IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


එදා-මෙදා යුක්තිය වවාගෙන කෑම

දැනට  වසර දොළහකට පමණ  පෙර එනම් 2009 අගෝස්තු 15 වැනිදා කොළඹ, බෞද්ධාලෝක මාවත අසල ඇළක පාවෙමින් තිබූ දැරියන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගනු ලැබිණි. එය ඒ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළද දැන් එය මෙරට කී දෙනකුට මතකදැයි කිව නොහැකිය.

මියගොස් සිටියේ අවුරුදු 13ක් හා 16ක් වයසැති දැරියන් දෙදෙනෙකි. කුඩා දැරියගේ නම මදුවීරන් ජීවරාණිය. අනෙක් දැරිය ලක්ෂ්මනන් සුමදි වූවාය. දෙදෙනාම මස්කෙළිය ප්‍රදේයේ තේ වතු යායක සේවය කළ කම්කරු පවුල් දෙකක ඉන්දියානු සම්භවයෙන් පැවතෙන දෙමළ දැරියෝ දෙදෙනෙකි. දෙදෙනාම ඔවුන්ගේ මළ සිරුරු හමුවූ ස්ථානය අසල ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ නිවෙස්වල සේවය කළ ළමා සේවිකාවෝ වූහ. ඇතැම් වාර්තාවලින් කියැවුණේ දෙදෙනාම එකම නිවෙසක සේවය කළවුන් බවය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනා එම ඇළට පැන දිවි නසා ගෙන ඇති බවය.  දෙදෙනා විසින්ම ලියන ලදැයි කියන ලිපියක් පොලිසිය ඒ සඳහා සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහෙත් දැරියන්ගේ මව්පියෝ එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. එම ලිපියේ තිබූ අත් අකුරු තම දියණියන්ගේ නොවේ යැයි දෙදෙනාගේම මව්පියෝ දැඩි ලෙස කියා සිටියහ. එසේම ඔවුන් පැන දිවි නසා ගත්තේ යැයි කියන ඇළේ එම දැරියන් ගිලෙන්නට තරම් ජලය නොතිබූ බවද  ඔවුහු පැවසූහ. එහෙත් පොලිසියේ මතය වෙනස් නොවීය.

කෙසේ වෙතත්  වතුකරයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විවිධ රාජ්‍ය නොවන සංවිධාන මේ සම්බන්ධයෙන් කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් එම  දැරියන් සේවය කළ නිවෙසක ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එසේම කාන්තාවන්, ළමයින් හා කම්කරුවන් සම්බන්ධයෙන් වගකීම් දරන රාජ්‍ය ආයතනද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් පෙනෙන්නට තිබිණි.

එහෙත් දින කිහිපයකින්ම අදාළ හා අදාළ නොවන සියලු දෙනාටම එම සිදුවීම අමතක විය. වෙනකක් තබා එම දැරියන් අයත් වතුකරයේ ජනතාව නියෝජනය කරන සංවිධාන හා දේශපාලන පක්ෂද එම සිද්ධිය ඇදගෙන ගොස් ළමා ශ්‍රමිකයන් ගේ හා ගෘහ සේවක  සේවිකාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන නීති රීති ගෙන එන්නට හෝ ඊට යෝග්‍ය පරිසරයක් තනන්නට හෝ කටයුතු කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

එම සිද්ධිය වී වසර එකොළහකට ආසන්න කාලයක් ගත වී තිබෙන පසුබිමක බෞද්ධාලෝක මාවතේම නිවසක සේවය කළ තවත් 16 හැවිරිදි  වතුකරයේ දෙමළ දැරියක් පිළිස්සී මියගොස්  සිටී. ඇය සේවය කොට ඇත්තේ පසුගිය ආණ්ඩු කිහිපයකම ඇමැතිධුර හෙබවූ 2019 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරවලට අදාළව දැනට අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේය.

ඉෂාලිනි නමැති එම දැරිය පසුගිය වසර කිහිපයක සිටම ලිංගික අපයෝජනයට  ලක්වී ඇතැයි පොලිසිය පවසයි. ඒ අතර එම නිවසේ ඊට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක් දූෂණය කළ  බවට චෝදනා කරමින් පොලිසිය බදියුදීන් මහතාගේ බිරිඳගේ සොහොයුරකුද අත්අඩංගුවට ගෙන ඇත.

බදියුදීන් මහතාගේ පවුලේ අය පවසා ඇත්තේ මියගිය දැරිය වන ඉෂාලිනී සිරුරට ගිනි තබාගෙන දිවි නසා ගෙන ඇති බවය. නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ ජනමාධ්‍ය හමුවකදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාද මෙම දැරිය තමන්ම ගිනි තබා ගත්තේයැයි පිළිස්සීමෙන් පසු ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට පවසා ඇති බව පැවසීය.

කෙසේ වෙතත් සැබවින්ම සිදුවී ඇති දේ ගැන තීන්දුවක් දිය යුතු වන්නේ අධිකරණයයි. එම ක්‍රියාවලියේදී කිසිදු ප්‍රශ්නයක් ඉතිරි නොවන අයුරින් සිදුවූ දේ පැහැදිලි කිරීමේ වගකීමෙන් බදියුදීන් මහතාගේ පවුලේ අයට ගැළවිය නොහැකිය. මෙය දිවි නසා ගැනීමක් නම් පසුගිය මාස 8කට ආසන්න කාලයක් එම දැරිය ඔවුන්ගේ නිවසේ සිට ඇති බැවින් ගිනි තබා ගැනීමට බලපෑ වට පිටාව පැහැදිලි කිරීමේ වගකීමක්ද ඔවුනට ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධිය හෝ මීට පෙර 2009 ඇතිවූ සිද්ධිය හෝ  තනි සිද්ධීන් ලෙස සලකා කටයුතු කළ නොහැකිය. මන්දයත්  ගෘහ සේවකයන් හා ළමා ශ්‍රමිකයන් පිළිබඳ ප්‍රශ්නය, විශේෂයෙන්ම වතුකරයේ සිට රටේ විවිධ පළාත්වලට ගෘහ සේවක සේවිකාවන් හා ළමා ශ්‍රමිකයන් ගෙන යාමත් සේවයේ යෙදවීමත් විශාල සමාජමය ප්‍රශ්නයකි. වතුකරයේ කාන්තාවන් හා ළමයින් මෙසේ වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස් සේවයේ යෙදවීම එක්තරා ආකාරයක වහල් වෙළෙඳාමකි. එය කරන්නේද බොහෝ විට වතුකරයේම ඇතැම් පිරිස්ය.

මෙය හදිසියේ ඇතිවූ තත්ත්වයක් නොවේ. අප දන්නා කාලයක සිට මෙය සිදුවේ. 1970-1977 කාලයේ රටේ පැවැති විශාල ආහාර හිඟය අන් සෑම ප්‍රදේශයකට වඩා වතුකරයට දැනිණි. ඒ කාලයේ ඉතා දුෂ්කර හා අවමානකාරී කොන්දේසි යටතේ පවා වතුකරයේ ළමයින් හා කාන්තාවෝ විවිධ ප්‍රදේශවල කෘෂිකාර්මික හා ගෘහ සේවක සේවිකාවන් ලෙස සේවයේ යොදවනු ලැබූහ.

එසේ තිබියදී වසර 73ක් පුරා මේ රට පාලනය කළ දේශපාලනඥයන් මෙවැනි සිදුවීම් සිදුවන විට ඒ පිළිබඳ තම වගකීම ගැන නොසිතා  එම සිදුවීම්  උපයෝගී කරගෙන දේශපාලන වාසි සෙවීමට ගන්නා උත්සාහය අප්‍රිය ජනකය.

එසේම ළමයින්ට සිදුවන මෙවැනි අකටයුතුකම් එකසේ සලකා ඒවා සම්බන්ධයෙන් බලධාරීන්ගේ වගකීම ඔවුනට අවධාරණය නොකොට, තෝරා ගත් යම් යම් සිද්ධි පමණක් ඉස්මතු කිරීමක්ද සිදුවේ. උදාහරණයක් වශයෙන් 15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය සඳහා පනස් දෙනකුට වැඩි පිරිසකට විකුණනු ලැබ ඇතැයි  පසුගිය මාසයේ වාර්තා විය. එයද මේ හා සමාන  මහා අපරාධයක් වුවද එය මෙතරම් ආන්දෝලනයක් ඇති කළේ නැත. ළමයින් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට බැඳී ඇති  රාජ්‍ය ආයතන සෙලවීමට එම සිද්ධියට හැකිවීද යන්න පැහැදිලි නැත.

ඉෂාලිනී පිළිබඳ දැනට කෙරෙන උද්ඝෝෂණ හා ඇතැම් දේශපාලනඥයන්ගේ උනන්දුව ළමයින්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රබල යාන්ත්‍රණයක් ගොඩනැගීමට ඉවල් විය යුතු වුවත් මේ හා සමාන අතීත සිදුවීම් පිළිබඳ උද්ඝෝෂණවලට වූදේ ගැන සැලකීමේදී මෙම උද්ඝෝෂණ හා හඬ නැඟීම් කොතෙක් කාලයක් පවතීද යන  ප්‍රශ්නය මතුවේ.

2015  සැප්තැම්බර් 11 වැනිදා  කොටදෙණියාවේ සේයා සදෙව්මි නම් පස් හැවිරිදි දැරිය පැහැර ගෙන ගොස් දූෂණය කොට මරා දමනු ලැබුවේය. ඒ සම්බන්ධයෙන් පොලිසිය මුලින් කොණ්ඩයා නමැත්තකු අත්අඩංගුවට ගෙන පාපොච්චාරණයක්ද ලබාගෙන පසුව සමන් ජයලත් නම් අයකුට එරෙහිව නඩු පැවරීය. 2016 මාර්තු 16 වැනිදා එම දෙවැනි පුද්ගලයාට මීගමුව මහාධිකරණය මරණ දඬුවම පැනවීය. 

එසේම යාපනය දිස්ත්‍රික්කයේ පුංගුඩුතිවුහි පාසල් දැරියක වූ විද්‍යා සිවලෝගනාදන්  එම වසරේම මැයි 13 වැනිදා පිරිසක් විසින් මහ දවල් පැහැර ගෙන යනු ලැබ සමූහ දූෂණයට ලක් කරනු ලැබ මරා දමනු ලැබුවාය. එයද උතුරේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් අතර සැකකරුවන්ගේ මුදල් බලය නිසා ඔවුන් මුදා ගන්නට දේශපාලනඥයන් හා උසස් පොලිස් නිලධාරීන්ද මැදිහත් වූ බවට චෝදනා නැගිණි.

කෙසේ වෙතත් අපරාධයට එරෙහිව හඬ ඉතා ප්‍රබල වූයෙන් සැකකරුවන්හට නීතියෙන් ගැළවීමට නොහැකිවිය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් හත් දෙනකුට 2017 සැප්තැම්බර් 27 වැනිදා යාපනය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරිණි.

ළමයින්ට කරන ලද මෙම අපරාධ රටම කම්පා කරවූ සිදුවීම්ය. ඒවා සම්බන්ධයෙන් කෙරුණු උද්ඝෝෂණවලදී බොහෝ දෙනා 1976 සිට අත්හිටුවනු ලැබ ඇති මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු යැයි කියා සිටියහ. එම ඉල්ලීම් කොතරම් ප්‍රබල වූයේද යත් පොදුවේ මරණ දඬුවමට එරෙහි පිරිස් පවා ඒ දිනවල තම මතය ප්‍රකාශ කරන්නට නොහැකිව සිටියහ.

එහෙත් මුහුදේ රැල්ල මෙන් ජනමාධ්‍ය විටින් විට එක් ආන්දෝලනයක් යටපත් කරමින් තවත් ආන්දෝලනයක් කරළියට ගෙන එමින් සිටී. එමගින් මෙවැනි ඛේදවාචකද ඉතා සුළු කලෙකින්, ඇතැම් විට දින ගණනකින් එම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූවන්ටද අමතක වේ. එහෙයින් ළමා ශ්‍රමිකයන්, ළමා අපචාර ආදී ප්‍රශ්න යටපත් වී බලධාරීන් කෙරෙහි ඒවා සම්බන්ධයෙන් එල්ල වන පීඩනයද වියැකී යයි. එමඟින් එම සිද්ධීන් යළි යළිත් සිදුවීමේ තත්ත්වය නොකඩවා පවතී.

ඉහළ මධ්‍යම පන්තියේ සිට ඉහළට සෑම නිවෙසකම ගෘහ සේවකයෝ, විශේෂයෙන්ම සේවිකාවෝ සිටිති. කාන්තා අයිතීන්, ළමා අයිතීන් පිළිබඳව කතා කරන සංවිධානවල නායක නායිකාවන්ගේ  හා ළමයින් හා කාන්තාවන් පිළිබඳව ක්‍රියා කරන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ නිවෙස්වලද මෙවැනි සේවකයන් නැතැයි කිව නොහැකිය.

යටත් විජිත සමාජයේ සිට මෙසේ වැටුපට ගෘහ සේවක සේවිකාවන් බඳවා ගැනීම සිදු වුවද, ඔවුන් පිළිබඳ නිවැරැදි සංඛ්‍යා ලේඛන නැත. එසේම ඔවුන් සම්බන්ධයෙන් කම්කරුවන්ට අදාළ නීති ක්‍රියාත්මක වීමක්ද දක්නට නැත. 2016 මාර්තු 6 වැනිදා එවකට කම්කරු ඇමැති වූ ජෝන් සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන නැතැයි කැබිනට් මණ්ඩලයට  දැනුම් දී තිබිණි.

ඒ පිළිබඳව සඳහන් වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් 2016 ශ්‍රම බළකා සමීක්ෂණය උපුටා දක්වමින් මෙරට ගෘහ සේවකයන් ලෙස කාන්තාවන් 66,195 දෙනකු හා පිරිමින් 14,575ක් සේවය කරන බව සඳහන් කරයි.

එහෙත් මෙම සේවකයන්ගෙන් අති බහුතරයක් වාචික ගිවිසුම් අනුව සේවයට බඳවා ගනු ලබන බව එම වාර්තාව පවසන  හෙයින් මෙම සංඛ්‍යා ලේඛන කොතරම් දුරට නිවැරැදිදැයි කිව නොහැකිය.

 මේ අනුව ගෘහ සේවකයන් යනු අදෘශ්‍යමාන ශ්‍රම බළකායකි. ඔවුන් සම්බන්ධයෙන් කම්කරු නීති ක්‍රියාත්මක නොවන නිසාත් ඔවුන් ලේඛනගත නොවන නිසාත් ඔවුන්ගේ රැකියා පමණක්  නොව ජීවිතය අනතුරුවලට මුහුණපෑමේ  සම්භාවිතාව වැඩිය.

මේ දිනවල මතුවී ඇති ආන්දෝලනයත් සමග ආණ්ඩුව ළමා ශ්‍රමිකයන් හා ගෘහ සේවකයන් පිළිබඳව යම් යම් පියවර ගන්නා බව නිවේදනය කොට ඇත. මින් මතු ළමා අයිතීන් පිළිබඳ නිලධාරියාගේ නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියා පදිංචි කිරීමෙන් තොරව ගෘහ සේවකයන් බඳවා ගත නොහැකි යැයි කාන්තා හා  ළමා සංවර්ධන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පසුගියදා පවසා තිබිණි.

 එසේම කොළඹ නගරයේ ළමා ශ්‍රමිකයන් සිටින්නේ දැයි සොයා බලන්නට ධනවත් නිවෙස් පරීක්ෂා කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. ඒ අනුව  එම අධිකාරියේ නිලධාරීන් ජනමාධ්‍ය සමග ඇතැම් නිවෙස්වලට  යනු රූපවාහිනී නාලිකාවලින් දැක ගත හැකිවිය. මේවා කොතරම් දුරට ඉදිරියටත්  ක්‍රියාත්මක වේද යන්න දැනගත හැකිවන්නේ තව මාසයක් දෙකක් ගතවූ විටය.

වතුකරයේ දුප්පත් කම මෙම ළමා බැල මෙහෙවර කිරීම්වලට මුල් වී ඇතැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්  මහතා පවසයි. එය අර්ධ සත්‍යයකි. මන්දයත් ළමයින්ට හිරිහැර පීඩා කිරීම හා ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම නැවැත්වීමට අදාළ නීති නැතිවීම හා පවතින නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට අවශ්‍යතාවක් නැතිවීම තවත් ප්‍රධාන කාරණයක් වීම නිසාය.

ළමයින් අනතුරුදායක රැකියාවල නිරත කිරීම වැළැක්වීම සඳහා 2010 නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවැති ලෝක ළමා ශ්‍රමිකයින් පිළිබඳ සමුළුවේදී තීරණය විය. ඒ සම්බන්ධයෙන් දේශීය වශයෙන් කටයුතු කරන්නට මෙහෙයුම් කමිටුවක් පත්කොට ඇතැයි ඉන් සය වසරකට පසු  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දිස්ත්‍රික්  හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන්නේය. තවත් වසර පහකට පමණ පසු මේ වසරේ ජනවාරි මස එම මෙහෙයුම් කමිටුවට නිවේදනයක්  නිකුත් කරමින් මෙරට ළමයින් සේවයට යෙදවීම පිළිබඳ තත්ත්වය සොයා බලන්නට තාක්ෂණික කමිටුවක් පත්කොට ඇති බව පැවසීය. ජාත්‍යන්තර සමුළුවකදී ගන්නා ලද තීරණයක් අනුව අදාළ ප්‍රශ්නයේ දිග පළල සොයා බලන්නට කමිටුවක් පත් කරන්නට වසර 10කට  වැඩි කාලයක්  ගතවී ඇත.

2025 දී ශ්‍රී ලංකාවේ ළමයින් රැකියාවලට බඳවා ගැනීම මුළුමනින්ම නැවැත්වීමට මෙරට රජය ජාත්‍යන්තරයට ප්‍රතිඥා දී ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය.

(*** එම්.එස්.එම්. අයුබ්)

 



අදහස් (1)

එදා-මෙදා යුක්තිය වවාගෙන කෑම

Abdul Nazar Sunday, 01 August 2021 05:34 AM

මේ අපරාධයට හවුල් වුන අයට උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 758 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12681 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site