“බලන්න කරුමෙක හැටි. මෙන්න මෙයාට කොරෝනා හැදිලා”, “අරයට ඩෙංගු හැදිලා, පුදුම කරුමයක්නේ” මෙවැනි කතා අපට දැන් නිතර ඇසෙයි. මේ අන්දමට සමාජයේ ජීවත්වන බොහෝ අයට මුහුණපාන්න සිදුවන බොහෝ ලෙඩ දුක් හිරිහැර අලාබ වැනි දේ කර්මයට භාර කිරීමට පුරුදු වී සිටිති.
සත්වයාට බලපාන විවිධ සිදුවීම් පිළිබඳව ප්‍රාග් බෞද්ධ යුගයේ පැවැති විශ්වාස තුනක් පිළිබඳව ග්‍රන්ථවල සඳහන් වෙයි. සියලු දෙනාට බලපාන සැප දුක් ආදී සෑම දෙයක්ම පෙර කරන ලද කර්මය අනුව සිදුවේ යයි පුබ්බේ කත හේතුවාදය පිළිගත්හු අය ප්‍රකාශ කළහ. ලෝකය නිර්මාණය කළ දෙවියන්ගේ කැමැත්ත අනුව සත්වයන්ට සැප දුක් ආදිය ලැබෙන බව දේව නිර්මාණවාදීහු පෙන්වා දුන්හ. තෙවන මතය ඉදිරිපත් කළ අහේතු අප්පච්චය වාදීන්ගේ අදහස වූයේ වෙනත් කිසිදු බලපෑමකින් තොරව කවර හේතුවක්වත් නැතුව සත්වයාට සැප දුක් ඇති වන බවයි. මේ සියලු මත සහේතුකව බදු දහම මගින් ප්‍රතික්ෂේප කොට ඇත.
අභිධම්ම අත්ථ සාලිනී නම් අටුවා ග්‍රන්ථය ලෝකයේ සිදුවන සියලු දේවලට හේතු ප්‍රධාන න්‍යාය පහකට බෙදා පෙන්වා දී ඇත. පංච නියාම ධර්ම යනුවෙන් සඳහන්කොට ඇති ඒවා පිළිබඳ අවබෝධ කොට ගත් කල්හි සියල්ල සිදුවීමට කර්මය හේතුවන බවට ඉදිරිපත් කෙරෙන තර්කවල සාවද්‍යතාව සැමට වැටහෙනු නො අනුමානය.
නියාම ධර්මවලින් පළමු වැන්න උතු නියාම යයි. හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතුවල වෙනස් වූ දේශගුණ පැහැදිලිව දක්නට ඇත. එංගලත්ත, ප්‍රංශ ආදී රටවල සාප්පුවල ඇඳුම් පැළඳුම් පවා ඍතු අනුව වෙනස් කරන බව ප්‍රසිද්ධ කරුණකි. මෙසේ වෙනස් වීමට ඍතුවල ඇති වන විවිධ බලපෑම මිස කර්මයේ බලපෑමක් නැත.
බීජ නියාමය යනුවෙන් දැක්වෙන්නේ එක් එක් බීජවලින් හට ගන්නා ගස් වැල් ආදියේ දක්නට ලැබෙන වෙනස් වූ ස්වභාවයයි. වී, මුං, කඩල ආදිය එම ඇටවලින් ම හට ගනී. මේ අන්දමට මුල්වලින් මෙන්ම කඳකෑලිවලින් සමහර ඒවා පැළවෙයි. නිදිකුම්බා ගසේ යමක් ස්පර්ශ වූ විට වහා කොළ හැකිළෙයි. මේ සියල්ල සිදුවන්නේ බීජවල ඇති ගුණය නිසා මිස කර්මයෙහි බලපෑමකින් නොවේ.
අහසෙන් වැටෙන ජලය සැම විටම පහළට ගලා යයි. රාත්‍රියේ පවතින අඳුර හිරු උදාවත් සමග පහව යයි. බුදුවන උතුමා මවු කුසෙන් බිහි වූ විගස දෙපයින් ඇවිදියි. මේවා ධර්ම නියාම වශයෙන් සිදුවෙයි. ඒවාට කර්මයේ බලපෑමක් නැත.
කල්පනා කර බලන විට අපේ සිත පුදුම සහගතය. උත්පාද, ඨිති, භංග යන අවස්ථා තුනෙන් පැහැදිලිකොට ඇති අන්දමට විවිධ සිතුවිලි සිතේ හට ගනියි. සුළු වෙලාවක් පැවැතීමෙන් අනතුරුව ක්ෂණයකින් විනාශයට පත් වෙයි. සමහර විට සිතට ආ බොහෝ අරමුණු ටික වෙලාවකින් අමතක වී යයි. සමහර අයට වර්තමානයේ සිදුවීම් ඉතා ඉක්මනින් අමතක වේ. එහෙත් කලකට පෙර වූ සිදුවීම් අද මෙන් මතකයෙහි ඇත. මේ සියල්ල චිත්ත නියාමය ලක්ෂණකොට පවතින අතර ඒවාට කර්මයේ බලපෑමක් නො වෙයි.
ඉහත සඳහන් කළ න්‍යාය ධර්මවලට අයත් නොවන සිදුවීම් කර්ම නියාමයට අයත් සේ සලකති. කෙනකුට බලපා ඇත්තේ කර්මය දැයි දැන ගැනීමට ක්‍රම ඇත.
උදාහරණයක් වශයෙන් යම් කෙනකුට උදරාබාධයක් හටගෙන ඇතැයි සිතමු. ඔහුට සෑදී ඇති එම අසනීපය කුමක් දැයි පරීක්ෂණ මාර්ගයෙන් සොයාගෙන ඇත. එය පරීක්ෂාකොට බැලූ දක්ෂ වෛද්‍යවරු ඒ සඳහා ඇති නිවැරදි බෙහෙත් නියම කළහ. රෝගියා විසින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් එකී බෙහෙත් නිසි පරිදි භාවිත කරන ලදී. වෛද්‍යවරයා දක්ෂ වුවත් පරීක්ෂණයෙන් ලෙඩ අවබෝධ කර ගත්තත්, එයට සුදුසු බෙහෙත් භාවිතයට දුන්නත් ඒ රෝගියාගේ අසනීපය සුව නො වීය. එය සමහරවිට ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන අන්දමට කම්ම විපාකජා ආබාධා යනුවෙන් කම්ම නියාමය සේ පිළිගැනීමට සිදුවෙයි. මේ කරුණුවලට අනුව සත්වයාට බලපාන බොහෝ කරුණු අතුරෙන් සාමාන්‍ය ප්‍රමාණයක් පමණක් කර්ම නියාම ගණයට ඇතුළත් වන බව පෙනේ.
වර්තමානයේ ජීවත් වන සමහර අය හොරකම, මත් වතුර සහ මත්කුඩු භාවිතය, දුරාචාර ආදී බලවත් අකුසල ක්‍රියාවල යෙදී සිටිති. ඔවුනට බැලූ බැල්මට කිසිදු අසනීපයක් ඇති බවක් නො පෙනේ. මේ පිළිබඳව සිතන සමහර අය කුරාකූඹියකුටවත් කිසිදු කරදරයක් නොකරන කුඩා හෝ පවක් නොකරන ධාර්මිකව ජීවත්වන අයට විවිධ කරදර ලෙඩ දුක් ඇති වෙයි. අර අයට කිසිදු විපාකයක් නො දෙන්නේ ඇයි දැයි සමහරු සිතති.
නහි පාපං කතං කම්මං - සජ්ජු ඛීරංව මුච්චති
ඩහංතං බාල මන්වේති - භස්මච්ඡන්නොව පාවකො
ධම්ම පදයෙහි බාල වර්ගයෙහි සඳහන්වන ඉහත සඳහන් ගාථාවෙන් අපගේ අවධානය යොමු කරන උපදේශය ඉතා වැදගත්ය. “කෙනකුට මිදුනු කිරි ඕනෑකම තිබුණත් ගව දෙනකුගෙන් දෙවූ ගමන් කිරි නොමිදේ. නියමිත කාලය ඉකුත් වීමෙන් ම මිදේ. ඒ අන්දමට අප විසින් හොඳ හෝ නරක කර්ම සිදුකළ සැනින් බොහෝ ඒවායේ විපාක නොලැබේ.” මේ අන්දමට වැරදි වැඩ කළ තැනැත්තාට ඒ අවස්ථාවේම ඒවායේ විපාක නොලැබෙන්නේය. බුදුරදුන් ඇතුළු සෑම කෙනකුටම කල කර්මයෙහි විපාක සසර කොතනක දී හෝ විඳින්නට සිදු වනු ඇත.
යම් කෙනකු විසින් කරන ලද කර්ම යමක් පිසදමා ඉවත් කරන්නාක් මෙන් නැති කළ නොහැකිය. ඉඩකඩම්, දේපළ, දූ දරුවන් වෙත දෙන්නාක් මෙන් තමා රැස්කළ කර්ම ද වෙනත් අය වෙත භාරදිය නොහැකිය. එහෙත් මෙහි දී සිතට ගත යුතු විශේෂ දෙයක් වෙයි. එනම් අප විසින් පෙර කවර අවස්ථාවක හෝ කර ඇති අකුසල කර්මවලින් බොහෝ දුරට මිදී සැප උදාකරගත හැකි මාර්ගයක් බුදුරදුන් පෙන්වා දී ඇත.
අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන ලෝණඵල සූත්‍රය කෙරෙහි අපේ අවධානය යොමු විය යුතු වෙයි. එහි අකුසල කර්ම මැඩපවත්වා ගැනීම සඳහා භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා යන මාර්ග හතර ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දී ඇත.
භාවිත කාය නමින් දක්වා ඇත්තේ තම ශරීරය සම්පූර්ණයෙන් වැරදි, පව් වැඩවලින් ඉවත්කොට ගෙන යහපත් ක්‍රියාවල යෙදවීමයි. යම්කිසි කෙනකු බලවත් සේ රෝගී වී කරන ප්‍රතිකාරවලින් සුවයක් නොලබන අවස්ථාවල සමහරු නිරෝගි සුව පතා බෝධිපූජා පවත්වති. මරණයට කැපවූ හෝ කූඩුවල සිරකර සිටින සතුන් නිදහස් කරති. එසේ නැති නම් සංඝරත්නයට හෝ කිරිමවුවරුන්ට හෝ වෙනත් සුදුසු අයට දාන ආදිය පිරිනමති. මෙවැනි ක්‍රියාවන් නිසා සුවය ලබාගත් අය පිළිබඳ අපමණ තොරතුරු අසන්නට ලැබෙයි. එසේ සුව වීමට හේතුව සිදු කොට තිබූ අකුසල කර්මයට වඩා කරන ලද පින්වල බලය වැඩි හෙයිනි. බුද්ධ කාලයේ වැඩ සිටි අනුරුද්ධ රහතන් වහන්සේගේ බලවත් රෝගයෙන් පෙළුණු රෝහිණී නම් සහෝදරිය සුවපත් වූයේ සිදු කළ පින්වල බලයෙනි. දක්ෂ ජ්‍යොතිශාස්ත්‍රඥයන්ගේ මතයට අනුව අවුරුදු දොළහක් ආයුෂ තිබූ වසභ රජතුමා අවුරුදු හතළිස් හතරක් ආයු විඳින ලද්දේ රාජ්‍ය පාලනය ධාර්මිකව කරමින් රටවැසියා සඳහා වැව් අමුණු සෑදීම, මාර්ග සෑදීම, තුණුරුවන්ට උසස් සේ පූජා පැවැත්වීම, දුප්පතුන්ට අවශ්‍ය දේ ලබා දීම ආදී යහපත් සේවාවන් සිදු කරමින් ධාර්මිකව පාලනය කළ හෙයිනි. මේ අන්දමට අඩු තරමින් ගන්නා පංච ශීලය මැනවින් ආරක්ෂා කිරීම, කුසල පක්ෂයේ හිත දියුණු කිරීම, සියලු නරක වැඩවලින් ඉවත් වී දෙලොව යහපතට සහ නිවන් ලැබීමට හේතුවන යහපත් ක්‍රියාවල යෙදීම නිසා, ලෙඩ දුක් හිරිහැර ආදියෙන් තුරන්ව නිරෝගි සම්පන්න සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකි වෙයි.
ගරුක කර්මය හැර කවර කර්මයක් සිදු කර තිබුණත් ඒවා පාලනය කෙරෙන ප්‍රධාන කරුණු හතරක් වෙයි. ගති, උපධි, කාල, පයෝග යනු ඒ හතරයි. ඒවා එකක් පාසා විපත්ති සහ සම්පත්ති වශයෙන් කොටස් දෙකකට බෙදී අටක් බවට පත්වෙයි. උපදින තැන, ශරීරයේ ස්වභාවය, උපදින කාලය සහ කරන උත්සාහය යන කරුණු අනුව කළ කර්මය වෙනස් වෙයි. වළගම්බා රාජ්‍ය කාලයෙහි දොළොස් අවුරුද්දක් දරුණු සාගතයක් පැවැති අවස්ථාවේ මහත් සේ සිව්පසය ලැබීමට වාසනාව තිබූ සමහර භික්ෂූන්ට වුවත් බලගතු දුර්භික්ෂය නිසා ආහාරවලින් පීඩා විඳන්න සිදු වීම හොඳ නිදසුනකි. වර්තමානයෙහි මුළු ලෝකයම දරුණු කොරෝනා වසංගතයක් නිසා බලවත් සේ පීඩාවට පත්ව ඇත. අපමණ පින්වන්ත අය ශ්‍රී ලංකාවේ විසුවත් මොනතරම් දක්ෂ පාලකයන්, ආරක්ෂකයන් සහ විශේෂඥ වෛද්‍යවරයන් හා උපස්ථායකයන් සිටියත් ලොවම පෙළන කොරෝනා වසංගතයෙන් බේරීම පහසු නොවේ. කාල විපත්තියේ ස්වභාවය එය යි. අත්තාහි අත්තනෝ නාථෝ යන බුදු වදන අනුව තමා විසින් අනුගමනය කරන යහපත් ක්‍රියා තමන්ට පිහිට පිණිස වෙයි.
(***)
(ඡායාරූපය - අන්තර්ජාලය ඇසුරිනි)
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික
සහකාර විදුහල්පති ආචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කර්මයට අනුව වර්තමානය දැකීම