මනුරංගගේ මව හාන්සි පුටුවේ වාඩිවී පුවත්පතක් බලමින් සිටියාය. යතුරුපැදියක් සිය මිදුලේ නතර කරන හඬ ඇයට ඇසිණි. ඇය පුවත්පත මෑත් කොට ඒ දෙසට නෙත් යොමු කළාය.
ආන්ටි, මනුරංග ඉන්නවද?
යතුරුපැදිකරු තම හිස් වැසුම ගලවමින් ඇසුවේය.
“ආ....... මේ සංගීත් පුතානේ. මම ඒත් බැලුවා කව්ද කියලා. පුතා කාමරේ.... එයා ඉතින් කොයිවෙලේ බැලුවත් කාමරේට රිංගගත්ත ගමන්ම තමයි.....”
මනුරංගගේ මව තරහක් මවා ගනිමින් පැවසුවාය.
යතුරුපැදිය නැවැත්වූ සංගීත් නිවසට ගොඩවැදී මනුරංගගේ කාමරය වෙත පිය මැන්නේය.
ඒයි උඹ නිදිද? සංගීත් මනුරංගගේ කාමරයේ දොරරෙද්ද මෑත්කොට කාමරයට එබුණේ දොර වසා තිබූ හෙයිනි.
ඔහු දොරට තට්ටු කළේය. ඒ තට්ටු කරන හඬ ඇසුණු විගස මනුරංග දොර විවෘත කර එළියට පැමිණියේය.
මොකද යකෝ දොර වහගෙන කරන්නෙ? සංගීත් කාමරයට ගොඩවැදී මිතුරාගෙන් එසේ විමසුවේ වටපිට බලමිනි.
“නෑ බං ඉතින් පොඞ්ඩක් ඉන්ටනෙට් පැත්තෙ ගියා. ගෙදර ඉද්දි මාර කම්මැලියි.” මනුරංග එලෙස පැවසුවේ සිය මිතුරාගේ කරට අතක් දමා සිනාසෙමිනි.
ආ..... මේ උඹේ අර පරණ කෑල්ල මම අද ටවුන් එකේදි දැක්කනෙ.
ඉතින් ඇයි? මට ඒකෙන් දැන් වැඩක් නෑ බං. මේ බලපන් මගේ අලුත් එක... මනුරංග සිය ජංගම දුරකථනයෙහි වූ ගැහැනු ළමයෙකුගේ පින්තූරයක් පෙන්වමින් කීවේය.
“අම්මටසිරි...... කව්ද බං මේ කෙල්ල....” සංගීත් ඔහු පෙන්වූ ඡායාරූපයට එලෙසින් ප්‍රතිඋත්තර දුන්නේ දෑස් සුවිසල් කර ගනිමිනි.
“හ්ම්..... ඇයි උඹටත් ඕනෑද මේ වගේ ලස්සන කෙල්ලෙක්.... ඕනෑ නම් මම මේකිගෙ යාළුවා සෙට් කරලා දෙන්නම්.....”
අපෝ... මේ ඉන්න විදිය හොඳටම හොඳයි. මට ඔය කරදර ඇඟේ දාගන්න ඕනෑ නෑ. උඹ ඕනෑ දෙයක් කරගනින්.
මනුරංග වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. පිය උරුමයෙන් ලද දේපල සම්පත් බොහොමයක් ඔහුට හිමිව තිබිණි. පියා තරම් දක්ෂ ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට ඔහුට නොහැකි වූයේ ඔහු තුළ තිබූ මුරණ්ඩු දරදඬුකම් හේතුවෙනි.
මුදල් යහමින් උපයා ගැනීමටද ඒවා ඉතිරි කර ගැනීමට ද ඔහුට නොහැකි විය. නමුත් පරිගණක හා ජංගම දුරකථන හැසිරවීමේ කුසලතාව නම් ඔහුට උපතින්ම මෙන් පිහිටා තිබිණි.
මුහුණුපොතේ හැඩකාර තරුණ මිතුරියන් සෙවීම මනුරංගගේ දින චරියාවක් සහ විනෝදාංශයක් තරම්ය. හැඩ වැඩැති ඇහැටකනට පෙනෙන ගැහැනු ළමයින් සමග මිතුරුවී කතා බහ කිරීමට ඔහු දැඩිව ආසා කළේය.
සෑම පැයකට දෙකකට වරක්ම මුහුණුපොතට පිවිසෙන මනුරංග දවසේ වැඩි ප්‍රමාණයක්ම ගත කළේ මුහුණු පොතේමයි.
ඔවුනොවුන්ගේ ගිණුම්වලට එකතු කර ඇති ඡායාරූප නරඹන්නට ඔහු ප්‍රිය කළේය. ඒවා ඩවුන්ලෝඞ් කරගනිමින් තම දුරකථනයට එක්කර ගැනීම ද ඔහුගේ තවත් විනෝදාංශයක් විය.
කෙසේ හෝ ඔහු ගැහැනු ළමුන් සමග මුහුණු පොතෙන් කතා කිරීමට පෙලඹෙයි. ගැහැනු ළමයිද ඔහුගේ රුවට වශීවී ඔහු සමග කතා බහ කරන්නට පෙලඹී සිටියහ.
රාත්‍රි දහය, දොළහ පමණ වනවිටත් ඔහු කරන්නේ මුහුණුපොත හරහා ගැහැනු ළමයි සමග කතා බහ කිරීමයි.
ඒ කතාබහ කරන කෙල්ලන් අතර අමායා ඔහුගේ සිත් ගත් විශේෂිතම රුවක් වූවේය.
කෙසේ හෝ ඔහු ඇය සමග සංවාදයන්ට මැදිව ඇගේ ජංගම දුරකථන අංකයද මුහුණුපොත ඔස්සේ හුවමාරු කරගත්තේය.
ඉන් අනතුරුව අමායා සහ මනුරංගගේ කතා බස් දුර දිග ගියේ බොහෝ කාලයක සිට දැන හඳුනන පුද්ගලයන් මෙන්ය.
ඔවුන්ගේ ඉඟි බිඟි අවසන් වූයේ ප්‍රේමයෙන් මුසපත් වූවාටද පසුවය.
අමායා රූපයෙන් අගතැන්පත් පියකරු තැනැන්තියක් වූ නිසාම ඒ ලස්සනට මනුරංග දැඩි සේ පෙම් බැන්දේය.
මට ඔයත් එක්ක නිවී සැනසිල්ලේ ටිකක් කතා කරන්න ඕනෑ... අපි හම්බවෙලා කතා කරමුද?
දුරකථන සංවාද අතරතුරදී විටෙක මනුරංග ඇයගෙන් අසයි.
මනුරංගගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම පසෙකලා ඇය ඔහු හමුවීමටද යන්නේ ඇයත් ආදරයෙන් මුසපත්වී ඇති නිසාමය.
ජැන්ඩියට ඇඳ පැළඳගත් ඔහු සිය මෝටර් රථයෙන් අදාළ ස්ථානයට ගියේ පෙරදින අමායා සමග කතා කරගත් ලෙසටය. වාහනය ඇතුළත සිට ඔහු බලා සිටියේ අමායා පැමිණෙන තුරුය.
අමායා තවමත් නෑනේ. මනුරංගගේ සිත කීවේය.
පෙම්වතුන් සමග පෙම්වතියන් මුකුළු කරමින් අත් පටලවාගෙන එහෙ මෙහෙ ගමන් කරනු පෙනේ. ඊට ඈතින් තමා දෙසට පැමිණෙන කාන්තාවකි. මනුරංග මහත් ඕනෑකමින් ඒ දෙස බලා සිටියේය.
ඇය ළංවන විටම ඒ පැමිණෙන්නේ අමායා බව මනුරංගට වැටහිණි.
සිත්ගන්නා සුලු දෑසක් හිමි ඇයගේ දිගටි මුහුණත් නිල්වන් දෑසත් ඇගේ ලස්සන තවත් ඔපවත් කළේය. මොහොතකින් මනුරංගගේ දෑස් ඉවතට ගත නොහැකි තරම් ඒ වෙත බැඳුණේය.
බස් එක පරක්කු වුණා. ඔයා ඇවිල්ලා ගොඩක් වෙලාද? දෙදෙනාගේ ප්‍රථම හමුවීමෙන් අමායාගේ හඬ එලෙසින් අවදි විය.
මනුරංග ඇයගේ අතින් අල්ලාගෙන තම වාහනයට නංවා ගත්තේය. ඔහු තමාගේ දෑතින් ඇගේ සුමුදු අතැඟිලි පිරිමදින්නට වූවේය.
ඔවුන්ගේ ඒ පළමු හමුවීමෙන් පසුව නොයෙක්වර ඔවුහු හමුවූහ.
පුරහඳට පෙම් බඳින තරු කැකුළක් සේ අමායා මනුරංග වෙත බැඳුණි. මනුරංගගේ හමුවීම ඇය සැලකුවේ ජීවිතයේ තමා ලත් පරම සතුටක් වශයෙනි. ටික කලකින් ඇයට ඔහු නැතිවම බැරි තරමට පත්විය.
නමුත් අමායාගේ පිවිතුරු ආදරයෙන් මනුරංග පැතුවේ තමාගේ ආශාවන් සංතෘප්ත කරගැනීමය. අමායාගෙන් අයුතු ප්‍රයෝජන ගත් ඔහු ඇයගේ රොන් උරා බිව්වේය.
මෙසේ ටික කාලයක් ඇය සමග පෙම් සුව විඳි මනුරංග හිටි හැටියේම අමායා හැර දමා ගියේ සිතන්නටවත් නොහැකි ලෙසටය.
ඇයගේ දුරකථන ඇමතුම් ද ප්‍රතික්ෂේප කළේය. පසුව ඔහු සිම්පත් ද වෙනස් කර තිබුණේ ඇය ලබාදෙන ඇමතුම් පවා පසු කලක ඔහුට කරදරයක් වූ නිසාය.
මනුරංග ඇයව එලෙසින් රවටා ඇති බව ඇයට වැටහෙන්නට වැඩි කලක් ගතවූයේ ද නැත.
අමායා දවස පුරාම අහස පොළොව ගැටලන්නට මෙන් කල්පනා කරන්නට වූයේ ඇයට සිදුවූ සියල්ල දරාගත නොහැකිවය.
ඇයට හැම මොහොතකම සිතුවම් පෙළක් මෙන් මතකයට නැගුණේ ඔහු සමග ආ ගිය තැන්ය. ඇයගේ දෙනෙතේ කඳුළු කැට බිමට පතිත වූයේ එවිටය.
දින ගණනක් විවිධ තැන්වලදී මුණගැහුණු අතීතය ඇයට සිහිපත් වූයේ නිතැතිණි. ඇයගේ ඛේදනීය ඉරණම මෙලෙසින් ලියවේවි යැයි ඇය කිසිදා නොසිතන්නට ඇත. ඇයගේ පරම පිවිතුරු යෞවනයද ඔහු වෙත පුද කළේ ඉදිරියක් ගැන නොසිතාය.
ඔහු සමග තම පෞද්ගලික තොරතුරු පවා ඇය බෙදා හදා ගත්තේ කිසිදු අවිශ්වාසයකින් තොරවය.
නමුත් මදුරංග අමායාව අමතක කර තවත් පෙම්වතියක් සොයා ගියේය.
සංදීපනී නම් සරසවි අධ්‍යාපනය හදාරන ඇයට ඔහු පෙම් බඳින්නේ ද මුහුණුපොත හරහාය. ඇයටත් ඉතා ආකර්ෂණීය රුවක් පිහිටා තිබිණි.
ඇය සමගත් ඔහු පෙර ලෙසම මුහුණුපොත හරහා දුරකථන අංක හුවමාරු කරගනිමින් මිත්‍ර වූ පසුව ටිකින් ටික ඒ මිතුරුදම වර්ධනය කර ගනිමින් ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර ගියේය.
බොහෝ වේලාවක් ගොදුරකට මාන බලමින් සිටි බළලෙකු මෙන් ඇයව ඩැහැ ගැනීමට ද ඔහුට හැකිවිය.
තම පුතා මෙලෙසින් ගැහැනු ළමයින් ආශ්‍රය කර අමාරුවේ දමන නින්දිත ක්‍රියාව පිළිබඳව මනුරංගගේ මව්පියන්ට ද ඒ වන විට ආරංචි ලැබෙමින් තිබිණි.
ඒ දැනගැනීමත් සමග සංදීපනීට වූ අකරතැබ්බය පිළිබඳව ඇයගේ නිවසට ආරංචි වීමෙන් මනුරංගව සොයා ආ සංදීපනීගේ පියා සහ සහෝදරයන් නිවසට පැමිණ මනුරංගට පහර පිට පහර දෙන්නට වූයේ ද තම මව්පියන් ද බලා සිටිද්දීමය.
මනුරංගට ද සිදුවූ කිසිවක් සිතාගන්නටවත් නොහැකිව බලා සිටියේද පහර කෑමට ලක්වෙමින් සිටින අතරතුරය.
“මගේ පුතාට ගහන්න එපා.......” මනුරංගගේ මව කෑ ගසා හඬන්නට වූවාය.
“ගහන්න නෙමෙයි මූව මරන්න තියෙන්නේ. මූ මගේ ළමයට කරලා තියෙන දේට. කෝපයෙන් දිලිසෙන නෙත් සඟලෙන් යුතුව බලා සිටි සංදීපනීගේ සහෝදරයා එසේ පවසා මිට මොලවා මනුරංගගේ උදරයට පහරක් එල්ල කළේය.
මනුරංගට කරකියා ගත හැකි කිසිවක් නොවුණි.
මඳ වේලාවකින් පොලිසිය ද එතැනට පැමිණියේය.
සංදීපනී, අමායා වැනි තවත් ගැහැනු ළමයින් බොහෝ දෙනෙක් මනුරංග විසින් රවටා ඇති බවත් ගැහැනු ළමයින්ගේ ඡායාරූප ගෙන ඒවාට වෙනත් අසභ්‍ය රූප බද්ධකොට වෙබ් අඩවි වෙත නිකුත් කරමින් විවිධ අපරාධ කර ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කර ගත්තේය.
තම මව්පියන්ගේ සිහින බලාපොරොත්තු සුනු විසුනු කර දමා අවලංගු කාසි ලෙස සමාජයට පිවිසීමට සංදීපනීලාට, අමායලාට සිදුවූයේ දුර දිග බලා ක්‍රියා නොකිරීම නිසාය. ඔවුන් එවැනි දෙයක් කිසිවිටක බලාපොරොත්තු නොවූවත් අවසානයේ උරුම වූයේ එපමණකි.
මනුරංගට එරෙහිව පොලිස් පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක විය. අමායාගේ මෙන්ම සංදීපනීගේ ජීවිතවලට මේ වන විට කැළලක් එක්වී හමාරය. මනුරංගගේ ජීවිතය ද අඳුරු ආගාධයකට ඇදවැටුණේය. මනුරංගගේ මව්පියන්ගේ දෑස් විවර වූයේ ඒ සියල්ල සිදුවී හමාර වූ පසුවය.
හැකි පමණින් උපරිම සැප සම්පත් ලබාදී තම දරුවන් හදන වඩන මව්පියන් ඔවුන්ගේ මානසික තත්ත්වය කෙසේදැයි සොයා බලන්නට මොහොතක් වෙන් කරන්නේ නැත. දරුවන්ට කළ හැකි හොඳම දෙය සැප සම්පත් ලබාදීම පමණක් යැයි සිතූ මනුරංගගේ මව්පියන් අද හොඳින්ම දුක් විඳින අතර අමායාගේ සහ සංදීපනීගේ මව්පියෝ ද ලෝකයෙන් නැගෙන ගැරහුම් නින්දා අපහාස ඉවසාගත නොහැකි තරමින් දුකට පත්ව සිටිති.
මනුරංගලා, අමායලා මෙන්ම සංදීපනීලා අදටත් අපේ තරුණ තරුණියන් අතර සිටිති. ඔවුන්ද දවසක නීතිය ඉදිරියේ දඬුවමට ලක්වනු ඇත. නමුත් ඔවුන්ගේ මවුපියන් තම දරුවන් පිළිබඳව ඍජු අවධානයකින් පසු වූවානම් මෙබදු විපත් කිසිදා සිදුනොවනු ඇත.
මේ පිළිබඳව තාක්ෂණික උපදෙස් සැපයීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කරගනිමු.
“ෆේස්බුක් එකෙන් ලෝකෙ විවිධාකාර මිනිස්සු හමුවෙනවනෙ. එහිදී තමන් කා සමගද කතා කරන්නෙ කියන දේත් නොදන්නා කෙනෙක් සමග පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒ ගැන ගොඩක් හිතන්නට අවශ්‍යයි. තමන් කතාබහ කරන පුද්ගලයා කව්ද? කොහොම කෙනෙක්ද? යන්නත් හරි හැටි තහවුරු නොකර කතාබහ කිරීම හෝ හමුවීමකට යාම නුවණට හුරු දෙයක් නෙමෙයි.
සමහර පුද්ගලයන් ඔවුන් දමන ලද පින්තූර වුවත් ඒ පුද්ගලයන්ගෙ නොවෙන්න පුළුවන්. සමහර පිරිස් නළු නිළියන්ගෙ පින්තූර, ගස්, මල් වැනි නොයෙකුත් දේවල් දමා තිබෙනවා. එම නිසා ඒ පින්තූරවල ඉන්නෙ අදාළ පුද්ගලයාම ද කියන්න තමන් හරිහැටි නොදන්නවා වෙන්න පුළුවන්.
තමන්ගෙ ගිණුමෙ එවැනි පුද්ගලයන් සිටී නම් ඒ පිරිස් සමග කතා කිරීමේදී බොහෝ පරිස්සම් විය යුතු වෙනවා.
ජංගම දුරකථනවල අංක හුවමාරු කර ගැනීමේදී අතිශය කල්පනාකාරී විය යුතුවෙනවා සේම තම පෞද්ගලික තොරතුරු දීමට යාමෙන්ද වැළකිය යුතු වෙනවා.
කව්රුන් හෝ ෆේස්බුක් ගිණුමෙන් හෝ තමන්ට කරදරකාරී ලෙස මැසේජ් කරනවා වගේ නම් ඒවා අවහිර කරන්නට හැකියාව තිබෙනවා.
ඒ වගේම නොදන්නා කෙනෙකු සමග කතාබහ කර හමුවීමට යාමේදී බොහෝ පරිස්සම් විය යුතුයි. එය ඉතා අවදානම් තත්ත්වයක්.
ඒ මිනිසුන් මොන වගේද? මොනවගේ දේවල් කරන්නට සැලසුම් කරගෙන ඉන්නවද? හරියටම කියන්න දන්නෙ නෑනෙ. ඒ වගේ සිදුවීමකදී තමන් කරදරයක වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි. ඒ නිසා ඉන් වැළකී සිටීම ඉතා වැදගත්.
එවැනි පුද්ගලයෙක් කිසිවෙකුට නොකියා හමුවීමට යාම ඉතා අවදානම්.
තමන්ට කරදරකාරී දුරකථන ඇමතුම් එනවානම් ඒ අංක අවහිර කරන්නට පුළුවන්. නැතහොත් තමාගේ දුරකථන අංකය මාරු කරගැනීම වැදගත් වෙනවා, තමන්ගේ ආරක්ෂාව සඳහා. එවැනි ගැටලුවකට මුහුණපෑමට සිදුව තිබෙනවනම් පොලිසියට පැමිණිල්ලක් දමා ඒ සඳහා ක්‍රියාත්මක විය හැකියි.
සමහර විටෙක කෙනෙක් අමාරුවෙ වැටුණාම මේ දේවල් කාටවත් කියන්න බෑ කියලා සද්ද නැතිව ඉන්නවා. එවැනි සිදුවීමක් සිදුවුවහොත් තමන්ට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත හැකියි. ඒ සඳහා පොලිසියෙ පැමිණිල්ලක් දමා ඒ සඳහා අවශ්‍ය දේට දඬුවම් ලබාදෙන්නට ක්‍රියා කළ යුතුයි. ඉන් සිදුවීමට යන විපතක් වුවද වළක්වා ගැනීමට ලොකු හේතුවක්.
කෙනෙකුට යම් කිසි කරදරයක් සිදුවුවහොත් වටපිටාවෙ මිනිසුන්ගෙ කතාවලට බියවීමෙන් සියල්ල ඉවසා විඳදරාගෙන ඉන්න පුළුවන්. නමුත් එය කළ යුතු දෙයක් නොවෙයි. එයට සුදුසුම දේ වෙන්නෙ පැමිණිල්ලක් දැමීම. පෞද්ගලිකත්වයට හානියක් කියා සිතා සියල්ල යටපත් කරගෙන සිටියහොත් අපරාධකරුවන් තවත් රැවටීම් බොහෝ කරන්නට ඉඩ තියෙනවා.
ලජ්ජාවක් හෝ තමාට කැළලක් කියා සිතා සියල්ල හංගා සිටියහොත් තමන්ට සිදුවුණ දෙයක් තවකෙකුටත් සිදුවිය හැකියි. ඒ නිසා හැමදේ ගැනම විමසිල්ලෙන් පසුවීම වැදගත් වෙනවා.
එවැනි වංචාකාර තැනැත්තෙකු ඔබ පුද්ගලිකව හමුවෙලා තියෙනව නම් තර්ජනය කරන්න පුළුවන්. පින්තූර හුවමාරුවී ඇත්නම් එය තම නිවසට එවනවා, අන්තර්ජාලයේ පළ කරනවා යන්නෙන් බිය කරන්නට පුළුවන්.
එවැනි දෙයක් කළහොත් ඒ සියල්ලටම වැදගත් වෙන්නෙ පැමිණිල්ලක් දැමීම. ඉන් පසුව ඒ පිළිබඳ ක්‍රියාත්මක විය හැකියි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වීමට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර මහතා ද සම්බන්ධ කර ගනිමු.
මෙහිදී ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් තමයි සදාචාරය. අනිත් එක නීතිය. මිනිස්සු නීතියට එකඟව නීතියට අනුව වැඩ කරනවා නම් මේ කිසිදෙයක් වෙන්නෙ නෑ. ඒ වගේම මිනිස්සු සදාචාරයට අනුව වැඩ කරනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ.
මේ හැමදේම ඔවුන් විසින් උල්ලංඝනය කරනවා කියලා කියන්න පුළුවන්.
විශේෂයෙන්ම මිනිසුන්ගෙ අවශ්‍යතාවක් තියෙනවා. ලිංගික කටයුතු සම්බන්ධයෙන්. ඒ අවශ්‍යතාව ඉටු කරගන්න විධි ක්‍රමයන් තියෙනවා. ඒ විධි ක්‍රමයන්ට පිටින් ගියාම තමයි මේ හැම විපතක්ම සිදුවෙන්නෙ.
ජංගම දුරකථන භාවිතා කරන්න රටක් ඇතුළෙ සමාජයක් ඇතුළෙ නීතිපද්ධතියක් සහ ධර්මතා පද්ධතියක් ගොඩනැගෙන්න ඕනෑ. රටේ නීතිපද්ධතිය හරි විදියට ක්‍රියාත්මක වෙනවනම් මේ සිදුවෙන අයහපත් සිදුවීම් පාලනය කරගන්න පුළුවන්.
මිනිසුන්ගෙ පැත්තෙන් ගත්තත් ඔවුන් කිසියම් ධර්මතාවක් ගොඩනගාගන්න අවශ්‍යයි. තමා හැසිරෙන්නෙ මෙහෙමයි කියලා.
කුමක් හෝ තාක්ෂණික උපාංගයක් සමාජගත වුණාට පසුව වැඩ කළ යුතු ආකාරයට සියලුම දෙනා හුරුවෙන්න ඕනෑ. එක් මොහොතකින් එය කිරීමට නොහැකි වුණත් ක්‍රමිකව ඉගෙන ගත යුතු වෙනවා.
කෙනෙකු සමග කතා කිරීමට පුරුදුවෙනවා සේම දුරකථන පාවිච්චි කරන විදිය පවා ඉගෙන ගත යුතු වෙනවා. ඒ දේවල් පාසල් අධ්‍යාපනයේ සිට හුරු කළ යුතුයි.
ජංගම දුරකථනයක් පාවිච්චි කරන විදිය? ඉන් කරන්නේ කුමක්ද? කොයිතරම් වේලාවක් කතා කරනවාද? ඒ හැමදේටම ධර්මතා තිබිය යුතුයි. ඒ හැමදේ පිළිබඳම සලකා බලමින් තමයි කෙනෙකු සමග සංවාදයක නියැලෙන්නට අවශ්‍ය වෙන්නෙ.
ඒ සියල්ල පිළිබඳ හොඳ ධර්මතාවන් මිනිසුන්ගෙ ගොඩ නැගෙනවා නම් අද වෙද්දි අපරාධ ඇතිවෙන එක අවම කරගන්න හැකි වෙනවා.
ලංකාවෙ ලිංගික කටයුතු සම්බන්ධයෙනුත් එහෙමයි. ඒ හැමදේම සිදුවෙන්නෙ සදාචාරාත්මක මානයන් උල්ලංඝනය කිරීමෙන් මිසක් දුරකථනවල වැරැද්දකින් නෙමෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කපටියකු වැනසූ අමායාගේ ප්‍රේම ලෝකය