IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොරෝනා තත්ත්වය බැරෑරුම්

කොරෝනා වයිරස් රෝගය  හේතුවෙන් ඉකුත් 3 වැනිදා මේ රටේ 82 දෙනකු මියගොස්  ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ඊට පසුදින නිවේදනය කළේය.

මෙය  බොහෝ විට එතෙක් මේ රටේ දිනක දී කොරෝනා වයිරස් රෝගය නිසා  මියගිය වැඩිම සංඛ්‍යාව විය යුතුය.

ජූනි මාසය මුල් භාගයේදී කොරෝනා වයිරසය  ආශ්‍රිත දෛනික මරණ සංඛ්‍යාව හැටක් පමණ දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත් හදිසියේම ජුනි 11 වැනිදා මරණ 101ක්  සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය නිවේදනය කොට තිබිණි. පසුදා නැවත මරණ සංඛ්‍යාව පෙර පැවැති තත්ත්වයට අඩුවිය.

11 වැනිදා දක්නට ලැබුණු තත්ත්වය අසාමාන්‍ය නොවේදැයි ජනමාධ්‍යවේදීන් ඇසූ විට ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ පිළිතුරු වූයේ අසාමාන්‍ය තත්ත්වයන් තුළ අසාමාන්‍ය දෑ සිදුවන බවය. එහෙත් එය සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වයිරස් රෝගය ආශ්‍රිත මරණ ගණනය කිරීමේ ක්‍රමයේ පැවැති බරපතළ දුබලතාවක ප්‍රතිඵලයක් බව පසුව පැහැදිලි විය.

රට මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතා නිසා සංචරණ සීමා නොපැමිණවීමටත් පවතින සීමාද ඉවත් කිරීමටත් උත්සාහ කිරීමේ දී ආණ්ඩුව මේ දුබලතාව දුටුවේය. ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් බුද්ධි අංශයේ නිලධාරීන් මෙම ගණනය කිරීම් පිළිබඳව සොයා බැලීමේ දී හෙළි වී ඇත්තේ ජූනි 11 වැනිදා වාර්තා වූ මරණ අතර පෙබරවාරි 6 වැනිදා සිදුවූ මරණ ද ඇතුළත් බවත් ඇතැම් මරණ දෙවරක් ගණනය කරනු  ලැබ ඇති බවත්ය.

 මේ බව රටට හෙළිදරව් කළේ ද ජනාධිපතිවරයාය. ඒ අනුව ඒ ඒ දිනවල සිදුවන මරණ පසුදිනම වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කෙරුණු අතර 11 වැනිදා මරණ සම්බන්ධයෙන් වූ නිවේදනය හේතුවෙන් එවකට වසංගත රෝග අංශයේ ප්‍රධානියා වූ වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් අංශයකට මාරුකරනු ලැබීය.

කොරෝනා රෝගය ආශ්‍රිත මරණ සංඛ්‍යාව රෝගීන් සංඛ්‍යාවට වඩා රට තුළ කොරෝනා තත්ත්වය පිළිබඳ හොඳ දර්ශකයක් බව මීට පෙර සෞඛ්‍ය බලධාරීන් පවසා තිබිණි. එය පිළිගත හැකිය. මන්දයත් රෝගීන් සංඛ්‍යාව තීරණය වන්නේ රට තුළ කරනු ලබන  පී.සී.ආර්. පරීක්ෂණ  සංඛ්‍යාව අනුවය. එම පරීක්ෂණ සංඛ්‍යාව ඇතැම් දිනවල දී ඉතා සුළු සංඛ්‍යාවකි. මැයි මාසයේ දී පමණ පරීක්ෂණ 27,000ක් කරනු ලැබූ දින ද තිබිණි. එහෙත් පසුගිය දිනවල එය 6000 දක්වා අඩු වී තිබුණු බව වාර්තා විය.

අනෙක් කාරණය නම් සුළු පිරිසක් නියැදියක් ලෙස  ගෙන හෝ රෝගීන් ආශ්‍රය කළවුන් හෝ පරීක්ෂණවලට ලක් කොට ඉන් ලැබෙන ආසාදිතයන් සංඛ්‍යාව පරීක්ෂණවලට ලක් නොවු අති විශාල පිරිස ද ඇතුළත් මුළු සමාජය තුළම සිටින රෝගීන් සංඛ්‍යාව ලෙස දැන් ගෙන හැර දැක්වීමය. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් ද රවටා ගෙන රට ද  රැවටීමකි. කෙසේ වෙතත් චිනයේ මෙන් තෝරාගත් නගරයක මුළු ජනගහනයම පරීක්ෂණවලට ලක් කොට එම නගරයේ ආසාදිතයන් සොයා ගන්නට තරම් ශ්‍රී ලංකාවට වත් කමක්ද නැත. ඒ අනුව සුළු පිරිසක් පරීක්ෂා කොට එය රටේම ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන ලෙස පෙන්වන ක්‍රමය මත රැඳී සිටිමට අපට සිදුව තිබේ.

මරණ සංඛ්‍යාව අනුව වුව ද රටේම ආසාදිතයන් සංඛ්‍යාව සොයාගත නොහැකිය. එහෙත් කොරෝනා ආශ්‍රිත මරන වැඩිවන විට තත්ත්වය බරපතළ බව කාටත් පිළිගැනීමට සිදුවේ. පරීක්ෂණ අඩුකොට තත්ත්වය සුළුවෙන් සලකන්නා සේ මරණ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකිය. මරණ අඩුවෙන් පෙන්විය නොහැකිය.
පසුගිය 3 වැනිදා කොරෝනා මරණ 82ක් සිදුවී ඇත්තේ දැනට කරනු  ලබන සීමිත පී.සී.ආර්. පරීක්ෂණ මගින් වුවද ජුලි මස මැද භාගයේ සිට රෝගීන් වැඩිවීමේ තත්ත්වයක් පෙන්නුම් කෙරේ. ජූනි මස අග භාගය වන විට මෙරට තුන්වැනි කොරෝනා රැල්ලේ රෝගීන් සංඛ්‍යාව 3500 සිට 1500 දක්වා අඩුවෙමින් තිබිණි. එහෙත් ජූලි 4 වැනිදා සංචරණ  සීමා සිහිල් කරමින් පොදු ප්‍රවාහන සේවාවලට හා සම්බාහන ආයතනවල පවා අනුමැතිය  ලැබීමත් සමඟ දැන් දෛනික රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා යළි ඉහළ නැඟ තිබේ. මෙතෙක් කිසිවකු මෙය මෙරට සිව්වැනි රැල්ල යැයි හැඳින්වූයේ නැති වුවද මෙය සිව්වැනි රැල්ලයි.  

දැන් රූපවාහිනී නාලිකා ඇතුළු ජනමාධ්‍ය මඟින් පෙන්වා දෙන රෝහල්වල තත්ත්වය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රධානීන්ගේ ප්‍රකාශ අනුව තත්ත්වය ඉතාමත් නරක අතට පත්වී තිබේ.

තම රෝහලේ කොරෝනා වාට්ටුව උපරිමයටම පිරී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඉකුත් අඟහරුවාදා ජනමාධ්‍යයනට පවසා තිබිණි. එදින එවිට කොරෝනා රෝගය වැළඳුන ළමා රෝගීන් 70 දෙනකු පමණ තම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් දිපතාම අලුත් ළමා රෝගීන්  15 දෙනෙක් පමණ වාර්තාවන බවත් ඔහු  වැඩිදුරටත් පවසා තිබිණි.

මේ අතර විශාල වේගයකින් පැතිරෙන ඩෙල්ටා ප්‍රබේදයේ කොරෝනා වයිරසය ආසාදනය  වූවන් වැඩි වැඩියෙන් වාර්තා වීමේ හැකියාවක් ඇති හෙයින් ඉදිරි සති දෙක තුන ඉතාමත් නරක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද එදිනම පවසා තිබිණි. දැනට දෛනික රෝගීන් සංඛ්‍යාව ඉදිරිපත් කෙරෙන්නේ අඩු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක්  මගින් බවද ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාව මෙන් පස් ගුණයක් පමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා නොවන බව ද ඇය පැවසුවාය.

 වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයද පවතින තත්ත්වය ගැන තම කනස්සල්ල පළ කොට ඇත. එහි සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඉකුත් අඟහරුවාදා ප්‍රකාශයක් කරමින් දැනට වැඩි වී ගෙන යන ඔක්සිජන් අවශ්‍යතාව අනුව ඔක්සිජන්  ඉල්ලුම එහි සැපයුම දින කිහිපයකින්ම ඉක්මවා යනු ඇතැයිද  ඔක්සිජන් හිඟය පමණක් නොව එය රෝගියා වෙත ලබාදීමේ යාන්ත්‍රාණයක් නැති කම ද ගැටලුවකැයි පවසා තිබිණි.

පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලැබූ සංවාදයකට අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධවූ ලොව ප්‍රකට වයිරස් විද්‍යා  විශේෂඥයකු ද හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුද ශ්‍රී ලාංකිකයකු ද වන මහාචාර්ය මලික් පීරිස් මහතා ද ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රබේදයේ කොරෝනා වයිරසය නිසා ඉදිරි මාසවල දී ශ්‍රී ලංකාවේ නරක තත්ත්වයක් ඇතිවිය හැකි යැයි ප්‍රකාශ කළේය.
 මේ කිසිවක් අප අසන්නට කැමැති දෑ නොවේ. එසේම ඒවා වැරැදි යැයි සාධක සහිතව කියන්නට ද අපට නොහැකිය.

 අප්‍රේල් මාසයේ අග භාගයේ දී  ආරම්භ වූ මෙරට තුන්වැනි කොරෝනා රැල්ල අතරතුරත් මැයි මාසයේ දී 3500ක් වූ මෙරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ජුනි මස අවසානයේ දී 1500 කට පමණ අඩු විය. එහෙත් කලින් සඳහන් කළ පරිදි ජූලි 4වැනිදා සංචරණ සීමා විශාල වශයෙන් ඉවත් කිරීමෙන් පසු දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේය. ඉකුත් සඳදා සිට සියලු රාජ්‍ය සේවකයන් තම කාර්යාවලට පැමිණ සේවයට වාර්තා කළ යුතු යැයි රජය චක්‍ර ලේඛයක් මඟින් දැනුම් දී ඇත්තේ මේ පසුබිම තුළය.

එසේ රජයේ සේවකයන් සේවයට වාර්තා කිරීම සඳහා දැන් පොදු ප්‍රවාහන සේවා ද පළාත් සීමා නොතකා සිදුවේ. මේ දිනවල ඒ අනුව උදය කාලයේ හා සවස් කාලයේ මගීන්ගෙන් පිරුණු දුම්රිය හා බස්රථ ද දැක ගත හැකිය.

 මෙය අනතුරුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙසේ සංචරණ සීමා විශාල වශයෙන් ඉවත් කිරීම වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු  මහතා හඳුන්වා දී තිබුණේ ගින්නට පිදුරු දැමීමක් ලෙසය. ඒ විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රබේදයේ කොරෝනා වයිරසය රටේ පැතිර පවතින තත්ත්වය යටතේය.

 රටේ තීරණ ගන්නා බලධාරීන්හට මේ පිළිබඳව අනතුරු ඇඟවීම වෘත්තීයමය සංවිධානයක් වශයෙන් තම වගකීමක් බවත් මෙම සීමා ඉවත් කිරීම නිසා දැනටමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් නොසැලකිල්ලෙන් කටයුතු කරන ජනතාව නිදහස් කුරුල්ලන් මෙන් තවදුරටත් තත්ත්වය නරක අතට හරවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් පවසන පරිදි දැන් බරපතළම තත්ත්වයක් මතුවී ඇත්තේ ඩෙල්ටා ප්‍රබේදය නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම ප්‍රබේදය අනෙකුත් කොරෝනා වයිරස් ප්‍රබේද සියල්ල යටපත් කරගෙන ප්‍රමුඛතම ප්‍රබේදය බවට පත්වනු ඇති බවයි.

කැනඩාවේ කරන ලද පර් යේෂණයක් අනුව ඩෙල්ටා ප්‍රබේදය ආසාදිත වූවන් රෝහල් ගතවීම දැඩි සත්කාර ඒකකවලට ඇතුල්වීම හා මරණයට පත්වීම අනෙකුත් ප්‍රබේදයත් සමඟ සැසඳීමේදී පිළිවෙළින් සියයට 120කින් 287කින් හා 137කින් වැඩි බව ද එම සංවිධානය පවසයි.

 ඇමෙරිකාවේ ප්‍රධාන  රෝග නිවාරණ ආයතනය වන රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය පවසන අන්දමට ඇමෙරිකාවේ අලුතින් සොයා ගන්නා ලද රෝගීන්ගෙන් සියයට 80ක්ම ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රබේදයේ වයිරස්වලිනි. ජූනි 9 වැනිදා සිට ජූනි 23 වැනිදා  දක්වා ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව සියයට 300කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ නැග ඇතැයි ද ඒ ප්‍රතිශතයටම රෝහල් ගතවීම් හා මරණ ද ඉහළ නැඟ ඇතැයිද එම ආයතනය පවසා තිබිණි.

 ශ්‍රී ලංකාවේද කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 20කට වැඩි පිරිසකට ඩෙල්ටා ප්‍රබේදයේ වයිරසය ආසාදනය වී ඇතැයි අනුමාන  කරන බව  නියොජය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පසුගිය දිනෙක පැවසීය. අනෙකුත් දිස්ත්‍රික්වලටද එය පැතිර තිබෙන්නට පුළුවනැයිද ඔහු සඳහන් කොට තිබිණි. මේ තත්ත්වය අනුව එන්නත්කරණ ඉලක්ක  සපුරා ගැනීමෙන් පසු හා ආසාදිතයන් සංඛ්‍යාව අඩුවීමෙන් පසු සංචරණ සීමා ඉවත් කළ යුතුව තිබිණැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

මීට පෙර ඇති වූ කොරෝනා රැළි තුනම එක්තරා දුරකට හෝ පාලනය කළේ සංචරණ සීමා මගිනි. ඉකුත් අප්‍රේල් මාසයේදී තුන්වැනි රැල්ල ඇති වූ විට වයිරසය පැතිරීමේ වේගය පාලනය නොකළ හොත් සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ  යනු ඇතැයි  ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය විසින් පළ කරන ළද වාර්තාවක සඳහන් වී තිබිණි. එහෙත් මැයි, ජූනි මාසවල පනවන ලද සංචරණ සීමා නිසා එවැනි තත්ත්වයක් ඇති නොවීය. තව මාසයකින් මරණ 15,000ක් ඇති නොවනු ඇත.  

ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට  මුහුණ දී සිටීමයි. විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටීමයි. එතරම්ම බරපතළ විදේශ ණය ප්‍රශ්නයක් ද තිබේ. කර්මාන්ත, කාර්යාල හා සංචාරක කර්මාන්ත වැනි සේවා පණ ගන්වා මෙම තත්ත්වයට මුහුණදීම සඳහා රට විවෘත කළ යුතුය. අනතුරුදායක බව නොතකා එය කරන්නට  ආණ්ඩුව පෙළඹී සිටින්නේ එහෙයිනි.

 කලින් සංචරණ සීමා ඉවත් කළ අවස්ථා තුනේදීම පෙරට වඩා බරපතළ කොරෝනා රැල්ලක් ඇතිවිය. එසේම කලින් ඇතිවූ කොරෝනා රැලි තුනට මුහුණ දීම සඳහා සංවරණ සීමා පනවනු ලැබූ විට ආර්ථික අර්බුදය ද පෙරට වඩා වැඩි බලපෑමකින් යුතුව ඉහළ නැංගේය.

දැන් විදේශ විනිමය හිඟය නිසා පොහොර තහනම පැනවීමෙන් දේශීය කෘෂිකර්මයටද දැඩි බලපෑමක්  ඇති වී එය අනෙක් අතට විදේශ  විනිමය ප්‍රශ්නය තවත්  උග්‍ර කරන තත්ත්වයක් උදා කොට ඇත. ඇතැම් දේශපාලනඥයන් පවසන්නාසේ හුදු ආණ්ඩු වෙනසකින් පක්ෂ දේශපාලන  ඇසින් හෝ මෙම ප්‍රශ්නය විසඳිය හැකි නොවේ. ජනතාව මුහුණ දී සිටින තත්ත්වයේ බැරැරූම් බව වැටහෙන්නේ එසේ සිතන විටය.

(***එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

කොරෝනා තත්ත්වය බැරෑරුම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 759 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12681 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site