IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එල්.ටී.ටී.ඊ.ය 2005 ජනාධිපතිවරණය වර්ජනය කර රනිල් වික‍්‍රමසිංහ පරාජය කළ හැටි


01-Page-18-M-03


000

 

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ප‍්‍රචාරයක් පවතී. පෝස්ටර් මගින් මෙන්ම අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ ඔස්සේ ද 2015 දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ඉඟි පළවෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ මහතා තුන් වැනි වරට ද තරග කරන අතර ඇතැම් විට රනිල් වික‍්‍රමසිංහ මහතා ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස තරග බිමට පිවිසීමට ඉඩ ඇත. එසේ වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට ධනාත්මක ප‍්‍රතිචාර ද රනිල් වික‍්‍රමසිංහ මහතාට ඍණාත්මක ප‍්‍රතිචාර ද දැක්වීමට රාජ්‍ය ප‍්‍රචාරණය මගින් බොහෝ කටයුතු කරනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා වීරයකු ලෙසින් ද, රනිල් වික‍්‍රමසිංහ මහතා ද්‍රෝහියකු ලෙසින් ද එමඟින් හුවා දැක්විය හැකිය.

රනිල් වික‍්‍රමසිංහ මහතා දේශද්‍රෝහියකු ලෙසින් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කුමන්ත‍්‍රණය කළ පුද්ගලයකු ලෙසින් ගෙන යන ප‍්‍රචාරය පදනම් විරහිත, අසාධාරණ මෙන්ම සත්‍යයෙන් ද තොර වූවකි. 2005 ජනාධිපතිවරණයේදී ද මෙයට සමාන ප‍්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙයවූ අයුරු සිහිපත් වේ. එහිදී ප‍්‍රචාරය කෙරුණේ අලි-කොටි ගිවිසුමක් පිළිබදවය. රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය කුමන්ත‍්‍රණය කළ බවට ඔවුහු එදා චෝදනා කළහ. එදා මෙම චෝදනාවේ නිර්මාතෘවරයා වූයේ මංගල සමරවීරය. අද ඔහු රනිල් සමග එක්සත් ජාතික පක්ෂයේය.

සත්‍ය වශයෙන්ම එදා ජනාධිපතිවරණයේදී සිදු වූයේ මීට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ වූවකි. එල්.ටී.ටී.ඊ.ය සමඟ ගිවිසුමකට එළැඹ ජයග‍්‍රහණය කිරීමට උත්සාහ කළා යැයි චෝදනා ලද පුද්ගලයා කොටි කුමණ්ත‍්‍රණයේ ගොදුරක් බවට පත්ව ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූයේය. 2005 ජනාධිපතිවරණයේදී දෙමළ ජනයා වාසය කළ ප‍්‍රදේශවල මැතිවරණය වර්ජනය කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය හා  දෙමළ ජාතික සන්ධානය පියවර ගත්හ. මෙහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රචණ්ඩත්වයක් මවා පාමින් මැතිවරණය වර්ජනය කිරීමට දෙමළ ජනතාවට බලපෑම් කළේය. ලක්ෂ ගණනින් වූ දෙමළ ජනතාව ඡන්ද මධ්‍යස්ථානවලින් ඈත් කර තැබිණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වූයේ නම් මෙම ඡන්දවලින් වැඩි ප‍්‍රමාණය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවන බවට රහසක් නොවීය. දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කිරීම මත රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවීමට තිබූ ඡුන්ද 250,000ත් 300,000ත් අතර ප‍්‍රමාණයක් අහිමිව ගියේය. 

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඡුන්ද 4,887,152 (50.29%)ක් ලබා ගන්නා විට රනිල් වික‍්‍රමසිංහ මහතා ඡන්ද 4,706,366 (48.43%) ලබා ගැනීමට සමත් වූයේය. රනිල් මහින්දට පරාජය වූයේ ඡුන්ද 180,786කිනි. එල්.ටී.ටී.ඊ.ය මැතිවරණය වර්ජනය කිරීමට බලපෑම් නොකළේ නම් මෙම ප‍්‍රතිඵලය වනුයේ මහින්ද රනිල්ට පරාජය වීමෙනි. ඡන්ද පදනම පිළිබ`දව සලකා බැලීමේදී දෙමළ සහ මුස්ලිම් ඡන්ද බහුල වශයෙන් රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් භාවිත වන බැව් පැහැදිලි විය. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ හා කොටි සංවිධානය අතර ගිවිසුමක් තිබූ බවට ගෙන ගිය ප‍්‍රචාරය කෲර උපහාසයකි. යථාර්ථය වූයේ එල්.ටී.ටී.ඊ.ය සමඟ ගිවිසුමක් තිබූ බවට චෝදනා කෙරුණු පුද්ගලයා එල්.ටී.ටී.ඊ.ය විසින්ම පරාජය කරනු ලැබීමය.

 රනිල් වික‍්‍රමසිංහ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟ සබදතා පවත්වන බවට අභූත චෝදනාවක් නැවත වරක් කරළියට පැමිණ ඇත්තේය. මෙම පදනම් විරහිත ප‍්‍රකාශය කන වැකෙන විට නුදුරු අතීතයේ සිදුවූ කි‍්‍රයාදාමය සිහිපත්වීම නොවැළැක්විය හැකිය. 2005 එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ  දෙමළ ජාතික සන්ධානය රනිල් වික‍්‍රමසිංහට ජයග‍්‍රහණය කිරීම සදහා තිබූ අවස්ථාව උදුරා ගත්තේ මන්ද හා එය සිදුවූයේ කෙසේද යන්න සොයා බැලීම වැදගත්ය.
2005 බලහත්කාරයෙන් කළ ජනාධිපතිවරණ වර්ජනය මගින් එල්.ටී.ටී.ඊ.ය ලොවට මවා පෑවේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම දෙමළ ජනතාව රවටා ඇති හෙයින් අලූතින් පත්වන ජනාධිපතිවරයාගෙන් දෙමළ ජනතාවට කිසිවක් අපේක්ෂා කළ නොහැකි බවයි.   මෙම වාරණය දෙමළ ජනයාගේ තීරණයක් ලෙස එල්.ටී.ටී.ය හුවා දැක්විය. රනිල් වික‍්‍රමසිංහ නම් දේශපාලනඥයා ජයග‍්‍රහණය කරනු දැකීමට එල්.ටී.ටී.ය.ට අවශ්‍ය නොවීය. ඔවුනට අවශ්‍ය වූයේ සාමයට කැමති වූ රනිල් වික‍්‍රමසිංහ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීම වැළැක්වීමය. ඊට බල පෑ හේතු සාධක වෙත අවධානය යොමු කිරීම වැදගත්ය.

ජනාධිපතිවරණයේදී තමන් මැදිහත් පිළිවෙතක් අනුගමනය කරන බව කියා සිටි එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනයා දේශපාලනික වශයෙන් මුහුකුරා ගිය ජනතාවක් බවද, තම ඡුන්දය ප‍්‍රකාශ කිරීමට හෝ ඉන් වැළකී සිටීමට නිදහස සහ අයිතිය ඔවුනට ඇති බවද ප‍්‍රකාශ කළේය. රනිල් වික‍්‍රමසිංහට විශාල දෙමළ ජනතා රැල්ලක් ඇති බැව් එල්.ටී.ටී.ඊ.ය දැන සිටියේය.  ආරම්භයේ රනිල්ට පමණක් විරෝධය පළ කළ ඔවුහු පසුව තම හඩ වෙනස් කළහ. රනිල් වික‍්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම දෙමළ ජනයාගේ ගැටලූ විසදීමට අපොහොසත් හෙයින් ඔවුන් දෙදෙනාටම ඡුන්දය ප‍්‍රකාශ කිරීම ප‍්‍රයෝජනයක් නොමැති ව්‍යායාමයක් බවට එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රචාරයක් ගෙන ගියේය. කෙසේ වුවද රනිල් වික‍්‍රමසිංහට දෙමළ ඡුන්ද වැඩි ප‍්‍රතිශතයක් හිමිවන බැව් පෙනී ගියේය. රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි එකී ආකර්ශනය ඇතිවීමට සාධක කිහිපයක් බලපෑවේය. ඉන් පළමුවැන්න මහින්ද රාජපක්ෂගේ යුදවාදී ප‍්‍රතිපත්තිය සහ ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය සමඟ ඔහු ඇති කරගෙන තිබූ සම්මුතියයි. නැවත යුද්ධයකට යෑම දෙමළ ජනතාව දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරමින් තිබිණි. මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය නැවත වරක් යුද්ධයකට මඟ පාදන බැව් ඔවුහූ දැන සිටියහ. එල්.ටී.ටී.ඊ.ය තහනම් නොකොට ඔවුන් සමඟ සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි දෙමළ ජනතාවගේ ගෞරවය මුසු හැඟීමක් තිබිණි. ෆෙඩරල් විසදුමක් සදහා වන ගිවිසුමකට රනිල් පක්ෂපාතීත්වය දැක්වීය. ඔහුගේ ආර්ථික ප‍්‍රතිපත්තියද දෙමළ ජනතා ආකර්ශනය දිනා ගැනීමට සමත්ව තිබිණි. 
රනිල් වික‍්‍රමසිංහගේ මෙම අවංක ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඔහු සිංහල ජාතියට ද්‍රෝහි වූවකු ලෙස විරුද්ධවාදීන් හදුන්වන්නට වූ අතර එය ඔහුගේ සිංහල ඡන්ද පදනමට බලපෑමක් එල්ල කළේය. මෙකී පසුබිම මත දෙමළ ඡුන්ද විශාල වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවිය යුතුයැයි සමාජයේ බුද්ධිමත් පිරිස් විශ්වාස කළහ. එවක පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සියලූ සුළු ජනකොටස්වල තීරණාත්මක අවශ්‍යතාවක් බවට පත්ව තිබූ අතර මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දැඩිමතධාරී එකමුතුවේ අරමුණුවලට මෙය දැඩි බලපෑමක් එල්ල කළේය.

මෙම අවස්ථාවේ සුළු ජාතීන්ට අවශ්‍ය වූයේ තමන් යටපත් කිරීමට තැත් කරන සිංහල බෞද්ධ නායකයකු නොව, තමනට හිතවාදී අපේක්ෂකයකු නායකත්වයට පත්වනු දැකීමය. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ලංකා කම්කරු කොන්ග‍්‍රසය, උඩරට මහජන පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුණ වැනි සුළු ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පෙළ ගැසුණාහ. එමෙන්ම කතෝලික රදගුරුතුමන්ද වක‍්‍රාකාරයෙන් වික‍්‍රමසිංහට සහාය පළ කළේය. සුළු ජාතීන්ගේ මෙම හැසිරීම තුළින් ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව විද්‍යමාන වූයේය. ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනයාද, වතුකරයේ දෙමළ ජනතාව සහ කතෝලික ජනයාද මෙම ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙපළ අතුරින් රනිල් වික‍්‍රමසිංහට වැඩි මනාපයක් පළ කළහ.
දෙමළ ජනතාව හා අනෙකුත් සුළු ජාතික කොටස් රනිල් වික‍්‍රමසිංහ මහතා කෙරෙහි දැක්වූ ප‍්‍රසාදය එල්.ටී.ටී.ඊ. සංවිධානයට රිසි වූවක් නොවීය. මෙම පටුමතවාදී ආකල්පය මත තීන්දු තීරණයනට එළැඹුණු එල්.ටී.ටී.ඊ.යේ අභිලාෂය වූයේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ පරාජය වනු දැකීමය. මෙකී ව්‍යාකූල තත්ත්වයට හේතු සාධක රැසක් තිබිණි. වැදගත්ම සාධකය වූයේ දැඩිමතධාරී රජයක් බිහිවුවහොත් ඔවුන් යුද්ධය දිගටම පවත්වාගෙන යනු ඇතැයිද, එලෙස නැවත වරක් යුද්ධයක් ඇති වුවහොත් එයට ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම හා විරෝධය එල්.ටී.ටී.ඊ.යට සුබවාදී ලෙස බලපානු ඇතැයිද එල්.ටී.ටී.ඊ. සංවිධානය විශ්වාස කිරීමය. අනෙක් පසින් එල්.ටී.ටී.ඊ.ය වික‍්‍රමසිංහ නොරිස්සූ අතර වික‍්‍රමසිංහ කෙරෙහි සැක මුසුව බැලීමට පුරුදුව සිටියේය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා වැඩි දෙමළ ජනතා ප‍්‍රසාදයක් රනිල් වික‍්‍රමසිංහට තිබූ හෙයිනි. වෙනත් අයුරකින් පැවසුවහොත් 1994දී චන්ද්‍රිකා කුමාරණතුංගට හිමිවූ ජනතා ආකර්ෂණය මෙවර රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි ඒකරාශීවනු දැකීම ඔවුහූ නොරිස්සූහ. එමෙන්ම වික‍්‍රමසිංහ සතු වූ අති විශාල ජාත්‍යන්තර සහයෝගය කෙරෙහිද ඔවුහු බිය වූහ.රනිල් වැනි නම්‍යශීලී දේශපාලනඥයකු රටේ නායකත්වය දරන අවස්ථාවක එල්.ටී.ටී.ඊය නැවත යුද්ධයක් ආරම්භ කළහොත් එයට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට තමන් අපොහොසත් වන බවද ඔවුහු දැන සිටියහ. වික‍්‍රමසිංහගේ සටන් විරාමය මඟින් එල්.ටී.ටී.ඊ.ය දීර්ඝ කාලීනව දුර්වල කිරීමට උත්සාහ කරන බවට කොටි කණ්ඩායම් තුළ විචිකිච්ඡාවක් ඇතිවී තිබිණි. ඔවුන් එම සටන් විරාමය හැදින්වූයේ ‘සමාතානප් පෝරි’ නොහොත් සාම උගුලක් ලෙසිනි. රනිල් පරාජය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය ගන්නා ලද තීරණය සමස්ත දෙමළ ප‍්‍රජාවේ අපේක්ෂාව හා අරමුණ නොවීය.

සාමාන්‍ය දෙමළ ජනයා යුද්ධය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කළ පිරිසකි. යුද්ධය වෙනුවට සාකච්ඡාව සහ එල්.ටී.ටී.ඊ.ය සමඟ බලය බෙදාගත හැකි නායකයා ලෙස ඔවුන් පිළිගත්තේ රනිල් වික‍්‍රමසිංහය. එල්.ටී.ටී.ඊ.යට තිබුණේ සාමාන්‍ය දෙමළ මිනිසුන්ගේ අපේක්ෂාවට වඩා ප‍්‍රතිවිරුද්ධ දැක්මකි. කොටින්ට රනිල් වික‍්‍රමසිංහට වඩා මහින්ද රාජපක්ෂ වඩාත් සුදුසු තෝරාගැනීම විය. එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රමුඛත්වය ලබා දුන්නේ දෙමළ ජනයාගේ සුබසාධනයට නොව තම අවශ්‍යතාව සපුරා ගැනීමටය. යුද වාතාවරණයකදී මහින්ද රාජපක්ෂට වඩා රනිල් වික‍්‍රමසිංහ භයානක යැයි ඔවුහූ විශ්වාස කළ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද කාර්යයේදී දුර්වල සහ අකී‍්‍රය නායකයකු යැයි ඔවුහූ සිතූහ. එහෙත් රාජපක්ෂ නම් දකුණේ වීරයා කොටින්ගේ කොදු නාරටිය බිද දමනු ඇතැයි සිංහල ජනකොටස් විශ්වාස කළහ.

  දෙමළ ජනයාට අවශ්‍ය වූයේ යුද්ධයෙන් වැළකී කොටින් සමඟ සාම සාකච්ඡාවලට එළඹිය හැකි ජනාධිපතිවරයකු වූ අතර, කොටින්ට අවශ්‍ය වූයේ සාමය බිද දමා යුද්ධයට අත වනන ජනාධිපතිවරයෙකි. මෙම තත්ත්වය මත පීඩාවට ලක්වූයේ මහජන ඡන්ද බලයයි. මෙකී පසුබිම යටතේ දෙමළ ජනයා රනිල් වික‍්‍රමසිංහට තම මනාපය ප‍්‍රකාශ කරනු ඇති බැව් එල්.ටී.ටී.ඊ.යට පෙනී ගියේය. එහෙයින් එල්.ටී.ටී.ඊ.ය සෘජුවම රනිල් වික‍්‍රමසිංහට බලපෑම් එල්ල කරන තත්ත්වයක් උදා වූ අතර ජ්‍යෙෂ්ඨ නායක කේ. වී. බාලකුමාරන් එලෙස රනිල් වික‍්‍රමසිංහට බලපෑම් එල්ල කළ පුද්ගලයකු විය. දේශපාලන නායක එස්. පී. තමිල්සෙල්වම්ද ඔහු අනුගමනය කළේය. එයින් ගම්‍ය වූයේ රනිල් වික‍්‍රමසිංහ අපේක්ෂකයන් දෙදෙනා අතුරින් වඩාත් භයානක පුද්ගලයා බවය. කොටි මාධ්‍ය රනිල් වික‍්‍රමසිංහට එරෙහි ප‍්‍රචාර දියත් කළහ. එයින් කියවුණේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා භයානක බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සීරික්කඩිකුම් නාහම් (නාගයා දශ්ඨ කිරීමට පෙර පෙනය පුප්පයි) ලෙසින්ද, එක්සත් ජාතික පක්ෂය, සීරමාල් කඩික්කුම් පිඩායියාන් (පොළඟා නිශ්ශබ්දවම පහර දෙයි* යනුවෙන්ද හැදින්වූහ. මෙම ප‍්‍රචාර මගින් අපේක්ෂා කළේ දෙමළ ජනයා ඡන්දය දීමෙන් වළක්වාලීමය. ජාත්‍යන්තර ප‍්‍රජාවේ නිරීක්ෂණ හා සටන් විරාමයක් පැවති වාතාවරණයක් මත ඡුන්දය දීමෙන් වැළකී සිටින ලෙස එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට ඔවුන් යොදා ගත්තේ විවිධ සංවිධාන හා ශිෂ්‍ය ව්‍යාපාරයි. මෙවන් ව්‍යාපාර දියත් වුවද දෙමළ ජනයාගේ අපේක්ෂාව වූයේ තම ඡන්දය රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් ප‍්‍රකාශ කිරීමය. ඒ සිංහල බෞද්ධ ආධිපත්‍යය විසින් අපේක්ෂා කළ යුද්ධයක් වෙත තල්ලූවීමට ඇති ඉඩකඩ වික‍්‍රමසිංහ විසින් වළක්වාලනු ඇතැයි  යන අපේක්ෂාව ඔවුන්ට තිබූ නිසාය. 

මේ හේතුවෙන් එල්.ටී.ටී.ඊ.යට අඩියක් පෙරට තැබීමට සිදුවිය. ඔවුහූ දෙමළ ජාතික සන්ධානය හා එක්ව 2005 නොවැම්බර් මස 10 වැනි දින ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැ`දවූහ. දෙමළ ජනතාව ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීරණය කොට ඇතැයි එහිදී සම්බන්ධන් ප‍්‍රකාශ කළේය. එල්.ටී.ටී.ඊය සහ දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ අපේක්ෂා මෙලෙස සමාජ ගත කළහ. ‘‘ප‍්‍රධාන සිංහල පක්ෂ දෙකෙහිම පාලන සමයේ තමන් දැඩිලෙස අගතියට හා පීඩාවට පත්ව සිටි බැවින් උතුරු-නැඟනහිර දෙමළ ජනතාව මෙම පක්ෂ දෙක පිළිබදව හොදින් දන්නවා. අප දෙමළ ජනයාගේ මානසිකත්වය හ`දුනන අතර, හො`දින්ම දන්නවා දෙමළ ජනතාව අපගේ මතය අනුමත කරන බව.’’ යනුවෙන් රාජවරෝදියම් සම්බන්ධන් මාධ්‍යයට සදහන් කළේය. ‘‘ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අප ගැඹුරින් සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගත්තා. එමෙන්ම දෙමළ ජනතාවගේ අනාගතය උදෙසා මැතිවරණවලදී අප දැක් වූ  අතීත දායකත්වය පිළිබ`දවද මේ සාකච්ඡුාවලදී අදහස් හුවමාරු වුණා. මෙම අපේක්ෂකයන් දෙදෙනාම උතුරේ දෙමළ ජනතා ප‍්‍රශ්නවලට විස`දුමක් ලබා දීමට සුබවාදීව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි. එහෙයින් ජනාධිපතිවරණය පිළිබ`ද කිසිදු උනන්දුවත් නොදැක්වීමට අප තීරණය කළා’’යි ඔහු වැඩි දුරටත් පැවසීය.

 

0001


එල්.ටී.ටී.ඊ සංවිධානය ඡන්ද වර්ජනය මෙහෙයවන බැව් මේ වන විට අනාවරණය වී තිබිණි. මැතිවරණය පැවති දිනයේ එදින ජාතික ශෝක දිනයක් බවත්, සියලූ වැසියන් නිවෙස්වලට වී සිටිය යුතු බවටත් ශිෂ්‍ය ව්‍යාපාරය මගින් ජනතාවට දැනුම් දෙනු ලැබීය.  මැතිවරණ රාජකාරියේ නියුතු රජයේ සේවකයන් පවා එකී නියෝගයට යටත් කරනු ලැබිණි. එල්.ටී.ටී.ඊ.ය සමඟ රනිල්ගේ සබදතාවක් ඇතැයිද, කොටි සංවිධානය සියලූ දෙමළ ඡන්ද රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් ලබා දීමට කි‍්‍රයා කරන බවටද ප‍්‍රකාශ කළ මහින්ද හිතවාදී කල්ලි මේ වන විට තම සටන්පාඨය වෙනස්කර තිබිණි. ඔවුන්ගේ නවතම පාඨය වූයේ ‘කොටි සංවිධානය රනිල් වික‍්‍රමසිංහ වර්ජනය කිරීමට කටයුතු කර ඇති බවයි. මෙය සැලවීමත් සමඟ වික‍්‍රමසිංහගේ ජයග‍්‍රහණය අපේක්ෂා කළ පිරිස හා අන්තර්ජාතික ප‍්‍රජාව විස්මයට පත් වූහ. බොහෝ ජාත්‍යන්තර සංවිධාන හා දේශීය දේශපාලනඥයෝ ඇන්ටන් බාලසිංහම් මගින් කොටි සංවිධානයට ආයාචනය කළහ. උඩරට ජනතා පෙරමුණේ එවක නායක පෙරියසාමි චන්ද්‍රසේකරන් කිලිනොච්චිය බලා ගියේය. එහිදී තමිල්සෙල්වම් හමුවූ ඔහු වවුනියාවට ගොස් එහි සිට දුරකතනයෙන් වික‍්‍රමසිංහ ඇමතීය. නැවත කිලිනොච්චිය බලා ගිය චන්ද්‍රසේකරන් තමිල්සෙල්වන් හමු විය. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුද මෙම සිදුවීම පිළිබ`ද තම අවධානය යොමු කළහ. 

මෙම ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.ඊ. ඉහළ නායකත්වය ප‍්‍රකාශ කොට සිටියේ මැතිවරණය වර්ජනය කරන ලෙස දැඩි බලපෑමක් තමන් විසින් නොකරන බවය. මෙය එල්.ටී.ටී.ඊ.යේ දෙබිඩි ප‍්‍රකාශයක් විය. එහෙත් එක්සත් ජාතික පක්ෂය එකී ප‍්‍රකාශය විශ්වාස කළේය. එල්.ටී.ටී.ඊ.ය මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියද එවැනි කාර්යයක් සදහා ප‍්‍රසිද්ධියේ කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැත. ඔවුහු ඒ පිළිබද තීරණය ජනතාව වෙත පැවරූහ. එහෙත් ජනතාවට තම ඡන්ද අයිතිය තමාට රිසි පරිදි භාවිත කිරීමට අවකාශ සැලසීම වෙනුවෙන්  ඔවුහු පෙනී නොසිටියහ. 

 මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජු සබදතාවක් ඇතිකර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ නොකැමැති විය. ඔහුට අවශ්‍ය වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මැතිවරණය වර්ජනය කිරීමෙන් වැළකී සිටීම පමණි. වික‍්‍රමසිංහ දෙමළ ජනතාව විශ්වාස කළ අතර, ඔවුන් තමා ජයග‍්‍රහණය කරවනු ඇතැයි සිතීය. කොටි සංවිධානය මැතිවරණය වර්ජනය නොකළහොත් දෙමළ ඡුන්ද විශාල ප‍්‍රමාණයක් රනිල් වික‍්‍රමසිංහට හිමිවන බව එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසය වූයේය.කොළඹ පුවත්පත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හදවත උණුවී ඇති බවට සදහන් ප‍්‍රවෘත්ති පළ කළේය. කොටි ප‍්‍රචාරක මාධ්‍ය වූ ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවිය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගැනීමට උත්සාහ කළේය. වික‍්‍රමසිංහ එය ප‍්‍රතික්ෂේප කළ ද කොළඹ පුවත්පත්වලට හා රූපවාහිනී මාධ්‍යවලට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තම මතය පැහැදිලි කළේය. දෙමළ ප‍්‍රශ්නය පිළිබද තම ස්ථාවරය කදිමට විග‍්‍රහ කිරීමට ඔහු එය අවස්ථාවක් කර ගත්තේය. 

තත්ත්වය මෙලෙස පවතින අතර මැතිවරණ වර්ජනය කි‍්‍රයාත්මක වූයේ යම් පමණක ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ භීෂණයක්ද සමඟිනි. කිසිදු බලපෑමක් සිදු නොකරන බවට ප‍්‍රතිඥා දුන්නද එල්.ටී.ටී.ඊ. සංවිධානය ඡුන්දය භාවිතයෙන් වැළකී සිටින ලෙස ප‍්‍රචාරයක් ගෙන ගියේය. දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙසින් පෙනී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාන්‍ය ජනයා වෙත භීෂණයක් මවාපාමින් මැතිවරණය වර්ජනය කරන ලෙස බලපෑම් කළේය. පෝස්ටර් සහ අත් පති‍්‍රකා සෑම පෙදෙසකම බෙදා හැරුණු අතර භීෂණය හා ප‍්‍රචණ්ඩත්වයද මුදා හැර තිබිණි. බොහෝ ප‍්‍රදේශවල බෝම්බ පිපිරීම් ඇති විය. පොලිස් මුර සංචාරවලට, හමුදා මුරකුටිවලට සහ වාහනවලටද, යාපනයේ ඊ.පී.ඞී.පී. කාර්යාල පහකටද මැතිවරණයට පෙර දිනයේ බෝම්බ ප‍්‍රහාර එල්ල විය. මැතිවරණ දිනයේ උදෑසන රජයේ ගොඩනැඟිලිවලට, ඡුන්ද මධ්‍යස්ථානවලට, ආරක්ෂක මුරකුටිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල වූ අතර ප‍්‍රධාන මංසන්ධිවල ටයර් සහ තල්කොට දමා ගිනිමැල ගසා තිබිණි. මාර්ග බාධක ඇති කර ඡන්දය දැමීමට යන්නන් පිළිබදව තරුණ පිරිස් සෝදිසියෙන් සිටිනු දැකිය හැකි විය. 

හින්දු විද්‍යාල කී‍්‍රඩා පිටියට ඇදගෙන ආ තරුණයකුට මියයන තෙක් ප‍්‍රසිද්ධියේ පහර දුන් අතර එල්.ටී.ටී.ඊ.යට සාමාන්‍ය ජනතාවගේ ඡුන්ද පති‍්‍රකා ලබා දීම ප‍්‍රතික්ෂේප කළ මඩකළපුවේ උප තැපැල් ස්ථානාධිපතිවරියක පහර දී මරා දමනු ලැබිණි. එල්.ටී.ටී.ඊ. මෝටර් සයිකල්කරුවෝ නගරය පුරා සැරිසරනු දැකිය හැකි විය. සාමාන්‍ය වැසියන් ගමන්ගත් බස් රථවලට ගල් ප‍්‍රහාර එල්ල වූ අතර, බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ඡුන්දය ප‍්‍රකාශ කළ පුද්ගලයකුගේ තීන්ත තවරා තිබූ ඇඟිල්ල කපා දැමිණි. මේ වන විට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ පුරා දැඩි භීෂණයක් මුදා හැර තිබිණි. මේ සියල්ලෙන්ම ප‍්‍රකාශ කෙරුණේ ‘‘ඡුන්දය දීමෙන් වැළකී සිටිය යුතුය’’ යන්නයි.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති ප‍්‍රදේශවල සිට රජයේ පාලනය පැවැති ප‍්‍රදේශවලට බස් රථ මගින් ඡුන්දදායකයන් රැුගෙන එන්නට රජය කි‍්‍රයා කළේය. එහෙත් එල්.ටී.ටී.ඊ.යට බිය වූ ජනයා එය ප‍්‍රතික්ෂේප කළහ. මෙම බියජනක වාතාවරණය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ ඡන්ද ප‍්‍රතිශතය 1.5%කි. සම්පූර්ණයෙන්ම කොටි සංවිධානය යටතේ පැවැති කිලිනොච්චි ප‍්‍රදේශයේ ඡන්දය ප‍්‍රකාශකොට තිබුණේ එක් පුද්ගලයකු පමණකි. ඔහු ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා මෝටර් සයිකලයකින්, මෝටර් රියකින් හා බස්රථයකින් ගමන්කොට තිබිණි. එහෙත් පසුව අනාවරණය වූයේ එම ප‍්‍රදේශයේ තත්ත්වය පරීක්ෂා කරනු සදහා කොටි සංවිධානය මගින් ඔහු එහි එවා තිබූ බවය. එම ඡුන්දය රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් භාවිත කර තිබිණි.

කොටි පාලන ප‍්‍රදේශවල සිට ඡන්දය භාවිත කිරීම ස`දහා ජනතාව පැමිණීම වැළැක්වීමට මඩකළපුවේ ප‍්‍රධාන මාර්ග අසල, තොටුපළවල හා පාලම් අසල ආයුධ සන්නද්ධ කොටි සාමාජිකයෝ රැදී සිටියහ. මාධ්‍යවේදියකු එක් කොටි සාමාජිකයකුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගත්තේය. ඔහු ප‍්‍රකාශ කළේ මෙම මැතිවරණ වර්ජනය මහජනයාගේ වුවමනාවට සිදුවූවක් බවය. ඒ සමඟම ඔහු කියා සිටියේ අප කිසිවකුට ඡන්දය භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බවය. මෙවැනි පරස්පර කතා එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රකාශ කළේ ඇතැම් ප‍්‍රදේශවල ඡන්ද පති‍්‍රකා එකතු කර ගිනි තබනු ලැබීය. යුරෝපා හවුලේ මැතිවරණ නිරීක්ෂකයන් ඉදිරියේද ඇතැම් සිදුවීම් ඇති වූයේය. දැඩි ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් චෙන්කලාඩි සහ වාලච්චේන ප‍්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂකයන්ට එම කාර්යයෙන් ඉවත් වන්නට සිදු විය. නැගෙනහිර ප‍්‍රදේශයේත්, වවුනියාව සහ මන්නාරම් ප‍්‍රදේශවලත් තත්ත්වය කිලිනොච්චියේ, මුලතිව් හා යාපනයේ තරම් දරුණු නොවීය.

මෙවැනි කි‍්‍රයා සිදුවන වාතාවරණයක් මධ්‍යයේ වුව එල්.ටී.ටී.ඊ.ය තමන්  පාවා දී ඇති බව වික‍්‍රමසිංහගේ කණ්ඩායම තේරුම් ගෙන නොතිබිණි. ඔවුන් කිලිනොච්චිය සමඟ සම්බන්ධවීමට උත්සාහ කළද එය නිරර්ථක විය. එල්.ටී.ටී.ඊ.ය නැවත වරක්  සිය දෙබිඩි පිළිවෙතට නැඹුරු වෙමින් තමන් කිසිවකට මැදිහත් නොවූ බව ප‍්‍රකාශ කළේය. තමිල් සෙල්වම් දිගින් දිගටම ප‍්‍රකාශ කළේ ජනතාව සිය කැමැත්තෙන් මැතිවරණය වර්ජනය කළ බවකි.

අගනුවර බහුතර දෙමළ සහ මුස්ලිම් ජනයා වාසය කළ වත්තල, දෙහිවල, බටහිර, මධ්‍යම හා උතුරු කොළඹ වැනි මැතිවරණ කොට්ඨාශවල රනිල් වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කර තිබිණි. දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කළා නම් මෙවැනි ජයග‍්‍රහණයක් ඔහුට හිමි නොවනු ඇත. උඩරට දෙමළ ඡුන්ද ප‍්‍රතිශතය වැඩි වශයෙන් ලැබී තිබුණේ රනිල් වික‍්‍රමසිංහටය. නැගෙනහිර පළාතේ කල්කුඩා, මඩකළපුව සහ පදිරිප්පු වැනි ප‍්‍රදේශවලද වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කළේය. මඩකළපුවේ කරුණා අම්මාන්ගේ බලපෑම තිබුණද ජනතාවට නිදහසේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවකාශ සැලසිණි. ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටිය ද ජනතාව කැමති අපේක්ෂකයකුට ඡන්දය භාවිත කිරීමට බාධා නොකළේය. 

නැගෙනහිර පළාතෙන් රනිල් වික‍්‍රමසිංහට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමි වූයේ දෙමළ ජනයා නිසා නොව මුස්ලිම් ජනතාව ඔහු වෙනුවෙන් තම ඡන්දය භාවිත කළ බැවිනැයි යනුවෙන් මතයක් ඇති කිරීමට එල්.ටී.ටී.ඊ.ය උත්සාහ කළේය. එය නිවැරැදි ප‍්‍රකාශයක් නොවේ. පදිරිප්පු ප‍්‍රදේශයේ දෙමළ ජනගහණය 99%කි. කල්කුඩාහී 65%කි. මඩකළපුවේ 75%කි. මේ ඡන්දවලින් වැඩි ප‍්‍රතිශතයක් හිමි වූයේ රනිල් වික‍්‍රමසිංහටය. 1999 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් 2005දී රනිල් වික‍්‍රමසිංහ හිමිකරගෙන තිබිණි. නැගෙනහිර පළාතේ දෙමළ ඡුන්ද රනිල් වික‍්‍රමසිංහට හිමිවූ වාතාවරණයක් තුළ මුස්ලිම් ඡන්ද යම් පමණකට බෙදී ගියේය. මුස්ලිම් කොන්ග‍්‍රසය මුස්ලිම් ඡන්ද වැඩි ප‍්‍රතිශතයක් රනිල් වික‍්‍රමසිංහ වෙතට ඇද ගැනීමට සමත් වෙද්දී අතාවුල්ලා, ෆෙරියල් අෂ්රොෆ්, සේගු ඉසදීන්, අන්වර් ඉස්මයිල්, අමීර් අලී, සහ නජීබ් අබ්දුල් මජීඞ් වැනි පිරිස තම පෞද්ගලික බලපෑම මත මහින්ද රාජපක්ෂට යම් ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූහ.

තම සංවිධානයේ බලයට නතු වූ වන්නි ප‍්‍රදේශයේ ජනතාවට ඡන්දය ප‍්‍රකාශ කිරීමට කොටි සංවිධානය අවස්ථාව ලබා දුන්නේ නැත. මෙය ඡන්ද ප‍්‍රතිශතයට විශාල බලපෑමක් ඇති කළේය. රජයේ පාලනය යටතේ පැවති මන්නාරම සහ වවුනියා ප‍්‍රදේශවල රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් විශාල ඡන්ද ප‍්‍රතිශතයක් ලැබී තිබිණි. උතුරු පළාතේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කොට තිබූ ඡන්ද බල කොට්ඨාසය වූයේ මුලතිව් ප‍්‍රදේශය පමණි. එම ප‍්‍රදේශය කොටි බලකොටුව හා හදවත විය. සිවනාදන් කිශෝර් සහ සෙල්වම් අඩයික්කලනාදන් වැනි මන්තී‍්‍රවරුන් රනිල් වික‍්‍රමසිංහගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බවට රාවයක් පැතිර ගියේය.

කොටි සංවිධානය විසින් නිර්මාණය කරන ලද මැතිවරණ වර්ජනය රජයේ පාලන ප‍්‍රදේශවලට එතරම් බලපෑමක් එල්ල නොකෙළේය. ඡන්ද ප‍්‍රතිශතයට බලපෑමක් එල්ල කෙරුණේ කොටි පාලන ප‍්‍රදේශවල පමණකි. 2005දී දෙමළ ජනතාව පැහැදිලිවම රනිල් වික‍්‍රමසිංහට ඡන්දය ප‍්‍රකාශ කළ බව පැහැදිලිය. දකුණේ බොහෝ සිංහල ඡන්ද මහින්ද රාජපක්ෂට හිමි වුවද සුළු ජාතීන්ගේ ඡුන්ද හිමි වූයේ රනිල්ටය. ඡන්ද වර්ජනයක් ස්ථාපිත කිරීමේ යටි අරමුණක් එල්.ටී.ටී.ඊ.ය හා රාජපක්ෂ අතර පැවතියේය. මෙම ඡුන්ද වර්ජනය මහින්ද රාජපක්ෂට වාසිදායක ලෙස බලපෑවේය. දෙමළ ජනතාවට නිදහසේ ඡුන්දය භාවිත කිරීමට අවකාශ සැලසුණේ නම් ඔවුන්ගේ ඡුන්ද හිමි වන්නේ රනිල් වික‍්‍රමසිංහට බව පෙනී යයි. මහින්ද රාජපක්ෂ ලබාගත් සමස්ත වැඩි ඡුන්ද සංඛ්‍යාව 180,000කට මදක් වැඩි ප‍්‍රමාණයකි. යාපනය, වන්නි සහ නැගෙනහිර ප‍්‍රදේශයන්හි දෙමළ ඡන්ද සියල්ල ප‍්‍රකාශ වූයේ නම් රනිල් වික‍්‍රමසිංහට 250,000ත් 300,000ත් අතර ප‍්‍රමාණයක වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිවන්නට ඉඩ තිබිණි. එහෙත් එල්.ටී.ටී.ඊ.යේ මහා පාවාදීම මඟින්  ඔහුගේ ජයග‍්‍රහණය උදුරා  ගනු ලැබිණි.

 

name



අදහස් (0)

එල්.ටී.ටී.ඊ.ය 2005 ජනාධිපතිවරණය වර්ජනය කර රනිල් වික‍්‍රමසිංහ පරාජය කළ හැටි

සමන්තිකා Monday, 10 November 2014 10:54 PM

ඉතාම හොඳ ලිපියක්. ලියුම්කරුට ස්තුතියි. (නි)

:       0       17

ටෙරන්ස් Thursday, 06 November 2014 09:17 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       12

අකිල Saturday, 08 November 2014 10:03 AM

රටේ වාසනාව. (හේ)

:       0       0

මයුර Sunday, 09 November 2014 12:38 PM

එදා ජනතා විමුක්ති පෙරමුණ යුද්ධෙ වෙනුවෙන් ආණ්ඩුවට දුන්න සහයෝගය කාටවත් මතක නැහැ. යුද්ධෙ දින්නේ මේ රටේ මිනිස්සු එ්කට නොබියව ඉදිරිපත් උන නිසා. මහින්ද එ්කට නිවැරදි දේශපාලන නායකත්වය දුන්නා. සරත් ෆොන්සේකා ජෙනරාල් තුමා ඒක මෙහෙයුවා. (නදී)

:       0       1

ප්‍රියන්ත Monday, 10 November 2014 10:05 AM

මේ ලියුම්කරුත් ඇතුළුව රටේ බොහෝ දෙනෙක් තේරුම් නොගත් දෙයක් තියෙනවා. ඒ නිසාම ඒ හැමෝම ගණන් හදන්නේ රනිල්ට ලැබෙන ඡන්ද විතරයි. එදා යාපනයේ ඡන්ද ලක්ෂ 07ක් තිබුනා, එයින් ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 05ක් වුනානම් එදා සත්‍ය වශයෙන්ම ප්‍රකාශිත ඡන්ද වලින් මහින්දට ලැබුන ප්‍රතිශතයට අනුව ලැබිය යුතු ප්‍රමාණය එයාගේ වැඩි ඡන්ද ප්‍රමාණයට එකතු කරලා බලන්න මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

ශාන්ත කුමාරන Thursday, 06 November 2014 04:43 AM

රනිල් මහත්මයාගේ දීර්ඝ කාලීන වැඩවල ප්‍රතිඵල ලැබෙනකොට රටට වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි.හරි තීරණ හරි වෙලාවට ගැනීම නියම නායකයෙකුගේ ලක්ෂනයක්. මහින්ද ජනාදිපතිතුමා යුද්ධය සම්බන්ධයෙන් ගත්ත තීරණය හරි බව දැන් තියෙන නිදහසින් පෙන්නුම් කරනවා.(අ)

:       0       0

වර්ණකුලසූරිය Thursday, 06 November 2014 11:09 PM

මේ ගැන මට අදහසක් දක්වන්න හිතෙන්නේම නැහැ (නි)

:       0       0

කුමාර Saturday, 08 November 2014 05:17 AM

කොහොමත් මහින්ද ජනාදිපති වුනේ අප වාසනාවට. (අ)

:       0       0

සමීර සාලින්ද Friday, 07 November 2014 11:58 AM

තම ජීවිතය පවා පරදුවට තබා රණවිරුවන් සමඟ සටන්කළ සරත් ෆොන්සේකා මහතාට අපි සදා ණයගැතියි (නි)

:       0       0

වික්ටර් Wednesday, 05 November 2014 04:50 PM

කොහොම වුණත් මොන විදියකින් හරි එදා එහෙම වුණේ රටේ වාසනාවකට කියලයි මට හිතෙන්නේ. එහෙම නොවුණා නම් තවමත් ප්‍රශ්නය ඇදි ඇදී තියේවි. (නි)

:       0       0

සෑම් Wednesday, 05 November 2014 05:38 PM

මේ සියල්ලේම ප්‍රතිඵලය වුයේ උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් මහත් සොම්නසින් ජීවත්වීමේ වරම හිමිවීමයි. කෙසේ හෝ මෙරටට තුණුරුවනේ ආශිර්වාදය අදත් තිබෙන බව තහවුරු වූ බව කිවයුතුය.මහින්ද රාජපක්ෂ ජනපතිට බොහෝ පින්. (නි)

:       0       0

ඉන්දික Friday, 07 November 2014 01:33 PM

රනිල් දිනුවොත් අපිට බ්‍රේස්ලට් දෙනවා කිව්වා, මෝටර් බයික් දෙනවා කිව්වා. අපේ වෙලාව හොඳ කමට මේ මනුස්සයා පරාද උනා. නැත්නම් මල කෙලියක් වෙන්නේ. මහින්ද ජනපති තුමා නොහිටින්න අපේ අහිංසක සිංහල කොල්ලෝ ටික තවම යුද්ද කරනවා. (නදී)

:       0       1

සමන් Thursday, 06 November 2014 06:36 AM

අනේ අපි ඔය කවුරු කවුරු ගැනත් හොඳට දන්නවා (නි)

:       0       0

සඳුනි Saturday, 08 November 2014 03:15 PM

එදා ප්‍රබාකරන්ට ඕනේ වුනේ රනිල්ව පරදවන්න හෝ මහින්ද දිනවන්න නෙමෙයි. තමන් පාලනයකරන ප්‍රදේශයේ ඡන්ද එදා ඔවුන්ගේ ව්‍යවහාරයේ හැටියට දකුණේ ආණ්ඩුවක් වෙනුවෙන් පාවිච්චිවීම ප්‍රබාකරන් තමාගේ පරාජයක් ලෙස සැලකුවේ.යු.එන පිය මේ තත්වය පැහැදිලිවම දන්නවා. (අ)

:       0       0

නිශිකා Saturday, 08 November 2014 04:45 PM

ආශාවෙන් කියැවූ ලිපියක් (නි)

:       0       20

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4944 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 674 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39058 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site