IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


එපා කියා බදාගන්න මනාප ක්‍රමය

මීළඟ මහා මැතිවරණයට දින නියම වී තිබේ. ඒ පසුබිම යටතේ මැතිවරණ ක්‍රමය සහ මනාප ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමුව තිබේ. මේ කාරණා දෙක දැඩි විවේචනයට ලක්වනු අපි විටින් විට දැක ඇත්තෙමු. එයටද හේතු රැසකි. මුලින් මෙරට පැවැති මැතිවරණ ක්‍රමයේ වෙනසක් පසු කාලීනව සිදුවුණි. කේවළ ඡන්ද ක්‍රමය යනු මුලින් මෙරටට හඳුන්වා දී තිබූ මැතිවරණ ක්‍රමයයි.

යම් ඡන්ද කොට්ඨාසයක් ගත්විට එයට තේරී පත්වන මන්ත්‍රීවරයෙක් මුල් ක්‍රමය යටතේ සිටියේය. එම මන්ත්‍රීවරයා තෝරා පත්කර ගත්තේ මහ මැතිවරණයකින් හෝ අතුරු මැතිවරණයකින්ය. අදාළ ඡන්ද කොට්ඨාසයේ වැඩියෙන්ම ඡන්ද ලබාගන්නා පුද්ගලයා එම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වශයෙන් තෝරා පත්කර ගත්තේය.

මෙම තෝරා ගැනීමේදීද ප්‍රශ්න මතුවුණි. එක් අපේක්ෂකයකු ඡන්ද දස දහසක් ලබා ගන්නා විට තවත් අපේක්ෂකයකු ඡන්ද 9990 ක් ලබාගන්නට පුළුවන. වෙනස ඡන්ද දහසකි. ඡන්ද දස දහසක් ලබාගත් පුද්ගලයා මන්ත්‍රීවරයකු වශයෙන් පත්වන විට ඡන්ද 9990 ක්ම වටිනාකමක් නොමැති තත්ත්වයට පත්වූවේය. එනිසාම මේ පිරිසේ මතය කිසිදු ආකාරයකින් පාර්ලිමේන්තුවේ නියෝජනය වූවේ නැත. පසුකාලීනව සමානුපාතික නියෝජන ක්‍රමය ඇති කළේ මේ දුර්වලතාව විශේෂයෙන්ම පදනම් කරගෙනය.

සමානුපාතික නියෝජනක්‍රමය හඳුන්වාදීමෙන් පසු ඡන්දය ලබාදුන්නේ පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකටය. මුල් අවස්ථාවේදී දේශපාලන පක්ෂ වලින් ලැයිස්තු ඉදිරිපත් කළේය. ජනතාව ලබාදෙන ඡන්ද සංඛ්‍යාව අනුව යම් අනුපාතයකට අනුව ඒ ඒ පක්ෂයට ලැබෙන මන්ත්‍රීධුර ගණන තීරණය කෙරුණි. යම් පක්ෂයකට ආසන දහයක් ලැබුණේ නම් එම පක්ෂ ලැයිස්තුවේ මුල් දස දෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ ක්‍රමයෙන් සිදුවූවේය. එක් ආසනයක් ලැබුණොත් පාර්ලිමේන්තුවට පත්වන්නේ කවුරුන්ද? ආසන පහක් ලැබුණොත් පත්කරන්නේ කවුරුන්ද? යන්න ලැයිස්තුව සකසන අවස්ථාවේදීම අදාළ පක්ෂයෙන් තීන්දු කරන ක්‍රමයක් සමානුපාතික නියෝජන ක්‍රමයක් සමග මූලික වශයෙන් හඳුන්වා දුන්නේය. එහෙත් පසුකාලීනව මෙයට විවේචන එල්ලවූවේය. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මැතිවරණ කොට්ඨාස ක්‍රමය මැතිවරණ දිස්ත්‍රික්ක ක්‍රමයක් බවට පරිවර්තනය වූවේ මේ සමගය. එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් තුළ එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායම් වලට හිමිවන ආසන සංඛ්‍යාවක්ද තිබේ. එම ආසන සංඛ්‍යාව අනුව වැඩිම මනාප ලබාගන්නා අපේක්ෂකයෝ පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. මනාප ක්‍රමය නැති නම් මනාප පොරය සම්බන්ධයෙන් පසුකාලීනව ඇතිවූ වෙනස එයයි. මහ මැතිවරණයට අදාළව අද වන විට අප රටේ පවතින්නේ එම ක්‍රමයයි. මෙය බොහෝ විවේචනයට බඳුන්වන කරුණක් බවට පත්ව තිබේ. ඒ මන්දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. සමානුපාතික නියෝජන ක්‍රමය සම්බන්ධ විධි විධාන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ 1978 දීය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන්නද 1989 දක්වා මෙම මැතිවරණ ක්‍රමය මහ මැතිවරණයක් වෙනුවෙන් භාවිත කිරීම සිදුවූවේ නැත.

1977 මහ මැතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේය. ලාම්පු කළගෙඩි ජනමත විචාරණය හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වූවේ නැත. ඒ එදා දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් අනුව මිස රටේ අවශ්‍යතාව අනුව නොවේ. මෙකී සෙල්ලමෙන් පසු මහ මැතිවරණයක් පැවැත්වූවේ 1989 දීය. ඊට පෙර මුල්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වුණි. ඒ අනුව සමානුපාතික නියෝජන ක්‍රමය මුල්වරට අත්හදා බැලුවේ මේ රටේ ඊට පෙර කිසි දිනෙක නොතිබූ 13 වැනි සංශෝධනයත් සමග හඳුන්වා දුන් පළාත් සභා හරහාය. 1989 මහ මැතිවරණය පැවැත්වූවේද සමානුපාතික ක්‍රමයට අනුගතවය. ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මනාප ක්‍රමය හඳුන්වා දුන්නේය.

මනාප ක්‍රමය මේ රටට හඳුන්වාදීමේ වුවමනාවක් තිබුණාදැයි මේ සමග මතුවන ප්‍රශ්නයකි. ඡන්ද ක්‍රමයක් හෝ ඡන්දය භාවිත කළයුතු ආකාරය හඳුන්වාදීම පුළුල් විෂයකි. කෙසේ හෝ රටට හඳුන්වා දුන්නේ අපම සකසාගත් ඡන්ද ක්‍රමයක් නොවේ. ලෝකයේ වෙනත් රටවල භාවිත කරන ක්‍රමය. වඩා ප්‍රජාතන්ත්‍රවාදී යැයි සිතන රටවල ඡන්දක්‍රම ආදිය අධ්‍යයනය කර අපට ගැළපෙන ක්‍රමය මෙය යැයි සිතා යම් ක්‍රමයක් හඳුන්වාදීම සමාන්‍යයෙන් සිදුවන්නකි. මනාප ක්‍රමය හඳුන්වා දුන්නේද එලෙස විය හැකිය. කලින් පැවැති ක්‍රමයේදී පක්ෂයේ ලැයිස්තුව අනුව මන්ත්‍රීවරු පත්වූහ. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද ඇතැම් පක්ෂ අභ්‍යන්තරයේ ජනතාව බලාපොරොත්තුවන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්ෂ නායකයා සතු බලතල බෙහෙවින් ප්‍රබලය. පක්ෂ අභ්‍යන්තරයේ යම් යම් අර්බුද ඇතිවනු අපි දැක ඇත්තෙමු. මෙවන් පසුබිමක මහජන නියෝජිතයා කවුරුන්දැයි පක්ෂයෙන් තීරණය කිරීම සමාජ කතිකාවතකට හේතුවුණි. ජනතාව අපේක්ෂා කරන පුද්ගලයා පාර්ලිමේන්තුවට පත් නොවන පසුබිමක්ද පක්ෂ ලැයිස්තු ක්‍රමයෙන් නිර්මාණය වූවේය. මනාප ක්‍රම සැකසෙන්නේ මේ වරද නිවැරදි කර ගැනීමේ අරමුණෙනි.

එහෙත් පසුකාලීනව මනාප ක්‍රමය මනාප පොරයක් බවට පරිවර්තනය වූවේය. මෙසේ වී ඇත්තේ මනාප ක්‍රමය හඳුන්වාදීමේදි සිදුවූ වරදක් නිසාද? නැතිනම් ඡන්දදායකයාගේ දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයක්ද? එසේත් නැති නම් මනාප ක්‍රමයත් සමග හඳුන්වාදිය යුතුව තිබූ යම් ක්‍රියාමාර්ග හඳුන්වා නොදුන් නිසාද? අවශ්‍යදේ හඳුන්වා නොදුන්නේ නම් එදා සිටි බලධාරීන් කර ඇත්තේ වරදකි. එය පුද්ගලයකු හෝ යම් කණ්ඩායමක් වරද්දා ගැනීමක්ද නොවේ. රටක් හැටියට වරද්දා ගැනීමක් වශයෙන් යම් කෙනකුට අර්ථ ගන්වන්නට පුළුවන. ඇතැම් අය තම රූපයට, ජනප්‍රියත්වයට කරන යම් යම් කටයුතු පදනම් කරගෙන වැඩියෙන් මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආකාරය අපි මීට පෙර දුටුවෙමු. ඒ වගේම පාර්ලිමේන්තුවට තේරීපත්විය යුතු පුද්ගලයන් පරාජයවූ ආකාරය ගැනත් අපට අත්දැකීම් බහුලය. මනාප ක්‍රමයෙන් සිදුව ඇත්තේ කුමක්දැයි මේ හරහාද අවබෝධයක් ලබාගත හැකිය.

මහ මැතිවරණය දෙස සෑමවිටම අවධානය යොමු කරන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් නැති නම් ඡන්ද කොට්ඨාස මට්ටමෙනි. ඡන්ද කොට්ඨාසයට සමීප, ඡන්දදායකයාට සමීප ඔවුන්ගේ ප්‍රසාදය දිනාගත හැකි පුද්ගලයා පත්කර යැවීමෙන් අපේක්ෂා කරන්නේ තම ප්‍රදේශයේ අවශ්‍යතා ඉටුකරවා ගැනීමය. පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවන්නේ ප්‍රාදේශිය මට්ටමේ වැඩ කිරීමටද ඊට වඩා බරපතළ කාරණා උදෙසාදැයි අවධාණයට ලක්විය යුත්තකි. සමාජ සංවර්ධනයට ප්‍රතිපත්ති සැකසීම, නීතිරිති සම්පාදනය, රාජ්‍ය මුදල් සම්බන්ධ තීන්දු තීරණ ගැනීම පාර්ලිමේන්තුවේ වගකීමය. මේ කාරණාවලට ඒ සම්බන්ධ දැනුම, හැකියාව ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතුය. ගණපූරණය නැතිව පාර්ලිමේන්තුව කල් තබන අවස්ථා බොහෝය. දෙසිය විසිපහක් සිටින පාර්ලිමේන්තුවේ ගණපූරණය විස්සකි. එසේ නම් විසි දෙනකු පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට නොහැකි දින තිබේ. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයකි.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුගොස් ඇත්තේ වසරකට දින පහ හයකි. එහෙත් ඔවුහු සෑම මැතිවරණයකදීම ජය ලබති. එයට හේතුව ඔවුන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කයේ ලබාගෙන ඇති ජනප්‍රියත්වයයි. එහෙත් අවසන් වශයෙන් රටක් ලෙස බලනවිට නීති, ප්‍රතිපත්ති සම්පාදනය කළයුතු පුද්ගලයා රටේ මුදල් සම්බන්ධ තීන්දු තීරණ ගතයුතු පුද්ගලයා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැත. මෙය බෙහෙවින් බේදජනක තත්ත්වයකි.

මේ තත්ත්වය නිර්මාණය කර ඇත්තේ මනාප ක්‍රමය මිස වෙනත් සාධකයක්ද? යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන්ගේ දිස්ත්‍රික්කයේ හෝ මැතිවරණ බලප්‍රදේශයේ ඡන්දදායකයන්ට ඔහු කරන කටයුතුවලට වඩා රටට අවශ්‍ය දේකරන පුද්ගලයන් පාර්ලිමේන්තු යැවිය හැකි ආකාරයට මේ ක්‍රමවේදය සකස්කරගත යුතුය. එහෙත් එවන් සකස් කිරීමක් නිවැරැදි කිරීමක් අද දක්වාම සිදුව නැත.

මනාප ක්‍රමයේ අඩුපාඩු බොහෝය. මනාප ක්‍රමය වෙනුවට වෙනස් ආකාරයක ක්‍රමයක් ඇති කළ යුතු බවට වූ සංවාදයක් පසුගිය කාලය පුරාවටම පැවැතියේ ඒ නිසාය. සම්මතවීමට තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයේදීද නව ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව ඉස්මතු කර තිබුණි. මෙවන් විවේචනාත්මක තැනකට මනාප ක්‍රමය තල්ලුවී ඇත්තේ හේතු ගණනාවක ප්‍රතිඵලයක් වශයෙනි. ඇතැම් විට එදා නිසි පියවර ගත්තා නම් අද මෙවන් මාතෘකා කතා කිරීමට සිදුවන්නේ නැත. එදා ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් සිටියේය. එහෙත් දැන් සෑම කොට්ඨාසයකටම මන්ත්‍රීවරයකු නැත. එයට හේතුව දිස්ත්‍රික්ක වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමය. අවිස්සාවේල්ල ප්‍රදේශය අයත් වන්නේ කොළඹ මැතිවරණ  දිස්ත්‍රික්කයටය.

මැද කොළඹ ආසනය වශයෙන් තෝරාගෙන වැඩ කරන අයකුට ඡන්ද ලබාගැනීමට අවිස්සාවේල්ල ප්‍රදේශයේත් ඡන්ද ව්‍යාපාරය කිරීමට සිදුවනු ඇත. මේ සඳහා විශාල වියදමක් දැරිමට  මෙන්ම පිරිස් බලයද අවශ්‍යය. මෙලෙස ප්‍රචාරක කටයුතු කිරීමේ මූලික අරමුණ වැඩිපුර මනාප ලබා ගැනීමය. ඇතැම් විට මෙවන් ක්‍රියා ගැටුම්වලට මඟ පාදන්නට පවා ඉඩ නැතුවා නොවේ.
මෙලෙස ඡන්ද ලබාගත හැකි අයකු වීමට නම් ඔහු ආර්ථික වශයෙන් ශක්තිවන්ත පුද්ගලයකු විය යුතුය. මනාප ක්‍රමය අනුව ඉතා විශාල මුදලක් වියදම් නොකර වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගත නොහැක. මෙලෙස මුදල් වියදම් කරන පුද්ගලයා බලයට පත්වූ පසු කරන්නේ කුමක්ද? දූෂිත දේශපාලනඥයන් බිහි කිරීමට මේ කාරණය හේතු විය හැකි බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ වගේම මහා පරිමාණයෙන් වියදම් කිරීමට මුදල් සොයාගත්තේ කෙසේද යන ප්‍රශ්නයද මතුවනු ඇත.

මේ අනුව බලන විට අකටයුතුකම් රාශියකට මාර්ගය විවෘත කිරීමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුව ඇති ආකාරයක් හඳුනාගන්නට පුළුවන.

රටට වැඩක් කළ හැකි, ජනතාව සමග සම්බන්ධවී කටයුතු කළ හැකි, දක්ෂ නවකයකු මැතිවරණයකට ඉදිරිපත් වූ පසු පුළුල් මැතිවරණ ව්‍යාපාරයකට යාමට හැකියාවක් නැත. ප්‍රසිද්ධියක් නැති නවකයකුට දේශපාලනයට පිවිසීමේ අවස්ථාව පවත්නා දේශපාලන ප්‍රවාහයෙන් අහුරා දමා තිබේ. මතුපිටින් පෙනෙනා සරල කාරණාවලට වඩා මේවා රටේ අනාගතයට බලපාන කරුණුය. මෙලෙස කරුණු අධ්‍යයනය කරන විට මනාප ක්‍රමය විශාල වශයෙන් දුර්වලතා පවතින ක්‍රමයක් වශයෙන් හඳුනාගන්නට පුළුවන.

ඡන්ද අපේක්ෂකයන්ගෙන් පහෙන් එකක පමණ කොටසක් මනාප ක්‍රමය හේතුවෙන් විවිධ ගැටුම්වලට කළකෝලාහලවලට සම්බන්ධවන්නට පුළුවන. ඉතිහාසය හාරා අවුස්සන විට එම කාරණා තහවුරු කරගත හැකිය. මැතිවරණවලදී කලහකාරීව කටයුතු කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධව ජනතාවට අවබෝධයක් තිබේ. ඇතැම් විට මේ ගැටුම් මනාප පොරය නිසාම ඇති නොවන්නට පුළුවන. කෙසේ වුවත් මනාප පොරය හේතුවෙන් ඇතිවිය හැකි දූෂිත තත්ත්වය තුරන් කිරීමට තවමත් හැකිව නැත.

මනාප ක්‍රමයේ සාධනීය ලක්ෂණද නැතුවා නොවේ. ඡන්දදායකයාට සුදුසු යැයි සිතෙන පුද්ගලයා පත්කර ගැනීමට අවස්ථාව තිබීම ඉන් එකකි. පක්ෂයට තිබූ අවස්ථාව ජනතාව අතට පත්වීම හොඳය. එහෙත් මනාප ක්‍රමයෙන් නිර්මාණය කර ඇති තරගකාරීත්වය හේතුවෙන් සුදුසු පුද්ගලයා තෝරා පත්කර ගැනීමේ අවස්ථාව අහිමි වන්නට පුළුවන.

මැතිවරණ දිස්ත්‍රික්කයක පරාසය පුළුල් වීම අපේක්ෂකයන් පවා අපහසුතාවට පත් කරන්නකි. එනිසා මේ සම්බන්ධව වඩා ප්‍රායෝගික බෙදීමකට අවධානය යොමුකළ යුතුය. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීම සම්බන්ධව තවත් නීතිරීති ඇතිකරගත යුතුය. යම් අපේක්ෂකයකුට තමන් ඡන්දය ඉල්ලන ප්‍රදේශයේ සිටින ඡන්දදායක සංඛ්‍යාවට සමානුපාතිකව එක් අයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල් සම්බන්ධ නීති රීති සම්පාදනය කරගත යුතුය. මාධ්‍ය භාවිතය සම්බන්ධව මැතිවරණ පනතේ 126 වැනි  වගන්තියේ සඳහන්ය. එය පොදුවේ සෑම මාධ්‍යයකටම බලපාන ආකාරයට සඳහන්ව නැත. මේවා සම්බන්ධව අවධානය යොමුකළ යුතුව තිබේ. අපේක්ෂකයන්ට සාධාරණ අවස්ථා ලබාදී ජනතාවට ඔවුන් පිළිබඳ අවබෝධය ලබා ගැනීමට අවකාශ සලසන්නේ නම් වඩා යහපත් ආකාරයට මේ ක්‍රමය යොදා ගන්නට පුළුවන. කුමන ක්‍රමයක් ඇති කළත් එයින් නිසි ප්‍රයෝජන ගන්නට නම් ඡන්දදායකයා දැනුවත් වියයුතුය. එනිසා ඡන්ද දායකයා නිසිලෙස දැනුවත් කරන වැඩ පිළිවෙළක් සකස් කිරීම සැමගේ වගකීමකි. අපව ආරක්ෂාකරගැනීමට ඇති රට ගැන සිතා, රටේ සමෘද්ධිය ගැන සිතා මේවා කළ යුතුය.

(***සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (1)

එපා කියා බදාගන්න මනාප ක්‍රමය

ගමරාල Thursday, 18 June 2020 01:22 AM

ඡන්ද කොට්ඨාශ මට්ටමෙන් නැතත් දිස්ත්‍රික්ක මට්ටමෙන් ගත්විට සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්නන් විශාල වශයෙන් සිටිනවා. විසිකිරීමට තරම් ඒවායින් උපයන මුදල්ද ඔවුන්ට තියෙනවා. වත්මන් සමාජයේ කසිප්පු ටිකට, බතපැකට් එකට ඕනෑම පහත්වැඩක් කිරීමට සූදානම් ඡන්ද දායකයින්ද ඕනෑතරම් සිටිනවා. මෙම මනාප ක්‍රමය යටතේ එවැනි දූෂිතයින්ට පාර්ලිමේන්තු යාමට හැකියාව ඇතිවෙනවා. එවිට පාර්ලිමේන්තුව පිරිහුණත් බලයට කෑදර පක්ෂ නායකයින් මෙම ක්‍රමය වෙනස්කරන්න අකමැති බවක් තියෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 196 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 215 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1279 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 214 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 497 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1132 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 768 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2156 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site