දැනටත් මැණික්, දේශීය ඖෂධ, පොල් කටු හා කඩදාසි නිෂ්පාදන අපනයනයෙහි නියුතු අවුරා ලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ චන්දික විරන්ජිත් තාඹුගල මහතා ලංකා පොළොවේ ඉබාගාතේ වැවෙන කෝමාරිකාවලින් කරන ඖෂධීය නිෂ්පාදන පහක් ඇමෙරිකාවට හා යුරෝපයට අපනයනය කිරීමේ මහා මෙහෙයුමකට අත ගසා සිටියි. රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතු අනුමැති නිසි ලෙස හා නිසි කල නොලැබී තිබෙද්දී පරිසර සහ රාජ්‍ය නොවන සංවිධානවලින් එල්ල වන විරෝධතාවලට මුහුණ දෙමින් 2017 දී ආරම්භ කළ තම මෙහෙයුම ආරම්භක මට්ටමේම පවතින බව කියන තාඹුගල මහතා රටේ ආර්ථික සංවර්ධනය සහ ඊට තිබෙන බාධක පිළිබඳව මෙසේ කරුණු දක්වයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව දැනට ලංකාවේ අවුරුද්දක ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 21කි. එහෙත් අවුරුද්දක අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 10කි. ඒ අනුව ආදායමට වඩා වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන දහයකින් වැඩිය.
විදෙස් රටවල් හා සංවිධානවලින් ඩොලර්වලින් ණය ගැනීමට සිදුවී තිබෙන්නේ ආදායම හා වියදම අතර පවතින මේ මහා පරතරය නිසාය. ඒ ණය ගැනීම් නිසා රටක් හැටියට අද අපේ රට ණය උගුලක සිරවී සිටියි. තාවකාලික විසඳුමක් ලෙස රජය අත්‍යවශ්‍ය නොවන දේවල් ආනයනය කිරීම තහනම් කර තිබෙන අතර අත්‍යවශ්‍ය හා අවශ්‍ය ඇතැම් දේවල් යම් යම් කොන්දේසි මත ආනයනය කිරීමට ද ඉඩ දී තිබේ. මේ ආනයන තහනම දිගු කල් පවත්වාගෙන යා නොහැකිය. එය එසේ වන්නේ විවිධ රටවල් හා ලෝක වෙළෙඳ සංවිධානය සමග තිබෙන ජාත්‍යන්තර ගිවිසුම් හේතුවෙනි.
ඒ නිසා වැඩි කල් නොගොස් මේ ආනයන තහනම් ඉවත් කිරීමට හෝ තවත් ලිහිල් කිරීමට හෝ රජයට සිදු වෙයි. එසේ නොකළොත් රජයටත් රටටත් ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න මතු වෙයි. එසේ නම් කළ යුත්තේ ආනයන තහනම් ඉවත් කර අපනයන ඉහළ නැංවීමය.
දැනට අපේ රටේ ප්‍රමුඛ අපනයන භාණ්ඩ වන්නේ ඇඟලුම්ය. එහෙත් ලෝකය පුරා පවතින කොරෝනා වසංගතය නිසා ඇඟලුම් අපනයන ද සියයට 70කින් පමණ අඩු වී තිබෙන බව ඇඟලුම් අපනයනකරුවෝ පවසති. ඒ ලොව පුරා මිනිසුන් ගෙවල්වලට කොටු වී සිටින නිසාය. ගෙවල්වල සිටින මිනිසුන්ට රෙදි පිළිවල අවශ්‍යතාව අවම වීම හේතුවෙනි.
ලොව පුරා පවතින තත්ත්වය එය නම් ඇඟලුම් අපනයනයෙන් අපේ රටට ලැබුණු ආදායම ද මහා පරිමාණයෙන් අඩු වී තිබෙනු නිසැකය. අපට විදේශ විනිමය ලැබුණු තවත් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. පාස්කු බෝම්බ ප්‍රහාර හා කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය ද කඩා වැටී ගෙවී තිබෙන කාලය අවුරුදු දෙකකට ආසන්නය.
අපට විදේශ විනිමය ලැබුණු ප්‍රමුඛම මාර්ගය විදෙස් රටවල රැකියා කළ ලාංකිකයෝය. කොරෝනා නිසා ඉන් වැඩි පිරිසක් යළි ලංකාවට පැමිණ සිටින අතර තවත් පිරිසක් ලංකාවට පැමිණීමට නොහැකිව රැකියාව ද නොමැතිව ඒ රටවල සිරවී සිටිති. විදේශ රැකියා කළ අයට අත්වූ ඒ ඉරණම නිසා ලංකාවට විදෙස් විනිමය ලැබුණු ප්‍රමුඛතම මාර්ගය ද දැන් ඇහිරී තිබේ.
එසේ නම් දැන් අප එළැඹ සිටින්නේ විකල්ප මාර්ගවලට යොමු විය යුතු යුගයකට නොවේ ද?
එහිදී මා දකින හොඳම විකල්පය ඇමෙරිකාව හා යුරෝපය ප්‍රමුඛ බටහිර රටවලට අත්‍යවශ්‍ය අපේ ඖෂධ නිෂ්පාදනය කිරීමයි. දේශීය වෙදකෙම් හාස්කම් හා දේශීය ඖෂධවල ගුණය පිළිබඳව පළමු කොරෝනා රැල්ලේදී අපේ රටේ සිරවී සිටි ඇමෙරිකානුවන් හා යුරෝපීයයන් ඒ ඒ රටවල කර තිබෙන ප්‍රචාර නිසා අපේ දේශීය වෙදකමට හා දේශීය ඖෂධවලට ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි. මට ඒ අවබෝධය ලැබුණේ කොරෝනා වසංගතය ලොව වෙළාගත් පසු නොව ඊට බොහෝ කාලයකට පෙරය.
ඒ නිසා මම අැමෙරිකන් විද්‍යාඥයන් පිරිසක් සමග එක්ව අපේ මහ පොළොවේ පැළවන කෝමාරිකා පිළිබඳව ජපානයේ තෝකියෝ විශ්වවිද්‍යාලයෙහි පර් යේෂණ කළෙමි. ඒ පර් යේෂණවලින් විද්‍යාඥයන් අනාවරණය කරගත්තේ වියපත් වූ විට මොළයේ ස්නායු සෛල ක්‍රමයෙන් දුර්වල වීම නිසා වර්ධනය වන මානසික පිරිහීම හෙවත් ඇල්සයිමර් රෝගය (Alzheimer's Disease) මර්දනය කිරීමේ මහ පුදුම ශක්තියක් කෝමාරිකාවල තිබෙන බවය.
අනතුරුව ඇමෙරිකාවේ වෛද්‍යවරුන් 40ක් සමග එකතු වී අැමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වැලි නමැති නගරයෙහි අපි කර්මාන්තශාලාවක් ආරම්භ කළෙමු.
ඒ සඳහා අවශ්‍ය කෝමාරිකා මිලදී ගත්තේ දකුණු අප්‍රිකාවෙන් හා තමිල්නාඩුවෙනි. අප්‍රිකාවේ හැදෙන කෝමාරිකාවල ඖෂධීය ගුණය අඩු නිසා දැන් ඒ කම්හලට අවශ්‍ය කෝමාරිකා මිලදී ගන්නේ තමිල්නාඩුවෙනි.
කෝමාරිකා ශාකය එහෙම පිටින්ම ඇමෙරිකාවට රැගෙන යා නොහැකිය. ඒ නිසා මුල්, ජෙලි ලෙස ශාක කොටස් ගෙනියන්නේ වෙන වෙනමය. එහෙත් එසේ රැගෙන යද්දී ඒවායේ නැවුම් ගතිය අඩු වෙයි. ලංකාව දෙසට හැරුණේ ඒ නිසාය. අනෙක ඉන්දියානු ගොවීන් පොහොසත් කරනවාට වඩා අපේ රටේ ගොවීන් පොහොසත් කළ යුතු නිසාය. අපේ රටේත් උතුරු මැද පළාත තෝරා ගත්තේ මා ද රාජාංගණය යාය 18 ගමේ උපන් අයකු නිසාය.
මා අදහන දහමට අනුව දියුණු කළ යුත්තේ නගරය නොව ගමය. දුප්පත්කම හා සමාජ ප්‍රශ්න වැඩි වැඩියෙන් තිබෙන්නේ ගම්වලය. ඒ නිසා ගැමියන් සමාජාර්ථික වශයෙන් පෝෂණය කළ යුතුය. ලංකාවේ ග්‍රාමීය සමාජය ඉතා නොදියුණුය. සිංගප්පූරුවේ ගැමියෝ ඇත්තේම නැත. එහි සිටින්නෝ සියයට සියයක් නාගරිකයෝය. මා මේ කියන්නේ ලෝක බැංකුවේ සංඛ්‍යා ලේඛනය.
ඇමෙරිකාවේ ද ගැමියෝ සිටිති. එරට ජනගහනයෙන් නාගරිකයන් වන්නේ සියයට 82.46කි. චීනයේ ගැමි ජනගහනය සියයට 39.69කි. තායිලන්තයේ ගැමි ජනගහනය සියයට 49.3කි. මැලේසියාවේ එය සියයට 23.39කි. පාකිස්තානයේ එය සියයට 63.09කි. ඉන්දියාවේ ගැමි ජනගහනය සියයට 65.53කි. එහෙත් ලංකාවේ ගැමි ජනගහනය සියයට 81.42කි.
මා ඒ කිව්වේ ලෝක බැංකුවේ සංඛ්‍යා ලේඛනය. අප දියුණු කළ යුත්තේ හා ශක්තිමත් කළ යුත්තේ මේ ගැමියන්ය. ගංවතුර හා නියඟ වැනි ස්වභාවික මෙන්ම වන සත්ව විපත්වලින් වැඩියෙන්ම හානි වන්නේ ගැමි ආර්ථිකයටයි.
ගැමියන්ගේ නිෂ්පාදනවලින් සියයට 41කට වන සතුන්ගෙන් හානි වන බව කියන්නේ අප නොව අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි.
එසේ නම් ආර්ථික සංවර්ධනයේදී වැඩි බරක් දැමිය යුත්තේ ගමට මිස නගරයට නොවේ. ඒ මගේ විශ්වාසයයි. මගේ ඇදහීමයි.
ලංකාවේ භූමියෙන් විශාලම පළාත උතුරු මැදයි. උතුරු මැදින් ප්‍රධානම හා ලොකුම දිස්ත්‍රික්කය අනුරාධපුරයයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාව දෙලක්ෂ තිස්එක්දහස් තුන්සිය පනස්හයකි (2,31,356). සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යාව 58,301කි. ඒ කියන්නේ ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් අන්ත දුප්පත් බවය. මා ඒ සඳහන් කළේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඉලක්කම්ය. ලංකාවේ ගමෙහි හා ගැමි ආර්ථිකයේ ස්වභාවය ඒ ඉලක්කම්වලින් කිරා මැනගත හැකිය. මොනරාගල, බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල තත්ත්වය අනුරාධපුරයට වඩා භයානක විය හැකි බව මගේ උපකල්පනයයි. එහෙයින් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මුල් තැන දිය යුත්තේ ගමට මිස නගරයට නොවේ.
ව්‍යවසායකයන් ලෙස අප රජයට බණ කියන්නේ නම් ඒ බව ආදර්ශයෙන් පෙන්නුම් කළ යුතුය. අපේ කෝමාරිකා ව්‍යාපෘතිය අප උතුරු මැද පළාතට ගෙනාවේ එහෙයිනි. එය අැමෙරිකන් ඩොලර් මිලියන 783ක් වැය කරන ව්‍යාපෘතියකි. සරලව කිවහොත් ඇමෙරිකන් ඩොලර් මිලියන 783 ක් උතුරු මැද පළාතෙහි වපුරන ව්‍යාපෘතියකි.
එහි ඒකායන අරමුණ අපනයනයයි. එමගින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් බිලියන 3.9ක් මෙරටට රැගෙන ඒමට අපේක්ෂිතය. එසේම මෙය 2,10,000කට පමණ ඍජු රැකියා ලැබෙන ව්‍යාපෘතියකි.
අපේ ව්‍යාපෘතිය යටතේ කෝමාරිකාවලින් කිරීමට අපේක්ෂිත නිෂ්පාදන ගණන පහකි. ඒ අතර ටැබ්ලට් වර්ග දෙකකි. ඉන් එකක් ඇල්සයිමර් රෝගයටය. අනෙක අක්මාව, ආමාසය හා වකුගඩු ආශ්‍රිත රෝග සඳහාය. තෙවැනි නිෂ්පාදනය වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන්ට දෙන අධිශක්ති පානයකි. සිව්වැනි නිෂ්පාදනය විෂබීජහරණ හා මුහුණේ කැඩුම් බිඳුම්වලට භාවිත කරන ෆේස් වොෂ් ජෙල් වර්ගයකි. පස්වැනි නිෂ්පාදනය කාබනික පොහොරය. ඒ නිෂ්‍පාදන කරන කර්මාන්තශාලාව පිහිටුවන්නේ රාජාංගණය යාය දහඅටේය.
ඒ කර්මාන්ත ශාලාවෙහි රැකියා ලැබෙන පිරිස 1,800කට අධිකය. ක්ෂේත්‍රයෙහි ලැබෙන රැකියා සංඛ්‍යාව 2,08,000කට ආසන්නය. ඒ සඳහා රජයෙන් අපට අවශ්‍ය වන්නේ ඉඩම්ය.
එහෙත් ඒ ඉඩම්වල අයිතිය අපට අවශ්‍ය නොවේ. ලංකාවට එන බොහෝ ව්‍යාපෘතිවලට ඉඩම්වල අයිතිය දිය යුතුය. බඩඉරිඟු හා උක් වගා ව්‍යාපෘති උදාහරණය. එහෙත් අපේ ව්‍යාපෘතිය සඳහා ඉඩම්වල අයිතිය අපට අවශ්‍ය නැත. ඒ අයිතිය ගොවියාටම තිබිය යුතුය. අප ගොවියා සමග ගිවිසුමකට එළැඹී ඔහුගේ ඉඩම වගාවට සුදුසු ලෙස සකසා දී වගාවට අවශ්‍ය වෙනත් පහසුකම් සියල්ල හා කෝමාරිකා පැළ ද ලබාදෙන්නෙමු. අස්වැන්න මිලදී ගන්නේ ද අපමය. ඒ කොන්දේසි සියල්ල ගිවිසුමේ ඇතුළත්ය. වගාවට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අක්කර 1,02,000කි. පැළ තවානට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අක්කර 2,000කි. වගාව සියයට සියයක් කාබනිකය.
සුවිශේෂී අනෙක් කාරණය අපට අවශ්‍ය වන්නේ ගොවීන් දැනට වගා කරන ඉඩම් නොව මුඩු ඉඩම්ය. ගොවීන් දැනට වගා කරන ඉඩම් රසායනික තෙල් හා පොහොර නිසා දූෂණය වී හමාරය. ඒ ඉඩම් අපේ වගාවට නුසුදුසුය. එහෙයින් අපේ කෝමාරිකා වගාවට අවශ්‍ය වන්නේ දැනට වගා නොකරන මුඩු ඉඩම්ය.
උතුරු මැද පළාතේ විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් එබඳු මුඩු ඉඩම්ය. අපේ ව්‍යාපෘතිය නිසා ඒ මුඩු ඉඩම් සංවර්ධනය වෙයි. ගම්වල යටිතල පහසුකම් දියුණු වෙයි.
අවසානයේදී ගැමි ආර්ථිකයේ පෙරැළියක් ඇති වෙයි. දැනට ගැමි ගොවියකුගේ මාසික ආදායම රුපියල් 15,000කි. අවුරුද්දකට රුපියල් 1,80,000කි.
අපේ ව්‍යාපෘතියට සම්බන්ධ වන ගොවියකුගේ මාසික ආදායම රුපියල් 3,60,000කි. වාර්ෂික ආදායම රුපියල් හතළිස් තුන්ලක්ෂ විසිදහසකි (43,20,000කි). අවුරුද්දක ආදායම ලක්ෂ 20ට වැඩි සියල්ලන්ම රජයට බදු ගෙවිය යුතු බව රටේ නීතියයි. ඒ අනුව අපේ අරමුණ වන්නේ දැනට දුප්පත්කමේ පතුලේ සිටින ගොවීන් රජයට බදු ගෙවන මිනිසුන් බවට පත් කිරීමය. අපේ ව්‍යාපෘතිය ගැන මා ඉහත විස්තර කළේ මේ අවසානයට එන්නටය.
අප මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2017 දීය. 2020 දී නිෂ්පාදන අපනයනය කිරීමට අපේක්ෂා කළෙමු. එහෙත් පැළ තවානට හා වගාවට අවශ්‍ය මුඩු ඉඩම් නිදහස් කරගැනීමට ගොවිජන සේවා, කෘෂිකර්ම, වාරිමාර්ග, වනජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලින් හා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලැබිය යුතු අනුමැති හා අවසර ලබාදීම් තවමත් නිසි ලෙස සිදුවී නැත. ඒ සියල්ල කළ යුත්තේ රජයේ නිලධාරීන් විසිනි. එහෙත් ඔවුනගේ රාජකාරි තවමත් නිසි ලෙස නිසි කල ඉටුවී නැත. රජයේ සියලු නිලධාරීන්ගෙන් සහාය නොලැබෙන බවක් මම නොකියමි. ජනතා බදු මුදල්වලින් වැටුප්, යාන වාහන, නිල නිවාස, විශ්‍රාම වැටුප් යනාදී ආටෝරාශියක් වරප්‍රසාද ලබන රාජ්‍ය නිලධාරීන් දුප්පත් ගැමි ගොවීන්ගේ ආර්ථිකයෙහි විප්ලවයක් සිදුවන මේ ව්‍යාපෘතියට කඩිනම් සහාය නොදැක්වීම පිළිබඳව අප අතර තිබෙන්නේ කලකිරීමකි.
අප රජයෙන් අපේක්ෂා කරන්නේ අනුමැතිය හා අවසරය පමණකි. අපට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය නැත. බදු සහන අවශ්‍ය නැත. අකුල් හෙළන්නේ එවැනි ව්‍යාපෘතියකටය. අවශ්‍ය අනුමැති සියල්ල ලැබුණොත් තවත් අවුරුදු දෙකකින් අපට අපනයන ආරම්භ කළ හැකිය. එහෙත් ඉදිරියටත් කටයුතු සිදුවන්නේ මේ අයුරින් නම් වසර 2050 දීවත් අපට නිෂ්පාදන ආරම්භ කළ නොහැකිය. තවදුරටත් මෙලෙසින්ම කටයුතු සිදු වුවහොත් අපට මේ ව්‍යාපෘතිය වෙනත් රටකට රැගෙන යාමට සිදුවනු නිසැකය.
මා අපේ ව්‍යාපෘතිය ගැන මේ විස්තර සඳහන් කළේ ලංකාවට එන ආයෝජකයන්ට රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලැබෙන සැලකිලි ගැන කීමට මිස අපේ පම්පෝරියක් ඇද බෑමට නොවේ. ආයෝජනවලට ගැළැපෙන පරිසරයක් ලංකාවේ නැති බව කියන්නටය. ඒ කතාව මා පමණක් කියන්නක් නොවේ. 2021 අප්‍රේල් 22 වැනිදා ඒ කතාව ශ්‍රේෂ්‍ඨාධිකරණය හමුවේ කිව්වේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ෆර්ෂානා ජමීල් මහත්මියයි. ඒ වරාය නගර කොමිසමට එරෙහි පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටි ජමීල් මහත්මිය කියා සිටියේ දැනට රටේ පවතින නීති රීති යටතේ ආර්ථිකමය වශයෙන් පෙළහර පාන්නට බැරි නිසා වරාය නගර පරිපාලනයට රටේ නීතියට යටත් ස්වාධීන කොමිසමක් පිහිටුවන බවය. නීතිපති නියෝජනය කරන්නේ රජයයි. එදා ජමීල් මහත්මිය උසාවියේදී පෙනී සිටියේ රජය වෙනුවෙනි.
එසේ නම් ඇය එදා උසාවියේදී කිව්වේ රජයේ මතයයි. රජයේ මතයත් එය නම් ආයෝජනවලට හිරිහැර කරන නීති රීති වෙනස් නොකරන්නේ ඇයි. ආයෝජනවලට වළ කපන නිලධාරි සංස්කෘතිය වෙනස් නොකරන්නේ ඇයි. දිගටම පවතින්නේ මේ ක්‍රමය නම් ජනපතිතුමන් අපේක්ෂා කරන සෞභාග්‍යයේ දැක්මට යා නොහැකි බව අපේ තක්සේරුවයි. එහෙයින් මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආයාචනය කරමු.
සාකච්ඡා සටහන
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඕනද එපාද හිතන්න යෝජනාවක්
මෙත්තසිරි Friday, 14 May 2021 03:57 AM
// අපේ ව්‍යාපෘතියට සම්බන්ධ වන ගොවියකුගේ මාසික ආදායම රුපියල් 3,60,000කි. // ගල් පැලෙන බොරු
isuru Sunday, 16 May 2021 04:55 AM
එවැනි පුද්ගලයින්ට සහයෝගය දක්වන්නේ නම් එය රජයට සහ ජනතාවට සහනයක් වනු ඇත.