IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඔය කියන තරම් භාෂා පරිහානියක් අපේ රටේ නෑ

සමාජ වාග් විද්‍යා ලේඛන, භාෂාව හා සමාජය, සිංහල දේව පුරාණය, මනමේ අටුවාව, ඇතුළු භාෂාව, සාහිත්‍ය, විචාරය සම්බන්ධ ශාස්ත්‍රීය පර් යේෂණ කෘති රැසක් ඉංග්‍රීසි-සිංහල දෙබසින්ම ලියා පළ කළ කේ.එන්.ඕ. ධර්මදාස මහතා දිගු කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ විද්වතෙකි.

මහාචාර්යවරයා සමඟ මෙවර වීමංසා සංවාදය පැවැත්වෙන්නේ වාග් විද්‍යාව, භාෂාව එහි වර්තමාන තත්ත්වය ආදී කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමිනි. 

• ජාතික අනන්‍යතාව තීරණය වීමේදී ‘මවු භාෂාව’ වැදගත් සාධකයක් ලෙස සැලකෙනවා. ‘මවු භාෂාවක්’ මූලිකව හඳුනා ගන්නේ කොහොමද?

කිසියම් පුද්ගලයෙක් මුලින්ම ඉගෙන ගන්නා භාෂාව හැටියට මවු භාෂාව සලකන්න පුළුවන්. වාග් විද්‍යාඥයන් පෙන්වා දෙන විද්‍යාත්මක සත්‍යයක් නම් පුද්ගලයකු උපදින විටම යම් භාෂාවක් හඳුනා ගන්නට ඔහුගේ මනස සූදානම්ව තිබෙන බවයි. ඒ ශක්තිය අනුව තමන් අවට භාවිත වන භාෂාව ඉගෙන ගන්නවා. ඒ ශබ්ද හඳුනා ගැනීම තමන් විසින්ම සිදුකරනු ලබනවා.

ඒක මොන භාෂාවක් සම්බන්ධයෙන් වුණත් වෙන්න පුළුවන්. සිංහල දෙමවුපියන්ගෙ දරුවෙක් කුඩාම කාලයේ පටන් චීනයේ හැදී වැඩුණා යැයි සිතමු. ඔහු චීනයේ බස කතා කරන්නට හුරුවෙනවා. ඉංග්‍රීසිය වුණත් එහෙමයි. මවු භාෂාවකට පදනම හැදෙන්නෙ ඒ විදිහටයි. එහෙම නැතුව මේක ලේ උරුමයෙන් ලැබෙන දෙයක් නොවෙයි. උරුමය ලැබෙන්නෙ තමන් අවට සමාජයේ ව්‍යවහාර වන භාෂාව අනුවයි. 

• මවු භාෂාව යනු මවගෙන් ලැබෙන භාෂාව ලෙස ඇතැම් අය සලකනවා. ඔබ කියන්නේ මවු භාෂාව තීරණය වීමට ජානමය සම්බන්ධයක් නොමැති බවද?

නෑ. මවු භාෂාව තීරණය වීමට ලේ උරුමයක් හෝ ජානමය සම්බන්ධයක් නැහැ. මවගෙන් එන භාෂාව කියන එකේ තේරුම තමයි දරුවකු කුඩාම කාලෙ වැඩිපුරම ආශ්‍රය තියෙන්නෙ මවත් එක්ක. එහෙම නැතිව මවගෙ කුසින් උපන්න නිසා මවු භාෂාවක් තීරණය වෙන්නෙ නෑ.

• 1972 දී ඔබ විසින් ලියන ලද ‘‘භාෂාව හා සමාජය’’ සමාජ වාග් විද්‍යාව සම්බන්ධයෙන් ලියැවුණු මුල්ම කෘතිය ලෙසයි සැලකෙන්නේ. දැන් එය පළවී පනස් වසරක් ගතවෙලා. එහෙත් එය තවම විශ්වවිද්‍යාලවල භාවිත වෙනවා නේද?

මෙම පොත 1972 වසරේ පළ වනවිට ලංකාවේ විශ්වවිද්‍යාලවල නූතන වාග් විද්‍යාව ගැන තිබුණේ ඉතා අල්ප දැනුමක්. එහෙත් දැන් එම විෂයය පිළිබඳ අධ්‍යයනාංශයක් කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඊට අමතරව සිංහල අධ්‍යයනාංශවල දැන් පවතින ‘‘පාඨමාලා ඒකක’’ ක්‍රමය යටතේ වාග් විද්‍යා ක්ෂේත්‍රයට අයත් පාඨමාලා තිබෙනවා. විශේෂයෙන් කිවහොත් ‘‘භාෂාව හා සමාජය’’ යන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ තිබෙනවා. ඒ නිසා මෙම පොත පාඨ ග්‍රන්ථයක් හැටියට භාවිත වෙනවා. එපමණක් නොවෙයි වාග් විද්‍යාව ගැන සාමාන්‍ය දැනුමක් සිංහල විෂයය උගන්වන සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍ය ප්‍රජාවට ලැබෙනවා.

• ඔබ කිව්වා මෙම පොත ලියන කාලයේ අපේ විශ්වවිද්‍යාලවල නූතන වාග් විද්‍යාව ගැන තිබුණේ අල්ප දැනුමක් කියා. එසේ නම් මේ පොතෙන් එකල ඔබ අපේක්ෂා කළේ කවුරුන් දැනුවත් කිරීමටද?

1972 අවදියේ ලංකාවේ තිබුණේ විශ්වවිද්‍යාල හතරයි. එනම් පේරාදෙණිය, විද්‍යෝදය, විද්‍යාලංකාර සහ කොළඹ. 
මම මේ කියන්නේ 1972 ජනාවරි මාසයේ මේ පොත නිකුත් වන විට තිබුණු තත්ත්වය. පස්සේ ‘‘විශ්වවිද්‍යෘල ප්‍රතිසංවිධානය’’ සිදුවුණු පසුව මොරටුවත් මීට ඇතුළත් වුණා. අනෙක් කාරණය යාපනයේත් විශ්වවිද්‍යාලයක් (1974න් පසු) තිබුණු නමුත් සිංහලෙන් ලියූ මේ පොත සඳහා ඉල්ලුමක් එතැනින් ලැබුණා යයි කීම අපහසුයි. ඉතින් ‘‘භාෂාව හා සමාජය’’ එවකට අප විශ්වවිද්‍යාලවල සිංහල විෂයය සඳහා භාවිත වන්නට කරුණු යෙදී තිබුණා. 

• මේ සඳහා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සහාය ලැබුණ බවයි අපි අසා තිබෙන්නේ?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු සිංහල මහාචාර්යවරයා වූ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි 1968දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපතිව නික්ම යාමෙන් පසුව සිංහල අධ්‍යයනාංශයේ ප්‍රධානියා ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පත්වුණා. එතුමාට අවශ්‍ය වුණු කරුණක් නම් පාඨමාලාවල නව යුගයට ගැළපෙන වෙනස්කම් කිරීමයි. විශේෂයෙන් පළමු වසරේ ‘‘ශාස්ත්‍රවේදී සාමාන්‍ය යෝග්‍යතා පරීක්ෂණය’’ යන පාඨමාලාව තුළ වෙනස් විය යුතු තැනක් ඇතැයි එතුමා විශ්වාස කළා.

එතුමාට වුවමනා වුණේ එම පාඨමාලාව කොටස් දෙකකට බෙදා ‘‘භාෂා ප්‍රවේශය’’ සහ ‘‘සාහිත්‍ය ප්‍රවේශය’’ යනුවෙන් සකස් කිරීමටයි. මේ සිද්ධිය වුණේ 1909 මුල් හරියේදී. මේ වනවිට යෝර්ක් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන නිම කොට පැමිණ සිටි මට එතුමා කතා කරලා කිව්වා මේ ප්‍රථම වර්ෂ පාඨමාලාව කොටස් දෙකකින් ඉදිරිපත් කරන්නට ඕනෑ. මම ‘‘සාහිත්‍ය ප්‍රවේශය’’ කොටස කරන්නම්. ධර්මදාසට දැන් භාෂා අධ්‍යයන ගැන නව දැනුමක් ඇතිනේ, ඒ නිසා ‘‘භාෂා ප්‍රවේශය කොටස සැලසුම් කරන්න කියා.

• එකල භාෂාව සම්බන්ධ. විවිධ පර් යේෂණ ආදිය සිදු කෙරුණත් සිංහල භාෂා භාවිතයේ පරිහානියක් ගැන වර්තමානයේ වැඩිපුර සාකච්ඡා වෙනවා. මේ කෙරෙහි ඔබේ අවධානය කෙබඳුද?

මෑත ඉතිහාසය ගත්තොත් සිංහල භාෂා පරිහානිය ගැන19 වැනි සියවසේ පටන් විවිධ අවස්ථාවල සාකච්ඡා වුණා. බ්‍රිතාන්‍ය යටත් විජිත කාලෙදී බලධාරීන්ගේ අදහස වුණේ හැකි තරම් ඉංග්‍රීසි භාෂාව මේ රටේ ව්‍යාප්ත කිරීමයි. සිංහල දෙමළ කියන ස්වභාෂාවන් දෙකම මේ යටතේ නොසලකා හරින තත්ත්වයක් තිබුණා. අධ්‍යාපනය සැකසුණෙත් එහෙමයි. සමාජ ඇගැයුම්වලදී ඉහළ තැන ගත්තෙ ඉංග්‍රීසිය.

හෙළ හවුල වැනි භාෂානුරාගී ජාත්‍යානුරාගී ව්‍යාපාර ගොඩනැගුණේ මේවාට පිළිතුරු වශයෙන්. පිරිවෙන් ආශ්‍රිත පඬිවරුත් ස්වභාෂාවන් ගැන උනන්දු වුණා.

වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ බොහෝ දෙනා චෝදනා කරන්නේ ව්‍යාකරණානුකූලව නොලියන බව සහ කතා කිරීමේදී සිංහල–ඉංග්‍රීසි මිශ්‍ර බසක් භාවිත කරනවා වගේ කාරණා. ඒත් මම නම් හිතන්නෙ අපේ භාෂාව ලේසියෙන් මිය යන්නෙ නෑ. සිංහලෙන් ලියන හොඳ උගතුන් සහ සිංහල භාෂාව අගය කරන බොහෝ පිරිසක් අදටත් සිටිනවා.

ඒත් රැකියා ඉලක්ක කොට ගැනීම සහ විශ්ව දැනුම සොයායාම නිසාදෝ සිංහල බසට නැති උනන්දුවක් අද ඉංග්‍රීසිය වෙනුවෙන් තිබෙන බව පෙනෙනවා. එහෙම වුණත් ඔය කියන තරම් සිංහල බස බරපතළ තර්ජනයක හෝ පරිහානියක ඇතැයි මා නම් සිතන්නේ නෑ.


• ඔබ එහෙම කිව්වත් විශ්වවිද්‍යාලවල සහ පාසල් දරුවන් අතර පෙරමෙන් සිංහල භාෂාව– සාහිත්‍යය කෙරෙහි උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මේ තත්ත්වය තුළ භාෂා - සාහිත්‍යය කෙරෙහි බරපතළ තර්ජනයක් නැතැයි කියන්නේ කොහොමද?

මේ උනන්දුව බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අපට බල කරන්න බෑ කාටවත් තමන් අධ්‍යයනයට තෝරාගන්න විෂයයන් සම්බන්ධයෙන්. ඔබ කියන කතාවේ ඇත්තක් තියනවා. විශ්වවිද්‍යාලවලත් උසස් පෙළත් සිංහල තෝරාගන්න පිරිස් අඩුවීමක් තියෙනවා.

මම හිතන්නේ විෂය පිළිබඳ අධ්‍යයනය මේ විදිහට අඩු වුණත් සිංහල භාෂාව – සාහිත්‍යය පිළිබඳ මේ සමාජයේ ඇති ආදරය, ඇල්ම අඩු වී ඇතැයි මා සිතන්නේ නෑ. අදටත් නවකතා, කෙටිකතා, කවි ලියන, රසවිඳින, විචාරය කරන පිරිසක් අපේ සමාජයේ අලුතින් බිහිවී සිටිනවා. පරිවර්තනය කරන අය ඉන්නවා. භාෂාව ජීවමානව පවතින බවට ඒක හොඳ සාධකයක්.


කේ.එන්.ඕ.ධර්මදාස

සංවාද සටහන ගාමිණි කන්දෙපොල



අදහස් (1)

ඔය කියන තරම් භාෂා පරිහානියක් අපේ රටේ නෑ

Senaka Saturday, 17 December 2022 04:55 AM

ලංකාවේ සිංහලයෝ සිංහලේ අතහැරලා. සිංහලෙන් උගන්නන ඉස්කෝලෙකට ළමයා දාගන්න මොනතරම් දුකක් විඳින්න ඕනෑද? ඒ හැම පාසලකමත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නන පන්තියකට ළමයා දා ගන්න තමයි දෙමාපියන් වලි කන්නේ. සිංහලෙන් ඉගෙන ගත්තොත් ජොබ් නෑ ලු. කැම්පස් එකේ ඉංග්‍රීසියෙන් විතරයි උගන්නන්නේ. සිංහලෙන් ලියවිච්චි තාක්ෂණික විෂයයන් ගැන ලියවුණු පොත්, පර්යේෂණ නිබන්ධන ඇත්තේම නැති තරම්... ඔබතුමා ඔය කියන කතාව හරියට අර පහුගිය තෙල් පෝලිම්, ගෑස් පෝලිම් කාලේ සමහරු කිව්වේ තෙල් තියෙනවා, ගෑස් තියෙනවා කියලා, අන්න ඒ වගේමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1370 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 8106 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 465 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 854 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 877 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site