IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කුණු කඳු වලට යටවෙන ජාතික ප්‍රශ්නය

(සටහන - බිඟුන් මේනක ගමගේ )

මීතොටමුල්ල කුණු කන්ද දැන් රටේ මහා ජාතික ප‍්‍රශ්නය වී තිබේ. මීට මාස හත අටකට පෙර මේ ලෙසින්ම ගං වතුර ගැලූවිට ද නාය ගිය විට ද ආයුධ ගබඩාවක් පුපුරා ගියවිට ද ක‍්‍රියා කළේ මේ ආකාරයටමය. එතැනින් තවත් ටිකක් ඔබ්බට ගියොත් සිවිල් යුද්ධයේදී ද එසේමය. මීට වගකිවයුත්තේ කවුදැයි සොයමින් කොමිෂන් සභා පත්කිරීම බොහෝ අවස්ථාවල දැකිය හැකි පියවරක් විය.

 

මට සිතෙන හැටියට නම් මේ වැඩපිළිවෙළ සමාන වන්නේ හොරි ඇති මිනිසාගේ කැසිල්ල විවිධ වේලාවලදී වැඩිවීමටය. කසන විට සැනසිල්ලය. ටික වේලාවකට සනීපය. එහෙත් ටික වේලාවකින් කැසිල්ල වැඩිවේ. අවසානයක් ද නැත. මා දකින හැටියට නම් දැන් දශක තුන හතරක් තිස්සේ ලංකාවේ තිබෙන්නේ හොරි කැසීම හා ගිනි පිඹීමය. කොළඹ ඇති කුණු කන්දක් කඩාවැටීම ගැන විවිධ පර්යේෂණ කරමින් සිටිති

එහෙත් තව සති කීපයකින් සිදුවන්නේ කුමක්ද? අලූත් තේමාවක් පැමිණ කුණු කන්ද ද ඊට යටවීමය. එය ද ටික කාලයකටය. එහෙත් මේ වනවිට අප අවතීර්ණ වී සිටින්නේ සමස්තයක් ලෙස ගත්විට ශ‍්‍රී ලංකාව සමඟ වැඩුණ බොහෝ ක‍්‍රියාවලි ගැඹුරින් සොයාබැලිය යුතු කාලයකටය. නොඑසේව සිදුවන්නේ ජනමාධ්‍ය ආකර්ෂණීය තේමා ලෙසින් එක ප‍්‍රශ්නයක් යට කරගෙන තව ප‍්‍රශ්නයක් මතුවීම මිස කිසිදු ප‍්‍රශ්නයකට විසඳුම් නොලැබීමය. ඊට හොඳම උදාහරණය නම් මීට කලින් රටේ පැවැති දැවෙන කැවෙන ප‍්‍රශ්නය සයිටම් වීම මෙන්ය. දැන් බොහෝ දෙනාට සයිටම් එක මතක නැත. එනිසා දැන්වත් ජනප‍්‍රිය තේමා එකක් පසුපස එකක් ලෙස උමතුවෙන් මෙන් දිවීම වෙනුවට රටේ සැබෑ ප‍්‍රශ්නවලට රාජ්‍ය ප‍්‍රතිපත්තිමය ස්ථිරසාර විසඳුම් සොයන වැඩපිළිවෙලකට අවතීර්ණ වීම අතවශ්‍යයය.

සැබැවින්ම මේ වනවිට කොයි වෙලාවේ නාය යා දැයි කිව නොහැකි ආකාරයේ ජාතික ප‍්‍රශ්න රැසකින් අප රටත් ජනතාවත් පෙළෙමින් සිටී. ඉන් ප‍්‍රධාන ගැටලූවක් නම් ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් අප මුහුණ දී සිටින අතිදැවැන්ත අර්බුදයයි. කලෙකට පෙර අප ලංකාව හැඳින්වූයේ සහලින් ස්වයංපෝෂිත දේශයක් හැටියටය. එහෙත් අද වනවිට අපට සහල් ටික ද පිට රටකින් ගෙන්වාගැනීමට සිදුව තිබේ. විවිධ හේතුකාරණා නිසා වී නිෂ්පාදනය අඩු වී තිබේ. ඉදිරියේදී මේ තත්ත්වය විශාල ප‍්‍රශ්නයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.

 

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය
(සෙනෙවි එපිටවත්ත)

ජනතා සෞඛ්‍ය සම්බන්ධයෙන් ද විශාල ගැටලූ ගණනාවක් පවතී. විශේෂයෙන්ම අද වනවිට දෛනිකව මනුෂ්‍ය ජීවිතයක් දෙකක් උදුරා ගන්නා තැනට ඩෙංගු රෝගය රට පුරාම ව්‍යාප්ත වී අවසන්ය. හොඳින් සොයා බැලූවොත් එය මහා විශාල වසංගතයකි. එහෙත් කවුරුවත් ඒ ගැන කතාකරන්නේ නැත. කුණු කන්දට යටව මිය ගිය මිනිසුන් මෙන්ම මෙසේ දෛනිකව මිය යන සංඛ්‍යාව හා ඩෙංගු වැළැඳී ඇති මිනිසුන් සංඛ්‍යාව ද සැසඳුවොත් ඔබට ප‍්‍රශ්නයේ දිග පළල වැටහෙනු ඇත.

තවද ජීවත්වීම සඳහා ජීවන මාර්ගයක් නොමැතිකමේ ගැටලූවෙන් බැට කන පිරිස ද සුළු නොවේ. රැකියා විරහිතභාවය සම්බන්ධයෙන් තිබෙන්නේ අතිදැවැන්ත ප‍්‍රශ්නයකි. එය ප‍්‍රතික්ෂේප කරන්නට කවර පාර්ශ්වයක් යත්න දැරුව ද ලක්ෂ ගණනක් තරුණයන් ත‍්‍රීරෝද රථ ධාවනය ජීවන මාර්ගය කරගන්නා තැනට රට ඇදවැටී තිබේ. ජාති, කුල, ගොත් අතර මමායන සංස්කෘතියක් වර්ධනය වීම ද එවැනිම ප‍්‍රශ්නයකි. එය හුදු අනන්‍යතාව පිළිබඳ ප‍්‍රශ්නයක් නොව විනාශකාරී භාවිතා පෙන්වන්නකි.

මේ අතරේ ජාත්‍යන්තර සම්බන්ධතා හා තදාසන්න රාජ්‍ය අතර ගනුදෙනු කිරීමේ පිළිවෙත්වලට අදාළව ද ගැටලූවකට අපි මුහුණපාමින් සිටිමු. චීනයට දෙන ආර්ථික පංගුව, ඉන්දීය ධීවරයන් උතුරු මුහුද ආක‍්‍රමණය කිරීම, විදේශ වෙළෙඳපොළ අපේ වෙළෙඳපොළ ආක‍්‍රමණය, අපේ ශ‍්‍රමය විදෙස්ගත කිරීම ආදී පැතිකඩ ගණනාවකින් මේ ප‍්‍රශ්නය දිවේ. පරිසර ප‍්‍රශ්න ද මේ අතරේ වර්ධනය වනවිට රට හොඳට හෙම්බත්ය. මේ වනවිට අපේ ජල පෝෂක ප‍්‍රදේශවලින් සැලකිය යුතු කොටසක් විනාශ වී හමාරය. දැන් තිබෙන්නේ භූගත ජල සම්පත අපට අහිමි වීගෙන යන තත්ත්වයකි. නාය යෑම්, පාංශූ ඛාදන ප‍්‍රශ්නයක් අවුරුද්දකට තුන් හතර වතාවක්වත් වාර්තා වේ. එහි ඊළඟ ප‍්‍රතිඵලය වන්නේ ගොවිතැන් කිරීමට නුසුදුසු තත්ත්වයකට භූමිය පත්වීම හෙවත් කාන්තාරකරණයයි. මේ අතරේ දරාගන්නට බැරි නාගරීකරණයකට හා නාගරික සංස්කෘතියකට රට නතුවෙමින් තිබේ. සුපිරි වෙළෙඳසල් තුළ සිර වූ හදිසි ගමන් බිමින් ඇති අනෙකා සමඟ කිසි කතාබහක් නැති මිනිසුන් කොට්ඨාශයක් බවට අපි පත්වෙමින් සිටිමු. පානීය ජලය හිඟවීම හා කැලි කසළ ඉවත්කිරීම යන ප‍්‍රශ්න දෙක මතුවන්නේ මෙවැනි අතෝරයක් ප‍්‍රශ්න අතරේය.

පානීය ජලය හා කැළි කසළ ප‍්‍රශ්නය ද කොළඹට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් නොවේ. ගාල්ල, මාතර, නුවර, කෑගල්ල, මාවනැල්ල, යාපනය, අනුරාධපුර, මඩකළපුව ආදී සෑම නාගරික ප‍්‍රදේශයකම මේ ප‍්‍රශ්නය වර්ධනය වී තිබේ. මේ තත්ත්වය තුළ ඉදිරියේදී රටේ බොහෝ ප‍්‍රදේශවල තවත් නාය යෑම් වාර්තා වී මිනිසුන් සිය දහස් ගණනින් වුවද මියයන්නට ඉඩ නැතිවා නොවේ.

ශ‍්‍රී ලංකාව රටක් හැටියට පවතින්නේ මෙවැනි අර්බුදකාරී තැනක නම් ඊළඟට අප කල්පනා කළයුත්තේ අර්බුදයෙන් ගොඩ එන මඟකි. අර්බුදයකට විසඳුම් සෙවීමේදී අනෙක් සෑම තැනකදී මෙන්ම මෙහිදී ද ඊට අදාළ ප‍්‍රධාන පාර්ශ්ව හඳුනාගත යුතුවේ. අපේ රට අද මුහුණ දී තිබෙන තත්ත්වයට විසඳුම් දීමේදී අපට මගහැර යා නොහැකි ප‍්‍රධාන පාර්ශ්ව හතරක් මම දකිමි. ඉන් පළමු වැනි පාර්ශ්වය වන්නේ දේශපාලකයාය. සාමාන්‍යයෙන් අපේ පැරැණි සම්ප‍්‍රදායට අනුව නම් දේශපාලකයෝ වනාහි අත්දැකීමෙන් ද උගත්කමින් ද බහුල ජනතා සේවයට නිස්සරණාධ්‍යාශයෙන් කැප වූ චරිතය. එහෙත් අද වනවිට ලංකාවේ දේශපාලකයන්ට උගත්කම සම්බන්ධයෙන් ඇත්තේ විශාල ප‍්‍රශ්නයකි. නූතන ලාංකික දේශපාලකයා වනාහි සමාජ සේවය වෙනුවට තමන්ට වැඩ කරගැනීම මූලික කාරිය කරගත් මමායනය උතුරා යන ඇත්ත වෙනුවට බොරුවම වහරන චරිතයකි. 

දෙවැනි පාර්ශ්වය වන්නේ රාජ්‍ය නිලධාරියාය. රාජ්‍ය නිලධාරිහු යනු දුර ඈත දකින නුවණක් ඇති විද්‍යාත්මක පදනමකින් වැඩ කරන හසළ අත්දැකීම් මගින් ආයතන මෙහෙයවන පිරිසකි. ප‍්‍රශ්න විසඳීමේදී රාජ්‍ය නිලධාරින් හා දේශපාලකයන් ඒකාබද්ධ වීම අත්‍යවශ්‍යයය. තෙවැනි පාර්ශ්වය වන්නේ උගත්තුය. සාමාන්‍යයෙන් රටක එම කාරිය සිදුවන්නේ විශ්වවිද්‍යාලවලිනි. ලෝක ඉතිහාසය විමසද්දී එම කාරියේ අතීතය 16 වැනි සියවස දක්වා ඈතට දිවයයි. අප ඉහත කී කුණු කන්දේ සිට සියලූ ප‍්‍රශ්න ගෙන විමැසුව ද ඒවායේ සමාජ විද්‍යාත්මක, භූගෝල විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක, ආර්ථික විද්‍යාත්මක ආදී පැතිකඩ ගණනාවක් ඇත.

ප‍්‍රශ්නවල ඇති මේ නා නා විධ පැතිකඩ අනාවරණය වන්නේ විශ්ව විද්‍යාලවල බුද්ධිමතුන් විසින් කරනු ලබන පර්යේෂණවලිනි. සිය පර්යේෂණවල ප‍්‍රතිඵල මගින් ප‍්‍රශ්නවල යථා ස්වරූපය ගැන නිලධාරින් මෙන්ම දේශපාලකයන් ද දැනුම්වත් කිරීම ඔවුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. ලංකාවේදී මේ කාරිය සිදුවන්නේද යන්න අපට ප‍්‍රශ්නයකි. මා දන්නා හැටියට ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල දාහතක් පමණ තිබුණ ද ඒවායේ ඇත්තේ යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි වටපිටාවකි. ඔවුන් උගෙනගන්නා දේවල්වලවත් කරන වැඩවලවත් මෙවැනි විසඳුම් සෙවීමකට කිසිදු ආධාරයක් සම්බන්ධයක් නැත.

කුණු කන්ද නාය යෑම ගෙන බැලූව ද ඒ ගැන කී දෙනෙකු නම් පර්යේෂණ කළාද? නිලධාරින් හා දේශපාලකයන් දැනුම්වත් කළා ද? ප‍්‍රදේශය ගැන කැක්කුමක් ඇති දේශපාලකයන් නීතිවේදීන් කෑ ගැසුව ද මෙහි නියත ඉරණම ගැන කල්තියා කී පර්යේෂකයා කවුද? දැනට වුවද ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේදී විශ්ව විද්‍යාලවලින් ලැබෙන දායකත්වයක් මට නම් පෙනෙන්නට නැත.

සිව්වැනි පාර්ශ්වය වන්නේ සාමාන්‍ය මහජනතාවය. මහජනතාව යනු ප‍්‍රශ්න විසඳීමේදී සිටින ප‍්‍රධාන බලවේග හතරෙන් වැදගත්ම පාර්ශ්වයකි. සාමාන්‍ය ජනතාව රටේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතුවේ. එහෙත් එවන් සමාජ සුපරීක්ෂණයකින් යුත් මහජනතාවක් ද දැන් අපට දැකීම දුලබය. ඊට හේතුව වී තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ද දැන් දශක ගණනක් තිස්සේ අතිදැවැන්ත නායයාමකට ගොදුරුව තිබීමය. වත්මනෙහි ලංකාවේ සිටින්නේ නාය ගිය අධ්‍යාපනයකින් නිර්මාණය වූ ජනතාවකි. ඔවුහු බොහෝවිට සහතිකයකට හිමිකම් කීව ද හදවතකට මොළයකට හිම්කම් කියන්නේ නැත. එහෙත් රටක අධ්‍යාපනයෙන් සිදුවිය යුත්තේ සහතිකයක් සම`ග හොඳ හදවතක් හා මොළයක් ද ඇති මිනිසකු බිහිකිරීමය.

රටට පුරවැසියන් දායාදවන්නේ එවැනි ක‍්‍රමයකිනි. මේ අනුව දේශපාලකයා පිරිහීම, රාජ්‍ය නිලධාරි තන්ත‍්‍රය කඩාවැටීම, විශ්ව විද්‍යාලයන්ට තිබිය යුතු පර්යේෂණකාමිත්වය නැතිවීම හා සාමාන්‍ය ජනතාව නිකම්ම නිකන් පුබ්බඩයන් බවට පත්වීම යන තත්ත්වය මත රට මුහුණ දී සිටින අර්බුද ද සාමාන්‍ය දේ බවට පත්වනු විනා සුවිශේෂී ප‍්‍රශ්න ලෙස සැලකෙන්නේ නැත. කුණු කන්ද අරභයා දේශපාලකයන්ගේ කතා කීපයක් ගෙන විමසා බැලූව ද මේ බව හොඳින් විද්‍යමාන වේ. ඇතැම් දේශපාලකයෝ මේ කුණු කන්ද මාස හයෙන් අවසන් කරන බවට වහසි බස් දෙඩූහ.

දවසකට කුණු ලොරි විසි පහක් බැගින් දවස් තුන්සිය හැට පහක් ගෙනගිය ද කුණු කන්ද නිමා කළ නොහැකිය. එසේ බලද්දී දේශපාලකයන්ගේ ලස්සන පිළිතුරෙහි සැඟව ඇත්තේ වංචාවම මිස අනෙකක් නොවේ. හෙට අනිද්දා වනවිට මීට කුමක් හෝ පැලැස්තරයක් අලවනු ඇත. මේ ප‍්‍රශ්නය ද එතැනින් යට යනු ඇත. මීට හොඳම උදාහරණය නම් අරණායක නාය යෑමෙන් විපතට පත්වූවෝය. සාලාවේ බෝම්බ පිපිරීමෙන් විපතට පත්වූවන් අද සිටින්නේ කවර තත්ත්වයකද? කැලණි ගඟ මිටියාවතේ සිටින්නන්ගේ ජීවිත වෙනස් වී තිබේද? ස්වාභාවිකවම වින්දිතයන් කුමක් හෝ කරගත්තා විනා ප‍්‍රතිපත්තිමය මෙහෙයුමකින් ඔවුන්ගේ ජීවිත දිශානුගත කරන්නට හැකියාවක් තවමත් රාජ්‍යයට ලැබී නැත. රජරට වකුගඩු ප‍්‍රශ්නය මෙන්ම පොහොර ප‍්‍රශ්නය ද තිබෙන්නේ මීට සමාන තැනකය. මේ බොහෝ ප‍්‍රශ්න අදටත් ඇත්තේ හොරි කසන ගිනි පිඹින තැනක යැයි මා කීවේ ඒ නිසාය.

රාජ්‍ය නිලධාරින් මෙන්ම සරසවි ඇදුරෝ ද තමන්ට වැඩ කිරීමට අවස්ථාවෙක් නොදෙන්නේ යැයි දේශපාලකයන්ට බණිති. එහෙත් මේ බැණුම් බොහෝමයක පූර්ණ සත්‍යයක් නැත. උදාහරණයකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතැමෙකු කියන්නේ පර්යේෂණ සංස්කෘතිය බිඳවැටීමට මූලික හේතුව ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නැති බවය. මා නම් දන්නා හැටියට විශ්ව විද්‍යාලවලට පර්යේෂණ කිරීමට  ඕනෑ තරම් මුදල් ද මාර්ග ද ඇත. ඇත්ත කතාව වන්නේ ඔවුන්ගෙන් සියයට අනූ නවයක්ම පමණ පර්යේෂණ කරන්නට කැමැති නැත.

පර්යේෂණ නොව අඩුම තරමින් ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක් පමණ දේශන ශාලාවට ගොස් හරියට උගැන්වීමවත් නොකරති. සරසවිය අද පත්වඇත්තේ සුඛවිහරණය සඳහාම වූ රස්සාවක තත්ත්වයකටය. කුණු කන්දේ ප‍්‍රශ්නයම ගමු. අපේ විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යා හා භූගෝල විද්‍යා අධ්‍යයනාංශ වලින් කී දෙනෙක් මේ ගැන පර්යේෂණ කළෝ ද? පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වුවද ඇතැමුන් දැන් කියන කතන්දර මම නොපිළිගනිමි. නිලධාරින් වුවද තමන්ට හිමි බලය පාවිච්චි කරමින් කරුණු නිවැරැදි ලෙස ඒත්තු ගන්වන්නේ නම් කවර දේශපාලකයකුවත් ඒවා ප‍්‍රතික්ෂේප කරතැයි ද මම නොසිතමි. එය මා කියන්නේ අත්දැකීමෙනි.

මේ සා අතිවිශාල කුණු කන්දක් ශ‍්‍රී ලංකාවේ අගනුවර මැද තබාගෙන සිටියා නම් ඊට නාගරික සංවර්ධන අධිකාරිය වගකිව යුතු නොවේද? මේ සා අතිවිශාල කුණු කන්දක් ශ‍්‍රී ලංකාවේ අගනුවර මැද තබාගෙන සිටීම ගැන මධ්‍යම පරිසර අධිකාරිය වගකිව යුතු නොවේද? මේ සා අතිවිශාල කුණු කන්දක් ශ‍්‍රී ලංකාවේ අගනුවර මැද තබාගෙන සිටීම ගැන සැලසුම් සම්පාදන අමාත්‍යංශය වගකිව යුතු නොවේද? පසුගිය වසර විස්සක තිහක කාලයේදී පළාත් සභාවල පළාත් පාලන ආයතනවල නොයෙක් පිරිස් කුණු කළමනාකරණය ගැන ඉගෙනගැනීමට රට රාජ්‍යවල කරක් ගැසූ බව අපි හොඳින්ම දනිමු. ඔවුන් ආ ගිය වාර ගණන බලද්දී මට නම් සිතෙන්නේ ලොරි වෙනුවට මේ පිරිස් ලවා මේ කුණු කඳු ඇද්ද විය යුතු යැයි කියාය. ඔවුන් විදෙස්ගතව කළේ කුමක්ද? උපක‍්‍රම බලාගන්නට යැයි කියමින් පළාත් සභාවල ඇත්තන් විදෙස්ගත වූයේ විස්ස තිහ කණ්ඩායම් පිටිනි.

එහෙත් අද වනවිට කුණු කඳු ලංකාවේ හතර අතේම ඇත. අද වනවිට දරුණුවටම සිදුවන නාගරීකරණය හමුවේ කුණු ලෙස ඉවත්කරන ද්‍රව්‍යවලට සියයට පනහක් පමණම මුසුවන්නේ ප්ලාස්ටික් හා පොලිතින්ය. එයින් ගැලවෙන්නට නම් කැමැති වුවත් නැතත් පොලිතින් භාවිතය තහනම් කළ යුතුවේ. නෝනා මහත්වරුන් මෙන්ම මහත්වරුන් ද පරිසර හිතකාමී මලූවලට පුරුදු පුහුණු විය යුතුය. මහා විශාල ආර්ථික විද්‍යාත්මක මෙන්ම සංස්කෘතිකමය පරිවර්තනයකට අප  අනිවාර්යෙන්ම යා යුතුය. මේ ක‍්‍රමය අපේ රටට ඔරොත්තු දෙන්නේ නැත.

සුපිරි වෙළෙඳ සල්වලින් කවර ආහාරයක් මිලදී ගත්තත් එය ආවරණය කරඇත්තේ පොලිතින්වලිනි. එනිසා උදා වූ මේ තත්ත්වය අප සැලකිය යුත්තේ ඉදිරියේදී උදාවන භයානක තත්ත්වයෙහි පෙරවැකියක් ලෙසය. පළමු කී පරිද්දෙන්ම ජාතික මට්ටමේ ප‍්‍රශ්න රැසක්ම අප ඉදිරියේ දැන් තිබෙන්නේ නාය යන තත්ත්වයේය. එවැනි විටෙක දේශපාලකයන්ට පමණක් බැනීමෙන් පලක් නැත. රාජ්‍ය නිලධාරින් හා විශ්ව විද්‍යාල උගතුන් මේ කාර්යයේදී වහ වහා ප‍්‍රමුඛතාව ගත යුතුය. දේශපාලකයන් ද නම්‍යශීලී වී ඔවුන්ට සාවධාන විය යුතුය. මේ පාර්ශ්ව තුනම ප‍්‍රශ්න විසඳීමේ දිශාවට රැගෙන යාම සඳහා මහජනතාව ද නිරන්තර සුපරීක්ෂාවෙන් පසුවිය යුතුවේ. සංවාද සාකච්ඡා පැවැත්විය යුතුවේ. අද කාලයේ පන්සල්වල පල්ලිවල කතාකළ යුත්තේ මේ ජාතික ප‍්‍රශ්න ගැනය. අධ්‍යාත්මය මෙන්ම මේ ප‍්‍රශ්න ද ඒ තැන්වල ප‍්‍රධාන තේමා විය යුතුය.



අදහස් (3)

කුණු කඳු වලට යටවෙන ජාතික ප්‍රශ්නය

ratna p Wednesday, 26 April 2017 05:40 AM

මහ්චර්යතුමා කියන විදියට එක පාර්ශ්යක් වන මහජනතාව නුසුධුසූ දේසපාලකයන් පාර්ලිමේන්තුවට යවති. තවත් පාර්ශ්යක් වන 60% වත් සාමාන්‍ය පෙළ පාස් නැති දේසපාලකයන් කරන්නේ මොනවද කියල නොදැන මන්මුලාවෙති. මේ නුගත් දේසපාලකයෝ තමන්ගේ හෙන්චයියෝ රාජ්‍ය නිලදාරීන් හැටියට පත් කරති. විශ්ව විද්‍යාලයට උගතුන් වෙන්න යන අනිත් පාර්ශ්ය ඉගෙන ගැනීම පසෙක තබා උද්ගෝෂණ කරති. රට බල්ලට යති. ඉතින් මුලින්ම නුසුදුසු දෙසපාලුවන්ව පත් කරපු මහජනතාව දෙවියන්ගේ පිහිට පතති.

:       0       24

rat Wednesday, 26 April 2017 06:37 AM

රටේ ජනතාව කුණු කන්දට යට වෙලා දැන් අවුරුදු දෙකක්

:       145       55

arunalu Wednesday, 26 April 2017 10:30 AM

ඇත්තටම කුණු ගැටලුවට විකල්ප අපිටත් තියෙනවා, අපි කියනදේවල් එළිදක්වන්න ක්‍රමයක් වත් මේවා කියන්න වේදිකාවක් වත් අපිට නැහැ. මුලින්ම කියන්න ඕනේ කුණු බැහැර කරන පුරවැසියන්ට හැකිතාක් කුණු අවම කරගන්න කියල. උදාහරණයක් විදියට අපි බැහැර කරන කුණු වලින් දිරන කුණු නිවසේම කොම්පෝස්ට් හදා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් ඒ සඳහා ප්ලාස්ටික් භාජන පළාත් ආයතන වලින් ජනතාවට ලබාදෙන්නත් පුළුවන් ලංකාවේ ෆ්ලැට් වල ඉන්න මිනිස්සු වුනත් පෝච්චිවල මල් ගහක් හරි වවනවා එ සඳහා මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ගහෙන් වැටෙන කොලය පවා කුණු ට්‍රැක්ටරයට දෙන්නයි පළාත් ආයතනවලට තියෙන්නේ කුණු එකතු කරද්දී පුරවැසියන්ගේ කුණුවල බර කිරල කිලෝවකට යම් කිසි ගනනක් අය කරන්න. එතකොට නිකම්ම බැහැර කරන කුණු ප්‍රමාණය අඩු වෙලා යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 96 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 408 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1036 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1524 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 460 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site