IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ පිහිටි පර්චස් 90ක දේපොළ ද තිබිණි. මෙම දේපොළ මිලෙන් ඉතා ඉහළ වටිනා දේපොළය.

මීට අමතරව අරුවක්කාලු‍ ඉඩමෙන් රුපියල් මිලියන 70ක බදු ආදායමක් ද ලැබෙයි. එම බදු ආදායමින් සේවක වැටුප් ලෙස ගෙවීමට සිදුව ඇත්තේ රුපියල් මිලියන තුනක මුදලක් පමණි.

 එවන් පසුබිමක කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත පටන් නොගෙන එහි දේපොළ ත්‍රිවිධ හමුදාවට වරායට පොලිසියට ලබාදීමට එවකට පැවති යහපාලන රජය තීරණය කර තිබුණි. ඒ 2018-2019 වසරවලදීය. එහි ඉතිරිවෙන බිම් කොටසේ කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට සැලැසුම් කොට තිබුණි. 2020 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ රජය ද බලයට ආ පසු කන්කසන්තුරේ සිමෙන්ති ශාලා භුමිය ගැන ගෙන තිබුණේ යහපාලන රජය ගත් තීන්දුවමය. 2020 වසරේ දී කර්මාන්ත ඇමැති වූයේ විමල් වීරවංශ මහතාය. එහි සභාපති වූයේ නීතීඥ ගාමිණී ඒකනායකය. 2018- 2019 වසරේදී ගත් තීන්දුව වූයේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව කඩා බිමට සමතලා කිරීමටය. එහෙත් විමල් වීරවංශ ඇමැතිවරයාට කරුණු දක්වා නැවත කර්මාන්ත ශාලාව පටන් ගැනීමට පිඹුරුපත් සැකසුවේ එවකට සභාපති ගාමිණී ඒකනායකය.

 ඊට පැවති රජයේ සහය ද ලැබුණි. 2021-02-28 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලැබුණි. එහිදී පළමුවෙන්ම මෙම කර්මාන්ත ශාලාවේ භාවිතයට ගත හැකි සහ ගත නොහැකි ද්‍රව්‍ය වෙන් කර ශුද්ධ කිරීමට පියවර ගැනුණි. එම ඉවත් කිරීමේ කටයුතු කර්මාන්ත අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කමිටුවක් ද පත් කෙරුණි. එම කමිටුව 2021-04-19 දින පත් කළ අතර එය සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත විය. එහිදී යකඩ මෙන්ම ගොඩනැගිලි පිළිබඳ වාර්තා වෙන වෙනම සැකසුණි.

එම වාර්තාවලට අනුව භාවිතයට ගත හැකි ගොඩනැගිලි සියයට 80ක් ද භාවිතයට ගත නොහැකි ගොඩනැගිලි සියයට 20ක් ලෙස ද වාර්තාවේ සඳහන් වුණි. භාවිතයට ගත නොහැකි ගොඩනැගිලි සියයට 20 කඩා ඉවත් කරන ලෙසද නිර්දේශ කෙරුණි. එහි යකඩ ගැන වාර්තාව සැකසුණේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගිනි. එම වාර්තාවට අනුව තිබෙන යකඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගත හැකි යන්ත්‍ර ගැන වෙන වෙනම වාර්තා සැකසුණි.

 ඒ අනුව රුපියල් බිලියන දෙකකට ආසන්න යකඩ ප්‍රමාණයක් කන්කසන්තුරේ කර්මාන්තශාලා භූමියේ තිබෙන බව එම වාර්තා අනුව පෙන්වා දී ඇත. ඒ සා වටිනාකමක් ඇති යකඩ ප්‍රමාණයක් මේ තරම් කාලයක් ආරක්ෂා වූයේ ඒ අවට තිබූ හමුදා කඳවුරු නිසාවෙනි. මෙම වාර්තා දෙකම 2022-02-08 දින විමල් වීරවංශ මහතාට බාර දී තිබුණි. ඉන්පසු කර්මාන්ත අමාත්‍යංශය යටතේ සෘජු අධීක්ෂණය යටතේ එහි කටයුතු සිදු විය. රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සඳහා තාක්ෂණික කමිටුවක් මෙන්ම ටෙන්ඩර කමිටුවක් ද පත් කළේය. ඒ මෙම කර්මාන්තශාලාවේ යකඩ ටික නිත්‍යනුකූල ලෙස ටෙන්ඩර් පටිපාටියකට අනුව ටෙන්ඩර් කර විකුණා එම මුදල් රජයට ලබාගැනීමටය.

 ඉන්පසු කැබිනට් අනුමැතියට අනුව යකඩ විකුණා ලබන මුදල් කර්මාන්තශාලාව ආරම්භයට යොදා ගැනීමට ද ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ලබාදීමට ද තීන්දු කර තිබුණි. මේ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවට පැවරුණ රාජකාරිය වූයේ ටෙන්ඩර කිරීමට අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමය. එහිදී 2022 නොවැම්බර් 18, 19, 20 මෙම කමිටුව ලබා දුන් වාර්තාවන්ට අනුව යකඩ සහ යන්ත්‍ර මෙන්ම ගොඩනැගිලි ද නිරීක්ෂණය කිරීමට කන්කසන්තුරේ ගොස් ලබාදුන් වාර්තා හා සන්සන්දනය කර ඇත.

තාක්ෂණික කමිටු වාර්තාව ටෙන්ඩර කමිටුවට දැමීමට තීන්දු කෙරුණි. ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් තිදෙනෙකු පත් කර තිබුණි. 2023 වන විට ටෙන්ඩරය කැඳවා යකඩ විකිණීමට සැලැසුම් සකස් වී තිබුණි. එහෙත් ඉන්පසු විෂය භාර ඇමතිවරයා සහ සභාපතිවරයා ඉවත්ව නව ඇමැතිවරයකු සහ නව සභාපතිවරයකු ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට පත් කළේ එවකට පැවති දේශපාලන පසුබිම මතය. නව ඇමතිවරයාට මෙන්ම නව සභාපතිවරයාට තිබුණේ යකඩ ටික ටෙන්ඩර කර විකුණා එම මුදල්වලින් කර්මාන්තශාලාව ආරම්භ කිරීමට සැලැසුම් සකස් කිරීමටය. ඊට අදාළ කමිටු වාර්තා සහ නිර්දේශ ඇතුළත් ලිපිගොනුව හිටපු සභාපති ගාමිණී ඒකනායක විසින් එවකට නව සභාපති භාර දී තිබුණේ ඔහු වැඩ බාරගන්නා දිනයේදීය.

 එහෙත් නව සභාපතිවරයා මෙම ටෙන්ඩර ක්‍රමය ඉදිරියට ගෙන ගිය නොගිය බවත් කමිටු වාර්තා අනුව ක්‍රියා නොකළ බව ගාමිණී ඒකනායක පෙන්වා දෙයි. කර්මාන්ත ශාලාවේ යකඩවලට රහවැටුණ පිරිසක් එහි ආරක්ෂාවට සිටි හමුදා ඛණ්ඩ ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි. හමුදාව ඉවත් කළ පසු අවට මිනිස්සු යකඩ සොරකම් කරන බවට එකල පුවත් ද පළවිය. සාමාන්‍යයෙන් ආරක්ෂාවට සිටි හමුදා ඛණ්ඩ එකවර ඉවත් වෙන්නේ නැත. එසේ ඉවත් වෙන්නේ නම් එම හමුදා ඛණ්ඩ කලින් දැනුම් දීමක් කරනු ලබයි.

 එසේ හමුදා ඛණ්ඩ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් ඉවත් වන්නේ නම් එවකට සිටි විෂය භාර ඇමතිවරයා මෙන්ම සභාපතිවරයා කර්මාන්ත ශාලාවේ දේපොළ ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය. ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් රාජ්‍ය ආරක්ෂක සමාගමකින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාගැනීමක් කළ යුතුය. එහෙත් එවැනි ආරක්ෂක ක්‍රමවේදයක් නොමැති නම් හමුදාවට ආරක්ෂාවෙන් ඉවත්වීමට ඉඩ නොදීමක් කිරීමට තිබුණි.

 කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ දේපොළ ආරක්ෂාවට ප්‍රමාණවත් ආරක්ෂකයන් නොමැතිව මාස දෙකකට පසු හිටපු සභාපතිවරයා මාධ්‍යට දැනුම් දුන්නේ කම්හලේ යකඩ මාස දෙකක් තිස්සේ සොරකම් කරන බවය. ඒ මාස දෙක ඇතුළත යකඩ හොරකම් කරන එක නතර කිරීමට කිසිදු බලධාරියකු කටයුතු නොකළ බව ගාමිණී ඒකනායක පෙන්වා දෙයි. යකඩ හොරකම නතර කරනවා වෙනුවට බලධාරින් කළේ බදුල්ලෙන් ආරක්ෂාවට කියා පුද්ගලයන් 7 දෙනකු ගෙන ඒමය. අක්කර 137ක භුමියක් රුපියල් බිලියන 2ක වටිනාකමක් ඇති යකඩ ඇති තැනක් 7 දෙනකුගෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේ දැයි ගැටලු‍වකි.  ලියාපදිංචියක් ඇති ආයතනයකින් මෙම ආරක්ෂකයන් 7 දෙනා ගෙන ආ බවට එකල විෂය භාර අමාත්‍ය චාමර සම්පත් ද අප මීට පෙර මේ ගැන කළ ලිපියේදී අනාවරණය කළේය.

 ආරක්ෂක හමුදාව ආයුධ සහිතව ආරක්ෂා කළ තැනක් බදුල්ලේ ආරක්ෂක සමාගමක 7දෙනෙක් ආයුධ නැතිව සිදුකරන්නේ කෙසේද යන්න ගැටලු‍වකි. මේ සෑම අයෙක්ම හරහා සිදුවූයේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ සොරකම් කිරීමට මාර්ගය පාදා ගැනීමක් බව ගාමිණී ඒකනායක පෙන්වා දෙයි. මේ ආරක්ෂකයන් 7 දෙනා ඇතැම් බලධාරින්ගේ අනුදැනුම පිට යකඩ මහ පරිමාණයෙන් පිටමං කොට විකිණීමට දායක වූ බවට මේ වන විට ප්‍රබල සාක්ෂි තිබියදී ඒවා යටපත් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ද වාර්තා වෙයි.

එසේම මේ ආරක්ෂකයන් 7 දෙනා සේවයේ යෙදවීමට ගෙවීමක් කළ යුතුය. එම ගෙවීම සඳහා ගෙවීමක් කළේ කෙසේද යන්න තවත් ගැටලු‍වකි. එම පුද්ගලයන් ගෙවීම් සඳහා මුදල් අනුමත කළේ කේසේද? එම පුද්ගලයන් 7 දෙනා සඳහා ඇඳ කොට්ට මෙට්ට සඳහා ගෙවීම් කළේ කෙසේද යන්න පිළිබඳව හිටපු සභාපතිවරයා මෙතෙක් කරුණු පහදා නැත. එම ආරක්ෂකයන් 7 දෙනා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ මිලියන දෙකක යකඩ ආරක්ෂා කළා නම් එම යකඩ අදටත් ආරක්ෂා වී තිබිය යුතුය.

 එහෙත් මේ වන විට ටෙන්ඩර කොට විකිණීමට සැලැසුම් කළ යකඩ ප්‍රමාණය දැන් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල තිබූ භූමියේ නැත. මෙසේ තිබියදී හිටපු බළධාරියෙකු 2024-07-24 දින සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ව්‍යාපෘති ඉංජිනේරුවරයා ලෙස රුපියල් 250,000ක මුදලක් ලබා ගැනීමට අනුමැතියක් ලබාගෙන ඇත. ඒ මෙම යකඩ ව්‍යාපෘතියේ ව්‍යාපෘති ඉංජිනේරුවරයා ලෙස පෙනී සිටීමටය.

 එවකට අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීන්දුව ගන්නේ කුමන පදනමකින්ද කියා දන්නේ නැත. පවතින නීතිමය තත්වය අනුව එලෙස මහ භාණ්ඩාගාරයේ අනුමැතියක් නොමැතිව මුදල් වෙන් කර ගැනීමක් සිදු කළ නොහැකිය. මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට මහ භාණ්ඩාගාරයේ මෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයෝද සහභාගී වෙති. එම නියෝජිතයන් ද එම ගෙවීම් ගැන මහ භාණ්ඩාගාරය හෝ අමාත්‍යංශය දැනුවත් කර තිබේද යන්න ගැටලු‍වකි. අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්නේ ජනතාවට අයිති දේපොළක භාරව ඉන්න නිලධාරීන්‍් ය.

 2016-10-20 දින මුදල් අමාත්‍යංශයේ කේ. පියරත්න අතිරේක ලේකම්වරයා ස්වේච්ජා වන්දි ක්‍රමයක් රජයේ සංස්ථාවලට හඳුන්වා දී ඇත. ඒ අනුව සේවකයන් 14කට වඩා තියා ගැනීමට නම් ඒ සඳහා මහ භාණ්ඩාගාරයේ අවසරය ගත යුතු බවට නිර්දේශ කොට ඇත. එලෙස සේවකයන් බඳවාගන්නේ නම් ගෙවන්නේ දිනකට රුපියල් 500ක දීමනාවක් සඳහා පමණි. විශ්වවිද්‍යාලයක හෝ වෙනත් පුහුණු ආයතනයක ළමයෙක් එලෙස බඳවාගෙන රුපියල් 500 ගෙවීම කළ හැකිය. එසේ නම් බදුල්ලෙන් ගෙන ආ ආරක්ෂකයන්ට මාසික වැටුප ලෙස රුපියල් 50,000කට ආසන්න මුදලක් ගෙවා ඇති බව මේ වෙන විට අනාවරණය වී තිබේ. එම ගෙවීම් ගෙවන ලද්දේ කුමන පදනමකින් දැයි සිමෙන්ති සංස්ථාවේ එවකට හිටපු සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය සහ ගණකාධිවරයා පැහැදිලි කළ යුතුය. එහි වගකීම එම නිලධාරින් ගත යුතුය.

 එසේම යකඩ විකිණීමේ හෝ කර්මාන්ත ශාලාව ඇති කිරීම සඳහා කිසිම ව්‍යාපෘතියක් ඇති නොකර වාර 20කට වඩා යාපනයේ ගිය බවට බිල්පත් යොදා මුදල් ලබාගත් ප්‍රධානියකු ද ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. වාහනයක තෙල් ටැංකිය ලීටර 40න් පිරෙනවා නම් ඒ වාහනය සඳහා තෙල් ලීටර 60 දක්වා ගැසූ බවට බිල්පත් දමා මුදල් අයකර ගෙන ඇති බව ද වාර්තා වෙයි. සිමෙන්ති සංස්ථාවේ සිටින රියැදුරකු වෙනුවට කාර්යාල සහයකයකු රියදුරකු ගෙන අතිකාල දීමනා සහ අනෙකුත් වරප්‍රසාද ලබා දී ඇති බව ද වාර්තා වෙයි. පුත්තලම සහ කන්කසන්තුරේ සහ කොල්ලු‍පිටිය ඉඩමේ ව්‍යාපෘති කරන බව අඟවා මුදල් වියදම් කර ඇති බව ද කියැවෙයි. මෙම සඳහා ව්‍යාපෘති වාර්තා ද සකසා නැත. 2022 වසර වන විට රටේ පැවති ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන කිසිදු ව්‍යාපෘතියක් කිරීමට මහ භාණ්ඩාගාරය අනුමැතියක් දුන්නේ නැත. එවන් පසුබිමක ව්‍යාපෘති වාර්තා හදා ගෙවීම් කළේ කෙසේද යන්න සොයා බැලිය යුතු කරුණකි.

 මේ ආකාරයට සිමෙන්ති සංස්ථාවට ලැබෙන ආදායමෙන් සේවක පඩිනඩි ගෙවූ පසු ඉතිරි වූ මුදලට සිදු වූ දේ ගැන සොයා බැලිය යුතුය. මේ අනුව මිලියන 300ක මුදලකට සිදු වූ දේ සොයා බැලිය යුතු බව ගාමිණී ඒකනායක පෙන්වා දෙයි. සංස්ථාවට අයත් කොල්ලු‍පිටිය ඉඩමේ ඇති රථ ගාලෙන් 2018 වසරේදී දිනකට රුපියල් 10000ක පමණ ආදායමක් උපයා ඇත. එහෙත් 2022 න් පසු එහි ආදායම දිනකට රුපියල් 2500 දක්වා අඩුවීම ගැන මෙතෙක් සොයා බලා නැත. එම රථ ගාල පිරෙන්නම වාහන දැම්මත් මේ තරම් මුදල් හිඟවීමක් සිදුවිය නොහැකිය.

 මේ වන විට කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ නැත. තිබෙන යකඩ කෑලි එකතු කිරීමට පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බව ද දැනගන්නට තිබේ. ඒ සඳහා ද විශාල මුදලක් වියදම් කොට ඇත. දැන් කන්කසන්තුරේ යකඩ නැත. යකඩ හොයනවා කියා පස් ගොඩවල් එකතුකරන බව දැනගන්නට තිබේ. එකතු වන යකඩ විකුණා අදාළ පෞද්ගලික සමාගමේ ගෙවීම් ද කිරීමට නොහැකි බව ද මේ වන විට වාර්තා වෙයි. එනිසා කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ යකඩවලට සිදු වූ දේ දැන ගැනීමට මහ ජනතාවට අයිතියක් ඇත. එමෙන්ම ඒ ගැන සොයා බලා සත්‍ය තොරතුරු ලබාදීමට බලධාරීන් ද වගබලාගත යුතුය.

මගේ කාලයේ යකඩ ආරක්ෂා වුණා - හිටපු සභාපති ජගත් ධර්මප්‍රිය

 ඒ ගැන හිටපු සභාපති ජගත් ධර්මප්‍රියගෙන් විමසූ විට පැවසුවේ මෙවැන්නකි.

 එම යකඩ එලෙසම තියෙනවා. මම ඉන්න කාලේ ඒවා ආරක්ෂා කළා. දැන් මොනවා වුණාද දන්නේ නෑ. හමුදාව ඉවත් වුණාට පස්සේ බදුල්ලෙන් ආරක්ෂා කරන්න කට්ටියක් ආවා. ඒ අයට ගෙවීම් කළේ මහ භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව ගිවිසුමක් අනුවයි. ඊට පස්සේ ඒ අය ඉවත් කරලා නැවත හමුදාව ආරක්ෂාවට යෙදෙව්වා. බදුල්ලේ අය හිටියේ මාසයයි. යකඩ නැති වුණේ සෑහෙන කාලයක සිටයි. මම ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. පස්සේ අයින් වුණ බව ජගත් ධර්මප්‍රිය කියා සිටියේය.

මේ ගැන අදහස් දක්වන වත්මන් සභාපතිවරයාට කතා කළ ද පිළිතුරක් ලැබුණේ නැත. එම නිසා මෙම කාරණා ගැන අදහස් දැක්වීමට සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපතිවරයාට තවමත් අවස්ථාව විවෘතව පවතියි.

 

(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක,
සුධාරිකා ගුරුසිංහ



අදහස් (0)

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 168 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 511 0

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 110 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 759 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 1330 1

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 2142 2

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 330 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site