1978 වසර මැද මම, මහා මාරුත හා කුණාටු හමාගිය සමාජ දේශපාලන වාතාවරණය මධ්‍යයේ කුරුණෑගල බලා ගියෙමි. කුරුණෑගල සිටි දේශපාලනඥයන් හමුවේ මුහුණ පෑ ගැටුම් හා සසඳා බැලූවිට කැලණියේ සිදුවූ දෑ ගණන් ගත යුතු නැති තරම් නොවැදගත්ය.
පොලිසියේ අනුකූලතාවලින් ද උපකාර ලැබ ඇතැම් දේශපාලනඥයන් නිරන්තරයෙන් සිදුකළ අජූව ඇඟිලි ගැසීම් දැඩි ලෙස එම ප්‍රදේශයේ මුල් බැසගෙන තිබිණි. කුරුණෑගල කොට්ඨාසය මැතිවරණ කොට්ඨාස 14කින් සමන්විත විය. කුරුණෑගල ඩී.බී. වෙළගෙදර, හිරියාල එස්.බී. හේරත්, බිංගිරියේ සිරිසේන, අලවතුවල, වන්නිනායක සහ පන්නල ජයවික්‍රම පෙරේරා සමග එකිනෙකාට බලපාන කටයුතුවල යෙදීමේදී මට කිසිදු අපහසුතාවක් නොදැනිණි.
පඬුවස්නුවර එම්.පී. රත්නායක, මාවතගම ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, යාපහුවේ අබේරත්න, කුලියාපිටියේ ඩී.එම්. ජයතිලක සහ පොල්ගහවෙල රන්ජන් ජයකොඩි සමග කටයුතු කිරීම අසීරු වූයේ, ඔවුන්ගේ පදයට පොලිසිය නටාවි යයි ඔවුන් බලාපොරොත්තු වූ බැවිනි. මා යටතේ කටයුතු කළ පොලිස් අධිකාරිවරුන් වූයේ කුරුණෑගල ඩඩ්ලි වොන්හාට් සහ බෝයගොඩ, කුලියාපිටියේ ස.පො. අධිකාරී බක්ලි සිල්වා සහ පසු කාලයක මහව බලප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති බවට පත්වූ සහකාර පොලිස් අධිකාරී එච්.ඒ. වික්‍රමරත්නයි.
1978 දී ජනාධිපති ජයවර්ධන හමුවීම
රාජකාරි භාරගෙන වැඩිකල් යන්නට මත්තෙන් බිංගිරිය පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිසේන නිෂ්පාදනය කළ නාට්‍යයක් නරඹන්නට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කුරුණෑගල නගර සභා ශාලාවට පැමිණියේය. නගර ශාලාවට යනතුරු රැඳී සිටින්නට ඔහු කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. වෙලගෙදර මහතාගේ නිවසට ආයේය. මා එම නිවස පරිශ්‍රයේ රැඳී සිටියේ ජනාධිපතිවරයාට නොපෙනෙන මානයේය.
කුරුණෑගල දක්වා රථය පැදයන අතරතුර ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරී, සහකාර පොලිස් අධිකාරී කැමිලස් අබේගුණවර්ධන, ජනාධිපතිවරයා මා ගැන විමසූ බව මට කියා සිටියේය. මගේ පසුබිම පිළිබඳවත් කැලණිය සහ කුරුණෑගල මා රාජකාරියේ නියැළෙද්දී මා දේශපාලන වශයෙන් පක්‍ෂපාතීව ක්‍රියා කරන බවට මට එල්ල වී ඇති චෝදනා පිළිබඳවත් එහිදී ජනාධිපතිවරයා විමසූ බව ඔහු කීවේය. එම චෝදනා, සහකාර පොලිස් අධිකාරිවරයා එකෙනෙහිම ප්‍රතික්ෂේප කළ බව මම තහවුරුකොට දැනගත්තෙමි.
මා මගේ රාජකාරි කටයුතු නිසි පරිදි කිරීම හැර වෙන අන් දෙයක් නොකරන බව ඔහු කියා තිබිණි. ටික වේලාවකට පසු ජනාධිපතිතුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිටින්නට ඩී.බී. වෙලගෙදර නගර ශාලාව වෙත නික්ම ගියේය. ඉන්පසු එම නිවසේ මෙහෙකරුවෙක්, ජනාධිපතිවරයා මා හා කතා කරන්නට කැමැත්තෙන් පසුවන බව මා හට දැන්වූයේය. මම නිවසට පිවිසියෙමි. සාලයේ ජනාධිපතිවරයා තනිව හිඳගෙන ඉන්නා බව මම දුටුවෙමි.
මා ඔහුට සැලියුට් කරමින් සුබපතන විට, ඔහු මට ඉඳගන්නට යයි කීවේය. කාලය නාස්ති නොකළ ජනාධිපතිවරයා මගෙන් මෙසේ ඇසුවේය.
“දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවද?”
මම “ඔව් උතුමාණෙනි” යයි කීවෙමි.
එවර ඔහු මගෙන් වැඩි විස්තර විමසා සිටියේය. එවර ඇතැම් මන්ත්‍රීවරුන් මා සමග තිබූ සියලු ගැටුම් ඔහුට නොවලහා කීවෙමි. මා කී දේ ජනාධිපතිවරයාගේ සිත්ගත් සෙයක් පෙනුණේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය.
“ඒ අයට ඇඟිලි ගැසීම්වලට ඉඩ දෙන්න එපා. ඒ අය නැවත එහෙම කළොත් ඒවා මට වාර්තා කරන්න.” ඔහු මා දිරිමත් කළේ අවංකවම බව මට පෙනුණි.
පසු කලෙක යාපහුව පාර්ලිමේන්තු මන්ත්‍රී අබේරත්න පිළිබඳව පොලිස්පතිවරයා මගින් මම ඔහු වෙත වාර්තා කරන්නට එඩිතර වූයේ එදා ජනාධිපතිතුමා ඇසුරින් එකී අත්දැකීම ලැබූ නිසාය. එම සිද්ධිය කූඨප්‍රාප්තියට පත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහව පොලිසියේ සමස්ත කාර්ය මණ්ඩලය ඉදිරියේ සමාව ඉල්ලා සිටීමෙනි.
පඬුවස්නුවර මන්ත්‍රීවරයා සමග ගැටුම
කොට්ඨාසයේ වැඩ භාරගෙන වැඩිකල් යන්නට මත්තෙන් පඬුවස්නුවර පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නායක නිසා අසීරුතාවට පත් වන්නට මට සිදුවිය.
කුරුණෑගල සේවයකොට විශ්‍රාම ලැබූ මගේ පූර්වගාමී වූ ටී.බී. තල්වත්ත, සමස්ත පඬුවස්නුවර මැතිවරණ බල ප්‍රදේශයේ පොලිස් රාජකාරි, හෙට්ටිපොල පොලිස් ස්ථානයේ නීතිමය බලප්‍රදේශය යටතට ගන්නා ලෙස මන්ත්‍රීවරයා කර ඇති ඉල්ලීම නිර්දේශකොට පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමට එකඟ වී තිබිණි. ඊට අදාළ ලිපිගොනුව මා වෙත පැමිණි පසු මම ඉතා සුපරික්ෂාවෙන් අධ්‍යයනය කළෙමි. මන්ත්‍රීවරයා සිතන පදනම යටතේ එම යෝජනා නිර්දේශ කළ නොහැකි බව මා සැලකිල්ලට ගත්තේ දිවයිනේ මැතිවරණ කොට්ඨාස 160 ට තිබිය හැක්කේ පොලිස් ස්ථාන 160 ක් පමණක් බැවිනි. පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසය එවකට පොලිස් ස්ථාන 4කින් ආවරණය වූයේය.
එවැනි විශාල ප්‍රදේශයක් තනි පොලිස් ස්ථානයක් යටතේ පවත්වා ගැනීම කළ නොහැකි වූවකි. ඇත්ත වශයෙන්ම වාස්තවික පදනමෙන් බැලුවත් පොලිස් ස්ථාන 4ක් පවා මුළු පඬුවස්නුවර ප්‍රදේශය තුළ කාර්යක්ෂම පොලිස් සේවාවක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නුවූයේය. එම නිසා මම, එම යෝජනාවලට එකඟ විය නොහැකි බව පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ආර්. සුන්දරලිංගම් වෙත වාර්තා කළෙමි.
ඔහු මගේ නිර්දේශය අනුමත කොට අදාළ ලේඛන ආපසු හරවා යැව්වේය. තමාගේ යෝජනා ඵල නොදැරූ බව මන්ත්‍රීවරයා දැනගෙන තිබිණි. මා ඔහුට මෙම පුවත කීමට දුරකථන ඇමතුමක් දුන්විට ඔහු මට නොහික්මුණු වදන් දෙඩුවේය. එහෙත් ඔහුගේ යෝජනා සම්බන්ධයෙන් උපකාර කරන්නට මම එකඟ නොවූයෙමි.
මා කුරුණෑගලින් පිටතට මාරුවී යන්නට පෙර එහි වසරක කාලයක් සේවයේ යෙදී සිටියෙමි. එම කාලය පුරාම මා සහ මන්ත්‍රීවරයා අතරේ පැවතියේ අතිශය සීතල නොහොඳ සම්බන්ධතාවකි. ඔහුගේ යෝජනා ඉදිරියේ දැඩිව හිඳිමින් විචක්ෂණශීලීව ඒවා පිළිබඳ විමර්ශනය කර බැලීමේදී මට දැනගන්නට ලැබුණ තොරතුරුවලින් වැටහී ගියේ හෙට්ටිපොළ ස්ථාන භාර නිලධාරිවරයා නැමෙනසුළු වර්ගයේ අයකු බවයි. එම නිසා මන්ත්‍රීවරයාට මුළු පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසයම පාලනය කිරීමට අවශ්‍ය වී තිබිණි. එසේ කළ විට දිස්ත්‍රික්කය තුළ සිටි තමන්ගේ සියලු දේශපාලන විරුද්ධවාදීන් අසීරුවට පත් කරන්නට ඔහුට එම තත්ත්වය උපයෝගී කරගත හැකිවූයේය.
යාපහුව මන්ත්‍රී අබේරත්න සමග ගැටුම
ඊට ටික කලකට පසුව යාපහුව පාර්ලමේන්තු මන්ත්‍රී අබේරත්න මහතා හමුවේ මට අපහසුතා විඳින්නට සිදුවිය. සුපුරුදු පරිදි ඔහු කළේ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් අමතා ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කිරීමයි.
තමන්ට දැනුණු සිත්වේදනා දුරු කරගන්නට සමහර නිලධාරීහු එවැනි අවස්ථා පිළිබඳව පොලිස් ස්ථානවලට පැමිණිලි කළහ. ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරයාගේ අවමානයට ලක්ව පීඩාවට පත්වුණු පොලිස් නිලධාරීන් විසින් කරන ලද පැමිණිලිවල උධෘත පිටපත් ගෙන්වාගත් මම, මන්ත්‍රීවරයාගේ සීමාව ඉක්මවාගිය ක්‍රියාකලාපය හෙළිදරව් කෙරෙන විස්තර සහිත වාර්තාවක් සකසා එය පොලිස්පති ආනා සෙනෙවිරත්න වෙත යැවීමි. එම වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස ද මම ඉල්ලා සිටියෙමි.
තමාගේම ආරංචි මාර්ග හරහා ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන වාර්තාවක් මා පොලිස්පතිවරයාට යැවූ බව අබේරත්න මන්ත්‍රීවරයා දැන ගත්තේය.
වැඩිකල් නොගොස් එක් දිනක උදෑසන මා වෙත දුරකථන ඇමතුමක් දුන් පොලිස්පතිවරයා කොළඹ පිහිටි කාර්යාලයේදී ඔහු හමුවන ලෙස දන්වා සිටියේය. මන්ත්‍රීවරයා ද එහි පැමිණෙන බවත් ඔහු පොලිසියේ සිත් රිදවා ඇත්නම් ඊට සමාව ඉල්ලන්නට ද ඔහු සූදානම් බවත් හෙතෙම මට තවදුරටත් දැනුම් දුන්නේය. එසැණින්ම පොලිස් මූලස්ථානයෙන් නික්ම ගිය මම, පොලිස්පතිතුමාගේ කාර්යාලයට පිවිසෙන් විටත්, මන්ත්‍රීවරයා එහි පැමිණ සිටින බව දැනගත්තෙමි.
තමා මහව පොලිස් ස්ථානයේ, පොලිස් නිලධාරීන්ගෙන් සමාව ඉල්ලන්නට සූදානම් වග මන්ත්‍රීවරයා කියා සිටියේය. අනාගතයේදී ඔවුනට කරදර නොකරන බව ඔහු කීවේය. මන්ත්‍රීවරයාගේ කියමන පිළිගන්නා ලෙස පොලිස්පතිවරයා මට කීවේය. ඊළඟ දිනයේ උදෑසන 8.00 වනවිට මන්ත්‍රීවරයාගේ නිවසින් ඔහු වාහනයට නංවා ගන්නට මම පොරොන්දු වූයෙමි.
ඉන්පසු සංඛ්‍යාවෙන් පනහකට වැඩි මහව ස්ථානයේ පොලිස් නිලධාරී පිරිස එම වේලාවට, මන්ත්‍රීවරයාට ඇමතිය හැකි ආකාරයෙන් රැස්වීමට කැඳවන ලෙස සහකාර පොලිස් අධිකාරී වික්‍රමරත්නට නියම කළෙමි. මම ඊළඟ දිනයේ උදයේ මන්ත්‍රීවරයා මගේ රථයට නංවා ගත්තෙමි. අපි දෙදෙනා එක්ව පොලිස් ස්ථානය වෙත පැමිණියෙමු.
පළමුවෙන්ම පොලිස් නිලධාරීන් ඇමතූ මම, විනයානුකූල කටයුතු සම්බන්ධයෙන් මා දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කරන අතරතුර ඔවුන් වෙත එල්ල කරන අපහාසවලින් ඔවුන් ආරක්ෂා කරන බව කියා සිටියෙමි. මන්ත්‍රීවරයා පැමිණ සිටින්නේ හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන්නට බවත් කරුණාවෙන් යුතුව ඔහු වෙත සමාව භජනය කරන ලෙසත් මම තවදුරටත් කීවෙමි.
එවර තම පුටුවෙන් නැගී සිටි මන්ත්‍රීවරයා “නිලධාරිවරුනි, මගේ අතින් වරදක් වුණා නම්, මම අවංකම, නිහතමානීව සමාව ඉල්ලනවා.” කීවේය.
පොලිස් නිලධාරීහු අත්පොළොසන් නඟා ඊට සතුට පළ කළහ. ඔවුන්ගෙන් එක් අයෙක් තම ආසනයෙන් නැගිට, සමාව ඉල්ලීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට ස්තූතිය පළ කළේය. ඉන්පසු මන්ත්‍රීවරයා කැටුව ඉවත ගිය මම ඔහුව, ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇරලූයෙමි.
මහත් අස්වැසිල්ලක් ලැබූ මහව පොලිසියේ නිලධාරීහු විසිර ගොස්, තානායමේ එක්රැස් වී සිත් සේ තටුපහටු වූවෝය. මන්ත්‍රීවරයා හාත්පසින් වෙනත් අයකු බවට පත්වූයේ, මගේ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යතැයි බියවූ නිසාය. එදා පටන් මා මාරුවක් ලැබ නික්ම යන දවස දක්වා මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් හට පාඩුවේ ඉන්නට ඉඩ හළේය. එහෙත් 1979 මැද හරියේදී මගෙන් පළිගන්නට ඔහුට අවස්ථාව පෑදුණු විට තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග එක්වී මා කුරුණෑගලින් ඉවතට මාරු කිරීමට ඔහු වගබලා ගත්තේය.
සුනිල් රන්ජන් ජයකොඩි මන්ත්‍රීවරයා සමග ගැටුම
දේශපාලනයට පිවිසෙන්නට පෙර සුනිල් රන්ජන් ජයකොඩි හමුදා සේවයේ යෙදී සිටියේ පණිවිඩ රැගෙන යන සාමාන්‍ය සෙබළකු ලෙසයි. 1977 එ.ජා. පක්‍ෂය බලයට රැගෙන ආ යෝධ රැල්ලත් සමඟ මැදිවී ඔහු ජයග්‍රහණය වෙත තල්ලු වී ආයේය.
කුරුණෑගල කොට්ඨාසයේ මා වැඩ භාර ගැනීමත් සමගම සීමා රහිත ලෙස බලයට කෑදරකමින්, ඔහුගේ කැමැත්තට පොලිසිය නිතරම නැමෙතැයි හෙතෙම බලාපොරොත්තුවන බවට මට නොමඳව පැමිණිලි අසන්නට ලැබුණේය.
1979 මැයි මාසය අග හරියේ එක්තරා ඉරිදා උදෑසනක, මා නිවසට වී පත්තර කියවමින් පසුවන විට, මගේ නිවසේ දුරකථනයට නිර්ණාමික ඇමතුමක් ආයේය. ඒ කාලයේ ජංගම දුරකථන තිබුණේ නැත. දුරකථනයෙන් මා ඇමතූ පුද්ගලයා කියා සිටියේ, ජයකොඩි මන්ත්‍රීවරයාගේ නිවසට යන පාරේ පිහිටි කෝවිලේ දොරටුව පාමුල බුදු පිළිමයක් තබා ඇති නිසා, පොල්ගහවෙල අසාමාන්‍ය අන්දමේ ආතතියක් හටගෙන තිබෙන බවයි. පොලිසිය පක්‍ෂපාතී ලෙස ක්‍රියාකරන බවද, බුදු පිළිමයක පූජනීයත්වය කෙළෙසීමෙන් අපහාසයක් සිදුවේ යයි කියමින් සිංහල ජනයා එම හින්දු කෝවිල පිටත රංචු ගැසී සිටිනා බව ද මට දැනුම් දෙන ලදී. ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හටගන්නට ඉඩ ඇතැයි මට හැඟී ගියේය.
මම කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ඩඩ්ලි වොන්හාට් සම්බන්ධ කරගන්නට වෑයම් කළෙමි. ඔහු පොල්ගහවෙල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව මට දැනගන්නට ලැබිණි.
පොල්ගහවෙල ස්ථාන භාර නිලධාරියා වූ පොලිස් පරීක්ෂක හෙන්රි දිසානායක ද පොල්ගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කී පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට ගොසිනි. ඔහු මන්ත්‍රීවරයා කියන ඕනෑම දේකට අවනත වෙමින් ක්‍රියා කරන නිලධාරියකු වූයේය. මම සැනෙකින් කුරුණෑගලින් නික්මී පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත පැමිණියෙමි. සහකාර පොලිස් අධිකාරිවරයා සහ ස්ථාන භාර නිලධාරියා යන දෙදෙනාම මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇති බව පොලිස් ස්ථානයේ නිලධාරීහු මට කියා සිටියහ.
මම කොස්තාපල්වරුන් දෙදෙනකු මගේ රථයේ නංවාගෙන මන්ත්‍රීවරයාගේ නිවස වෙත යන පාරේ තිබූ කෝවිල වෙත පිටත්ව ගියෙමි. කෝවිලට පිවිසෙන පඩි මත උසින් අඩි 2 ක් හා පළලින් අඩි 2 ක් පමණ වන බුදු පිළිමයක් දමා ගොස් තිබුණි. කෝවිල පිටත සෑහෙන සිංහල පිරිසක් රංචු ගැසී සිටියහ. ඔවුන් කෝපාවිෂ්ඨව ඉන්නා බව ඔවුන් කළ කී දෙයින් පෙනෙන්නට වූයේය.
මා පළමුවෙන්ම කළේ බුදු පිළිමය මගේ රථය තුළට ගෙන එම රථයෙන්ම එය පොලිස් ස්ථානය වෙත ගෙන ඒමයි. ඒ සමග රැස්ව සිටි පිරිසට විසිර යන ලෙස මම අවවාද කළෙමි. ඉන්පසු මම, මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයාත්, ස්ථාන භාර නිලධාරියාත් කැඳවාගෙන එන්නට පොලිස් නිලධාරීන් යැව්වෙමි.
එම ස්ථානයේ ඊට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් ඉන්නා බව ද මම තහවුරු කොට දැනගත්තෙමි. හිතාමතාම ජාතිවාදී කලකෝලාහල ඇතිකරන්නට මන්ත්‍රීවරයාට උපකාර කරන්නේ මන්දැයි මම ස්ථාන භාර නිලධාරියාගෙනුත්, සා.පො. අධිකාරිවරයාගෙනුත් විමසා සිටියෙමි.
ඊට පෙර දින මඩකළපුවේ එල්.ටී.ටී.ඊය ඇටවූ බිම් බෝම්බයකින් සොල්දාදුවන් මියගිය පුවතක් ඒ වනවිට වාර්තා වී තිබිණි. මන්ත්‍රීවරයා කරනු ලැබුවේ පොල්ගහවෙල දෙමළ ජනයාට පහර දිය හැකි වාතාවරණයක් නිර්මාණය කරමින් තම ජාත්‍යාලය ප්‍රදර්ශනය කිරීමයි. ඔහුගේ පරම චේතනාව වූයේ සිංහල ජනයා කුපිත කර කෝවිලට කඩා වැදීමෙන් කෝලාහලයකට මුලපිරීමයි.
බුදු පිළිමය ආපසු රැගෙන විත් කෝවිල ඇතුලේ තැබිය යුතු බවටත්, එවිට සිංහල සහ ද්‍රවිඩ ප්‍රජාවන්ට කෝවිල තුළට ගොස් එක්ව වන්දනාමාන කළ හැකි බවටත්, සහකාර පොලිස් අධිකාරිවරයා සහ ස්ථාන භාර නිලධාරියා යෝජනා කළෝය. එවැනි පියවරකින් උද්ගතවිය හැකි භයානක වාතාවරණය නොසලකා හැර එවැනි දෙයක් ඔවුන් යෝජනා කිරීම ගැන මම මවිතයට පත්වූයෙමි.
ඇතැම්විට ඔවුන් මන්ත්‍රීවරයා සතුටු කිරීම වඩාත් හොඳයයි සිතා ගත්තා විය හැකිය. පොල්ගහවෙලට පිටතින් පොලීසියෙන් අවශ්‍ය සම්පත් ලබාගත් මම එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය වැඩි කිරීමට කටයුතුකොට කුරුණෑගල පැමිණියෙමි.
ඊළඟ දිනයේ මා මුලින්ම කළේ පොලිස් මූලස්ථානය වෙත වාර්තාවක් යවා පොල්ගහවෙල ස්ථාන භාර නිලධාරි පොලිස් පරීක්ෂක හෙන්රි දිසානායක වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කිරීමට උත්සාහ දැරීමයි. ඊට ටික දිනකට පසු මාරු කිරීමේ නියෝගය නිකුත්ව ආයේය.
මා ඉවත යනතුරු ඉවසීමෙන් බලා සිටි යාපහුවේ අබේරත්න, පඬුවස්නුවර රත්නායක, මාවතගම ප්‍රේමචන්ද්‍ර, පොල්ගහවෙල ජයකොඩි යන මන්ත්‍රීවරු සියලු දෙනා අත්වැල් බැඳගෙන පොල්ගහවෙල පොලිස් පරීක්ෂක හෙන්රි දිසානායක තවදුරටත් රඳවා තබා ගැනීමටත්, මා මාරුකර යැවීමටත් උද්ඝෝෂණය කළෝය.
මා මූලස්ථානය වෙත ලියා යැවූ ස්ථාන භාර නිලධාරියාගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස අගමැති ප්‍රේමදාස මහතා එවූ පණිවිඩය තුන්වැනි පාර්ශ්වයක් හරහා මා වෙත ආවේය. එම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතු බවත්, මා මූලස්ථානය වෙත කළ නිර්දේශ සංශෝධනය කිරීමට පිළිගත හැකි පදනමක් ඉදිරිපත් කළ නොහැකි බවත් එම නියෝජිතයා හට මම කීවෙමි.
එම මාරු කිරීමේ නියෝගය එසේම ක්‍රියාත්මක විය. මා ද මාරුකර යවන ලෙස මන්ත්‍රීවරුන්, අගමැතිවරයා වෙතින් කළ ඉල්ලීම ද ක්‍රියාත්මක විය. 1978 ජුනි 18 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි වූ මාරුවීම් නියෝගයට අදාළ ලේඛන මා අතට පත්විය. මට මාරුවී යාම සඳහා කාලය දෙනු ලැබුවේ දින දෙකක් පමණකි. වෘත්තීය මූලධර්මවලට හා ආචාරධර්මවලට එකඟව ක්‍රියා කිරීම ගැන සාඩම්බර හැඟීමක් මා සිතේ විය.
මා නික්ම යන විට මගේ සහායක නිලධාරීන් ඉදිරියේ කළ සමුගැනීමේ කතාවේදී මම ඒ බව කීවෙමි. සුපුරුදු පරිදි නියෝජ්‍ය පොලිස්පති සුන්දරලිංගම් මා කළ කාර්ය අගය කරමින් කතා කිරීම මට මහත් අස්වැසිල්ලක් විය.
මගේ ස්ථානමාරුව ලැබුණේ, ක්ෂේත්‍ර කටයුතුවලින් ඈත්වූ කොළඹ නගරයේ නොවැදගත් තැනකටය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න මහතා ලියූ Perils of a Profession ග්‍රන්ථයේ Confrontations in Kurunegala in 1978-79 පරිච්ඡේදයෙනි - පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එදා කුරුණෑගල පොලිස්- දේශපාලන සීතල යුද්ධය
Mangala Friday, 20 August 2021 02:08 PM
මේ පොත සිංහලෙන් පල කලේ නැත්තේ ඇයි.