IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඒකභාෂික වීම බුද්ධිමය මන්දපෝෂණයට අත වැනීමක්

(ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක මෙහෙයවන ‘අතරමැදියාව’[The in Between Space ] නැමති You Tube චැනලයේඑන ‘කතිකාව’ වැඩසටහනේඇති සම්මුඛ සාකච්ඡාවකි. මහාචාර්ය සසංක පෙරේරා සමඟ කළ ‘ඉංග්‍රීසි දැනුම නොමැතිව ශාස්ත්‍රීය පර්යේෂණ කළ හැකිද?’යන තේමාව ඔස්සේ කළ සාකච්ඡාවකි.

 

ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

ආයුබෝවන් මහාචාර්ය සසංක පෙරේරා.

 

මහාචාර්ය සසංක පෙරරා:

ආයුබෝවන්.

 

ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

ඔබ අතරමැදියාව චැනලයට ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡාවකට සහභාගී වන එක මම විශාල ගෞරවයක් ලෙස සළකනවා.

ඔබ මේ අවස්ථාවේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන අතර ම නව දිල්ලියේ  දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් දකටයුතු කරනවා. එතකොට ඉන්දියාවේ සිට අපිත් එක්ක මේ සාකච්ඡාවට පැමිණීම ගැන මම ඉතාම සතුටු වෙනවා.

මම ඔබව, විශේෂයෙන් ම ඔබගේ දැනුම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමට: ඒ තමයි,ඉංග්‍රීසි දැනුම කොතෙක් දුරට අත්‍යාවශ්‍යද ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා?

දැන් මං මේක ඔබෙන් අහන්නෙ මං දන්න තරමින්, අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ -- ඔබ පෙර හිටියෙ කොළඹ විශ්වවිද්‍යාලයේ-- පර්යේෂණ කරන මහාචාර්යවරු‚ අචාර්යවරු‚ කතිකාචාර්යවරු අතරින් ඔබ ප්‍රමුඛස්ථානයක් ගන්න නිසා. ඔබගේ පොත් පත්‚ ඔබගේ ලිපි ලේඛණ ඉතා විශාල ප්‍රමාණයක් සහ විශාල වැදගත්කමක් ඇති ප්‍රකාශන විශාල සංඛ්‍යාවක්  ලෝකයේ සහ ලංකාවේ පළවී තියෙනවා. එවැනි පුද්ගලයෙක්ගෙන්, නැත්නම් ශාස්ත්‍රීය කටයුතුවල නිරන්තරයෙන් ම යෙදෙන ඔබ වැනි පුද්ගලයෙක්ගෙන් මට අහන්න ඕනේ‚ අපිට ඔය ගමන යන්න පුලුවන්ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් හෝ හැකියාවක් නැත්නම්?

ඔබ උත්තර දෙන්න ඉස්සෙල්ලා මං තවත් ප්‍රශ්නයක් අහන්නම්. සිංහල විතරක් දැනගෙන, ඒ කියන්නේ ඉංග්‍රීසි නොදැන, දේශීය භාෂාවක් විතරක් දැනගෙන, එතනින් ඉතාම ඉහළට ගිය අය අපේ රටේ හිටියනේ. අපිට ඉතාමත් හොඳ ප්‍රාඥයො හිටියනෙ. මම මේ කියන්නේ ඉංග්‍රීසි මෙහෙ එන්න ඉස්සෙල්ලා කාලය ගැන.

දැන් ඉන්දියාව ගත්තොත්, ඉතා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, ළඟදී හර්ෂන රඹුක්වැල්ල ඔහුගේලිපියක් සම්බන්ධයෙනුත් නැවත මේ ගැන අමතක් කළා.  මැකෝළි කියන යටත් විජිත රාජ්‍යයට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයා කිව්වා‚සියළු ආසියානු දැනුම් පුස්තකාල‚ දැනුම් සම්භාර එකතු කළොත් ඒවගේ වටිනාකම එක ඉංග්‍රීසි පොත් රාක්කයක වටිනාකම පමණයි කියලා. එහෙම අපේආසියානු දැනුම හෑල්ලුවට ලක් කරපු යුගයක් පහුකරලා අපි ඇවිල්ලා ඉන්නේ. මට අවශ්‍ය ඔබතුමාගෙන් අහන්න, අපි අද කොහෙද හිටගත යුත්තේ කියලා? මොකද, පෙරදිග අයව ඉතාම පහත් කරලා සළකපු ඉතිහාසයක්‚ අපි හැමෝටම තිබ්බා. ඉන්දියාවේ‚ ලංකාවේ අපි හැමෝටම. ඒක හින්දා අපි බටහිර මිනිස්සු කියපු ඒවා අපි පිළිගත යුතුද? අපේ ඥානය කිසි වැඩක් නෑ ඉංග්‍රීසි නැතුව කියන එක අපි පිළිගත යුතුද? කොහෙද අපි හිටගත යුත්තේ? මේ රාමුව තුළ සිටියදීම අපි කොහොමද හීන මානයක් නැතුව ඉදිරි ගමනක් යන්නෙ කියන ප්‍රශ්නය තමයි මං ඔබතුමාගෙන් අද අහන්නෙ.

 

මහාචාර්ය සසංක පෙරරා:

මෙහෙමයි මධුභාෂිණී‚ බොහොම ස්තූතියි මට ආරාධනා කරාට. මැකෝළී, මම කින්නෙ අතිශයින් ජාතිවාදී, බොහොම මෝඩ පුද්ගලයෙක් හැටියට. ඒ කාලේඔහු වගේ පුද්ගලයින්ට විශාල බලයක් තිබුණු බව ඇත්ත. හැබැයි, අද වන විට අපි එච්චරම කලබල වෙන්න ඕන නෑ මැකෝළී කියපු දේ ගැන. මොකද ඒ කාලේ දිහාම බැලුවත් අපිට පේනවා‚  ඒ කාලය පොඩ්ඩක් පහු වෙනකොට, 19 වන සියවසයේ අග භාගය වනකොට කේන්ද්‍රීය ප්‍රාඥයෝ පිරිසක් යුරෝපයෙන් ම බිහි වුණා. මැකෝළී ගේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ පැත්තේ හිටිය කණ්ඩායමක් හැටියට -- ජර්මනියෙන්‚ ප්‍රංශයෙන් සහ එංගලන්තයෙන්.

මේ අය තමයි සංස්කෘත සහ පාලි භාෂාවෙන් ලියවිච්ච හුඟාක් පොත් පත් පරිවර්තනය කරන්න පටන් ගත්තෙ. ඒ පරිවර්තන පටන් ගත්තෙ පාලියෙන් සහ සංස්කෘතයෙන්  සිංහලය ට නෙමෙයි. ඒ පරිවර්තන මේ යුගයේ මුලින්ම කෙරුණේ ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් වගේ භාෂාවලට.

උදාහරණයක් විදිහට අපි ගත්තොත් Pali Text Society කියන ලන්ඩන්වල පිහිටවපු සංවිධානය. ඒගොල්ලො විශේෂෙන් බෞද්ධ පොත පත පාලියෙන් ඉංග්‍රිසියට පරිවර්තනය කරන්න විශාල උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිපල යම් දුරකට තාමත් පවතිනවා. ඉතින් දැන් මං වගේ අයට අද මහාවංශය ද ඇතුළුව සමහර පාලි සහ සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච පොත් පත් කියවන්න ලැබෙන්නේ ඒ උදවියගේ මුල් කාලීන උත්සාහය නිසා. ඒකට හේතුව, අර මැකෝළී වගේ හිතපු මෝඩයින් ඉන්න අතරෙම‚ ඒ කාලේ දියුණු වෙච්ච ප්‍රාචීණවාදයේආදීනව නිසා මේ වගේ වැදගත් වැඩ කරපු අයත් සෑහෙන්න හිටියා.

ප්‍රාචීණවාදයේතිබුන ප්‍රශ්න ඊට බොහෝ කාලෙකට පස්සෙ එඩ්වඩ් සයිඩ් වගේ අය ගැඹුරින් කතා කරල විවේචනය කරලා තියෙනවා. හැබැයි, ඒක වෙනම කතාවක්. නමුත් එහෙම තමයි පටන් ගත්තෙ. ඉතින් ඒ ඉතිහාසය අපි පොඩ්ඩක් හදාරන්න ඕනේ. මොකද, අර වගේ පුද්ගලයින්ගේලැබුන විශාල උපකාරයත් එක්ක තමයි අපේකලාපයේ පැරණි භාෂා ගෝලීය කතිකාවට අරන් ගියේ.

හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා.  ඒ තමයි‚ දැන් අපි දකුණු ආසියානු කලාපය දිහා විතරක් බැලුවොත්, සංස්කෘත‚ පාලි වගේභාෂා ගෝලීය කතිකාවකට අරන් ගියේ නැත්නම්‚ Pali Text Society එකේ උදවිය වගේ අය විසින්,මේවා ගැන ගෝලීය කතිකාවක් ඇති වෙන්න කොහොමටත් විදිහක් නෑ. ඒක අපිට සිංහලෙන් කරන්න බෑ. උර්දු භාෂාවෙන්වත්‚ හින්දියෙන්‚ දෙමලෙන් හෝ මලයාලම් හෝ බංගලි වගේ පරිස්ථානීය භාෂාවලින් කරන්න බෑ -- ගෝලීය මට්ටමෙන්. මේ වගේ වැඩවලට ඉංග්‍රීසි වගේ මාධ්‍යයක් අත්‍යාවශ්‍ය වෙනවා. ඒකෙන් කියන්නෙ නෑ අපේ පරිස්ථානීය තැන්වල දේශීය භාෂාවලින් වැඩ කරන්න බැහැයි කියලා. මේක  තමයි මගේපළවෙනි ප්‍රතිචාරය. ඒ කියන්නේ‚ඔබ අහපු ඓතිහාසික කාරණාව පිළිබඳව.

දෙවෙනි එක තමයි‚ අපි අද ජීවත් වන කාලෙයි, ඔය අපි දැන් කතා කරලා ඉවර කරපු ඓතිහාසික යුගය යි කියන්නෙ එහෙම පිටින්ම එකිනෙකින් වෙනස් යුග දෙකක්. ඉතින් අපිට යම් ආකාරයක දැනුමක් නිශ්පාදනය කරන්න බැරි නැහැ අපේ භාෂාවලින්ම -- සිංහල සහ දෙමළ උදාහරණයකට ගත්තොත්.

දැන් මෙතනදී දැනුම කියන්නෙ මොකක්ද කියන එකත් තේරුම් ගන්න ඕනේ. දැන් ඔයා  වගේ අය යෙදිලා ඉන්න නිර්මාණ සාහිත්‍යකරණය වගේදේවල් කරන්න කිසිම බැරි කමක් නෑ සිංහලෙන් හෝ දෙමළෙන්. ඒකට අවශ්‍ය භාෂා ව්‍යවහාරය‚ශබ්ධ කෝෂය‚ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඒ භාෂාවලට තියෙනවා. ඒකෙ කිසි ගැටළුවක් නෑ. නමුත් සමාජීය විද්‍යාවන් වගේ දේවල්‚ මානව ශාස්ත්‍ර වගේ විධිමත් ශාස්ත්‍රාලීය කතිතාවකට එනකොට  ප්‍රශ්න ටිකක් සංකීර්ණ වෙනවා.

මගේ විශ්වාසය නම්‚ මගේ වගේ ශික්ෂණවල -- සමාජ විද්‍යා වගේ දේවල --මම  ඉංග්‍රීසියෙන් කියන හැම දෙයක් ම වගේ මට සිංහෙලනුත් කියන්න පුළුවන්. ඒ කියන්නේ, මේ දේවල් කරන්න අවශ්‍ය භාෂා විද්‍යාත්මක‚ භාෂා ඥානමය හැකියාව සිංහල භාෂාවට තියෙනවා. ඒකෙ ගැටළුවක් නෑ. මම  සිංහල ගැන කියන ඒවා දෙමළටත් අදාළයි. මට ඕනෑම සංකීර්ණ අදහසක් සිංහලෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි සමහර සංකල්ප සහ පද අපේ භාෂාවේ නොතියෙන්න පුළුවන්‍. ඒ නොතියෙන්නේ අපේ භාෂාවෙන් අපි ශාස්ත්‍රීය වැඩ හුඟක් අඩුවෙන් කරන නිසා. ඒ පද හදල නැති නිසා. මේ අදහස් ගැන ගැඹුරින් හිතලා නැති නිසා.

භාෂාවක් දියුණු වෙන්නෙ භාෂාව එක තැනක තිබුණොත් නෙමෙයිනේ. මං ඔය කතාව නෙමෙයිනෙ කිව්වෙ නිර්මාණ සාහිත්‍යය ගැන. නිර්මාණ සාහිත්‍යය සෑහෙන්න අපේ භාෂාවෙන් ලියාගෙන යන හින්දා භාෂාව ඒ හා සම්බන්ධව දියුණු වෙලා තියෙනවා. නමුත් ශාස්ත්‍රාලීය කටයුතු එහෙම සිද්ද වෙනවා අඩුයි. අපේ රටේ හුඟාක්ම අඩුයි. අපි ලැජ්ජ වෙන්න ඕනෙ ඇත්තටම මේ තත්ත්වය ගැන.

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් අපි ගෝලීය මට්ටම අහලකටවත් ගිහිල්ලා නෑ. එහෙම තත්ත්වයක ඉන්න නිසා ශාස්ත්‍රාලීය බස සිංහලෙන් දියුණු වෙලා තියෙනවා අඩුයි. හැබැයි ඒකෙන් කියන්නේ භාෂාවෙ ප්‍රශ්නයක් ගැන නෙමෙයි. ප්‍රශ්නය තමයි, නිරන්තර සහ ගැඹුරු ලිවීම හරහා භාෂාවට අවශ්‍ය ජවය දෙන්නෙ නෑ අපේ ප්‍රඥයෝ කියලා කියන අය.

අනෙක අතට, අපේ නිර්මාණ සාහිත්‍යය යම් ආකාරයකින් රට තුළ භාෂාමය වශයෙන් ස්වයංපෝෂිත වුණාට ඒක සම්බන්ධයෙන් වුණත් මම හිතනවා අපිට බැරි නම් ගෝලීය සාහිත්‍යයත් එක්ක ගනුදෙනු කරන්න‚ අපිටඒ පුළුල් කතිකාවෙන් අනුප්‍රාණයක් (inspiration) ලබන්න, අපේ සාහිත්‍යයෙන් යමක් මේ ගෝලීය කතිකාවට එක්කරන්න, එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අවසාන විග්‍රහයේදී  කිසිම දෙයක් ළිඳේ ඉන්න ගෙම්බො වගේ ලංකාවට විතරක් කොටුවෙලා කරන්න පුළුවන් දේනොවේ. දැන් එහෙම කිව්වහම අපිට අර ඔයාගේ මුල් ප්‍රශ්නෙට එන්න පුළුවන්. ඒ කියන්නේ සිංහලෙන් විතරක් මේක කරන්න බැරිද කියලා.

 

ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

දැනුම, නැත්නම්ශාස්ත්‍රීය වැඩකටයුතු කරන්න අවශ්‍යතාවක් සහ ආසාවක් තියෙන්න පුළුවන් කාට හරි. ඒත් ඉංග්‍රීසි දැනුම නැති එක්කෙනෙක්ට යන්න පුළුවන් මාර්ගය මොකක්ද?

 

මහාචාර්ය සසංක පෙරරා:

ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් මේක ඉංග්‍රීසි භාෂාවට විතරක් ලඝු කරන්නත් නරකයි. අපි මේ දිහා බලන්න ඕනේ අපි සම්බන්ධ වෙලා ඉන්න ක්ෂේත්‍රය පැත්තෙන්. මගේ ක්ෂේත්‍රය සමාජ විද්‍යවනේ. දැන් මට අවශ්‍ය ගෝලීය දැනුම ලබාගන්න පුළුවන් භාෂා කීපයක් තියෙනවා. ඉංග්‍රීසි කියන්නෙ එකක් විතරයි. ප්‍රංශ භාෂාවෙන් ලබා ගන්න පුළුවන්. ජර්මන් භාෂාවෙන් ලබා ගන්න පුළුවන්.

දැන් ප්‍රශ්නෙ මේකයි. එහෙම් පිටින්ම අපිට ඒක භාෂික වෙන්න බැහැ මේ යුගයේදී  විධිමත් සමාජීය විද්‍යා හෝ මානව ශාස්ත්‍ර දැනුම් නිශ්පාදනයේ ඉන්නවා නම්. ඒ ගැන එතැනින් එහාට කතා කරලා වැඩක් නෑ මං හිතන්නෙ. මම හිතන්නේ උදාහරණයක් විදිහට අපි අපේ පැරණි ලංකාවේ ඉතිහාසය දිහා බැලුවත්, අපි කියවනවා නම්‚ සිඳත් සඟරාව වගේ ව්‍යාකරණ පොත් පත්වත්,  අපිට පේනවා මේවා ලියපු මිනිස්සු සිංහල දැනුමට කොටු වෙලා නෙමෙයි ලියලා තියෙන්නේ කියලා.

ඒගොල්ලන්ට සංස්කෘත‚ පාලි ගැනත් හොඳ දැනුමක් තිබිලා තියෙනවා. අපි අපේ පැරණිසන්දේශ සාහිත්‍ය කියවලා බැලුවත් අපි දන්නවා මේගොල්ලො ඒ හා සමාන ඉන්දීය උප මහද්වීපයේ තිබිච්ච කාව්‍ය රීති එහෙම සැළකිල්ලට අරන් තියෙනවා කියලා. ඉතින් ඒවා මොන භාෂාවෙන් කියෙව්වද කියලා මට කියන්න බෑ. ඒ දැනුම මට නෑ. නමුත් ඒ දැනුම තිබිච්ච බව පැහැදිළියි.

දැන් එතකොට කොහොමද ඒ දැනුම එදා ආවේ? කොහොමද ඒ වගේ දැනුම් අද අපිට එන්නේ? ඉතින් ඒකට අපිට උත්තර දෙකයි තියෙන්නෙ තත්ත්කාලීනව. එක්කෝ මේ දැනුම හැම විෂයට ම අදාළව අපේ භාෂාවට අරන් එන්න ඕනේ. ඒ කියන්නේ පරිවර්තන මගින්.

දැන් 1950 ගණන්වල කතිකාවක් ඇති වුණාම අපේ රටේ‚ දේශීය භාෂා දෙකට අපේ අධ්‍යාපනය හරවන්න ඕනේ කියලා ඉංග්‍රීසි භාෂාවෙන්‚ ඒකට සෑහෙන්න වැඩ කොටසක් පටන් ගත්තා. පාරිභාෂික ශබ්ද මාලා ආණ්ඩුවෙන් මුද්‍රණය කරන්න පටන් ගත්තෙ ඒකෙ එක කොටසක් හැටියට. ඒක ඉතාමත් වැදගත් වැඩක්. එතකොට සමාජ විද්‍යාව වගේ දේවල් විශ්ව විද්‍යාලවල උගන්වන්න පටන් ගන්නකොට ඒ කාලේ හැටියට තිබිච්ච යම් මූලික පෙළ පොත් -- උදාහරණයක් විදිහට ටොම් බොටමෝර් කියන ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයාගේ මූලික කෘතිය -- සිංහලයට පරිවර්තනය කරා.

මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුනාම 80 දශකය මුලදී බෝටොමෝර් ගේ ඔය පොත මං කොහෙන්ද හොයාගෙන කියෙව්වා.  ඉතින් මේ වගේ වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ භාෂා මාධ්‍ය ඉංග්‍රීසියෙන් සිංහලට හා දෙමළෙට හරවනකොට, ඒකට අවශ්‍ය පුළුල් සැලසුමක් ඒ කාලේ තිබුණා.

දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමයි, මේ සැළසුම දීර්ඝ කාලීනව ක්‍රියාත්මක නොවිච්ච එක. ඉතින් දැන් සිංහලෙන් විතරක්‚දෙමළෙන් විතරක් අධ්‍යාපනය කරන්න ඕනෙ නම්‚ ඒ විෂයන්වලට අදාළ දැනුම ඒ භාෂා දෙකටම අරන් ඒමේ දීර්ඝ කාලීන සැළසුමක් රටට තියෙන්න ඕන.

දැන් මං උදාහරණයක් දෙන්නම් මේකට. ඕක හොඳට කරන රටවල් දෙකක් තමයි චීනය සහ ජපානය. චීනය විශේෂයෙන්ම විද්‍යාවන් සම්බන්ධයෙන්. නමුත් ජපානයේ සමාජීය විද්‍යාවන් වගේ දේවල් ගැනත් ඒක සෑහෙන්න දුරකට කරනවා.

මම 2011 දී මම මාස හයක විතර කාලයක් ජපානයේ ටෝකියෝ නගරයේ ගතකරපු කාලේ, හිතෝත්සුභාෂි විශ්වවිද්‍යාලයෙත් ටෝකියෝ විශ්වවිද්‍යාලයෙත් පුස්තකාලවලට යන පුරුද්දක් මට තිබුණා.  ඒගොල්ලන්ගෙ පුස්තකාලවල තියෙන්නේ මොනවද කියලා හොයාබලන්න. විශේෂයෙන් අපේ කලාපයේ තියෙන දැනුම මේවායේ තියෙනවාද කියලා බලන්න මට උනන්දුවක් තිබ්බ. මම පුදුම වෙච්ච කාරණයක් තමයි, මහාචාර්ය එම්. එස්. ශ්‍රීනිවාස් වගේ ඉන්දීය ශාස්ත්‍රඥයන්ගේ පොත් පත් ජපන් භාෂාවට පරිවර්තනය වෙලා තිබුණ එක. ඉංග්‍රීසියෙනුත් තිබුණා. නමුත් මම වඩාත් පුදුම වුණේමහාචාර්ය ගණනාත් ඔබේසේකරගේ පොතකුත් -- මං හිතන්නෙ Medusa’s Hair කියන පොතද කොහෙද -- ජපන් භාෂාවෙන් තිබුණ එක ගැන.

දැන් මොකක්ද මේකෙන් කියවෙන්නේ? අපි දන්නවා ශාස්ත්‍රීය දැනුම් නිශ්පාදනය සම්බන්ධයෙන්ජපානයේ ඉංග්‍රීසි භාෂා දැනුම හුඟාක් අඩුයි කියල. මොකද හුගක් දේවල් වෙන්නේ ඒගොල්ලන්ගෙ භාෂාවෙන්. උගන්නන්නෙ ඒ භාෂාවෙන්, විශ්වවිද්‍යාලවල වැඩි හරියක්. නමුත් ඒගොල්ලො ඒ වැඩේට හරියන විදිහට පරිවර්තන සකස් කරනවා. ඔය මං දුන්නේ උදාහරණ දෙකක් විතරයි.

දැන් චීනෙත් ඔය දේ වෙනවා. අපි එංගලන්තෙට ගියත් මේ දේම දකින්න පුළුවන්.  දැනට අපි කතා කරන සමාජ න්‍යාය වගේ දේවලින් වැඩි හරියක්‚ විශේෂයෙන් පශ්චාත් නූතන දැනුම ඉංග්‍රීසියෙන් ලියවිච්ච දේවල් නෙමෙයි. අපි ගත්තොත් එහෙම මිෂෙල් ෆූකෝ හරි ශක් ඩෙරිඩා වගේ ප්‍රඥයෝ,ඒ අය ලිව්වේ ප්‍රංශ බසින්.  ඒවා වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසියට පරිවර්තනය කළා.

එතකොට අපි නිර්යටහ්ත්විජිතවාදී න්‍යාය (Neocolonial Theory) තවත් උදාහරණයක් විදියට ගත්තොත්, අපි දන්නවා 1980 ගණන්වල ඉදලම ලතින් ඇමරිකානු කලාපවල මේ හා සම්බන්ධව පුළුල්ව ලිපි ලේඛන ලිව්ව බව. වෝල්ටර්මිග්නෙලෝ, අනිබල් කිහානෝ, එන්රික් ඩුසෙල් වගේ අය. මේවා වැඩි හරියක් ලියවුනේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒත් දැන් මම අද මගේ PhD පංතිවලට මේවා කියවන්න දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ, හොඳ පරිවර්තන කරලා තියෙන නිසා. අපි රටක් හෝ භාෂාවක් වශයෙන් මේ අහලකවත් නෑ.

 

ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

මම නැවත පොඩ්ඩක් පනිනවා මැද්දෙන්. ජපානය හා චීනය ගත්තහම, ඒ රටවලට ධනය තිබ්බා මේකට වැය කරන්න. පරිවර්තන කාර්ය සඳහා. මේ හැම දෙයකටම අන්තිමට ආර්ථිකේ කියන එක බලපානවනේ. අපි එහෙම ධනවත් රටක් නොවීම මේක කඩාකප්පල් වීමට එක හේතුවක් විය හැකිද?ඒ කියන්නේ ධනය නැති වීම? අපේආර්ථිකය ශක්තිමත් නැත්නම් මේ ගමන ජපානය සහ චීනය වගේ අපිට යා හැකිද?

 

මහාචාර්ය සසංක පෙරරා:

ඒක හරි. ඒ කතාව ඇත්ත. ජපානය පැත්තෙන් බැලුවහම, මේ වගේ පරිවර්තනවල  අවශ්‍යතාවයක් තියෙන බව ශාස්ත්‍රඥයින් තේරුම් ගත්ත නිසා පරිවර්තන කෙරිලා තියෙනවා. ප්‍රකාශකයින්ටත් උනන්දුවක් තිබ්බා.

අපේ මේ වෙනකොට මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මූලික  ප්‍රතිපත්තියක්වත් නෑ. කරන්න උනන්දුව හා හැකියාව තියෙන අයට උදව් සැපයීමේ ක්‍රමයකුත් නෑ. හැබැයි ඔයාගෙ කතාව ඇත්ත. මේකට යම් ධනයක් තියෙන්න ඕනේ. ඒ ධනය පැහැදිලිව ම වෙන් වෙලා තියෙන්න ඕනේ මේ කාර්ය සඳහා. එහෙම නැතුව ඒක කරන්න බෑ. නමුත් ඒකට වැඩිය මිළ අඩු ක්‍රමයක් තමයි ඊළඟ එක.

මම පිළිගන්නවා පරිවර්තනය කරලා ඉවර කරන්න ඉස්සර සමහර දැනුම යල්පනින්න පුළුවන් කියලා. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? ඊළඟ ක්‍රමය තමයි‚ මේ දැනුම පරිවර්තනය කරන්නෙ නැත්නම්, ඒක ලබා ගන්න පුළුවන් භාෂාවල් ග්‍රහණය කර ගන්න උත්සාහ කරන එක. ඒ භාෂා සම්බන්ධයෙන් අපි චතුර වෙන්න ඕනේ. ඒකෙ කතන්දර දෙකක් නෑ. ඒ කියන්නේ, දැන් මං වගේ අය කරලා තියෙන්නේ‚ ඔයාගේ තාත්තා‚ ඔයා වගේ අය කරල තියෙන්නේ ඒ දෙවෙනි  වැඩේ.

මොකද අපිට පුළුවන්කමක් තිබුණෙ නෑ පරිවර්තන එනකල් බලන් ඉන්න. අද වෙනකොට මට ප්‍රංශ භාෂාවෙන්‚ ස්පාඤ්ඤ භාෂාවෙන් පලවෙච්ච යමක් කියවන්න ඕනේ නම්, අඩුගානේ මට ඉංග්‍රීසි පරිවර්තන හරහා ඒවා කියවන්න පුළුවන්. මේ වගේ භාෂා හැකියාවක් හෝ හොඳ පරිවර්තන ක්‍රියාවලියක් නැතිව‚ අඩුම තරමින් මේ දෙකෙන් එකක්වත් නැතුව, තත්ත්කාලීන දැනුම දියුණු මට්ටමෙන් නිශ්පාදනය කරන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නෑ.

 

ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

දැන් මාර්ටින් වික්‍රමසිංහ‚ එදීරිවීර සරත්චන්ද්‍ර වගේ සිංහල සාහිත්‍යයට ඉතාමත් වැදගත් සේවයක් කරපු උගතුන් වුනත් ද්විභාෂික උගතුන් නේ?

 

මහාචාර්ය සසංක පෙරරා:

පැහැදිළිවම. මේ දෙන්නම ඒක තේරුම් ගත්තා මුල ඉදලම. දැන් ඒ දෙන්නගෙම‚ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ සහ එදිරීවීර සරත්චන්ද්‍ර මහත්මයාගේ ඉංග්‍රීසියෙන් ලියපු දේවල් වැඩිය මං කියවල නෑ. මං මුලික වශයෙන් කියවල තියෙන්නෙ සිංහලෙන් ලියපු දේවල් -- ඒ දෙන්නගෙම. නමුත් ඒවා කියවද්දි මට තේරුණා, ඒ කාලයට සාපේක්ෂව ඒවා ලියන්න අදාළ දේවල්වලට මූලාශ්‍රය සපයපු දැනුම ඒගොල්ලන්ට හොදින් තිබුණා කියලා. ඒ දැනුම ලැබුණේ සිංහලෙන්වත් දිව්‍යඥානයෙන්වත් නෙවෙයි. ඒක ලැබුණේ ඉංග්‍රීසියෙන්.

ඉතින් අපි වර්තමානය ගත්තොත්, කාටහරි කියන්න පුළුවන් සිංහල අධ්‍යයනාංශයක ඉන්න ප්‍රාඥයෙක්ට ඔය එකක්වත් වැඩක් නෑ, සිංහලෙන් දැනුම නිශ්පාදනය කරන්න පුළුවන් කියවලා -- ක්ෂේත්‍රය සිංහල නිසා.

මේක ඇත්තක් නෙවේ. අපි කියමු සිංහල භාෂාව සම්බන්ධව ‘ඇලපිල්ලේ ඉතිහාසය’ හරි ඒ වගේවෙනත් දේවල් ගැන හරි පර්යේෂණයක් කරන්න අවශ්‍යයි කියලා. දැන් එහෙම කරනවා නම්, අපිට සංස්කෘත භාෂාව, පාලි භාෂාව සහ දෙමළ භාෂාව වගේ අපේ භාෂාවට බලපෑම් කළ භාෂාහාවල ඉතිහාස දිහාත් බලන්න ඕනෙ නැද්ද? අඩුගානේ මේ භාෂා තුනට අවධානය ලබාදෙන්න වෙනවා. දැන් එතකොට සිංහල භාෂාවේ වාග් විද්‍යාත්මක හෝ සමාජ ඉතිහාසය ගැන ලියනවා නම්‚ අපිට අර භාෂා තුනේ ඉතිහාසය හා ඒවායේ ව්‍යාපෘතිය හා සමාජ දේශපාලන වටපිටාව ගැන කියවන්න ඕන නැද්ද? ඒවා කියවන්න ඕන නම්, ඒ හා සම්බන්ධ ගැඹුරුම දේලියලා තියෙන්නේ සිංහලෙන් නෙවේ. ඉතින් එතකොට සිංහල භාෂාවේ ඉතිහාසය ගැන කතා කළත්, අපිට ඒකට අවශ්‍යය පසුබිම් දැනුම ලබා ගන්න ඒ වැඩේට සුදුසු වෙනත් පසුබිම් භාෂාවක් හෝ එවැනි භාෂා කීපයක් තියෙන්න ඕන.

අනෙක් අතට, සිංහල වගේ භාෂාවකින් නිර්මාණ සාහිත්‍ය ගැන කතා කරන එක්කෙනෙක් නම්‚ කොහොමටත් බෑ වෙන භාෂා එකක් හරි දෙකක් හරි නැතුව මේ කටයුත්ත සාර්ථකව කරන්න. අපිට දැන් ලංකාවේ ඕන තරම් නිර්මාණ සාහිත්‍යමය පරිවර්තන තියෙනවා. ගිහිල්ලා බලන්න හොඳට කියවලා ඒවා.

ඔයා පරිවර්තිකාවක්නෙ. කොහොමද මේ සමහර ඒවා පරිවර්තනය කරලා තියෙන්නේ. සමහර ඒවා අතිශයින් ගැටලුකාරියි. ඉතින් ඒ පරිවර්තන ගැටළුත් එක්කයි අපිට ගනුදෙනු කරන්න වෙන්නෙ. අපි සිංහලෙන් විතරක් නම් මේක කරන්නෙ. ඉතින් මං හිතන්නේ අපිට අවසාන විග්‍රහය හැටියට යමක් කියන්න ඕන නම්‚ ශාස්ත්‍රඥයින් හැටියට අපේ විෂය හා සම්බන්ධ දැනුම වැඩිපුර තියෙන භාෂාවක් තියෙනවා නම්, ඒ භාෂාව ග්‍රහණය කර ගන්න එකඅපේ යුතුමක්. මව් භාෂාවට අමතරව. ඒක අවශ්‍යතාවයක් වගේම යුතුකමක්. ඒ නැතුව අපි නිෂ්පාදනය කරන්න උත්සාහ කරන දැනුමේ විශාල හිදැස් තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. වර්තමාන ලංකාවේ එහෙම ඒකභාෂික ගමණක් යන්න හදනවනම් ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන්, එතැන සිද්ධවෙන්නේ බුද්ධිමය මන්දපෝෂණයට අත වැනීමක්.

 

අචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

මං මගේ  අවසාන ප්‍රශ්නය අහන්නම්. 

මහාචාර්යතුමනි, ඔබ කිව්වා “මමත් ඉංගිරිසි ඉගෙන ගත්තේ ලේසියෙන් නෙමෙයි” කියල. මේක වැදගත්. මොකද මට අවශ්‍ය මේ සාකච්චාව තුළින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නොයෙකුත් මාර්ග තියෙනවා කියලා පෙන්වන්න සහ ඒවා ලේසි මාර්ගත් නෙමෙයි කියලා පෙන්නන්න. ගිය මාසේ මහාචාර්ය අමරකීර්තිත් කිව්වෙත් ඒකයි. ඒකට හිමින් යෑමේ හැකියාවත්‚ ඒ ගමන යාමේ ආදරයත් තියෙන්න ඕනේ කියල තමයි ඔහු කිව්වේ. ඔබේ සාකච්ඡාවත් ඉතාම වැදගත්. බොහොම ස්තූතියි අපිට වෙන භාෂාවක අත්‍යාවශ්‍ය බව පෙන්නුවට.

ඔබ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කොහොමද සහ ඔබේ ගමන ගියේ කොහොමද කියලා අපිට කියන්නකෝ. ඔබගේ පසුබිම මම හිතන්නෙ නෑ සාමාන්‍යයෙන් ඉතා පිටිසර පුද්ගලයෙක්ගෙ පසුබිම කියලා.

 

මහාචාර්ය සසංක පෙරරා:

ඔව්, මං ඇහුවා මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ ගැන කියපු දේ. මගේ ජීවිත කතාවට වැඩිය එහෙම පිටින්ම වෙනස් ඒක.

වෙනස් වුණාට ලංකාවේ සමහර උදවිය හිතනවා මධ්‍යම පාංතික‚නාගරික වුණාම ඉංග්‍රීසි භාෂාව කොහොම හරි අම්මා දරුවා ප්‍රසූත කරද්දි, ඒකත් එක්කම එනවැයි කියලා. ඒවගේ අදහසක් අපේ බොහෝ දෙනාගේ ඔළුවල තියෙන්නෙ. නමුත් එහෙම නෙමෙයිනේ මේක වෙන්නෙ.

(සිනාසෙමින්) භාෂාවක් කියන එක ඇත්තටම මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. මහාචාර්ය අමරකීර්තිට තිබිච්ච අමරුකම් මට තිබුණේ නෑ.  ඒ කියන්නේ මගේ දෙමාපියන් දෙන්නටම හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබ්බා. නමුත් අපේ  ගෙදර -- මංවත් මගේ නංගිවත් -- ඉංග්‍රීසියෙන් නෙමෙයි කතා කරේ.

මගේ අම්ම කියපු විදියට,මගේ අම්මගේ අයියා (සිනාසෙමින්) ඒගොල්ලනට අවවාද දීලා තිබුණලු  ළමයින්ට සිංහලෙන් කතා කරන්න කියලා. නැත්නම් සමාජ ජීවිතේ ඔක්කොම ව්‍යාකූල වෙන්න පුළුවන් කියලා. අපේ අම්මලා ඒ අවවාදේ පිළිපැද්දා. ඊට අමතරව සිද්ද වුණු දෙයක් තමයි -- අපි මේ කතා කරන්නෙ හැට ගණන්, හැත්තෑ ගණන් ගැනනේ --එතකොට පාසල් වල තිබිච්ච‚ පාසල් වලින් ලැබුණු ජාතිකවාදී අදහස් නිසා කොහොමටත් ඉංග්‍රීසි කතා කරන්න උනන්දුවක් අපිට තිබුණේනැති වුන එක.

මං ගියේ ආන්ඩුවේ සිංහල-බෞද්ධ පාසල් වලට. අපිට  භාෂා ජාතිකවාදයක් ඇතිවුණා. පොඩි කාලේ මාව ඉස්කෝල දෙකකට ගත්තෙ නෑ. එකම හේතුව ඉංග්‍රීසි බැහැයි කියන හේතුව. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටයි‚ ශාන්ත අන්තෝනි විද්‍යාලයටයි. ඉතින් හරියට හරි ඒ කතාව.

ඉංග්‍රීසි බෑ, ඒ කාලේ. මට සිංහල හොදින් පුළුවන් බව වැඩක් වුනේ නෑ ඒ කට්ටියට. ඉතින් ඒ අවශ්‍යතාවය තිබුණේ නැති නිසා තමයි ධර්මරාජ විද්‍යාලයට මට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ. එතකොට දැන් පේනවානේ මේ බහිශ්කරණය සිද්ද වුණේ භාෂාව නිසා පමණයි. එක භාෂාවක් බැරි වීම නිසා. හැබැයි  මට ම පස්සේ තේරුණා මේ ඉංග්‍රීසි භාෂාව කියන එක අවශ්‍යයි කියලා  -- හුගාක් දේවල්වලට‍.

නමුත් මං භාෂාව හරියාකාරව ඉගෙන ගත්තෙ ගෙදරින්වත් පාසලෙන්වත් නෙමෙයි. ගෙදරිනුත් උපකාර තිබුණා. පාසලෙන් කොහොමත් හොඳට උගන්නන්න උත්සාහ කරා-- ව්‍යාකරණ වගේ දේ ගැන. කතාකරන්නවත් කියවන්නවත් නම් නෙමේ. එතකොට මේකට රුචිකත්වයක් ඇති කරගෙන භාෂාව හොඳින් ග්‍රහණය කර ගත්තෙ එහෙම පිටින්ම කියවීමෙන්. ඒ කියන්නේ හරි අමාරු පත පොත කියවලා නෙමෙයි. ඒ කාලේ තිබිච්ච හැටියට සරල ඉංග්‍රීසි පොත්පත් කියවල. මට උනන්දුව තිබ්බ දේවල් කියවල. විෂය නිර්දේශයට අයිති දේ නෙවේ.

නමුත් සමහර අය මම එහෙම මගේ උනන්දුවෙන් පුස්ථකාලවලින් හොයාගෙන කියවපු පොත්වලට කියන්නේ අවර ගණයේපොත් කියලා. මොකද ඒවා සම්භාව්‍ය දේ නොවුන නිසා.  ෂේක්ස්ෆියර්, චෝසර් වගේසම්භාව්‍ය ඉංග්‍රීසි කතුවරුන්ගේ කෘති මට කියවන්න උනන්දුවක් එදත් තිබුණේ නෑ, අදත් නෑ. මොකද ඒ වගේ භාෂා රටාවන්එක්ක මට ගනුදෙනු කරන්න බෑ.

මම මේ වෙන කොට ඒවා කියවල තිබීම වෙනම කාරණයක්. ඉතින් මං කියන්න හදන්නේ මේකයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම්‚එහෙම ඕනකමක් තියෙනවා කියනේ දේ තමන්ගේ ඔළුවට දාගන්න ඕනේ මුලින්ම -- තමන්ගේ ශාස්ත්‍රීය කටයුතු හෝ වෙනත් කටයුතු කරන්න. දෙක, එහෙම ඉගෙනගන්න නම්, ශාස්ත්‍රීය පොත් පත් කියවන්න ගියොත්, ඒ වැඩේ එහෙම පිටින්ම ව්‍යාකූල වෙනවා. ඒක කරන්න නම්‚ තමන්ට කියවන්න හැකි, එච්චර අමාරුවක් නැති, රුචිකත්වය තියෙන පොත්වලින් තමයි පටන්ගන්න ඕන.  මම නම් තාමත් රහස් පරීක්ෂක කතා වගේ ඒවා කිවයවනවා වෙලා තියෙන විදියට.

 

ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක:

අනිවාර්යයෙන්ම මහාචාර්යතුමනි. බොහොම ස්තූතියි. දැන් ඔබ කියපු වැදගත් ම දේ තමයි දේ‚ කියවන්න ඕනේ තමන් ආස දේ කියන එක. මං හිතන්නේ මහාචාර්ය අමරකීර්තිත් මුල් කාලේ කියෙව්වේ ඒ වයසට හරියන පෙම් කතා, රහස් පරීක්ෂක කතා වගේ දේවල් කියලා තමයි කිව්වේ.

ඔබ අපේ සමාජයේ තියෙන ස්ටීරීයෝ ටයිප්එකකුත් කැඩුවා. ඒ තමයි,නාගරික මධ්‍යම පාංතික වුණොත් ඉංග්‍රීසි සහජයෙන්ම ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවාය කියන එක. ඔබ ඒක ලේසි නෑ කියලා පෙන්නුවා. ඔබට ආශාවක් සහ උනන්දුවක් තිබුණ  හින්දා යන්න මාර්ගයක් ඇතිවුණා සහ ඒ මාර්ගයේ යෑම අත්‍යාවශ්‍යයි ශාස්ත්‍රීය කටයුත්තක් කරනවා නම් කියන එක ඔබ අපිට පෙන්වා දුන්නා.

අපි යම් ගමනක් යනවා නම්, සිංහල සහ දෙමල  භාෂා දෙකෙන් ලැබෙන දැනුමට වඩා ඔබ්බට යා යුතුයි කියලත් ඔබ කිව්වා. එහෙම දැනුම එකතු කරගෙන යන එක තමයි කළ හැකි එකම දේ කියන එක ඔබ ඉතා පැහැදිළිව කිව්වා. බොහොමත් ම ස්තූතියි!

ඇවිල්ලා මෙහෙම සාකච්ඡාවක් කරාට. බොහොම ස්තූතියි ඔබට.



අදහස් (2)

ඒකභාෂික වීම බුද්ධිමය මන්දපෝෂණයට අත වැනීමක්

AB Monday, 30 May 2022 08:16 AM

ඒකභාෂික වීම බුද්ධිමය මන්ද පෝෂණයට අත වැනීමක් නොවේ. එක භාෂාවක් දැනගැනීම එක පුද්ගලයෙකි.. සහ භාෂා කිහිපයක් දැනගැනීම පුද්ගලයින් කිහිපදෙනෙකියි, කියා කියමනක් තිබේ. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව යනු ජාත්‍යන්තර භාෂාව වේ. දැනට වසර 2කට පෙර කොරෝනා වෛරසය සඳහා චීනය සහ රුසියාව ඔවුන්ගේම පර්යේෂණ සිදුකරයි..

:       4       1

AB Monday, 30 May 2022 08:17 AM

භාෂාවන් කිහිපයක් දැනගැනීම ප්‍රයෝජනවත් වේ. ලොවපුරා භාෂාවන් කිහිපයක් දැනගත්‍ බොහෝ පිරිසක් සිටියද සිතීමේ හැකියාවක් නොමැතිකම නිසාම බුද්ධිමත්..

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 295 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 916 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1415 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 216 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 436 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 605 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2062 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site