IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


එදා හේනේ පැලේ විත්ති

පුරාණ අපේ වැව් ගම්මානවල ඇත්තන්ගේ මූලික ජීවිකාව වූයේ වී ගොයිතැනයි. ඒ හා සමානව හේන් ගොයිතැනටත් තැනක් දුන්නා. හේන් ගොයිතැන පේන්ඩ, දකින්න, අහන්ඩ ලැබෙන විදිහට ලේසි පාසු සිල්ලර කටයුත්තක් නෙමෙයි. බොහෝ වැර වීරියෙන්, දුක් මහන්සියෙන් කළ යුතු කටයුත්තක්. පුරාණ ගම්වල සම්මත වාරිත්තර වත් පිළිවෙත් එක්ක තමයි හේන් ගොයිතැන සිදු කළ යුත්තේ.

  14-Rasa-P2-BA
හේන් ගොයිතැනේදී පිළිපැදිය යුතු ජන සම්මත සිරිත් විරිත්, වත් පිළිවෙත් ගැන විතරක් නෙමෙයි හේන් ගොයියාට මුහුණ පෑමට සිදුවූ අතුරු ආන්තරාවන්, අලංකලංචි, ඇබැද්දි මෙන්ම රසබර සිද්ධීන් ද දැන කියා ගැනීමේ මනාපයෙන් අද -ගැමි රසවිත”ට එක්කාසු කර ගත්තේ පෙරහුරෙන්, කළහුරෙන්, ඇතිහුරෙන් හේන් ගොයිතැන ගැන දන්නා කියන ගොයි මහතෙකි.


ටී.එම්. හේරත් බංඩා හෙවත් තෙන්නකෝන් නමින් ගම්මුන් හඳුන්වන මේ ගොවි මහතා පදිංචි වෙලා සිටින්නේ මීගලෑව, අන්දරවැව ගම්මානයේ.
“හේන් ගොවිතැනත් ආවට ගියාවට කරන ගොවිතැනක් නොවන බව අපි අහලා තියෙනවා. ඔබට ඒ ගැන හොඳ අත්දැකීම් තියෙන නිසා හේන් ගොවිතැන ආරම්භ කරන ආකාරය ගැන විස්තරයක් කරමු ද?” යි මම හේරත් බණ්ඩා මහතාට යෝජනා කළෙමි.


“ඔව් ඉතිං මං ගැටවරයා කාලේ ඉඳලා හේන් වගා කළා. මුලින්ම හේන් කළේ අපේ මාමත් එක්ක එකතු වෙලා. ඉස්සර ඉතිං හැම දෙයක්ම සිද්ධ කළේ ගමේ වැඩිහිටියන්, වෙල් විදානේ ආදීන් එකතු වෙලා සාකච්ඡා කිරීමෙන් පස්සෙනේ. හේන් කැපීම කළෙත් එහෙමයි. අර කට්ටිය එකතු වෙලා හේන් කපන්නේ මොන ඉසව්වෙ ද කියලා කතා කරගන්නවා. ඊළඟට වල් කොටන්න (කැලේ කපන්න) සුදුසු දිනයක් තෝරා ගන්නවා. “සිංහ කරණ” කියන සුබ මුහුර්තිය තෝරා ගෙන තමයි මුලින්ම වල් අත්තට කොටන්නේ. අද වගේ හිතු හිතූ වෙලාවට තනි තනියෙන් ඒවා කරන්නේ නෑ.


කට්ටිය එකතු වෙලා එක යායට හේන්වල වල් කොටනවා. ගොබලු ගස් මහ කැත්තෙන් කපන්නේ මීමිනි කුරේ හැඬේ හිටින්න. ඒකටත් ඉතිං හුරුවක් තියෙන්න ඕනෑ. වල්කොටාන යන ගමන් සීමාත් යන්තමට ලකුණු තියාගෙන යනවා. වල්කොටලා ඉවර වුණාට පස්සේ සතියක් දෙකක් ගතවෙන්ඩ අරිනවා. නිකිණියට තද පෑවිල්ලනේ. “කඳන් පැලෙන අව්ව” කියලනේ කියමනට කියන්නේ.

1
නිකිණිය ගෙවෙන්ඩ කිට්ටු වෙනකොට හේන් යායට ගිනි තියන්න ලෑස්ති වෙනවා. දෙපෝය ඇරලා තමයි ගිනි තියන්නේ. යායට ගිනි තියන්න කලින් දවසේ හැමෝම වල් කොටාපු හේන් යායට යනවා. ඒ ගිහින් තම තමන් කොටාපු කොටස ළඟ සිට “මේ යායේ තවත් ඉතිරි වී ඉන්නා කුර ගාන, බඩ ගාන සියලුම සතුන් මේකෙන් අයින් වෙන්ඩ හොඳයි. ඕන් අපි අත පව් නැත. හෙට අපි හේනට ගිනිතියනවා” යි කියා හඬ නගලා කියනවා.


පහුවදා ගිහින් හේන් යායට ගිනි තියනවා. හේන් යායේ ගින්න ඇවිළෙන්න ඇවිළෙන්න ගොයියෝ “හූ” කියනවා. එහෙම “හූ” කියන්නේ ගින්දර හොඳට වේගයෙන් පත්තු වෙන්න. හේන් යායට ගිනි තිබ්බට පස්සේ ඔය ලොකු ලොකු දඹුකඩ විතරයි (නොපිළිස්සුන දැව දඬු) ඉතිරි වෙන්නේ. ඒවා අරන් හේන් යාය වටේ දඬු වැට දානවා. එක එක ගොයියා තම තමන්ගේ කොටසේ මේ දඬු වැට දාගන්නවා. හේන් යාය වටා දඬුවැට දාගන්නවා හැරෙන්න තම තමන්ගේ කොටස්වල සීමාවලට පිච්චිලා ඉතිරි වූ කඳන් දිගට දාගෙන යනවා. ඒක තමයි මායිම.


වැහි කාලය ළං වෙනකොට බිත්තර වඩනවා. ඒ කියන්නේ සුබ නැකතකට කුරක්කන් ඇට ටිකක් අරගෙන ගිහින් එක තැනක වපුරන එකට. ඊට පස්සේ තමයි මුළු හේනේම කුරක්කන් වපුරන්නේ. ඒ කාලේ අපි කුරහන් ඇට සමග වන්නි මිරිස්, තණ ඇට, මෙනේරි, අසමෝදගම්, අබ ඇට ආදියත් මිශ්‍ර කරලා තමයි වපුරන්නේ. ඊට අමතරව බඩ ඉරිඟු, මුං, කව්පි, මෑ, බණ්ඩක්කා, වට්ටක්කා, කැකිරි ඔය හැම දෙයක්ම හේනේ වගා කරනවා. සමහරු වී වැපිරීමත් කරනවා.


හේන්වල පැල් වුණත් ආවට ගියාට හදන්නේ නෑ. පැල් හදන්නත් කට්ටිය එකතු වෙලා දිනයක් කතා කරගන්නවා. ඇට ජාති වපුරලා ඊළඟ දොපෝය පහු වුණාම තමයි අහවල් දවසේ “පැල් දණ්ඩ” දානවා කියලා කතා වෙන්නේ. පැල් දණ්ඩ දානවා කියන්නේ ගස් උඩ පැල්වලට මුල්ම ලී දණ්ඩ දාන එකට. ඒ පැල් දණ්ඩ දැම්මට පස්සේ තම තමන්ට හැකි විදියට යායේම ගොයියන්ට පැල් හදා ගන්ඩ පුළුවන්. ගහ උඩ පැලට අමතරව බිමත් පොඩි පැලක් හදනවා. දවල් දවසේ හේනේ වැඩට එන ගෙදර මාය්යට (බිරිඳ) ළමයි ළපටින්ට හෙවණට ඉන්ඩ, තේ කහට ඩිංගක් උණු කර ගන්ඩ, කෑම ටිකක් කන්ඩ තමයි ඒ පැල පාවිච්චියට ගන්නේ. ගහ උඩ පැල හදලා කෝටුවලින් මැස්ස බැඳලා ඒක උඩින් පස් දාලා ගෙබිමක් වගේ හදා ගන්නවා. ගහ උඩ පැලෙත් පොඩි ගිනි මැලයක් ගහගන්ඩ තමයි එහෙම කරන්නේ.


පෙබරවාරි-මාර්තු මස වනවිට අපේ ගෙවල්වල ඒ කාලේ ඉඩක් නෑ. කුරහන් කපලා, අහක වුණාම (අවසන් වුණාම) කුරහන්, බඩ ඉරිඟු, මුං, කව්පි, තණ හාල්, මෙනේරිවලින් ගෙවල් පිරෙනවා. ඒවා දකින විට වින්ද දුක් කන්දරාව ඉබේටම නැති වෙලා යනවා.”


හේනේ බෝග වන සතුන්ගෙන් රැක ගැනීමට පැල් රැකීම විතර ද කළේ?” යි මම ඇසුවෙමි.

2
“පැල් රැකීමට අමතරව උගුල් ඇටවීම, බොරු වළවල් කැපීම, මදු ගැසීම, කඳන් බැදීම (බඳින තුවක්කු කඳන් ඇටවීම), වෙඩි තැබීම වාගේ දේවලුත් කළා. රිළවුන්ට අටවන්නේ අවිච්චිකූඬේ කියන උගුල. ඒක හදා ගන්නේ කෝටුවලින්. උගුල අටවලා ඒක ඇතුළට බඩ ඉරිඟු කරලක් දාපුහාම ඒක ගන්ඩ රිළවා උගුල ඇතුළට රිංගනවා. උගුල ගැස්සිලා රිළවා ඒකේ හිරවෙනවා. එතකොට ගිහින් ගහලා මරනවා. මං දවසට රිළව් දහයක්-පහළොවක් එහෙම අල්ලාගෙන තියෙනවා. රිළව හම ගහලා ඒ හම පෙන්දත් (වල්ගය) එක්ක හේනේ එල්ලපුවාම ඒක දකින රිළව් ආයි හේනට එන්නේ නෑ.


බොරු වළවල් වැඩිපුර කපන්නේ වල් ඌරන්ට. ඌරාගේ ගාණට රවුමට වළක් කපනවා. වළ කපාපු පස් තුනී කරලා එතැන කුරහන් වපුරනවා. කුරහන් පැහෙන කොට ඒ පඳුරු බිම වැටෙනවා. එතකොට අර වළ වැහෙනවා. ඌරන් ඇවිත් කුරහන් කරල් කාගෙන කාගෙන එන විට දන්නෙම නැතිව වළට වැටෙනවා. වළට වැටුණු ඌරාට තඩි ගහලා (පහරදී) ගන්නවා.


ගෝන්නු, මුවන්, ඌරන් වාගේ සත්තු හේනට එන මංකඩවල මදු ගහනවා. ඌරාට ගහන මන්ද ටිකක් වෙනස්. ඌගේ බෙල්ලක් හොයන්න බෑනේ. මන්දට අහුවුණාම ඒක ඇදගෙන යන්න පුළුවන් විදිහට කොට කෑල්ලක තමයි ගැට ගහන්නේ. කොටේ ඇදගෙන ගිහින් කොහේ හරි තැනක ඌ හිරවෙනවා. කොටේ ඇදිච්ච පාර දිගේ ගිහින් ඌට තඩි ගහලා මරලා දානවා.”


“ඔය මරණ සතුන්ට මොකද කරන්නේ?” යි මම හේරත් බණ්ඩා මහතාගෙන් ඇසුවෙමි.


“මස් විකිණීමක් අපි කළේ නෑ. ඒ කාලේ අපේ ගමේ (හෙල්ගම) පදිංචි වෙලා හිටියේ පවුල් විස්සක් විතර. මේ පවුල් අතර මස් බෙදනවා. ඉතිරිවා වේළනවා. දඩමස් වේළන්න හේනේම මැහි ගහගෙන තියෙනවා. මස් වේළලා ගෙවල්වලට යවනවා. ඒ කාලේ හිටපු හැමෝටම වේලකට දඩමස් කෑල්ලක් ඕනැමයි. ඉතිං අමු මස් නැත්නම් වේළපු මස් හරි ගෙවල්වල තියෙනවා. එදා ඉතිං සත්තු මරන්න එපා කියල නීතියක් රීතියක් තිබුණේ නෑනේ.


කුළු හරක් ඕනෑ තරම් හිටියා. අපි හේන් රකිද්දි කුළු හරකුන්ට වෙඩි තියලා මස් කරලා ඒ මස් වේළනවා. දවසක් රෑ මං දඩයමේ යනකොට ඌරුකණ්ඩියක් (රංචුවක්) ටෝච් එකට (විදුලි පන්දම) තනි හරහා හිටියා. මං තුවක්කුව මානගෙන තඩි ඌරෙකුට ගස්සන්න හදන කොටම දැක්කා ඒ බඩබාලා ඉන්න (පැටව් ගහන්න ආසන්න) ඊරියක් බව. තුවක්කුව එහෙමම පාත් කළා. වෙඩි තිබ්බේ නෑ. පස්සේ ගිහින් ඉත්තියෙකුට (ඉත්තෑවා) වෙඩි තියාගෙන ආවා. ඒ කාලේ දඩයමේ ගියත් පැටව් ඉන්න ගැබ්බරව ඉන්න සතුන්ට වෙඩි තිබ්බේ නෑ. පැටවුන්ට, ගෑනු සතුන්ට වෙඩි තිබ්බෙත් නෑ.”


“හේන් ගොවිතැනේදි මුහුණ දුන් අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?” යි මම ඇසුවෙමි.


“හේන් ගොවිතැන් කරද්දි මං මූණ දීපු කනගාටුදායක සිද්ධි දෙකක් තියෙනවා. දවසක් රෑ වෙලා මං මාමලගේ ගෙදර ගියා. උන්දෑ මට කීවා “අද කොල්ලා විතරයි පැල් ගියේ. උඹට බැරි ද උගේ තනියට යන්න?” කියලා. මං කීවා “ඇඟට අමාරුයි අද නම් බෑ” කියලා. පස්සේ මුන්දෑ කාලා ඉවරවෙලා අත් කැත්තයි, බුලත් මල්ලයි, ටෝච් එකයි අරන් යන්න ලෑස්ති වුණා. ඊට පස්සේ -එහෙනම් මං උඹව පැලට ඇරලවලා ආපහු එන්නම්” කියලා මාත් උන්දෑ පස්සේ ගියා.


මගක් යනකොට උන්දෑ කීවා “කොල්ලා මට එළියට (වැසිකිළි යාමට) යන්ඩ ඕනෑ” කියලා. මගේ අතට අත් කැත්තයි, බුලත් මල්ලයි දීලා උන්දෑ පඳුරකට මුවා වුණා. වැඬේ කරලා ආවට පස්සේ මං ඉස්සර වුණා. එදා හොඳට හඳ තිබුණ දවසක්. ටෝච් ගහන්න ඕනෑ නෑ. ටික දුරක් එද්දි මං දැක්කා කළුවක් (ඡායාවක්). මං මාමාට කීවා කළුවක් පේනවා කියලා. උන්දෑ කීවා “ඔය මයිල පඳුරක්” කියලා. දැන් අපි දෙන්නම යනවා. ඒ යනකොට හුඹහට එහා පැත්තේ තනි අලියෙක්. අලියා මනුස්සයාට ගහන්න ලෑස්ති වෙනකොට මහ අමුතු හඬක් පිටකරනවා. මේකාත් “කීං..........” ගාගෙන ඉස්සරට පැන්නා. මං අලියා ගාවින්ම ඉස්සරහට පැනලා දිව්වා. ඒ දුවලා සේරු පඳුරකට මුවා වෙලා ආපහු හැරිලා බැලුවා. අලියා ඉන්නවා දැක්කා. ඒත් මාමා පේන්න හිටියේ නෑ. ඔය සිද්ධිය වූ තැන සිට හේනට බඹ 20-30ක් දුර ඇති. මං එක පිම්මට හේනේ පැල ළඟට දිව්වා. පැලේ හිටපු අයියත් එක්කන්, තුවක්කුවක් අරන් අලියා හිටපු තැනට ආවා. අලියා ගිහින්. හෝදිසි කරලා බලනකොට මාම බිම වාඩිවෙලා වගේ ඔළුව පාත් කරගෙන හිටියා. ඒ කාලේ කමිස අඳින්නේ නෑ. මාමා අමුඬේ ගහගෙන හිටියේ. ඇඟ පුරාම දූවිල්ල. මාමට කතා කළා. කීවා “අලියා ගැහුවේ නම් නෑ. අල්ලලා වීසිකළා කියලා.”


පස්සේ මාමා ගෙදර ගෙනත් තියලා ඉස්පිරිතාලයට අරන් යන්න කාර් එකක් ගේන්න ගල්ගමුවට යන්න කියා බසියිකලයක් හොයන්න ගියා. ඒ කාලේ අපේ ගමටම තිබුණේ බයිසිකල් (පාපැදි) දෙකයි. ඔය හැත්තෑවේ මුල් කාලයේ. පාරවල් නෑ. අඩි පාරවල් තිබ්බේ. බයිසිකලයක් පැදගෙන යන්න පුළුවන් පාරකට සැතැපුම් භාගයක් විතර දුර යන්න ඕනෑ. අපි දෙන්නෙක් බයිසිකලේ තල්ලු කරගෙන පාරට එනකොටම ගම පැත්තෙන් “හූ” කීවා. මං දැන ගත්තා මේ අපිට තමයි “හූ” තිබ්බේ කියලා. ආපහු බයිසිකලේ හරවාගෙන ගමට යනකොට මාමා මැරිලා.


එක කන්නෙක හේන්වල වල් කොටද්දි අපේ තවත් මාමා කෙනෙකුගෙයි මගෙයි හේන් දෙක එක ළඟ තිබුණේ. මගේ කොටහේ තිබුණ ඉලපත්ත පඳුරක් මං කොටමින් සිටින විට එහා පැත්තේ මාමා පලු ගහකට නැගලා පැලක් හදන්න අතුපාහිනවා (අතු කපනවා) දැක්කා. එක පාරටම කෑගසන ශබ්දයක් ආවා. මං පොරව විසිකරලා දිව්වා. මුන්දෑ ගහෙන් බිම වැටිලා. ඇස් බාගෙට ඇරිලා. කතාවක් බහක් නෑ. යායේම කට්ටිය එකතු වුණා. උන්දෑ ගෙදර ගෙනාවා.


ඒ කාළේ අපේ ගමේ කාටවත් බයිසිකල් තිබුණේ නෑ. හැමෝටම පදින්නත් බෑ. මං වැලියාව ගමට දිව්වා. සැතැපුම් එක හමාරක් විතර දුරයි. ඒ ගමෙන් බයිසිකලයක් හොයා ගෙන ගල්ගමුවට ගියා කාර් එකක් ගේන්න. ගල්ගමුවට සැතැපුම් අට හමාරක් විතර දුරයි. මං ඔය දුර විනාඩි පහළොවෙන් විතර ගියා. කාර් එකක් කතා කරගෙන බයිසිකලය ගල්ගමුවේ දාලා කාර් එකේම නැගලා ගමට ආවා. ඒ එනකොට මාමා මැරිලා.


ඔය මං කීව කාලේ ගල්ගමුවේ ඉඳන් අපේ ගමට කාර් එකකට හයර් එක ගත්තේ රුපියල් හයයි. අපි ගොඩක් අවස්ථාවල ගල්ගමුවට යන්නේ පයින්. මෙහෙන් යනකොට මිරිස්, තල, කුරහන් වාගේ දේවල් අරන් යනවා. ඒ කාලේ අපි හේන්වල ගංජා පැළ විස්සක් තිහක් හිටවනවා. එහෙම හිටවන්නේ බේතට ගන්ඩ. බඬේ අමාරුවට එහෙම හොඳයි. ගංජා කොළ ටිකක් අරන් ගම්මිරිස් ඇටයක් දෙකක් දාලා දෙහි ඇඹුලෙන් අඹරලා ගුලියක් හදලා පණු අමාරුවට දෙනවා. මස් උයනකොට ඒවා මෙළෙක් වෙන්නත් ගංජා දානවා. හැම ගෙදරකම ගංජා රාත්තල් කාලක් භාගයක් ඒ දවස්වල තියෙනවා. වැඩිපුර ගංජා තිබුණොත් ගල්ගමුවට අරන් ගිහින් විකුණනවා. දවසක් මං මිරිස් උර අස්සේ දාගෙන ගිහින් ගංජා රාත්තල් විස්සක් විකුණුවා. ඒ කාලේ බෝතල් කළ රා ගල්ගමුවේ තිබ්බා. අපි බඩු ගේන්න ගියාම රා බීලා සතියකට හමාරකට ඇති වෙන්ඩ බඩුත් අරන් හය දෙනෙක් එකතු වෙලා කාර් එකක් කුලියට අරන් ගමට එනවා. කුලිය එක් කෙනෙකුට යන්නේ රුපියලයි.


මං අර මුලින් කීවානේ මුල් කාලයේ මං හේන් කෙටුවේ අපේ මාමත් එක්ක කියලා. ඉතිං රෑට පැල් යන්නේ මං විතරයි. හැම පැලකම “මනිය” කියල එකක් එල්ලලා තියෙනවා. උදැලු තලයක් හා යකඩ කූරක් තමයි මෙහෙම තියෙන්නේ. ඉතිං රෑ තිස්සේ මේක ගහමින් තමයි සත්තු එළවන්නේ. මාත් ඉතින් හවසට පැල් ගිහින් රෑ දහය විතර වෙනකම් වරින්වර මනියට ගහමින් ඉන්නවා. මං බට නළාවකුත් අරන් ගිහින් පිඹිනවා. හැබැයි රෑ දහය විතර වෙනකම් විතරයි. දහයෙන් පස්සේ මං නිදා ගන්නවා.


මාමා හැමදාම මට බණිනවා මේකා හොඳට කාලා ගොනා වාගේ බුදියනවා කියලා. මං ඕකට හොඳ ක්‍රමයක් හොයා ගත්තා. මගේ ඉණ පටිය අරන් ඒකේ එක කොනක් මගේ කකුලේ ගැට ගහලා අනෙක් කොන මනියේ ගැට ගහනවා. ඒ කරලා මං බුදියා ගන්නවා. නින්දෙන් කකුල එහාට මෙහාට යන කොට මනිය වැදෙනවා. අනික පැල්වල සැප පහසුවට බුදියා ගන්ඩ බෑනේ. එහාට මෙහාට වෙනවාමයි. ඊට පස්සේ මාමගේ කලබලයක් නෑ. උන්දෑ කියනවලු “දැන් නම් කොල්ලා බුදියාගන්නේ නෑ වගේ” කියලා. හැබැයි මං විතරයි ඒක දන්නේ.


හේන්වල හැම පැලකම හුළු අත්තක් තියෙනවා. කාගේ හරි හේනකට අලියෙක් ආවොත් අනිත් අයට කෑගහලා කියනවා. එතකොට අර පැල්වල ඉන්න හැමෝම හුළු අතු පත්තු කරන් පැලෙන් බැහැලා අලි ආපු හේනට එනවා. එතකොට අලි ඉන්නේ නෑ පැනලා යනවා. බීරංග පත්තු කිරීමත් එදා වන සත්තු පළවා හරින්ඩ යොදා ගත්තා.”


“හේන් ගොවිතැනේදි නොකළ යුතු දේවල් ඒ කියන්නේ තහංචි එහෙමත් තිබුණලු නේද?” මම ඇසුවෙමි.


“ඔව්.... ඔව්.... හේනක වල් කොටන්නේ පොල් ගෙඩියක් එල්ලලා දෙවියන්ට බුදුන්ට බාර හාර වෙලානේ. ගහේ පැල හදන්නෙත් එහෙමයි. මුලින්ම පැලට යන දවසේ පඬුරක් අරන් ගිහින් ගැට ගහනවා. කවදාවත් ගෙදර ගෑනි හරි වෙන ගෑනියෙක් හරි පැලට එක්ක යන්නේ නෑ. පැල දේවස්ථානයක් වගෙයි. ඒ වාගේම තමයි කාන්තාවන්ගේ මාස් ශුද්ධිය දවස්වලට හේනට එන්නෙත් නෑ. හේන් කරන කාලයට දවල් රෑ දෙකේම පිරිමියා හේනෙම ඉන්නේ. ඒත් රෑට අනුන්ගේ අඹු සොයාගෙන ගියේ නෑ. ඒවාගේ දේවල් එදා අපේ ගම්වල තිබුණේ නෑ. සම්බෝග සුව විඳින්න ඕනෑ නම් දවල් කාලයේ හේනෙන් පිට සුදුසු තැනක එහෙම කරනවා. අනුන්ගේ හේනක ඉඳිකඩුල්ලෙන් මෙහාට කතා නොකර අනවසරයෙන් කවුරුත් පනින්නේ නෑ. ඒ නිසා අර කටයුතුවලටත් බාධාවක් නෑ.


හේනේ බව බෝගවල අස්වැන්න නෙළා ඉවර වුණාට පස්සේ යායේ ගොයියෝ ඔක්කොම එකතු වෙලා අර මුලින් එල්ලපු පොල් ගෙඩි එහෙම අරන් කිරි ඉතිරීම කරලා බාර හාර ඔප්පු කරනවා. ගැට ගහපු පඬුරු දෙවියන්ට පූජා කරල පිං අනුමෝදන් කරනවා. ඔය කටයුතු කළාට පස්සේ හේනත් සමග තිබුණ බැඳීම ඉවරයි. හැබැයි හේනෙන් අයින් වෙනකොට තවත් වගාවක් කරලා තමයි එන්නේ. ඔය වෙනකොට හේනේ පොඩි පොඩි පඳුරු ලියලනවා. ඒවා කපලා, කුරහන් ඉපනැල්ලට ගිනි තියලා තල වපුරනවා. ඒවා රැක බලා ගන්ඩ යන්නේ නෑ. තල වගාවට සත්තුන්ගෙන් හානියක් නෑනේ. ආයි හේනට යන්නේ තල කපන්ඩ. ඒක නිකන්ම ඉඳන් ගන්න අස්වැන්නක්.”


හේන් ගොයිතැනත්, පැල් රැකීමත් බොහෝ කටුක, දුෂ්කර කටයුත්තක් වුවත් ඒ ජීවිතය යළි සිහිවෙන විට සියුම් සතුටක් දැනෙන බව ටී.එම්. හේරත් බණ්ඩා මහතා කීය. හේන හා බැඳුණු සිරිත් විරිත් චාරිත්‍රවාරිත්‍ර තුළ ගම්කරේ ඇත්තන්ගේ ගුණධර්ම වැඩුණු බව ද ඔහු සිහිපත් කළේය.

m



අදහස් (0)

එදා හේනේ පැලේ විත්ති

මාධව Monday, 23 January 2017 08:48 AM

ඉතාම රසවත් ලිපියක් (නි)

:       0       0

පුබුදු Thursday, 19 January 2017 01:08 AM

ඉතාමත් රසවත් ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. මේ වගේ දේවල් අද දවසේ අපි කාටවත් විඳින්න ලැබෙන්නේ නැති එක ගැන ලොකු කණගාටුවක් එනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 81 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 399 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1027 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1516 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site