IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


එහෙන් මෙහෙන් ගෙවල් හදා ගොඩින් මඩින් ඉඩම් නැතිවේද

ගාමිණී සරත් ගොඩකන්ද විසිනි

ශ්‍රී ලංකාව කුඩා දූපතකි. ඉඩම් සීමිතය. වනාන්තර, ජලාශ, කෘෂි භෝග සහ රජයට අයත් ඉඩම්වලට වෙන්වූ පසු පුරවැසියන්ට ඉතිරි වන ඉඩම ඉතාම කුඩා එකකි. දිනෙන් දින ජනගහනය වැඩි වෙයි. සෑම දරු පවුලක්ම ජීවත්වීම සඳහා විශාල ප්‍රයත්නයක් දරයි. එය ධනවත් හෝ දුප්පත් බේදයක් නැත. ඉඩමක් මිලදී ගෙන නිවසක් තනා ගැනීම සඳහා ජීවිත කාලයක් මහන්සි වෙන්නට සිදුවී තිබේ. ඉඩම් හිඟය පදනම් කරගෙන ඒවායේ වටිනාකම ඉහළ නඟී. මෑත කාලය තුළ නාගරික ඉඩම් අති විශාල මිල ගණන්වලින් වැඩි වූ අතර අධිවේගී මාර්ග ඉදිවීම සමඟ ඒවායෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි අර්ධ නාගරික සහ ගම්බද ප්‍රදේශවල ද ඉඩමක වටිනාකම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත. සාමාන්‍ය ජනතාව අතරින් එක්තරා කොටසකට ඉඩමක් මිලදී ගෙන නිවසක් තනා ගැනීම සිහිනයක් වන තරමට එය බලවත් ගැටලු මතුකර තිබේ.

 ඉඩම්වල මිල වැඩිවන විට මිලදී ගත හැකි තරමට කොටස් කෙරේ. මෑත මතක ඇති කාලයේදී නිවසක් තැනීම සඳහා පර්චස් විස්සක් තිහක් පමණ වූ නමුත් අද වන විට නාගරික ප්‍රදේශවල පර්චස් හයක බිම් කොටසක පවා නිවසක් තනා ගැනීමට අවසර නිකුත් කෙරේ. සෑම බිම් කොටසක්ම කුඩා කැබලි වශයෙන් කොටස් වන අතර ඒවායේ ඉදිවන කුඩා නිවාසවලින් අනාගතයේදී මුහුණපාන්නට සිදුවන දරුණු ප්‍රතිඵල අද අවධානයට ගැනීම වැදගත්ය. ඉඩම් කැබැලි කිරීම ව්‍යාපාරයකි. ලොකු ඉඩම් මිලදී ගන්නා ව්‍යවසායකයෝ ඒවා කොටස් කර විකුණති. පළාත් පාලන ආයතන ඒවාට විරුද්ධ නොවේ. හේතුව පළාත් පාලන ආයතනවලට ද එය ආදායම් මාර්ගයකි. මිනින්දෝරුවෝ ඉඩම් මැන සැලසුම් ඇඳ වෙන් කිරීමට විශාල මිලක් අය කරති. නීතිඥ ගාස්තු හා රජයේ බදු ද එයට නොදෙවෙනිය. 2016 වසරේදී පමණක් අවුරුද්දක් ඇතුළත නාගරික ඉඩම් මිල සියයට තිස් හයකින් වැඩි වී තිබේ. මේවා පවතින ආර්ථිකයේ කොටස් වශයෙන් සැලකිය හැකිය. එහෙත් කැබැලි කඩා කොටස් කරන ඉඩම්වලින් රටේ අනාගතයට ලැබෙන පිටිවහල කුමක්ද?

ඉඩම, එහි අයිතිය හා නිවාස ඉදිකිරීම ගැන විශාල දර්ශනයක් රටට අවශ්‍යය. ඉදිරි සියවසේ අවශ්‍යතා සලකා බලා ප්‍රතිපත්ති සකස් කළ යුතුය. රට තුළ ඇති ඉඩම්වලින් අනාගත පරපුරේ උපරිම අවශ්‍යතා සම්පූර්ණ කරන ජාතික සැලැස්මක් සකස් කිරීම අවශ්‍යය. එවැනි පියවරකට යා යුතු ඇයි? මෙරට ඉඩම්වලින් සියයට අසූ හයක් රජයට අයත්ය. ඉඩම් හිමිකාරිත්වය 1946 වසරේ සිට වසර 2000 වන විට සියයට හැට හතරකින් කුඩා වී ඇත. එවකට එක පුද්ගලයකුට හෙක්ටයාර් 1.3 ක් සාමාන්‍යයෙන් අයිති බව උපකල්පනය කළ හැකිව තිබුණි. 2000 වන විට එය හෙක්ටයාර් 0.46 සාමාන්‍යයක් වී ඇත. එහෙත් මෙම සාමාන්‍යය සෑම සියලු දෙනාටම උරුම නැත. ඉඩම් අහිමි විශාල ජන කොටසක් සිටින බව දැක්වේ. නාගරික සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව කොළඹ ප්‍රදේශයේ පමණක් ජනාවාස 495 ක පවුල් 68,812 ක් ජීවත් වෙති. අලුත් තත්ත්වය මෙයට වඩා වෙනස් බව නිසැකය. කොළඹ නාගරික ප්‍රදේශයේ ජීවත්වන ජනගහනයෙන් හරි අඩක් මුඩුක්කුවල ජීවත් වෙති. එම පිරිසගේ දූ දරුවන්ද එම මුඩුක්කුවලටම සීමා වන බව පෙනේ.

තදාසන්න ප්‍රදේශවල තත්ත්වය ද එයට නොවෙනස්ය. කොළඹ නගරයට පමණක් අලුත් නිවාස ඒකක 42,330 ක් ඉදි කළ යුතු බව ප්‍රකාශ වෙයි. පසුගියදා දෙමටගොඩ සියපත් සෙවණ නමින් මහල් නිවාස සංකීර්ණයක් ඉදිවිය. එයට වැය කරන ලද මුදල රුපියල් මිලියන 1,748 කි. එයින් ඉඩ ලැබුණේ පවුල් 437 කට පමණකි. නගරයේ ජීවත්වන පිරිස පවුල් පනස් දහසක් සේ ගණන් බැලුවහොත් කොළඹ නගරයේ නිවාස ප්‍රශ්නය වෙනුවෙන් ආයෝජනය කළ යුතු මුදල විශාල එකකි. එම ආයෝජනය නිසි සේ සැලසුම් කළහොත් අනවසර පදිංචිකරුවන් ඉවත් කර අලුත් ඉඩම් ප්‍රමාණයක් ආර්ථික කටයුතුවලට වෙන් කර ගත හැකිය. ජාත්‍යන්තර ගණන් ගැනීම අනුව අක්කර විස්සක ඉදි කරන මහල් නිවාස පද්ධතියක අඩුම වශයෙන් පවුල් නම දහසක් පදිංචි කළ හැකිය. තැනින් තැන ඉදිකරන ජනාවාස කලාපවලට අක්කර සියයක ඉඩක් වෙන් කළහොත් මුළු කොළඹටම අවශ්‍ය නිවාස තැනිය හැකි බව පෙනේ. ක්‍රමානුකූලව එය කරන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ආයෝජනයට අවශ්‍ය ධනය ලැබෙන්නේ කොතැනින්ද? මේවා වහා විසඳාගත යුතු ගැටලු බවට පත්ව ඇත. 

නාගරික ප්‍රදේශවල සුඛෝපභෝගී මහල් නිවාස ඉදිවෙමින් තිබේ. ඒවා ජාතික ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුමක් නොවන නමුත් එම සංකල්පය වැදගත් එකකි. එම මහල් නිවාස විශාල මිලකට අලෙවි වන අතර සියයට හැටක් විදේශිකයන් මිලදී ගන්නා බව සඳහන්ය. නිවාස ඉදිකරන සමාගම් මෙම මහල් නිවාස සංකීර්ණ සඳහා වාණිජ බැංකුවලින් ණය ලබාගෙන ඇත. නිවාස ඒකක මිල දී ගන්නා සෑම පුද්ගලයකුම ඒ වෙනුවෙන් බැංකු ණය ගෙන තිබේ. නිවාස ණය ආපසු ලබා ගැනීමේ දී මතු වූ ගැටලු ඇමරිකානු ආර්ථිකය එක්තරා අවස්ථාවක අර්බුදයට පත් වූ බව මෙහි දී මතක් කළ යුතුය. 

ගම්වලින් නගර කරා සංක්‍රමණය වන ජනතාවට ජීවත්වීම සඳහා නිවසක අවශ්‍යතාව මතුවෙයි. නගර කරා එන වැඩි දෙනකුට තමන්ගේ වියදමෙන් නිවසක් ඉදිකරගැනීම පහසු නැත. 2012 වසරේ දී කොළඹ නාගරික සීමාවේ වර්ග කිලෝමීටර් 996 ක මිලියන 3.7 ක ජනගහනයක් ජීවත් වූ අතර දැන් ගණන් බලන අන්දමට වසර 2035 වන විට මිලියන 5.1 ක් වනු ඇත. මෙම පිරිසට ඉඩමක් හෝ නිවසක් ලැබෙන්නේ කෙසේද? ලෝක බැංකු වාර්තාවකට අනුව වසර 2020 වන විට රටට නිවාස දස ලක්ෂයක් අලුතින් අවශ්‍යය. ඉදිරි වසර දෙක තුළ එක වසරකට ලක්ෂ පහක් නිවාස ඉදිකළ යුතුය. පහසු කාර්යයක් නොවේ. නාගරික මහල් නිවාස, උදාගම් වැනි වැඩසටහන්වලින් මෙම වුවමනාව කිසිසේත් සම්පූර්ණ නොවේ. සලකා බැලිය යුතු වැදගත්ම කරුණ එයයි. 

නැවතත් ආරම්භ කර ඇති උදා ගම්මාන සංකල්පය නරක නැත. එහෙත් එන නූතන යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතුය. සීමිත ඉඩම් සහිත රටක මූලික ගැටලු විසඳන ජාතික සැලසුමක් බවට පත් කරන්නට අවශ්‍යය. අනුරාධපුර ඉපලෝගම සිද්ධිය එයට හොඳ පාඩමකි. දුර බැහැර පවා ඉඩම් නැත. රජයේ ඉඩම්වල උරුමය හා අයිතිවාසිකම් සොයා බැලීම දුෂ්කරය. සාමාන්‍ය ජනතාවට නිවාස තනා දෙන්නට ඉඩම් අඩු අවස්ථාවක ගමක් තුළ තැනින් තැන ගෙවල් හදනවා වෙනුවට නිවාස සංකීර්ණ ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ජීවත්වන පරම්පරාවට කුඩා නිවසක් හා එයට යාබද පර්චස් කිහිපයක ඉඩමක් ලබාදුන් පසු තාවකාලික විසඳුමකි. ඔවුන්ගේ දරුවන්ට එය බෙදෙන්නේ කෙසේද? මහවැලි ඉඩම් ලබාගත් ගොවියන්ගේ දෙවැනි හෝ තුන්වැනි පරම්පරාව අද විශාල ගැටලුවකය. ඉඩම බෙදා ගත් පසු යැපෙන මාර්ගයක් නැත. එහි මතු වී ඇති අර්බුදය පුළුල් අවධානයට යොමු විය යුතුය. අලුතින් ඉදිකරන උදාගමක ගෙවල් තිහ හතළිහක ජීවත්වන දෙසීයක් පමණ පිරිසකට අක්කර ගණනක් වෙන් කළ පසු එය ඉඩම උපරිම කාර්යක්ෂමතාවෙන් පරිභෝජනය කිරීම සම්බන්ධව ගැටලු  ඇති කරයි. බිම ඉතිරි කරගෙන එම භූමිය ව්‍යවසාය වෙනුවෙන් වෙන් කළ යුතුය. නිවාස ඉදිකිරීමේ දී ඒවා මහල් ක්‍රමයට තැනිය යුතුය. එයින් ව්‍යවසායකත්වය සමඟ නේවාසික පහසුව ලැබේ. ඉඩම ප්‍රයෝජනයට ගැනීම සලකා අලුත් අදහස්වල නැඹුරුවීම වටී.

සිංගප්පූරුව එම අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ රටකි. 1947 දී  මුඩුක්කු සහිත පරිසරයක් සිංගප්පූරුවේ තිබුණි. ලෝකයේ නරකම නේවාසික පහසුකම් තිබුණ රටක් බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. 1959 දී එරට මැතිවරණයේ දී නිවාස ක්‍රමයක් ඇති කරන බවට පොරොන්දුවක් දී තිබේ. ඡන්දයෙන් පසු නිවාස සංවර්ධන මණ්ඩලයක් පිහිටුවා ඇති අතර අවුරුදු පහක් තුළ මහල් නිවාස එක්ලක්‍ෂ හතළිස් හත් දහසක් තනා ඇත. පොළව ස්පර්ශ කරගෙන ජීවත් වූ ජනයා මහල් නිවාසවලට යොමු කිරීම අපහසු වූ නමුත් ලී ක්වාන් යූ අගමැතිවරයා එයට තද නීති පැනවීය. අද වන  විට එරට සම්පූර්ණ ජනගහනයෙන් සියයට අසූවක් විවිධ ආදායම් මට්ටම්වලට ගැළපෙන පරිදි ඉදි කළ මහල් නිවාසවල ජීවත් වෙති. මෙම නිවාස අනූ නම අවුරුදු පදනමකින් මිලයට ගත හැකි අතර පුරවැසියකු නොවන කිසිම අයෙකුට ඒවා මිලදී ගත නොහැක. ලෝකයේ නරකම ජනාවාස තිබුණ රට ඉඩම කළමනාකරණය කරගෙන ඇති මහල් නිවාස ක්‍රමය ප්‍රචලිත කර තිබේ. මුහුද ගොඩකර අලුතින් හැදූ නගරයක සිට නොබෝදා එරට අගමැතිවරයා සිය නිදහස් දින ප්‍රකාශනය කියැවීය. එම ප්‍රකාශනය සකස් කිරීමට පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට පවරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එයින් ඇඟවූයේ අලුත් පරම්පරාවේ සිතැඟි ජාතියට අනාවරණය කිරීමය. දර්ශනයක් තිබුණ නායකයන්ගේ නිර්භීත තීරණවලින් ගොඩනැඟුණු රටක නිති පතා නැවුම් අදහස් මතුවීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි.

ශ්‍රී ලංකාව ඉඩම් හා නිවාස ඉදිකිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. ඉඩම් කැබැලි කිරීම නතර කරන පියවර ගත යුතුය. වැසි කාලය වන විට මෙරට දිස්ත්‍රික්ක දහ අටක නාය යාමේ අවදානම ප්‍රකාශයට පත් කරයි. පායන කාලයට එය අමතක වෙයි. අවදානම් තැන්වල ජීවත්වන ජනතාව ආරක්‍ෂිත තැන්වල සුවපහසුවෙන් පදිංචි කරවීමට මහල් නිවාස ක්‍රම උපයෝගී කර නොගන්නේ මන්ද? ගමක් අවතැන් වූ විට නැවත පදිංචි කිරීමට ඉඩම් නැති බව කියන ආණ්ඩුව ලෝකයේ නොයෙක් රටවල් විසඳුම් සොයාගෙන ඇති අයුරු සොයා බැලිය යුතුය. තව තවත් උදාගම් හදනවා වෙනුවට පවතින උදාගම්වල මහල් නිවාස පද්ධති ඇති කිරීම ගැන අවධානය යොමු කළ හැකිය. එහෙත් සිදුවන්නේ අනෙකකි. කොළඹ අඩු ආදායම් ජනතාවට මහල් නිවාස තනන නිලධාරීහු ඒවායේ විදුලි සෝපානවල ගෑස් සිලින්ඩර හෝ කසළ භාජන ගෙන යා නොහැකි බවට නියම කරති. අමුත්තන්ගේ පැමිණීම වළක්වති. තට්ටු ගණනක් ඉහළට ගෑස් සිලින්ඩර ඔසවා ගෙන යන්නට නියම කරන රටක ජනතාවගේ ආකල්ප වෙනස් කරන්නට බල කළ නොහැක. ඉඩම් පරිභෝජනය ගැන අලුත් ව්‍යුහ සකස් කරන්නට හැකියාවක් නැත. පවතින ඉඩම්වල ගෙවල් තුනී කර රටේ නිවාස ප්‍රශ්නය තුරන් කරන්නට හැකියාවක් නැති බව බලධාරීහු තේරුම් ගත යුතුය.



අදහස් (2)

එහෙන් මෙහෙන් ගෙවල් හදා ගොඩින් මඩින් ඉඩම් නැතිවේද

Matipahana Tuesday, 05 June 2018 05:03 AM

ඉතාම වැදගත් ම මාතෘකාවක්. මෙය ක්‍රියාත්මක කල යුතුමයි.

:       0       195

Thilina Tuesday, 05 June 2018 06:58 AM

ඉතාමත් නිවැරිදි මෙන්ම ඉතා වැදගත් ලිපියක්. නාගරික වුවත් ග්‍රාමීය වුවත් අපේ රටට ගැලපෙන්නේ මහල් නිවාස පමණයි. ඉතා ඉක්මනින්ම ඉඩම් කැබලි කිරීම හා තනි නිවාස ගොඩ නැගීම තහනම් කල යුතුමයි. අපිට වඩා ඉතා විශාල වූ මැලේසියාවේ පවා අද ඉදිකරන්නේ මහල් නිවාස සංකීර්ණ .එම මහල් නිවාස සියලු යටිතල පහසුකම් වලින් සම්පූර්ණ අතර යාබදව රක්ෂිතයක් ඉදි කර පිරිසුදු වාතය පවා ලබාගන්න වැඩ පිළිවෙලක් තිබෙනවා..2020 ජනාධිපති අපේක්ෂකයා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනිවාර්යෙන් ඇතුළත් කල යුතු කරුණක්. ජාතිවාදී ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න ආදී ප්‍රශ්න රැසකට එකම විසදුම.............

:       2       327

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 158 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 17 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site