රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළිදරව් විය.
අප දන්නා කාලයක සිට රාජ්‍ය ආයතනවල වංචා දූෂණ හා නාස්තිය පිළිබඳව අසන්නට ලැබුණත් මෑතක සිට අසන්නට ලැබෙන එවැනි කතාවල විශේෂත්වයක් ඇත. එනම් මෑත කාලයේ සිදුවන වංචා, දූෂණ ආදියේ නිරත වන්නන් ඒවා බොහෝ දුරට එළිපිට කිරීමයි.
ඔවුනට ඒවා පිළිබඳව කිසිදු ලජ්ජාවක් ඇති බව නොපෙනේ. ඒවා කිසි දිනෙක නීතිය හමුවේ අභියෝගයට ලක් නොවන බවට ඔවුනට විශාල විශ්වාසයක් තිබී ඇත. තමන්ට කවදා හෝ මේවාට වගකීමට සිදුවේ යැයි ඔවුන් කිසි විටෙක නොසිතූ බව පෙනේ. ඔවුන් එම දූෂිත ක්‍රියාවල නිරත වී ඇත්තේ එවැනි වටපිටාවක, එවැනි පිටුබලයක් ඇතිවය.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී ජාතික තරුණ සේවා සභාවේ බලධාරීන් රුපියල් මිලියන 180කට අධික වටිනාකමකින් යුත් චෙක්පත් අයථා අයුරින් නිකුත් කරනු ලැබ ඇති බව පසුගිය මස අවසාන භාගයේදී කෝප් කමිටුවේ රැස්වීමක දී අනාවරණය විය. ගාල්ලේ පැවැති ජාතික තරුණසේවා සභාවේ වැඩ සටහනකදී ප්‍රදර්ශනය කුටියක් සඳහා රුපියල් ලක්ෂයක් බැගින් වැය වූ බවත් එම වැඩසටහනම යාපනයේ පැවැති විට එක් කුටියක් සඳහා ලක්ෂ පහක් බැගින් වැය වූ බවත් ඒ ආසන්න තවත් දිනෙක හෙළිදරව් විය. මෙමගින් පමණක් රුපියල් කෝටි ගණනක අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි ද එහිදී කියවිණි.
එමෙන්ම සැක කටයුතු ගනුදෙනුවක් හේතුවෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත් කෙරුණු රුපියල් කෝටි 25ක පමණ වටිනා මැණික් පාර්සලයක් රුපියල් 10,000 ක දඩයක් මත මුදා හරිනු ලැබ ඇති බව ද පසුගියදා කෝප් කමිටුවේ දී අනාවරණය විය.
මෙවැනි වංචා, දූෂණ හා නාස්තිකාරී කටයුතු නිල වශයෙන් කෝප් කමිටුවේදීත්, රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී රාජ්‍ය මූල්‍ය කාරක සභාවේදීත්, ජාතික විගණන කාර්යාලයේ වාර්තා මගිනුත් හෙළිදරව් කෙරෙන්නේ අද ඊයේක සිට නොවේ.
රුපියල් 250ක් වටිනා එන්නත් රුපියල් 40,000 ගණනේ ගෙන්වනු ලැබ ඇති බව 2021 දී විගණන වාර්තාවකින් හෙළි විණි. එම එන්නතම ඉන්පසුවත්, රුපියල් 370 කට ගෙන්විය හැකිව තිබිය දී රුපියල් 76,000කට ගෙන්වනු ලැබ ඇති බව දැනට මාස දෙකකට පමණ ඉහතදී ජනමාධ්‍යවල පළ විය. සිද්ධිය පිළිබඳ කියැවෙන නිලධාරීන් මෙසේ අදහා ගන්නට නොහැකි ආකාරයේ දූෂිත ක්‍රියාවල යෙදෙන්නේ තමන්ට කිසිදා මේවාට වගකියන්නට සිදු නොවන බවට සහතිකයක් ඇති නිසාය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා රාජ්‍ය ගිණුම් කාරක සභාව වැනි පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවල සභාපති ධුර සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කළ යුතු යැයි පොදුවේ පිළිගත් මතකයක් පවතී. ජනතා විමුක්ති පෙරමුණ හා එම පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ගනු ලැබ ඇති ජාතික ජනබලවේගය ද පසුගිය කාලය පුරා එම මතයේ දැඩිව එල්බ සිටියේය.
එහෙත් ජාතික ජනබලවේගය මෙවර පළමු වතාවට බලයට පත් වූ විට එම පක්ෂ මෙම මතය එක්තරා දුරකට වෙනස් කර ගත්තේය. පාර්ලිමේන්තුවේ අනෙක් කාරක සභාවල කෙසේ වෙතත් කෝප් කිමටුවේ සභාපති ධුරය තමන් වෙතම තබා ගන්නා බව ජාතික ජනබලවේගය බලයට පත් වූ පසු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවක මේ ගැන කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෝප් කමිටුවේ සභාපති ධුරයට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පත් කර ගැනීමට දෙන්නැයි ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පසුගිය කාලයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බරපතළ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ආණ්ඩුව අදහස් කරන හෙයින් කෝප් කමිටුවේ සභාපති ධුරය පමණක් ආණ්ඩු පක්ෂය වෙතම තබා ගන්නා බව පැවසීය.
රටේ සෑම ප්‍රශ්නයකටම මූලික හේතුව වී ඇත්තේ දූෂණය, වංචාව හා නාස්තිය බවත් ඒවාට ඇබ්බැහි වූ හිටපු පාලකයන් වසර 76ක් තිස්සේ රට අගාධයකට ඇදගෙන ගිය බවත් එහෙයින් රට ගොඩනැගීමේ දී අදූෂිත සංස්කෘතියක් ගොඩනැගීම මූලික කටයුත්තක් බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික ජනබලවේගය ද දීර්ඝ කාලයක සිට අවධාරණය කරමින් සිටී. අනෙක් අතට ආණ්ඩුවේ ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනේද ප්‍රකාශිත මූලික අරමුණ රට තුළ අදූෂිත සංස්කෘතියක් ගොඩනැගීමයි. ඒ පදනමින් නම් මෙතෙක් දූෂණයේ යෙදුණු පක්ෂයක් කෝප් කමිටුව මෙහෙය විය යුතු නැතැයි ආණ්ඩුව සැබවින්ම සිතන්නේ නම් එයද සාධාරණය.
විශාල බලයක් සහිතව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව බංකොලොත් තත්වයට පත්විය. ශ්‍රී ලංකාවට ණයක් දෙන්නට කිසිදු රටක් ඉදිරිපත් නොවන තත්වයක් උද්ගතවීය. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 මාර්තු මාසයේදී ජාතන්තර මූල්‍ය අරමුදලේ උපකාර පැතීය. මේ සම්බන්ධයෙන් ඒ දිනවලම ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. රූපවාහිනියට ප්‍රකාශයක් කළ මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ශ්‍රී ලංකාවේ අර්බුදය වැරැදි කළමනාකරණයේ ප්‍රතිඵලයකැයි කීවාය.
එසේම එතැන් සිට ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මූල්‍ය අරමුදලේ නිලධාරීන් පැවැත් වූ සෑම සාකච්ඡාවකදීම දූෂණය වැළැක්වීම එම නිලධාරීන් දැඩිව අවධාරණය කළ කරුණක් විය. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබ මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ යටතේ නව දූෂණ විරෝධී පනතක් ද 2023 ජූලි මාසයේ දී සම්මත කෙරිණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකූ මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහකොමසාරිස්වරයා මෙම අර්බුදයට හේතුව ‘‘ආර්ථික අපරාධ’’ (economic crimes) යැයි 2023 දී සඳහන් කළේය. මේ රටේ දූෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවබෝධය එබඳු විය.
එහෙයින් දූෂණය මැඩලීම තම ප්‍රධාන මැතිවරණ සටන් පාඨය කොටගත් ජාතික ජනබලවේගය ඒ සඳහා කෝප් කමිටුව වැනි ප්‍රධාන මෙවලමක් මෙහෙයවීමේ හැකියාව තමන්ට තිබිය යුතු යැයි කියන විට ඊට විරුද්ධ විය හැක්කේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල නොවූ පක්ෂයකට පමණි.
ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද කෝප් කමිටුව මෙහෙයවා ඇත. ඒ ‘යහපාලන’ ආණ්ඩු පක්ෂයේ දී එම පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා එහි සභාපති ධුරය හොබවමිනි. එසේ වුවද වෙනත් පක්ෂ යටතේ ද කෝප් කමිටුව මහා පරිමාණ දූෂණ හෙළිදරව් කොට තිබේ. 2007 දී එම කමිටුවේ සභාපති ධූරය හෙබ වූ විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වාර්තාවකින් කියවුණේ රාජ්‍ය ආයතන 26ක රුපියල් බිලියන 160කට (කෝටි 16,000කට) වැඩි මුදලක් දූෂණයට හා නාස්තියට ලක් වී ඇති බවය.
ඒ ආසන්න කාලයකදීම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති වශයෙන් රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කරන ලද වාර්තාවකින් ද එවැනිම විශාල වංචාවක් අනාවරණය කෙරිණි. හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපති ධුරය හෙබ වූ 2017 දී ඒ මහතා ඉදිරිපත් කළ වාර්තාවකින් ද කියවුණේ රජයේ ආයතන 15ක රුපියල් බිලියන 110ක් (කෝටි 11,000ක්) අවභාවිත කරනු ලැබ ඇති බවයි. රජයට මේසා විශාල මුදලක් අහිමි වී තිබුණේ 2016 වසරේ මාස හතරක පමණ කාලයක් තුළ යැයි ද එම වාර්තාවේ සඳහන් විය.
2011 දී හා යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ ජාතික නිවාස සංවර්ධ අධිකාරියේ සිදු වූ ඥාති මිත්‍ර සංග්‍රහයෙන් රජයට රුපියල් කෝටි දහසක් අහිමි වී ඇතැයි 2023 දී කෝප් කමිටුවේ දී අනාවරණය විය.
එහෙත් මෙසේ අනාවරණය කරනු ලැබූ වංචා දූෂණ හා නාස්තිකාරී කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවැති ආණ්ඩු ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහි දී පැන නගින බරපතළ ප්‍රශ්නයකි. කිසිදු ආණ්ඩුවක් මෙම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කිසිවකුට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නැත. රජයට අහිමි වූ රුපියල් කෝටි දසදහස් ගණන අයකර ගැනීමට පියවර ගැනීම කෙසේ වෙතත් ඒ ගැන කල්පනා කොට හෝ නැත.
ජනමාධ්‍ය වුවද මේවා ගැන පළමු ප්‍රවෘත්ති පළ කිරීමෙන් පසු ඒවා ගැන සොයා බලන්නේ නැත. දූෂණය පිළිබඳව කොතෙක් දැඩි ලෙස විරුද්ධ වුවද ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජනබලවේගය පවා මෙසේ හෙළිදරව් වූ දූෂිත ක්‍රියා හඹා ගොස් වැරැදිකරුවන්ට දඬුවම් දීමට හෝ රජයට අහිමි වූ මුදල් යළි ලබා ගැනීමට හෝ පැවැති ආණ්ඩුවලට බල කිරීමක් කොට නැත.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ දූෂිතයන් තුළ මහජන මුදල් ගසා කෑම පිළිබඳ යම් හෝ බියක් පැවැතිණි නම් එය ද තුරන් වී යාමයි. ඔවුන් තව තවත් මහජන මුදල් ගසා කෑමට පෙළඹීමයි. කෝප් වැනි කමිටුවල රැස්වීම් හුදු ජනමාධ්‍ය සන්දර්ශන බවට පත්වීමයි.
මේ කාරණය මුල්වරට පෙන්වා දෙන්නේ අප නොවේ. පාර්ලිමේන්තුවේදීත් කෝප් වැනි කමිටුවල දී මන්ත්‍රීවරුන් මේ කාරණය පෙන්වා දී ඇත.
ඇතැම් ක්‍රියාමාර්ග ද යෝජනා කරනු ලැබ ඇත. එහෙත් ඒ සියල්ල බිහිරන්ට වීණා වාදනය කරන්නා සේ අවසන් වී ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා 2021 ඔක්තෝබර් 25 වැනිදා මේ පිළිබඳව සඳහන් කරමින් කෝප් වැනි කමිටුවල දී හෙළිදරව් කෙරෙන දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් මෙම කමිටුවලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කළේය. මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුව දැඩි ලෙස අවධානය යොමු කොට මෙම දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට යාන්ත්‍රණයක් සකස් කළ යුතු යැයි 2022 දී කෝප් කමිටුවේ සභාපති වූ මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේ දී ප්‍රකාශ කොට තිබිණි.
හෙළිදරව් වන වංචා, දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කමිටුවල රැස්වීම්වලට නීතිපතිවරයාගේ නියෝජිතයකු සහභාගි කරවා ගත යුතු යැයි 2023 දී එවක රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිව සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
මෙම කමිටුවලට නීතිපතිවරයාගේ නියෝජනයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙස මහාචාර්ය හේරත් හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන දෙදෙනා විටින් විට කතානායකවරයාගෙන් ඉල්ලා සිටිය ද එය කිසිදා ඉටු නොවීය. දැන් අප බලා සිටිය යුත්තේ ජාතික ජනබලවේගය කුමක් කරනු ඇත් ද යන්නයි.
(***)
රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළි
මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කමිටු නිර්දේශ කුණුකූඩෙට දමන්නේ ඇයි?