IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කාලගුණ විපර්යාසයට රට හුරුද?

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි අයහපත් බලපෑම් එල්ල වෙමින් තිබෙන බවක් දැකිය හැකිය. කෘෂි අංශයට එල්ල වී තිබෙන බලපෑම සුළුපටු එකක් නොවේ. එම බලපෑම කෙටි හා දිගු කාලීන වශයෙන් විස්තර කළ හැකිය. කෙටි කාලීන බලපෑම් යටතේ මේ වන විටත් වගා විනාශවීම් සිදු වෙමින් තිබේ. නියඟය නිසා ඇතැම් ප්‍රදේශවල වී හා එළවළු වගා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වී වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් එබැවින් ඉදිරියේ දී සහල් මිල ගණන් ඉහළ යෑමට ඉඩ ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මීට දින කිහිපයකට ඉහත දී ප්‍රකාශ කළේය. ඊට සමගාමීව අනෙක් භාණ්ඩවලත් මිල ගණන් වැඩි වීමක් බලාපොරොත්තු විය හැකිය. සැපයුම් අංශය යළිත් වරක් බිඳ වැටීම නිසා කෘෂි භෝගවල මිල ගණන් ඉහළ යා හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් ආර්ථිකයේ උද්ධමනකාරී තත්ත්වයක් ඇති වීමට ද පිළිවන.

අප විසින් සිදු කරනු ලබන ක්ෂේත්‍ර සමීක්ෂණවලදී පැහැදිලි වන දෙයක් නම්, ඇතැම් භෝග සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් යන තත්ත්වයක් උද්ගතව තිබීමය. ඒ අනුව, ගම්මිරිස් කෙසෙල් ආදී භෝග වගා සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමේ අවදානමකට මුහුණ පා තිබේ. එම භෝග යළි වගා කර අස්වනු නෙළීමට වසර තුන හතරක කාලයක් ගත වනු ඇත.

ඊට අමතරව මේ අවස්ථාවේ පැළ මට්ටමේ තිබෙන භෝග ද මේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ මුළුමනින්ම විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබේ. මේ නියං කාලගුණ තත්ත්වයෙහි අයහපත් බලපෑම තවත් වසර තුන හතරක කාලයක් පැවතිය හැකිය. ඒවා සැලකිය හැක්කේ දිගු කාලීන අහිතකර ප්‍රතිඵල හැටියටයි. ගොවීන්ගේ ආදායම් මට්ටම ද සැලකිය යුතු අගයකින් පහළ යනු ඇත.

පවතින තත්ත්වය හමුවේ විදුලි පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. ඒ අනුව ආයතනික හා ගෘහ මට්ටමින් වායු සමීකරණ හා විදුලි පංකා භාවිතය හැකිතාක් සීමා කළ හැකි නම් එය යහපත්ය. එසේම මේ වන විට විදුලි උත්පාදන වියදම් ද ඉහළ ගොස් තිබේ. ජල විදුලිය උපදවන ජලාශවල ජල මට්ටම් අඩු වී ඇති බැවින් තාපයෙන් විදුලිය නිපදවීම වැඩි කිරීමට ද සිදු ව ඇත. මේ හරහා නැවත වරක් විදුලි බල ක්ෂේත්‍රයේ අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බල මණ්ඩලය අලාභ ලබන තත්ත්වයක් කරා ගමන් කිරීමට ද ඉඩ ඇත.

පානීය ජලය සපයා ගැනීම සම්බන්ධ ගැටලුව ද මේ වන විට උග්‍ර අතට හැරෙමින් තිබෙන බවක් පෙනේ. එහිදී ජලය රැස් කර ගැනීම වෙනුවෙන් වෙනදාට වඩා වියදමක් දැරීමට ද සිදුව ඇත. ඇතැම් අයට පානීය ජලය රැස් කර ගැනීම සඳහා දුර බැහැරට යාමට සිදු ව ඇති අතර තවත් සමහරුන්ට ඒ වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමටත් සිදු ව තිබේ.

මේ අනුව පෙනී යන්නේ රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තිබූ අවස්ථාව මේ නියං කාලගුණ තත්ත්වය විසින් තවත් ඈතකට ගෙන යනු ලබමින් සිටින බවය. ඒ හෙතුවෙන් රජය සාර්ව ආර්ථික මට්ටමින් අත් කර ගත් ජයගහ්‍රණ ආපස්සට හරවන තත්ත්වයක් ද උද්ගතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සමගාමීව ආණ්ඩුව රාජ්‍ය වියදම් කප්පාදු කළ ද මේ නියං තත්ත්වයත් සමග පෙරට වඩා රාජ්‍ය වියදම් ඉහළ යෑමට නියමිතය. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ඇතැම් එකඟතාවලට පරිබාහිරව යමින් පවතින නියං තත්ත්වයත් සමග ආර්ථිකයට අවශ්‍ය මැදිහත්වීම කරන්නට ආණ්ඩුවට සිදු වනු ඇත.

මේත් සමගම ආහර සුරක්ෂිතතාව ද අවදානමකට ලක් වනු ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවගෙන් ලක්ෂ 30 කට ආසන්න පිරිසක් ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දී සිටින බව ඒ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් වරක් අනාවරණය විය. පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර අනාරක්ෂිතතාව තවදුරටත් උග්‍ර අතට හැරෙන තත්ත්වයක් දැක ගත හැකිය. මේ තත්ත්වය වැළැක්වීම සඳහා රජය මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙළි කර ඇති ආකාරයට එම දෙපාර්තමේන්තුව විසින් මේ නියං කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මීට මාස හයකට ඉහත දී විදුලි බල මණ්ඩලය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී අදාළ අංශ දැනුම්වත් කරනු ලැබ තිබුණි.

ඒ අනුව එම ආයතනවලට මේ වියළි කාලගුණ තත්ත්වයට මුහුණ දීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ බව මේ වන විට අනාවරණය වී තිබේ. පවතින ගැටලුකාරී තත්ත්වය මෙයයි. එයින් පෙනී යන්නේ ඒ ඒ ආයතනවලට මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දීම අරබයා සකස් කර ගත් විධිමත් ක්‍රමවේදයක් නොමැති බවය. ඒ ඒ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබූ බවත් මේ අනුව පැහැදිලි වේ. 

ඊට දැක්විය හැක් එක් නිදසුනක් නම්, සමනළ වැවෙන් ජලය නිදහස් කිරීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයයි. එයින් උඩවලව ජලාශයට අවශ්‍ය ජලය නිසි වේලාවේ දී මුදා හැරියේ නම් ජලය නොමැතිව විනාශ වූ වගා ආරක්ෂා කර ගත හැකිව තිබිණි. එහෙත් සමනළ වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හරින විටදීත් ඇතැම් වගා විනාශ වී තිබිණි. මහවැලි ගඟ උතුරට හැර වූ ව්‍යාපෘතිය මගින් කෘෂි බිම්වලටත් විදුලිය උත්පාදනයටත් ජලය බෙදා හරින බව අප අමතක නොකළ යුතුය. එයින් නොනැවතී පානීය ජලය ද එම ව්‍යාපෘතියෙන් ලබා දේ. මේ නිසා නියං කාලගුණ තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක දී ජලය පරිහරණය කරන්නන් අතර යම් ආකාරයක ගැටුම් නිර්මාණය වීමක් සිදු වේ.

එවැනි ගැටුම් ඇති වීම වැළැක්විය හැක්කේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන ඒ ගැන දත්ත හා තොරතුරු කල් ඇතිව දැන ගැනීමෙන් හා ඊට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමෙන් පමණි. ආයතන අතර දත්ත හුවමාරු කර ගැනීමට හා අවශ්‍ය තීරණ ගැනීම සඳහා ක්‍රමවේදයක් පැවතිය යුතුය. එහෙත් එවැන්නක් ඇති බවක් නොපෙනේ.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මෙවර යල කන්නයේ වී අස්වැන්න පහළ යා හැකි බවටත් ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවටත් මත පළ වේ. කෘෂිකර්ම අමාත්‍යවරයාම පවසන පරිදි මේ නියං කාලගුණ තත්ත්වය නිසා යල කන්නයේ වී වගාවට බරපතළ හානියක් සිදු වනු ඇත.

වීවලට අමතරව සෙසු භෝග වගාවලට ද එම බලපෑම එල්ල වේ. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ යෑමත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු වීමත්ය. එහෙත් තවමත් අපේ විදේශ විනිමය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳී නැත. එවැනි සන්දර්භයක සහල් සහ වෙනත් භෝග ආනයනය කිරීමට සිදු වුව හොත් එයින් ගෙවුම් ශේෂයට අයහපත් බලපෑමක් එල්ල වේ. ඒ ගැනත් අවධානය යොමු කළ යුතුය.

පවතින වියළි කාලගුණය දැඩිව බලපෑම් කර ඇති තවත් අංශයක් වන්නේ තේ වගාවය. තේ ඉඩම් අක්කර හයලක්ෂ හැටහත්දහසකට පමණ නියඟයෙන් දැඩි බලපෑම් සිදුව ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. කුඩා තේවතු හිමියන් ලක්ෂ පහකට අයත් තේ ඉඩම් අක්කර හාරලක්ෂ හත්දහස් පන්සියයකට නියඟයේ දැඩි පීඩනයට හසුවීමට සිදුව තිබේ. මෙයට සමගාමීව තේ අස්වැන්න විශාල වශයෙන් අඩුවීමට නියඟය හේතු වී ඇති බව අමුතුවෙන් කිවයුතුව නැත. තේ දලු මිල ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අවස්ථාවක අස්වැන්න ද අඩුවීමෙන් සිදුවන ආර්ථික බලපෑම ගණනය කිරීම තවමත් අපහසු කරුණකි.

ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන තේ කර්මාන්තය නියඟය හේතුවෙන් මෙලෙස අර්බුදයට ගමන් කිරීම රටේ නිර්මාණය කරනු ඇත්තේ බෙහෙවින් කනගාටුදායක තත්ත්වයකි. මේ කාරණය රටේ විදේශ ඉපැයීම් පහළ යාමට හේතු වන්නකි. ඒ මෙරටට ඩොලර් උපයාදෙන ප්‍රධාන කර්මාන්තයක් බවට තේ කර්මාන්තය පත්ව තිබීම හේතුවෙනි. එකී බලපෑමට අමතරව තේ වගාවේ සහ කර්මාන්තයේ නියුතු පවුල් රාශියකගේ ආදායම් බිඳ වැටීම හමුවේ නිර්මාණය වන සමාජ ප්‍රශ්න ද මේ අවස්ථාවේ අවධානයට යොමුවිය යුත්තකි.

ලබන මාසයේ දී එනම් සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේ දී රටේ උද්ගතව ඇති මේ තත්ත්වය සම්බන්ධයෙන්  එම අරමුදලට කරුණු වාර්තා කළ යුතු බව මගේ අදහසයි. ඒ, එම අරමුදල සමග ඇති කරගත් එකඟතා වැඩසටහනෙහි ඇතුළත් ඇතැම් ඒවා මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම නුසුදුසු විය හැකි හෙයිනි. ඒවා බදු අය කිරීම, රාජ්‍ය වියදම් කපා හැරීම, සහනාධාර ලබා දීම ආදී දේවල්වලට සම්බන්ධ වීමට පිළිවන. එබැවින් මේ සියලු දේවල් ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර මේ අර්බුදයට ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත්වීමට අදාළ හැකියාව ලබාගත යුතුය.

වියළි කාලගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන භෝග හඳුන්වා දීමටත් ජලය අඩුවෙන් භාවිත කළ හැකි කෘෂිකර්ම ක්‍රමවලට යෑමටත් අදාළ  පියවර පසුගිය කාලයේ දී ගනු ලැබීය. එහෙත් දැන් රටට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන වියළි කාලගුණ තත්ත්වයෙන් ඔබ්බට ගමන් කර ඇති බව අපි දනිමු.

මේ පසුබිමේ කෘෂි අංශයට කළ හැකි මැදිහත්වීම සීමා සහිත විය හැකිය. නිදසුනක් ලෙස වියළි කාලගුණයට ඔරොත්තු දෙන ගම්මිරිස් වැනි වගා ද මේ වන විට විනාශ වෙමින් තිබෙන නිසාය. මෙවැනි සන්දර්භයක අවශ්‍ය වන්නේ කල් ඇතිව පුරෝකථන කිරීමය. එවිට මෙවැනි තත්ත්වයක් යටතේ කවර වගාවන් කිරීම වැදගත් ද යන අවබෝධය ගොවීන්ට ලැබේ.

ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව වන ගහනය වැඩි කිරීම සඳහා පියවර ගැනීම ඉතා වැදගත්ය. එසේම ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත් කළ යුතුය. ඊට සාපේක්ෂව කෘෂිකර්මාන්තයෙහි ද සැලකිය යුතු වෙනසක් සිදු විය යුතුය. මේ සියලු දේ වෙනුවෙන් දිගුකාලීන සැලසුමක් අවශ්‍ය වේ. සාර්ව මට්ටමේ ක්‍රියාමාර්ග අවැසිය.


කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

කාලගුණ විපර්යාසයට රට හුරුද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 1247 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 377 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 783 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 747 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 428 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 447 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site