IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කැසිනෝ තුළින් රටක් දියුණු කළ හැකි ද?

 

 

ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක‍්‍රමෝපායය ”කැසිනෝ” ව්‍යාපාරය ලෙස වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුව සමාජගත කරමින් සිටී. ආණ්ඩුවේ බහුතරයක් ඊට පක්‍ෂව කරුණු දක්වමින් සිටින අතර හෙළ උරුමය ඇතුළු සුළුතරයක් ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිටී. රට තුළ කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව ඇති ඇල්මැරුණු විරෝධය හමුවේ ආණ්ඩුව විටෙක අඩියක් පසුපසට ගනිමින් ද නැවතත් අඩි දෙකක් ඉදිරියට තබමින් ද තමන් නිතිපතා විහිදුවා හරින මාධ්‍ය මෙහෙයුමේ ආරක්‍ෂාව හා ආශිර්වාදය මැද දිය යටින් වේගයෙන් ඇදී යන දිය වැලක් සේ මතුපිටට නොපෙනෙමින් ක‍්‍රමිකව එහෙත් වේගයෙන් ඇදී යයි.
ආණ්ඩුවෙන් උලූප්පා දක්වන එකම කරුණ වන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කොට එමගින් වැඩි විදේශ විනිමයක් අත් කරගැනීම සඳහා ඇති ප‍්‍රධානතම හා පහසුම මග වනුයේ මහා පරිමාණ කැසිනෝ හල් පිහිටුවා ලොව ප‍්‍රසිද්ධ කැසිනෝ අන්තුවන්ට ලංකාවේ දොරගුළු හැර දැමීම බවයි. ඊට සාක්‍ෂි ලෙස දක්වනුයේ දැනටමත් කැසිනෝ ව්‍යාපාරය පිහිටුවා ඇති රටවල් ආර්ථික වශයෙන් විශාල ප‍්‍රතිලාභ ලබන බවයි.



මෙහි දී පිළිතුරු සොයාගත යුතු බරපතළ කාරණා කිහිපයක්ම මතු වෙයි.


1. ශ්‍රී ලංකාවේ ආදායම වැඩි කරගැනීමට ඇති එකම මග සංචාරක ව්‍යාපාරය ද?
2. ලෝකයේ සංචාරක ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන රටවල කැසිනෝ ව්‍යාපාරය ද ක‍්‍රියාත්මක වන්නේ ද?
3. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැක්කේ කැසිනෝ හඳුන්වා දීමෙන්ම පමණක් ද?
4. ආණ්ඩුව ලංකාව තුළ ”කැසිනෝ” ව්‍යාප්ත කිරීමෙන් බලාපොරොත්තු වන ලංකාවේ ආදායම ඉහළ නැංවීම යථාර්ථයක් ද?
5. ලෝකයේ කැසිනෝ ව්‍යාපාරය පවත්නා රටවල ”කැසිනෝ” ව්‍යාපාරිකයන්ට බදු සහන සලසා තිබේ ද?

 


ලෝකයේ පිළිගත් රටවල් 193න් බොහොමයක් රටවල සංචාරක ව්‍යාපාරය ද එක් ප‍්‍රධාන ආදායම් මාර්ගයකි. එහෙත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කැසිනෝ ව්‍යාපාරය තම රට තුළ පිහිටුවීමට ඉඩ ලබා දී ඇත්තේ ඉන් රටවල් අතලොස්සක් පමණි. එසේ ඉඩ දී ඇත්තේ ද ඉතා දැඩි කොන්දේසි හා සුපරික්‍ෂාකාරී නියාමන ක‍්‍රමවේද යටතේය.

අපේ අසල්වැසි මහා රාජ්‍යය, ඉන්දියාව තුළ ”කැසිනෝ” සපුරා තහනම්ය. එහෙත් ඔවුන් සංචාරක කර්මාන්තය ඔස්සේ ඉතා විශාල ආදායමක් ලබමින් සිටී. ලෝකයේ වැඩිම සංචාරකයන් පිරිසක් ඇදී එන ප‍්‍රධානතම රටවල් දහය අතර පසුගිය තිස්පස් වසර තිස්සේම රැුඳී සිටින චීනයේ ද කැසිනෝ ව්‍යාපාරය සපුරා තහනම්ය. වේගයෙන් ඉහළ ආර්ථිකයක් පෙන්වන අසල්වැසි කුඩා රාජ්‍යය මාලදිවයිනේ තත්ත්වය ද එලෙසමය. 1978 වසරේ දී මුවම්මර් අබ්දුල් ගයුම් ජනාධිපති ලෙස පත්වී  බලයට ආ විගසම රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ඉඩකඩ සොයා බැලූවේය. ඒ සඳහා උපදෙස් ලබාගනු පිණිස එංගලන්තයේ විද්වත් මණ්ඩලයකට තම රටට පැමිණෙන්නැයි හෙතෙම ආරාධනා කළේය. සති ගණනාවක් කරුණු සොයා බැලීමෙන් පසු ඔවුන් අබ්දුල් ගයුම්ට දුන් උපදෙස් වූයේ ප‍්‍රමාණවත් භූමියක් එක තැනෙක නැති බැවින් ද දුපතෙන් දුපතට යාමට ඔරු හෝ බෝට්ටු සේවයක පිහිට පතන්නට වන බැවින් ද සංචාරක කර්මාන්තය එරට තුළ ස්ථාපිත කිරීම ප‍්‍රායෝගික නොවන බවයි. අබ්දුල් ගයුම් උත්සාහය අත්හැරියේ නැත. හෙතෙම දෙවැනි වර ඉතාලි ජාතික සංචාරක ව්‍යාපාරයේ උපදේශක කණ්ඩායමකට ආරාධනා කළේය. ඔවුනගේ නිගමනය වූයේ ”පෞද්ගලිකත්වය” (Privacy)රැකෙන පරිදි සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ලොව පුරා ධන කුවේරයන් ඉලක්ක කරගනිමින් මාලදිවයිනේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉතා පුළුල් අවස්ථාවක් ඇති බවය. ඒ සංකල්පය ඔස්සේ සංචාරක කර්මාන්තය ආරම්භ කොට  ඉතා සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත් නමුදු ඔවුන් කිසි විටෙකත් ”කැසිනෝ” නමැති බූවල්ලාට තම රටේ දේශයේ සාරය උරා බීමට ඉඩ තැබුවේ නැත. පසුගිය 2012 වසරේ මාලදිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9,58,000කි. එය, එම වසරේම පිටකොටුවේ බර උසුලන්නට පැමිණෙන නාටාමිවරුන්, හෝටල් සහ තොග කඩවල අත්උදව්කරුවන්, ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා ලංකාවට ගෙන්වූ චීන ජාතික සිරකරුවන් ද ඇතුළුව ලංකාවට පැමිණියේ යැයි ගණන් ගැනුණු සංචාරකයන් සංඛ්‍යාව මෙන් දෙගුණයක මෙන් ප‍්‍රමාණයකි. කැසිනෝ නොතිබුණි. සංචාරකයන් පැමිණ තිබුණි.

 



වැදගත් අනෙක් කරුණ වන්යේ ”කැසිනෝ” ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන අතලොස්සක් වූ රටවල් කිහිපයේ ද ඒ සඳහා කොන්දේසි ගණනාවක් වීමයි. ඒ අතරින් ප‍්‍රධානතම කොන්දේසිය වනුයේ සිය රටේ ජනතාවගෙන් කැසිනෝ කර්මාන්තය ඉවත් කොට තැබිය යුතු වීමයි.

මැලේසියාව කැසිනෝ හඳුන්වා දී ඇති රටකි. එහෙත් හතු පිපෙන්නාක් මෙන් රට සෑම තැනම කැසිනෝ හල් ආරම්භ කිරීමට ඉඩ සලසා නැත. රටටම ඇත්තේ එකකි. එය ද ”ගෙන්ටින් හයිලන්ඞ්” නම් වූ මිනිස් වාසයෙන් තොර ප‍්‍රදේශයක් වූ රටේ ඈත කෙළවරක පිහිටි භූමියක පිහිටුවා ඇත. එයට  ඕනෑම වාහනයකින් යා නොහැකිය. සියලූ කොන්දේසි සපුරාලූ පසු අදාළ ආයතනයේ වාහනයෙන් සූදු කෙළින්නා රැගෙන යා යුතුය.

ලොව පුරා විශාල සංචාරකයන් සංඛ්‍යාවෙන් නිතිපතා ඇදී එන සිංගප්පූරුවට ඇත්තේ කැසිනෝ හල් දෙකකි. ආසියාවේ විශාලතම කැසිනෝ ආයතනය ”මරීනා බේ සෑන්ඞ්ස්” කැසිනෝහල ඇත්තේ සිංගප්පූරුවේය. එහෙත් එය සිංගප්පූරු ජාතිකයන්ගෙන් ඉවත්ව තැබීමට සිංගප්පූරු රජය පියවර ගෙන ඇත. සිංගප්පූරු ජාතිකයෙකු මෙම කැසිනෝහල් දෙකින් එකකට යන්නේ නම් උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ සිංගප්පූරු ඩොලර් සියයක් පමණි. එහෙත්, එම සූදු කෙළින්නාගේ පවුල් අය ඊට විරුද්ධත්වය දැක්වුවහොත් නැවත දිනෙක පැමිණෙන්නේ නම් සිය පවුලේ උදවියගෙන් කැසිනෝ ගැසීමට අනුමැතිය දුන් ලිපියක් රැුගෙන ආ යුතුය. ඊට අමතරව කැසිනෝ නියාමනයට ද අවශ්‍ය නීති ප‍්‍රතිපාදන සලසා ඇත. වැදගත් වනුයේ එසේ නීතියෙන් නියාමන ප‍්‍රතිපාදන සලසා තිබීම නොවේ. ඒවා ප‍්‍රායෝගික තලයේ සැබෑවටම ක‍්‍රියාත්මක වීමයි. රජයේ බදු නිලධාරීන් ද ආරක්‍ෂක නිලධාරීන් ද දින 365 පුරාවටම පැය 24ක් තිස්සේ කැසිනෝ ශාලාවල ඇස ගසාගෙන සිටී.

කොළඹ නගරයම කැසිනෝ නගරයක සිරි ගන්වන්නට ආණ්ඩුව සැරසෙනුයේ රටට ඉහළ ආදායමක් ලැබෙන බව පෙන්වමිනි. කැසිනෝ සඳහා දැඩි කොන්දේසි යටතේ හෝ ඉඩ දී ඇති අනෙකුත් රටවල් ඉන් ආදායම් ලබනුයේ ඒ මත බලපත‍්‍ර ගාස්තු හා බදු මුදල් පැනවීමෙනි. එහෙත් අපේ ලංකාවේ පාලකයන් කැසිනෝ සූදු අන්තුවන් ගෙන්වනුයේ ලෝකයේ කිසිදු රටක කිසිදු ව්‍යාපාරයකට නොදුන් බදු සහන ඉතා දීර්ඝ කාලයකට ලබා දීමෙනි.
යම් රටක අත්‍යාවශ්‍ය ක්‍ෂේත‍්‍ර වෙනුවෙන් එකී ක්‍ෂේත‍්‍ර පාඩු රහිතව පවත්වාගෙන යාම අපහසු වන විටෙක බදු සහන සලසා දෙයි. එසේම, මහා පරිමාණයෙන් රටේ රැුකියා උත්පාදනය ඉහළ නැංවීමට තුඩු දෙන දස දහස් ගණනින් රැකියා අවස්ථා බිහි කරන කර්මාන්ත ශාලා සඳහා ආයෝජකයන්ට කිසියම් කෙටි කාලයක් සඳහා බදු සහන සපයයි. ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතිය රටේ පැවැත්මට අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක් නොවේ. එසේම ඉන් උපදවන්නේ යැයි ප‍්‍රකාශ කර ඇති රැකියා ගණන 2,600කි. මේසා විශාල බදු සහන කැසිනෝ වැනි රටේ සදාචාරයේ පිරිහීම හා සම්බන්ධිත ක්‍ෂේත‍්‍රයකට නොවී අන් ක්‍ෂේත‍්‍රයකට ලබා දෙන්නේ නම් රැකියා ලක්‍ෂ ගණනින් බිහි කරලන කර්මාන්තශාලා ලංකාව තුළ ඉදි කිරීමට  ඕනෑ තරම් ජාත්‍යන්තර කර්මාන්තකරුවන් ඉදිරිපත් වනු ඇත.

සිංගප්පූරුවේ කැසිනෝ ආයතන දෙක පිහිටුවීමට බදු සහන දුන්නේ නැත. ඒ වෙනුවට එරට තුළ කැසිනෝහලක් විවෘත කිරීමේ අවසරය ලබා දීම ටෙන්ඩර් කළේය. ඒ සඳහා ලොව පුරා කැසිනෝ ව්‍යාපාරිකයන් ඉහළම මිල ගණන් ගෙවීමට ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ අතර අවසානයේ දී ඉතා විශාල මුදලකට ඇමෙරිකාවේ ලාස් වේගාස් සෑන්ඞ්ස් ආයතනයට සිංගප්පූරුව තුළ ”මරීනා බේ සෑන්ඞ්ස්” නමින් අනුබද්ධ ආයතනයක් පිහිටුවීමට අවසර දුන්නේය.

ලංකාණ්ඩුව ගනුදෙනු කරන කැසිනෝ රජාට තම මව් බිම වූ  ඕස්ටේ‍්‍රලියාවේ කැසිනෝහල් දෙකක් ආරම්භ කළ හැකි වූයේ එරට ආණ්ඩුව පැනවූ ඉතාම දැඩි කොන්දේසි ගණනාවකට එකඟ වීමෙන් පසුවය. එරට සිඞ්නි නුවර ආරම්භ කළ පැකර්ගේ කැසිනෝහල ආරම්භ කිරීමට ඔහුට පළමු ගඩොල් කැටය බිම තැබිය හැකි වූයේ ඩොලර් මිලියන සියයක මුදල් එරට රජයට ගෙවීමෙන් පසුවය.

පසුවදා සිට ලැබෙන ආදායමින් 29%ක මුදලක් එරට ආණ්ඩුවට ගෙවීමට ද නියම විය. එසේම වාර්ෂිකව මුදල් ගෙවා බලපත‍්‍ර ගාස්තු අලූත් කරගත යුතු විය.
 ඕස්ටේ‍්‍රලියාව කැසිනෝ සඳහා 29%ක බද්දක් අය කරන විට ”මැකෝවා රටේ කැසිනෝ බද්ද 40%කි. සිංගප්පූරුවේ කැසිනෝ ආදායම් බදු ලෙස 25%ක් හා වැට් බදු ලෙස 17%ක් ගෙවිය යුතුය. පිලිපීනයේ ආදායම් බදු ලෙස 27%ක් හා වැට් බදු ලෙස 30%ක් ගෙවිය යුතුය.

සත්‍ය වශයෙන්ම කැසිනෝ බදු සහන ආශ‍්‍රිත කතන්දරයේ සඟවා ඇති භයානකකම වන්නේ ඉදිරියේ පිහිටුවන කැසිනෝ ශාලාවලින් බදු නොලැබී යාම පමණක් නොව දැනට බදු ගෙවමින් පවතින කැසිනෝහල්වලින් ද බදු නොලැබී යාමයි. ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය දිනෙක මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය අනුව එය පැහැදිලි වේ.

”ඩොලර් මිලියන 200කට වැඩි ව්‍යාපෘති සඳහා ලංකාවේ බදු සහන දෙනවා. ඒ බදු සහන මත කාමර 400, 500 ඇති එපාට්මන්ට්, සුපර් මාකට් ඇතුළු විවිධ පහසුකම් ඇති ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. එවැනි ව්‍යාපෘති අනුමැතිය ලබා දුන් විට ඒවායේ විනෝදාස්වාද කටයුතු සංචාරක කටයුතු සඳහා වූ දේවල් පවත්වාගෙන යාමට ඉඩ තිබෙනවා. නමුත් අපි ඒවා පවත්වාගෙන යාමට බලපත‍්‍ර දෙන්නේ නෑ. ඒ අයට කැසිනෝ සෙල්ලම් කරන්න අවශ්‍ය නම් බදු ගෙවන එකත් මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ බදු ගෙවන කැසිනෝ ස්ථාන 6ක් ලංකාවේ තියෙනවා නම් කොතැනකට වුවත් මාරු වෙන්න  ඕනෑ ඒ අයම තමයි.

මේ ප‍්‍රකාශයෙන් කියවෙන්නේ කුමක් ද? කැසිනෝ ශාලා ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘති හා සම්බන්ධ කළ විට ඔවුන්ගේ දැනට බදු ගෙවන කැසිනෝ ශාලා සඳහා ජේම්ස් පැකර්ට ලැබෙන බදු නිදහස ලැබෙන බවය. එනම්, ඔවුන් දැනට ගෙවන බද්දෙන් ද නිදහස් බවයි. 2011 වසරේ අයxවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැසිනෝවල ආදායම් බදු සියයට 40 දක්වා වැඩි කරන බවට කළ ප‍්‍රකාශය ආපසු හැරවෙන බවයි.

යම් රටකට යම් ක්‍ෂේත‍්‍රයක දියුණුව සඳහා සුදුසු යෝජනා ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනුයේ අදාළ ක්‍ෂේත‍්‍රයේ රාජ්‍ය ආයතනයයි. උදාහරණයක් ලෙස තේ අපනයනය දියුණු කරලීමට තේ පොහොර නම්, කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා තේ පොහොර සහනදායිී මිලකට ලබා දිය යුතු බවටත් නිගමනය කර යෝජනා කරනුයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලයයි. එමෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සුදුසු ක‍්‍රියා මාර්ග තීරණය කළ යුත්තේ ලංකා සංචාරක මණ්ඩලයයි. එහෙත් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ලංකාවේ කැසිනෝ ව්‍යාප්ත කළ යුතු බව ලංකා සංචාරක මණ්ඩලය කිසි දිනෙක වචනයකින් හෝ සඳහනක් කොට නැත. මෙය හුදෙක් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත සිදු වන්නකි.

කැසිනෝ මගින් ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු වන බව කියැවේ. ඒ තුළ කළු ආර්ථිකයක් බිහි වීම නොවැළැක්විය හැකිය. ඊටත් අමතරව, අල්ලසෙන්, දුෂණයෙන් මඩි තර කරගත්  ඕනෑම අයෙකුට කැසිනෝ පිට දමා චෝදනාවලින් ගැලවිය හැකිය. එවැනි චෝදනා ලත් අධික සම්පත් රැස් කරගත් යම් රාජ්‍ය නිලධාරියෙකුගේ මුදල් ලැබුණු ආකාරය ප‍්‍රශ්න කිරීමේ දී  ඒවා තමන් කැසිනෝවලින් ලත් දිනුම් ලෙස දැක්වුවහොත් එම විත්තිවාචකය නොපිළිගෙන සිටිය හැකි වන්නේ ද?

ආණ්්ඩුව කැසිනෝ කලාපය ඞී.ආර්. විජේවර්ධන මාවතෙන් ඔබ්බට ගෙන නොයන බවට සිව් දෙසටම දිව්රයි. එහෙත් පසුගියදා තාවකාලිකව ඉවත් කරගත් පනත් කෙටුම්පතේ ව්‍යාපෘති සඳහා වෙන් කරන ප‍්‍රදේශය ලෙස දක්වා තිබූයේ කොම්පඤ්ඤවීදියේ අක්බාර් මාවත සම්බන්ධ වන ග්ලෙනි වීදියයි. තව ද ඒවා හඳුන්වනුයේ මිශ‍්‍ර සංවර්ධන එනම්, කැසිනෝ ව්‍යාපාරයට අමතරව වෙනත් ක්‍ෂේත‍්‍ර ද ඒ තුළ දියුණු කරනු ලබන බවයි. මහල් නිවාස සිය ගණනින් ඒ තුළ සාදන බවත් කියැවේ. කැසිනෝ සූදු අන්තුවන් මාස ගණන්, අවුරුදු ගණන් මහල් නිවාසවල නැවතී සූදු කෙළින්නේ නැත. වැඩිම වුවහොත් සතියකි. දෙකකි. එතැන දී ප‍්‍රධාන ගැටලූ දෙකක් පැන නගී. පළමු වැන්න නම් ලංකාවේම කැසිනෝහල් එක විදියකට පමණක් සීමා කිරීමේ හල් අත්තේ දිවුරූ පොරොන්දුවට සිදු වන්නේ කුමක් ද යන්නයි. දෙවැනි කාරණය කැසිනෝ ශාලා මුවාවෙන් සියයට සියයක බදු සහන යටතේ ආනයනය කරනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය, නාන කාමර කට්ටල ඇතුළු උපකරණ නම්වල හා ගෘහ භාණ්ඩ යොදාගෙන නිවාස ඇතුළු වෙනත් ව්‍යාපෘතීන් නොව, ජාවාරම් කිරීමට හිතවත් ව්‍යාපාරිකයන්ට ඉඩ දෙමින් තිබෙන්නේ ද යන්නයි.

කැසිනෝ ආශ‍්‍රිතව පාදඩ සමාජයක් බිහි වීම නොවැළැක්විය හැකිය. සූදුව සමග සුරාව සහ නුරාව අත්වැල් බැඳගනී. මේ වන විටත් හිමිදිරිය වන්නට ආසන්නයේ කොල්ලූපිටිය ප‍්‍රදේශය අවටින් මහ පාරට ගොඩ බසින මද මත් ගතියෙන් හා නිදිමත බේරෙමින් සිටින ගැමි තරුණියන් ඊට හොඳ සාක්‍ෂියකි. එදා සුද්දන්ට යට ජංගි මහන එවුන් ලෙස එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විරෝධීන්ගේ ගැරහීමට ලක්වූ අපේ අහිංසක ගැමි තරුණියන් මෙදා අඩ නිරුවතින් අතක මත්පැන් වීදුරුව ද දෙතොලේ සිගරැට්ටුව ද රඳවාගෙන කර වටා අත යවමින් සුද්දන්ගේ තුරුලේ නැළවෙනු දැක්ම මේ ආණ්ඩුව ධර්මද්වීපයක් කරා අපව ගෙන යන ගමනේ කවර සන්ධිස්ථානය ද?

 



අදහස් (0)

කැසිනෝ තුළින් රටක් දියුණු කළ හැකි ද?

චමත් Sunday, 10 November 2013 08:19 AM

ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා 2007-2008 වකවානුවේ ලියා පලකල 'අවසන් සිද්ධාන්තය' පොතේ (එස් ඇන්ඩ් ටී ග්රූප් පරිවර්තනයේ) 40 පිටේ අවසන් චේදේ තියනවා "මේ වනවිට කොළඹ නගරයේ පැවති අවන්හල්, රා පෙරන ස්ථාන සහ කැසිනෝ හල් නිසාම 'ඉන්දියන් සාගරයේ ලාස් වේගාස්' යන අනුවර්ත නාමයෙන්ද කොළඹ හැඳින්විණ" කියලා. එතුමා මේ ලියන්නේ තව කීප වසරක අනාගතය ගැනයි. එම අනාවැකිය කෙතරම් ඉක්මනින් සත්‍ය වේගෙන එනවද?(නදී)

:       0       0

ලාල් ජකර්තා Monday, 04 November 2013 08:40 PM

ඔය චීනය,ඉන්දියාව,මාලදිවයින වැනි රටවල් ආශ්චර්යවත් ගමනක් යන්නේ නැහැ.ආශ්චර්යවත් ගමනක් යන ශ්‍රී ලංකාවට රජයෙන්ම ආශිර්වාදයක් සහිතව හොද කැසිනෝ පොළක් පටන් ගැනීමට අර ඇදීම,ආශ්චර්යවත් ගමනේ අංගයක්ද? අනාගතයේදී පැකර්ලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය අල්ලේ නටවන හැටි බලාගන්න බැරියැ. වර්තමාන දේශපාලුවෝ ටිකදෙනා කවදාහරි මැරෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයත්,අනාගත පරපුරත් අදුරු ආගාධයකට හෙළා බව නම් පැහැදිලියි. (නි)

:       0       0

ලාරා Tuesday, 05 November 2013 04:27 AM

එක ඇමතියෙක් කියනවා අය වැයෙන් සියයට දශම ගානක්ලු ඇමති මණ්ඩලයේ වියදමට යන්නේ ?.රුපියල් බිලියන 2400 කින් 1.3% ක් කියන්නේ කීයක්ද ?.මේ ඇමතිලා හිතන්නේ අපි මෝඩයි කියලද? (නදී)

:       0       0

තුසිත Tuesday, 05 November 2013 10:22 PM

සංචාරකයන් ලිංගිකත්වය සොයා හෝ කැසිනෝ ගැසීමට ලංකාවට එනවා කියා කියනවනම් ඒක විහිළු කතාවක්.මොකද උන්ගේ රටවල් වල එකට උවමනා පරිසරය ලංකාවට වඩා හොදින් සැකසී තියෙන නිසා.සංචාරකයන් බලාපොරොත්තුවන සැබෑ වෙනස ලංකාව තුලදී ලබා දීමට හැකිනම් එය වැදගත් මේ සියල්ලටම වඩා.. (ස)

:       0       0

වින් Tuesday, 05 November 2013 10:24 PM

මුන්ට පිස්සු... (ස)

:       0       0

කසුන් වික්‍රමසිංහ Monday, 09 June 2014 07:22 PM

මෙම ලිපිය ඉතා කාලෝචිත එකක් මෙන්ම තාර්කික එකක් බව හැ‍ඟේ.මම මෙවර උ/පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයෙක්මි.එබැවින් මෙවන් තොරතුරු අඩංගු ලිපි ලබාදීමට හැකි නම් එය මට විශාල උපකාරයකි. (නි)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 04:51 PM

බිහිවෙලා ඉවරයි. තවත් මොනවද බිහිවෙන්නේ. පිස්සු කතාකරනවා.(නදී)

:       0       0

නල්ලතම්බි Thursday, 07 November 2013 05:05 PM

අර අහවල් ඇමතිතුමා මේක සාධාරනීයකරණය කරන්න හදනවා නේද? (නි)

:       0       0

වාසල Monday, 04 November 2013 12:38 PM

කාලෝචිත ලිපියක්. මමත් හිතන්නෙ මේ ව්‍යාපෘතිය පිටිපස ඇත්තේ කිසියම් පිරිසකගේ යටි අරමුනක් මිස, සංචාරක කර්මාන්තය දියුණු කිරිම නොවේ. කැෂිනෝ වලින් මහා ලොකු බලපෑමක් සංචාරක කර්මාන්තය දියුණුවට කරන්න බැහැ. එහෙම නම් "උගන්ඩාව" වැනි රටවල් කොහොම දියුණු වෙන්න ඕනෙද. මම හිතන්නේ ගණිකා වෘතිය මෙරට දියුණුකිරිම මෙහි යට් අරමුණ බවයි. හැමෝම දන්නවා සූදුකෙළල දිනන්න බැරි බව. ඒ නිසා මෙහි යට් අරමුණ අපේ රටේ ගණිකා වෘත්තිය සදහා තිබෙන බාදක ඉවත්කර ගැනිම බවයි මගේ උපකල්පනය.(නදී)

:       0       0

එරා ජෝර්දාන් Wednesday, 06 November 2013 12:36 PM

ලෝකයේ තියෙන වටිනාම වස්තුව යහපත් මනුෂ්‍ය චින්තනය විනාස කරලා රටක් දියුණු කරනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්. නිර්මල බුදු දහම තියෙන රටේ පර සුද්දන්ගේ ගෝලයන් මේක ගෙන එන්නේ රටේ සදාචාරය විනාශ කරලා ඊලඟ පරම්පරාව උම්මත්ත්කින් කරන සමාජයක් හදනවා. සල්ලි වලට අම්ම තාත්ත අඹුව දු දරුවෝ හැම දෙයක්ම මිල කරන දවස වැඩි ඈතක නොවේ. ලෝක විනාසය ආරම්භ වගෙයි. (ස)

:       0       0

රත්ගමයා Thursday, 07 November 2013 07:43 PM

තවත් සක්විතිලා මේ රටේ බිහිවෙලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරාවි.සක්විතිලත් විනාශ වුණේ ඔය පොඩියට තිබුන කැසිනෝ අස්සට රිංගලා.ඉතින් ඕක ලොකුවට අාවොත් තව කොහොම හිටීද? (නි)

:       0       0

මලිත් චාමික Thursday, 07 November 2013 07:55 PM

කොහොම හරි ලංකාවට අඩු මේක තමා. (නි)

:       0       0

රියෙන්සිල් Friday, 08 November 2013 06:46 AM

බුද්ධිමත් ජනතාවක් නැති රටක කොච්චර කතා කළත් වැඩක් නැහැ (නි)

:       0       0

චින්තක Sunday, 03 November 2013 01:58 PM

බුදු දහම ලොව කොතැනක නැසී ගියත් මේ ලංකා තලයෙන් බුදු දහම අතුගා නොයන වග අප අසා ඇත්තෙමු එහෙත් අද පවතින තත්වය අනුවනම් බුදු ධහම නැත්තටම නැතිවන පලමු රට ලංකාව වෙන බවයි පෙනෙන්නේ කැසිනෝ මෙරට ස්ථාපිත කලොත් හැම අතින්ම මේ රට වගේම මේමේ රටේ සදාචාරය සබ්‍යත්තයය නනැත්තටම නැතිවෙනවා කකැසිනෝ හරහා වෙනත් වෙනත් සමාජයට අහිතකර දේවල්ද බිහි වෙනවා එය වැලැක්විය නොහැකියි රටේ පාලකයා මීටවඩා බුද්දිමත්ව කටයුතු කලයුතුයි මේ රට සංවර්දනය කරන්න සංචාරක කර්මාන්ත්‍ය අවශ වෙන්නෙ නෑ මෙතන සිද්ද වෙන්නේ කාගේ හෝ මඩිය තරවෙන වැඩක් මිස රටට යහපතක්නම් නොවේ (නදී)

:       0       0

අස්මිත් Sunday, 03 November 2013 09:57 PM

චින්තක!රජයට හෝ එහි ඉල්ලීගෙන ඉන්න කුඩල්ලන්ට ආගම දහමට වඩා වටින්නේ තනතුරු වරප්‍රසාද ඒ නිසා ඒ අයට රට ගැන අගමැ/ජාතිය/අනාගතපරපුර,ගැන හාන් කවිසියක කැක්කුමක් නැහැ!මුළු පාර්ලිමේන්තුවම මේකට වග කියන්නම ඕනේ කවද හරි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5402 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1331 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site