. උදා. සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සහ මේ වසරේ දී අත්කරගෙන තිබෙන ප්‍රගතිය දැක්විය හැකිය. පාස්කු ප්‍රහාරය, කොව්ඩ් වසංගතය සහ අරගලය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය විශාල පසු බැස්මකට ලක්විය. එහෙත් 2022 වර්ෂයේ දෙවැනි භාගයේ සිට සංචාරක පැමිණීම වර්ධනය වන්නට පටන් ගත් අතර, එම වසරේ මුළු සංචාරක පැමිණීම 719,978 ක් විය. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ සංචාරකයන් 11,25,855 ක් පැමිණ තිබේ. 2022 වසරේ දී සංචාරක ආදායම ඩොලර් මිලියන 1136 ක් වූ අතර, 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා පමණක් එම ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1593 ක් රටට ලැබී තිබේ.
2024 වසරේ සිට නවතා දමා තිබු සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් නැවත ආරම්භ කිරීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය සඳහා බෙහෙවින් ආධාර වූ එක් සංවර්ධන යෝජනා ක්‍රමයක් වූයේ විමධ්‍යගත අයවැය ක්‍රමයයි. එසේ වුව ද අරමුදල් හිඟය හේතුවෙන් පසුගිය වසර 03 තුළ විමධ්‍යගත අයවැය සඳහා අරමුදල් වෙන් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී තිබුණි. එහෙත් 2024 වසරේ සිට විමධ්‍යගත අයවැය ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන්කර ඇති අතර, ඒ සඳහා සලසා ඇති ප්‍රතිපාදනවල මුළු වටිනාකම රුපියල් මිලියන 11,250 ක් වේ. මේ ආකාරයටම නැවතී තිබු යටිතල පහසුකම් ව්‍යාපෘති සහ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.
මේ සියල්ල ගොඩ නැගීමට 2023 වසර තුළ හැකි වූ අතර සාර්ව ආර්ථික කළමනාකරණය ඉතා හොඳ මට්ටමකින් ක්‍රියාත්මක කිරීම නිසා එම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි විය. උද්ධමන අනුපාතය සියයට 70 ට වඩා ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව උද්ධමන අනුපාතය වැඩිම රටවල් අතරට එකතු වී ලෝක වාර්තාවකට පවා ඇතුළත් වූ නමුත්, 2023 ඔක්තෝම්බර් මාසය වන විට උද්ධමන අනුපාතය සියයට 2.8 දක්වා පහළ මට්ටමකට ගෙන ඒමට හැකි වී තිබේ. ණය සහ ඉතුරුම් පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවු නමුත්, අද වන විට ඒවා අඩකින් පමණ අඩු කිරීමට හැකි වී ඇත.
2023 වසරේ දී ආර්ථික කටයුතු සහ පාරදෘෂ්‍යභාවය පිළිබඳ ඉතා වැදගත් පනත් 03 ක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගැනීමට හැකි වීම ද හැඳින්විය හැක්කේ රටේ ඉදිරි ගමන පිළිබඳ ඉතා දියුණු පියවරක් වශයෙනි. මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, මහ බැංකුව ස්වාධීන බවට පත් කිරීමේ පනත සහ දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. දැන් රජයට අවශ්‍ය පරිදි මුදල් අච්චු ගැසීමට හෝ ණය ලබා ගැනීමට ඇති හැකියාව සීමාකර තිබේ.
ඉතා කෙටි කලක් තුළ දී ඉතා ඉහළ ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම නිසා රට තුළ දේශපාලන සහ සමාජ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට ද හැකිවී තිබේ. එසේ වුවද, මෙම ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ සමහර කොටස්වලට මූල්‍යමය වශයෙන් දැඩි පීඩනයකට ගොදුරුවීමට ද සිදුව ඇති බව අප අමතක කළ යුතු නැත. භාණ්ඩ මිල ඉහළ යෑම, විදුලි බිල වැඩිවීම, ඉන්ධන මිල ඉහළ යෑම වැනි හේතු නිසාද ඉහළ ආදායම් ලබන කොටස්වලට බලපාන බදු ක්‍රම හේතුවෙන් ද 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සියයට 3 ක වැට් බදු වැඩි කිරීම ආදිය හේතුවෙන් ද එවැනි පීඩනයක් ඇතිව තිබේ. රජයේ වැටුප් රු.10,000 කින් වැඩි කිරීම, සමෘද්ධි සහනාධාර වැඩි කිරීම, ආබාධිත සහ රෝගි දීමනා වැඩි කිරීම සහ විශ්‍රාම වැටුප් වැඩි කිරීම ආදිය මගින් මෙම පීඩනයේ බලපෑම සැලකිය යුතු මට්ටමකින් අඩුවනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ආර්ථික ශක්තිය වැඩිවන විට මෙම පීඩනය අඩු කිරීම සඳහා කටයුතු කළ හැකි බවය. රජයේ ආර්ථික ප්‍රතිපත්ති සාර්ථකවීම නිසා ඩොලර් මිලියන 333 ක IMF දෙවැනි වාරිකය ලැබුණ අතර, ඉන්පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 750 ක අමතර ණය මුදලක් ද ලැබීමට නියමිතය.
ඒවා ලැබීම, ආර්ථික වර්ධනය ඉහළ යෑම සහ රටට ආයෝජන ගලා ඒම ආදී තත්ත්වය තුළ බඩු මිල අඩුවීම සහ බදු අඩුවීම වැනි සුබදායක ප්‍රතිඵල භුක්ති විඳීමට මහජනතාවට අවස්ථාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. සුබ නව වසරක් වේවා..!
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එදවස මෙදවස වෙනස
Deepal Nirosh Thursday, 28 December 2023 11:11 AM
සුපුරුදු පරිදි ණය ගැනීම් හා ලැබීම් වර්ණනා කරනවා... ණය ලැබීමෙන් තාවකාලික ස්ථාවරත්වයක් හා ආශ්වාදයක් ලැබෙන බව ඇත්ත. ඒත් මේ ගනුලබන ණය ගෙවන්නේ කොහොමද කියලා බලධාරියෝත් මේ ලියුම්කරුත් හා හූවක් නැහැ. උද්ධමනය තනි ඉලක්කමකට ආවා කිව්වාට භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නම් විරාමයකින් තොරව සිදුවෙනවා. 2024 මුලසිට එකතු කළ අගය මත බදු පැනවුණාට පස්සේ මේ කියන ආශ්චර්යය හොඳින් දැකබලාගන්න පුළුවන්...!
fairoos Thursday, 28 December 2023 03:40 PM
මේ වගේ උගත්, බුද්ධිමතුන් කියන අය දේශපාලකයින්ට කඩේ යන එක තමයි පුදුමය.
වන්නකු Saturday, 30 December 2023 07:24 PM
31දා රෑ වෙඩි පත්තුකර මුදල් නාස්ති කරන පුරවැසියන්ගේ නැණස පෑදේවා...!