IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


එදා-මෙදා වී-සහල් සටන

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.8කි. එයින් අදහස් වන්නේ අඩුම තරමින් රටේ ජන සංඛ්‍යාවෙන් හැත්තෑ දෙලක්ෂයක්  පමණ පිරිසක් වි වගාව මත පදනම්ව ජීවිත පවත්වාගෙන යන බවකි.

රටේ ජන සංඛ්‍යාවෙන් එක් පුද්ගලයකු වසරකට පරිභෝජනය කරන සහල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 107කි. ඒ තරමටම රටේ ජනතාවගේ පරිභෝජනය හා සම්බන්ධව සහල් ඉතා වැදගත් තැනක් ගනු ලබන්නේ එය රටේ ප්‍රධාන ආහාරය වන බැවිනි. වී මිල ඉහල යෑම හැත්තෑ දෙලක්ෂයක්  වන ගොවියන්ගේ සතුටට හේතුවනු ඇත. සහල් මිල පහළ යෑම රටේ බහුතරයක් පාරිභෝගික ජනතාවගේ සතුටට හේතුවනු ඇත. මෙම කොටස් දෙකටම හානියක් නොවන පරිදි සහල් මිල පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලුවට රජය මුහුණ දී සිටින අතර ඒ සම්බන්ධයෙන් මේ දිනවල අනුගමනය කරන විවිධ ක්‍රියාමාර්ග නිසාම එය අද වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ.

එසේම රටේ ප්‍රධාන ජනමාධ්‍යවලට ද, සමාජ මාධ්‍යවලට ද එම ගැටලුව නිසා සටන උපහාසය දනවන අයුරින් වාර්තා කිරීම සඳහා අවස්ථාව සලසා ගෙන ඇත. සංවාද විසංවාද, සත්‍ය අසත්‍ය, චෝදනා අපවාද, තර්ජන ගර්ජන ආදි සියල්ල ඇතුළත් වන සේ පුවත් මැවෙන අතර සමහර අවස්ථාවල හාස්‍ය මුසු රසයක් විඳ ගැනීමට ද මහජනතාවට අවස්ථාවක් සැලසී තිබේ. කෙසේ වුවද මෙම ප්‍රශ්නය පිළිබඳව වඩාත් සැළකිල්ලෙන් අවධානය යොමුකළ යුතු වන්නේ රටේ ගොවි ජනතාවගේ ජීවන මට්ටම සහ දේශීය කෘෂිකාර්මික අංශය ආරක්ෂා කර ගන්නා අතරම පාරිභෝගික ජනතාවට ද හානියක් නොවන අයුරින් සහල් වෙළෙඳපොළ පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් වන බැවිනි.

රටේ මිල මට්ටම්, ජනතාවගේ ජීවන මට්ටම, රටේ ජාතික නිෂ්පාදිතය සහ රටේ සේවා නියුක්තිය ආදී සියලුම අංශ සමග මෙම ගැටලුව බැඳී පවතී. එබැවින් විවිධ කරුණු මුල් කරගෙන එකිනෙකාට දෝෂාරෝපණය කරන හෝ ඇන කොටා ගන්නා තත්වයක් ඇති කරගන්නවාට වඩා මෙම ජාතික ගැටලුවට සාධනීය ලෙස විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුව ඇත.

විවිධ දේශපාලන පක්ෂ, ගොවි සංවිධාන, පාරිභෝගික සංවිධාන, සහල් නිෂ්පාදන සහ බෙදාහැරීමේ සංගම් ගැටලුවේ මූලය පිළිබඳව විවිධාකාරයේ අදහස් දක්වන බව පෙනේ. උදාහරණයක් ලෙස ජාතික ජනබලවේගය පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණවලින් අතිවිශාල ජනවරමක් ලබා බලයට පත්විය. එවැනි ඉහළ ජනවරමක් ලැබීමට එක හේතුවක් වූයේ ගොවියන්ගේ ප්‍රශ්නය විසඳන බවට ද සහල් මාෆියාව මර්දනය කරන බවට ද පාරිභෝගිකයන්ට අඩු මිලට සහල් ලබාදෙන බවට ද ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරවීමය. කෙසේ වුවද ඇතිකර ගන්නා නිගමන ඒ මත කෙරෙන ප්‍රකාශන සහ පොරොන්දු ආදිය යථාර්ථයක් බවට පත්වීමට නම් මහපොළොව හා බැඳුණු කරුණු පදනම් කරගෙන ඒවා ගොඩ නැගිය යුතුය. ජාතික ජනබලවේගයේ විවිධ නායකයන් විසින් කරන ලද ප්‍රකාශ අතරින් එක සහල් ඇටයක්වත් පිටරටින් නොගෙන්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුන් පොරොන්දුව ගොවි ජනතාවගේ සිත් තුළට කාවැදී ඇතැයි සිතමි.

එසේ වුවද රජය භාරගෙන මාස 03ක් යෑමටත් පෙර එම භාවතිශය පොරොන්දුව බිඳ දමා සහල් ආනයනය කිරීමට සිදුව ඇත. කෙසේ වුවද සහල් හිඟය මගහරවා ගැනීමට ගත් එම පියවර නිසා සිදුවීමට ඉඩ තිබූ මහා විනාශයක් වලක්වා ගැනීමට රජය විසින් ආනයනය කරන ලද සහල් මිල සම්බන්ධයෙන් ගත් තීරණය හේතු වු බව පෙන්වා දිය යුතුව ඇත. ආනයනික සහල්වලට කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 65/ක බද්දක් පනවා දේශීය සහල්වලට සමාන මිලක් ඒවාට නියම කිරීම හේතුවෙන් දේශීය සහල් මිල පහත වැටී ගොවියා අසරණ තත්වයකට පත්වීම වළක්වා ගත හැකිවිය. රටේ සහල් හිඟය පිළිබඳ ප්‍රශ්නයට ඉන් තරමක හෝ විසඳුමක් ලැබුණි.

රජය පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී පැවැති මිල රු.10 කින් ඉහළ දමා නව පාලන මිලක් නියම කිරීමට එකඟ විය. ජනාධිපතිවරයා මේසයට ගසා එවැනි තීරණයක් ප්‍රකාශ කළ බවට පළවූ වාර්තාවලින් මහජනතාවට කිසියම් වින්දනයක් අත්වූයේ යැයි සිතමි. ඒ ආකාරයට ක්‍රියාකර එම සාකච්ඡාවෙන් සහල් නිෂ්පාදකයන්ට රු. 10 ක මිල වැඩිවීමක් ලබාදුන් බව සමහරුන්ගේ අදහස විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වු පසු සැප්තැම්බර් 24 වෙනි දින පිටකොටුවේ සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රු. 245ක්ද, නාඩු මිල රු.200ක්ද, සුදු කැකුළු මිල රු. 210ක්ද, රතු කැකුළු රු. 210ක්ද, පොන්නි සම්බා රු. 300ක්ද විය.

පෙබරවාරි 07 වෙනි දින එම වෙළෙඳ පොළේ සම්බා සහල් කිලෝවක සියල්ලර මිල රු. 260ක්ද, නාඩු කිලෝවක සිල්ලර මිල රු. 250ක්ද, සුදු කැකුළු රු. 230ක්ද, රතු කැකුළු 230ක්ද, පොන්නි සම්බා 240ක්ද විය. සැප්තැම්බර් 24 වෙනිදා වන විට ආනයනය කරන ලද නාඩු සහල් සහ රතුකැකුළු නොතිබුණද පෙබරවාරි 07 වෙනිදා ආනයනය කරන ලද නාඩු කිලෝවක් රු.230කටද, සුදු කැකුළු කිලෝවක් රු. 220කටද, සිල්ලර වෙළෙඳ පොළේ අලෙවි විය. එසේ වුවද රතු කැකුළු එම වෙළෙඳපොළේ දක්නට නොලැබුණු අතර දඹුල්ල සහ නාරාහේන්පිට වෙළෙඳ පොළවලද  දක්නට නොලැබුණි. දිගු කලක් තිස්සේ වෙළෙදපොළේ රතු කැකුළු දක්නට නොලැබුණද මේ වනවිට සමහර තැන්වල ආනයනය කරන ලද රතුකැකුළු දක්නට ලැබේ.

රජය සහල් වෙළෙඳපොළ ‌‌‌ගොවියාට වාසිවන  අයුරින් හැසිරවීමට බලාපොරොත්තු වූයේ රජය මගින් සහතික මිළක් ප්‍රකාශයට පත් කිරීමෙන් සහ රජය විසින් වී මිලදී ගැනීම මගිනි. පසුගිය රජය විසින් ගොවියන්ගෙන් වී ඇටයක්වත් මිලදීගෙන නැතැයි ප්‍රකාශ කරමින් රජයේ වී ගබඩා ප්‍රතිසංස්කරණය කරමින් වී මිලදී ගැනීමට සූදානම් විය. මේ කන්නය ආරම්භයේදී පෞද්ගලික වී මිලදී ගන්නෝ වී කිලෝවක් රු. 150ක් වැනි මිලකට මිලදී ගැනීමට පටන් ගත්හ. තෙත වී පවා ඉහළ මිලකට ඔවුන් විසින් මිලදී ගනු ලැබීය. එසේ වුවද සමහර ප්‍රදේශවල රු. 80, 90 වැනි අඩු මිලකට පෞද්ගලික වෙළෙඳුන් විසින් වී මිලදී ගන්නා බවට ප්‍රකාශ විය. මුල් අවස්ථාවේදී රජය සහතික මිලක් ප්‍රකාශයට පත්කළේ හෝ රජය මිලදී ගැනීම ආරම්භ කළේ නැත.

දින කීපයකට පෙර රජය විසින් සම්බා කිලොවක්  රු. 125 ක්, නාඩු කිලෝවක් රු. 120 ක් සහ කීරිසම්බා රු. 132 ක් ලෙස සහතික මිල ප්‍රකාශයට පත්කළ අතර රජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සූදානම් වූයේය. රටේ ප්‍රධාන සහල් නිෂ්පාදකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා එම සහතික මිල සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ඒ යටතේ රජය පනවා ඇති පාලන මිලට සහල් ලබාදීමට නොහැකි වන බවය.

එබැවින් අනාගතයේදී සහල් මිල ඉහළ යෑමට ඉඩ ඇතැයි ප්‍රකාශ විය. පෞද්ගලික වෙළෙඳුන් රජයේ සහතික මිලට වඩා රු. 5 ක් වැඩිකර සහල් මිලදී ගැනීම ආරම්භ කළේය. තෙත වී ගැනීමට රජයට හැකියාවක් නැතැයි ප්‍රකාශ කළද පෞද්ගලික වෙළෙන්දෝ පෙර පරිදිම තෙත වී මිලට ගත්හ. කෙසේ වුවද සමහර ප්‍රදේශවල ගොවියන් ප්‍රකාශ කළේ රජයේ සහතික මිල ප්‍රමාණවත් නොවන බවත් එම මිලට වී ඇටයක් හෝ රජයට අලෙවි නොකරන බවත්ය. රජයට තවමත් වී ඇටයක් හෝ මිලදී ගැනීමට නොහැකි වී ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. යථාර්ථය වන්නේ පෙර රජය වී ඇටයක්වත් මිලදී නොගත්තා සේම මේ රජයට ද වී ඇටයක් හෝ මිලදී ගැනීමට නොහැකි වන තත්වයක් උද්ගතව ඇති බවයි.

මේ අතරම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය  ප්‍රකාශ කර තිබුණේ මහා පරිමාණ නිෂ්පාදකයන් නිෂ්පාදන පිරිවැය පිළිබඳ ප්‍රකාශ කරන්නේ අසත්‍ය කරුණු බවත් සහතික මිල යටතේ පාලන මිලට සහල් ලබාදිය හැකි ආකාරයට ඒවා නිෂ්පාදනය කළ හැකි බවත් ය. ඔවුහු නුදුරේදීම අඩු මිලක් යටතේ සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවද කීහ. මේ අතර ගොවි නායකයකු වන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ගොවියන්ගේ නිෂ්පාදන පිරිවැය රු.150කට වැඩි බවත් රජයේ සහතික මිල මීට ‍වඩා වැඩිවිය යුතු බවටත් පසුගිය රජය කාලයේ කළ ප්‍රකාශයක වීඩියෝව ද සමාජ මාධ්‍ය ජාලාවල ඉතා වේගයෙන් සංසරණය වන්නක් බවට පත්ව තිබේ. ඒ අතරම ලාල්කාන්ත ඇමතිවරයා ගොවියන්ට පොහොර සහනාධාර ලබාදී ජලය ලබාදී විවිධාකාරයේ පහසුකම් සැලසුවත් ගොවියන් ඒ ගැන කල්පනා නොකර පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කරන බවත් එබැවින් එම පහසුකම් ද ඉදිරියේදී ඩඩ්ලිලාගෙන්ම ලබාගත යුතු බවත් ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.

රජයට වී ඇටයක්වත් අලෙවි නොකරන බවට වාගාඩම්බර දෙඩුවත් වෙළෙඳපොළ හැම කන්නයකදීම සිදුවන ආකාරයට මේ කන්නයේදීත් වෙනස් විය හැකි බවද අමතක කළ යුතු නැත. වී තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට එන විට පෞද්ගලික වෙළෙන්දෝ කුණු කොල්ලයට වී මිලදී ගැනීමට කටයුතු කරනු ඇත. එම අවස්ථාවේදී සහතික මිලක් පැවතීම හෝ රජය වී මිලදී ගැනීමෙන් එම මිල පහළ වැටීම වළක්වා ගැනීමට නොහැකි වනු ඇත. එබැවින් රජය මෙන්ම ‌ගොවි ජනතාවද ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත.

වී  මිලදී ගැනීම, විකිණීම, ගොවියා ආරක්ෂා කිරීම, පාරිභෝගිකයාට සහන සැලසීම ආදිය පිළිබඳ විවිධ ප්‍රකාශ ඒ ඒ කන්නවල ගොයම් කැපෙන විටත් වෙළෙඳපොළේ සහල් හිඟවන විටත් අසන්නට ලැබෙන සාමාන්‍ය තත්වයකි. වී මිල අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ ඒ ඒ අවස්ථාවල එකිනෙකා සමග සටන් වැදීමෙන් නොව ඉල්ලු‍ම් සහ සැපයුම් තත්වයන් අවබෝධ කර ගැනීම, ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති යටතේ සහල් සංචිත ඇතිකර ගැනීමට කටයුතු කිරීම, ගොවියන් සඳහා ගබඩා පහසුකම් ප්‍රවර්ධනය සහ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේය. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන තාක් හැම කන්නයක් අවසානයේදීම මෙම සටන ඇවිළෙනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

එදා-මෙදා වී-සහල් සටන

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 63 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


එදා-මෙදා වී-සහල් සටන
2025 පෙබරවාරි මස 12 22 0

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො


එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල
2025 පෙබරවාරි මස 11 1196 1

ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර


අධ්‍යාපන ගමන් මග කොතැනටද?
2025 පෙබරවාරි මස 11 115 1

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා


කොළොම්තොට අසිරිමත් කලා මංගල්‍යය නවම් මහා පෙරහර
2025 පෙබරවාරි මස 10 188 0

කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 47 වැනි වරට (11-12) හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


පොල් අර්බුදයට විසඳුම ආනයනයද?
2025 පෙබරවාරි මස 10 169 0

පොල් යනු ඉතිහාසයේ සිට ලාංකිකයන්ගේ දෛනික කටයුතු හා බැදුණකි. එනම් සුබ කටයුත්කදී පොල් කිරි යොදා සකසන කිරිබත නැතිවම බැරිය, දෙවියන් පිදීමේදී වුවත් පොල් ගෙඩ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site