IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘ඔපරේෂන් ෆොනී’ සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් සැටි

 20_SLTK_P7  

 

ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි

 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ එකම ෆීල්ඞ් මාර්ෂල්වරයා වන ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා පිළිබඳ බොහෝ උණුසුම් පුවත් මේ දිනවල අසන්නට ලැබෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඔහු හැඳින්වූයේ ‘ලොව සිටින විශිෂ්ටතම හමුදා සේනාධිපතියා’ ලෙසිනි. පෙබරවාරි 8 වැනි දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය හිටපු ඉඩම් ඇමතිවරයා වූ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ෆීල්ඞ් මාර්ෂල්වරයා පත් කිරීමට තීන්දු කළ අතර, සරත් ෆොන්සේකා වත්මන් යහපාලන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් 9 වැනි දින දිවුරුම් දුන්නේය. මේ මස අවසන් වීමට පෙර ඔහු ඇමතිවරයකු වශයෙන් ද දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව 2016 පෙබරවාරි මාසය සරත් ෆොන්සේකාට යහපත් කාලයක් ලෙසින් සැලකිය හැකිය.

 

1
 එහෙත් මින් සය වසරකට ඉහත එනම් 2010 පෙබරවාරිය හිටපු හමුදා ප්‍රධානියාට යහපත් සමයක් නොවීය. 2010 පෙබරවාරි 8 වැනි දින රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු නායකත්වය ලබාදුන් යුද හමුදාවේම නිලධාරින් පිරිසක් විසිනි. එම අඳුරු රාත්‍රියේ අම්බලන්ගොඩ සිංහයා අත්අඩංගුවට ගැනුණේ බලහත්කාරයෙනි.


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනමාධ්‍යය වාර්තා කළ ද, ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව වාර්තා වූයේ මඳ වශයෙනි. යුද විරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල විරෝධතා මතුකරන ඇතැම් කුහකයෝ මේ ශ්‍රේෂ්ඨ රණවිරුවා නීති විරෝධි ආකාරයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ කිසිදු හඬක් නැඟුවේ නැත. එදා ඔහු අත්අඩංගුවට ගැනීමට අණ දුන් ඇතැම් පුද්ගලයෝ අද රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නැගී සිටින්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිති.


පොදු අපේක්ෂක ලෙසින් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව, පාලක පක්ෂයට අභියෝග කිරීමට තරම් නිර්භීත වූ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව කුරිරු ලෙසින් උපයෝගී කරගැනීමක් බැව් ඔහු  අත්අඩංගුවට ගත් ආකාරයෙන් සනාථ වේ. එවක මෙරට පැවැතියේ ඉක්මනින් වෙනස්වන තත්ත්වයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය හා රජයේ හමුදා අතර අවසන් ගැටුම නන්දිකඩාල් කළපුවේ පැවැති අතර,  යුද ජයග්‍රහණයේ කීර්තිය, දේශපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, පරිපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදාවට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් හමුදාපති සරත් ෆොන්සේකා අතර බෙදී ගොස් තිබිණි.


එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමෙන් සය මසක් ගතවීමටත් පෙර මේ තිදෙනා අතර වූ  සබඳතාව බිඳවැටෙන්නට විය. 2010 කාලයේ සරත් ෆොන්සේකා තරු හතරේ විශ්‍රාමික ජනරාල්වරයකු වූයේය. ඔහු විසින් ජනාධිපතිවරණයට තරග කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හංසයා ලකුණිනි. මහින්ද රාජපක්ෂ විරෝධි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ. දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල සහය ඇතිව ඔහු පොදු අපේක්ෂයකු වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයේ බර්නාඞ් මොන්ට්ගොමරි, වින්ස්ටන් චර්චිල්ට එරෙහිව හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධි මැතිනියට එරෙහිව තරග කළ ආකාරයට සමානය.


ජනාධිපතිවරණය දූෂිත, රාජ්‍ය දේපොළ අවභාවිත කළ, ප්‍රචණ්ඩත්වය රජකළ මැතිවරණයක් බවට චෝදනා කෙරිණි. මැතිවරණය පැවැත්වූයේ 2010 ජනවාරි 26 වැනිදාය. මහින්ද රාජපක්ෂ ඡන්ද 60,15,934කින් නැතිනම් 57.88% ලබා පළමු ස්ථානයට පත්වී තිබිණි. ෆොන්සේකා ඡන්ද 41,73,185 නැතිනම් 40.15% ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය. මැතිවරණ ප්‍රතිඵලය දැඩි ලෙස විවාදයට බඳුන් වූ අතර එය ඡන්ද වංචාවක් බවට විරුද්ධ පක්ෂය චෝදනා කළේය. කුමන චෝදනාවක් එල්ල වුවද මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවට ද විධායක බලතල සහිත ජනාධිපතිවරයා බවට පත්විය. රජයේ ඊළඟ අවශ්‍යතාව වූයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමය.


විරුද්ධ පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ඒ වන විට ජාතික දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේය. අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු විරුද්ධ පාක්ෂිකයන්ගේ ප්‍රධානතම තුරුම්පුව වනු ඇතැයි බොහෝ අය සිතූහ. 2010 පෙබරවාරි 8 වැනිදා නම් වූ ඒ අවාසනාවන්ත රාත්‍රියේ පරාජිත අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා  සිටියේ කොළඹ 07 රාජකීය මාවතේ රාජකීය විද්‍යාලය අසල අංක 1/3 දරන ස්ථානයේ පිහිටි තම පක්ෂ කාර්යාලයේය. එහි තම දේශපාලනික සගයන් සමඟ පැවැති සාකච්ඡාවේ නිමිත්ත වූයේ ඉදිරියේ පැවැත්වීම නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කළ යුතු  ප්‍රචාරක ව්‍යාපාරය සහ ගත යුතු දේශපාලනික උපායමාර්ග පිළිබඳ සොයා බැලීමය. එයට මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණු නායක මනෝ ගනේෂන්, ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ සහ සුනිල් හඳුන්නෙත්ති, හිටපු හමුදා මේජර්වරයකු වූ ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම්  එස්.එච්.ඒ. සිල්වා (සේනක සිල්වා) යන පිරිස එම රහසිගත සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

55
මහල් දෙකකින් යුතු ගොඩනැගිල්ලක ඉහළ මහලේ සාකච්ඡාව එලෙස පැවැත්වෙද්දී කලකට ඉහත ෆොන්සේකා යටතේ සේවය කළ යුද සෙබළු පිරිසක් වෙනත් ස්ථානයක තම හිටපු නායකයා ඉලක්ක කර ගනිමින් කිසියම් මෙහෙයුමකට සූදානම් වෙමින් සිටියහ. මෙහෙයුමේ කේත නාමය වූයේ ‘ඔපරේෂන් ෆොනී’ යන්නයි. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැලසුම් කරනු ලද්දේ එවක යුද හමුදා පොලිසියේ ප්‍රධාන මාෂල්වරයා වූ බි්‍රගේඩියර් ජගත් විජේසිරි සහ කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරි මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ යන දෙදෙනා විසිනි. මෙම රහසිගත මෙහෙයුම සඳහා ආරක්ෂක අංශයේ ඉහළම ස්ථරයේ අවසරය හිමිවී තිබිණි.


පෙබරවාරි 8 වැනි දින රාත්‍රි 9ට පමණ මෙහෙයුම ආරම්භ වූ අතර එය පොල්හේන්ගොඩ හමුදා පොලිස් මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වූයේය. හමුදා පොලිසියේ සහ කොළඹ මෙහෙයුම් අංශයේ නිලධාරීහු 200ක පමණ පිරිසක් මෙහෙයුමට දායක වී සිටියහ. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පිරිසක් ද මෙහෙයුමට එක්කර ගැනිණි. පිරිස බස්රථ දෙකකින් හා තවත් වාහන අටකින් මුනිදාස කුමාරතුංග මාවත, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත හා රාජකීය මාවත ඔස්සේ ගමන් ගත්හ. යුද මෙහෙයුමකට සරිලන ඇඳුමින් සැරසී සිටි ඔවුහු මොහොතකින් එම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් කළහ. වාහන ගමනාගමනයට බාධා පැමිණුනු අතර බෞද්ධාලෝක මාවත, හැව්ලොක් මංසන්ධිය සහ රාජකීය මාවතේ භට පිරිස් රඳවනු ලැබූහ. ෆොන්සේකා රැඳී සිටි ගොඩනැගිල්ල වටා ආරක්ෂක වළල්ලක් ස්ථාපිත කළ ඔවුහු රාත්‍රි 9.40ට පමණ ෆොන්සේකා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණියහ. කමාන්ඩෝ ගණයේ වැටලීමක් සූදානම් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැමිණ සිටි ආරක්ෂකයෝ රැඳී සිටියේ පහළ මාලයේය. ගොඩනැගිල්ලට ඇතුළු වූ කණ්ඩායම ආරක්ෂකයන් අත තිබූ අවි බලහත්කාරයෙන් උදුරා ගත්හ.  හදිසි කඩාවැදීමෙන් බියපත් වූ ආරක්ෂකයන්ගෙන් කීප දෙනෙක් ඉහළ මාලයට දිව යෑමට උත්සහ කළද ඔවුන්ගේ හිසට තුවක්කු එල්ලකොට නැවත පහත මාලයට පැමිණෙන ලෙසට අණ කෙරිණි. සියලු දෙනා ශාලාවේ කොනක රඳවනු ලැබූහ. ආරක්ෂක කැමරා සියල්ල ක්‍රියා විරහිත කළ අතර පටිගත කිරීමේ යන්ත්‍ර ගලවා ඉවත් කර ගත්හ.


ක්ෂණයකින් ඉහළ මාලයට දිව ගිය බි්‍රගේඩියර් විජේසිරි සහ මේජර් ජනරාල් මානවඩුගේ විසින් මෙහෙයවන ලද විශේෂ භට කණ්ඩායම එක්වරම ෆොන්සේකා සිටි කාමරයට කඩා වැදුණාහ. සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිසට තමා කවුරුන්ද යන්න හඳුන්වා දුන් බි්‍රගේඩියර් විජේසිරි, ජනරාල් සරත් ෆොන්සේකාගෙන් සහ සේනක සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ඇතැයි පවසා දේශපාලන පක්ෂ නායකයන්හට එම ස්ථානයෙන් බැහැර වන ලෙසට උපදෙස් දුන්නේය. මෙම කඩා වැදීමට විරෝධය පෑ දේශපාලන නායකයෝ තමනට ජනරාල් ෆොන්සේකා අතහැර යා නොහැකි යැයි කාරුණිකව පැවසූහ. 


තමාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ජනරාල් ෆොන්සේකා තමා අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිසට කියා සිටියේය. තවදුරටත් හමුදා නිලධාරියකු නොවන හෙයින් හමුදාවට තමා අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති බවත්, අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා පැමිණිය යුත්තේ පොලිසිය බවත්  ඔහු තවදුරටක් පැවසීය. ජනරාල් ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් සේනක ද සිල්වා ද ජනරාල්වරයාගේ මතය තහවුරු කරමින් විශ්‍රාමික මේජර්වරයකු වන තමා අත්අඩංගුවට ගැනීමට ද හමුදාවට බලයක් නොමැති යැයි අවධාරණය කළේය. මේ අවස්ථාවේ පක්ෂ නායකයන් ද තම අදහස් ප්‍රකාශ කළ අතර මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් බාධා නොකර නිශ්ශබ්දව සිටින ලෙසට හමුදා නිලධාරියා ඔවුනට පැවසීය.


ජනරාල් සරත් ෆොන්සේකා ඇමතූ බි්‍රගේඩියර් විජේසිරි හමුදා සේවයේ නිරත වූ සමයේ සිදු කරන ලද ඇතැම් වැරදි සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට තමාට සිදුවන බැව් පවසා සිටියේය. එම වැරදි හමුදාවට සම්බන්ධ වැරදි වන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට හැකි බැව් අවධාරණය කළ බි්‍රගේඩියර් විජේසිරි, ජනරාල් ෆොන්සේකාට එරෙහි චෝදනා එකින් එක කියවන්නට විය. හමුදා සේවයේ නිරතවන අතර දේශපාලනයේ නිරතවීම, සේවයේ යෙදී සිටින සමයේ සේනාධිනායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, පලාගිය සොල්දාදුවන් 1500කට අධික පිරිසකට රැකවරණ ලබා දීම සහ හමුදා ප්‍රතිසම්පාදන සම්බන්ධයෙන් සිදු වී ඇති දූෂණ එම චෝදනා අතර විය.


හමුදා සේවයෙන් විශ්‍රාම ලද සිවිල් පුරවැසියකු හෙයින් යුද හමුදා පොලිසියට තමන් අත්අඩංගුවට ගැනීමට කිසිදු බලයක් නොමැති බැව් දැඩිව ප්‍රකාශ කළ ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා පොලිසිය කැඳවිය යුතු යැයි නැවත අවධාරණය කළේය. එක්වරම තවත් හමුදා භට කණ්ඩායමක් කාමරය තුළට කඩා වැදුණේ මේ අතරය. එම භට පිරිසට නායකත්වය දුන්නේ මේජර් ජනරාල් සුමිත් මානවඩුගේය. ඔහු, ජනවාරි 26-, 27 දිනවල සරත් ෆොන්සේකා හා ඔහුගේ සහයකයන් රැඳී සිටි සිනමන් ලේක්සයිඞ් හෝටලයට කඩාවැදුණු භට කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා විය.


මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ ෆොන්සේකා ඇමතුවේය. “සර්, මා සිදු කරන්නේ මට ලැබී ඇති අණ ක්‍රියාත්මක කිරීම පමණයි. කරුණාකර අප සමඟ පැමිණෙන්න.” තමා සිවිල් පුරවැසියකු බවද, හමුදා පොලිසියට තමා අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති බවද පුනරුච්චාරණය කළ ජනරාල්වරයා පොලිසිය පැමිණෙන්නේ නම් තමා ඔවුනට බාරවීමට සූදානම් බවද කියා සිටියේය. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පහළ මාලයේ සිටින බව පැවසූ මානවඩුගේ ඔවුනට ඉහළ මාලයට පැමිණෙන ලෙසට පැවසීය. එවිට ජනරාල්වරයා “ඔව් මෙහි පැමිණ ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්නැ”යි පැවසීය. මෙහිදී මේජර් ජනරාල් මානවඩුගේගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය හෙයින් ඔහු පරුෂ ස්වරයෙන් පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර උණුසුම් වදන් හුවමාරුවක් ඇති විය.


මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, ජනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනා යටතේදැයි බි්‍රගේඩියර් විජේසිරිගෙන් විමසූ විට ජනරාල් ෆොන්සේකාට එරෙහි චෝදනා පත්‍රය යළි කියවන මෙන් බි්‍රගේඩියර් විජේසිරි එහි සිටි නිලධාරියකුගෙන් ඉල්ලා සිටියේය. නිලධාරියා චෝදනා පත්‍රය කියවන අවස්ථාවේ නොඉවසිලිමත් වූ මානවඩුගේ එයට බාධා පමුණුවමින් “අපට එක එක දේවල් කියවන්න වෙලාවක් නැහැ. අපට මොහු අත්අඩංගුවට ගැනීමට තියෙනවා” යනුවෙන් රළු හඬින් පවසා ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙසට තම නිලධාරින්ට අණ කළේය. හමුදා භට කණ්ඩායම ජනරාල්වරයාට සමීප වෙත්ම “මගේ ඇඟට අත තියන්න එපා” ඔහු ගුගුලේය. “එයාව අල්ල ගන්නවා” මානවඩුගේ සොල්දාදුවන්ට නැවත අණ කළේය. සොල්දාදුවන් සරත් ෆොන්සේකා  අත්අඩංගුවට ගැනීමට මැළිවන බැව් දුටු මානවඩුගේ “ඇයි බලන් ඉන්නේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා” යනුවෙන් මොර දුන්නේය.


තම අණදෙන නිලධාරියාගේ අණට කීකරු වූ සෙබළු ජනරාල් ෆොන්සේකා අල්ලාගෙන එළියට ඇදගෙන ඒමට උත්සාහ කළහ. එහෙත් ජනරාල්වරයා තම මේසය තරයේ අල්ලා ගනිමින් “පොලිසියට එන්න කියන්න. එතකොට මම එන්නම්” යනුවෙන් කෑ ගැසීය. සටන් පෙරමුණේ යුදගැටුම් රැසකට මුහුණ දී අත්දැකීම් රැසක් ලබා සිටි ජනරාල්වරයා, මින් මාස අටකට ඉහත තමා යටතේ සේවය කළ සොල්දාදුවන් පිරිසකගේ බලහත්කාර පැහැර ගැනීමෙන් වැළකී සිටින්නට ඒ මොහොතේ සටන් කරමින් සිටියේය. ෆොන්සේකා තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ එක් නිලධාරියකුගේ කබායේ වූ නම සඳහන් පටිය කඩා දැමීය. එහි වූ ආසන පෙරළී තැන තැන විසිරී තිබිණි. තේ බඳූන් හා සරල ආහාර සහිත බන්දේසිය බිම පතිතව විසිරී ගියේය.


ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සේනක සිල්වා විරෝධය පෑ අවස්ථාවේ ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට පමුණුවන ලෙසට මානවඩුගේ තම නිලධාරීන්හට අණ කළේය. සේනක සිල්වා හමුදා භටයන් විසින්  ඉවතට රැගෙන ගිය අතර ඔහු පොලිස් බාරයට පමුණවන ලදැයි පසුව අනාවරණය විය. තම නිලධාරින් දෙසට හැරුණු මානවඩුගේ ජනරාල් සරත් ෆොන්සේකා ඇදගෙන යන ලෙසට නිලධාරින්හට අණ කළේය. ජනරාල්වරායගේ දෑත් හා දෙපයින් අල්ලාගත් සෙබළු ඔහු බලහත්කාරයෙන් ඇදගෙන යන්නට වූහ.


හිටපු හමුදාපතිවරයාට හමුදා නිලධාරින් පිරිසක් විසින් සිදු කෙරුණු අවමානය දේශපාලනඥයන් කණ්ඩායම සියැසින් දුටහ. ඔවුන් නොතැකූ මානවඩුගේ, තමා ඉහළින් ලද අණ ක්‍රියාත්මක කරන බැව් පැවසීය. රවුෆ් හකීම් ඔහු හා වාද කිරීමට උත්සහ කළ අවස්ථාවේ සෙබළුන් පිරිසක් ඔහු ඉදිරියට පැමිණි අතර ‘තමාගේ ඇඟට අත නොතබන ලෙසටත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවටත් ඔවුනට පවසන්නැ’යි හකීම් මානවඩුගේට පැවසීය. දෙශපාලනඥයන්ගෙන් ඈත් වී සිටින ලෙසට මානවඩුගේ තම සෙබළුන්ට අණ කළේය.


ජනරාල්වරයාගේ දෑතින් හා දෙපයින් අල්ලාගත් සෙබළු ඔහු පඩිපෙළ මතින් පහත මාලයට බිම දිගේ ඇදගෙන ආහ. ජනරාල්වරයා කෑගසමින් දඟලමින් ඇදගෙන යෑමට විරෝධය පෑ විට ඔහු පාලනය කර ගැනීම සඳහා සෙබළු ඔහුට පහර දුන්හ. එක් සෙබළකු ජනරාල්වරයාගේ හිසට තදින් පහරක් එල්ල කළේය. ජනරාල්වරයා ඔවුනට ඉංග්‍රීසියේ සහ සිංහලයේ ඇති නරකම වදන්වලින් බැණ වැදුණේය. 59 හැවිරිදි ජනරාල්වරයා 2006 අප්‍රේල් මාසයේ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට මුහුණ දී තිබිණි. සොල්දාදුවෝ රළු ආකාරයට බිම දිගේ ඇදගෙන යනු ලැබුවේ රට වෙනුවෙන් කැපකිරීම් කළ එවැනි පුද්ගලයෙකි. පහත මාලයට ඔහු රැගෙන ආ සෙබළු ජනරාල්වරයාගේ දෑතට විලංගු දමා ඔවුන් පැමිණි වාහනයක් වෙත රැගෙන ගියහ. තමාට ඇවිද යා හැකි බවත් එහෙයින් බිම තබන ලෙසත් ජනරාල්වරයා සෙබළුන්ට පැවසීය.  ඔහු කෙටි දුරක් ඇවිද ගිය අතර වෙඩි නොවදින ලෑන්ඞ් රෝවර් ජීප් රථයකට නංවනු ලැබූ අතර නාවික හමුදා මූලස්ථානය වෙත රැගෙන ගොස් එහි කුටියක රඳවා තැබිණි.


ෆොන්සේකා සමඟ සාකච්ඡාවට සහභාගීවීමට පැමිණ සිටි දේශපාලනඥයනට විනාඩි 45ක් පමණ ගතවන තෙක් ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට හමුදාව අවසර දුන්නේ නැත. දේශපාලනඥයෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජංගම දුරකථන මගින් අනෙකුත් දේශපාලන පක්ෂ සහ මාධ්‍ය දැනුම්වත් කිරීමට පියවර ගත්හ. හමුදාව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඡායාරූපගත කිරීමට මාධ්‍යයට අවසර නොදුන් අතර ඇතැම් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරාවල වූ ‘චිපයන්’ තම භාරයට ගත් බැව් වාර්තා විය.


දේශපාලනඥයෝ එදින සිදුවීම පිළිබඳව ඇසින් දුටු දේ මාධ්‍යට ප්‍රකාශ කළහ. මෙම නාටකයේ දිගුවක් ලෙසින් පොලිස් විමර්ශන කණ්ඩායමක් රැජන පාරේ වූ ජනරාල්වරයාගේ පෞද්ගලික නිවෙසට ගොස් එය පරීක්ෂාවට ලක් කළ අතර, ඔහුගේ පෞද්ගලික ගිනි අවිය තම භාරයට ගත්හ. මෙය සිදුවූයේ ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් සුළු මොහොතකට පසුය. ජනරාල්වරයා අත්අඩංගුවට ගත් බව හෝ ඔහු කොතැනක රඳවා තබා සිටීද හෝ යන්න හමුදාව අනෝමා ෆොන්සේකා මහත්මියට දැනුම් දී තිබුණේ නැත.


තම සැමියා අත්අඩංගුවට පත්ව ඇති බැව් දැනගත් විට අනෝමා ෆොන්සේකා මහත්මිය දැඩි කනස්සල්ලට පත් වූවාය. ඇය වඩාත්ම බිය වූයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙනි. එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජනරාල්වරයාගේ සිරුර අභ්‍යන්තරයේ ඇතිවූ තුවාල සුවවීම සඳහා සෑම පැය හයකට වරක් එක්තරා ඖෂධයක් ලබා ගත යුතු විය. ඇය බිය වූයේ නියමිත වේලාවට ඔහුට එම ඖෂධ ලබාගත නොහැකි වීම සම්බන්ධයෙනි.  


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනුණේ පෙබරවාරි 8 වැනිදා වුවද ඔහුට සහ ඔහුගේ සහායකයන්ට එරෙහි මෙහෙයුම ආරම්භ වූයේ ජනාධිපතිවරණය පැවැති ජනවාරි 26 වැනි දින රාත්‍රියේ සිටය. එදින රාත්‍රියේ ජනරාල්වරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද ආරක්ෂකයන් හා විපක්ෂයේ ප්‍රධාන භූමිකා ද, කාර්යාල සාමාජිකයෝ ද කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ කාමර 70ක් වෙන්කරගෙන එහි පදිංචියට ගියේ ආරක්ෂාව පිණිසය. එහි පදිංචියට යෑම පිළිබඳ දැඩි සතුටින් පසු වූ ෆොන්සේකා “මෙතැන මගේ මූලස්ථානය වේවි” යනුවෙන් පැවසීය.


ජනරාල් ෆොන්සේකා සහ හමුදාවෙන් පලා ගිය අවිගත් සෙබළුන් 400 දෙනකු කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇති බවත්, ඔවුන්ගේ අරමුණ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම බවත් රජයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණේ මේ අතරය. ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වූහ. හිමිදිරි පාන්දර මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ ගේ නායකත්වයෙන් යුතු හමුදා නිලධාරීන් හා කොමන්ඩෝ භට කණ්ඩායමක් විසින් සිනමන් ලේක්සයිඞ් හෝටලය වටලනු ලැබීය. හෝටලයේ සිටි පිරිසට ඉවත්වීමට අවසර ලැබුණු අතර ඇතැමෙක් පරීක්ෂාවට ලක් කෙරිණි. හමුදා විනය උල්ලංඝනය කොට ෆොන්සේකා සමඟ සම්බන්ධ වූවා යැයි චෝදනා ලත් නිලධාරින්ට යටත් වන ලෙසට ඔවුහු පැවසූහ. එසේ යටත් වූ පිරිස මහමග දණගස්වා අපහාස කළහ. ෆොන්සේකාගේ ඇතැම් සහයකයෝ එම ස්ථානය මගහැර යාමට සමත් වූහ. ජනරාල්වරයාට රැජන මාවතේ පිහිටි නිවෙසට යාමට අවසර ලැබිණි. රාජකීය මාවතේ පවත්වාගෙන ගිය ඔහුගේ මැතිවරණ කාර්යාලය වැටලූ පිරිස එහි සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් සය දෙනකු සහ සෙබළු නව දෙනකු අත්අඩංගුවට ගෙන එහි තිබූ පරිගණක තම භාරයට ගත්හ. 


හමුදාව “පිරිසුදු කිරීමේ” දඩයම ආරම්භ කෙරිණි. 1992 ස්ථාපිත හමුදා රෙගුලාසි පනතේ 39 වැනි වගන්තිය යටතේ එවක සිටි හමුදාපතිවරයා විසින් මේජර් ජනරාල්වරු 5 දෙනෙක්, බි්‍රගේඩියර්වරු 5 දෙනෙක්, කර්නල්වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක් සහ කපිතාන්වරු දෙදෙනෙක් 2010 පෙබරවාරි 1වැනි දින සිට බලපවත්වන පරිදි අනිවාර්ය විශ්‍රාම ගන්වනු ලැබූහ. මෙතරම් විශාල නිලධාරින් පිරිසක් මේ අයුරින් විශ්‍රාම ගැන්වූ ප්‍රථම අවස්ථාව මෙය විය. මේ සියලු දෙනා ජනරාල් සරත් ෆොන්සේකාට පක්ෂපාතිත්වය පළ කළ අය වූහ.


ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණු නායක හා විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ඉන්දියාවේය. නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා දුරකථන ඇමතුමක් මගින් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත ඔහුට දැනුම් දුන්නේය. තම සංචාරය කෙටි කොට කඩිනමින් යළි පැමිණෙන බැව් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාට පැවසීය. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් වූ කරු ජයසූරිය (එජාප) සෝමවංශ අමරසිංහ (ජවිපෙ), රවුෆ් හකීම් (ශ්‍රීලමුකො) මනෝ ගනේෂන් (ප්‍රජාපෙ) සහ මංගල සමරවීර (ශ්‍රිලනිප මහජන පාර්ශ්වය) පෙරවාරි 9 වැනි දින සමුහ නිවේදනයක් නිකුත් කළහ.


ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්ව, රඳවා තබා, විමර්ශන පවත්වා, අභිචෝදනා ගොනු කොට, වරදකරු කොට, සිරගතකොට, නිදහස්ව, උදුරාගත් කීර්තිය යළි ලබා දී ෆීල්ඞ් මාෂල් ධුරයට උසස්කොට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් පත් කිරීම දක්වා අතර කාලය වසර ගණනක් ගෙවී ගොසිනි. නොබෝ දිනකින් ඔහු අමාත්‍යවරකු වශයෙන් පත් කෙරෙනු ඇත. ගෙවුණු අඳුරු යුගයේ මතක සෙවණැලි ක්‍රමයෙන් ඔහුගේ මනසින් බැහැර වී යනු ඇත.

m



අදහස් (0)

‘ඔපරේෂන් ෆොනී’ සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් සැටි

සමන් ඉතාලිය Wednesday, 24 February 2016 12:32 AM

මෝඩ විදිහට බලන්න එපා. අද වෙන දේවල් බලනකොට මිනිස්සු මැරිලා ඉපදිලා වගේ. හමුදාවේ සිට දේශපාලනය කිරීම වැරදියි. පාට කණ්ණාඩි වලින් බලන එක දැන්වත් නවත්තන්න (නි)

:       1       0

ඇලෙක්සැන්ඩර් Wednesday, 24 February 2016 01:05 AM

පළිගන්නවා කියන්නේ මෙන්න මේවාටයි! (නි)

:       0       0

තුෂාර Tuesday, 01 March 2016 10:02 AM

මම මේ කොමෙන්ට් ඔක්කොම බැලුවා සමහර ඒවට දුක හිතෙනවා. නමුත් දේශපාලන කෝණයකින් නැතුව රටට ආදරය කරන මිනිස්සු විදිහට මේ ප්‍රස්නේ දිහා බුද්දීමත්ව බලපු අයත් ඉන්නවා දේශපාලුවන්ට කඩේ යන අය අදත් ඉන්නවා එදත් හිටියා. (ර)

:       0       0

ජගත් Wednesday, 24 February 2016 12:16 PM

බන්දුල පෙරේරා, නිකම් බයිලා ගහන්න එපා. කතාවක් ගොතලා තමයි වැඩේ කළේ. (නි)

:       0       0

සරත් මිලානෝ Wednesday, 24 February 2016 12:35 PM

මිලන්ත නමින් ඉහත ලියා ඇත්තේ පිටිගල මිලානෝ නේද? ඔබේ භාෂාව අපි දන්නවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 February 2016 01:22 PM

විරුද්ධතා දක්වනවා නම් දෝලාවෙන් වඩම්මවන්න බැහැ. අනුන්ගේ මන්ත්‍රීකම් වලට පස්ස දොරෙන් හොරෙන් රිංගන්න තරම් මිනිසුන්ගෙන් ප්‍රතික්ෂේප වුණ චරිත වලට මේ හදිස්සියේ සුදු හුණු ගාලා පාට කරලා ගන්න හදන්නේ මොකටද කියලා රටේ මිනිස්සු දන්නවා. (නි)

:       1       0

කුෂාන් Saturday, 27 February 2016 01:03 AM

හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)

:       0       0

දොඹගොඩ Saturday, 27 February 2016 01:22 AM

බන්දුල පෙරේරා, ඔය නිකන් පණ්ඩිතයා වෙන්න හදන්න එපා. සරත් ෆොන්සේකා මහත්තයා තමන්ට ඉහළින් යන අයව කැපුවා කියන්න, මොකටද එයාට ඉහළින් යන්නේ? අනිවාර්යෙන්ම මොන නායකයත් කරන්නේ ඕක තමයි. ෆොන්සේකා එහෙම කළේ අපේ රට කොටියාගෙන් බේරාගන්න මිසක් රටේ ජනාධිපති වෙන්න නෙමෙයි (නි)

:       0       0

රුවන් Wednesday, 24 February 2016 09:13 AM

සමහර අයට කියන්න වචන නැහැ මට (නි)

:       0       0

තිලංග Wednesday, 24 February 2016 09:27 AM

මේවා කියවනකොට පුදුම දුකක් දැනෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 February 2016 09:28 AM

"ගෙවුණු අඳුරු යුගයේ මතක සෙවණැලි ක්‍රමයෙන් ඔහුගේ මනසින් බැහැර වී යනු ඇත". අපේ මනසින් නම් කිසිම ලෙසකින් බැහැර වෙන්නේ නැහැ. බැහැර කරන්නෙත් නැහැ. දැන්වත් දැඩි දඬුවම් දෙන්න. (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 27 February 2016 01:59 AM

දොඹගොඩ මහත්තයෝ, එහෙනම් එතුමා ජනාධිපතිවරණයට ඉල්ලුවේ පළාත් සභාවට යන්න හිතාගෙන වෙන්න ඇති නේද? (නි)

:       1       0

මිලන්ත Tuesday, 23 February 2016 01:12 PM

මට ලිවීමට වචන නැත. යුක්තිය නීතිය රජයන දැන්වත් පරීක්ෂණයක් කර සියලුම වරදකරුවන්ට දඬුවම් පමුණුවන්න. පාඨකයිනි මේ ලිපිය හැකි හැමදෙනාටම කියවන්න ඔවුන් දැනුවත් කරන්න. මෙවැනි පාලනයන් ගැන මම අසා ඇත්තේ සමහර අප්‍රිකානු රටවල පමණි. නැවතත් මෙවන් ම්ලේච සිද්ධියක් තවත් අප රට තුල සිදු විය යුතු නැත.(හේ)

:       0       0

අනුර Monday, 07 March 2016 10:01 PM

වහාම වැරදිකරුවන් හට නීතියෙන් දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

ආනන්ද ආර් Saturday, 27 February 2016 05:03 PM

හමුදා නීතිය සහ සිවිල් නීතිය දෙකම බලපාන්නේ හමුදාවේ ඉන්න අයටයි. හිටපු අයට නොවෙයි. ඇතැමෙක් වැරදි දේවල් කියන්නේ නොදන්නාකමටද? කුහකකමටද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 February 2016 03:33 AM

මිලන්ත මහත්තයෝ..යුද්ධයට අපහාස කළ කකුලෙන් ඇද්ද ප්‍රභාකරන්ගේ දිවි රැකදෙන්න දන්නා හැම දහම් ගැටයක්ම ගහපු එන් ජි ඕ, යු අැන් පි නඩත් එක්ක හිට ගත්ත දවසේ ඉදන් සුදු රෙදි කතාවෙන් රටත් හමුදාවත් අමු අමුවේ පාවල දුන් දවසේ ඉදන් අපිටනම් ෆොන්සේකා මහත්තය වඩම්මාගෙන ගියාද කුදලාගෙන ගියාද කියන එක වලංගු කාරණයක් නෙමෙයි..එතන ක්‍රියාත්මක උනේ හමුදා නිතිය. (බ)

:       2       0

ජනක Thursday, 25 February 2016 06:25 AM

සතුටුයි බන්දුල ඇරෙන්න කොමෙන්ට් දාල තියන අනිත් අයට මොලේ තියනවා. නුවනක්කාරයෝ 100 කට ඒ වගේ අය එක් කෙනෙක් වත් ඉන්න එපාය. නැත්නම් වැඩක් නෑ නේ. (ර)

:       0       0

මිසාබ් Thursday, 25 February 2016 06:04 PM

බන්දුල වගේ මේතරම් උතුම් හමුදා නිලධාරියෙක් ගැනවත් දන්නේ නැති මෝඩයෙක් එක්ක කතාකරලා වැඩක් නැහැ. ඔයවගේ අය තමයි හැමදාම මහින්ද සරණං ගච්ඡාමි කියන්නේ (නි)

:       0       0

පරාක්‍රම Thursday, 25 February 2016 06:58 PM

බන්දුල පෙරේරා, ඔබ තාමත් මහින්දට කඩේ යන්නේ කකුල් දෙකෙන්ද? අහවලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔබට ලොකු දුකක් දැනෙනවා ඇති නේද? යමක් හරිහැටි තෝරා බේරා ගන්න බැරි අයට ඔහොම වෙනවා. (නි)

:       0       0

අසංක Friday, 26 February 2016 08:44 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

වින්සන්ට් Thursday, 25 February 2016 07:31 PM

මෑත ඉතිහාසයේ සිදුවුණ නින්දිතම දේශපාලන පළිගැනීම මෙය වන්නේය. අද දේශපාලන පළිගැනීම් ගැන සහ රණවිරුවන් ගැන කතාකරන අය තමන් ගැන ලැජ්ජා වියයුතුය. මල්වට්ටි අරගෙන වටවන්දනාවේ ගියත්, රණවිරුවන් වෙනුවෙන් කඳුළු සැලුවත් හොඳ මනසකින් ජීවත්වෙන ජනතාවගේ හදවත් තුළ පවතින මේ වේදනාව කිසිවකුට ඉවත් කළ නොහැකිය. (නි)

:       0       0

නන්දන Wednesday, 24 February 2016 07:37 PM

මේ කළ පවු පටිසන් දෙත්වා! (නි)

:       0       0

අසිත් Wednesday, 24 February 2016 07:51 PM

බන්දුල, මමත් හමුදාවේ 30 වසරක් යුද්ධ කළ කෙනෙක්. දන්නා දෙයක් කියන්න නිකම් පව් පුරවන්නේ නැතුව. (නි)

:       0       0

ජෝශප්්‍ Thursday, 25 February 2016 08:33 PM

පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ. පොලිසියටවත් බැහැ උසාවි ‍නියෝගයක් නැතුව කෙනෙක් අත්අඩංගුවට ගන්න. (නි)

:       0       0

ජෝශප් Thursday, 25 February 2016 08:27 PM

හමුදාවේ ඉහළ නිලධාරීන් ගැන පරීක්ෂණ කළයුතුයි (නි)

:       0       0

ප්‍රියානි Thursday, 25 February 2016 08:30 PM

ඉතා හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

චතුර පෙරේරා Wednesday, 24 February 2016 05:09 AM

නිදහස වෙනුවෙන් කැපවන මෙවන් පුද්ගලයන්ට රජය විසින් ලබාදියයුතු ඉහලම තනතුරු තානාන්තර ලබාදියුතුය. ජය.! (ර)

:       0       0

ස්ටෙන්ලි ජයකොඩි Tuesday, 23 February 2016 03:33 PM

කියවා ඔබේ මතක තබා ගන්න. අමතක කරන්න එපා (හේ)

:       0       0

පුස්වැල්ල Saturday, 27 February 2016 03:45 AM

ආර් වික්‍රම ඇයි ෆොන්සේකා මහත්තයට දේශපාලනය තහනම්ද? ඔච්චරම කුහක වෙන්න එපා , එතුමා මුළු රටක් වෙනුවෙන් එදා ජීවිතය පරදුවට තිබ්බ සිංහලයෙක් හැටියට ආඩම්බර වෙන්න එතුමා ඒ කළ කැපවීම, අපි ඔහුටත් දෙස්පාලනය කරන්න දීල බලමු, (බ)

:       0       0

කැතී Saturday, 27 February 2016 03:48 AM

වික්‍රම මෝඩයෙක් වගේ කතා කරනන් එපා,යුද්දේ අවසන් වුනාට පස්සේ නේ සරත් දේශපාලනයට අවේ,, ඊට කලින් , කවුරුත් නෙමේ මහින්දම තමයි මෙයාව දේශපාලනට ගෙනාවේ? (බ)

:       0       0

ඩී.උපුල් Thursday, 25 February 2016 01:12 PM

හමුදා සේවයේ සිටියදී ව්‍යාපාර කරන්න බැරි නීතිය යෝෂිතට බලපානවා. (නි)

:       0       0

චතුරි ඇමරිකා Tuesday, 23 February 2016 04:36 PM

මහින්ද හිතුවේ නැහැ එයාටත් කඩේ යන්න වේවි කියලා. එයා හිතුවේ හැමදාම රජවෙලා ඉන්න. ලෝකයේ වෙන විසක් නැහැ මිනිස් විස වාගේ (නි)

:       0       0

සෙනරත් Sunday, 28 February 2016 04:12 AM

සුදු කොඩි කතාවෙන් මේ රටේ හමුදාවට සිදුවුණේ විශාල හානියක්. (නි)

:       1       0

චින්තක Tuesday, 23 February 2016 04:47 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 February 2016 02:04 AM

අසිත් මහත්තයා විතරක් නෙමෙයි, අපිත් හමුදාවේ හිටියා. හමුදා නීතිය ගැන විනය ගැන අපිත් දැනුවත්. ෆොන්සේකා මහත්තයා හමුදාව තුළ තම බලය තිබියදී තමන්ට ඉහළින් යයි කියලා හිතපු අයගෙන් පළිගත් ආකාරය ගැනත් අපි හොඳට දැනුවත්. (නි)

:       2       4

සෑම් Sunday, 28 February 2016 05:41 AM

එස්.එෆ්. කියන්නේ තමන්ට ඔය තැනට එන්න මඟපෑදුවේ කවුද කියන එක අමතක කළ මිනිහෙක් (නි)

:       0       1

ජීවන් ප්‍රසාද් Sunday, 28 February 2016 06:10 AM

හමුදාව කියන්නේ හිතා මතා වැඩ කිරිමට නොහැකි නිලධාරීන්....මේ අත්අඩංගුවට ගැනීමේ සාධාරන.....නෑ (භ)

:       0       0

ජීවන් ප්‍රසාද් Sunday, 28 February 2016 06:23 AM

කරුණලාට ඇමතිකම් දීපු ණය ගෙවන්න වෙනවා ෆොන්සේකා නොදන්න තව දෙයක් ෆොන්සේකාගේ කිලිනොච්චි මුලතිව් ස්මාරක ඉතා අමානුෂික විදියට බෝඩ් ගලවා අයින් කළා. (බ)

:       0       0

රවී Thursday, 25 February 2016 01:35 AM

ෆොන්සේකා හොඳ හමුදා නිලධාරියෙක් (නි)

:       0       0

කබ්රාල් Saturday, 27 February 2016 04:45 AM

ෆොන්සේකා මහතා නෙනි, ඔබතුම දේශපාලනය නමැති අශුචි ගොඩට නොවැටුනා නම් අදටත් අපි ඔබේ දෙපා නමදිමු (බ)

:       0       1

මාලක Thursday, 25 February 2016 07:54 AM

දැන්වත් මේ ගැන පරීක්ෂණ පවත්වා, ඉහල සිට පහලටම තනතුරු නොසලකා දැඩි දඬුවම් දිය යුතුමයි. නොඑසේනම් අනාගතයේත් මෙවැනි දේ මෙරට ඇතිවිය හැකියි. තවද, හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනය / ව්‍යාපාර වලට හවුල් වූ අයට මෙයාකාරයෙන්ම දැඩි දඬුවම් පමුණු වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (ර)

:       0       0

සහන් Thursday, 25 February 2016 02:24 AM

බන්දුල හමුදා නීතිය තියා බාලදක්ෂ නීතියවත් දන්නා එකෙක් නෙමෙයි. කුහකකම නම් පෙන්නලා තියෙන්නේ නියමෙට. (නි)

:       0       0

ස්ටැන්ලි ජයකොඩි Friday, 11 March 2016 01:06 PM

මේ තිත්ත ඇත්ත කියවමු බලන්න. (ර)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 23 February 2016 09:33 PM

මේ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන්න (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 23 February 2016 09:49 PM

එල්ටිටිය ඉන්දියාවේ රජීව් ගාන්ධි, ලංකාවේ කදිරගාමර් මරා දැමීමෙන් කරගත්තා වූ ඵෙතිහාසික වැරැද්ද, ෆොන්සේකා හිරේ දැමීමෙන් මහින්ද පාලනය විසින්ද කළ අතර ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදුවිය. (නි)

:       0       0

ප්‍රේමසිරි සිරිවර්ධන Friday, 26 February 2016 08:25 PM

රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කිරිම මෙහිදි දකින සිදුවිමයි. මෙහි වගකීම දේශපාලකයින් ලෙස පත්කරන ජනතාවද හොඳට සිතට ගතයුතු කාරණයකි. (නි)

:       0       0

නාමල් Wednesday, 24 February 2016 11:25 AM

කියන්න වචන නැහැ. මොන හමුදා නීතියෙන් හරි සිවිල් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න නීතියක් ලංකාවේ නැහැ. පොලිසියට පමනයි අත්අඩංගුවට ගත හැක්කේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 01 March 2016 09:34 AM

යුද හමුදා ඉතිහාස පොතේ රන් අකුරින් සටහන් කලයුතු කතාවක් . මෙම ලිපිය මතු පරපුරටත් දැක ගන්න සැලැස්වීම වඩාත් සුදුසුයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 320 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 946 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1430 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 224 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site