කොරෝනා වයිරසය තදින් පැතිරයාම හේතුවෙන් දේශපාලන කරළිය විවිධ හැල හැප්පීම්වලට ලක්වෙමින් තිබේ. රජයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම්ද තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොරෝනා රෝගීන් බහුල වශයෙන් හමුවීම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම නිසා රට සතියකට හෝ දෙකකට හෝ වසාදමන්නැයි සෞඛ්‍ය අංශ ඉකුත් දින කීපය පුරාම රජයෙන් ඉල්ලීම් කළේය. මීට අමතරව සිවිල් හා භික්ෂු සංවිධාන පවා රට තුළ තහංචි පනවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුව තහංචි පැනවීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසානයේ තීන්දුවක් ගත්තේය. ඒ රටපුරාම සති අන්තයේ දැඩි සංචරණ සීමා පැනවීමටය. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබන සඳුදා අලුයම 4 වන තෙක් එම සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මේ අතර ආණ්ඩුවට තවත් අභියෝගයක් එල්ල වී ඇත්තේ කොරෝනා මර්දනය සඳහා ඉන්දියාව නිෂ්පාදනය කළ එන්නත්වල පවතින හිඟය සම්බන්ධයෙනි. ‘‘ආණ්ඩුවට ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් නොමිලයේ ලැබුණා. ආණ්ඩුවට සැලසුමක් තිබුණේ නැහැ දෙවැනි මාත්‍රාවට එන්නත් තබානොගෙන ආණ්ඩුව ලක්ෂ 9කට අධික පිරිසකට කොවිෂීල්ඩ් එන්නත් ලබාදුන්නා. විපක්ෂය හැමවිටම චෝදනා කළේ එන්නත්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බවටය. ඒත් ඊට සෞඛ්‍ය බලධාරීන් හෝ ආණ්ඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැහැ.
දැන් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ හයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි වී තිබෙනවා. මේක බරපතළ තත්ත්වයකැයි’’ විපක්ෂයේ දේශපාලනඥයෙක් පැවසුවේය. එහෙත් ආණ්ඩුව තවමත් බලාපොරොත්තු අතහැර නැත. ‘‘කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. ඉන්දියාවේ කොරෝනා වසංගතය තදින් පැතිර යන නිසා අපට ඉන්දියාවෙන් එන්නත් ගන්න බැරි වුණා. එහෙත් අපි විකල්ප සොයනවා.
මැලේසියාව සහ තවත් රටවල් කීපයක කොවිෂීල්ඩ් එන්නත්වල අතිරික්ත තිබෙනවා. අපි ඒ රටවල් සමග සාකච්ඡා කරලා ඒවා මිලදී ගන්නවා’’ යැයි ආණ්ඩුවේ ඇමැතිවරයෙක් පැවසුවේය.
කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ කොරෝනා හේතුවෙන් දෙකොන පත්තු වෙච්ච විලක්කුවක තත්ත්වයට ආණ්ඩුව පත්ව තිබෙන බවය. එක් අතකින් කොරෝනා මර්දනය කළ යුතුය. අනෙක් අතකින් ආර්ථිකය ආරක්ෂා කළ යුතුය. මේ දෙකම එකිනෙකට ප්‍රතිවිරුද්ධව ගමන් කරන කරුණුය. ආර්ථිකය නැංවීමට නම් තහංචිවලින් තොරව රට සම්පූර්ණයෙන් විවෘතව තැබිය යුතුය. එහෙත් ඊට සෞඛ්‍ය අංශවලින් කිසිදු ඉඩක් නැත. ආණ්ඩුවට සිදුවී ඇත්තේ ඉතා අරපරෙස්සමෙන් මේ තත්ත්වය කළමනාකරණය කිරීමටය.
නීතිපති දප්පුල ද ලිවේරා මේ මස 24 වැනිදින ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.
දප්පුල නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළේය.
යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ දප්පුල ද ලිවේරාය. ඔහු එවකට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ගෙන් පවා කොමිසමේදී ප්‍රශ්න කළේය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් කළ බවට ඔහු ජනප්‍රියතාවක් ලබාගත්තේය. පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දප්පුල ද ලිවේරාට නීතිපති තනතුර ලබාදුන්නේය. ඒ එවකට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඇතිවය. මේ අතර නීතිපතිවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැනඩාවේ තානාපති තනතුර ලබාදීමට යෝජනාකර ඇතැයි වාර්තාවේ. එහෙත් නීතිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමාට කැනේඩියානු මහකොමසාරිස් තනතුර අනවශ්‍ය බවකි.
තවදුරටත් තමාට රටට සේවය කිරීමට අවස්ථාවක් අවශ්‍ය බව දප්පුල ද ලිවේරා ප්‍රකාශ කර තිබේ. ‘‘නීතිපතිවරයා වයස අවුරුදු 60දී විශ්‍රාම යන්න ඕනේ. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු විශ්‍රාම යන්නේ අවුරුදු 65න්. නීතිපතිවරයාට නීති කේෂ්ත්‍රයේ තවදුරටත් කටයුතු කරන්න අවශ්‍ය නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරක් ලබාදිය යුතුයි. ආණ්ඩුව එවැනි තීන්දුවක් ගනීවිද කියන්න සැකයි. මොකද මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කර ඉවරයි’’ යැයි දේශපාලන විචාරකයෙක් කීවේය.
මේ අතර කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර වසරක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩු වී තිබේ. කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබුවේ හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස්ය. කිසියම් රටක් තවත් රටකට තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු හෝ පත්කළ පසුව අදාළ රටෙන් එම පුද්ගලයා පිළිගත යුතුය. නම්කරන නිලධාරියා පිළිගැනීමට හෝ පිළි නොගැනීමට හෝ එම රටට අයිතියක් තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නම්කළ මහකොමසාරිස්වරයා කැනඩාව නොපිළිගනී. ඒ අනුව සුමංගල ඩයස්ට කැනඩාවේ මහකොමසාරිස් තනතුරට යාමට හැකිවූයේ නැත. මේ දක්වා එම තනතුර හිස්ව තිබෙන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් අවසානයේ රජය තීරණය කර ඇත්තේ සුමංගල ඩයස් ඉතාලියේ තානාපතිවරයා ලෙස පත්කිරීමටය. මේ අතර සුමංගල ඩයස්ට අහිමි වූ කැනඩාවේ තානාපති ධුරය දප්පුල ද ලිවේරා විසින්ද ප්‍රතිකේෂ්ප කිරීම නිසා වෙනත් පුද්ගලයකු එම ධුරයට පත්කිරීමට රජයට සිදුවනු ඇත.
මේ අතර ඉන්දියාවට පත්කරනලද ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ද තවමත් එම ධුරයේ රාජකාරී ආරම්භ කර නැත. කොරෝනා වසංගතය හේතුවෙන් මිලින්දට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයේ රාජකාරී බාරගැනීමට හැකිවූයේ නැත. දැනට ඉන්දියාවේ කටයුතු කරනුයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයෙකි.
පළාත් සභා මැතිවරණය ගැන කතා බහ නැවත වතාවක් යටගොස් තිබෙන්නේය. කොරෝනා වසංගතය හේතුවෙන් ආණ්ඩුව හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂ හෝ මේ දිනවල පළාත් සභා ඡන්දය ගැන අවධානයක් යොමුකරන්නේ නැත. ආණ්ඩුවේ ඉහළපෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ පළාත් සභා ඡන්දය මේ වසර අවසානය පමණ දක්වා හෝ ලබන වසර දක්වා හෝ කල් යෑමට ඉඩ තිබෙන බවය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් දැඩිව තිබෙන බවය. එහෙත් හවුල්කාර පක්ෂවල හා වෙනත් සිවිල් සංවිධානවල නාම යෝජනා සම්බන්ධයෙන් විවිධ විරෝධතා ඊට බාධාවක් වී තිබෙන බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ආණ්ඩුවට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ රසායනික පොහොර තහනමකට සූදානම් වන බවටය. ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම් කිරීමට සූදානම් වන නිසා කෘෂිකර්මාන්තය කඩා වැටෙන බවද ගොවි සංවිධාන චෝදනා කරයි. කාබනික පොහොරවලින් අල, බෝංචි වැනි බෝග වගා කළ නොහැකි බවට ගොවියෝ චෝදනා කරති. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට නම් කාබනික පොහොර භාවිත ක්‍රමයකට රට පත්කිරීමටය. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ ද රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළ මේ දිනවල විවේචනයට ලක්කරමින් තිබේ.
විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුර සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් හා ආණ්ඩුව අතර අවුලක් හටගෙන තිබේ. විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ධුර කාලය තවත් මාස දෙකකින් පමණ නිමවීමට නියමිතය. ඒ අතර ඉකුත් දිනවල විශ්ව විද්‍යාලයේ පාලක සභාව රැස්වී සම්මුඛ පරීක්ෂණ පවත්වා අපේක්ෂකයන් තිදෙනකු තෝරා ගත්තේය. පාලක සභාව තෝරාගන්නා අපේක්ෂකයන් තිදෙනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ජනාධිපතිවරයා වෙත යැවීම ක්‍රමවේදය වේ. ඉකුත් දිනවල විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපතිධුරයට අයැදුම් කළ අපේක්ෂකයන් අතරින් ඉහළම ලකුණු ලබාගත් මහාචාර්යවරුන් තිදෙනකුගේ නම් ජනාධිපතිවරා වෙත යවා තිබිණි. එහෙත් එම නම් තුනම ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබීම නිසා දෙපාර්ශ්වය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
‘‘පාලක සභාව තෝරාගන්නා අපේක්ෂකයින් තිදෙනාගෙන් එක් අයකු උපකුලපතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි තෝරා යැවූ නම් තුනම ප්‍රතික්ෂේප වුණේ. මේක නරක තත්ත්වයක්. නරක පූර්වාදර්ශයක්. ඒ ගැන අපේ විරෝධය දක්වනවා’’ යැයි විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය කියන්නේය.
ඉකුත් සඳුදා දහවල් ජනාධිපතිවරයා ඇමති ප්‍රසන්නට දුරකතනයෙන් කතා කළේය. ‘‘කොරෝනා එන්නත්කරණ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙනවා. මේක ගැන දිස්ත්‍රික්කය පුරා වැඩසටහනක් හදන්න සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන්න’’ යැයි ජනාධිපතිවරයා කීවේය. ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට කතාකර ඒ ගැන සාකච්ඡා කළේය. ‘‘අපිට දැනට ලැබෙන කොරෝනා එන්නත ලබාදීමේදී ක්ෂේත්‍ර නිලධාරීන්, ගුරුවරුන්, බැංකු නිලධාරීන් වගේ රාජ්‍ය නිලධාරීන්ට දෙන්න පුළුවන් නම් හොඳයි’’ යැයි ප්‍රසන්න ගම්පහ දිසාපතිවරයාට යෝජනා කළේය.
ඉකුත් සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. මෙම රැස්වීමට ඇමති මහින්දානන්ද පැමිණ සිටියේ මුහුණ පුරා රැවුල වවාගෙනය. ‘‘මම මේ බැලුවේ කවුද මේ කැබිනට් මණ්ඩලයට ආපු අමුත්තා කියලා’’ යැයි ඇමති ඩලස් කීවේය. ‘‘ඇයි මෙහෙම හොඳ නැද්ද’’ මහින්දානන්ද ඇසුවේය.
‘‘නෑ හොඳයි මට එකපාරටම අඳුරගන්න බැරිවුණා’’ ඩලස් සිනාසෙමින් කීවේය.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී රටේ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය. පවතින තත්ත්වය යටතේ හුදකලා කරන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ගැනද ඇමතිවරු සාකච්ඡා කළහ. ‘‘ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වැඩපිළිවෙළක් සකස් කරන්න පුළුවන්’’ යැයි ඇමති බන්දුල කිවේය.
‘‘කළුතර තත්වය කොහොමද?’’ ජනාධිපතිවරයා රෝහිත අබේගුණවර්ධනගෙන් ඇසුවේය. ‘‘සර් කළුතරත් මේ වෙනකොට එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.’’ රෝහිත උත්තර දුන්නේය.
‘‘ගම්පහටයි කොළඹටයි 80000 බැගින් එන්නත් ලැබිලා තියෙනවා. ලබන ඉරිදා වෙනකොට එන්නත් ලබාදීලා ඉවරකරන්න පුළුවන්’’ යැයි ඇමති ප්‍රසන්න කීවේය. ‘‘මේ එන්නත්කරණ වැඩසටහන ක්‍රමවත්ව කරගන්න හැමෝම සෞඛ්‍ය අංශවලට සහාය දෙන්න. ඉදිරි සතියේ ඉඳලා රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වනවා.’’ ජනාධිපතිවරයා කීවේය. ‘‘පසුගිය දින කීපයේදීත් මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයේත් කොරෝනා එන්නත ලබාදීමේ වැඩසටහනක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න වෙනවා’’ යැයි ඇමති කෙහෙළිය කීවේය. ‘‘තවත් එන්නත් මිලියන තුනක් චීනයෙන් ඉක්මනින් ගෙන්නගන්න අපි කටයුතු කරනවා. හැකි ඉක්මනින් මෙම එන්නත්කරණ වැඩසටහන අපි ක්‍රියාත්මක කළ යුතුයි. අවශ්‍ය අනෙකුත් එන්නත් ප්‍රමාණයත් ලබාගන්න කටයුතු කරගෙන යනවා’’ යැයි ජනාධිපතිවරයා කීවේය.
කොරෝනා රෝගීන් වෙනුවෙන් ඇඳන් දස දහසක් සැකසීමේ ව්‍යාපෘතිය ගැන නාමල් රාජපක්ෂ ඇමති මණ්ඩලයට විස්තර කළේය. ‘‘අද සවස ඉඳන් ඇඳන් බෙදාහරින්න පටන් ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු අදියරේ රෝහල් 13ක තාවකාලික වාට්ටු ඉදිකරදීමට කටයුතු කරගෙන යනවා. තරුණසේවා සභාව, වරාය ගුවන් තොටුපොළ වගේ ආයතන කීපයක් මෙම ව්‍යාපෘතියට සහාය දෙනවා’’ යැයි නාමල් කීවේය.
(*** කස්තුරි)
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා රැල්ල