තම වගාවලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේ දී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට අමාත්‍ය ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල විවිධ මත ප්‍රකාශ වන බව පෙනේ. වන සතුන් කෘෂිකාර්මික කටයුතුවලට කරන හානිය ඉතා දරුණු තත්වයකට පත්ව ඇතැයි ද එය රිළා ත්‍රස්තවාදයක් බවට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
කෘෂිකාර්මික, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කර ඇති මෙම ප්‍රකාශයට විරෝධතා දක්වන ආකාරයේ අදහස් ද, පක්ෂපාතීව දක්වන අදහස් ද මේ දිනවල මාධ්‍ය මගින් ප්‍රකාශ වන ආකාරය අපට දැකගත හැකිය. නව රජයක් බලයට පත්වී කෙටි කලක් තුළදී ඇමතිවරයා කර ඇති මෙම ප්‍රකාශය රට මුහුණපා ඇති ඉතා දරුණු සහ සංකීර්ණ ගැටලුවක් පිළිබඳව රටේම අවධානය යොමු කරවන්නක් බව පැහැදිලිය.
මීට පෙර මෙම ප්‍රශ්නය පිළිබඳව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අදහස් ප්‍රකාශ කර තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර් යේෂණ හා පුහුණු ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවක් පදනම් කරගෙන වන සතුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය පිළිබඳව තොරතුරු ඔහු හෙළිකර තිබුණි. 2022 වසරේ පළමු භාගය තුළ ගොවීන්ගේ අස්වනුවලින් මෙට්‍රික් ටොන් 144,989ක් සතුන් විසින් විනාශ කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ගොවීන් වගා කරන බෝග වර්ග 28කට වන සතුන් හානි පමුණුවන අතර පොල් ගෙඩි මිලියන 93ක් විනාශ වී ඇත. වාර්ෂික වගා හානියේ වටිනාකම දළ වශයෙන් රුපියල් බිලියන 50 වන බව ද ඔහු පෙන්වා දී තිබුණි.
වගාවලට හානි කරන වනසතුන් අතර අලි, වඳුරු, රිළා, වල් ඌරෝ, දඬුලේන්නු, මොණරු සහ ඉත්තෑවෝ ද වෙති. මෙම හානිය පිළිබඳවත් එය වළක්වා ගැනීමට කටයුතු කළයුතු ආකාරය පිළිබඳවත් විවිධාකාරයේ පර් යේෂණ වාර්තා සහ ලේඛන විශාල ප්‍රමාණයක් ඇත. මෙම ගැටලුව දශක ගණනාවක් තිස්සේ පවතින්නක් වන අතර මේ වන විට එය උග්‍ර තත්වයකට පත්ව තිබේ. කෙසේ වුවද හානියේ ප්‍රමාණය පිළිබඳව ආසන්න වශයෙන් හෝ නිවැරදි ඇස්තමේන්තුවක් තවමත් ඉදිරිපත් වී ඇතැයි ප්‍රකාශ කළ නොහැකිය. එයට හේතුව හානිය පිළිබඳව ඇස්තමේන්තු කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබීමත් ඒ හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුව ඇති මුළු හානිය පිළිබඳව නිගමනයකට එළඹීමට නොහැකි වීමත් ය.
මේ දිනවල වනසතුන්ගෙන් සිදුවන හානිය පිළිබඳව විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් පෙන්වා දෙනු ලබන සිදුවීම්වලින් බොහෝ තොරතුරු හෙළිවේ. එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන බොහෝ දෙනකුට වන සතුන්ගෙන් සිදුවන හානිය පිළිබඳව සියැසින්ම දැක ගැනීමට හැකියාව ඇතැයි සිතමි. මා ඉපදුණු මහනුවර ප්‍රදේශයේ ගොවීන්ට තම වගා කටයුතු පවත්වාගෙන යාමේ දී රිළවුන්ගෙන් සිදුවන හානි පිළිබඳව අත්දැකීම් තිබුණේ නැත. එසේම කලාතුරකින් වල් ඌරන් දකින්නට ලැබුණ ද වගාවලට හානි සිදුවීමක් පිළිබඳව එකල අසන්නට ලැබුණේ කලාතුරකිනි. දඬුලේනුන් කලාතුරකින්වත් දැක ගැනීමට ලැබුණේ නැත. එසේ වුවද මේ වනවිට මහනුවර සමහර ප්‍රදේශ මෙම සතුන් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර තිබෙන බව දැක ගැනීමට හැකිවනු ඇත. වැඩිම හානිය සිදුව ඇත්තේ පොල් වගාවටය. පොල් මලෙන් එළියට එන කුඩා ගෙඩිවල සිට සියල්ලම සතුන් විසින් විනාශ කරනු ලබයි. එබැවින් බොහෝ ගොවීන්ට තම වතුවලින් කිසිදු නිෂ්පාදනයක් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර පොල් ගස් විශාල සංඛ්‍යාවක් ගෙබිමේ ඇතත් පොල් මිල දී ගැනීමට සිදුව තිබේ. ඌරු ආක්‍රමණය නිසා පොල් පැළ ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති අතර දශක කීපයකට පෙර මහනුවර ප්‍රදේශයේ පැවැති සරුසාර ගෙවතු දැන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. කිසිවකුටත් එළවළු, පලතුරු, අල, බතල සහිතව පවත්වාගෙන ගිය ගෙවතු තවදුරටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත.
බෝග වගාවලට මෙන්ම ජන ජීවිතවලට ද තර්ජනයක් වී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ වනඅලීන්‌ගෙන් එල්ල වී ඇති බලපෑමයි. එක් වසරක් තුළ රටට අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාව අති විශාලය. ඒ අතරම ස්ථිර භෝග වගාවලට මෙන්ම ගොවිතැනට ද ඔවුන්ගෙන් සිදුවන හානිය ද අතිවිශාලය. ඒ අතරම දුම්රියේ ගැටීම වැනි හේතු නිසා මිය යන අලින්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. එවැනි තත්වයක් යටතේ වන සතුන්ගෙන් ගොවිතැන ඇතුළු රටේ නිෂ්පාදන සහ දේපළ වත්කම් ආරක්ෂා කර ගැනීම ද අනෙක් අතින් අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම ද දැවැන්ත ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ පිළිබඳව මේ දක්වා විවිධාකාරයේ විසඳුම් ඉදිරිපත් කර තිබුණ ද ගැටලුව තවදුරටත් උග්‍රවීම සහ සංකීර්ණ වීමෙන් පැහැදිලි වන්නේ මේ දක්වා අනුගමනය කර ඇති විසඳුම් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බවයි.
තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීමට ඒවා විනාශ කරන වනසතුන් පිළිබඳව වගා බිමේ දී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවීන්ට නීතිමය බාධාවක් නැතැයි ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය මෙම ගැටලුව උග්‍ර වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලි කෙරෙන්නක් යැයි සිතිය හැක. මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා මේ දක්වාම අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගවල අසාර්ථක භාවය ද පිළිබිඹු කරන ප්‍රකාශයකි. පසුගිය කාලය තුළ දී රිළවුන් චීනයට යැවීම පිළිබඳව කථාබහක් ඇති වු නමුදු එම යෝජනාවලට කිසිදු පදනමක් නොපැවති බව පසුව හෙළි විය. 2010 - 2015 කාලයේ දී ගොවිතැන් විනාශ කරන වනසතුන් අල්ලා කැලෑවලට අතහැරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කර ඒ සඳහා මුදල් ද යෙදවු නමුත් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය. සමහර ප්‍රදේශවල ගොවීන් ප්‍රකාශ කරන්නේ තම ප්‍රදේශවල රිළවුන් ව්‍යාප්ත වී ඇත්තේ ඒ අකාරයට රිළවුන් ගෙනැවිත් දැමීම නිසා බවය.
එම කාලපරිච්ඡේදය තුළ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා විසින් ලාල්කාන්ත මහතා අද ප්‍රකාශ කරන ආකාරයේම ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබුණි. එනම් වල් ඌරන් මැරීම හෝ වල්ඌරු මස් පරිභෝජනයට ගැනීම නීතියට පටහැණි නොවන දෙයක් බව දැක්වෙන තත්වයක් ඇති කිරීමය. ඒ හේතුවෙන් වල් ඌරුමස් ආහාරයට ගැනීමට ඉඩ ලැබුණි. සමහර ප්‍රදේශවල පොලිසි විසින් ඉතා පැරණි නීතියක් භාවිත කරමින් වල් ඌරු මස් ප්‍රවාහනයට බාධා පැමිණුණු අවස්ථා වාර්තා වීමෙන් පසු එම අවහිරතා ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා විය. එම ක්‍රියා මාර්ග අනුගමනය නොකළා නම් මේ වන විට වල් ඌරු ගහනය විශාල ලෙස වැඩි වී වගා හානිය තවත් විශාල වීමට ඉඩ තිබිණි. කුකුල් මස් සහ බිත්තර මිල විශාල ලෙස ඉහළ යද්දී වල් ඌරන්ට බොහෝ පළාත්වල කෘෂිකර්මය වැනසීමට ඉඩදී ඇති රටකි ශ්‍රී ලංකාව. ඒ අතරම විශාල වශයෙන් සම්පත් වැයකර මසට ඌරන් ඇති කරනු ලබයි.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග බොහෝ දුරට සාම්ප්‍රදායික සහ අසාර්ථක උපායමාර්ග මත කේන්ද්‍රගතවී ඇති බව පෙනේ. අලින් පැමිණීම වළක්වා ගැනීමට අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාමාර්ගය අලිවැට වී ඇති අතර තවදුරටත් අලිවැට මතම රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනේ. වන සතුන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව පරිසරවේදීහු උනන්දු වෙති. එසේ වුවද මිනිසා සහ අලියා අතර සහජීවනයක් ඇතිකර දෙපාර්ශවයම සුරැකෙන ආකාරයේ නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳව අවධානය යොමුකර වීමට එම සංවිධාන උනන්දුවී තිබේ ද යන ප්‍රශ්නය පැන නගී. ශ්‍රී ලංකාව ද සැලකිය යුතු භූමි ප්‍රමාණයක් වනසතුන් වෙනුවෙන් රක්ෂිත ලෙස වෙන්කර තිබේ. මිනිසා විසින් රක්ෂිත ආක්‍රමණය කිරීම ද ගැටලුවක්ව පවතී. ඒ අතරම දියුණුවට පත්ව ඇති කිසිදු රටක් ස්වාභාවික පරිසරය රැක ගනිමින් දියුණුවට පත්වී නැත.
දියුණු රටවල පරිසරය ආරක්ෂා කිරීමට ද, සත්ව හිංසාව වැළැක්වීමට ද, වනසතුන් ආරක්ෂා කිරීමට දැන් කටයුතු කරමින් සිටී. එසේ වුවද වනසත්ව ගහනය රටේ සංවර්ධනයට ද, මහජනතාවට ද පීඩාවක්වීම වැළැක්වීම සඳහා සත්ව ගහන පාලනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. සමහර රටවල නියමිත කාලසීමාව තුළ සහ නියමිත ප්‍රදේශවල දඩයමට අවසර දීම වැනි ක්‍රියා මාර්ග ද අනුගමනය කරනු ලබයි.
බලයට පත්ව ඇති ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිසර ආරක්ෂණය පිළිබඳව මෙන්ම කෘෂිකාර්මික බෝග වගා වනසතුන්ගෙන් ආරක්ෂා කරදීම පිළිබඳව ද පැහැදිලි යෝජනා ඉදිරිපත් වී තිබේ. එසේම ලොව පුරා විවිධ රටවල වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස් නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රම භාවිත කරමින් සිටි. වන්ධීයකරණය වැනි ක්‍රියාමාර්ග රිළවුන් වැනි සත්ව ගහණය වැඩිවීම වළක්වා ගැනීමට යොදාගත හැකි ක්‍රියාමාර්ග ලෙස යෝජනා වී ඇති නමුදු එයින් අත්වන ප්‍රතිඵල එතරම් සතුටුදායක නොවන බව සුනඛ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෑහෙන කලක් එය භාවිත කර තිබිය දී සුනඛ ගහනය වැඩිවීම තවමත් ගැටලුවක් වී තිබීමෙන් පැහැදිලි වේ.
මහජනතාව ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට ක්ෂණිකව විසඳුම් ලබාදෙන ලෙස සහ තම ජීවිත සහ දේපළ වනසතුන්ගෙන් බේරාදෙන ලෙසය. පසුගිය දිනක ගොවීහු පරිසරවේදීන්ට තමන් සියලු පහසුකම් සපයන දෙන බවත්, එම අයට තම ප්‍රදේශවලට පැමිණ සති කීපයක් පදිංචි වී තමන් සතුන්ගෙන් විඳින දුක අත්විඳින ලෙස ඉල්ලා සිටියෝය. අලිවෙඩි අලින් පළවා හැරීමට තරමක් දුරට ආධාර වන නමුදු ඒවා ලබා ගැනීමට ගොවීන්ට පහසුකම් සැලසී නැත. තවමත් රිළවුන් පළවා හැරීමට ගොවීහු රතිඤ්ඤා උපයෝගී කර ගනිති. ඒ සඳහා වායු රයිපල් ඊට වැඩි ප්‍රබලත්වයකින් යොදාගත හැකි නමුදු ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් වායු රයිපල් භාවිත කරනුයේ සීමිත පිරිසක් පමණක් බව පෙනී යයි.
වගා හානි මෙන්ම ජීවිත හානි ද වළක්වා ගැනීම සඳහා යොදාගෙන ඇති කෙටි කාලීන ක්‍රියා මාර්ග ඔස්සේ ගොවියන් ශක්තිමත් කිරීම සඳහා රජය පියවර ගත යුතුව ඇත. ඒ අතරම මෙම ප්‍රශ්නයට දිගු කාලීන ස්ථිර විසඳුමක් ලබා දිය යුතුව ඇත. මෙවැනි තත්වයක් ඇති වීම කෙරෙහි බලපා ඇති කරුණු පිළිබඳව ද වගකිව යුතු පුද්ගලයන් සහ ආයතන පිළිබඳව ද කොතෙකුත් අදහස් දැක්විය හැකිය. එහෙත් දැන් අවශ්‍යව ඇත්තේ මෙම ගැටලුවට ස්ථිර සාර විසඳුමක් ලබා ගැනීමය. පරිසරවේදීහු පරිසරය සහ වනසතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිති. මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන බව ප්‍රකාශ කරමින් බලයට පත් වූ ආණ්ඩු විසින් මේ දක්වා අනුගමනය කරන ලද පිළිවෙත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. මේ දෙකොටසම වෙනුවෙන් වන්දී ගෙවීමට සිදුව ඇත්තේ අසරණ ගොවියන්ටය. තම වගාබිම්, දේපළ සහ ජීවිත ද විනාශ කර ගනිමින් මේ රටේ අසරණ ගොවීන්ට සහ ගම්වැසියන්ට ගම්වැදී ඇති අති විශාල සත්ව ගහනය නඩත්තු කිරීමට සිදුව තිබේ. වෙනත් කිසිදු රටක මෙවැනි තත්වයක් දක්නට ඇතැයි නොසිතමි. මෙම තත්වය වහා නැවැත්විය යුතුය. එසේ නොමැතිනම් ගොවීන්ට ගොවිතැන වෙනුවට පරිසරය සහ වන සතුන් ආරක්ෂා කිරීමේ වගකීම පවරා වන සත්ව ගහනය වැඩිවීම අනුව ආදායම් වැඩිවන ආකාරයේ ක්‍රමයක් හඳුන්වාදිය යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කෘෂි අර්බුදයට තිරසාර විසඳුමක්
sam Friday, 13 December 2024 06:47 PM
දශක ගණනාවක සිට පවතින වනසතුන්ගෙන් කෘෂි බෝග වලට වන හානිය වළක්වා ගැනීමට තිරසාර විසඳුමක් අවශ්‍ය වේ. වනසතුන් නොමරා විසඳුමක් ලබාදීමට කටයුතු කළයුතුවේ. වනසතුන්ගෙන් (wild bore, මොනරුන්, රිලවුන්, ඉත්තෑවුන්) වන හානියට විසඳුම් සෙවීමට වර්තමාන රජයට හැකියාවක් තිබිය යුතුවේ. ආචාර්යවරුන්, මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ඉන්ජිනේරුවන්ගෙන්, උගතුන්ගෙන් සමන්විත වර්තමාන රජය කටයුතු කළයුතුවේ. වනසතුන්ගෙන් වන හානිය වළක්වා ගැනීම සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීමට හැකියාව ඇත. සත්‍ය වශයෙන්ම රජය නිර්මාණශීලි හෝ බුද්ධිමත් රජයක් නම් ඉතාම උපායශීලීව මෙම ගැටලුව විසඳීමත් සමග රජයට ආදායමක් (සතුන් මැරීම එයින් අදහස් නොවේ) ලබාගැනීමට පවා හැකියාව ඇත..